Wednesday, May 21, 2014

38. කාලය කොතරම් සොඳුරුද නපුරිය (02)

පළවෙනි කොටස 

කාලය, අවකාශය, වටපිටාව කියන කිසිම මානයක් මගේ ප්‍රස්තාර වල තිබුනේ නැහැ. මට මතක පොඩි සිද්දි කීපයක් විතරයි...

කාලය ගත උනේ මේ කිසි දෙයක වෙනසක් කරන්නේ නැතුව... මට හිතෙන්නේ ටිනේජ් ආදර කතා මේ වගේ වෙන්න ඇති ( දැන් නම් එහෙම නැහැ කියලා හිතෙනවා.... මම කියන්නේ නැහැ වැරදි කියලවත්, හරි කියලවත්)



ඔන්න මේ සිද්දි වල ඒකාකාරිත්වය බිඳගෙන යමක් සිද්ද උනා. ඒ තමයි ඔහු යාලුවෝ නැතුව තනියෙන් ,එතනින් ගමන් කරන මාව එකවර පාර මැද්දේ නතර කරගෙන කතා කරපු එක! ඒක මහා භයානක සිද්දියක් වගෙයි අදටත් මට දැනෙන්නේ. මොකද යුනිෆෝම් එකක් ඇඳගත්ත කෙනෙක් විදියට, අවේලාවේ, ටවුම මැද්දේ කලඩ් ඇඳන් ඉන්න කොල්ලෙක් එක්ක කතා කරනවා කියන්නේ අපේ ඉස්කෝලෙන් 'කිරිමේල් එකක් කැඩෙන'  වැඩක්! ඒ වගේ කිරිමේල් මෙතෙක් කැඩිලා තිබ්බේ ලස්සන, සුදු කෙල්ලොන්ටනේ.... මම ඒ දෙකෙන් එකක්වත් නෙවෙයි... මගේ අම්මෝ...!!! භයන්කරයි...



"යන්න එපා"

පාරේ මැද්දට පැනපු ඔහු මාව කඩේ ගාවට කතා කළා... මම ඔලුව නමාගෙන හිටියා... කිසිම දෙයක් කිව්වේ නැහැ, කකුල් දෙක නතර උනා විතරයි. විනාඩියක නිහඬතාවයක් අපි අතර...


මොනවා හරි කියන්න මම ඔලුව ඉස්සුවා මට හොඳට මතකයි

"මොනවද කතා කරන්නේ"

කව්දෝ මගේ කනට කර කියාගෙන ගියා...

මම ත්‍රස්ත වෙන එක ගැන අහන්න ඕනෙද? හැරිලා බැලුව... මගේ අවාසනාවක මහත ! අපේ අය්යාගේ හොඳම යාලුවෙක්..... හපොයි දෙය්යනේ.... ලත් තැන ලොප් උනා.... මම කොහොම ගෙදර ආවද කියල මටම මතක නැහැ...

මම ඩිටෙල් ලියනවා වැඩි වගේ...... මම සිද්දි කීපයක් ඊට පස්සේ සංක්ෂිප්තයෙන් කියන්නම්... නැත්තම් මේකත් මගේ නවල් එකක් වෙලා අන්තිමට මට රවිගේ නංගි වෙලා, හැලප ගේ එව්වා මෙව්වා වගෙයි කියලත් කතන්දර අහගන්න වෙන්නේ...

ඊට පස්සේ ගතවුනේ අඳුරු සතියක්, අර අය්යා අපේ ගෙදර එනකොට මම ආදා වගේ මාරු වෙනවා, බඩේ බිත්තර තම්බනවා ඌ යනකල්ම. මේක අය්යා දන්නා බවත් මට තේරුනා, අක්කා කලේ එයා දන්නා බව අඟවන්න ජොලිම ( ඒ දවස්වල මට පේන්න බැරි) විදියක්! කොහොමත් එය කරන්නේ අන්දකවිප්පු වැඩ නේ. අක්ක මම ගෙදර ඉන්න හැම වෙලේම, අර දිවුල්ගනේ ගේ සින්දුවක් තියෙන්නේ ..

"... බොරු කඳුළු වලින් බොරු නොකර ඉඳින්....
මගේ පුංචි නගේ රවටා දෙගුරුන්..."

ඔය සින්දුවේ මෙහෙමත් තියෙනවා

" නුඹ ඇයිද නගේ පෙම් බස් දෙඩුවේ..
කිරි සුවඳ මුවින්..."

