Monday, September 1, 2014

75. සොඳුරු මල් මාවත

මේ කතාවේ මතකය අලුත් උනේ මම මේ ළඟදී සියා කෙනෙක් විසින් පදවන බස්රථයක් ගැන ලියද්දි. නැත්තම් මට මේ කතාව මතක් වෙන්නේ හරි අඩුවෙන්. හැබැයි, මගේ ජිවිතේ මම ආයෙත් හිතල බලන කතාවක්. සමහර වෙලාවට කෙනෙකුට බැලුවම වැදගම්මක් නැතුවා වගේ පෙනෙන්න පුළුවන්.

ඔව්.. අපි හැමෝගෙම ප්‍රයෝරිටිස් එකිනෙකාට වෙනස් නේ!

අපේ ගෙදර ඉඳන් මම බස් එකේ ඉස්කෝලේ යනකාලේ නොයෙකුත් විසිතුරු වැඩ සිද්ධ උනත් මෙලෝ රහක් නැති මම ඕවට කිසිම හොඳ ප්‍රතිචාරයක් දක්වපු කෙනෙක් නෙවෙයි. කොටින්ම මම අපේ ගෙවල් පැත්තේ සම වයසේ අනිත් ගෑනුලමයි , පිරිමි ළමයි එක්කවත් වැඩි ඇයිහොඳය්යක් පවත්වපු කෙනෙක් නෙවෙයි. අපේ අම්මට ගමේ මිනිස්සු සලකන හින්දත්, අපේ අය්යා ගමේ කාගේත් හිතවත් චරිතයක් හින්දත් මිසක්, මම නම් හිතන්නේ මාව වැඩිදෙනෙක් අදටත් අඳුනන්නේ නැතුව ඇති. ඒ ඔක්කොම මගේ සුපුරුදු ඉබි ගතිය හින්ද.



ඉස්කෝලේ බස් එකේ යන කාලේ, මමත් අපේ අක්කත් දෙන්නම එකට තමයි ඉස්කෝලේ යන්න පිටත් වෙන්නේ. අක්කගේ පුයර සාත්තුව ඉවරවෙලා එනකල් මම කරන්නේ අපේ අනිත් ගමන් සගයා වන පල්ලෙහාගෙදර නංගි එනකල් මිදුලේ එහාට මෙහාට යන එකයි.  ඉස්කෝලේ යන එක ඉවර කරාට පස්සේ, මමත් අර නංගිත් තමයි සෙට් වෙලා ගියේ.

මගේ යාලු ෆිට් එකක් උන මේ නංගි ගැන මම ලියලත් ඇති. අර රෙකෝඩ් පොත එහෙම අප්ඩේට් කලේ? මේ නංගි  ආච්චිගේ ගෙදර. ආච්චි තමයි ඒ පැත්තේ කඩ කීපෙකටම ආප්ප එහෙම හැදුවේ. සියා වඩුබාස් කෙනෙක් විදියටත් පස්සේ කාලෙක කඩවල් වලට කඩදාසි බෑග් හදල දෙන එකත් තමයි කලේ.මේ හේතුව හින්ද අපේ අම්ම නිතර මේ ළමයාගේ ඉගෙනීමට එහෙම උදව් කළා. ඉගෙනගන්න නම් මෙලෝ උනන්දුවක් නැති උනත් කෙල්ල හරි හැඩයි , ලස්සනයි.

අපි දෙන්නා ඉස්කෝලේ යනකොට නම් අපි නොයෙකුත් විකාර වැඩ කළා. මොකද ගෙදර ඉඳන් පාසල් බස් එකක් නතර කරන හෝල්ට් එකකට යන්න ටිකක් දුර යන්න ඕනේ. ළඟම තිබ්බ හෝල්ට් එකේ බස් නතර කරන්නේ හරිම අඩුවෙන්. ඉතින් අපි තව හෝල්ට් එකක් යනවා. දැන් නම් මතක් වෙනකොට හිතෙනවා මොනතරම් පිස්සුද කියල.

