අපේ ගෙදර ඉස්සර තත්වය තිබ්බ කාලේ ( ඒ කියන්නේ දැන් තත්වය මිට හුගාරියක් වෙනස් හින්ද) වෙච්ච වැඩ දුසිමක් විතර මම ලියලත් ඇති. තව ලියන්න තියෙන ජාති ඉතින් ඉසේ කෙස් ගානට. සමහර ඒවා මට මතක් වෙන්නේ ලියන්න ගත්තම මිසක් මට එතෙක් ඔතරම් ඩිටෙල් මතක තිබිලා නැහැ. ඒවත් අර මැජික් කාරයා තොප්පිය අස්සෙන් අර කෙළවරක් නැති රෙදි පටියක් එලියට අදිනවා වගේ, කොනක් අල්ලගත්තම මතක් වේගන වේගන එනවා, ආයේ නැහැ පාචනේ වගේ!
මම ඉස්සරත් කියල ඇති මම පැංචි කාලේ අපේ ගෙදර හිටියා මාර සෙනඟක්. කොටිම්ම කැරම් බෝඩ් එකක් දිගෑරියොත් කිසි ගේමක් නැතුව කණ්ඩායමක් හදාගෙන කැරම් අතක් ගහන්න පුළුවන්. ඒවාට ඕනේ කරන අඩුම කුඩුම විදියට ඒකටම වෙන කරපු ඩෙස්ක් බංකු, පවුඩර් කොට්ට ( මට මතක විදියට ඒ දවස්වල කැරම් බෝඩ් එකට දාන පවුඩර් තිබ්බේ හතරැස් රෙදි පොට්ටනියක දාල, මහලා. හරියට ඉස්කෝලේ ඩස්ටර එක වගේ. දැන් නම් ඩස්ටර් ඉස්කෝල වලත් නැහැ මම හිතන්නේ) ඕක මැදැගිල්ලෙනුයි, මහපට ඇඟිල්ලෙනුයි අල්ලලා බෝඩ් එක මැද්දේ 'ටුහ් ටුහ්' ගාල ගැහුවම ඕනේ තරමට පවුඩර් වැටෙනවා.