මට ඔය මගුල් සිදුව ඇහෙනකොට දුවන්න හිතෙනවා වැලි ගොඩක් හොයාගෙන.. දුවල ගිහින් ඔලුව ඔබාගෙන ඉන්න හිතෙනවා... මේ බඩුව ඕක මම ඉන්න හැම වෙලේම, මහා සද්දෙන් දැම්ම... මම ඉන්නවා ඉතින් ඇහෙන්නේ නැති බුරු තඩියෙක් වගේ... රෑ උනහම, සද්ද නැතුව මම අර දීපු ඩෙල්ටා ටොෆි වල දවටන ටික දිහා බලාගෙන තනියෙන් හිනා වේවි... :-)


ඔහොම ගෙවෙනවා කාලය...

හිනා වෙනවා.. යනවා... ඕක තමයි වැඩිපුර උනේ.. ඉඳලා හිටලා පොඩ්ඩක් පස්සෙන් ඇවිත් ලිවුමක් දෙනවා.... එකකටවත් මම උත්තර යැව්වේ නැහැ. මම මීට කලිනුත් කියලා ඇති මම ඉස්කෝල කාලේදී නවකතා ලියපු වගක්.

ඕක පටන් ගත්තේ මම 7 වසර ඉන්නකොට. මේ සිද්දිය වෙන 8 වසරේදී (අවුරුදු 14 ක් විතරනේ වයස) මම විධිමත් විදියට ලියන මගේ පලවෙනි නවකතාවත් ලියමින් තිබ්බේ...

එකේ නම "කුමරුණි මගේ ලොව දිනු" ලිව්වේ ඉස්කෝල ආදර කතාවක්.. චරිත උනේ අපේ ඇත්තම ගැන්සියේ කට්ටිය. නම් ටික විතරයි වෙනස් කලේ... චරිත වල හිටියේ... නිලුක්ෂි, ඩෙන්ග පුහුල් ( ඇත්ත නම මතක නැහැ ), නිමාලි, නිශා.. ප්‍රධාන චරිතය චාමර කියල තරුණයෙකුයි , නිර්මලී කියලා කෙල්ලෙකුයි... (ඒ නම තමයි, අපේ අය්යාගේ ඒ දවස්වල යාලු ගෑණු ළමයා හි... හි.... හි...) ගොඩක් වෙලාවට අපිට සිද්දවුන දේවල් ඒ පොතට මම දැම්මා... මගේ මේ පොඩි 'ටින්.. ටින් ' වැඩේ නම් මම වෙනස් විදියට තමයි ඒ පොතට දැම්මේ...

මම මගේ සොඳුරු සිංහල ගුරුතුමියන් ගැන ලියලත් ඇති නේ... ලියන්න නම් තව දේවල් එමටයි.... එක සිංහල ගුරුතුමියක් තමයි අපේ පන්ති වලම දුවෙක් හිටපු කරුණාවන්ත මගේ පංතිභාර ගුරුතුමිය. 8 වසරේ නරකම පංතිය විදියට විරුධාවලියට ලක් වෙලා හිටපු අපි වගේ පංතියක් දරාගෙන හිටපු ඇය කොතරම් ඉවසීමක් තිබ්බ කෙනෙක්ද කියලා අද මට වැටහෙනවා... හැමදාම කාගෙන්  හරි කන්ප්ලේන් එකක් අනිවා...

මේ ගුරුතුමිය, මගේ ජිවිතේ වෙනස් කරපු තවත් කෙනෙක් (මගේ අම්මා ඇරුණම ) ඇය ඒ ගැන නොදන්නවා කියලා මම දන්නවා. ඇය උදෙන් පංතියට ඇවිත්, පාඩම පටන් ගන්න කලින්, සුහද සංවාදයක නිරතවෙන්න පුරුදු වෙලා හිටියා. ඒ වෙලාවේදී ලෝකය ගැන, සමාජය ගැන , සොඳුරු දේවල් ගැන යන්තං සඳහන් කළා... ඇගේ නිතරඟ, නිහඬ  පසුගාමියෙක් උන මට, ඒවා මම සොයපු සංවේදී, මනරම් ලෝකයට යන පාරේ පහන් ටැම් උනා... සමහර වෙලාවට එහෙම ගිහින් වවපු රසවත් වගාවන් වල අස්වැන්න ඇයත්  නෙළුවා.. සාහිත්‍ය තරඟ වගේ අවස්ථාවන් වලදී...


