Thursday, May 14, 2015

175. දැරියක සුසුම්..







නටමි , ගයනෙමි
තුටු කරන්නට
අයෙන් නෑසිය මිතුරු කැල 'ඟින්
නමුදු පෑරෙන බැවින් වණයද
හැකිද නොඑනට ආයෙමත්?

මට නොමැති, ඔබට ඇති
දෙමව්පිය, නෑසිය අසිරියෙන්
නගද්දී කිරි සිනහ හඬ ඈ
හිතේ කහටක් නැතිය , දුකමෙන්






නිමිත්ත: 
තමන්ගේ දුවගේ උපන්දිනය සමරන්නට ළමා නිවාසයක් තෝරාගත් දෙමව්පියන්ගේ ආරාධනයෙන් මමත් ඒ අවස්ථාවට සහභාගී උනා. ඒ දැරිවියන් අපි වෙනුවෙන් නැටුම් ගැයුම් පවා ඉදිරිපත් කළා. ඒ වෙලාවේ මට කියාගන්න බැරි පුදුමාරකාර දුකක් ඒ දරුවන් ගැන ඇතිවුනා. ඒ ළමයි ළමානිවාසේ ඉන්න නිසා නෙවෙයි. අපි වෙනුවෙන් නටපු ගයපු නිසා. මට හිතුනේ රිලව් නටවනකොට බලාඉන්න ප්‍රේක්ෂකයෙක් වගේ. ඇත්තම කියනවා නම් අපහසුතාවයක්.

මම මේකෙන් අදහස් කරන්නේ නැහැ දරුවන්ගේ උපන්දින වලට ඒවගේ තැන්වලට උපකාර කරන එක කරන්න එපා, ඒක නරකයි කියල. ඒක හරි උතුම් වැඩක් ( නිකම්ම බොන පාටියක් හරි නාඩගමක් හරි නටනවට වඩා) මට ඒ වෙලාවේ හිතුනේ ඒ දරුවන්ට නැති දේවල් එයාල ඉස්සරහටම ගෙනත් 'මෙන්න ඔයාලට නැති උනාට අපිට තියෙනවා' කියල කියනවා වගේ නේද කියල... තමුන්ගේ උපන්දිනේට උම්මා දිදී සනසන දෙමවුපියෝ, සුබපතන්න නෑයෝ පිරිවරාගෙන ඉන්න ඒ මගේම මනුස්ස දුවක්?? එහෙම නොවෙන්න පුළුවන්. ඒ දරුවන් එහෙම හිතන්නේ නැත්තම් මට සැනසීමයි. එහෙම නොහිතේවා !!

15 comments:

  1. මන් හිතන්නෙ ඒ දරුවෝ එහෙම හිතන්න නෙතුව ඇති. මේ පිස්සු උපේක්ෂට හිතුනට.. :P .

    එයාලට එහෙම හිතුනත් ඒවා ට වැඩියෙන් ලැබෙන සතුට හින්ද එයාලට දැනෙන්නෙ නැතුව ඇති. . කාත් කව්රුත් නැති එයාලට බලන්න ආපු අයගෙන් ලැබෙන ආදරේ වටිනවා ඇති. ඒ වෙනුවෙන් නටන්න නෙමෙයි කරේ උනත් තියන් ඉදියි...

    ළමා නිවාස වල විතරක් නෙමෙයි. දුප්පත් පාසල් වලට ආධාර දෙනකොටත් එහෙමයි. එයාලට තියෙන්නේ පුදුම සතුටක් උද්යෝගයක් එන අය වෙනුවෙන්. .

    ReplyDelete
    Replies
    1. විශ්වාසද එහෙමමයි කියල? එකෙක්වත් නැද්ද මම හිතපු විදියට හිතෙන්න ඇති? වෙන්නත් පුළුවන්..
      දුප්පත් ඉස්කෝල වලට ආධාර කරනකොට ඊට වෙනස්. එතකොට අපි අපේ තියෙන වැඩකෑලි ඔක්කොම එතනට උස්සන් යන්නේ නැහැනේ නේද? මම මේ කියන්නේ හරි සියුම් දෙයක්. හිතන්න එතන අපි නොහිතාම අපේ දරුවට ආදරේ පෙන්නනවා, හග් කරනවා ඒකෙන් හිත තැලෙන එකෙක්වත් නැහැ කියලද ඔයා කියන්නේ? මට නම් සැකයි.

