Saturday, February 22, 2014

35. අපේක්ෂා 02

මෙතෙක් කතාව මෙතනින් 
මගේ කුතුහලය ඇවිස්සුන මේ කතාවෙන් දිග ඇරුනේ 'බතලයා' ගේ අතුරු කතාව..

කතාව කෙටියෙන් මෙහෙමයි

බතලයා කියන්නේ ටිකක් තලෙළු , ලස්සනට අඳින පළදින, ලස්සන ෆිගර් එකක් තිබ්බ කෙල්ලෙක්. ඉස්කෝලේ ඉවර කරලා 'ආකියක්' විදියට අපේ කැම්පස් ආපු බතලයා ඉස්කෝලෙදි වගේම කැම්පස් එකෙත් හැමෝගෙම හොඳ යාලුවෙක්. එයාගේ ඉස්සර කාලේ පින්තුරක් දැක්කොත් කව්රුත් විස්වාස කරන්නේ නැහැ මේ දැන් ඉන්නේ ඒ බතලයා කියල කීයටවත්. 

බතලයා පවුලේ එකම ළමයා. එයා කැම්පස් එකේ බාස්කට්බෝල් ටීම් එකටත් සෙල්ලම් කළා. මේ අතරේ එයාගේ හිත ගියපු කොල්ලෙක් ඔන්න කතාවට සම්බන්ධ වෙනවා. මට හරියටම මතක නැහැ සියලු සිදුවීම්, නමුත් කෙටියෙන් කිව්වොත් මේ දෙන්න 'ක්‍රෂ් ' වෙලා ඉදල තියෙනවා.   බතලයත් ඉතින් හැඩ  වැඩ කෙල්ල හින්ද විතරක් නෙවෙයි, බතලයාගේ පවුලට තිබුණු වත්පොහොසත් කම් ගැනත් ඉතින් එයා දැනගෙන ඉන්න ඇතිනේ.
ආකි එකේ අන්තිම අව්රුද්ද වෙනකල්ම හැමදේම හොඳින් සිද්ද වෙලා. අවසාන අවුරුද්ද අවාම, කොල්ල එක පාරට වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා. ඒ අතරේ මාස කීපයක් ඇතුලත බතලයාගේ අම්මත්, තාත්තත් දෙන්නම මිය ගියා!! බතලයා අසරණ උනා, හැබැයි පෝසත් කෙල්ලෙක්! කොල්ලා ගැන මම  සංවේදී වෙලා හිටිය බතලයා අනිත් සියලු දේවල් ගැන අසංවේදී උනා... නෑයෝ  ටික කලේ
"දුවේ.. ඔයාට  මෙතරම් දේපලක් පාලනය කරන්න බැහැ නේ.... (  අපිටත් නිකං  බැහැ  නේ) ඒ හින්දා අපි ඔයා ගැන කල්පනා කරලා හිතුවා දේපල විකුණලා ඔයාට සල්ලි දෙන්න"

කිසිම දෙයක් ගැන සංවේදීකමක් නොතිබුන නිසා විතරක් නෙවෙයි, කරන්න වෙන දෙයක් නැති නිසාත් බතලයා ඒකට  එකඟ උනා. අදටත් එය දන්නේ නැහැ දේපල වල හරි වටිනාකමවත්, විකුනපු ගානවත් !!!! ( මේක හින්දි චිත්‍රපටියක් නොවෙන බව මතක තියාගන්න!)
සල්ලි ටික බැංකුවේ ගිණුමට වැටුනට පස්සේ, බතලයා තමන්ට අයිති නැති බව නෑයෝ  ටික කාලෙකින්ම ඔප්පු කරලා. ඉතින් මේ බෝඩිමට වෙලා එයා බැංකු ගිණුමේ ශේෂය තියෙන කල් ඉන්නයි කල්පනාව. අපේ බෝඩිමේ අක්කා කරුණාවන්තයි. එය බතලයාට අනුකම්පා කරලා ඉන්න දෙනවා. හැබැයි සල්ලි ගන්නවා.
මෙයට ඩිප්රේෂන් තියෙන හින්දා නාන්නේ නැහැ. වෙනත් කිසිම කෙනෙක් ඒ හින්දා කාමරේ ෂෙයාර් කරන්න කැමති නැහැ ( සාධාරණයි)

ඒ හින්දා මෙයා හිටියේ අර තනි කාමරේ....


