Tuesday, March 31, 2015

163. බුදු අම්මෝ හෝව් හෝව්..!





මේකත් මගේ පොඩි කාලේ සම්බන්ධ කතාවක්.

මගේ පොඩි කාලේ ගැන ඉතින් කොහොම කොතැන කියන්න ගියත් ඉතින් අපේ අය්යා කාරයා සහ අක්කා ගැන නොකියාම බැහැ.

පොඩි කාලේ ගැන සැකවින් මම මෙතැන ලිව්වා.

ඒ වගේම උණුවතුර ළිඳක් පහසුවෙන් සහ ඉක්මනින් සාදා ගන්නා අයුරු මම පොඩි කාලේ අත්හදා බලපු හැටිත් ලිව්වා.

පොඩිකාලේ ඉඳල පුරුදු වෙච්ච යහපත් ගතිගුණය තමයි ගෙයි ගින්දර පිටට නොදෙන එක. ඒ ගැනත් ලිව්වා

බෝනික්කෙක් හින්ද වෙච්ච පපුවේ අමාරුවක් ගැනත් ලිව.

ඇයි අපේ අය්යාගේත් මගෙත් කුරුමිණි මිරිකුනි වැඩේ?

ඒ වගේම අපේ පාරම්පරික ක්‍රීඩාවක් ගැනත් ලිව්වා.



දැන් ඉතින් මක්කද ලියන්න හදන්නේ? මක්කා ලියන්නද ඉතින් වෙච්ච දෙයක් ලියනවා මිසක්. අපි වෙච්ච දේවල් කියනවා, වෙන්න තියෙන දේවල් නම් කියන්නේ නැහැ... අනේ ඔව්...

අද මම ලියන්න හිතුවේ පොඩි කාලේ සිද්ද උනත් ගොඩක් ලොකු උනාට පස්සේ ක්ලික් වෙච්ච සිද්ධියක්. මක් කිව්වා? ඒ මොන හරුපයක්ද? නෑ නෑ .. කිසි හරුපයක් නැහැ. ඔක්කොම සුද්ද සිංහලෙන්...

Friday, March 27, 2015

162. කෝට් එකේ කොටු කොටු





මම මගේ ක්‍රීඩා අතීතයේ සමහර සිදුවීම් ලියාගෙන ආවා.

මේ මම ක්‍රීඩා කරන්න පටන් ගත්ත කාලේ.
මේ ඊට පස්සේ සිද්ධි කීපයක්
මේ මම කණ්ඩායමක් නැතුව ගන්දබ්භව හිටපු කාලේ.

ඔය අන්තිමට කියපු සිද්ධියෙන් පස්සේ මම තනියෙන් සෙල්ලම් කරලා දක්ෂකම් පෙන්නපු නිසා මගේ වැඩිමහල් කණ්ඩායමට 'සිද්ද උනා' මාව එයාලගේ ටීම් එකට ගන්න. මම එහෙම සිද්ද උනා කිව්වේ හැමදෙනාම වගේ එයාලගෙන් ප්‍රශ්න කළා මම චැම්පියන්ශිප් එකක් දිනලත් මොකද ටීම් එකේ නැත්තේ කියලා. ඒ නිසා මාව මට වඩා වැඩිමල් අක්කලා ඉන්න ටීම් එකට දොරවල් ඇරුණා.

මේ ටීම් එකේ හිටියෙ මම පොඩිකාලේ ඉඳන්ම කෝට් එකේ ඉඩ පොඩ්ඩක්වත් නොදුන්නු, කලින් චැම්පියන්ශිප් එකකදී මට ලොකු කැපිල්ලක් දාපු වැඩිදෙනෙක්. එකම එක අක්කා කෙනෙක් ඇරෙන්න, අනිත් හැමෝම හිටියේ හොස්ටල් එකේ.

