මගේ පොඩි කාලේ කතා කීපයක් එහෙන් මෙහෙන් ලියලා තියෙන හින්ද මම හිතුව හොදට හිතල ඒ ගැන එක පොස්ටුවක් දාන්න ඕනේ කියලා.
මගේ පොඩි කාලේ ඔය ගොඩක් පරණ මිනිස්සු කියනවා වගේ සුන්දරයි...
අනේ මේ පිස්සු කියවන්න එපා... එහෙම එකක් ඒ කාලේ දැනුනේ නැහැ නේ.
මට නම් දැනුනේ මම නිකන් කඳු ගොඩාක් වටකරපු තැනක ඉන්න කුරුමිට්ටෙක් කියලා. ඒ කියන්නේ හැම පවුලේම බාලයටත් වඩා මම බාල හින්දා මම හිටියේ මට වඩා ගොඩක් ලොකු කසින්සලා එක්ක. එක පුදුම කට්ටක්! මොකද මම වගේ හිතෙන එකියක් නැති උනාම මට හරිම අප්සෙට්.
මේ තත්වෙට මුණදෙන විදි කීපයක් තිබ්බ මට ඒ දවස් වල.
එකක් තමයි ලොකු උන්ගේ එව්වා අම්මලාගේ කනේ තබා හොද ළමයා වීම. බොරු කියන්නේ මොකටද මම ඉතින් ඔය ආදර කතාවල් වලට එහෙම පොඩි කාලේ ඔත්තු බලල තියෙනවා. අනිත් අතට අම්මලාගේ කනේ තියනේ නැතුව එව්වා මාට්ටු වෙනකොට මීයෙක් වගෙත් ඉදල තියෙනවා. එත් මොනවා කරන්න ගියත් බාල්දියක් පෙරළෙන තැනක් වීද, මම එතන තියරිය ඒ දවස් වලත් තිබ්බනේ අප්පා.....
තව තියරියක් තමයි කිසිම දෙකට මාව ගාව ගන්නේ නැති නම් නිකම්ම්ම නිකන් නරඹන්නෙක් වෙලා නිහඬ අත්දැකීමක් ලබා ගන්න එක. ඒ වගේ එකක් මම මිට කලින් ලිව්වා..
අත්තම්මගේ ඔලුවේ කැක්කුම කියල මම ලිව්වේ....
තවත් තියරියක් තමයි (වැඩියෙන්ම මම ක්‍රියාත්මක කරපු) අපේ ගෙවල්වල මිනිස්සු කිසිම කෙනෙක්ගේ හෙවනල්ලක්වත් වැටෙන්නේ නැහැ කියල හිතෙන බිම්කඩවල් වලදී හැකි තරම් බල්ටි ගැසීම!!!
අන්න මම ප්‍රියතම වැඩේ...!!!!! නෑ ... නෑ ... බල්ටි ගැසීම නෙවෙයි... මම කිව්වේ කව්රුත් දන්නේ , යන්නේ එන්නේ නැති තැන් වල මගේ වැඩ පෙන්නීම.... බල්ටි ගැසීම මට නම් කරන්න බැරි වැඩක්... ඔන්න ඔය වැඩේට මට හොදම තෝතැන්න උනේ මගේ පාසැල ... මොකද මම ගියපු එකම ඉස්කොලේකටවත් අපේ අය්යාවත්, අක්කවත් ගියේ නැති හන්ද මට ඒක එතරම් අපහසු උනේ නැහැ. (මම මේ ඉස්කෝලේ කතා වෙනම ලියන්නම්... ඔක්කොම එකට පටලෝගෙන බැහැ නේ...)
අන්තිම තියරිය තමයි... අනිත් උන් කිසි කෙනෙක් ගණන් ගන්නේ නැතුව මමම මවපු සිහින ලෝකෙක අතරමන් වෙලා දවස ගෙවපු එක. මෙහෙම කරලා තියෙන ය දන්නවා ඇති එකේ තියෙන ජොලිය. ඒ කියන්නේ අනිත් උන් මොනාද කරන්නේ ?මම ඉන්නේ කොහෙද ?බලන්නේ නැතුව මගේ ජොලියෙන් ඉන්න එක. මට මතකයි මෙහෙම ගෙවපු එක දවසකදී මම කෑම මේසේදී කරපු වැඩක්..
