ගොඩක් කාලෙකට පස්සේ මට හිතුනා මම කොච්චර දුරට මගේ ලිවිඉම මඟහැරගෙන තියෙනවාද කියල.
මම ලිව්වේ මගේම තෘප්තියට කියන එක මම හැමදාම කිව්ව දෙයක්. ඒ හින්දා මම ලිව්වේ කිසිම ආයාසයකින් නෙවෙයි. හිතුවා ; ලිව්වා ; දැම්මා.
ඉස්සර ඉඳල මාව කියවපු අය දන්නවා ඇති මට බනිනවා දවසට පොස්ට් දෙක තුන ස්ස්සනවා, ඩිංගක් හෙමින් ලියපළ් කියල ! හෙහ්... අන්න එහෙම ඉඳල ජිවිතයේ එක කාලෙකදී මම මුහුණ දීපු දේවල් එක්ක මට මගේ සමහර හැඟීම් එක්ක , ලිවිම කරගන්න බැරි වෙනවා.
ඒ ගැන මම ලියන්නම්. කට්ටිය බලාගෙන ආ ! හෙහ්..
අද මට මේ කතාව මතක් උනේ, මම කියවපු යමක් හින්දා. ඒ තමයි තමන්ගේ විස්වාසවන්ත රියදුරෙක් ගැන ඔහුගේ ස්වාමියා/ ස්වාමි දියණිය කියපු කතාවක් දැකලා.
මට ඒක දැක්කහම / ඇහුවම මතක් උනා මම පුංචි කාලේ අපිට හිටපු රියදුරා. අපි එයාට කිව්වේ සීයා කියලා.
එයාට අපි කතා කලේම ඒ නමින්. අපි ඒ තරම් ආදරෙයි.
අපේ ගෙදර තමයි ඒ කලේ ඒ පළාතටම තිබ්බ එකම ස්කුල් වෑන් එක තිබ්බේ. ඒ වෑන් එකේ වැඩකලේ සියා. ඒ සීයා අපිට පහල ගෙදරක හිටපු 'ටීච' කියහ හඳුන්වපු ගුරුවරියකගේ තාත්තා. ඒ ටීචට මගේ වයසේ දුවෙකුයි, ඊට බාල පුතෙකුයි හිටියා. එතර සල්ලිය බෑගය නැති පවුලක්. එය ගෙදර මැත්ස් ටියුෂන් දුන්නා.
සීයා පෙනුමෙන් කිව්වොත් සුනිල් හෙට්ටිආරච්චි වගේ. ඊට වඩා උස සහ කෙට්ටුයි. එයා පාන්දර අපේ ගෙදරට fresh milk බෝතල් දෙකක් ගේනවා එයාගේ ගෙදරින් දුවපු. පාන්දර 4 වෙනකොට අපේ ගෙදර දොර ළඟ බෝතල් හඬ ඇහෙනකොට , මගේ රාජකාරිය වෙලා තිබ්බේ හිස් බෝතල් දෙක එතන කලින් තියල, අලුත් බෝතල් දෙක ගෙට ගන්න එක. ඕක මම දන්නා කාලේ ඉඳල මගේ රාජකාරිය. morning person කෙනෙක් නොවුණු මම ඉතින් අපේ ගෙදර ඔය නීතිය වෙනුවෙන් සටන් කලේ නෑ. එහෙම හැදුනේ නෑනේ! හෙහ්..
මොන කාලගුණයක් තිබ්බත් ඔය කිරි බෝතල් දෙක වැරදුනේ නැහැ.
ඊට පස්සේ සීයා පාන්දර එනවා ස්කුල් වෑන් එක ගෙනියන්න.
ඒ දවස්වල මම ඉස්කෝලේ ගියේ දවල් 11 ට. මම හිතන්නේ ඒ දවස්වල අපේ ඉස්කෝලේ ඉඩ තිබ්බේ නැති නිසා අපේ පන්ති පටන් ගත්තේ 11 ට. උදේ රන් එක ඉවර වෙලා සීයා එනවා මාව ගන්න. සීයා මාව කවදාවත් පයින් යවනවා මතකයක් නෑ. වඩාගෙන ගෙනිහින් ඉස්සරහ සීට් එකේ තියාගෙන ගිහින්, වඩාගෙන තමයි ගෙනිහින් ගේට්ටුව ගාවින් තියන්නෙත්. ඒ තරම් ආදරෙයි. අපේ අම්මට හිටපු විස්වාසවන්තම කෙනෙක්. අපේ අම්මට දුවෙක්ට වගේ ආදරෙයි ; ගෞරවයයි.
ආයෙත් මගේ ඉස්කෝලේ ඉවර උනාම සීයා එනවා හරිම වෙලාවට මාව ගන්න. ආයෙත් මාව වඩාගෙන එක්කෙගෙන යන්නේ.