ඔන්න ඕකයි මට පැන්ඩා කියපු කතාව කෙටියෙන්...

මට දැනුනේ පුදුම කම්පනයක්. 'තරුණ ජිවිතයක්' නේද කියල මට හරි දුකක් හිතුනා. මේ මුළු කතාව ඉවර වෙනකල් බතලයා හුමිටි තිබ්බා ඇරෙන්න එක කඳුලක් හෙළුවේ නැහැ. ඒත්  ඒ ඇස්වල තිබ්බ දුක්බර, වියළි  බැල්ම එයාගේ තත්වය මට වටහල දුන්නා.

කවුන්සලින් ඉගෙනගෙන තිබ්බ හින්දා ඕනෙම ප්‍රශ්නයක් විසදන්න පුළුවන් කියන පොර මානසික තත්වයක් මට  ඒ දවස්වල තිබ්බ. බතලයා ගැන රෑ දවල් නැතුව කල්පනා කරමින් මූට මගෙන් කෙරෙන්න දෙයක් තියෙනවද කියලා කල්පනා කළත් , එතරම් සාර්ථක උත්තර මට ලැබුනේ නැහැ.

මේකේ ප්‍රථිපලයක් විදියට මගේ කෑම සාද වලට, පිස්සු කෙලිම් වලට බතලයා මම විශේෂ ආරාධිතයෙක් විදියට සහභාගිකරගත්තා.

'හුරේ... මෙන්න බතලයා හිනාවෙනෝ..."

ඉඳහිට පැන්ඩා ගෙන් එවැනි ඔල්වරසන් ආවා. ඌ දත් පෙන්නනවා කියන්නේ අපිට හිනාවෙනවා හා සමානයි!
ඉඳහිට මම කවුන්සලින් වලිනුත් තෙල් බෙදුවා. එතරම් සාර්ථක නැහැ. මම හොඳ කවුන්සලර්ස් ප්ලේස් එකකුත් දුන්නා.. ගියාද  නැද්ද දන්නේ නැහැ. මේ බෝඩිමෙන් ඉවත්වෙලා යන අන්තිම මාස කීපය ලං වෙනකොට මට පැන්ඩා  අලුත් නිවුස් එකක් කිව්වා. ඒ තමයි, බතලයා මහණවෙන්න  (සිල් මෑණි  කෙනෙක් වෙන්න) යනවා කියලා.

බෝඩිමේ අක්කත් මෙයාට අනුකම්පා කරලා තැනක් හොයලා දීලා.

බොරුවක් නෙවෙයි, සහතික ඇත්ත මම කියන්නේ.. මට ඒක  ඇහුනේ භයානක නිවුස් එකක් වගේ. පැන්ඩා  ඇතුළු බෝඩිමේ සියලු දෙනා ඒ තීරණේ ගැන සතුටින් කතා කරද්දී, මම විතරක්

" ඕක හොඳ අදහසක් නෙවෙයි බතලයා" කිව්වා.. එච්චරයි මම කිව්වේ.

ප්‍රතිපත්තියක් විදියට මම තවමත්, යමකට විරුද්ධ නම්, මගෙන් ඒ ගැන අදහස් විමසුවොත් විතරක් විරුද්ධ බව කියනවා. ඒත්  ඒක  ගණන් ගන්නේ නැතිනම්.. සද්දේ වහගෙන වෙන දෙයක් බලාගෙන ඉන්නවා. මම කලේ ඒක ! හැමදෙනාම බතලයා සිල්මෑණි කෙනෙක් වෙන එකට බොහම සතුටු උනා, මම ඇරෙන්න


to be cont.....