ඔහොම යන පාරේ අපේ අතුරුපාරෙන් ප්‍රධාන පාරට වැටෙන පාර ටිකක් පටුයි. දෙපැත්තේම තාප්ප ඉහලට බැඳලා. ඒ හින්ද ඒක පෙනුනේ කානුවක් වගේ. මේ වෙලාවට ඉස්කෝලේ යන ගොඩදෙනෙක් එන හින්ද පාළුවක් දැනෙන්නේ නැති උනත්, තනියෙන් යන්න නම් ටිකක් විතර බයක් දැනෙනවා. හැබැයි ඒකත් දැනෙන්නේ දැන්..... මොකද මම ඉස්කෝලේ යනකාලේ ඇත්තටම පාරේ යන එක මෙතරම් භයංකර දෙයක් නෙවෙයි. මේ පාර තාර දාල තිබ්බත් දෙපැත්තෙන් පොඩියට පස් ඉතිරිවෙලා තිබ්බේ. ඒ හින්ද එතන වැවෙන කැලෑව සමහර දවස් වලට පාරෙන් අඩකට වඩා ගිලගන්නවා. හැබැයි, මාසෙකට වතාවක් විතර කවුරුහරි සුද්ද කලත් එතරම් විධිමත් විදියට නෙවෙයි. කොටින්ම කිව්වොත් කාටවත් අයිතියක් නැති මේ කොටස නිතර වල්බිහිවෙන තැනක්..

ඔන්න මම එක දවසක් ඉස්කෝලේ යනකොට මේ පාරේ කවුදෝ සීයා කෙනෙක් නිදාගෙන ඉන්නබව දැක්ක. බලනකොට ඊට කලින් දවසේ එතනම තියෙන බස් හෝල්ට් එකේ සීයා. කිළුටු කෙනෙක් හින්ද මට අපුලක් ඇතිවුණත් මම මුණ නම් දැක්කේ නැහැ. පහුවදා අර නංගිත් එක්ක යනකොට අර සීයා , එතන තියෙන වල් සුද්ද කරපු පොඩි තැනක, ගෝනියක් උඩ වාඩිවෙලා හිටියා මතකයි. මුණ දැක්ක, ඒත් විස්තර කරන්න මට මතක නැහැ.

මේ කාලේ වෙනකොට ඔතන බස් හෝල්ට් එක ගාව තියෙන ග්‍රොසරිය ඉස්සරහ හිටියා තවත් සියා කෙනෙක්. දත් කහම කහපාටයි. ඔලුව බාගයක්ම සුදුවෙලා, කපුටු කූඩේ වගේ. හැබැයි හඩු පෙනුමක් එහෙමටම තිබ්බේ නැහැ. මම පුරුදු වෙලා හිටියා බස් එකෙන් බහිනකොට ඒ සීයා හිටියොත් රුපියල් පහක් දෙන්න. ඒ හින්ද මම බස් එකෙන් බහිනවා දැක්කොත්, කොහේ හිටියත් මේ සීයා දුවගෙන එනවා. හැබැයි මම හිතන්නේ එයා හිඟන්නෙක් නෙවෙයි. නමුත් අර සියා නම් හිටියේ හෝල්ට් එකේ වෙන්න ඕනේ. දවල්ට හෝල්ට් එකේ මිනිස්සු ඉන්න හින්ද මේ සීයා කලේ පහල තියෙන පටු පාරේ එක පැත්තක වල් සුද්ද කරලා හිටපු එකයි. මම හැමදාම යනකොට මේ සීයා ගොඩක් වෙලාවට එතන වල්පැල ගලෝනවා. නැත්තම් අතුගානවා. මුණ හරියට මතක නැත්තේ මගේ අන්දොස් ගතිය හින්ද මිසක්, ඉස්සර නම් මම ඈතකදී දැක්කත් ඒ සීයාව අඳුනගන්නවා.