ඊට අමතරව සීයාගේ ගෙදර ඉන්න ගව මඩුවෙන් වැඩියෙන්ම ප්‍රයෝජන ගත්තේ අපේ අත්තම්ම. ( අම්මගේ අම්මා) අපිව යවනවා ගොම එකතු කරන්න කියලා ගෝනි එහෙම දීලා. මට ඒ ගව මඩුවේ සුවඳ තාම මතකයි. ඊට අමතරව ඒ ගෙදර තියෙන සියඹලා ගහ පතුරු ගහගෙන, අමු සියඹලා වගේම අත්තම්මට ඕනේ සියඹලා පොතු කපාගෙනත් එනවා. සීයාගේ නෝනාත් අපිට හරිම ගෞරවයෙන් තමයි සැලකුවේ.
මගේ ඉතින් නුහුගුනෙනේ!
3 වසරට එද්දී වගේ මට මේ හවස සීයා එන එක මාරම වදයක් උනා. අහන්ඩෙපා ඇයි කියලා.. එහෙම තමයි! මට ඕනේ වටපිට බල බල, බුල්ටෝ කකා ආතල් එකේ යන ගමනක්. අපේ ගෙදර ඉඳල ඉස්කෝලෙට තිබ්බේ කිලෝමීටර් 2-3 ක් මම හිතන්නේ. සමහර දවස් වලට මම සීයා එනකොට හැංගිලා ඉන්නවා. සීයා මාව හොයලා හොයලා ගෙදර යනවා. දැන් වගේ ෆෝන් තිබ්බ කාලෙකුත් නෙවෙයි. මම කරන්නේ සීයා යනවත් එක්කම පාරේ ගිනි කාස්ටකේ පයින් ගෙදර එන්ඩ ගන්නවා. ගෙදර ඒ දවස්වල අපේ අම්මගේ අම්මා තමයි commanding officer විදියට හිටියේ. කාස්ටකේ ඇවිදන් ඇවිත් හොරාට ගෙට රිංග ගන්න මාව එයාට නෝටිස් වෙන්නේ නැහැ. අහන්ඩෙපා ඇයි කියල... හෙහ්.. අපේ අත්තම්ම එහෙම තමයි.. කොල්ලා පරක්කු උනොත් තමයි ගම වටේ දුවන්නේ.
ඔහොම කාස්ටක අව්වේ ඇවිත් එක දවසක් මට කලන්තක් ඇල්ලුවානේ ගෙවල් ළඟදී ! හෙහ්... අනේ ඉතින් එතක කඩේ හිටපු අන්කල් කෙනෙක් මාව වඩාගෙන ගිහින් වතුර ඉහලා, කන්ද බොන්ඩ දීල ගෙදරත් ගෙනිහින් දැම්මා.. අදටත් මම ගෙදර යනකොට කතා කරලා යන්නේ එයාට..
ඔය කාලේ මම හෙනම ඉබ්බියක්! මටම පුදුමයි මම කරපු දේවල් ගැන හිතද්දී!! මම ඒ ගැන ලියලත් ඇති මෙතන.
ඉතින් ඔන්න ඔහොම කාලය ගෙවෙද්දී, අපේ අම්මට ආරංචි වෙනවා සීයා දවල්ට එයාගේ දුවගේ ළමයි වාහනේ දාගෙන එහෙ මෙහෙ යනවා කියලා. වැඩේ බලද්දී අතටම මාට්ටු උනා. එයා කරන්නේ මාව ගන්න ගිහින් මම නැති උනාම කෙලින්ම හෝ මම ගෙදර දාලා වහාම ගිහින් ඒ ළමයි දෙන්නාව , ටීච එක්කම ගෙදරට ගෙනත් බස්සන එක. ඒ අය හිටියේ සෑහෙන දුර ඉස්කෝල වල. ටීච ඉගැන්නුවේ දුව යන ඉස්කෝලේ මයි.
ඔන්න වැඩේ පත්තු උනා!
ටිකක් විතර මල පනින අපේ අප්පච්චි වහා ක්‍රියාත්මක වන පරිදි සීයා තනතුරෙන් අයින් කළා වෙන්න ඕනේ. ඒත් අපි දිගටම කිරි බෝතල් ගත්තා. වැඩි දවසක් නොගිහින් එයා කිරි වලට වතුර දාන එක පටන් ගත්තා. ඒකෙන් පස්සේ ඒක නතර කළා වෙන්න ඕනේ.
ඕකයි කතන්දරේ!
මම කල්පනා කලේ එහෙම විස්වාසවන්තව ඉන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඊටත් ඒ විස්වාසය කඩ කරලා තියෙද්දිත්, අපි එයාට කිරි බෝතල් ගන්න එක නතර නොකලාමවත් ටිකක් හැදෙන්න තිබ්බා නේ?
තවත් දෙයක් කියන්න ඕනේ.
එයාගේ දුව වෙච්ච ටීච අදටත් ඉන්නේ පහල ගෙදර. ඒ කාලේ එයා ගෙදර ගැහෙ හැදෙන පොලොස් ගෙඩිය , කොස් ගෙඩිය, කොස් ඇට වගේ දේවල් කඩේට විකුණනවා. ඒ පුතා අපේ ගෙදර සෙල්ලම් කරන්න ආවහම පොලොස් උයල තිබ්බම කෑම දෙනවා, ඒ ළමයා පොලොස් කන්න හරි ආස හින්දා. මම හිතන්නේ ටීච ඒවා විකුණනවා , ගෙදර හදන්නේ නැති හින්දා. පස්සේ කාලෙක එයාට දුවෙකුත් ලැබුනා. කොල්ලා ඉලන්දාරියා උනාම ගෙදර වැලි, ඌ එක එක ඒවා කන්න ඕනේ කියනවා කියල අපේ අම්මට කිව්වම අපේ අම්මා ඔය මොනවාහරි දෙනවා.