ඒ දවස්වල මගේ වයස අවුරුදු 5ක් විතර ඇති. සුපුරුදු විදියට මම මගේ ලෝකේ හිටියේ. කෑම කන්න වාඩි වෙලා දැන් අපි ඔක්කොම. ඒ කියන්නේ මමයි, අය්යයි , අක්කයි. මම හිතන්නේ එදා සති අන්තයක් දවසක හවස වෙන්න ඇති. අම්ම හිටියේ නැහැ ඒ වෙලාවේ එතන .. අත්තම්ම අපිට කෑම බෙදුවා මතකයි... මම ඉතින් මගේ මනෝ ලෝකේ සින්දුවක් එහෙම කියන ගමන් කල්පනා කළා එකට ගැලපෙන ආංගික අභිනයක් දක්වන්න.. ඉතින් මම එවෙලේම ඒක ට්‍රයි කළා... ඒ කියනේ මම කටත් පොඩ්ඩක් හැඩ කරලා ඇත පයත් පොඩ්ඩක් ඒ විදියට යෙදෙව්වා.! අහ් .. යෙදෙව්වා තමයි....
"චුටි නංගි ... මොකද්ද තමුසෙට වෙලා තියෙන්නේ?"
එකපාරටම ආපු අය්යාගේ කටහඬින් මගේ මියුසික් වීඩියෝව 'සලාන්...' ගාල කඩන් වැටුණා .
මම බය වෙලා බලනකොට අය්යා පළල් හිනාවකුත් එක්ක බලන් උන්නා... ඉතිරි අය ඔක්කොම බය වෙලා බලන් ඉන්නවා මගේ අමුතු අතපය විසිකිරිල්ල!! මම මුකුත් උනේ නැති ගානට වාඩි වෙලා බත් කෑවා..
අය්යාගේ ඩික්ෂනරි එකේ වැඩියෙන්ම තියෙන, තිබ්බ වචනයක් තමයි ඔය 'තමුසේ' කියන්නේ... පොඩි කාලේ.. මම මේ කියන්නේ අවුරුදු 2-10 දක්වා කාලේ, අපේ ගෙදර තහනම් කරපු වචන සෙට් එකෙන් එකක් තමයි ඕක. අනිත් එව්වා තමයි 'ඕයි , බල්ලා , ගෙම්බා' (සැ .යු. ඒ කියන්නේ අපි රණ්ඩු වෙනකොට ඔය අන්තිමට තිබ්බ වචනේ තමයි අන්තිමට යොදන්නේ.. එතනින් අපේ රණ්ඩුව ඉවර වෙලා Freeze වෙනවා... ඉතිරි ටික කරන්නේ අම්ම නැත්තම් තාත්තා ... ඒ කියන්නේ ගුටිය කාටද කියන එකයි... අනේ ඒ උනාට අපි තුන්දෙනාට අපේ අම්මයි තාත්තයි කවදාවත් ගහල නැහැ.. (ගුටි කන තරම් වැඩ අනන්තවත් කලත් හි.. හි...) තාත්තගේ රැවිල්ල ගුටියක් හා සමානයි.... අම්ම නම් බනින්නේ එක පාරයි... කුඩේ කුඩු යන්න ඒකත් !!!
මම මිට කලිනුත් කියල ඇති අය්යගෙයි මගෙයි පොඩි කාලේ තිබ්බ ගැටුම!! පන්ති අරගලය අප්පා.. වෙන මොකද්ද ඕකට කියන්නේ? අපේ අය්ය තරම් පොඩි කාලේ රජ සැප අපි කාටවත් ලැබුනේ නැහැ...පවුලේ එකම පිරිමි දරුවා (මගේ පවුලේ) වීමත්, වැඩිමලා වීමත්, උගේ පිනට අපේ පවුල 'පුත්‍රවාදී' වීමත් හින්ද විතරක් නෙවෙයි, අය්යාගේ ඉපදීමෙන් අපේ තාත්තට සුභ පල ලැබුණයි යන මතය නිසාත් ( ඔය එකී මෙකි නොකී.. ඔක්කොම!) අය්යා අපේ ගෙදර 'ස්ටාර්' එක. මට ඔව්ව අල්ලන්නේ නැහැ නේ....
