Showing posts with label බෝඩිම් කතා. Show all posts
Showing posts with label බෝඩිම් කතා. Show all posts

Tuesday, May 12, 2015

174. හී - ටර්



මම මාරම මාර වැඩ කිසි දෙයක් කරන්නේ නැහැ. ඔක්කොම කරන්නේ වැටමාර වැඩ විතරයි. මට ඒකට හරියන ජාතියෙන්, ඒ ගානට මොළයක් දීල තියෙන නිසා වැඩිය මොලය වෙහෙසන්න මම කොහොමත් උත්සහ කරන්නෙත් නැහැ. මොකද ඒවාට රටේ ලෝකේ කට්ටිය ඕනේ තරම් ඉන්නවා.

අද මම කියන්න යන මේ වැඩේ උනේ මගේ කීර්තිමත් බෝඩින් ජිවිතේ එක නවාතැන්පලක ඉන්න අතරතුරේ. මම හිටිය නුගේගොඩට අද්දර නගරයක බෝඩිමක. අපේ වැදගත්, සුකොමල, ලෝකේ ගැන හසල දැනුමක් තියෙන ( එක ඇනෝ මහත්මයෙක්/මහත්මියක්/ මියක් මට එහෙම තමයි අපේ අක්කණ්ඩි ගැන කිව්වේ) ඒ උනාට හුළඟට ගහක් හෙලඋනත් ගම දෙදරවන අපේ අක්කා එක්ක මම ඒ ගතකරපු අවුරුදු කීපය...... අම්මේ මට නම් කල්පයක් වගේ. මොකද දිනපතාම තකට තක විදියට අපි දෙන්නාම පුදුම දැනුම් සම්භාරයක් තමයි එකතු කරගත්තේ. ඒ බෝඩිමේදී තමයි මේවා උනේ.

120 බස් ගොඩක හෝල්ට් කීපයක් යාම
සාර්ථක ක්‍රීඩා තරඟ මාධ්‍ය ආවරණයක් සිදුකිරීම
යාළු ගම් යාම

ඔය ඔක්කොම නෙවෙයි. ඒ තියෙන්නේ ලියාගන්න පුළුවන් වෙච්ච එව්වා.




අද ලියන්න යන්නේ මම කරපු ටිකාක් විතර , හුඟාක් නැති වැටමාර වැඩක් ගැන. මිට සම්බන්ධ තවත් කතාවක් තියෙනවා. ඒක මම කතාව ඉවර වෙලා කියන්නම්.

ඔන්න එකෝමත් එක සුන්දර දවසක.....

Monday, September 29, 2014

91. යාළු-ගම් යෑම

නෑයෝ බලන්න යනකොට කදමලු බැඳන් යනවට කියන්නේ 'නෑගම් යනවා' කියලා නම්, මිත්‍රයෝ.. ඒ කියන්නේ යාලුවෝ බලන්න කදමලු බැඳගෙන යනවට කියන්නේ 'යාළුගම් යනවා' වෙන්න ඕනේ!

[හෙහ්.. කොහොමද පටන්ගැන්ම? කාලතුවක්කුවකට බීමබටයක් ගැහුවා වගේ නේ? අන්න එහෙමයි අපි කතාවට ප්‍රවිෂ්ට වෙලා, උත්කෘෂ්ට වෙන්නේ...]


කැම්පස් යනකොට හිටපු නානාප්‍රකාර බෝඩිම් අතරින්, අපේ අක්කත් එක්ක හිටපු බෝඩිම කියන්නේ එකම පිස්සු මඩුවක්. මම ඒ බෝඩිමේ ඉන්නකොට
120 බස් එකේ ගියපු කතාවත්,
ක්‍රීඩා තරඟ මාධ්‍ය ආවරණය කරපු හැටිත් කියල තියෙනවනේ.

අද කියන්න යන්නේ ඒ ජාතියෙන් නොවෙන, ඒත් ඒ ජාතියේම කතාවක්.