      හිතන්න ඔයා මේ දැන් බුට් එකක් කාපු හාදයෙක් කියල. කොහොමද ඔයා කොෆි ෂොප් එකක ඉන්නකොට වටේම ප්‍රේමයෙන් වෙලුනු ජෝඩු ගොඩක් ඉන්නවා දැක්කොත්? හිත රිදෙන්නේ නැහැ කියලද කියන්නේ? නැහැම නෙවෙයි කියලයි මම කියන්නේ.

      එයාලගේ නැටුම් ඉදිරිපත් කරන්නේ අපිවත් සතුටු කරන්නනේ. සමහර වෙලාවට සතුටින් නටනවා වෙන්න ඇති, නැත්තම් පාලිකාව කියන නැටුම්?

      Delete
    2. ඇත්ත. හිත් රිදෙන්න පුළුවන්. මේවා දකිද්දීත් හිතෙන්න පුළුවන් කො අපේ ජිවිතේ මෙහෙම නැ කියල . හැබැයි එතන ගියාම එයාලගේ දුක ඇතිනොවෙන්න බස්සි කිව්වා වගේ එයාලත් එක්ක එකට ඉදන් විනෝද වෙනවනම් ඒ දුක දැනෙන එකක් නැ..

      "බුට් එකක් කාපු හාදයෙක් කොෆි ෂොප් එකක ඉන්නකොට වටේම ප්‍රේමයෙන් වෙලුනු ජෝඩු ගොඩක් ඉන්නවා දැක්කොත්?"
      සතුටක් දැනෙයි මන් නම් බේරුනා කියල .. හිකිස්..

      Delete
  2. //ඒ වෙනුවෙන් නටන්න නෙමෙයි කරේ උනත් තියන් ඉදියි.//

    අපේ උපන්දිනවලට පුරුද්දක් විදියට ළමා නිවාසෙකට දානයක් දෙනවා. ඒත් ඒ ළමයි ලව්වා නැතිවෙච්ච අම්මලා තාත්තල ගැන කියවෙන ගීත මේට්‍රන් බලෙන්ම කියවන හැටි, පින් වාක්‍ය කියනකොට ඒ ළමයින්ගෙ මූණුවල තියෙන අපාසුව දැකලම අපිනම් ඔය නැටවිල්ල කරන්න එපා කියල අවුරුදු කීපෙකට කලින් දැනුම් දුන්නා. මන්දා මගෙ හිතේ සතුටත් කුඩු වෙලා යනවා ඒ ළමයි එහෙම අසරණ පාටට සින්දු කියනවා දකිනකොට.

    ඒ වෙනුවට අපේ තාත්තා කලේ ඒ සින්දු කියන නටන වෙලාව නවත්තලා එතන ඉන්න පුංචිම ලමයින්ට ගෙනාපු කෑම අතින් කවන්න පුලුවන්ද අහපු එක. (ඔන්න ඉතින් මට තාත්තව මතක් වෙලා කඳුලු එන වෙලාව.) අවුරුදු හතරෙ පහේ පොඩි බට්ටො සේරම එනවා බත් කවා ගන්න. යනකොට කතන්දර පොතුත් ගෙනියනවා එයාලට. එක පොඩ්ඩෙක් ඉන්නවා එයාට හැමදාම අර පොතකින් කතන්දරයක් කියලා දෙන්න ඕනෙ.

    තව ලියාගන්න අමාරුයි මචං හිතට අවුල්. පෝස්ට් එකකින් ලියන්නම් ඒ විස්තරේ.

    ReplyDelete
    Replies
    1. මමත් ආසා නැත්තේ ඒ අපහසු සිතුවිල්ලට. අපිව උස් ආසනේක තියල, එයාලට දීපු දේවල් වලට පින් දෙනවට මම නම් අකමැතියි. අසරණ බවක් කියනවටත් මම කැමති නැහැ. සමහර පාලිකාවෝ එහෙම කරන්නේ එන මිනිස්සු ආධාර කරවගන්න අනුකම්පාව ඇතිකරගන්න වෙන්නත් පුළුවන් නේද?

