Friday, August 29, 2014

74. ගෙයි ගින්දර



ගෙයි ගින්දර පිටට දෙන්න හොඳ නැහැ කියනවා නේ...

කෝ කොහෙද? කවුද එහෙම කිව්වේ?

ඇයි අනේ.. ඔය ඩිගිසි සින්දුවලත් තියෙන්නේ 'ගෙයි ගින්දර පිටට දෙන්න බැහැ ඒකයි ඉවසන්නේ......' කියල මැරෙන්න හදන්නේ...

අනේ ඔව්.. මම ඔය ඉස්සර කාලේ කට්ටිය - කට්ටිය කිව්වේ වැඩිහිටියෝ - කියල  තියෙන දේවල් ඇහිපිල්ලමක්වත් වෙනස් කරන්නේ නැතුව කරන අහිංසක සුකුමාර කෙල්ල හින්ද මමත් ඔය වැඩේ නම් කරන්නෙම නැහැ...

මොන වැඩේද ඈ ?

ඔය ගෙදර ගින්දර ගැන කියන වැඩේ....? (ඒ විතරක්ද... එයාල කියන අනික් ගොඩක් වැඩත් .. හි.. හි..)



කොටින්ම කිව්වොත් මම ගින්නක් තියා ගේ අස්සේ හඳුන්කුරක් දැල්වුනත් කියන්නේ නැහැ කටක් ඇරලා කිසි කෙනෙක්ට, ඔව්! වෙන එකෙක්ට කියන්න තියා මට එහෙම දෙයක් කළා/වෙලා තියෙනවා කියලවත් මතකයක් තියෙන්නේ එපැයි ??

මේකයි වැඩේ... ඒ උනාට සත්භාවයෙන් මම ඔහොම කලාට, අනිත් උන්ට ඕක පෙනෙන්නේම හරහට නේ අප්පා... කියන්නද සිද්ධි ටිකක්?

මේ වගේ සිද්ධි අටොරාෂියක් වෙලා තියෙන හින්ද මට කලින්ම මේ වගේ සිද්ධි උන දවස් ඔක්කොම මතක් කරගන්න අමාරුයි. මගෙත් ඔලුවේ කියල කොච්චර කියල ජාති තියාගන්නද?

කාලයක් තිබ්බ අර කරන්ට් එක පැය ගානක් තිස්සේ කපල තියෙන කාල. මතකද මන්ද? මට නම් මතකයි, මොකද මම ඒ දවස්වල තරම් පාඩම් කරන්න උත්සහ කරපු දවස් නම් තිබ්බේ නැහැ උපන්තේකට! කරන්ට් එක කපන්නේ රෑ කාලේ නම් ඔන්න මම තමයි මුලින්ම විස්සෝප වෙන්නේ.



"අපරාදේ.. මම අද අහවල් පාඩම ඉවර කරන්නයි හිතන් හිටියේ... චික්... අපරාදේ"
"අනේ ඇත්තද.... අර වැඩිපුර ගණන් ටික හදන්න හිටියේ... "
"අපරාදේ.. මම හිතුවේ දවල් කපන්නේ කියල. ඒකයි මම මේ TV බල බල හිටියේ.. "

ඔය තියෙන්නේ මම කරන්ට් එක කපනවා කියල ඇහුණාම මගේ ටිකිරි මොලේ පාවිච්චි කරලා, මගේ  උනන්දුව පෙන්නන්න කියල, අපේ අම්ම ඉන්න වෙලාවට එයාට ඇහෙන්න නිකුත් කරන ප්‍රකාශ!

මම ඒ දවස්වල හිතන් හිටියේ මම රහස් වැඩවලට උපන් හපන්, ඒ වගේම මාරම  මාර දක්ෂ ළමයෙක් කියල. ඒ මදිවට අපේ අම්මත් මම ගැන එහෙම හිතන් ඉන්නවා කියල තමයි හිතන් හිටියේ. පස්සේ කාලෙක තමයි තේරුනේ, මගේ පුද්ගලික අදහස මොකක් උනත්, මගේ හොර වැඩ බාගෙට බාගයක් එක්කෝ අම්ම දන්නවා, නැත්තම් අපේ අය්යා කාරය දන්නවා.

