මේ දවස්වල දන්ථ ධාතු වන්දනා කරන උත්සවයක් තියෙනවා කියල ඇහුන ගමන් මට මේ කතාව මතක් උනේ..
මට හරියටම මතක නෑ මගේ කැම්පස් කාලෙ කතා කොච්චරක් මෙතන ලියල තියෙනවද කියල. වැඩිය නම් වෙන්න බෑ, මොකද මම ඒ කාලෙ කතා කියන්නෙ බොහොම අඩුවෙන්. කියන්න දේවල් නැතුව නෙවෙයි , ඒවා කියන්න ගිහින් ඇනගන්න බව දන්න හින්දා.
මේ සිදුවීම උනේ මම මං හිටපු නගරයේ තිබ්බ කැම්පස් එකට මුලින්ම තේරුනු කාලේ. ඒත් මම උපාධිය නම් ගත්තේ වෙන කැම්පස් එකකින්. ( ඒක දිග කතාවක්.. )
ඕන්න මම නමෝ විත්තියෙන් තේරුනා පේරාදෙණිය කැම්පස් එකට. මගේ අක්කා නගරයෙන් දුර බැහැරකට තමයි තේරුනේ. ඊටත් මම ආසාවෙන් තමයි හිටියෙ පේරාදෙණිය පරිසරයට.
ඒත් හත්වලාමේ උනේ මාර අබග්ගයක්! මගේ ෆැකල්ටි එකේ ඕසෙට රැග් එක. කැම්පස් එකට මුලින්ම යන්න කලින් දවසෙ අපෙ අම්මා මාව ඒ ෆැකල්ටි එකේ අක්කා කෙනෙක්ගෙ ගෙදරකට ( අම්මගෙ යාළුවෙක් ඒ අක්කාගෙ අම්මා) එක්කගෙන ගියා. ඒ උත්තම අක්කා මාව පැත්තකට එක්කගෙන ගිහිං කිව්ව නේද
' අම්මෝ නංගි රැග් එක නම් තියෙනවා. ෆැකල්ටි එකේ අල වෙන්න නම් ලැබෙන්නෙ නෑ'
කියල.
මට ඕක හරියටම තේරුනේ නෑ මම හිතන්නෙ. ඒක ඒ අක්කටත් තේරෙන්න ඇති. ඒ හින්දා එයා මට රැග් එකට කට්ටිය කොටු කරගන්න බිල්ඩින් එක මඟෑරලා යන චූටි 'හොර පාරක්' කියල දුන්න. මාත් ඉතින් පලවෙනිම දවසෙ වීරයා වගේ ඔය පාරෙන් ගිහින් අදාල බිල්ඩින් එකෙන් ගැලවිලා ලස්සනට අපේ orientation තියෙන තැනට ගියා.
මිත්‍රවරුනි..
ඒ තමයි මං ඒ පාරෙන් ගිය පලවෙනි සහ අවසන් වතාව. ඒ වගේම අපේ සීනියර් සෙට් එක කේක් බෙදලා, බීම බෙදලා 'කන්න වස්තුවේ' කියපු පලවෙනි සහ අවසන් වතාව.