      එහෙම හිතන එක පුදුමයක් නෙවෙයි

      Delete
  3. පොඩිළමයි සින්දු කියන්න නටන්න ආසයි තමයි. අපිට පුලුවන් ඒ අය ලව්වා අපි වෙනුවෙන් සින්දු කියවා ගන්නෙ නැතුව, අපිත් එයාල මැදටම වෙලා සින්දුවක් දෙකක් කියන්න. එයාලත් එක්කම නටන්න.

    ඉස්සර අපි සම්බෝධිය (disabled අය ඉන්න තැනක්.)ට දානයක් දෙනවා. අපියි තව පවුලේ මිතුරෝ කිහිපදෙනෙක් එක්ක. එදාට ගිටාර්, බොන්ගෝ එහෙම අරන් ගිහින් එයාල එක්කම සින්දු කියලා නටලා තමයි එන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම 'අහලා තියෙනවා' ඔය කියන තැන මම හිතන්නේ. එයාලට නම් සතුට දෙනකොට බදාගෙන විඳින්නේ. නමුත් මාව නම් කොර වෙනවා ඇතුලෙන් ඊට පස්සේ. මතක් වෙන ගානේ පත්තු වෙනවා, මන්දා මගේ දුර්වලකමක් වෙන්න ඇති.

      අපේ කම්පනි එකෙන් අපි අන්ධ විද්‍යාලෙට ඔහොම කළා. මට පුද්ගලයා වශයෙන් එදා සහභාගී වෙන්න බැරි උනත් මම කන්ට්‍රිබියුට් කළා හිතේ හැටියට. පින්තුර දැක්කම දැනටත් සතුටු හිතෙනවා. මම කියන්නේ එහෙම අවුලක් නැති අනාථ ළමයි ඉන්න තැන් ගැන

      Delete
  4. මගේ දුවගේ පන්තියේ ලඟම යාලුවෝ දෙන්නම ඒ ලඟම තියෙන ළමා නිවාසේ ළමයි. අපේ ගෙදරත් දවස් කීපයක්ම කතා වුනා ඔය වැඩේ කරන්න ඒත් මම එපාම කියුවා.. මමත් අකමැතිම දෙයක් ඔය //මෙන්න ඔයාලට නැති උනාට අපිට තියෙනවා// ... ළමා නිවාසෙට මං කවදාවත් ළමයින්ව එක්කගෙන ගිහින් නෑ..
    කීප දෙනෙක් ඒ වෙලාවට සතුටෙන් නැටුවත් ඔක්කෝම ඊට පස්සේ දවස් ගානක් යනකම් ඕක ගැන හිතල දුක් වෙනවා ඇති..

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ... මම මේ කියන හැඟීම ඔබට තේරෙනවා... 100% මම හිතන්නේ

      ඊට වඩා අපි ඒ දරුවන්ට දිගුකාලින විදියට ( එදාට විතරක් නොවෙන) උදව් කරන්න පුළුවන් නම්, මම හිතන්නේ ඒක වටිනවා.

      Delete
  5. දානෙ දෙන අයට නැටුම් පෙන්නන එක "රිලා නැටුමක්" තමයි. ඕක ඔය ආයතන පාලනය කරන අයගෙ උවමනාවට කරන දෙයක්. එහෙම නැතුව යමක් ලැබුන ප්‍රීතියට හරි තමන්ට සතුටු හිතෙන දෙයකට හරි පොඩි ළමයි නටනව නං නටන්න ඕනැ නිදහසේ ඒගොල්ලන්ට ඕනැ විදියට.

    මට තේරුණ දෙයක් තමයි ලමා නිවාස වල ඉන්න ලමයි ඉන්නෙ බොහෝ හැගීම් තමාවිසින්ම යටපත් කරගෙන. මෙකද ඒවා විදින්න ඒ අයට බැරිබව ලමයි විසින්ම හරි ඒ අයව පලනය කරන පාලකයන් විසින් හරි එත්තුගන්නල තියන හින්දා.

    අපේ ගෙවල් ලග අක්ක කෙනෙක් ඉන්නව එයා උගන්නන ඉස්කෝලෙට එක ලමා නිවාසයක ලමයි එනවා. ඒ ලමයි එයාට කියනවලු දානෙ දීල ගියාට පස්සෙ ලමයින්ට දුන්න දේවල් ආයතනය පාලනය කරන හික්ෂුන් වහන්සේ අරගෙන කබඩ එකක දානව කියල. සමහර විට ලමයි නොදැනුවත්ව ඒවා විනාස කරන හින්දා වෙන්න ඇති. හැබැයි ඒ ලමයින්ට එක්සසයිස් පොත් පැන්, පැන්සල් දෙන්නෙ ඉස්කෝලෙ ගුරුවරු හා ඔවුන්ගෙ හිතවත් අය.

