Friday, July 3, 2015

189. දුම ( කෙටි කතාව) - 2





මුල් කොටස


".... ඔව් ඔව්... වංගුවේ තියෙන්නේ. වරෙන්කො මම හෙට පෙන්නන්නම්.. අහ් ! හෙට මම හදිස්සි ලියුම් වගයක ලිස්ට් එකක් දාන්න තියෙනවා. එන්න වෙන්නේ නැහැ. කමලා තමයි හෙටත් යන්නේ. මම කියන්නම් ඌට, උඹට පෙන්නන්න කියල..."

මද ආලෝකය ලැබෙන හුන්ඩු කෑම කාමරේ මුල්ලක සිටි කමල්ට ඔහුට පිටුපා හිඳ, බරට කතාබහේ යෙදෙන දෙදෙනාගේ දෙබස් කන වැකුනද , අවධානය යොමුවන්නට ගත්තේ වංගුවේ නිවස ගැන සඳහන් කරනවිටය. තමන් කෑම කාමරේ ඉන්නා බව ඔවුන් නොදන්නා බව ඉව වැටුණු සැනින් පපුවේ වේගය ඉහළටත්, හුස්ම ගැනීම මෘදුව පහළටත් වශයෙන් වෙනස් කල කමල් සර්පයෙකුගෙන් සැඟවෙන මීයෙකු සේ නිසල වී ගල් ගැසුනේය.

".... නියම... බලපන්.... එලම කිරි.... දවල් වෙලා ලියුම් අරන් පලයන්. ... කොනේ... ඔව් ඔව්... ළිඳ... දහයට විතර... ආයේ නැහැ ලයිව්... කොඳ කැකුළු වගේ.... හෙහ් හෙහ්.... "

නිමල්ගේ ඊළඟ වචන කොතරම් උවමනාවෙන් කන් යොමා සිටියද කමල්ට ඇසුනේ අතරින් පතර පමණක්මය. කමල්ගේ පපුව දෙමොලෙන් පිටි කොටන්නට විය. කමල්ගේ පිරිමි ඉව සැනින් අවධි විය.

මේ කියන්නේ අර තරුණිය ගැනයි!

පපුවේ වේගයට බත් පිඬක් සිරවී ඇතිකළ කැස්සෙන් නැවතුනු සතර කන්මත්‍රණය සමග දෙදෙනාම එකවරම ආපසු හැරී බැලුහ.

කමල් සිය ජංගම දුරකතනයෙන් බර කතාවකය. නිමල් සහ ජානක එකිනෙකාගේ මුහුණු බලාගත් අතර ජානකගේ මුහුණ බියපත් බවින් පිරි තිබිණි.

"කමල් මහත්තයට ඇහුනද දන්නේ නෑ "

කාම කාමරයෙන් එළියට පැනගත් දෙදෙනාගෙන් , හුස්මක් ඇල්ලු ජානක බියෙන් මෙන් ඇසුවේ පහත් හඬිනි. නිමල් බියපත්බව වසා ගනිමින් ඔලුව දෙපසට වනන්නට විය.



"නෑ බං වෙන්න බෑ. ඒකා ඔලුව උස්සල කෙනෙක් දිහා බලන එකෙක් නෙවෙයි. පැපොල් ගහ වගේ. මෙලෝ රහක් නැහැ. බලාපන් මම වගේ එකෙක් ට්‍රාන්සර් කරලා මේ වගේ ගොබිලෙක් අරගෙන අපේ ලොක්ක හිතන් ඉන්නේ මහ සමාජ සේවේ කොරන්ට වෙන්ට ඇති. හුහ්... ලොක්කට කෙලවෙන්නේ මේ පාර තමයි. උන් කොරයි මම නැතුව.... කඳු පල්ලම් දිගේ බඩගාලා මේ මෝඩයින්ට ලියුම් බෙදුවේ කවුද.?  හුහ්.. ඔය බයිසිකල් තිබ්බේ නැහැ එතෝට. බයිසිකලයක්වත් නැතුව දවස ගානේ යන්ට පුළුවන් කාටද බාන් ඔය කඳු දිගේ බඩගාන්න?..."