ඔන්න ඔහොම බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙද්දී, සඳුදා දවසක ටවුමට ගියපු මම , බොරුවට අර කඩේට බඩු ගන්න ගියා මගේ ගැන් එකත් එක්ක. කලබල උන ඔහුගේ මුණ අදටත් මතකයි.

"අය්යාගේ උපන්දිනේ කවද්ද"

මගේ කටකාර යාලුවෙක් හෙමින් ඇහුවා.. කොළ කෑල්ලක ඔහු උපන්දිනේ ලියල දුන්නම, ඒකත් අරගෙන මහා හය්යෙන් කිචි බිචි ගාගෙන එලියට දිව්වා... මම ඔහේ පාවුණා විතරයි. ගෙදර ගිහින් බාත්රූම් එකට වැදිලා තමයි කොලේ බැලුවේ... අමුත්තක් දැනුනා.. මට වඩා අවුරුදු 10ක් වැඩිමල්... පුදුමයක් නෙවෙයි නේ... කඩයක් කරනවා කියන්නේ ඉතින් පොඩ්ඩක් වයසයි.. ඒ මදිවට මට තාම අවුරුදු 14 යි නේ! ඒ උනාට මට හෙන හැපියක් ආවා , ජොලියෙන් උතුරා ගිහිං හි... හි... හි....

මගේ සිංහල ගුරුතුමී ගැන කිව්වේ... සුපුරුදු විදියට ඇය පහුවදා ඉස්කෝලේ ගියාම, උදෙන් පන්තියට ඇවිත් නම් ලකුණු කරලා අපේ සුහද කතා බහ පටන් ගත්තා... මම මගේ නහයෙන් පවා සංවේදීව අහන් ඉන්නේ ඈ කියන දේවල්.. එතරම් මම ආසයි...

ඇය  කිව්වා

"ගෑණුළමයි තරුණ කාලේ මල් වගේ.... ලස්සනයි... සුවදයි... ඒත් ... හරිම සියුමැලි... ඇල්ලුවම පොඩි වෙන්න පුළුවන්.. ඔයාලා හිතයි තදින් ඇල්ලුවම කියලා... නෑ නෑ .... හිතන්න මල් පෙත්තක් අපි පැයකට එක වතාවක් නිකන් මෙන්න මෙහෙම ඇඟිලි දෙකෙන් අල්ලනවා කියලා.. (ඇය පෙන්වයි....) තදින් නෙවෙයි.. හෙමීට ... පැයකට වතාව ගානේ එක දවසක් එක්කෙනෙක් ඇල්ලුවා කියල හිතන්න.. පහුවදා අපි කියනවා... හරි... එක එක්කෙනා ඇවිත් පැයකට එක පාරක් විතරක් ඒ පෙත්තම අල්ලලා යන්න කියල......
ඔයාල මොකද හිතන්නේ?
මල තදින් ඇල්ලුවේ නැතත්... මලට මොකද වෙන්නේ?"


ඔච්චරයි මට ඇහුනේ.... ඔලුව ඇතුලේ එක පාරටම "සලාංග්......" ගාල සද්දයක් ආවා... ඇයට මුණ දෙන්න බැරුව මම ඔලුවත් හංගගත්තා...

"... දරුවනේ... මිනිස්සුන්ට නිකරුනේ අතපත ගාන්න ඉඩදෙන්න එපා... මොකද, හෙමින් කලත් හානිය එකයි"

ඇරිලා තිබ්බ කන් වලට ඇය  ඒ ටිකත් දාලම කන් දෙක වැහුවේ.....


කෙටියෙන්....

මම ගෙදර ගියා...

මම මට කිසිසේත්ම ගැලපෙන්නේ නැති වැඩක් කලේ!!! 
අපේ අම්මටයි තාත්තටයි මම ලැජ්ජා කළා....!!
අදම මම මේක හිතින් අයින් කරනවා!  

ලියුම් ඔක්කොම පිච්චුව...

