Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts

Sunday, November 7, 2021

300: මගහැරුනු අතැඟිලි

 



මම මේ කියන්නේ නිකමට
රිදෙනවා පපුවේ එක පැත්තක් ඊයේ හිට
මතක් වෙනවා මැණික උඹව දැන් ඕසෙට
කියන්නත් බෑ යාලුවෝ බනිනවා යමරෙට

මාළු පිණි මදිවෙලා කටට රහට
බැන්නම, මටත් ඒ කාලේ බැන්නට
කඩෙන්මයි කන්නේ මම, ආසාවට
බිරියානි එක්ක බත් දීපුවා එනවා මතකෙට

වැඩක් නෑ කියා උඹ ගේ මුල්ලකට කලාට
වෙන ගෑනු එක්ක මම චැට් එකක් දැම්මාට
මටම තේරුනේ නෑ මගහැරුණු උඹව මට
දැන් ඉතින් පලක් නෑ , යන්න බෑ ආයේ මට

විසේ නැති බිරිඳක්ව ඉන්ට කියලා කියා
මම හෙව්වේ විසේමයි ඒක දන්නව ඔයා
මටම දැන් මතක නෑ කොහෙන් අරඹමි කියා
මේ තරහ මගෙ නෙවෙයි වගේ ඉන්නෙමි නියා

Thursday, February 6, 2020

288. මායා






සරතැස ගෙවා නිලඹර දිනකර වඩිත
අවපස නුබට දම් පැහැ සළුපිළි දමත
තුරුහිස සොවින් සිය පිඹිදුණු කුසුම මත
මුතුඉස පෙමින් කරමින කෝමල බරිත

ගිනිගත් සුසුම් පවනක මුසු වුන සේයා
පිලිගත් ළමැද උර තලයක විය මායා
පියවෙත් දෙනෙත් වඩනා රසවිල් වේයා
සිළුවෙත් දැනුණි සිසිලස නුඹ තුරුලේයා

Friday, December 27, 2019

287. නුවර වීදියේ || Side by side







මේ හිම මිදෙන හීතල
වීදියේ දිගට ඇති සුකුරුත්තම්වල
ඇති ඒ සොඳුරු සුවඳට,
අඩු එකම එක සුවඳකි...
ඒ ඔබය!
උණුහුම්ම පපුව හිමි,
ඒ ඔබය!!

නුවර වීදියේ
නියෝන් පහනක නතරව,
තරුව නුඹ - බලා ඉනු - දුටිමි මම!
දළදා වීදියම
පෙම්බරයි පෙරදා සේම,
වැව රවුම මදනලට
තොල්පවා සිනාසෙයි - දනී ඔබ!
ඉතින් දැන් වෙලාවයි
එන්න යමු ඇවිදින්න
අපි එක්ක! 
ආදරෙන්.....



NK

Tuesday, March 5, 2019

285. පවස ? | Fight for you





අත පොවන මානය
අල්ව - අල්වා සොයමි,
සුවඳ පපුවක උණුහුම
නොලැබ කෙලෙසක ගෙවමි?

විරසක වෙලා තොල්පෙති
තෙරප - තෙරපා පෙලමි,
රවමි ; ගොරවමි ; පිඹිමි
නුඹ දකින විට නිවෙමි!



Wednesday, January 2, 2019

284. අධිරාජ..




පෙර එක බවෙක
බඹදත් රජෙකු සමයෙක..
සාලිය පවා නොදන්නා
මංමුලා කන්දක - එක්තරා පැලක

බැත පිසෙන සුවදට
පිල්කඩ පසෙක උණුහුමට
උඹ එදත් ඉන්නැති - මෙලෙස!

සලීම් ඔබ කොහිද 
ඈ නොවෙද පිදුවේ ඔබ පෙම් පියුම,
සාලිය ඔබට මතකද
අතැර ආවෙ කිරීඨය නොවෙද?

ඒ වගෙද,!
රටක කිරුළු නොදරන
හදවතේ දිග්විජය අධිරජ
බැත බුදී අද
මගේ පිල්කඩ
එදා වගෙම අද!




Thursday, November 29, 2018

283. මෙතරම්ම ??




මෙතරම්ම උණුහුමක්
කිසිකලෙක දැනී නැත...
මෙතරම්ම මියුරුවට
සියොත් ගී ඇසී නැත....
මෙතරම්ම සිනහවක්
දෙතොල තුල රැඳී නැත...
මෙතරම්ම ප්‍රේමයක්
මිහිමතට උරුම නැත...





