Wednesday, April 22, 2015

168. ~~~ ප්‍රබන්ධ~~~ - ඉතිරිය



මුල් කොටස 


"පිස්සු කොල්ලෙක්නේ.... "

මම ශිවා දිහා බලලා ඔහුගේ එක උරපත්තකට තට්ටුවක් දැම්ම.

"...... පිස්සු නැතුව ඉන්න ශිවා. දැන් ගිහින් මොනවා කරන්නද?"

මේ වගේ පාලු වත්තක තමන්ගේ නිවාඩුවක් ගතකරන්නට තෝරාගන්න එක තරම් ඔලමොට්ටල වැඩක් මට නම් හිතාගන්න බැහැ. එහෙම දුවන් යන්නේ ලෝකෙන් ඈතට දුවගෙන ගිහින් හැංගෙන්න හේතුවක් ඕනේ උන්ට විතරයි මම හිතන්නේ.

මගේ දිහා පොඩි වෙලාවක් බලාගෙන හිටපු ශිවා මුකුත්ම උත්තරයක් දෙන්නේ නැතුව හිනා උනා. මාව උන්තැනම ගල් උනා වගේ උනේ ඒ හිනාවට. මගේ විලාසය දැක්ක ශිවාගේ හිනාව ඒ එක්කම තොල් පියවිල්ලකින් කෙලවර උනා.

"නෑ මිස්....."

මට නෝනා කියවිල්ල ගැන මම නොයෙකුත් දේවල් කිව්වට පස්සේ ශිවා ස්වයන් තේරීමකින් මාව 'මිස්' කරන්නට හිතලා තිබ්බ.



"..... මාමා මම එනකල් බලන් ඉන්නවා. යේක හොඳනේ නේ.."

මම මොහොතක්වත් හිතන්නේ නැතුව ශිවාගේ එක බාහුවකට හෙමින් වාරු වෙනවත් එක්කම ශිවාගේ හඬ වියැකීගෙන යනවා මට දැනුනා. ඒත් ගල් පිළිමයක් උස්හඬින් හුස්මගන්නවා වගේ මගේ පිට දිගට උණුසුම් වායු ධාරාවක් ඇදිලා යනවා මට දැනුනා.

"මි.... ස්.... "

"ෂ්..... මුකුත් කියන්න එපා..... මුකුත්ම කියන්න එපා..... "

ශිවාගේ කකුලත් නම නොදන්නා සර්පයෙක් විසින් දෂ්ඨ කරන්නට ඇති. ඒ නිසා සිහි විසඤ්ඤව යන්නටද ඇති. එදා ඔහු විසීන් මා ඔසවාගෙන ගියා සේ , මා විසින් අද ඔහුව ඔසවාගෙන යන්නටද ඇති....

*************************************************

ආසන්නම ප්‍රධාන නගරයේ කාර්මික විද්‍යාලයේ අවසන් වසර ශිෂ්‍යයෙකු වූ ශිවා , සෙල්වම්ගේ දුරින් නෑකමට පුතෙක් වන බවත්, පළමු වරට වත්තට පැමිණ ඇති බවත් මම දැනගත්තේ ඉන් පසුවය. දෙමළ උරුවකින් වුවද ශිවා හොඳින් සිංහල කතාකරනන්නට හේතුව එය විය හැකිය. ඒ හැමටම වඩා ඔහු තුල පුදුමාකාර ආකර්ෂණයක් වුයේ මන්දැයි මම නිතර කල්පනා කලෙමි.

සමාජ ශාලා ලෝලියෙකු වූ මගේ මුල් මිතුරන් සියල්ලෝම මා වැනිම පරිසරයකින් හැදී වැඩුණු අයවලුන් මිස මෙසේ දර පලන්නන් නොවේ.

සියල්ල කැටිකර ගත්තද කිසිම විටෙක මම මෙවැනි පෙනුමක් ඇති කොල්ලෙකු දෙස මීටපෙර දෙවරක් බැලුවාවත් මට මතක නැත. එක් තැනකට කේන්ද්‍රගත කරගත නොහැකි දරුණු කඩවසම් පෙනුමක් ශිවාට ලැබෙන්නට කිසිදු සාක්ෂියක් මට තිබුනේ නැති වන්නට තරම් ඔහුගේ මාමා නොන්ඩිය.

ඒවා කිසිවක් මට නොදැනෙන්නට අක්කර ගණනනාවක් පුරා පැතිරුණු දිලිසෙන කොළපැහැති සීතල වතුයාය වගබලාගෙන තිබුනාට සැක නැත.

නම නොදන්නා සර්පයා විසින් කවුරුන් නිර්වින්දනය කළාදැයි මට සැක සහිත වන තරමට මම පිහාටුවක් සේ සැහැල්ලුවෙන් ගතකරන්නට ඇබ්බැහි වීමි.