මේ බෝඩිමට අපි දෙන්නා සැපත් වෙනකොට මේ බෝඩිමේ නිල නොලත් 'ලොකු අක්කා' වෙලා හිටියේ චීස් බෝලයක් වගේ පාටක් තිබ්බ, සුදුම සුදු, ඒ වගේම ලස්සන, ඒ වගේම අඩුවක් නැතුව පිස්සුව තිබ්බත් බෝඩිමේ ආන්ටිගේ හිත දිනාගෙන හිටපු 'චචා' අක්කා තමයි.

Friday, August 22, 2014

67. ක්‍රීඩා තරග මාධ්‍ය ආවරණය

මම කැම්පස් යනකාලේ....

අනේ මේ.... හැමදාම ඔය පම්පෝරිය කියවන්නේ නැතුව කියනවකො කතාවක්, හරියට...

ඔන්න ඒ හින්ද මම ලියනවා වෙන විදියකට. අපේ අක්කත් එක්ක බෝඩිමක ගෙවපු කාලයක් තිබ්බ.

ඒ කාලේ තමයි කාලේ.



ඒ කියන්නේ වෙන මොනවත් හින්ද නෙවෙයි, අපේ අක්කත් එක්ක ඉන්නවා කියන්නේ පලාලි කෑම්ප් එකේ අවුරුදු ගානක් ලැබෙන පුහුණුවට වඩා ඉවසීම, විනය, ත්‍රාසය, භීතිය, කුතුහලය, මතක ශක්තිය ඕය එකී මෙකි සියලු දේ ගැන අත්දුටුවයි සත්තයි ජාතියේ පුහුණුවක් ලැබෙනවා ආයේ ජීවිතේට අමතක නොවෙන්න. අනේ ඔව්...

බොරුනම් අහල බලන්නකෝ අපේ අක්කගෙන්ම.. එයා කියයි එයා තරම් කිසි අවුලක් නැති රූමියක් වෙන කොහෙවත් නැහැ කියල.. ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ..

වැඩි කතාවක් බහක් නැති මම කොහොමත් බෝඩිමට එන්නෙත් බිං කරුවල වැටිලා, කැම්පස් එකේ දොරවල් වහන වෙලාවට. ඒ වෙනකොට අපේ අක්කා බෝඩිමේ සියලු නෙට්වර්ක් සම්බන්ධතා සාර්ථකව පවත්වාගෙන , උන්ගේ කෑම පිඟන් වලටත් වැඩේ දීල මම එනකල් දොර දිහා බලන් ඉන්නවා. මේ බෝඩිමේ හරි අපූරු දේවල් සිද්ධවුනා. වෙන වෙනම කියන්නම්කො.

මම කියලත් ඇති මේ බෝඩිම කියන්නේ බෝඩිම් අයිතිකාර ආන්ටිගේ පරණ මහ ගෙදර. එයාලගේ අලුත් ගෙදර තිබ්බෙත් ඒ වත්තෙමයි. එකම ගේට් එක තිබ්බේ. මුළු ගෙදරම එක එක රූම්ස් , වෙන වෙනම කෙල්ලොන්ට දීල තිබ්බේ. අපි වගේ ගොඩක් රූම්ස් ෂෙයාර් කරලා තිබ්බේ සහෝදරියෝ. සමහර රූම්ස් තනියෙන්.



බෝඩිමේ ආන්ටි හෙන නීතිකාරි. ඒ හින්ද හරි පරිස්සමෙන් තමයි වැඩකරන්න ඕනේ. බෝඩිමට මුලින් එනකොට අනිවාර්යයෙන් දෙමවුපියෝ දෙන්නගෙන් එක්කෙනෙක් ඇවිත් භාරදෙන්න ඕනේ. ගේට් එක ඇරෙන සද්දෙට කොහේ හරි ඉඳන් එයා එබිලා බලනවා, කවුද, කොයි වෙලේද , කොහොමද ආවේ කියල. කිසිම අමුත්තෙක් වැද්දගන්න තහනං ! ඒ වගේම ඉතින් විනය කියන්නේ ( කෙහෙල්මල්  විනය) එයාට නැතුවම බැරි දෙයක් කියලයි කියන්නේ. කතාවට වැඩිය සෙට් උනත් අවුල්, නැතත් අවුල්... මම නම් කලේ කිසිම ඉන්ටරැක්ෂන් එකක නොකර ඒ කොටස අපේ අක්කට බාරදීලා  බිල්ලෙක් වගේ ඉන්න එකයි. අපේ අක්කටත් ඉතින් ඒවා පුළුවන් එල කිරිවට! ආලවට්ටම් දාල ෂේප් එකේ ඉන්න දන්නවා, ඉතින් මම මොකටද නිකන් පෙට්‍රල් පුච්චගන්නේ?