ඉතින් කෝ මගේ ආතල් එක කුඩේ කුඩු!

දැන් නම් ඒකෙ අනික් පැත්ත. මම ගානට නුලට වැඩේ කරගන්නවා එයාලට ඉව වැටෙන්න කලින්. කොහොමත් අපේ අම්ම මාර අහිංසකයි...

දැන් ඉතින් මෙහෙම කියල විතරක් හරියන්නේ නැහැ නේ. ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕනේ මගේ උනන්දුව. වෙනදට රටේ නැති වැඩ කර කර ඉන්න මම , කරන්ට් එක කපන වෙලාව ලං වෙනකොට ඉටිපන්දම් එකතු කරනවා. එක්කෝ මැටි පහන් වත් හයි කරගන්නවා. අපේ අය්යා කාරයා කොහොමත් ඉමජන්සි ලෑම්ප් එකක තනි අයිතිකාරයා. සාලේ තියෙන ලෑම්ප් එකේ එලිය මදි පාඩම් කරන්න තරම්.

අපි පුංචි කාලේ අපේ ගෙදර ඩේලි රුටීන් එකක් තිබ්බ. මම හිතන්නේ ඕනෙම ගෙදරක ඇති. උදේ පාන්දර නැගිටින අම්ම, ගෙදරටම ඇහෙන්න පිරිත් දානවා. උදේ 4 වෙනකොට අපේ වෑන් එකේ ඩ්‍රයිවර් සීයාගේ ගෙදරින් එයා එළකිරි බෝතල් දෙකක් ගෙනත් අපේ දොර ගාව ගෙනත් තියනවා. මගේ ඩියුටිය තමයි අලුත් කිරි බෝතල් දෙක ඇතුලට අරගෙන, ඊයේ කිරිබෝතල් දෙක සීයාට දෙන එක. ඉතින් ඕකට ඉතින් 4 ට ඇහැරෙන්න ඕනේ. ඊට පස්සේ කිරිඑක ලිපේ සුවඳ හමමින් රත්වෙන අතරේ අපි ඉස්කෝලේ ගෙනියන ජාති ලෑස්ති කරනවා. බෑග් එක අහුරනවා, රෙදි මදිනවා. කිරි ලෑස්ති උනහම ඕක බොන්නේ සාලේ සෝෆා එකේ ගුලි වෙලා කකුල් දෙකත් උඩට අරං... අම්මේ එහෙම සැප කාලයක්... එහෙම කිරි බීල පාඩම් කරනවා.

මට හැබැයි මතක නැහැ පාඩම් කලාද කියල, පස්සේ පස්සේ තමයි මම කිරි එක නැතුව ඇඳෙන් බහින්නේ නැති තත්වෙට වැටුනේ. ඒ වගේම කෑ  ඇහැරවලා කෙලින් කලත් බොරුවට පොතත් උස්සගෙන ඇඳට ගිහින් ආයෙත් නිදි.

"චුටි දුව............ මොකද මේ ඇඳේ ??"

අම්ම කාමරේට එබිලා අහනවා. විදුලි වේගෙන් ඇස් දෙක ඇරලා ආයෙත් පොත කෙලින් කරගන්නවා.

"පාඩම් කරනවා.. ඇයි ?"
"පාඩම් කරනවා? ඇස් දෙක වහගෙන?"

හුටා... අම්ම මම ඇස දෙක වහගෙන ඉන්නවා දැකල!

"ඔව්... මම මේ පාඩම් කරපු එකක් මතක් කර කර හිටිය..."

අන්න එහෙමයි උදෑසන පාඩම!

මේ කියන සිද්ධිය උනේ මම ඔහොම වංචා කර කර ඉඳල, ස්වයන් වරණයෙන් රෑට පාඩම් කරන එක ගැලපෙනවා කියල තෝරගත්ත කාලේ.