වැඩි කාලයක් ගියේ නැහැ.. මේ සීයා මීටර් 100 විතර දුරක් තියෙන මේ පටු පාරම වල්පැල ඇතිවෙන්න නොදී ලස්සනට තියාගත්තා. දෙපැත්තේම වල්පැල ගැලෙව්වා විතරක් නෙවෙයි, මම ආසම කරන කූඩළු ගස් වලින් සැරසුවා. ඊට පස්සේ අපි හැමදාම උදේට ඉස්කෝලේ ගියේ මේ ලස්සන මල් මාවත පහුකරගෙන. ඇත්තටම ඒ මීටර් 100 මම ආසාවෙන් ඇවිදගෙන ආපු මීටර් 100ක්. මල්වලට වතුරදාලා එහෙම බලාගන්න මේ සීයාට යමක් දෙන්න මට ලොකුවට උවමනාකලා.

මුලින්ම මම කලේ අර ග්‍රොසරියේ සීයාට දුන්නා වගේ රුපියල් පහක් දීපු එකයි. මගේ  රුපියල් පහ ඒ සීයා ගත්තේ එකම දතක්වත් නැති ඒ කටෙන් ලස්සන හිනාවක් මට දීල. ඒ කාලේ මගේ අතේ සල්ලි තිබ්බෙම නැත්තේ මම සීසන් වලින් ආව ගිය පොරක් හින්ද. ඉස්කෝලේ කැන්ටින් එකෙන් කන්නෙත් නැහැ... මේ හින්ද මගේ අතට සල්ලි දෙන්න හේතුවකුත් නැහැ අපේ අම්මට. එකම දේ තිබ්බේ ස්පෝට්ස් වලට යනකොට ලැබෙන දීමනාව විතරයි. ඒකෙන් තමයි මම දුන්නේ. මට ඒ වෙලාවේ වෙන දෙයක් හිතුනේ නැහැ.

මගේ ඉස්කෝලේ ගමනේ සගයා වෙච්ච අර නංගිට මම දවසක් කිව්වා මොනවහරි දෙමු කියල.
"අපි දෙමු බත් එකක්"
නංගි කිව්වා. ඔහොම කතාවුනේ ඉස්කෝලේ යන ගමන්. දැන් අර පාරටත් ළඟයි.

"බත් එකක්? ... ඔයාට වැඩිපුර බත් තියෙනවද?"

"නෑ... මගේ ගාව තියෙන්නේ මගේ එක විතරයි. ඔයා ගාව නැද්ද?"

ඇත්තටම මගේ ගාව තිබ්බෙත් අපේ අම්ම මට දවල්ට කන්න කියල දුන්නු බත් එක විතරයි. ඒත් මතේ දැන් බත් එකක් දෙන්නමයි හිත. හෙට දෙන්න කියල ඉවසිල්ලක් මට කොහොමත් නැහැ නේ...

ඔන්න දැන් අපි මල් මාවතේ මුල. සීයා වෙනදා වගේම මල් අතරේ තියෙන පුංචි ඉඩකඩක එලපු ගෝනියක් උඩට වෙලා ඉස්කෝලේ යන ළමයි දිහා බලමින් , නොබලමින් ඉන්නවා.

සීයා අසලටම ගියපු ගමන් මම තවත් දෙපාරක් හිතන්නේ නැතුව මගේ බෑග් එක ඇරලා මගේ බත් එක සීයාගේ දිහාට දික් කළා. මගේ පාර්සලේ දිහා එක පාරකුත්, ආයෙත් මගේ මුණ දිහා තව පාරකුත් බලපු ඒ සීයා , සුපුරුදු දත් නැති කටින් මට ලස්සන හිනාවක් දුන්නා මට මතකයි.

"පිං සිද්ද වෙනවා පුතා...."

ඇත්තටම මට අමුතු හැඟීමක් දැනුනේ. ඒ හැඟීම සතුටක්මත් කියන්න හරිම අමාරුයි. හරියටම අර දහම් පාසල් හෝල්ට් එකේදී කරපු වැඩේදී වගේ අමුතු ලොජික් එකක් වැඩකලා. කෙනෙක්ට කන්න බත් එකක් දෙනවා කියන එක අමුතු දෙයක් නෙවෙයි, මම ඒක දන්නවා.... මේක මට දැනුනේ හරි වෙනස් විදියට.