Wednesday, July 16, 2014

60. පූස් පින

මගේ කැම්පස් එකේ අවසන් කාලේ කැම්පස් එක අද්දරම වගේ තිබ්බ බෝඩිමට හිටිය. සමහර අයට මතකත් ඇති මම ඒ ගැන ලියල තියෙනවා මිට කලින්

අනේ මේ පණ්ඩිත නොවී ඉන්නවා, තමුසේ ලියන හැම මගුලම මෙහෙ එන උන් කියවන්නේ නැහැ. ඊටත් ඔයිට වඩා කොච්චර ජාති වෙන ඒවගේ තියෙනවාද, ඔක්කොම ටැපලෙනවා නේ කියෝන අයට.. ඔව්ව මතක තියන් ඉන්නේ කවුද?  -ඕනේ නම් දානවා ලින්ක් ටිකක් පහළින් .. අනුකම්පාවක් හිතෙන උන් එතනට ගිහින් බලාගනී.. හිහ්  -
ඒ අපේ අය්ය උඩ තියෙන එක වාක්‍ය දැක්ක ගමන් කියන වාක්‍ය ටික !

ඔන්න එහෙනම්, මම ලිව්ව අර බතලයාගේ කතාව? , ඒ කතාවේ බෝඩිම තමයි අද කතාවෙත් පසුබිමෙන් ඉන්නේ.

එහෙනම්  කියන්න ඕනේ නැහැ නේ, අනිවාර්යයෙන් ඔය කතාවේ පැන්ඩා ඉන්නවා කියල.. හෙහ්.. පැන්ඩා නැති කතාවක් ඔය බෝඩිමෙන් හොයාගන්න හරිම අමාරුයි. මොකද, මම කොතනද, පැන්ඩා එතන... පැන්ඩා කොතනද මමත් එතන.. ඒ වගේම මොකක් හරි පිස්සු වැඩක් කොතනද.. අපි දෙන්නම එතන!
පැන්ඩා ගැන නොදන්නා කෙනෙක් ඉන්නවා නම්..... දන්නා අයගෙන් අහගන්න.. මට ලියන්න ගියොත් අන්තිමට ආපු එක ලියන්න වෙන්නේ නැති තරමට ඔය බඩ්ඩ ගැන රස කතා පොදියක් තියෙනවා.

Thursday, April 24, 2014

36. අපේක්ෂා .. 03

මෙතෙක් කතාව...

පළවෙනි කොටස
දෙවෙනි කොටස


මේ කටයුතු මෙහෙම වෙද්දී මට විභාග භීතිකාව වැළදිලා තිබ්බ හින්දා බතලයා එක්ක වැඩිය කතාකරන්න ලැබුනෙත් නැහැ.

කොහොමහරි දවසක සෙනසුරාදාවක, බතලයා මහණවෙන්න යන්න හිටපු සිල් ආරාමෙට ගෙනිහින් ඇරලවන පොඩි විසිට් පාරක් ලෑස්ති වෙලා තිබ්බ. අපි ඔක්කොම ඉතින් ට්‍රිප් කිව්වොත් අල්ලපු ගෙදරට හරි කමක් නැහැ... මමත් ඉතින් පැනගෙන ගිහින් වෑන් එකේ ඉස්සරහ තියෙන සිට්  එකකින් වාඩි උනා. මොකද මට කාර් , වෑන් , පොඩි බස් වල පිටිපස්සේ යන්න නම් බැහැ .. කෙලවර වෙන්නේ හෝටලයක් දාල තමයි. දැන් උනත් තාමත් ඒක තියෙනවා. පොඩ්ඩ බැරි උනොත් හෝටලේ..!