ඔන්න සුපුරුදු විධියට කරන්ට් කපන වෙලාව වෙනකොට කට්ටිය රෑට කාල වෙන වෙන අංශ වලට බෙදිලා ගියා. මම ඒ දවස්වල මගේ පාඩම් මෙසේ තියාගෙන හිටියේ අපේ කාමරේ. කාමයරක් කියන්නේ පාඩම් මේසයක් තියන්න හොඳ තැනක් උනාට, එතන ඇඳක් තියෙන හින්ද නරකම තැනක් කියල මට තේරුනේ ගොඩක් කල් ගිහින්. ඒ කාලේ අනිත් එක අපේ අක්කටත් මටත් තිබ්බේ එක මේසයයි. එදා මේ සිද්ධිය වෙන දවසේ මම අක්කට මේසේ පවරලා පොතත් අරන්, ඉටිපන්දමකුත් බෝතලයක් උඩ හයි කරගෙන කවිච්චියට ආව.



ම්හු... ඉන්න හිතෙන්නෙම නැහැ... මාර කම්මැලි.... බොරුවට පොත දිහා බලන් ඉඳල වටපිට බැලුව. පේන්න කෙනෙක් නැහැ. ඉක්මනට පොතයි, ඉටිපන්දමයි අරන් ගියා කාමරේට...



අක්කා මට පිටිපස්ස හරෝගෙන පාඩම් මේසේ වැඩ. මම ඉතින් මගේ ඇඳේ කකුල් තියන පැත්තේ තියෙන ලීය උඩින් ඉටිපන්දම හයිකරලා තිබ්බ ප්ලාස්ටික් බෝතලේ තියල ඇඳේ දිගා වුනා... මට එවෙලේ දැක්කේ එතන මම දවල් කියෝපු ලිට්ල් ස්ටාර් පත්තර ටිකකුත් තිබ්බ. ඒකත් අතින් එහාට කලේ ඒක වෙන තැනකින් තියන්න තිබ්බ කම්මලිකමටමයි.

දැන් මම ඇඳේ දිගාවෙලා මගේ නිකට ඇඳේ තියාගෙන , අත් දෙකින් පොත අල්ලාගෙන කියෝනවා. බෝතලේට හයිකරලා තිබ්බ හින්ද, ඉටිපන්දම තිබ්බේ තරමක් උඩින්. පොතට හොඳට එලිය වැටිලා. එලිය නෙවෙයි දැන් ඉර පෑයුවත් මට ගානට නිදිමත මන්දු වෙලා... එක අකුර දෙක - හතර වෙලා පේන්නේ ! ඔහොම ටික වෙලාවක් ටිං - ටොං වේවි ඉඳල මම එහෙම්මම පොත තියෙද්දී ඔලුව පහලට හරොල ඇඳේ  නිදාගත්තා... එහෙම තමයි මතක....

ආයෙම මට ඇහැරුනේ මහා විලාපයක් ඇහිලා.... මම ගැස්සිලා ඇහැරුනා...

මගේ ගාවම හිටගෙන හිටියේ අම්මා... අම්මා එයාගේ අත්දෙකට පිඹ පිඹ ඉන්නවා දකිනවත් එක්කම මට දර්ශනය උනේ ලොකු ආලෝකයක් කාමරේ ඇවිත් තියෙනවා කියල. මුකුත් හිතා ගන්නවත් බැරි උනා... මොකද කම් දෙක ගාව අපේ අක්කගේ සයිරන් නලාව වැදුනා...

"ඊ ....................... අම්මෝ..........

මහා නින්දක හිටපු මම නිකන් කරකෝල අතාරියා වගේ, මම නිදිමතෙන් බැලුව ආලෝකය එන මගේ ඇඳ දිහාව.... ඇඳ උඩ මහා ගිනි ජාලාවක්!!!

"කෑගහන්න එපා ලොක්කි..... චුටි දුව ඔතනින් දැන්වත් අයින් වෙනවකො....."