Thursday, February 20, 2014

34. අපේක්ෂා.. 01



හැමදාම ලියන්නේ ඉස්කෝලේ කතා විතරක් හින්දා මට හිතුනා වෙනත් දෙයක් ගැන ලිව්වොත් හොඳයි කියලා. මොකවත් හින්දා නෙවෙයි.. ගිය දවස් ටිකේම අහන්න දකින්න වෙන සිද්දි එක්කම මට මේ කතාවත් ආපහු ආපහු මතක් වෙන්න ගත්ත හින්දයි.

කැම්පස් ඉන්න කාලේ වැඩිම කාලයක් මම උන්නේ අපේ අක්කත් එක්ක එක බෝඩිමක. මට ලැබෙන්න ඕනේ රැකවරණය අපේ අම්මලා විස්වාසෙන් ඉටුකරගත්තේ ඒ විදියට වෙන්න ඇති. 

හපොයි.. ඒ ගැන නම් කියලා වැඩක් නැහැ.. මගේ රැකවරණය කෙසේ වෙතත් අපේ අක්කත් එක්ක වසලා මගේ ඔලුවත් එක්ක පිස්සු වැටිලා උන්නේ...




කොටින්ම කිව්වොත් මම බෝඩිමට බිස්කට්, ප්‍රීමා  නුඩ්ල්ස් ගෙනත් දානවා විතරයි මට මතක.. මම කවදාවත් කනවා මතකත් නැහැ, කුඹි වහල විසිකරනවවත් මතක නැහැ නේ අප්පා..! බිස්කට් ටිකට විතරක් නෙවෙයි මේ බඩුව ප්‍රීමා නුඩ්ල්ස් ටිකට වැඩේ දෙන්නෙත් අමුවෙන්!!!!!! ඕක මට වැටහෙන්න මම හිතන්නේ අවුරුදු දෙක තුනක්ම ගියා. සාමාන්‍යයෙන් මම තමයි රෑ  වෙලා ගෙදර එන්නේ.. 

පුළුවන් තරම් වෙලා කැම්පස් එකේ පැලපදියම් වෙලා ඉඳලා, බිං කළුවර වැටෙනකොට තමයි ගෙවල් මතක් වෙන්නේ. හි හි හි... ඒත් අපේ අක්කා නම් ලෙක්චර් ඉවර වෙච්ච ගමන් බෝඩිමට දුවන් එනවා.. අනිත් එක එයා  පාඩම් කරන්නේ දවල්ට.. මම ඉතින් රෑ 10න්  පස්සේ තමයි පලවෙනි උත්සාහය පටන් ගන්නේ.. ඒ ගැන නම් කතා අනන්තයි.. හි හි හි... එව්වා පස්සට. 

මම ඉතින් පරක්කු වෙලා එන හන්දා මට තමයි රෑ  කෑම  ගේන  භාරධුර රාජකාරියත් පැවරුණේ. මම ඉතින් ඒකත්  අරගෙන වැනි වැනි ඇවිත් රුම් එකේ දොර ගාවට එන්න විතරයි තියෙන්නේ..
 කෑම එකේ සුවඳ වැදෙන්නෙත් කලින් අක්කා පැනපු ගමන් දොර ඇරලා මාව සාදරෙන් පිලිගන්නවා???

 නෑ .. නෑ ... වැරදී ! 
පැනපු ගමන් කෑම එක උදුරගන්නවා

"අම්මෝ මම මේ පුදුම බඩගින්නේ හිටියේ... වෙලාවට ඔයා ආවේ .."

ඉතින් මම මේ පිය තෙපුල් වලට රැවටිලා උන්නේ. එක දවසක් මම එහෙම ඇවිත් කෑම එක එයාගේ අතට දීලා ගියා මුණ ටිකක් හෝදගන්න කියලා.. තව රූම්  එකක ඉන්නවා අපේ අතිජාත මිතුරියක්.. ඇය  දැන් ලෝයර් කෙනෙක්..
 එයත් සින්ක් එක ගාව හිටියා..