ඒ දවස්වල උනත් මම ඔය අසාධාරනකම් හරි පරණ කෝන්තර හරි මතකේ තියාගෙන පළිගන්න හිතන්නෙවත් නැති කෙනෙක්. කොහොමත් ඉස්කෝලේ මේ ප්‍රශ්න කිසිම දෙයක් මම මගේ ගෙදරට කිසිම විදියකින් අඟවන්නේ නැතුව තමයි හිටියේ. ඒ මගේ හැටි. ඒ හින්දා අලුතින් ටීම් එකට ආවාම මට ආපු පොඩි පොඩි කැපිලි සහ හිත රිදවීම් මම ගණන් ගත්තේ නැහැ පොඩ්ඩක්වත්. මේ හින්ද අලුත් ටීම් එකේ ඉහ ගහලා ඉන්න මට එතරම් අමාරු උනේ නැහැ. මම ඒ දවස්වල කොහොමත් ගල් ඉබ්බෙක් වගේ. වැඩි කතාවක් බහක් නැහැ, ආව - ප්‍රැක්ටිස්  කළා - ගියා. ඒ අක්කලා කියන දෙයක් කරලා සද්ද නැතුව හිටියා.

Friday, March 13, 2015

161. සිද්ධියක් සහ දෙදෙනෙකු






නුඹ..
මගෙ අතින් ගිලිහුණ...
ගිලිහී බිම පතිතවුන..
පතිත වී බිඳුන...
බිඳී සුන්බුන් විසිරුණ..
නිරුවත් මොහොතෙ පෑගුන...
ඇනුන මොහොතට වඩා රිදවන..


මම...?

රුවල් හකුලන - ගිලෙන 

Thursday, March 12, 2015

160. මල් - කෝපි - රිවෝල්වර





ඉදින් මා පුරවමි
පතුරොම් එකින් එක
මල් අමුණන විවේකෙට
ලැබෙන උණු
කෝපී තොලගාමින

Monday, March 9, 2015

159. වර - කා (02)

මුල්  වර-කා කෑම

ඔහොම මාව ජිම් එකෙන් දොට්ට දැම්මට පස්සේ...

පස්සේ ඉතින් මක්කා කරන්නද...? වෙන කරන්න දෙයක් නැති වෙලාවට ඉතින් මම පාඩම් කළා. ඇත්තම කිව්වොත් මට ලැබුන කාලෙන් වැඩි කාලයක් වැය කලේ මගේ නවකතා ලියවිල්ලට. ඒ දවස්වල මට පට්ට ඉන්ටරෙස්ටින් සත්‍ය කතාවක් ලැබුනා ලියන්න කියලා. ඉතින් මම එකසියා ගානට ඕක ලිව්වා. දවසකට පිටු 10-15 පවා ලිව්වා. ( දැන් අහන්න එපා පොතේ පිටු කීයක් තිබ්බද කියල.. එව්වා මට මතක නැහැ)

ඔහොම ඔහොම ඉතින් කාලය ගෙවුනා.

මට පොඩි පහේ ලෙඩක් තියෙනවා. පොඩි කිව්වට ඕක හරිම සුට්ටන් ලෙඩක්. එකම වැඩේ ලෙඩේ සුට්ටන් උනාට අතුරු ප්‍රථිපල සුට්ටන් නොවීම. ඔය ලෙඩේ නිසා තමයි මම එක පාරක් ලියපු අර පරණ ඉස්කෝලේ මිස් වෙලා වෙච්ච සන්තැසිය සිද්ද උනේ.

ලෙඩේ මොකද්ද දන්නවද? ඒ තමයි මහා විනැම්බෑසියක් වෙලා තියෙද්දී මුකුත්ම නොදැනී ඉඳල, හිටපු ගමන් කොළ බොක්කටම එකවරම වෙලා තියෙන සන්තැසිය දැනෙන්නට පටන් ගැනිල්ල.


කොටින්ම කිව්වොත් මාස ගානකට කලින් exam භීතිකාවෙන් කොර වෙලා අනිත් එවුන් දඟලනකොට මට ගානක් නැතුව ඉඳල, එකපාරටම විභාගෙට සතියක් විතර හෝ පැය ගානක් තියෙද්දී හෝ එකවරම සුනාමියේ දෙවන රළ ප්‍රහාරය වගේ දැනෙන එක!

කිව්වත් වගේ මට ඕක මේ පාර දැනුනේ හරියටම..... හරියටම කිව්වොත්......