දැන් ඔන්න අපි තුන් හතර දෙනෙකුයි, බතලයයි, බෝඩිමේ අක්කයි, එයාගේ පුතයි, පැන්ඩා යි  ඔන්න යනවා. ගිහිං කෝට්ටේ පැත්තේ සිල් ආරාමෙකට ගියා. ඒක කන්දක් උඩ වගේ පාරෙන් උඩට වෙන්න තියෙන්නේ. අපිත් ඉතින් ඒ පඩිපෙල් නගින ගමන් හිතුවේ මහණ උනාට පස්සේ  මේ පඩිපෙල් දවසගානේ නැගලා බතලයා නිවන් යෑම කෙසේවෙතත් ඉතා ඉක්මනින් ස්ලිම් ෆිගර් එකක් ඇති කරගනී කියලයි. (අන්න එහෙමයි කල්‍යාණ මිත්‍රයෝ කල්පනා කරන්නේ හරිද?)

Saturday, February 22, 2014

35. අපේක්ෂා 02

මෙතෙක් කතාව මෙතනින් 
මගේ කුතුහලය ඇවිස්සුන මේ කතාවෙන් දිග ඇරුනේ 'බතලයා' ගේ අතුරු කතාව..

කතාව කෙටියෙන් මෙහෙමයි

බතලයා කියන්නේ ටිකක් තලෙළු , ලස්සනට අඳින පළදින, ලස්සන ෆිගර් එකක් තිබ්බ කෙල්ලෙක්. ඉස්කෝලේ ඉවර කරලා 'ආකියක්' විදියට අපේ කැම්පස් ආපු බතලයා ඉස්කෝලෙදි වගේම කැම්පස් එකෙත් හැමෝගෙම හොඳ යාලුවෙක්. එයාගේ ඉස්සර කාලේ පින්තුරක් දැක්කොත් කව්රුත් විස්වාස කරන්නේ නැහැ මේ දැන් ඉන්නේ ඒ බතලයා කියල කීයටවත්. 

බතලයා පවුලේ එකම ළමයා. එයා කැම්පස් එකේ බාස්කට්බෝල් ටීම් එකටත් සෙල්ලම් කළා. මේ අතරේ එයාගේ හිත ගියපු කොල්ලෙක් ඔන්න කතාවට සම්බන්ධ වෙනවා. මට හරියටම මතක නැහැ සියලු සිදුවීම්, නමුත් කෙටියෙන් කිව්වොත් මේ දෙන්න 'ක්‍රෂ් ' වෙලා ඉදල තියෙනවා.   බතලයත් ඉතින් හැඩ  වැඩ කෙල්ල හින්ද විතරක් නෙවෙයි, බතලයාගේ පවුලට තිබුණු වත්පොහොසත් කම් ගැනත් ඉතින් එයා දැනගෙන ඉන්න ඇතිනේ.
ආකි එකේ අන්තිම අව්රුද්ද වෙනකල්ම හැමදේම හොඳින් සිද්ද වෙලා. අවසාන අවුරුද්ද අවාම, කොල්ල එක පාරට වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා. ඒ අතරේ මාස කීපයක් ඇතුලත බතලයාගේ අම්මත්, තාත්තත් දෙන්නම මිය ගියා!! බතලයා අසරණ උනා, හැබැයි පෝසත් කෙල්ලෙක්! කොල්ලා ගැන මම  සංවේදී වෙලා හිටිය බතලයා අනිත් සියලු දේවල් ගැන අසංවේදී උනා... නෑයෝ  ටික කලේ
"දුවේ.. ඔයාට  මෙතරම් දේපලක් පාලනය කරන්න බැහැ නේ.... (  අපිටත් නිකං  බැහැ  නේ) ඒ හින්දා අපි ඔයා ගැන කල්පනා කරලා හිතුවා දේපල විකුණලා ඔයාට සල්ලි දෙන්න"