ඉන්පසු ඇරඹියේ සුපුරුදු තැටියයි. අපහසුවෙන් වුවත් එය අසාගෙන ඉන්නට දැන් ජානක පුරුදු වී ඇත. නැතිනම් සුළු සේවකයෙකු වන තමන්ට නිමල් වැනි 'උසස්' නිලයක ඇති වරප්‍රසාද භුක්ති විඳින්නට ලැබෙන්නේ නැත. අන් සුළු සේවකයින් තමන් මෙන් නිදහසක් විඳින්නේ නැත. අවාසනාවට නිමල් ස්ථාන මාරුවක් ගෙන තව සතියකින් වෙනත් පළාතකට යනු ඇත. වඩාත්ම උඝතෝකොටික ප්‍රශ්ණයකට මුහුණ දෙන්නේ තමන් බවත් ඊට විසඳුම් පිණිස ඉක්මනින්  කිසියම් ක්‍රියාමාර්ගයක් ගතයුතු බව වැටහුනත් කිසිදු කතාබහක් නැති කමල් හමුවේ ජානකට පසුබා යන්නට සිදුවිය.

"ජානක....."

කමල්ගේ උස් හඬින් ගැස්සුණු ජානක ඉද්ද ගැසුවා සේ නතර වී, ක්ෂණයෙන් ආපසු හරවා තැබුවේය.

"... පොඩ්ඩක් මෙහෙට එන්න"

එවර කමල්ගේ හඬ උස් නොවුයෙන් එකවරම ඇතිවුණු බිය කුමක්දෝ හේතුවකට පහව යනවා සේ ජානකට දැනුනි. නිමල් ආපසු නොහැරීම සිය බර අඩි තබමින් කොරිඩෝවේ දිගටම ගමන් කළෙන් ජානකට සහනයක් සේ දැනුණි.

'මේකා කොහොමත් යන එකේ. කමල් මහත්තයා ශේප් එකේ තියාගන්නෝන...'

ජානක ඉක්මන් ගමනින් කමල් පසුපස ඔහුගේ ඩෙස්කුව වෙත හැල්මේ දුවන්නට විය.


***************************************


'දහයයි.....'

පපුව ගල්රෝලක් මෙන් නද දෙනවා කමල්ට දැනුනද, සුපුරුදු ලෙස බිමට යොමාගත් හිසින් යුතුව කමල් වංගුව ආරම්භයට පැමිණියේය. ඊළඟ වංගුවෙන් කෙලවර වන මේ ඉඩමේ කොනේ වැටෙන් යන්තමට ආවරණය වූ ළිඳක් තිබුනා යන්තමට සේ කමල්ට සිහි වුවද වෙනදා එතැනින් ඔහු ගමන් කරන විලාසය මිට හාත්පසින්ම වෙනස් නිසාදෝ කකුල් පටලවෙන බවක් හැඟුනි.

එතරම් ඝනකම් නොමැති ගිනිසීරියා ගස් වලට එහි දිය නාමින් සිටින රුව වසන් කරන්නට සමර්ථ කමක් තිබුනේ නැත. ඊටත් මීට ටිකකට කලින් සිදුවුවායයි සැක කළහැකි තරමක් ඝනට වැඩුණු අමු ගිනිසීරියා අත්තක් බිම වැටි අහස දෙස බලා සිටිනු කමල් දුටුවේ නැත.

"මාත්තය... මාත්තය......"

ඈත සිට දිව ආ කලබලකාරී හඬකින් උඩ ගොස් නැවත ගුරුපාරටම වැටුණු කමල් වට පිට බැලුවේ කලබලෙනි.

'චෙක් විතරක්.... කෑවා මුසලය!'

ඇස් කොනෙන් ළිඳ අසල රුව දකිමින් කමල් ආපසු හැරුණේ හිත තුල බුර බුරා නඟින කෝපය මැඩපවත්වන්නට උත්සහ කරමිනි. ඔහු වෙත දිව ආවේ නිර්මලාගේ කුලී නිවාසයේ උන් හැඩි දැඩි මිනිසාය. ඔහුගේ කටහඬ ගෝරිල්ලෙකු මෙන් තිබුණු රුවට කිසිසේත්ම නොගැලපුනෙන් කමල්ට සිය කෝපය අමතක වී සිනාවක් පහළවිය.