සිහින් සුළගේ ඇති සෘන්ගාරය උකහා ගනිමින් මම බංගලාවේ මැද මිදුලෙන් පහළට බසිමින් සිටින විට පඩිපෙළ පාමුල පොදියක් සේ උන් කංකානම දැක තිගැස්සුනේ ඇයිදැයි මටම හිතාගන්න අමාරුයි. සමහර වෙලාවට කංකානම මගේ දිහා බලාගෙන හිටපු විදියෙන් වෙන්නත් පුළුවන්. සෙල්වම්ගේ ඇස්දෙක ඉලිප්පිලා , වෙනදට කරේ තියෙන කිළුටු සාලුව අත්දෙක මැද්දේ ගුලිකරගෙන හිටියේ හරිම අමුතු විදියට.

"රෝෂි නෝනා"

"මොකද සෙල්වම්?"

මට වටපිට බැලුනේ ඇයි ? මිට පැයකට මත්තෙන් හමුවූ සෙල්වම්ගේ පුතා නිසාද?

කිසිම දෙයක් කියන්නේ නැතුව සෙල්වම් ආයෙත් මුල වචනෙම කිව්වා. වෙනදට නම් සෙලවම් මෙහෙම 'රෝෂි' කියනකොට මට මගේ ඇතුලෙන් එන හිනාව මට එදා ආවේ නැත්තේ මොකද කියල අදටත් පුදුමයි.

"ඇයි සෙල්වම්.. "

එහෙම කිව්වට මගේ කටහඩත් බැරෑන්ඩි උනා.

"..... පහලට යමු සෙල්වම්. අද ඩඩා තාම ගෙදර."

මොකක් නමුත් අනතුරක සේයාවක් මට අත්දැකීමෙන්ම තේරුන නිසා මම එහෙම්මම පඩිපෙළ බැහැගෙන ගියා. සෙල්වම් නොන්ඩි කකුල තිය තියා මගේ පස්සෙන් එනවා මට ඇහුනා. තරමක් දුර ගිහිල්ල මම නතර උනත් ආපහු හැරුනේ නැහැ. ඒ වෙනකොට මට සෙල්වම් කියන්න යන දේ ගැන යන්තමට හිතුනා.

"රෝෂි නෝනා... අපේ කොල්ල....."

මම කතා කලේ නැහැ. ටිකකින් මට ආපු ආගන්තුක හැඟීමක් නිසා සෙල්වම්වත් පහුකරගෙන මම ආපහු පඩිපෙළ නගින්න ගත්ත. සෙල්වම් පහුවෙනකොටම මගේ කකුල් දෙක අල්ලාගෙන එකපාරටම මේ මනුස්සයා බිම ඉඳගත්ත.

"...... අනේ නෝනා... අපේ කොල්ල අතාරින්න නෝනා.... ඌ අපිල කිව්වට ආන්නේ නේ...  නෝනා"

"කෑගහන්න එපා මනුස්සයෝ...."

කඳුළු පෙරාගෙන මගේ කකුලේ එල්ලිලා හිටපු කන්කානමගෙන් මගේ කකුල ඇදලා ගන්න ගමන් මම වටපිට බැලුවා. ඈතින් පේන වත්තෙන් බාගයක්ම වහගෙන හිටපු මීදුම නිසොල්මනේ මගේ දිහා කට ඇරගෙන බලාගෙන උන්නා.

"... තමුසෙට පිස්සුද? මොනවද මේ කියවන්නේ....? තමුසෙව මම වත්තෙන් එලෝනවා ඩඩාට කියල. යනවා යනවා විකාර කියවන්නේ නැතුව"

එක හුස්මට පඩිපෙළ මුදුනට ආපු මම ආපහු හැරෙන්නේ වත් නැතුව ගේ ඇතුලටම දුවගෙන ගිහින් කාමරේ දොර වහගත්ත.

**********************************************


මගේ දිහා කට ඇරගෙන බලාගෙන හිටපු මගේ පොඩි මුනුබුරු මිණිබිරියන් දිහා බලපු මට හිනාවක් පැන්න. මගේ හිනාවට එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ කටවල් පොඩ්ඩක් වැහුනත් මගේ පුංචිම මිනිපිරි තාමත් අන්දොස් විදියට මගේ දිහා බලාගෙන හිටිය හින්ද ඈව ඇදල මගේ ඔඩොක්කුවේ වාඩිකරගත්ත.

"ආච්චිඅම්මා පට්ට කෙල්ලෙක්නේ"

මගේ වැඩිමල්ම මුණුපුරාගේ කටින් එහෙම පනිනකොට අනිත් උන් ඔක්කොම හිනා උනා. ඔන්න දැන් ඔක්කොටම සිහිය ඇවිල්ල.