කිසිම දෙයක් ගැන සංවේදීකමක් නොතිබුන නිසා විතරක් නෙවෙයි, කරන්න වෙන දෙයක් නැති නිසාත් බතලයා ඒකට  එකඟ උනා. අදටත් එය දන්නේ නැහැ දේපල වල හරි වටිනාකමවත්, විකුනපු ගානවත් !!!! ( මේක හින්දි චිත්‍රපටියක් නොවෙන බව මතක තියාගන්න!)
සල්ලි ටික බැංකුවේ ගිණුමට වැටුනට පස්සේ, බතලයා තමන්ට අයිති නැති බව නෑයෝ  ටික කාලෙකින්ම ඔප්පු කරලා. ඉතින් මේ බෝඩිමට වෙලා එයා බැංකු ගිණුමේ ශේෂය තියෙන කල් ඉන්නයි කල්පනාව. අපේ බෝඩිමේ අක්කා කරුණාවන්තයි. එය බතලයාට අනුකම්පා කරලා ඉන්න දෙනවා. හැබැයි සල්ලි ගන්නවා.
මෙයට ඩිප්රේෂන් තියෙන හින්දා නාන්නේ නැහැ. වෙනත් කිසිම කෙනෙක් ඒ හින්දා කාමරේ ෂෙයාර් කරන්න කැමති නැහැ ( සාධාරණයි)

ඒ හින්දා මෙයා හිටියේ අර තනි කාමරේ....


ඔන්න ඕකයි මට පැන්ඩා කියපු කතාව කෙටියෙන්...

මට දැනුනේ පුදුම කම්පනයක්. 'තරුණ ජිවිතයක්' නේද කියල මට හරි දුකක් හිතුනා. මේ මුළු කතාව ඉවර වෙනකල් බතලයා හුමිටි තිබ්බා ඇරෙන්න එක කඳුලක් හෙළුවේ නැහැ. ඒත්  ඒ ඇස්වල තිබ්බ දුක්බර, වියළි  බැල්ම එයාගේ තත්වය මට වටහල දුන්නා.

කවුන්සලින් ඉගෙනගෙන තිබ්බ හින්දා ඕනෙම ප්‍රශ්නයක් විසදන්න පුළුවන් කියන පොර මානසික තත්වයක් මට  ඒ දවස්වල තිබ්බ. බතලයා ගැන රෑ දවල් නැතුව කල්පනා කරමින් මූට මගෙන් කෙරෙන්න දෙයක් තියෙනවද කියලා කල්පනා කළත් , එතරම් සාර්ථක උත්තර මට ලැබුනේ නැහැ.

මේකේ ප්‍රථිපලයක් විදියට මගේ කෑම සාද වලට, පිස්සු කෙලිම් වලට බතලයා මම විශේෂ ආරාධිතයෙක් විදියට සහභාගිකරගත්තා.

'හුරේ... මෙන්න බතලයා හිනාවෙනෝ..."

ඉඳහිට පැන්ඩා ගෙන් එවැනි ඔල්වරසන් ආවා. ඌ දත් පෙන්නනවා කියන්නේ අපිට හිනාවෙනවා හා සමානයි!
ඉඳහිට මම කවුන්සලින් වලිනුත් තෙල් බෙදුවා. එතරම් සාර්ථක නැහැ. මම හොඳ කවුන්සලර්ස් ප්ලේස් එකකුත් දුන්නා.. ගියාද  නැද්ද දන්නේ නැහැ. මේ බෝඩිමෙන් ඉවත්වෙලා යන අන්තිම මාස කීපය ලං වෙනකොට මට පැන්ඩා  අලුත් නිවුස් එකක් කිව්වා. ඒ තමයි, බතලයා මහණවෙන්න  (සිල් මෑණි  කෙනෙක් වෙන්න) යනවා කියලා.

බෝඩිමේ අක්කත් මෙයාට අනුකම්පා කරලා තැනක් හොයලා දීලා.