"...... අද මොකද ලියුම් පරක්කු බලන් හිටිය. මම ප්‍රේහෙලිකාවක් පුරෝලා ඇරිය. අද දිනුම් ඇදල දිනපු ලියුම එයිදෝ කියල බලන් හිටිය උදේ ඉදන්... ඉස්සර වගේ නෙවෙයිනේ දැන් ලියුං කලියෙන්ම එන හින්ද කන්නෙත් නැතුව උන්න. මට ලියුං නැතෙයි?"

රුවට කිසිසේත් නොගැලපෙන හඬින් එසේ කියද්දී කමල්ට සිනහව නතරකරගන්නට කැස්ස උපකාර විය. ඔහු ලියුම් මිටිය දෙස බලා නැවතත් ගොරිල්ලා දෙස බැලුවේය. ඔහු බලාපොරොත්තු දෑසින් බලා සිටී.

"නෑ මල්ලි... අද ලියුන් නෑ. හෙට බලමු...."

බලාපොරොත්තු කඩවූ තරුණයා සෙමෙන් සෙමෙන් ආපසු යද්දී ඇස් කොනින් බැලු කමල්ට ළිඳ අසල කිසිවෙකුත් පෙනෙන්නට නොසිටියෙන් එකවරම පස් කන්දක් කඩා වැටුනා සේ 'ඩබ්' ගා හිත කඩා වැටෙනු ඇසුනි.

"ස්... ස් ........"

වැටමාර අස්සෙන් කාන්දු වී ආවේ සර්පයෙකුගේ ශබ්දයක් විය නොහැක. එකවරම අසල තිබුණු කෝපි ගාලෙන් හිස එළියට දැම්මේ නිර්මලායි. ඇගේ හිස තෙතය. තෙතබරිත දිය රෙද්දට අමතරව ඈ සිය දෙවුර වසා වියලි තුවායක් ඔතාගෙන සිටිය අතර ඇස් බියපත් බවක් පිළිඹිබු කළේය. ඊටත් වඩා ගල් ගැසුනේ කමල්ය.

"... මට ලියුම් තියෙනවද? අනේ ගෙදරට දෙන්න එපා. මට ලියුම් තිබ්බොත් මේ දෙබුක්කාවේ හංගලා යන්න. මහත්තයා...."

කමල්ගේ හිස ඉබේම වැනුනි. ඒ අවසරයෙන් ඈ කෝපි ගාල අතුරින් අතුරුදන් වී ගියාය. ඇගේ වයස අවුරුදු දහඅටකට වඩා වැඩිවිය නොහැක. නැතිනම් මෙතරම් දිස්නයක් එන්නට නොහැක.

'.........ආයේ නැහැ ලයිව්... ............ කොඳ කැකුළු වගේ.... හෙහ් හෙහ්.... "

නිමල්ගේ වචන බෙලෙක්කයක් තුල දෝංකාර දෙනවා සේ ඇසෙන්නට විය.

***********************************************

මතු සම්බන්ධයි.....

6 comments:

  1. මේක සතියේ දින පහම යන කතාවක්ද හිටං..

    ReplyDelete
    Replies
    1. හම්බුනේ නැහැනේ ඒ බෙල්ට් එක.... ෆයිට් මදි ලු, ප්‍රධාන නිළිය හරි නැතිලු

      Delete
  2. උපේක්ෂා.........

    කතාව ලියන විදිහ හරිම ලස්සනයි... දිගට ම කියවන්න හිතෙනවා.... නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙයා.... යන්තම් ඇති එකෙක් හරි හොඳයි කියල. මගේ හීන ලෝකේ සලිත වෙලා තිබ්බේ..

      Delete
  3. දැන් තමයි රුටීන් එක සෙට් උනේ.. '.........ආයේ නැහැ ලයිව්... ............ කොඳ කැකුළු වගේ.... හෙහ් හෙහ්.... " හැක්.. ගැලපෙනව.. ඕම යං.. ඕම යං..

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඕකනේ..... පොඩ්ඩ ඇත්තම් ෆෝම් වෙනවා

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...