"ඊට පස්සේ මොකද උනේ ආච්චි අම්මේ?"

මගේ මිණිපිරියන් තුන්දෙනාගෙන් මද්දුම එකා හෙමින් මගේ ළඟට ලංවෙලා ඇහුව. ඒකි මගේ කපාපු පළුව ඉපදුන දවසේ ඉඳන්ම.

"එච්චරයි බොලව්... වෙන මොකක් වත් උනේ නැහැ. ඉතින් සීයයි මමයි බැඳලා කැනඩා ආවේ ඒ හින්ද. එව්වා උඹල දන්නවා ඇතිනේ"

අනිත් එවුන් ඒ උත්තරෙත් එක්ක වෙන වෙන අතුරු කතා පටටං ගත්තත් මම දැක්ක මද්දුම මිණිපිරී 'උර්වසී' තනියෙම කල්පනා කරනවා.

"හරි හරි... දැන්වත් අපි යමු ඩඩාගේ යාළුවගේ ගෙදර. උදේ ඉඳන්ම මේ කතන්දරයක් මිසක් වෙන වැඩක් තිබ්බද?"

මගේ දෙවැනි දුව මධුමතී එහෙම කියාගෙන සාලේ පැත්තේ ඉඳන් එනකොටම මුණු ඇඹුල් කරගත්ත ඇගේ දරුවන් දෙන්නා පුටු පුටු ගාමින් මගේ ළඟින් නැගිට්ටා.

"ඉතින් ඉතින් ආච්චි අම්මේ.. ඉතිරි ටිකත් කියන්නකෝ"

මගේ පුංචි මිනිපිරි ඔඩොක්කුවේ ඉඳන් හුරතලේට ඇහුව. මම උත්තරයක් වෙනුවට හිනාවක් , හාදුවක් එක්කම දීල නිහඬ උනා.

"අනේ මන්ද.. ඉසේ කෙස් ගානට අහනවා ඔය කතාව. මෙවුන්ට කවදාවත් එපා වෙන්නේ නැහැ. ඔය අම්ම වගේම අපේ එවුනුත් මෙහෙන් එකෙක් හොයාගෙන පැනල යයිද දන්නේ නැහැ."

හැමදාමත් මගේ පෙම් කතාව ඇහුණාම ආඩපාලි කියන මගේ පුතා සාලේ ඉඳන්ම කිව්වේ හාස්‍ය මුසුව උනත් ඒ කතාවේ අමුතු බියක් තිබ්බ. ඔව්... දැන් පොඩි උන් ඔක්කොම ඉන්නේ මගේ මේ කතාවේ එන වයසේ. නොදන්නා හේතුවකට මගේ කටින් බර හුස්මක් පිටවුනේ ශිවා මතක් වෙලාමයි.

විසිරීමේ සන් ලැබුනා සේ හවස හයේ කණිසම දක්වමින් ඔරලෝසුව නාද වෙන්නට උනා. එවිටම මගේ හෙදිය සිය බෙහෙත් බන්දේසියද අතැතිව පසෙකින් කුටියට පිවිසෙන විටම සියලු දෙනාම එකා පසුපස එකා මෙන් කුටියෙන් පිටවුණා. ඔවුන් පසුපසින් වැසීයන දොර දෙස බලාවුන් මට දක්නට ලැබුනේ දොර පසුපසට වී මා දෙස බලා සිටිනා ඌර්වසි , මගේ මිණිපිරියයි.

"බබා එළියෙන් ඉන්න. ආච්චි අම්මාට බෙහෙත් දෙන වෙලාව"

හෙදිය වෙනදා විදියටම කාරුණිකව කිව්වා උනත් ඌර්වසි දුරින් පා තමබමින් මගේ ඇඳ අසලට ආව.

"අනේ කරුණා කරලා... එකම එක ප්‍රශ්නයක් අහන්න.... සමහර වෙලාවට මගේ අන්තිම අවස්තාව වෙන්න ඇති.... එක්කෝ... අනේ කරුණා කරලා... "

හෙදිය මගෙන් මදක් ඉවත් වෙලා ඈට ඉඩ දුන්නා. මගේ ඇඳ ගාවට ආපු ඌර්වසි මගේ කනට බොහොම ලං වෙන විදියට නැමුනා.

"ආච්චි අම්මේ... මම දන්නවා.... ඔයා කාටවත් නොකිව්ව එක මම දන්නවා"

"මොකද්ද පුතේ?"

ඌර්වසි වටපිට බැලුව හින්ද හෙදිය පොඩ්ඩක් ඈතට ගියා.

"සීයා සංවිධානෙට වැඩකලා කියල ඔයා දන්න බව මම දන්නවා. සීයාගේ අතේ ඇඟිලි නැති උනේ කොහොමද කියලත් මම දන්නවා. මට එක ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ...."