ඇඩ්මිෂන් ගන්නකොට? අපෝ නෑ....... ඒවාට තව කල් තියෙනවා

ක්ලාසස් වල අන්තිම දවසේ - නෑ නෑ

සතියකට කලින් - හ්ම්ම්... මේ පාර නම් එහෙම උනේ නැහැ..

හරියටම උනේ.... - පළවෙනි පේපර් එක තියෙන දවසට කලින් දවසේ රෑ !!

158. වර - කා (01)

අද ඉඳන්, මේ මොහොතේ ඉඳන් සිරා වෙනවා ( නෑ නෑ .. ඒ සිරා නෙවෙයි... නෑ නෑ .. අර සිරාත් නෙවෙයි... සීරියස් සිරා ඕයි ) කියල හිතල හුස්මක් ගන්න ලැබුනේ නැහැ.

මට හම්බුනා නේ වරකා ගෙඩියක්... 

ගෙඩියක් කිව්වට ගෙඩියක්ම නෙවෙයි, ගෙඩියකින් පොඩි පංගුවක්. පොඩි කිව්වට කෑල්ලක්. කෑල්ලක් කිව්වට ගෙඩියක් දෙකට කපලා එක කෑල්ලක්. අර්ධයක්? නෑ ... නෑ .... අර්ධයක් වෙන්නේ කොහොමද... ඕක දෙකට කපනකොට මමමනේ එක පැත්තක් වැඩිපුර ලොකු වෙන්න කියල කප්පවාගෙන අමතකවිල්ලකින් වගේ අර 'ඩිංගිත්තක්' ලොකු කෑල්ල ඉක්මනට කොලේකින් ඔතෝගෙන ගෙදර උස්සන් ආවේ! ඉතින් ඕකට අර්ධයක් කියන්න මට පිස්සුය?



හා... දැන් කියන්න එපා මම දෙකට කපන්න දන්නේ නැහැ අරකය මේකය කියල... මොකද මම නොදන්නේ! වරකා දෙකට කපනකොට ඔහොම වෙනවා කොහොමත්. කොහොල්ලා ගතිය වැඩි නිසා කොහොමත් එක බාගයක් පොඩියට කැපෙන්නේ. ඊටත් වඩා ඕකේ තියෙන කටු කටු ගතිය නිසා කොහොම කැපුවත් කෑලි දෙකම එක ගානට පේන්නේ. ඒ උනත් මට පුළුවන් තක්කෙටම අර 'ඩිංගිත්තක්' ලොකු කෑල්ල කිසි ගේමක් නැතුව අඳුන ගන්නත්, මොන වැඩ රාජකාරි තිබ්බත් ඔය වරකා ගෙඩිය පරිස්සමට ගෙදර ගේන්නත්. මම කොහොමත් කිසි කරදරයක් නැති ළමයෙක්.. අනේ ඔව්... වරකා සම්බන්දයෙන් මම කිව්වේ..

Friday, March 6, 2015

157. කඩය වසා ඇත







පෝයට
පව්
කරනු
නොලැබේ..




Wednesday, March 4, 2015

156. හා කියපන් මචන්... ( say YES machan)!!



මේ දවස්වල ඔෆිස් එකේ හුස්ම ගන්න බැරි වෙන තරම් වැඩ. ඒ කියන්නේ ඔලුව උඩ දුං කබලක් තියාගෙන ඉන්න හනුමන්තා වගේ මගේ වැඩේම ඒ කොනේ ඉඳන් මේ කොනට දුවනවා. වෙලාවට ඔෆිස් එක එතරම් ලොකු නැත්තේ. නැත්තම් එක කොනක ඉඳන් අනිත් කොනට එනකොටම ඉන්ටවල් බෙල් එක වදී. ඒ කොනේ ඉඳන් මේ කොනට දුවන්නේ මොකද දන්නවද... පුටුවේ උන්නොත් සමහරුන්ට ඇහේ කටු අනිනවා වගේ

"උපේක්ෂා... මේ වැඩක් තියෙනවා පොඩ්ඩක් බලනවද?"

"මේ හලෝ... ඔතන සිංහල කොට කොට ඉන්නේ ඇවිත් මේ ප්‍රොජෙක්ට් ප්ලෑන් එක ගොඩදාල දෙනවකො"

"මේ... අර මේල් එක යැව්වද?"