එදා කන්න දෙයක් නැතුව, අතේ සල්ලි තිබ්බෙත් නැතුව මම බඩගින්නේ හිටිය මැටි මෝලා වගේ. ඒ වයසේදී මම එකට කට්ටිය එක්ක සෙට් වෙලා කන්නෙත් නැහැ.

ඔය සිද්ධියෙන් පස්සේ මේ සීයා මාව දැක්කොත් එයාගේ ලස්සන හිනාව මට පාන්න අමතක කලේ නැහැ. ඒ මිනිසා ඒ පටු පාර විතරක් නෙවෙයි, අපි හැමෝගෙම උදේ ලස්සන කළා කියලා තමයි මට ඒ දවස්වල නම් දැනුනේ. මම දන්නේ නැහැ ඒ පාරේ ගියපු අනිත් ළමයි කොහොම හිතුවද කියල. ඒත් මට එකක් විස්වාසයි... මේ සීයාට ඒ අවට හිටපු ගොඩක් දෙනා හරි හිතවත්කමක් පෙන්නුවා.

ඔහොම කාලය ගතවුනා. එකෝමත් එක දවසක ඉඳල අර සියා පේන්න හිටියේ නැහැ. ඒ වගේම ඔහු වවපුමල් ගස්වලට වතුර නැතුව ඒවා මැරිලා ගියා වගේම මල්ගස් වහගෙන වල්පැල වැවුනා. ඔව්... ඒ සීයා මැරිලා... වටේ මිනිස්සු තමයි අවසන් කටයුතු කරලා තියෙන්නේ.

අපේ මල් මාවත ආයෙත් පටු , වල්පැල ගහන නිකන්ම නිකන් 'පාරක්' උනා.

ඇත්තටම මාවතේ ජිවත් උනත් ඒ සීයා කරපු ඒ මල් වැවිල්ල මගේ හිත ප්‍රබෝධමත් කළා. වියදමක් නැතුව උනත් අපිට කෙනෙක්ගේ හිත සුවපත් කරන දේවල් කරන්න කොතරම් සරල ක්‍රම තියෙනවද? මම සතුටුවෙනවා ඔහුට මගේ කෑම වේල දෙන්න පුළුවන් වීම ගැන... ඒ වගේම එක වතාවකට හරි ඒ මල් මාවත දිගේ ඉස්කෝලේ යන්න පුළුවන් වීම ගැන...

අපිටත් බැරිද අපි ඉන්න, යන මාවතේ එහෙම මල් වවන්න? මී අඹ සිටුවන්න? ඒ නැතත් කොහොඹ ඇට නොසිටවා ඉන්න??

9 comments:

  1. කොහොඹ ඇට නොසි‍ටුවා ඉන්න කිව්වේ ගැඹුරු තේරුමකින් වෙන්නැති. නමුත් කොහොඹත් හෙවනට හොඳම ගහක්. අමුතු සිසිලසක් තියෙන හෙවෙනක් තියෙන්නේ. පාරේ කෙසේ වෙතත් අපි හිටපු ක්වාර්ටර්ස් එකක නම් අපි ගස් වැවුවා. පස්සේ කාලෙක අපි එතන හෝඅගෙන ලංකාවේ අනිත් පැත්තටම ගියේ ඒ ගස් වලට මොනවා වෙලාද කියලා බලන්නත් එක්ක. මොන. දැන් ඉන්න කට්ටිය නිකං අහිගුණ්ටිකයෝ වගේ ඉන්නේ මහම පෙරේත විදියට.

    ReplyDelete
    Replies
    1. ඔව් හෙන්රි... ඒකෙ ලොකු අර්ථයක් තියෙනවා. කොහොඹ ඇට සිටවිමත්, නොසිටුවා සිටීමත් කියන්නේ ඉඳුරාම වෙනස් කතා දෙකක්නේ.

      මල් හිටවන එක කියන්නේ මගේ ප්‍රියතම හොබී එකක්. අපේ අම්මගෙන් මට උරුමවෙච්ච විඳින්න පුළුවන් ජාතියේ දෙයක්. අපේ ගෙදර ඉස්සර මල් ලෝකයක්. නොතිබ්බ මලක් නැති තරම්. මම තමයි ලෑන්ඩ්ස්කේප් කරන්නේ.. තණකොළ කපන්නේ, මල් වල පාට , පිපෙන කාලය, ඕනේ ඉර එළියේ ප්‍රමාණය හැටියට තමයි හිටවන පිළිවෙල තීරණේ කරන්නේ.