බොරුවක් නෙවෙයි, සහතික ඇත්ත මම කියන්නේ.. මට ඒක  ඇහුනේ භයානක නිවුස් එකක් වගේ. පැන්ඩා  ඇතුළු බෝඩිමේ සියලු දෙනා ඒ තීරණේ ගැන සතුටින් කතා කරද්දී, මම විතරක්

" ඕක හොඳ අදහසක් නෙවෙයි බතලයා" කිව්වා.. එච්චරයි මම කිව්වේ.

ප්‍රතිපත්තියක් විදියට මම තවමත්, යමකට විරුද්ධ නම්, මගෙන් ඒ ගැන අදහස් විමසුවොත් විතරක් විරුද්ධ බව කියනවා. ඒත්  ඒක  ගණන් ගන්නේ නැතිනම්.. සද්දේ වහගෙන වෙන දෙයක් බලාගෙන ඉන්නවා. මම කලේ ඒක ! හැමදෙනාම බතලයා සිල්මෑණි කෙනෙක් වෙන එකට බොහම සතුටු උනා, මම ඇරෙන්න


to be cont.....

Thursday, February 20, 2014

34. අපේක්ෂා.. 01



හැමදාම ලියන්නේ ඉස්කෝලේ කතා විතරක් හින්දා මට හිතුනා වෙනත් දෙයක් ගැන ලිව්වොත් හොඳයි කියලා. මොකවත් හින්දා නෙවෙයි.. ගිය දවස් ටිකේම අහන්න දකින්න වෙන සිද්දි එක්කම මට මේ කතාවත් ආපහු ආපහු මතක් වෙන්න ගත්ත හින්දයි.

කැම්පස් ඉන්න කාලේ වැඩිම කාලයක් මම උන්නේ අපේ අක්කත් එක්ක එක බෝඩිමක. මට ලැබෙන්න ඕනේ රැකවරණය අපේ අම්මලා විස්වාසෙන් ඉටුකරගත්තේ ඒ විදියට වෙන්න ඇති. 

හපොයි.. ඒ ගැන නම් කියලා වැඩක් නැහැ.. මගේ රැකවරණය කෙසේ වෙතත් අපේ අක්කත් එක්ක වසලා මගේ ඔලුවත් එක්ක පිස්සු වැටිලා උන්නේ...




කොටින්ම කිව්වොත් මම බෝඩිමට බිස්කට්, ප්‍රීමා  නුඩ්ල්ස් ගෙනත් දානවා විතරයි මට මතක.. මම කවදාවත් කනවා මතකත් නැහැ, කුඹි වහල විසිකරනවවත් මතක නැහැ නේ අප්පා..! බිස්කට් ටිකට විතරක් නෙවෙයි මේ බඩුව ප්‍රීමා නුඩ්ල්ස් ටිකට වැඩේ දෙන්නෙත් අමුවෙන්!!!!!! ඕක මට වැටහෙන්න මම හිතන්නේ අවුරුදු දෙක තුනක්ම ගියා. සාමාන්‍යයෙන් මම තමයි රෑ  වෙලා ගෙදර එන්නේ.. 

පුළුවන් තරම් වෙලා කැම්පස් එකේ පැලපදියම් වෙලා ඉඳලා, බිං කළුවර වැටෙනකොට තමයි ගෙවල් මතක් වෙන්නේ. හි හි හි... ඒත් අපේ අක්කා නම් ලෙක්චර් ඉවර වෙච්ච ගමන් බෝඩිමට දුවන් එනවා.. අනිත් එක එයා  පාඩම් කරන්නේ දවල්ට.. මම ඉතින් රෑ 10න්  පස්සේ තමයි පලවෙනි උත්සාහය පටන් ගන්නේ.. ඒ ගැන නම් කතා අනන්තයි.. හි හි හි... එව්වා පස්සට. 

මම ඉතින් පරක්කු වෙලා එන හන්දා මට තමයි රෑ  කෑම  ගේන  භාරධුර රාජකාරියත් පැවරුණේ. මම ඉතින් ඒකත්  අරගෙන වැනි වැනි ඇවිත් රුම් එකේ දොර ගාවට එන්න විතරයි තියෙන්නේ..
 කෑම එකේ සුවඳ වැදෙන්නෙත් කලින් අක්කා පැනපු ගමන් දොර ඇරලා මාව සාදරෙන් පිලිගන්නවා???