"..... හදල ඉවරද?"

".. මේක කරලා දෙනවද?"

"... මිටීම කෝ?"

ඔන්න පුටුවේ හිටියොත් වෙන ජාති. ඉතින් මම කරන්නේ පුරුවෙන් බිමට පැනලා දුවන එක. ඔය දුවන අතරෙත් මට බාල්දි වැටෙනවා. චෙක් විතරක්  හිතෙනවා! මොකට විස්ස විජ්ජාලෙකින් උපාධියක් ගත්තද කියල හිතෙනවා.

කොහොමත් මට ඔය කලකිරිල්ල තියෙන්න අදක ඊයෙක ඉඳන් නෙවෙයි. අර සුදු බණ්ඩා දිසානායකට ඔව්වගේ අයිතිය පැවරුවට පස්සේ. (දැන් ඉතින් ඒ ජෝලියත් නැහැ අනේ. මේකද අනේ යහපාලනේ ? දවසකට ජෝක් තුන හතරක්ම අහගෙන දෙය්යනේ කියල අපේ සුදු බණ්ඩාට ලවක් දෙවක් නැතුව බැන බැන ඉන්න තරම් ජොලියක් දැන් ඉන්න අජ්ජාපන ඇමතිලා දෙනවද? මෙලෝ රහක් නැහැ. ඇත්තටම දවසක අපිටම අමතක වෙනවා අපි විස්ස විජ්ජාලෙ ගියා කියල... කෝ දැන් මෙලෝ නිවුස් එකක් නැහැනේ...)

Monday, March 2, 2015

155. ශිශිර නිද්‍රාවෙන් ?




යතුරු සිදුරකින් වෑස්සෙමි
ඔබේ පපුතුරට..

බෙහෙත් ඔරුවක්ව හොවාගමි
දෙඅත් බැඳ එක්කොට...

නිද්‍රා හැර අවදිවනු මැන
මේ කුරිරු 'සරණ බැඳුමෙන්'

ඉක්මනට !



Tuesday, February 24, 2015

154. ~~~ කේන්ද්‍ර ~~~







සියලු පුරුෂයන්
එකිනෙකාට වෙනස්
මනබඳින චාපයන්ය...

එකම ලක්ෂ්‍යයකදී
එකිනෙක කැපෙන !




Saturday, February 14, 2015

153. පිස්සු නැත්තම් ෂෝක් !



බස්සි ලියපු වැලන්ටයින් කාඩ් පෝස්ටුවකට උත්තරයක් ලියනකොට මටත් මගේ පරණ වැඩ ටිකක් මතක් උනා. ඒ තමයි මම ඉස්සර කරපු එක එක වැඩ. අනේ ඉතින් ඕකනේ කියන්නේ... එහෙම වැඩ නෙවෙයි අනේ, මම කිව්වේ නිර්මාණාත්මක වැඩකටයුතු.

ලියන්න වැඩිය මනාපයක් නැහැ. මොකද මම පින්තුර ටික දාන්න විතරයි දැනට හිතන් ඉන්නේ.


1. මට තිබ්බේ Cross Stitch mania එකක්. රෑ  12 පහුවෙනකල් පවා මහපු කාලයක් තිබ්බ. මේ ඒවායින් කීපයක්.

විධිමත්ව මහපු පලවෙනි එක 


දෙවැනි නිර්මාණය  - යාලුවෙක්ට දුන්නා තෑග්ගකට 


පැන්ට්‍රි ඒරියා එකට හැදුවේ.


Thursday, February 12, 2015

152. සුරංගනා කතාවකි - 5





ඇරඹුම

දෙවන සුරඟන පබැඳුම

තෙවන සුරඟන පබැඳුම

සිව්වන සුරඟන පබැඳුම


මේ අතර සිදුවුයේ කුමක්ද?

සාමාන්‍ය කෙල්ල තම නිදි වර්ජිත රාත්‍රියෙන් පසුව සුපුරුදු දිනචර්යාවේ නිරතව සිටිද්දී දුරකතනයේ නාදයෙන් ගැස්සී ගියද, එය නොසලකා උන්නාය. නමුදු සේවිකාව විසින් කැඳවන ලදුව රිසිවරයේ කෙළවරක සිය සවන්පත් තබාගත්තේ ගැහෙන හදිනි.