කියල අපේ අම්ම මාව ඇදල ගත්ත.



දුවගෙන ආපු අපේ අය්යා ගහපු වතුර පාරට මගේ අතකුත් නෑවිලා ගියා. ඇති යන්තම් ගින්න නිවිලා. වතුර වැදිලා මගේ පියවි සිහියත් ආව.

"මැටි මෝලෝ.... තමුසෙට පිස්සුද අයිසේ... තව ඩින්ගෙන් තමුසේ ගෙටත් ගිනි තියනවා!"

අය්යා පාවිච්චි කරපු සමහර වචන ගෙදර තහනම් වචන උනත් වෙලාවේ හැටියට කාටවත් ගානක් ගියෙත් නැහැ. ඊටත් වඩා මට හිතෙන්නේ වෙන අය්යෙක් නම් දන්නා කුණුහරපත් තියේ නම් කියවෙනවා... මම තාම හොල්මන් වගේ... යසට නිදාගෙන හිටි මම!

බලනකොට වෙලා තියෙන්නේ....



මම සුව නින්දේ සැතපෙනකොට , ඉටිපන්දම ඉවර වෙලා බෝතලේ උණු වෙලා... උණු වෙච්ච බෝතලේ වැක්කෙරිලා ගිහින්, ළඟ තිබ්බ පත්තර ටිකක් ඇවිලිලා, ඇඳත් ඩිංගක් විතර ගිනි අරන්.... ආ ඒ විතරක්ද.. මගේ ඔලුව ගාවම ඇවිලුණු මේ ගින්නට මගේ කොන්ඩෙත් පොඩ්ඩක් අහු වෙලා. කාමරෙන් මේ එන අමුතු එලියට අපේ අම්ම ඇවිත් බලන්න. බය වෙච්ච පාරට කරන පලවෙනි දේ හිතාගන්න බැරුව අපේ අම්ම ඇත දෙකින් නිවන්න ගිහින් පව් අනේ අර උනුවෙච්ච බෝතලෙට යන්තම් පිච්චිලා.....

අන්න එහෙමයි, ගෙයි ගින්දර පිටට නොදී ඉන්නේ.....

මේ මෙම කැටගරියේ පළවෙනි සහ අවසාන සිද්ධිය නොවන බව කරුණාවෙන් සලකන්න! මේ වගේම තවත් වැඩ කන්දරාවක් උනා. පස්සේ ලියන්නම් අප්පා... බැනුමක් උනත් දවස ගානේ අහනකොට නිකන් සින්දුවක් වගේ ගතියක් දැනෙනවා... හා නැද්ද?

16 comments:

  1. මං හිතුව සීරියස් ටෝකක් දාන් එද්දි උපේස්ස මේ කියන්න හදන්නෙ බරසාර සීරියස් කතන්දරයක් කියල බැලින්නං උපේස්සගෙ මරිසි සීන් කෝන් එකක් නෙව..
    එහෙම කියනෙක හරිද මංද...
    හිහි...

    අපි පොඩි කාලෙ ඒ කියන්නෙ මං එකොළහ වසර හරි දොළහ වසරට එනකං හරි අපේ ගෙදර තිබ්බෙ ලාම්පු.. ඒවත් අර රජයෙන් හොද නෑ කියන කැටගරියෙ ඒව.. එක එකක කුප්පි වලට හදා ගත්තුව ඒත් කවමදාවත් ගිනි ඇරං නං නෑ...
    මේ මනුස්සය ඉටිපන්දමෙනුත් ගිනි තියල..
    හිහි

    ReplyDelete
    Replies
    1. සිරාවට ලිව්වම අනේ මන්ද කියනවා.. ඒ හින්ද සිරා ටොපික් එකක් ඉස්සර කරගෙන දැම්ම මගේ පරණ නට් වැඩක් !