මම OL කරන කාලේ ටියුෂන් දන්නේ නෑ. යන උනේ නැහැ මම හිටියේ ස්පෝර්ට්ස් උණ හැදිලානේ.. මගේ වයසේ හිටිය ඒ ගෑනු ළමයා සෑහෙන්ඩ ටියුෂන් ගිහින් හොඳට පාස් වෙලා නුවර තිබ්බ හොඳ ඉස්කෝලෙකට ගියා. AL වලට යන සමහර පන්ති වලට මට හම්බුනත් කවදාවත් හිනාවෙන්නේ වත් නැහැ. ඒ පන්ති වල මම ඉන්න පේලියට වඩා ඉස්සරහින් ඉඳගන්න එක තමයි එයාගේ ලොකුම ටාගට් එක වෙලා තිබ්බේ. මට ඒක තේරුනේ එයාගේ ඉස්කෝලේ හිටපු මගෙත් යාලුවෙක් ඒක කියද්දී, මට පුදුම හිතුනා. හෙහ්... හිනා තමයි.
ඔය අතරේ අපේ අම්මගේ ඩේලියා වගාවට සෑහෙන ලොකු ගොලුබෙලි ප්‍රහාරයක් එල්ලවෙන්ඩ ගත්තා. හැමදාම උදේට තඩි හමුදාවක් පාත්තියේ. අපේ අම්ම ඕකට සෑහෙන අවුලෙන් හිටියේ. එයා උන්ව මරන්නේ නැහැ. එකතු කරලා වෙලට ගෙනිහින් දානවා. ඒත් ඉතින් හැමදාම කරන්න බැහැ , එයත් උදේ වැඩට යනවානේ. ටීච හෙන ගෙමෙන් හිටියේ එයා ටීච හින්දා පළාතේම අය එයා කියන දේ අහන්ඩ ඕනේ වගේ. ටිචගේ මහත්තය ටිකක් විතර නොන්ජල් මනුස්සයෙක්. අපේ ගෙදර CCTV හයි කළා හදිස්සියේම. එතකොට තම ගොලුබෙලි හමුදාව එන හැටි මාට්ටු උනී. ටිචගේ මහත්තයා වැඩට යන්නේ ටිකක් පාන්දර. ඒ යනකොට ලස්සනට ෂොපින් බෑග් එකක දාපු ගොලුබෙල්ලෝ ටිකක් අපේ ගෙදර ඒ දවස්වල බාගෙට හදල තිබ්බ තාප්පෙන් ඇතුලට දාල යනවා. හෙහ්... අපේ අම්මා සාමකාමී කෙනෙක් හින්දා මුකුත්ම කිව්වේ නැහැ. ඉක්මනින් තාප්පේ උස්සල බඳින්න තීන්දු කළා විතරයි.
ටිචගේ ලොකු දුව පේරාදෙණිය කැම්පස් ගියා. එයා දැන් ඉන්නේ කැනඩාවේ. පොඩි දුවත් NASA එකේ කියලා කියනවා ඇහුනා. පුතා ඒ ගෙදරම පදිංචි වෙලා ඉන්නවා. මට හිතන්නේ ඒ පවුල ඉස්සරට වඩා හොඳ ආර්ථික තත්වයක් ඇති කියල.
එත් මම අවුරුදු දෙකකට විතර කලින් යද්දිත්, ටීච හම්බුනා. හොඳටම වයසට ගිහින්, මාව දැකල අහක බලන්න බැරි හින්දා වගේ හිනා උනා වගේ. අතේ තිබ්බ පෝර බෑග් එකක් වගේ. අම්ම කිව්වා තාමත් ගෙදර පොලොස් ගෙඩිය අරගෙන කඩේට දෙන්න යනවලු. පුරුද්ද අතාරින්න බැරුව ඇතිනේ. එක්කෝ ගෙදර ඒවා හැදුවට කන්න කෙනෙක් නැතුවත් ඇති.
පහසු ළමා කාලයක් ලබන්න උපේක්ෂා වාසනාවන්ත වෙලා. මම මුළු පාසැල් කාලයම ගියේ බස් වල. මුල් කාලයේ CTB බස් පමණක් තිබ්බ නිසා ඒක ලොකු කට්ටක්.
ReplyDeleteඅපිත් ඔහොම වාහනේක තමයි පොඩිකාලෙ ඉස්කෝලෙ ගියේ. හැබැයි කාරෙකක් නෙමෙයි, ටැන්ටු කරත්තයක්. ඒ කියන්නේ හතරැස් වහලෙ තියන බක්කි කරත්තයක්!
ReplyDelete