මගේ තියරිය තමයි...අය්ය මොනාද කරන්නේ... ඌට පුළුවන් නම් මට බැරිද කියල හිතල ඒකම කිරිල්ල!! අය්යත් ඇත අරින්නේ නැහැ... මරු නේද එතකොට???
අය්යට මවුන්ටන් බයිසිකලයක් ගෙනත් දුන්න.... මට ඕකට හෙන ජේ!! අය්යා පැදලා තියල යනකම් ඉදල මම සිට් එක එජස් කරලා මමත් පදිනවා. එකට මම පාවිච්චි කලේ එයාගෙම ටූල්ස්. අය්යා කලේ පැදලා ඉවර වෙලා යන්නේ අර ඇනේ බුරුල් කරන එක.. (අනේ මම දන්නේ නෙහෙ ඔව්වට මොනාද කියන්නේ කියලා) හංගලා.... කොහොමද වැඩේ?? මම ඉතින් හිටගෙන හරි පදිනවා...
අය්යා කරන වැඩ වලින් මම ආසම වැඩ කීපයක් තියෙනවා. එකක් තමයි අවුරුදු කාලෙට වගේම, ඔෆ් සීසන් එකේදිත් ඔන්චිලි බදින එක. අනිත් එක සරුංගල් කාලෙට සරුංගල් හදන එක වගේම වෙසක් කාලෙට අපිට වඩා තුන් ගුණයක් උස මහතට වෙසක් කුඩු හදන එක!
අය්යා ඒ වගේම අට්ටාලයකුත් හදල තිබ්බ. එක තිබ්බේ සදා මතකයේ රැඳෙන ලාවුළු ගහක. අනේ ඒ ලාවුළු ගහ අපිත් එක්ක හිටපු කාලේ මම හිතන්නේ අපි එකේ මුල් ටිකට විතරයි මුකුත් කලේ නැත්තේ... සියලු කොටස් වලින් අපිට වැඩ තිබ්බ. අත්තේ ඔන්චිල්ලාවක් බැඳලා තිබ්බ. ඊට උඩින් අතු කීපයක් යනකොට අට්ටාලේ.. ඔන්චිල්ලාව තියෙන අත්තට නගින එක උනත් අපේ වයසේ හැටියට මාරම චැලේන්ජ් එකක්! ඉතින් අය්යා කරන්නේ ගෙදරින් හොදි එහෙම කෑම පෙට්ටියකට දාගෙන , කඩෙන් පාන් ගෙඩියක් අරගෙන අර අට්ටාලෙට ගෙනිහින් කන එකයි... ඕකට එයාට සහයට හිටියා තවත් අහල පහල අය්යා කෙනෙකුත්.එයා තමයි අර හැඟී මුත්තං කතාවේ හිටියේ... මම ඉතින් දන්නවා නේ... මට ඉතින් කැහිල්ල නේ... මට ඉතින් ඔය අට්ටාලෙට නගිනකල් ඉවසිල්ලක් නැහැ.... ඕකට නගින්න බැහැ ඉක්මනට... මොකද ගැහෙ ගොඩක් උඩට යනකල් අතු මුකුත් නැහැ. පළවෙනියට අහුවෙන අත්තේ තමයි ඔන්චිල්ලාව තියෙන්නේ.. ඉතින් හරිම අමාරුයි.
සුපුරුදු විදියට මම වැඩේ අත අරින්න සුදානම් නැහැ. මෙලෝ දේකට උදව්වක් නැති උනත් , අය්යා නැති වෙලාවක් බලලා අක්කත් එක්ක ගියා මම ලාවුළු ගහ ගාවට.
"ඔයා මුලින් නගින්න , මම ගහ යට ඉන්නං "
අක්කා කොහොමත් බය ගුල්ලි. මම කොහොමත් එයාව ගෙනාවේ ගහට නගින්න නෙවෙයි.. මුරට!