      ඔහ් ඇත්තද? මට ඔය ලාම්පු පත්තු කරනෙක හෙන අවුල්.... ඒ උනාට දැන් නම් තියෙන ලයිට් ඔෆ් කරලා ඉටිපන්දමෙන් ඉන්නවා ජොලියට. හැබැයි දැන් නම් ඒවා හයි කරන්නේ ගිනිගන්නේ නැති එකක් උඩ . මම මාවම දන්නවා නේ... හික්...

      Delete
  2. හෆොයි මෙන්න ඉන්නවා මගේම තාලේ කෙනෙක්, ඔබ මේ වැඩ කරලා තියෙනවනම් අත උස්සන්න.

    1. ෂොපින් බෑග් උණු කර උණු වෙන ෂොපින් බෑග් එකට ඇත තැබීම.
    2. නිදාගෙන ඉන්න මනුස්සයන්ගේ ඇඟට ඉටිපන්දම් කිරි හැලීම.
    3. ලිපට පිබින්න ගොස් උයන කෑම එකට අළු එකතු කිරීම.
    4. අතුගාල එකතු වෙච්ච කොළ රොඩු ගොඩගහලා ගිනිතියලා දුමදාද්දිඑ එකට පැනීම.
    5. වැඩිහිටියන්ගෙන් නාහ පැට්‍රල් මැක්ස් වලට හුලන් ගැහීම

    ඔය ඇති නේද? තව ලිව්වොත් මෙතන මගේ කුප්ප වැඩ ඔක්කොම එලි බහිනවා. එක නිස්ස මේ ඇති හෙක් හෙක් ඉටිපන්දම් නම් බැරිය.

    ReplyDelete
    Replies
    1. ඔබ තනිවී නැත!

      අංක 1 ඇරෙන්න දෙයක්ම කරලා තියෙනවා අනේ. ඔය ලිපට පිඹින්න වෙන්නේ අපේ මාමගේ ගෙදර තමයි. නැන්දා මට දුම් බටේ දීල ලිපට පිඹින්න අනකරලා යනවා. දුම් බටේ පිඹින්න මට පුරුදු නැහැ. කරන්නේ ඇස් දෙක තදකරල පියෝගෙන පිඹිනවා කියන්නේ.... ආය නෑ එදාට කන්න වෙන්නේ අළු සමග බැනුම් හොදි!

      පස්සේ පස්සේ ඕක හරි ගියේ අපේ අත්තම්ම වෙනම දුම් ගෙයක් හදාගත්ත අපේ ගෙදරටම අල්ලලා. මොකද එයාට ඔය ගෑස් ලිප් වැඩේ ආස නැහැ. ඇත්තටම ඒක දුම් ගෙයක්ම තමයි.... ඒ දුමට හොඳට හදපු අපේ ගෙදරත් දුම පිරෙනවා... හි හි... ඒ මදිවට එක ලිපක් තිබ්බ ලීකුඩු කොටලා හදන්නේ. ඔය කරුමක්කාර වැඩේ දෙන්නෙම මට, හේතුව මම දත කට පුට්ටු කරගෙන තරහටම කොටලා දානවා, එතකොට හොඳට කෙටිල ලිප. ආයෙත් වැඩ හොඳ හින්ද වැඩේ දෙන්නේ මට....
      ඉටිපන්දම් කිරි වැඩේ මම කලේ නම් එක්ස්පෙරිමන්ට් එකක් හැටියට.. හික්... එකෙන්ම ඉගෙනගත්ත පාඩම නම්!

      තව ඉතින් මැටි මෝල් ගතියටම කරපු වැඩක් තමයි, අහස්කුරක් ගෙයක් ඇතුලට යැවීම... ඒකත් අපේ අක්කගේ ගණන් ගුරුතුමී වෙච්චි!!