"මම මේ කුමාරයාගේ සගයෙක්... දැන් කතාකරන්න පුළුවන්ද ?..."

පපුවේ වේගය වැඩිවුවද සාමාන්‍ය කෙල්ල හාත්පස බැලුවේ ආරක්ෂාවට පමණක්ම නොවේ. මෙවන් පැනයකදී ඇගෙන් ලැබෙන්නේ නිහඬතාවයක් බව දන්නා සගයා නැවත කතාකරන්නට පටන්ගති.

"... කුමාරයාට උණ. අන්න ඌ උණ විකාරෙන් ඔයාගේ නම කියනවා."

කුමක් කියන්නද හිතනවාට වඩා විසල් කන්දකට එකවර යටවී ගියා සේ ඈ දුර්මුඛව ගියාය. ඉන්පසුව වෙනදා මෙන් සගයා දෙගොඩතලා යන්නට සිනාසෙන හඬින් සාමාන්‍ය කෙල්ල සාමාන්‍ය සිහියට එළඹියාය.

සිය ප්‍රියතම සුදු පරවියාට හීයකින් විද බිමලු අයෙකු පරිද්දෙන් තද වේදනාවක් තමන් තුලින් ඇරඹී පිටතට එන්නට දඟලනවිට ඇය ඉක්මනින්ම වචනයක් හොයාගත්තාය.

"අහ් !"

"දැන් ඉන්නේ වෙදතුමා ගාව. ඇවිල්ල ඔය කොහෙන් හරි අල්ලලා වත් යන්න. උණ බහී බස බස ගාල."

"මේ......! මගෙන් මුකුත් අහගන්න.."

"විහිළුවක් කලේ අය්යෝ. පුළුවන් නම් එන්න. බොරුවට නෙවෙයි කිව්වේ..."

"පොඩි උණක් වෙන්න ඇති. ගණන් ගන්න එපා කියන්න. මේ.. ආයේ කෝල් කරන්න එපා හරිද?"

"එනවද කියන්න"

151. මොන්ටිසෝරියේ 'කොන්සට්' ( After the Nursery Concert)





අම්මේ මම
රහස් සියල්ලම දැනගතිමි...
ඔබ කී බොරුද හසුවුනි.

පාටක් නැති කියූ
පාට පාටයි කියූ
සියල්ලටම 'පාටක්' ඇත..

සුරංගනාවන් , කුමරියන්
කැරලි කොණ්ඩා තියෙන
සුදුම සුදු අය (පමණක්) බවද,

රකුසන්, මන්තරකාරියන්
වැද්දන් හෝ දුෂ්ඨයන්
කළුම කළු අය ( පමණක්) බවද ,


දැනගතිමි....

රහස් සියල්ලම දැනගතිමි...
අම්මේ මම.......!



150. අගුලක උගුල




මම ගැන කවි ලියා
කියවමි..
නුඹ ගැන කිසිත්
නොලියමි..

පෙම් පත් ලියා
අලවමි....
යලි කවර ගලවා
මුමුනමි....