මම ඉතින් ගහට නගින්න ගත්තා. අනිත් අය නම් මන්දා.. මම ගස් නගින්නේ මගේම ක්‍රමේකට.. ගහ බදාගෙන පටන් ගන්නේ... අඩියක් විතර නගින්න විනාඩි විස්සකට වඩා යනවා...අඩි කීපයක් යනකොට ඉතුරු ටික ටුක් ගාල නැගගන්න පුළුවන්. මොකද කකුල් දෙක වෙව්ලන ගතිය පොඩ්ඩක් අඩු වෙන හින්දා... මම ඉතින් වෙව්ල වෙව්ලා නැග්ග කොහොම හරි දැන් ඔන්චිල්ලාව තියෙන අත්ත ළඟට. නැගලා පල්ලෙහා බැලුවා.... 'හුහ්...' මොකට බැලුවද? උස වැඩි!!!
"දැන් නගිනවා හලෝ... වැඩිය උස නැහැ..."
මම අක්කාට කිව්වේ මම තනියෙන් නගින එක ජොලියක් නැහැ වගේ දැනුන හින්දා.
"බෑ .... උසයි... අප්පා.."
ඒ උනාට මම අතෑරියේ නැහැ. මගෙන් බේරුමක් නැති තැන අපේ අක්ක ඔන්න මම කල විදියටම ගහට නගින්න කියලා ලෑස්ති උණා . බද හුරාගෙන ඔන්න දියක් විතර නැග්ග කියමුකෝ..
"දඩොස් ....."
අක්කා බිම දොයියා!! ගෙම්බා ගැහුවා වගේ...
"අක්කි... අක්කි...." ඔන්න පොඩි කෙදිරිල්ලක් ඇහුනා..
මගේ දැන් කකුල් දෙක මැඩ්ලින් ගහනවා උස වැඩි හින්දා බිම වැඩිය බලන් ඉන්නත් බැහැ .. මුණ පහතට ඉන්න හින්ද මේකිගේ මුණ පේන්නෙත් නැහැ..
ඔන්න ටික වෙලාවකින් කෙදිරි ගගා මෙයා නැගිට්ටා. එතකොට තමයි ලේ පොඩ්ඩක් ඉනුවේ. මම උන්නේ මැරිලා කියලා.
"මොකද උනේ?"
"ලිස්සුවා... මට බෑ අප්පා.... ඔයා නැගල කියන්න මට මොනාද උඩ තියෙන්නේ කියලා"
දැන් ඉතින් පුළුවනෑ මට මේ බඩුවට ආයෙත් ගස් නගින්න කියන්න?
ඉතිරි ටික ලේසි.. මම ඉක්මනට ළඟ ළඟ තිබ්බ අතු වලට අඩිය තියලා නැග්ගා අට්ටාලෙට. අප්පා... දැනුන සනීපයක්!! වටේම හොඳට පේනවා. හොද සනීපෙට හුලනුත් එනවා. මේ සනීපෙ විදින මට අපේ අක්ක කොක්කක් දැම්ම...
"මොනාද උඩ තියෙන්නේ?"
මට දැන් තමයි සිහියට ආවේ මම මේ ගමන ආවේ හොර වැඩ ඇල්ලීමට සහ ඉරිසියාවට කියලා. මම වටපිට බැලුවා.. අපොයි සල්ලි! කාපු පාන් කුඩු ටිකකුයි, හිස් උන කෑමපෙට්ටි දෙකකුයි තිබ්බ ඇරෙන්න මම බලාපොරොත්තු උන රන්මසු උයනක්වත්, අර සුරංගනා කතාවල එන ජාතියේ මැජිකල් නිධානයක්වත් තිබ්බේ නැහැ නොවැ ???
ෂැක්....! මගේ බලාපොරොත්තු නම් පොඩ්ඩක් විතර කඩ උනත් මට හිත හදාගන්න පුළුවන් උනේ මම ලොකු වීරකමක් කරපු හින්ද...
'මම අය්යලාගේ අට්ටාලෙට නැග්ගා ආඃ '!!!
ඔන්න ඉතින් මම වටපිටත් සිරි නරඹනවා.. ඔන්න එතකොට තමයි හොදම දර්ශනේ දැක්කේ....