ආයෙත් කවදාවත් ඒ කඩේ වත්, කඩේ උන්නු කෙනාවත් බලන්න මගේ යාලුවෝ එක්ක ගියේ නැහැ.... මම යාළුවන්ට කිව්වා ඔහු මාව ප්‍රතික්ෂේප කළා කියල (බොරුවක් තමයි... දන්නේ නැහැ ඒ බොරුවට අපායේ යයිද කියල) ඒ මදිවට මගේ නවකතාවේ හිටපු 'නිර්මලී' කියන චරිතේ වස පොවලා මැරුවා  (ඔහ් ... ඒක නම් පට්ට දරුණු වැඩක් නේ??? ඉතිං පාන් ද? එෆ් බී එකට වස බොන රටේ.... හුහ් )

බොරු කිව්වත්, මට මෙතන බොරු කියන්න වටින්නේ නැති හින්දා කියන්නම්... ඔව් මම විදෙව්වා මාස කීපයක්.... ටිකක් ඇඩුවා... එත් මම තීරණේ තදින් තියා ගත්තා... මොකද මට වඩා ගොඩාක් වැඩිමල්, කඩයක් කරන කෙනෙක් අපේ පවුලේ පසුබිමට පොඩ්ඩක් වත් ෆිට් වෙන්නේ නැති බව අවුරුදු 14 ක් වයස මගේ මොළේට වැටහුණා .....

එපමණයි...

කරුණු කීපයක් තියෙනවා කියන්න
1. මම අදටත් හිතන්නේ මට ඇති උනේ ආදරයක් නෙවෙයි... ආකර්ෂණයක් විතරයි....
2. මම දන්නේ නැහැ ඔහු මාව පිළිකුල් කරනවද කියලා
3. දරුණු උනත් ඒ තීරණේ මාව ලොකු අනතුරකින් බේරුවා කියලයි මට හිතෙන්නේ



පස්සේ දවසක...

අපේ අය්යාට තිබ්බ ඔය එක එක විකාර ෆැෂන් පිස්සුවක් ඒ කාලේ.. විශේෂයෙන්ම වාහන.... මුලින්ම උණ හැදුනේ බයික්... දඩ සයිස් බයික් එකක් තිබ්බා ඒකෙ ටැංකිය වටේට සුදු-රතු වලින් තමයි පේන්ට් එක තිබ්බේ.. දැන් කාලේ නම් අමුත්තක් නැති උනත්, ඕකේ පිටිපස්සේ යනකොට, ඉස්සරහින් එක මිනිහෙක්ට පේන්නේ අපි හරියට බයික් එක එලවන එකාගේ කරේ නැගල ඉන්නවා වගේ...... අපොයි අක්කයි මමයි වින්ද දුකක්.... අපේ අය්යා ඔය මගුල අරන් එනවා අපිව අරගන්න ඔය තැන් තැන් වලට.... මොකට කියනවද ඒ දර්ශනේ!!!!!!



එක දවසක් අය්යා මගෙත් එක්ක අම්මගේ ඔෆිස් එකට යන්න කියලා මාවත් ඔය මගුල් බයික් එකේ පස්සෙන් තියාගෙන, පැද්දා ...

අනේ පැදිල්ල ගැන මොකට කියනවද... මම ඉතින් අර කටින් පිඹිනකොට කැවුමේ එල්ලිලා ඉන්න තෙල් කුඹියා වගේ දත කාගෙන උගේ උරහිස අල්ලාගෙන ඉන්නේ... සමහ වෙලාවට මගදී කියනවා
"ඕයි චුටි නංගි ... තමුසේ මගේ බෙල්ල මිරිකන්නද හදන්නේ.." කියලා...

කොහොම හරි මෙයා යටිනුවර විදියට දානකොටම, මට ඉබේටම අර කඩේ දිහා බැලුනා.. මම අහක බල ගත්ත

"තමුසේ පොඩ්ඩක් මෙතන ඉන්නවා, මට යාලුවෙක් හම්බෙන්න තියෙනවා" කියපු අය්යා , හදිස්සියෙන්ම බයික් එක එතන පාර්ක් කළා... හරියටම අර කඩේ පේන තැන!

"අනේ... අර අරෙහෙ ඉඩ.. එතනින් ගහන්නකෝ.."

මුහු.... මොන පිස්සුද? අපේ දේවල් කනකට ගන්නේ නැහැ නේ මිනිහා... පාර්ක් කළා ... මට එක පාරටම හිතුනා... අපේ අය්යා කියල දන්නේ නැති හින්දා ඔහු මාව වැරදියට හිතයි කියල.... මට කඩේ දිහා බැලුනා.. ඔහුට මගේ දිහා බැලුනා... ඇස් ආයෙත් හමු උනා.... බූල් අතකින් ප්ලාස්ටර් එකක් බරාස් ගාල අදිනවා වගේ... මගේ හිත මහා වේදනාවකින් මිරිකිලා ගියා....
මම බිම බැලුව... එහෙම බැලුවේ මම ඔහුව මග ඇරපු හින්දා..... ඔහුගේ ප්‍රතිචාරය බලන්න , ඉබේම ආයෙත් ඇස් එසවුණා ...