අගුළු දොරකට
අමතමි....
රන් පිහියකින්
ඇනගමි...



~~~~~ මෙලංග ~~~~~

Wednesday, February 11, 2015

149. සුරංගනා කතාවකි - 4



ඇරඹුම

දෙවන සුරඟන පබැඳුම

තෙවන සුරඟන පබැඳුම



සුරංගනා ලෝකයට ඉල් මාසය ලබනවිට උත්සව සමය ආරම්භ වෙයි.

ඒ අතරේ අපුරු සිදුවීමක් සිදුවිය. එනම්, කුමාරයා තමුන්ගේ නාගරික මාළිගාවෙන් තාවකාලිකව ගම්බද පිහිටි ඔවුන්ගේ නිදහස් මාළිගාවට සංක්‍රමණය විය.

පිය රජතුමා විසින් මෙම මාළිගාව වෙසසින්ම නිමවා තිබුනේ නාගරික ජිවිතයේ තෙහෙට්ටුව නිවාලන සිලිලාරක් දනවන පරිද්දෙන් බැවින් ඉඳහිට මෙම මාළිගාවේ සති අන්තයක් හෝ ගිමහාන සමයක් ගතකරන්නට පැමිණීම පවුලේ චාරිත්‍රයක් වුවා කිවහොත් නිවැරදිය. නමුදු මෙම තාවකාලික සංක්‍රමණය යුධ උපක්‍රමයක් බව මවු බිසව උදක්ම දැන සිටියේ නැති බැවින් අවසරය එතරම් පුදුමයක් නොවිය.

වෙනදා මෙන් සිලිලාරක් මාළිගාවේ නොදැනුනද, නිරන්තරව පොපියන කඩිකුලප්පුවක් කුමාරයාට දැනෙන්නට වුවත් එය තවමත් සිය සගයන්ට පමණක් සීමාවූ මන්ත්‍රණයක් වී තිබුනේ මාළිගාවට පැමිණි දෙවන හෝරාව වනතෙක් පමණි. ආ පයින්ම සෛන්ධව අශ්වයින්ගෙන් යුත් සිය නවතම අශ්ව රියට වන් කුමාරයා සිය සගයින් තිදෙනා සමඟ පිටත්වූ බව මිත්තනිය විශ්මයෙන් බලා උන්නාය. මෙය නම් අපූරු වැඩකි!

148. සුරංගනා කතාවකි - 3




ඇරඹුම

දෙවන සුරඟන පබැඳුම

වසන්ත කාලය එළඹෙන වග කියමින් නොයෙකුත් පණිවිඩ කාරයින් පැමිණ තිබිණ. නමුත් සාමාන්‍ය කෙල්ල ඒ පණිවිඩ සියල්ල ලියුම් කවර වලම සංවෘත ස්වභාවයෙන්ම තිබෙන්න හැර කුඩා ලී පෙට්ටියක අහුරා තැබුවාය.

පාඨශාලාවෙන් නික්මුනද ඇය සිටියේ සතුටිනි. කුමක් හෝ සිතුවිල්ලක දැවටී එන ඒ නැවුම් බවට අමුනපු ගීත කියමින් ඇයගේ දවස ගෙවුනේ සාමාන්‍ය ලෙසටය. පුදුම වන්නට දෙයක්ද නැත, සාමාන්‍ය කෙල්ලක සාමාන්‍ය ලෙස දවස් ගත කිරීම සාමාන්‍ය වැඩකි.

ඒ සාමාන්‍ය බව සාමාන්‍යයෙන් බිඳෙනසුළුබව කියන්නට එකෝමත් එක දවසක දුරකථනය නාද වන්නට විය. කිසියම් වැඩක නිරතව සිටි බැවින් ඇමතුමට පෙර සුදානමක් තිබුනේද නැත, කොහොමත් ඇගේ පෙර සුදානමක් ඇත්තෙම නැති තරම්ය.

"මාව අඳුනන්න පුළුවන්ද ?"

කටහඬින් තිගස්සුනද සාමාන්‍ය කෙල්ල ඉක්මනට සාමාන්‍ය වුවාය.

"හිතුවද මේක TV එකක් වගේ මුණ පේන එකක් කියල?"

අනෙක් පසින් නොනවත්වා නැගෙන සිනාවෙන් පසුව දෝංකාරයක් සේ ඇසෙන පසුබිම් සිනා හඬවල් වලින් ඇමතුම් කරු එක් අයෙක් නොවන බව ඇයට වැටහුනේ ක්ෂණයෙන්. ඒ ක්ෂණයෙන්ම ඇය දුරකථනය විසන්ධි කළාය.

Tuesday, February 10, 2015

147. සුරංගනා කතාවකි - 2