 නෑ .. නෑ ... වැරදී ! 
පැනපු ගමන් කෑම එක උදුරගන්නවා

"අම්මෝ මම මේ පුදුම බඩගින්නේ හිටියේ... වෙලාවට ඔයා ආවේ .."

ඉතින් මම මේ පිය තෙපුල් වලට රැවටිලා උන්නේ. එක දවසක් මම එහෙම ඇවිත් කෑම එක එයාගේ අතට දීලා ගියා මුණ ටිකක් හෝදගන්න කියලා.. තව රූම්  එකක ඉන්නවා අපේ අතිජාත මිතුරියක්.. ඇය  දැන් ලෝයර් කෙනෙක්..
 එයත් සින්ක් එක ගාව හිටියා..

"අනේ උපේක්ෂා , ඔයා අද පරක්කු උනාද? පව් අනේ සුලෝ අක්ක ( අපේ අක්කගේ නම කෙටියෙන්) අන්න බඩගිනි කියා කියා නහයෙන් අඬ අඬ හිටියා... මමත් එක්ක පාන් කෑවා ඊට පස්සේ.. "

මගේ කට ඇරුනද නැත්තම් ඇස්  දෙක ලොකු උනාද කියල මට මතක නැහැ.... අත  හෝදන එක අතැරලා මම දිව්වා කාමරේට මේකි අපේ කෑම  එක කන හැටි බලන්න... කියන්න දුකක් නැහැ, ගෙනාපු කොත්තුවෙන් හරියටම බාගයක් බෙදාගෙන එයා වැඩ!!!

 ඔන්න ඔහොමයි සිද්දි කීපයක් කිව්වොත්... තව තියෙනවා.. ඒවා පස්සේ කියන්නම්... නැත්තම් අර රවී අය්යාගේ 'ගුරුවෙරි ගේ කතාව ' වගේ වෙනවා නේ ... හි හි හි


මේ සොඳුරු බෝඩිම හැරදාලා අපේ අක්කා උපාධියත් අරං ගෙදර දිව්වා.. මේ බෝඩිම ටිකක් දුරයි අපේ කැම්පස් එකට. ඒ උනාට හෙනම ජොලි! මක් කොරන්නද.. දුර වැඩි හින්දත්, දැන් ඉතින් තනියෙන් ඉතිරි අවුරුදු ටික අදින්නත් ඕනේ හින්දා ගියා කැම්පස් එක ගාවම බෝඩිමකට... හි හි.. වැඩක් නැහැ කියලා... යකාගේ හැටියටලු නේ විමානේ ... ඒකත් පිස්සු බෝඩිමක්!

 ඒ ගැන පස්සේ කියන්නම්..මේ බෝඩිම කොටින්ම කිව්වොත් 'ආකියොන්ගේ' බෝඩිමක්.. ඒ කියන්නේ අපේ කැම්පස් එකේ ආකිටෙක්චර් උන් පුරෝපු තැනක්..

 මගේ කරුමෙට මම  ඒ වෙනකොට උන්ට මෙතරම් පිස්සුවක් තියෙන බව වත්, උන් එක්ක වසන්න මෙතරම් අමාරු බවවත් දැනගෙන උන්නේ නැහැ නේ... ( ආකියෝ සමා වෙන සේක්වා..!! ඔය කොයි ආකියාටත් මම මේ කතාව මුණටම කියලා තියෙනවා.. ඒත්  එක ඇත්තක්  තියෙනවා.. ඒ තමයි, මට හම්බවුණු සොඳුරුම මිනිස්සුත් මට මුණ ගැහුණේ  මේ ආකියෝ අතරේ!) 

අපේ කාමරේ ඇරුණුකොට තව කාමර දෙකක් තිබ්බා . අල්ලපු කාමරේ හිටිය 'ආකියක්' තමයි අන්තිමට මගේ තදම ෆිට් එකී උනේ... කියල වැඩක් නැහැ එය ගැන නම්!!! කතා ගොඩාරියක් තියෙනවා හි හි හි...