ලොකු පොරක් අල්ලගෙන , මාව විසි කළා නේද?

තොල් පෙරලලා, උරහිස් හකුලලා මට ඔහු ඒ ටික ඇගෙව්වා....

"මම එහෙම කලේ නැහැ" මම එහෙම කිව්වේ නැහැ.... උත්තර බඳින්න මට ඕනෙකමක් තිබ්බේ නැහැ. තුවාල තියෙන්නේ වේලිලා සුව වෙන්න.... සමහර තුවාල වෙලුනාට පස්සේ, බෙහෙත් දාන්න කියල උනත් හාරන්න නරකයි....


------------- කාලය කොතරම් සොඳුරුද නපුරිය ----------

26 comments:

  1. තව කොටහක් තියෙනවද දන් නෑ නේද,මාර උපමා රූපක තියෙනවනෙ,
    //කටින් පිඹිනකොට කැවුමේ එල්ලිලා ඉන්න තෙල් කුඹියා වගේ//
    //බූල් අතකින් ප්ලාස්ටර් එකක් බරාස් ගාල අදිනවා වගේ//
    හරිම රහයි.

    ReplyDelete
    Replies
    1. තව කොටස් තිබේ.... එව්වා ලිව්වොත් මල විකාරයක් වෙන්නේ... හි හි.. හි.... ඒ හින්දා මේ ඇති...

      අනේ මන්දා... කොහෙන් එන එව්වද කියල.... ඔන්න ඔය ගතියට අපේ අර සිංහල ගුරුතුමීල හරි කැමැත්තක් දැක්කුවා... ස්තුති එව්වා හොඳ නම් :-)

      Delete
  2. රාජකීය බූට් එකක් දීලනේ.. ඒ මොනවා වුණත් ලියැවිල්ල නං රහයි. අනේ ඔය කාලෙට කෙල්ලොත් එහෙමයි කොල්ලොත් එහෙමයි තමා. ඕවා යෞවනයේ කිතියට වෙන දේවල්. ඔය කාලේ ආලයන් බොහොම කෙටි දුරයි යන්නේ. ඒ මොනව වුණත් අර ගුරු මෑණිගේ ඔවදන් දුන් විලාසය උපමාවන් නම් මරු. ඒ ටික මගේ ලොක්කිටත් බලන්න දෙන්න තරම් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.... තව ඔය වගේ සිද්ධි උනා... මම කියන්නේ ආදර හුටපට නෙවෙයි... මම එව්වා හෙමිට ලියන්නම් , ස්තුති කොමෙන්ටුවට

      Delete
  3. / බූල් අතකින් ප්ලාස්ටර් එකක් බරාස් ගාල අදිනවා වගේ /

    මොකක්ද මේ බූල් අතේ සීන් එක?...ඇක්ස්ප්ලේන් පිලීස්....

    මටත් නංගිල දෙන්නෙක් බං ඉන්නෙ..ඒත් මම නං එවුං කවදාවත් බයිසිකල් වල දාගෙන ගියේ නෑ..හෙහ්,හෙහ්,

    උඹ හොඳට ලියනව...කැත නැතුව කිව්වැහැකි නුවර අංගනාවියක් කියල...:)

    තෙල් කූඹියගෙ උපමාවත් මරු...

    / "ඕයි චුටි නංගි ... තමුසේ මගේ බෙල්ල මිරිකන්නද හදන්නේ.." කියලා…/

    කෙල්ලො ඔය කරේ නැඟල කුලලත් එක්ක මිරිකනකොට අපි කිව්වෙ " මොකද යකෝ කරන්නෙ? සයිම පොල් ගහ බදාගත්ත වගෙ මගෙ බෙල්ලත් එක්ක මිරිකන්ඩ එපා බං..ටිකක් අත බුරුල් කරපං..මාත් උඹල වගේම හුස්ම අරගෙන හීවත්වෙන මනුස්සයෙක්…"

    ReplyDelete
    Replies
    1. හය්යෝ... මෙන්න ඇවිත්...
      බූල් අතකින් කිව්වේ... "බූල් තියෙන අතක අලවන ලද ප්ලාස්ටර් එකක්" හැප් කිව්වේ!!! මගේ අවස්ථානුකුල උපමා-උපමේ එව්වා මෙව්වා එක මෙව්වා කරන්න එපා හරිද?