Monday, May 30, 2016

281. අතින්වත් අත





ඉතා පටු මාවතකි 
අප දෙදෙන පියමනින,
ඔබේ පියවර ඇසෙයි 
මගේ හිතටත් වැඩිය.

මගේ අත වදී යයි,
ඔබේ අත , ඔබ තබයි.
ඇසෙන නෑසෙන හඬින් 
ගීතයක් ඔබ ගයයි.

පිසින මද නල පවා 
හුස්ම අල්වා සිටියි.
මාවතේ කෙළවරක 
නවතින්න ඔබ කියයි.

සවන්පෙති අද්දරින් 
උණු හුස්ම ගලා යන,
විටෙක මා කිළිපොලා 
සලිතවෙයි - මම සොයයි 

ඉදින් ඔබ මා සොයයි 


මගේ හිත පිරිමදියි....





Monday, May 23, 2016

279. රම්ප කොලයක්






මම  හිතුව විදියමයි
වෙන දෙයක් උනේ  නෑමයි
ඉතින් වෙන මොනවා වෙන්නෙයි,
මම රම්පෙ කොලයක් ගානයි.....

අඩුව ඇති විටකදී
අමතන සෑම තැනකදී
අහිතක් නැතුව හිතදී
කිව්වා නේද උඹට මුලදී?

දැන් ඉතින් ඇති ඔය මල්
කඩපු තරමත් රෑ දවල්
ඇදපු වතුරත් , බඳුනේ දැල්
දෙකම බලහං පෙනෙයි තරු මල්

ගිය දේ දැන් ඉතිං ගියාවේ
ආයෙම රැවටෙන්න උනාවේ
දැන් වත් කල්පනාවේ
යෝදියේ රට්ටුන් හිනාවේ


ප.ලි. මේක යාලුවෙක් වෙනුවෙන් ලිව්වේ මිට අවුරුදු ගණනාවකට කලින්. 



Friday, May 6, 2016

276. වැස්සකට






විසල් අහසට දරා ඉනු බැරි - වැහි බින්දු පොදි බිම වැටි
උපුල් සිහිනෙක රැඳුනු සිරි ඇති - පෙඟුණු නල හමනා හැටි
තැවුල් නොමදෙන සිනා කැන් ඇත - අතුපතර අතුරින් හිටි
සියල් ගිම් බිඳ හරිනු රිසිලෙස - අහස්කුස මා මත වැටි.




පින්තුර: කොහෙන්වත් හොරකම් කලේ නැහැ මේ පාර. මේක පෙරේදා හවස ගත්තේ.


Wednesday, April 6, 2016

264. බිළිදීම





එදත් අද වාගේම
බිළිකරයි උන්
ගැහැණු,   - බේරුමට...
මුහුදක් ගලන විටදිද ,
සතුරෙක් ලුහුබඳින විටදිද,
රථයක්, පිරිමි විලවුනක් අලෙවිකරනටද ,
තුරුම්පුවට.

අදත්
වෙහෙරමව් තෙම,
සාමා බිසව් තෙම,
මගබලාගෙන හිඳී
එනු පිණිස
කැඳවා, රිසියෙන
උන් පිනූ
ගිනිකන්ද පාමුල.




Wednesday, March 23, 2016

257. සමනළ ඉර සේවය





ඉරසේවේ බලන්නම
සමනළ කන්ද නගිනෙමි...

ගල් බොරළු වදීහෙම
කියා බය නොවෙන්නෙමි...

නැන්ග කඳු , වැටුණු පල්ලම
නොබලන්න හිතාගෙන
නගින්නෙමි...

Tuesday, January 12, 2016

242. සරසුල






කම්පනය වන
සරසුලක් මම
කුමන සංඛ්‍යාතයක් වුව
උඹ -
නොපෙනන තැනදී පවා සෙලවෙන

Friday, November 20, 2015

235. පස්වරක්








මට මාව ඕනේ වෙලාවට
මම යන්නේ කවුළුව ළඟට
වැසුණු පියනක වම් පැත්තට
මැඳ'ඟිල්ල පස්වරක් සිපගන්නට

'ටක් ටක් ටටක් ටක්'

ඒ හැම විටෙකම
ඇසිල්ලක් නැතුවම
ලැබෙන පිළිතුරකම
තිබුනේ පස්වර තානම

'ටුක් ටුක් ටුටුක් ටුක්'

අලුත් කවුළුව
නැත, එය වීදුරුව
තට්ටු කෙරුමක් නැතුව
එබෙයි අහන්නෙත් නැතුව


Sunday, November 1, 2015

233. ඩිජිටල් රේඛා ( digital divide?)