අපේ අය්යා ගෙදරින් ගියේ එයාගේ ගණන් පන්තියට. ඒ හින්ද මට හොදටම ෂුවර් පැය දෙකකට මෙහා එන්නේ නැහැ කියලා. එකනේ මේ වැඩේට සුදානම් උනේ.
එයාගේ අතිජාත මිත්‍රයාගේ ගෙදර තියෙන්නේ අපේ ගෙදරට ගෙවල් කීපයක් එහායින් කන්ද උඩහට වෙන්න. එයාලගේ ගෙදර යන්න එයාට අවසර නැති හන්ද ඒ අය්යා අපේ ගෙදර එන්න පුරුදු වෙලා හිටියේ. මේ අට්ටාලෙට ඒ අය්යලගේ ගෙදර මිදුල හොඳට පේනවා.
ඔන්න ඉතින් මම මේ මාලිගාවේ සීමැදුරු කවුළුවෙන් බලාගෙන ඉන්නකොටම දැක්කනේ... මොකද්ද දන්නවද.... අපේ අය්යා උන්න නේ අර අය්යලගේ මිදුලේ!!
අපි දෙන්නගේ ඇස් දෙක හමු උනා නේ අප්පා ඒ මොහොතේම!! උන්නැහෙත් ගල් වෙලා... මමත් ගල් වෙලා.....අම්මා... මට දැනුන සනීපෙ කොතරම්ද කියනවා නම්...... කකුල්දෙක ' ඩින් .... ඩොන් ...' ගෑවා ....
කොයි පැත්තෙන් ගහෙන් බහින්නද කියල බැලුවේ වත් නැහැ..... අහු උන පැත්තෙන් බහින්න පටන් ගත්තා...
"ඇයි .... ඇයි ... මොකද?උඩ නයෙක් වත් ඉන්නවද?"
අපේ අක්කගේ හැටි එහෙම තමයි. වෙලාවේ හැටියට වෙන්න පුළුවන් දෙයක් උනත් මෙයාට හිතෙන්නේ එයාගේ ලිස්ට් එකේ තියෙන භීතිකාවක් විතරයිනේ!! මෙයා මේ මගුල් නයෙක් ගැන කතා කරනවා... මම බහින්න ගත්තේ දත කට පුට්ටු වෙච්ච ගමන්..
"අනේ අක්කි... පොඩ්ඩක් අන්තිම ටිකට අල්ලනවකෝ"
අන්තිම අඩි කීපයට කලින් මම අක්කට කිව්වේ මගේ තිබ්බ හදිස්සියට මම හරියට බිමට කකුල තියාගන්න පුළුවන් තැනකට නෙවෙයි බහින්න හදල තියෙන්නේ.
"හරි හරි.... ඔන්න.. "
..කවදත් වගේ. අපේ අක්කගේ කට විතරයි...... ඔව්ව මතක් උනේ නැහැ නේ ඒ වෙලාවේ .... පැන්නා !
දෙන්නම එක පොදියට බිමට පාත් උනා.
"අය්යා දැක්ක හලෝ... දුවමු දුවමු...."
බිමට පාත් උනේ හොම්බෙන් උනත් මම කෑගහගෙන නැගිට්ට. මෙන්න බොලේ මගේ කකුලටත් පෑගිලා හිටපු අක්ක මාවත් පෙරලගෙන දුවලා!!
පුදුමයක් නැහැ..... එව්වට එයා හරි දස්සයි අප්පා....
දිව්වයි කියමුකෝ.... දුවල ගානක් නැතුව හිටියයි කියමුකෝ.... මගේ බඩයි කකුල් දෙකයි දෙකම හොදටම හිරිලා. හොරෙන්ම බේත් දාගෙන මම දැන් සුදු කොඩියකුත් වනාගෙන හිටියේ කොයි වෙලේ හරි අය්යා කඩන් වැටෙයි, ඔක්කොම ඉවරායි කියලා..........
පස්සේ තමයි මතක් උනේ... ඌ කොහොම කියන්නද? උගෙත් හොර වැඩක් මම දැක්ක නේ???
හාහ්.. හාහ්.... අන්න එහෙමයි වැඩේ මාට්ටු උනේ නැත්තේ