      Delete
  3. ඉස්සෙල්ලා හීටරේ ,දැන් තව ටිකෙන් ඇඳ යි ඔක්කොම ඉවර වෙනවා .තව මොනවද ගෙදර ඉතුරු වෙලා තියෙන්නේ ... අයියෝ සල්ලි

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඉවාන් මටත් පුදුම. අපි සෙල්ලම්බඩු කඩලා නම් නැහැ. තාමත් අපේ ගෙදර මගේ වයස 3දී දීපු සමහර සෙල්ලම්බඩු හොඳ කන්ඩිෂන් එකෙන් තියෙනවා.
      තව අනේක විධ සෙල්ලම්, ලෙල්ලම් කරලා තියෙනවා. දිගටම ලිව්වොත් උඹල මෙතන මට දෙස් දෙවොල් තියන්න ගනීවි. පස්සේ එන එන හැටියට දාන්නම්කො. හි.. හි..

      Delete
  4. බලන් ගිහාම මෙයත් මාර වැඩ්ඩෙක්නේ

    ReplyDelete
    Replies
    1. හි.. හි... මේවා අතරින් සමහර වැඩ මම මෙතෙක් කල් කාටවත් කියලත් නැහැ, අපේ ගෙදර ඇත්තෝ දන්නෙත් නැහැ... හි.. හි... දන්නවනම් මගේ නම දරුපොතෙනුත් කපල!

      Delete
  5. ඕකට හුඟ දෙනෙක් කියන්නේ අන්දොස් ගතිය කියලා. රවීයා ජනනි ඇතුළු නඩේ කියන්නේ නුහුගුණේ කියලා. මට නම් පේන්නේ උපේක්ෂා ගෙදරක තියාගන්න හොඳනැති භයානක ළමයෙක් වෙලා හිටියා කියලා. අම්මලා තාත්තලා මාර රිස්ක් එකක් අරන් තියෙන්නේ ඔයාව ගෙදර තියාගෙන ඉඳලා.

    සිරාවට නොවේ, ජොලියට දැමූ කමෙන්‍ටුවකි. අපි ඔයිටත් වැඩිය ගොං වැඩ කරලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවා හෙන්රි.. මම ඒ කැටගරියේ වෙන්න ඇති.... ගෙදර ඉන්නකොට ඉබ්බෙක් වෙන්නේ අන්න එහෙමයි. ඒ උනාට අපේ අම්මට ඉවවැටුන මගේ මේ බොරු ඉබි ගතිය. ඒ හින්ද කොයිවෙලෙත් ඇන්ටෙනාව දාගෙන හිටියේ... හි.. හි... ඒ උනාට ඉස්කෝලෙදි ඔව්ව කවුරු කියනවද?

      අනේ හෙන්රි මේ.... බොරුවට කියල නෙලලා මෙතන.. දැන් සිරාවට නෙවෙයිලු කිව්වේ... එහෙනම් ඩිලීට් කොරන්නනේ තිබ්බේ... ඩිලීට් බටන් නැද්ද?

      ඇත්තටම හෙන්රි මේ වර්ණවත් අතීතය මට ලැබුනේ මම නිතර පලු අරින අපේ අය්යා කාරයාගේත් සපෝට් එක හින්ද. ඒ කියන්නේ ඌ බීට් කරන්න කියල හිතන් මම කරන වැඩ තමයි ඊට වඩා මැටි මෝල්! කොල්ලෙක් කියන්නේ ගෙදරක ඉන්නම ඕනේ ජාතියේ එකෙක්. ඒ එක්කම කෙල්ලෙක් හිටියේ නැත්තම් වැඩේ සම්පුර්ණ වෙන්නෙත් නැහැ...

      Delete
  6. අපේ ගෙදර ඔය ලයිට් කපන කාලෙ පාඩම් කලෙ කෝමද කියලා මට මතකයක් නැහැ නේ..මොනවා වුනත් මටත් මතකයි මම පුංචි කාලෙ කාලයක් ලයිට ගන් ඉස්සෙල්ලා චිමිනි ලාප්පුවෙන් පාඩම් කලා..චිමිනි ලාම්පුවෙන් පාඩම් කරලා ඉවර වෙලා ලයිට් ලැබුනාම නිකං රටක් රාජ්ජක් ලැබුනා වගේ සන්තෝසයක් හිතට ආවා..