"අනේ උපේක්ෂා , ඔයා අද පරක්කු උනාද? පව් අනේ සුලෝ අක්ක ( අපේ අක්කගේ නම කෙටියෙන්) අන්න බඩගිනි කියා කියා නහයෙන් අඬ අඬ හිටියා... මමත් එක්ක පාන් කෑවා ඊට පස්සේ.. "

මගේ කට ඇරුනද නැත්තම් ඇස්  දෙක ලොකු උනාද කියල මට මතක නැහැ.... අත  හෝදන එක අතැරලා මම දිව්වා කාමරේට මේකි අපේ කෑම  එක කන හැටි බලන්න... කියන්න දුකක් නැහැ, ගෙනාපු කොත්තුවෙන් හරියටම බාගයක් බෙදාගෙන එයා වැඩ!!!

 ඔන්න ඔහොමයි සිද්දි කීපයක් කිව්වොත්... තව තියෙනවා.. ඒවා පස්සේ කියන්නම්... නැත්තම් අර රවී අය්යාගේ 'ගුරුවෙරි ගේ කතාව ' වගේ වෙනවා නේ ... හි හි හි


මේ සොඳුරු බෝඩිම හැරදාලා අපේ අක්කා උපාධියත් අරං ගෙදර දිව්වා.. මේ බෝඩිම ටිකක් දුරයි අපේ කැම්පස් එකට. ඒ උනාට හෙනම ජොලි! මක් කොරන්නද.. දුර වැඩි හින්දත්, දැන් ඉතින් තනියෙන් ඉතිරි අවුරුදු ටික අදින්නත් ඕනේ හින්දා ගියා කැම්පස් එක ගාවම බෝඩිමකට... හි හි.. වැඩක් නැහැ කියලා... යකාගේ හැටියටලු නේ විමානේ ... ඒකත් පිස්සු බෝඩිමක්!

 ඒ ගැන පස්සේ කියන්නම්..මේ බෝඩිම කොටින්ම කිව්වොත් 'ආකියොන්ගේ' බෝඩිමක්.. ඒ කියන්නේ අපේ කැම්පස් එකේ ආකිටෙක්චර් උන් පුරෝපු තැනක්..

 මගේ කරුමෙට මම  ඒ වෙනකොට උන්ට මෙතරම් පිස්සුවක් තියෙන බව වත්, උන් එක්ක වසන්න මෙතරම් අමාරු බවවත් දැනගෙන උන්නේ නැහැ නේ... ( ආකියෝ සමා වෙන සේක්වා..!! ඔය කොයි ආකියාටත් මම මේ කතාව මුණටම කියලා තියෙනවා.. ඒත්  එක ඇත්තක්  තියෙනවා.. ඒ තමයි, මට හම්බවුණු සොඳුරුම මිනිස්සුත් මට මුණ ගැහුණේ  මේ ආකියෝ අතරේ!) 

අපේ කාමරේ ඇරුණුකොට තව කාමර දෙකක් තිබ්බා . අල්ලපු කාමරේ හිටිය 'ආකියක්' තමයි අන්තිමට මගේ තදම ෆිට් එකී උනේ... කියල වැඩක් නැහැ එය ගැන නම්!!! කතා ගොඩාරියක් තියෙනවා හි හි හි...




උගේ නම 'පැන්ඩා'!!!