    ReplyDelete
    Replies
    1. වෙන්නත් ඇති... සමහර වෙලාවට එහෙම නටන්නේ සතුටින් වෙන්නත් පුළුවන්. මට නම් ඒක බලවත් අපහසුතාවයක්.

      හැඟීම් යටපත් කරගෙන කියන කතාව ඇත්ත. මම 'උපකල්පනය' කරනවා විතරයි. නමුත් මම ඒත් එක්කම හිතන දෙයක් තමයි, එහෙම උනහම කාලයත් එක්කම අසංවේදී වෙන්න තියෙන ප්‍රවනතාවය වැඩියි.

      පාලනය කරන අය එහෙම කරන්නේ පරිස්සම් කරන්න ( දෙන දේවල් , මතු ප්‍රයෝජනය සඳහා සුරක්ෂිත කිරීම) වෙන්න පුළුවන්. වැරද්දක් පේන්නත් නැහැ, නමුත් හිත හිදෙන ගතියක් නැතුවාම නෙවෙයි නේද? ඉගෙනගන්න පොත් එහෙම නොදෙන එක නම් ගැටළුවක්. එක්කෝ ඒවා ලැබෙන්නේ නැතුව ඇති, නැත්තම් වෙනත් අවුලක්. හ්ම්ම්ම් හ්ම්ම්ම්

      Delete
  6. ළමා නිවාසේ නටන ළමුන්ගේ නැටුම් වගේ තමා .......ඒ දවස් වල වැලිකඩ කාන්තා අංශයත්.....ඒකෙ ඉන්න අයත් හැමෝටම නටල පෙන්නනවා. පරිපාලනේ අණ දීම තමයි, මේ ආයතන දෙකටම මෙහෙම කරන්න හේතු උනේ. ඇත්තටම අපි ඒවා බලල සැනසුනාද කියන්නකෝ...... මට මතක් උනේ ඒක . මේ post එක දැම්මම.

    ReplyDelete
    Replies
    1. රැඳවියන් ගැන නම් අහන්න දෙයක් නැහැ. කියන දෙයක් කරලා, නටන්න කියන නැටුමක් නටනවා ඇරෙන්න මොනවා කරන්නද? එහෙට අහිංසක එකියක් ගියොත් ඉවරයි මම හිතන්නේ.

      අපි ඒ විඳින්නේ සතුටක් නෙවෙයි නේද? කෘර වින්දනයක්... ඒකෙයි රිලා නැටුමෙයි වෙනසක් නැහැ මටනම්

      Delete
  7. ඇත්තටම උපන්දිනයක් සමරන්න ළමා නිවාසෙකට යනඑක හොඳ දෙයක් නෙමේ තමා. ඒ ළමයින්ගෙ හිත් රිද්දල අපි සතුටු වෙන එකේ වැඩක් නෑනෙ. ඊට වඩා හොඳයි තමා ළමයින්ගෙ අනාගතේ වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම්. කෙටි උනත් හොඳ නිමිත්තක්.

    ඔයාගෙ බ්ලොග් එක හොයාගත්තෙ අර සජ්ජගේ පෝස්ට් එකේ දාල තිබ්බ ලින්ක් එක හින්දා. බ්ලොගර් ප්‍රොෆයිල් එකට ගියාට ඒකෙ බ්ලොග් එකේ නමක් නෑ :D.

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේ මට ඒ ගැන හිතුන විදිය. නමුත් සමස්තයක් විදියට ගත්තම ක්‍රියාවේ වරදක් පෙනෙන්නට නැහැ නේද? මගේ කරුමෙට මම ආසා නැහැ එහෙම නැටුම් බලලා සතුටු වෙන්න.

      හි.. හි.. ප්‍රොෆයිල් එකෙන් ලින්ක් එක අයින් කළා. ඒකයි හේතුව. ඒ ලින්ක් එකත් දැම්මේ එකපාරට හිතිලා මිසක් ගෙන්න ගන්න නෙවෙයි. මෙව්වා පාලු ගෙදර බිඳින වලං ... හි හි..

      ස්තුතියි ආවට, අදහස් වලට

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...