    ReplyDelete
    Replies
    1. පාඩම් කලේ කොහොමද කියල මමත් දන්නේ නම් නැහැ.. ඒ උනාට මේ වීරක්‍රියාව නම් අමතක වෙන්නේ නැහැ. අපේ අලුත් ගෙදරට මුල ඉඳන්ම කරන්ට් එක තිබ්බ. නැන්දලගේ ගෙදර නම් චිමිනි ලාම්පු තිබ්බේ අපි ලොකු වෙනකල්ම. මම හෙන ආසයි එහෙ යන්න. රබර් වත්තක් මැද්දේ ගේ තියෙන්නේ. ඒ අස්සේ අන්නාසි වගාව... මම වගේ කැලෑ සතෙක්ට කියාපු වටපිටාව. ඒ උනාට රෑ වෙනකොට හෙන අවුල්. ඔය චිමිනි පත්තුකරගෙන ඉන්නකොට හෙන පාළුයි මට.

      Delete
  7. ලයිට් කැපිල්ල තිබ්බෙ නිව් මිලේනියම් එක ආ ගමම්මනෙ. අපිනං ඒ කාලෙ අරේ සහ මරේ ඇහුව රෙඩියෝ එකේ බැටරි දාගෙන. අනික ලයිට් කැපිල්ල මාර අශිර්වාදයක්නෙ. මොකද ලයිට් යන්න කලින් අපිත් වැඩ ඉවරවෙල එනව, අපේ පැත්තෙ ගාමන්ට් ඇරිල, පන්ති ඇරිල ඒ ළමයිත් ගෙවල් වල එනව. පැත්තම කළුවරයි. අන්න කාලෙ. ෂෙහ්...කොටිම්ම කැපිල්ල නවත්තන්න උනු එකට කරුවවයි රනියවයි මරන් කන්න කේන්තී.

    ReplyDelete
    Replies
    1. හනේ හනේ... පේනවද මෙයාගේ තරම... හි.. හි....
      අරේ මරේ?? අහල පුරුදුයි වගේ... මතක නැහැ නේ අප්පා.. මොකද්ද ඒ?

      Delete
  8. ඇයි අප්පා මම .ඉස්සර අපේ ගෙදර tv 2ක් තිබුණා .මං මේ කියන්නේ 2004 දී විතර .
    එක tv 1 ක් ඉස්සරහ සාලේ ,අනික මගේ කාමරේ .ඔය වගේ කරන්ට් නැති දවසක මම ඉටිපන්දමක් පත්තු කරලා tv
    එකේ උඩ අලෙවුවා.දන්නවනේ ඇතිනේ .ඉටිපන්දම් කිරි ටිකක් උඩට හලලා ඔකේ ඉට්පන්දම ගහනවා .තත්පරෙන් දෙකෙන්
    ඕක හයිවෙනවා.ටික වෙලාවකින් මන් එලියට ගියා තරු ගණන් කරන්න කියලා.මොකෝ ඉතින් කරන්ට් නැති එකේ
    මොනවා හරි වැඩකුත් එපැයි .ටික වෙලාවකින් මට මගේ කාමරේ ජනේලෙන් පේනවා ලොකු එළියක් ,මන් හිතුවා කරන්ට් ඇවිත්
    කියලා.කාමරේට ගිහින් බලනකොට මෙන්න බොලේ කරන්ට් නැතුවම tv එක පත්තු වෙලා .ඉටිපන්දම ඉවරවෙලා Tv එකේ වටේට
    තිබුන ප්ලාස්ටික් කේස් එක උනුවෙලා ඉටිපන්දම tv එකේ ඇතුලට වැටිලා ගිනිඅරන් .

    ReplyDelete
    Replies
    1. ලකියෝ...... ඔය හරී හොඳයි......
      බලන්න... මම ඇඳක් වගේ දෙයක් ගිණිතියනකොට ඔයා TV එකක් වගේ එකක් ගිණිතියලා. දැන් කට්ටිය... කියාපල්ලා බලන්න මමද ලකියද භයානක පොර කියල?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...