නමෙන්ම හිතාගන්නකෝ පෙනුම!
හිනා කන වැඩේ කියන්නේ මෙතනට එන හැමෝටම පෙට් නේම් එකක් තිබ්බා. කව්රුත් නෙවෙයි ඒ පෙට් නේම් එක දන්නේ. මේ පැන්ඩා ! මටත් නමක් වැටුනා.. ඒක  තමයි 'සැන්ඩි' ..... ඔන්න ඉතින් එව්වා මෙව්වා බොන එවුන්ට මතක් වෙයි එක එක හැඩේ ජාති.... තව එකෙක් 'බට්ටා' ( දෙය්යෝ දනී මෙව්වා මොන තේරුමෙන් දානවද කියලා.. ඌ නම් පොඩ්ඩක්වත් බට්ටෙක් නෙවි, මටත් වඩා උස කෙල්ලෙක්..)  

බට්ටා හිටියේ මගේ කාමරේ, පැන්ඩා එක්ක තව දෙන්නෙක් ඒ කාමරේ. තව පුංචි රූම් එකක් තිබ්බා. ඒක  මම ඇවිත් දවසක් විතර යනකල් ඉන්න කෙනෙක්වත්, ඇරලා තියෙනවා වත් දැක්කේ නැහැ. 

බෝඩිමට ගිහින් එළඹුන පලවෙනි සති අන්තයේදී මට ඒ ගල් ගුහාවේ හිටපු කෙනා දකින්න ලැබුනා අපි කෑම කන මේසේ ලගඳි .සුපුරුදු විදියට සෙනසුරාදා ලෙක්චර් එක ඉවර වෙලා කැම්පස් එකේ දොරවල් වහනකොට මම බෝඩිමට සැපත් උනා. 

අපි උඩ  තට්ටුවක තමයි හිටියේ. පඩිපෙළ නැගගෙන ආවම, පළවෙනියට තියෙන්නේ.... බිත්තිය! දකුණට හැරුණම කෑම  මේසේ ,  වමට හැරුනම නාන කාමරේ. කෑම මේසේ පහුකරගෙන යන්න ඕනේ අපේ කාමර වලට. 

මම පඩිපෙළ නැගල දකුණට වංගුව ගනකොටම ඒ අපුරු රුපය මම දැක්කේ... මම කොහොමද විස්තර කරන්න පටන්ගන්නේ???? මම මුලින් දැක්කේ කලුපාට ගුලියක්. මගේ දිහාට හැරුන ඇස් දෙක හරියට කළුපාට පර්වතයක හයි කරපු ෆොග් ලයිට් දෙකක් වගේ. ලොකු, ඒ වගේම සුදුපාට පසුබිමේ තිබ්බ ඒ ඇස් ! මට අදටත් මතකයි.....කොට, මහත, කළුම කළු ඇය... තමයි 'බතලයා' !!!!! (ඇති යන්තම් පැන්ඩා  ගේ නම ඌට ගැලපුනා ඒ පාර නම් )

එක පාරක කිසිම කෙනෙක් එක්ක යාලු නොවෙන, නමුත් යාලු උනොත් නම් ලේසියෙන් ඌව අත්නොහරින මම කලේ, දැක්ක දර්ශනය හිතේ තියාගෙන එහෙම්මම කාමරේට ගියපු එකයි. ඒත්  පැන්ඩා  එක්ක ඒක  ලේසි වැඩක් නෙවෙයි... එය හරියට අර 'අයිස් ඒජ්' එකේ ඉන්න 'zid' වගේ කෑකෝ ගහගෙන කාමරේට කඩන්පාත්වෙන එකයි..

 වැඩි වෙලාවක් ගියේ නැහැ පැන්ඩා  සුපුරුදු විදියට දුවන් ආව.. නිකන් නෙවෙයි.. කොන්තරාත්තුවක්  අරං

"අනේ සැන්ඩි , මේ බතලයටත් එක්ක හදමුකෝ අද තමුසෙගෙ අර කෑම වට්ටෝරුව"

ඔය කෑම  වට්ටෝරුව ගැන තියෙනවා කතා කීපයක්ම.. 