      ඉත්තුති අප්පේ කොමෙන්ටුවට... මේක දැකලවත් නංගිලාව බයිසිකලේ දාගෙන යනවා හොදයි!!!

      Delete
  4. අපෝ ඔය බයිසිකල් නං..... අපේ මලය මේ ගිය අවුරුද්දෙ විතර හොනට් එකක් අරං මාවත් දාගෙන හෙන රවුමක් ගියා... හැබැයි ඉතිං ආපේ බජාජ් කට්ට වගේ නෙවෙයි... මාර ගති ඒකෙ යනකොට... ඒක ඉතිං වෙනම කතාවක්... හි හි

    ඔය කිති ගතිය නං කියලා වැඩක් නෑ.. මම ඔහොම දැනිච්ච කාටවත් බූට් නං දීලා නෑ... උන් ඔක්කොම ( ඒ කිව්වෙ මට වඩා අවුරුදු 10කටත් වඩා වයස අයත්) අදටත් ම‌ගෙ හොඳ යාලුවෝ...

    ReplyDelete
    Replies
    1. පොඩි කොස්සක් තියෙනවා මට නම්.... ආදර සම්බන්ධයක් නතර නොකර (බුට් දී හෝ කෑමෙන් පසු) යාලු ෆිට් එකක් ඇති කර ගන්නේ කෙසේද? ඒ කියන්නේ... යාළුවො විදියට ඉන්න නම්, ආදර සම්බන්ධය නතර වෙන්න එපැයි ? නැද්ද .... හා ?

      මට දැනුනා කියන්නේ තරුණ කමට දැනෙන දෙයක් මිසක්.. ආදරේ වගේ සිත් කාවදින දෙයක් නෙවෙයි කියලා කිව්වේ ඒකයි .... ආදරේ කියන්නේ ඊට වඩා එහා ගියපු කනෙක්ෂන් එකක් කියලයි මම අදටත් විස්වාස කරන්නේ... වැරදි වෙන්න පුළුවන්... සුළුවෙන් හෝ සම්පුර්ණයෙන්... යකාගේ හැටියට කියනවනේ විමානේ

      Delete
    2. මං කිව්වෙ බං ආදර කතාවක් නෙවෙයි... ඔය දැකලා, පොඩි පොඩි කිචි ගති දැනිලා, දකින වෙලාවට හිනා වෙලා, නැති තැන අනිත් උන්ට හොරෙන් කොහෙද ඉන්නෙ කියල හොයලා වගේ වෙච්ච සීන්... වැඩි දුර දිග යන්න ඉඩක් දුන්නෙ නෑ මාව ඒ කාලෙම එක්කෙනෙක් බුක් කරලා වගේ තිබ්බ නිසා.. හි හි.. ඉතිං මං ඔය කොල්ලො මගෙන් යාලු වෙන්න අහපු ගමන් රටකජු ගොට්ටක් එහෙම අරන් දීලා කියනවා “ අනේ අයියෙ මට බෝයි කෙනෙක් ඉන්නවා “ කියල.. හැබැයි ඉතිං එහෙමට කියලා “ බෝයි කෙනෙක්” නං මට හිටියෙ නෑ... බුකිං එකක් විතරයි තිබ්බෙ... හි හි

      Delete
  5. අනේ අම්මේ උඹත් හොදයි මාගල් අතාරින්නම අර රවි ගොයියා වගේම.. මරු ලිවිල්ලක්.. ඒක නිකං වක්කඩ කඩන් පනිනවා වගේ..

    කෝමද බං නහයෙන් අහං ඉන්නේ.. හැක්..

    ඒක නෙමෙයි බොට තිබිල තියෙන්නෙ අර අපි කියන ක්‍රෂ් එකක් විතරම වෙන්ටැ...

    ReplyDelete
    Replies
    1. ඔන්න ආයෙත් රවියා.... බඩ කපන් මැරෙන්න නේ හිතෙන්නේ.. එක්කෝ සාරියක් ???

      අන්න එව්වා ජාතියේ එකක් මටත් හිතෙන්නේ... ඒ උනාට, මට මතක විදියට ඔය ජාතියෙන් නමෝ විත්තියෙන් ඇතිඋන එකක් හින්දද කොහේදෝ මම පොඩ්ඩක් විතර සෆර් කළා.....
      හි හි.... ස්තුති කොමෙන්ටුවට

      Delete
    2. ඒ වගේ දේකදි එහෙම සෆර් කරනවා බං බෝම ආසාවෙන්. ඒ රිදීමත් මාර සැපක්..