ඉරිසියාවෙන් පැලෙමි
මම වෙනුවට
වම් උරෙහි එල්ලෙන
ඔබේ ලැප්ටොපය දැක

කුරිරු ලෙස මත්වෙමි
මට අයිති ඇඟිලි අල්ලන
යතුරු පුවරුව දැක

සෙමෙන්
වමතේ මුදුව අල්වමි,
සිහිනයෙන් බිම බසිනු
දැක දැක


Saturday, October 31, 2015

232. මොන බොරුවක්ද 'බියුටි'





මේ මොන
බොරුවක්ද 'බියුටි' මේ?

මූන කට ලස්සනට
නොතිබුනට,
'බිස්ට්'ලට කැමති වෙන එක
මැරුමකි  - මිනී
හිනා යන....

හාද්දකින් පුළුවන්ද
කුමාරයෙක් කරන්නට?

මේ මොන
බොරුවක්ද 'බියුටි' මේ?




ප.ලි.
කොමෙන්ටු වලින් පෙනී යන්නේ මගේ කවිය අසාර්ථක බවයි. එහෙමය කියල මම එහෙම සැලෙන එකෙක් නෙවේය!! හික් හික්... 

Monday, October 26, 2015

228. පේලි අතරින් (Reading between the lines..)








නුඹ
'නොදකින්' කියන
සැමවිට
පසෙක සිට
ඔල්වරසන් දෙන....

නිතර සොරු බිඳින
ගෙදරක
මිදුලේ මල් වවන... - මම

දිහා බලාගෙන
සිනාසෙන




ප.ලි:

මම සාමාන්‍යයෙන් විරාම ලක්ෂණ සහ විශේෂ සලකුණු එක්ක කතා, කවි කියවන කෙනෙක්. මේ කවියේ අදහස් ඔබ ඒ විරාම ලක්ෂණ වලට දෙන ප්‍රමුඛතාවය මත වෙනස් වන්නට ඉඩ තිබේ. ලිව්වා මිස කියවීමේ අපහසුතා වලට සමාවන්න.


Friday, October 23, 2015

226. වරදට දඬුවම







සත්‍ය ප්‍රේමයට
නිගා දුන්නෙන්,
ආදරය
මා රැවටීය...


Monday, October 19, 2015

224. කලාබර , හාරත






ජාතිය -
හාරතය.

තනතුර -
ඔටුනු පළඳින රජුය.


මුත්

නුඹ හාරත රැජිණය



- මේ ඇලිස්ගේ
විස්මලන්තයය...




Friday, October 16, 2015

223. තන්වැසි නොවූ..







වැනීම තහනම්ය
පස්ස
වැඩිපුර නොවේ කොහෙත්තම...

හිර වෙච්ච හැට්ටද
වම් කොනේ පොඩියට
- ලියපු වැකි ඇති කමිසද
අසාත්මිකය

කොට සාය
තඹ කොණ්ඩ ,
උල් වෙච්ච අඩි වලින්
හිල්වෙලා හැමතැනම -
මගේ පපුව

හවස වෙන කාගේහෝ
වෙලා උඹ ,
වෙඩි කන්ඩ බලාගෙන
හිටගනින් මගේ ගාව
ලිෆ්ට් එකේ
හැමදාම....


222. ඉස්පිලි පාපිලි ඇලපිලි හිදැස්






ලියමි මම
නවත්තන්න බැරි තරමටම..
කවි..

ඉස්පිලි අස්සේ හංගන
පාපිලි අස්සේ ගුලිවෙන
ඇලපිලි වල විටෙක ඇමිණෙන
උඹ ඇත
කොම්බුවක, රේපෙක එල්ලීගෙන..

ඒ කවි අතර
වචන එකිනෙක අතරින්
තබන හිඩැසින් බිමට වැටෙන,
උඹ
ආයෙමත් අනිත්
කවියේ මුලට එක්වන

තාලයක් නැති,
හිතෙන තාලෙට ලියවෙන..
නවතන්න බැරි,
හිතින් නවතින උඹ මෙන....