ඒ දවස් වල කෙට්ටු වීම පරම ආදර්ශ පාඨය කරගෙන උන්නත් මෙලෝ විදියකින් ඒක  අනුගමණය නොකරපු පැන්ඩා කලේ ,අහුවෙන අහුවෙන ඕනෙම දෙයක් අර හා හා හරි හාවා එකේ ඉන්න 'තස්මේනියන්  ඩෙවිල්' කනවා වගේ ඇදල ඇරලා , තමාගේ ශරීරයේ මහත ගැන වටේ උන්ට දොස් කියන එකයි.  

එළවලු තම්බන් කන්න කියලා කිව්වට මු නෙවෙයි තම්බන්නේ.... අන්තිමට මම තම්බන්න ගත්තා... පැන්ඩා  කරන්නේ මම තම්බලා හදලා, බෙදන්න හදනකොට දුවන් ඇවිත් උගේ පංගුව කාගෙන කාගෙන යන එකයි...

 පස්සේ තව රස කතා කියන්නම්කො ඒ ගැන... පස්සේ හරිද?

මම ඉතින් සුපුරුදු පරිදි එළවලු තම්බන වැඩේ පටන් ගත්තා. ඔය කෝකටත් අපිට තිබ්බේ හිටරේ විතරයි.. මම ඉතින් කෑම මේසේ එළවලු කපනකල් පැන්ඩා පොර ටෝක් දිදී මේසේ වටේ තියෙන පුටුවක වාඩිවෙලා ඉන්න එක කරනවා. 

එදත් එය ඒ වැඩේ .. තොරතෝංචියක් නැතුව කියවන පැන්ඩා  ගාවින් අර මම කියපු 'බතලයා' ගල් පරුවතේ වගේ වාඩිවෙලා හිටියා.

 මම හෙමිට එයාගේ හැසිරීම නිරීක්ෂණය කලේ දැකපු ගමන් මේ අමුතු කෙනාව මගේ හිතේ අමුත්තක් ඇති කරපු හින්දයි. කිසිම හල හොල්මනක් නැතුව ඔහේ ඉන්නවා... කළුම කළු එයාගේ ඇස්  වල තිබ්බේ හිස්, වියළි , අමුතු බැල්මක්. කිසිම හිනාවක් නැහැ. මේ ඔක්කොටම වඩා පුදුමේ කියන්නේ මේ නොනවත්වා කියෝන පැන්ඩා කොහොමද මේ වගේ ගල් පරුවතයක් එක්ක යාලු උනේ?


එළවලු තැම්බිල්ල ගැන විස්තර තව තියෙනවා ඒවා පස්සේ කියන්නම්.. මට කියන්න ඕනේ කලේ 'බතලයාගෙයි' මගෙයි පලවෙනි හමුවීම ගැන. ඒ වගේම තම්බපු එළවලු කනකල් කිසිම සද්දයක් නැතුව එයා හිටියේ මැටි පූසෙක් වගේමයි...පිටින් නොපෙන්නුවට මට හරි කුතුහලේ, මෙයා  මේ වගේ බෝඩිමක ඉඳන් මොකද්ද කරන්නේ කියලා... ඉගෙන ගන්නවා වත්ද? රස්සාවක්? අපෝ කීයටවත් වෙන්න බැහැ .. මේ වගේ කෙනෙක් කොහොමද රස්සාවක් කරන්නේ??? පුදුම අමුතුයි. අනේ මුකුත් හිතන්න එපා මෙහෙම කිව්වට, (මමත් කළුයි තමයි) එයාට තිබ්බෙත් හරි පුදුම කළු හමක්... කළු කියන්නේ දම් පාටට පොඩ්ඩක් ළඟයි ..  (හරියට කියනවා නම් අර ඩුඩ් ගේ වගේද මන්ද! ඔහ් ... ඇහුනද දන්නේ නැහැ) 

ඉස්කෝලෙන් අයින් උනාට පස්සේ මම ප්‍රසිද්ධ තැනක තිබ්බ මනෝවිද්‍යාව පාඨමාලාවක් එහෙම හදාරලා  හිටපු මට ,කවුන්සිලින් ගැන හොඳ දැනුමක් වගේම හැකියාවකුත් තිබ්බා.