      Delete
  6. අනේ මංද....
    ඒකත් එහෙනමි එමෙ වුණා නේහ්...
    අව් අප්පා අරූප සංසාරෙන් සංසාරෙට ඔයාගෙ පස්සෙන් යන්නං කියල හිතං ඉන්න ඇති..
    සැක්...
    අරරණීය ලව් ඉ්ට්ටෝරියක් වෙන්න යනකොටම... හුටස්

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා එව්වා නම්.... හි.. හි... මට නම් හිතුනේ "උන්න හැටියට මලා මදැයි " කියලා විතරයි :-D

      Delete
  7. Pau e ahinsaka kolla. Kello ohommamai. Lassanata liyala thiyenawa.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔයා මගේ බ්ලොග් එකට දාපු පළවෙනි කොමෙන්ටුවද? සාදරයෙන් පිළිගන්නවා

      ඔව් වෙන්න ඇති... හෙඩිමෙන්ම මම පෙන්නුවනේ... නපුරි කියල
      ස්තුති

      Delete
  8. උපේක්ෂා, අර කුමාරයා "ලොකු පොරක් අල්ලගෙන මාව විසි කලා නේද" වගේ බැලුවේ ඔයා ගියේ අයියත් එක්ක කියලා නොදැනද? එතකොට ගෙදරට ගින්න දුන්න අයියගේ යාලුව කියලා නැද්ද කවුද මේකිත් එක්ක කතාකරකර හිටි පොර කියලා?

    ඒ ප්‍රශ්ණ වලට උත්තර ලැබුනාම කතාව සම්පූර්ණයි.

    ඇත්තෙන්ම ලස්සන කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි...
      මම මගේ පවුලේ විස්තරයක් වත් කියලා තිබුනේ නැහැ.. ඉතින් එයා අපේ අය්යව අදුනන්නේ කොහොමද?

      අය්යා නොදන්නවා වෙන්න බැහැ ... පොරගේ හැටි දන්න හින්දා මට සමහර වෙලාවට හිතෙනවා මූ මාව ටෙස්ට් කරන්න හිතාගෙන එතනම පාර්ක් කලාදෝ කියලත්.... වෙන්නත් බැරි නැහැ... අපේ අය්යද ... හුහ්.. අර රවියා ඉන්නවා නේද? උගේ කපාපු පලුවේ ලොකු එක! හි... හි....

      අනිත් එක තමයි හෙන්රි
      මම අදටත් දන්නේ නැහැ.. ඒ ගුරුතුමී මට (අපේ පන්තියට) එදා කියපු ටික කිව්වේ, ඇත්තටම මගේ මේ සෙල්ලම දැකලද.. දැනගෙනද .... නැත්තම් නිකන්මද කියල

      Delete
  9. අක්කා නම් නියම සින්දුව දාලා තියෙන්නේ.... මාතෘකාවට දාලා තියන සිංදුවේ වචන පෙරලිල්ලත් නියමයි. ඔයා කියන්න හදන දේ කියවෙනවා කියලා හිතෙනවා.

    //දෙවුල්ගනේ// හෑහ්... ආණ්ඩුකාරතුමා දැක්කොත් ඉවරයි... දෙවුල් නෙමේ යකෝ දිවුල්.

    තෙල් කූඹි කතාව නම් මරු... කැවුමක් හදලා කූඹි එන්න ඉඩ ඇරලා පිඹලා බලන්න ඕනේ ඇත්තද කියලා...

    අර මෝටර්සයිකලේ යන හැටි ගැන //දෙවුල්ගනේ// මෙහෙම කිව්වනේ..

    අජානේය ස්කූටර තුරඟා පිට වඩනා
    කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා
    බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා
    විලාසයට නුඹේ කිරුළ බිම වැටෙයිද සිතුණා

    ReplyDelete
    Replies
    1. සින්දුවද? මතක් කරන්න එපා..මට අර හංදියේ වැලි ගොඩට දුවන්න හිතෙනවා... අළුත් වැලි... හෙට වෙනකොට ජරා වෙන්න කලින්...