සුරංගනා කතාවේ ඇරඹුම

ඉක්බිතිව එළඹියේ අමුතු ගිම්හානයකි.

කිසිදු ලෙසකින් ඒ කඩවසම් මුහුණ අමතක කර දමන්නට ඒ සාමාන්‍ය කෙල්ලට නොහැකිවිය. උගැන්මට පන්හිඳ ගන්නා සියලු අවස්ථාවන්හිදී කුමාරයාගේ විස විතක් වන් බැල්ම සිහිවීම වලක්වන්නට ඈ අසමත්ව ගිය බැවින් එය එසේම වන්නට ඉඩහරින්නට ඇයට සිදුවිය. කාලය ගතවුනේ ඉබි ගමනින් යන පරිද්දෙන් වුවද බීජයක් වැඩුනේ තුන්වන මානයක වූ සමාන්තර ලොවක බැවින් ඒ බීජය ගසක් වීමට වැඩි කලක් ගතවුනේ නැත. නමුදු ඒ සාමාන්‍ය කෙල්ලට අවබෝධ වූ කාරනා කීපය අතුරින් තමන් සාමාන්‍ය කෙල්ලක පමණක් බව ඇගේ සිතේ තදින් පැලපදියම්ව පැවතුනි.

එය එසේ පැවතුනේ හරියටම අඩ වසරකි.

සාමාන්‍ය කෙල්ල තම ගම්මානයෙන් පිටත්ව පාඨශාලා කටයුත්තකට නාගරික ප්‍රදේශයට යන්නට පිටත්වුවාය. එය වැසිබර දිනයක් විය. ඇය පාසල් කටයුත්ත සඳහා වූ ස්ථානයට ඇතුළුවනවිටම , ඇතුලත සිට පිටතට කඩාවදින සේනාවක් පරිද්දෙන් සිසුන්ගේ පොදියකට එකවරම හසුවුවාය. ගංගාවක උඩුගං බලා පිනන පිහිනුම් කාරියක සේ ඇයට තම අතපය ගසන්නට සිදුවීම දුක්බර වුවද, එකවරම තමන් පසුකොට ගිය දිය කඳක් තමන් දෙසට හැරෙනු වැටහී ඇයගේ ස්වභාවික සත්වයා එයට පිළිතුරු වශයෙන් ඈ ආපසු හරවා තැබුවාය.

Monday, February 9, 2015

146. දන් දුන් පසු






දුවණියක උස් මහත් කර
දෝතින්ම ගෙන අහිතක් නොගෙන
පුදා ආයෙමි හිස් අතින් ගෙදර...

කෙළිකවට කම් කරපු
නොරිස්සුමකට තලපු
කිචි බිචිය , ඉකිබිඳුම
ගෙදර හැම මුල්ලකම
අතුගාගන්ට බැරිවුණු...

Thursday, February 5, 2015

145. ගුරු වෙරී - 01


මම පුංචිම පුංචි එකා කාලේ මගෙන් ඒ දවස්වල ලොකුය කියල හිතෙන වැඩිදෙනෙක් අහපු ප්‍රශ්න කීපයක්ම තිබ්බ.
එකක් තමයි අම්මටද අප්පච්චිටද වැඩිපුර ආදරේ? තවත් ඒ ජාතියේ වෘෂභ ප්‍රශ්නයක් තමයි බබා ලොකු උනාම කවුරු වෙන්නද කැමති? කියන එක.



ඒ කාලේ හිතුනේ නැතත් දෙවැනි ප්‍රශ්නෙට දැන් නම් හිතෙනවා
"කවුරු නැතත් ඔයා වගේ නැතුව ඕනේ කෙනෙක් වෙච්චාවේ"
වගේ රුවන් වැකියක් කියන්ට.

කියන්ටත් බෑ... මගේ ප්‍රොෆයිල් එකේ හැටියට සහ මගේ ඉතිහාසේ දන්නා උදවිය කියනා හැටියට පුදුමයි මම ඔහොම උත්තරයක් නොදුන්නා! එක්කෝ ඒ දවස් වලත් අපේ දෙමවුපියන්ගේ නම්බුව තියනවා කියන කාරණේට වඩා තියෙන නම්බුවත් නැතිකරන්නේ නැතුව ඉන්න එකේ තියෙන මහත්ඵල මහානිසංසය ගැන ඒ දවස්වලම හිතේ තියෙන්ට ඇති. ඒකයි උත්තරේ පමා වෙන්ට ඇත්තේ.

Monday, February 2, 2015

144. සිස්සත්තෙන් පසු.....







ගස.....
පළමුවර මල් වැරූ විට
උදුරවා ගොස් ,
අළුත් පසකට
යට කළෙමි..