      මේ සොඳුරු මනුස්සයා එයාගේ පාරේ ඉන්න තැන ගැන දරපු ආකල්පයට මම හරිම ආසයි හෙන්රි. අපි අපිටම අයිති නැති ඉඩකඩම් ගැන හිතන්නේ කොතරම් අඳුරු විදියටද? කුලියට ඉන්නවා කියල හිතමු. එක්කෝ තාවකාලික තැනක්... නැත්තම් ඉඩකඩ මදි තැනක් නම්, ලස්සන පිළිවෙල ගැන හිතන්නේ අඩුවෙන් නේද ?

      Delete
  2. තමන් ඉන්න තැන සුද්ද පවිත්‍ර කරගෙන මල් වවාගෙන හිටපු සීයා ගැන අහපුවම එකපාරටම මට මතක් උනේ විභූතිභූෂණ බන්දෝපාධ්‍ය විසින් ලියන ලද අරණකට පෙම් බැඳ පොතේ ඉන්න යුගල ප්‍රසාද් වයි.ඔහු මහා කැලේ මල් ඇට අතු පැල හිටවල මල් පිපුනම සන්තෝෂ වෙනවා.සීයත් ඒ වගේ හරිම සුන්දර මනුෂ්‍යයෙක්.
    මල් හිටවපු සීයාත් සීයා ගැන සංවේදී වුන ඔබත් දෙදෙනාම හරිම සොඳුරු සිතැත්තවුන් කියා මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් හැලපේ ... මමත් ආසම පොතක්.... අම්මේ එහෙම සර්වසම්පුර්ණ පරිවර්තන කොහෙද දැන්?

      ස්තුතියි හැලපේ... හිතන්නේ මම විතරක් නෙවෙයි, තවක් ගොඩක් දෙනෙක් මේක විඳින්න ඇති. එක්කෝ වැඩිහිටියෙක් ලෙස, නැත්තම් මම වගේ පාසල් දරුවෙක් විදියට. ඒ වගේමයි ඒ සීයාගේ හිනාවත්... එයා එහෙම සතුට බෙදුවේ නැත්තම් අපිට ඒ සතුට බෝවෙන්න ඉඩක් කෝ?

      Delete
  3. සීයාගේ කතාව කියෙව්වම මට හිතුනේ , තමන්ට පුළුවන් සුළු දේ කරන්නේ නැතුව නිකං ඉන්න මිනිස්සු කීදෙනක් නම් ඉන්නවද කියලයි , අර "අඳුරට සාප කරමිනි නොසිට එක පහනක් හෝ දල්වන්න " කියන කතාවට අරුතක් දීලා තියෙනවා ඒ සීයා

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන්. මහා ලොකු දේශනා කරන අයත්, කරන්න ගියහම කරන්නේ නැහැ. ඒ නැතුව මෙහෙම චරිත මම ඔය ගිදමෝපසන් ගේ කතාවල් වල ඉන්නවා . හැබැහින් දැක්ක එක්කෙනෙක්...

      Delete
  4. patta lassnay....,
    dukath hithenawa...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි...
      ඔව් දුකක් තියෙනවා. ඒත් ඒ සීයා අපිට බෙදපු සතුට ඊට වැඩියි..

      Delete
  5. සමහර වෙලාවට ජීවිතේ ගෙවිලා පරිණත වෙද්දි ඔබට හිතෙයි ඒ කොහොඹ ගස් කොච්චර විසාලද කියලා. තවදුරටත් ඒවයෙ තිත්ත රස දල්ලක් කඩාගෙන කන්න බැරිවුණත් දැවෙන දාහයට සිසිලක් ලබාදේවි ඒ කොහෙ‍ාඹ ගස.
    ඔව්, මී අඹ ගස් වල කොළ හැලෙන ගිම්හානයේ වුණත්.

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...