ඒ කොටස මගේ ජිවිතේ මම අහපු බරම වාක්‍ය කොටසක්. මගේ ඇස් වේගෙන් සැලෙන බව මට තේරුණා. මට වචන ආවේ නැහැ.

"... ආච්චි අම්මා සීයාව හමුදාවෙන් හොයන්න එද්දී දැනගෙන හිටියද සීයා සංවිධානේ ලොක්කෙක් කියල, ඇත්තටම ?"

ලොකු හුස්මකුත් එක්ක මගේ ඇස්දෙක පියවුනා.

"දැන් ඇති බබා. වෙලාවට බෙහෙත් නොදුන්නොත් ආච්චිට අමාරුයි හුස්ම ගන්න. දැනටමත් පේනවා නේද?"

හෙදිය මගේ ගාවට එනකොට ඇස්දෙක ඇරපු මම දැක්කේ මගේම ප්‍රතිබිම්බය වගේ උන්නු ඌර්වසි කෙල්ලගේ තිබ්බ බැල්ම.

"ඔව් පුතේ......"

හෙදියගේ රුවින් ආවරණය වෙන මගේ මිණිපිරිය පසුපසින් පසුපසට ගොස් දොර ළඟ නතරවන දර්ශනය මට යන්තමට පෙනුනත්, ඒ උන්නේ මමමයි.

'ඒ විතරක් නෙවෙයි. උඹල ඔක්කොම සංවිධානේ'

මට එහෙම කියන්න අමතක උනා. ඌර්වසි ආයෙත් හැරිලා මගේ දිහා බැලුවත්!

-END-


14 comments:

  1. මොකක්! මෙහෙමද එතකොට වැඩේ උනේ?

    ReplyDelete
  2. මේ මොකද්ද ඕයි මේ කලේ! යකෝ හාට් පේෂන්ට් කෙනෙක් උනානම් මෙලහකට මැරිලා!

    ReplyDelete
    Replies
    1. මක්කා කිව්වා? හාට් පේෂන්ට් කෙනෙක් නෙවෙය්ය කිව්වා? බලාපන් හාට් එක නැතුවද මන්ද... ඇත්තටම ඔතරම් ලතෝනියක් දෙන්න මක්කද උනේ දැන් ඈ ?

      Delete
  3. කතාව කුප්ප විදියට අවසන් කිරීම ගැන මගේ බලවත් මෙව්ව එක...
    ඒ වුණත් කියන්ට ඕන

    ඒක නං මරු ඇ

    ReplyDelete
    Replies
    1. කොතනද දැන් මෙතන කුප්ප? තක්කෙටම හිතන් එන්න ඇත්තේ මෙතන පැණි බේරෙන එව්වා ටිකක් ලියල ඇති කියල හිතන් නේ? නැද්ද හා? මරු කිව්වේ?

      Delete
  4. අනේ මොනවද අනේ මේ කතාද? උපේස්සා, මම ඔයාගේ පින්තූරයක් දැක්ක . ඔයාත් මම වගෙම කිසිම පෙනුමක් නැති කලු කෙල්ලෙක් නේද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ මිතුරිය.... මගේ කතා අවුල් බව නම් මම පිළිගන්නවා. ඔයා මගේ පින්තුරයක් දැකපු එක හොඳයි. නැත්තම් මම රුපසුන්දරියක් කියල වරදවා හිතයිනේ. මම නම් මගේ කළු බව ගැන ඔයා වගේ දුක් වෙන්නේ නැහැ කොහොමටවත්. පව් අනේ ඔයා නම්... ඔයාගේ දත් අතර තියෙන හිඩැසින් හුලන් යන නිසා වෙන්න ඇති 'උපෙස්සා' කියවෙන්නේ නේද? දැන් ඕව හදවගන්න පුළුවන් දත් දොස්තරලට කියල.

      Delete
  5. ඔයා නම් මාරයි... මෙහෙම කතාවත් වෙයි කියලා කොහොමටවත් හිතුවේ නෑ. අන්තිම දෙබස් වල තිබුනු බර හරිම අමාරුවෙන් දරා ගත්තේ.

    සුපිරියි...........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි. මට නම් සෑහීමකට පත්වෙන්න අමාරුයි. අවසානය මිට වඩා ගැඹුරින් යොදන්න ඕනෙකම තිබ්බත්, සිද්ද උනේ නැහැ.

      Delete
  6. ලස්සනයි කථාව. හිතා ගන්න බැරි තැනකින් නැවැත්තුවා නේද?

    ReplyDelete
  7. කතාව එවර වෙද්දි මට දැනුනෙ මම වැරද්දක් කරලා තියෙනව වගේ හැඟීමක්.

    ReplyDelete
    Replies
    1. හි හි... එහෙමද? කවුද දන්නේ..

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...