      හෆොයි..... ඉන්ට ඉන්ට මම දාන්නම්.. දැන් නඩුකාර උන්නාන්සේලාට නඩු මදි කියල මේකටත් කිරිමේල් එකක් කඩන්ට කලින්...
      අනේ තිසර... ඔය සිංදුව මට ඉස්සර ඇහුනේම "පජානිය ඉස්කූටර ..." කියල නේ... මම පද පෙරළ පෙරළා බැලුව තේරුම්.. මේ ළඟකදී නේ හරි වචනේ ඇහුවේ..

      Delete
  10. සක් මග ඇරුනේ මොකද කියලා මේ කම්පනා කොරන්නේ , පට්ට බූට් එකක්නේ ,කොහොම වුනත් ඒ වෙච්ච වැඩේ හොඳයි ,

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඉතින් කියන්නේ... බුට් කනකොට 'ඉයාව්' කියල පපුව අල්ලාගෙන, දීපු යට අනිත් උන්ගෙන් බැනුම් අස්සවනවා... දැන් කියනවා හොඳයි කියල... හි.. හි..

      ඔව් ඉවාන්, එහෙම උන එක හොඳයි. නැත්තම් මම වගේ එකෙක්ට දරුණු විදියට බලපානවා. ස්තුති මගේ බූට් එකට හොඳයි කිව්වට.. හි.. හි..

      Delete
  11. තෙල් කුඹියගෙ සින් එකේදි නම් හිනාව නවත්ත ගත්තෙ හෙන අමාරුවෙන්, හපොයි :D මැරෙන්න හිනා, මැවිලා පේනව යනහැටි :D
    කොහොම උනත් නියමෙට ලියල තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුති කමෙන්ට් එකට....

      Delete
  12. අඩේ මේ කතාව මට මිස් වෙලා තිබිල දැන්නේ කියෙව්වේ ... මටත් තියෙනවා ඔන්න ඔහොම හෙන ආතල් සීන් ටිකක් .. අපි ඉතින් වැඩි හරියක් බූට් කනවා මිසක් දෙන්නේ නෑනේ .. ඒ ආකාරයෙන් බූට් කාපු හරි අපූරු කතා සෙට් එකක් ම තියෙනවා .. හැබැයි ලියාගන්න විදියක් නෑ ... ඒ සමහර අය දැන් මගේ බ්ලොග් එකේ ඩේලි පාටකයෝ වෙලා .. හෙහ් හෙහ් ... ඇනෝ බ්ලොග් එකක් ලිවීමේ අගේ තියෙන්නේ මෙන්න මේ වෙලාවට ..

    ඔය කාලේදී හිතට දැනෙන ඔය හැඟීම හෙන රසවත් ... ඕව ඉතින් එක අතකින් බූට් කියන්න බෑ .. පොඩි පොඩි ක්‍රෂ් ක්‍රෑෂ් වෙන සීන් නේ ...

    උපේක්ෂාගේ මේ ලිවිල්ල නම් සිරාවට මරු .. නියම ෆ්‍රී ස්ටයිල් එකක් ..

    හාට් එක ටොයින් ටොයින් ගානවා පරණ සීන් ටික මතක් වෙද්දී .. :D

    ReplyDelete
    Replies
    1. හත්වලාමයි... දැන්ද කියෙව්වේ?? කමක් නැහැ කමක් නැහැ.... කොයි වෙලේ කියෙව්වත් මක් වෙනවද. මට එකක් අපැහැදිලියි... බූට් කනවා මිසක් දෙන්නේ නැහැ කියනඑක අම්මප ඇත්තද? එහෙනම් බොලේ මගේ ඉස්කෝලේ යාළුවන්ට බූට් දීපු කොල්ලෝ දැන් වලපල්ලට ගොහින් වෙන්න ඕනේ...

      මම තව කොතැනකදොත් දැක්ක පැතුම් ගේ මේ පරණ කුචි ලියන්න විදියක් නැති හේතුව. හොඳ වැඩේ.. හෙහ්... අල්ලන් නෙලපුවාවේ කෙල්ලෝ රොත්තම!

      ඔය ටොයින් ටොයින් ගාන එක තරම් අසමජ්ජාති වැඩක් වෙන නැහැ අප්පා.. දවසම ටොයින් ටොයින්... කිසි වැඩක් කරන්නෙම නැහැ... ( අනික් දවස් වලට වැඩ නොකරන එක වෙනම කතාවක්) ඒ වගේද, ලියවෙන්නෙම රොමැන්ටික් වල්පල්. හරියට බෝතලයකට සෙට් වෙලා වගේ අදහස් දෝරේ ගලනවා... අම්මේ... ( චෙප් ... කට වහගන්!)

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...