ඔන්න තම්බපු එළවලු කන වෙලාව ආව.... සුපුරුදු පරිදි පැන්ඩා එයාගේ පිගානට කොත ගහලා බෙදාගෙන, වාඩි උනා මේසේ .. බතලය එයා ගාවින් ළගම පුටුවේ.

මෙලෝ සද්දයක් නැතුව ඔන්න බතලයා කන්න පටන් ගත්තා...'ටකස්.. ටකස්' හරියට අර ලී වංගෙඩියක් ඇතුලෙන් කොටනවා වගේ සද්දයක් එනවා.. නොනවත්වාම... මම එතරම් ගණන් ගත්තේ නැහැ

"ඇහෙනවද සැන්ඩි බතලයාගේ හපන සද්දේ?? එයා හපනකොට හකු දෙක එකට වදිනවා.. එතකොට ඒ සද්දේ එන්නේ"

මම අහන්නත් කලින් පැන්ඩා කිව්ව දෙයින් මම පොඩ්ඩක් පුදුම උනා කිව්වොත් ඇත්ත.. 

හකු වදිනවා කිව්වා?


To be cont....

Wednesday, February 5, 2014

33. බිස්නස් නම් බිස්නස්...

මම කතාවක් ලිව්වම තව කතා කීපයක් මතක් වෙනවා. එකයි එක දිගට ලියාගෙන යන්නේ.. (ඔන්න ඉතින් පලු අරින්න කලින් කිව්වා....)

ගොඩක් කතා මට මතක් වෙන්නේ මගේ අවුරුදු 4ක් විතරක් ගෙවුණු ඉස්කෝලේ ගැනමයි.. ඒ ඇයි  කියන්න මට හිතා  ගන්න බැහැ . මම කරපු රහස්, ඒ වගේම ඉන්ටරෙස්ටින් වැඩ උනේ එහෙදි හින්දා  වෙන්නත් පුළුවන්.
ඒ මොන හේතුව තිබ්බත් මම මෙව්වා ලියන්නේ මට කවද හරි අමතක වෙයි කියල බයටමයි මොකද, මම පුංචි කාලේ පිටින් නිහඬ, ඇතුලතින් දොඩමළු චරිතයක් හින්දා මටම පුදුමයි මම මේවා කළාද කියලත්.. හි හි... කව්රු මොනවා හිතුවත් මම ලියනවා ඒ හින්ද ...

Monday, February 3, 2014

32. පුස්තකාලේ කතා ...

මම ඉස්සර පොත් ගුල්ලෙක් කිව්වොත් වැරැද්දක් නැහැ. දැනුත් පොතක් ලැබුනොත් ( මගේ ටයිප් එකේ පරිවර්තනයක් වගේ එකක්) මම ඒක කියවන්නේ එක හුස්මට.
අපේ ගෙදර ඉස්සර ඉදන්ම තිබ්බේ පොත් වලට අනුබල දෙන වටපිටාවක්. පොත් රාක්කයක් , කියවන්න තැනක් වගේම වෙලාවකුත් තිබ්බා. ඒ දවස් වල දැන් ළමයින්ට වගේ ඉවරයක් නැති ටියුෂන් තිබ්බේ නැහැ නේ....

මම මිට කලින් දවසකත් ලියල ඇති මගේ පරණ ඉස්කෝලේ ගැන.... ඒ ඉස්කෝලේ ඒ දවස්වල දුප්පත් උනත් දැන් නම් හොදට තියෙන බව තමයි ආරංචිය.. ඒ දවස්වල අපිට ඉතින් පුස්තකාලේ වෙලාවක් තිබ්බා පොත් කියවන්න කියල.. පුංචිම පුංචි කාමරයක, කොනට වෙන්න තිබ්බ ඒ පුස්තකාලේ පොත් තිබ්බේ ටිකයි. මට මේක හිතට හරි දුකක් තමයි ඇතිකළේ...