උගේ නම 'පැන්ඩා'!!!

නමෙන්ම හිතාගන්නකෝ පෙනුම!
හිනා කන වැඩේ කියන්නේ මෙතනට එන හැමෝටම පෙට් නේම් එකක් තිබ්බා. කව්රුත් නෙවෙයි ඒ පෙට් නේම් එක දන්නේ. මේ පැන්ඩා ! මටත් නමක් වැටුනා.. ඒක  තමයි 'සැන්ඩි' ..... ඔන්න ඉතින් එව්වා මෙව්වා බොන එවුන්ට මතක් වෙයි එක එක හැඩේ ජාති.... තව එකෙක් 'බට්ටා' ( දෙය්යෝ දනී මෙව්වා මොන තේරුමෙන් දානවද කියලා.. ඌ නම් පොඩ්ඩක්වත් බට්ටෙක් නෙවි, මටත් වඩා උස කෙල්ලෙක්..)  

බට්ටා හිටියේ මගේ කාමරේ, පැන්ඩා එක්ක තව දෙන්නෙක් ඒ කාමරේ. තව පුංචි රූම් එකක් තිබ්බා. ඒක  මම ඇවිත් දවසක් විතර යනකල් ඉන්න කෙනෙක්වත්, ඇරලා තියෙනවා වත් දැක්කේ නැහැ. 

බෝඩිමට ගිහින් එළඹුන පලවෙනි සති අන්තයේදී මට ඒ ගල් ගුහාවේ හිටපු කෙනා දකින්න ලැබුනා අපි කෑම කන මේසේ ලගඳි .සුපුරුදු විදියට සෙනසුරාදා ලෙක්චර් එක ඉවර වෙලා කැම්පස් එකේ දොරවල් වහනකොට මම බෝඩිමට සැපත් උනා. 

අපි උඩ  තට්ටුවක තමයි හිටියේ. පඩිපෙළ නැගගෙන ආවම, පළවෙනියට තියෙන්නේ.... බිත්තිය! දකුණට හැරුණම කෑම  මේසේ ,  වමට හැරුනම නාන කාමරේ. කෑම මේසේ පහුකරගෙන යන්න ඕනේ අපේ කාමර වලට. 

මම පඩිපෙළ නැගල දකුණට වංගුව ගනකොටම ඒ අපුරු රුපය මම දැක්කේ... මම කොහොමද විස්තර කරන්න පටන්ගන්නේ???? මම මුලින් දැක්කේ කලුපාට ගුලියක්. මගේ දිහාට හැරුන ඇස් දෙක හරියට කළුපාට පර්වතයක හයි කරපු ෆොග් ලයිට් දෙකක් වගේ. ලොකු, ඒ වගේම සුදුපාට පසුබිමේ තිබ්බ ඒ ඇස් ! මට අදටත් මතකයි.....කොට, මහත, කළුම කළු ඇය... තමයි 'බතලයා' !!!!! (ඇති යන්තම් පැන්ඩා  ගේ නම ඌට ගැලපුනා ඒ පාර නම් )

එක පාරක කිසිම කෙනෙක් එක්ක යාලු නොවෙන, නමුත් යාලු උනොත් නම් ලේසියෙන් ඌව අත්නොහරින මම කලේ, දැක්ක දර්ශනය හිතේ තියාගෙන එහෙම්මම කාමරේට ගියපු එකයි. ඒත්  පැන්ඩා  එක්ක ඒක  ලේසි වැඩක් නෙවෙයි... එය හරියට අර 'අයිස් ඒජ්' එකේ ඉන්න 'zid' වගේ කෑකෝ ගහගෙන කාමරේට කඩන්පාත්වෙන එකයි..

 වැඩි වෙලාවක් ගියේ නැහැ පැන්ඩා  සුපුරුදු විදියට දුවන් ආව.. නිකන් නෙවෙයි.. කොන්තරාත්තුවක්  අරං

"අනේ සැන්ඩි , මේ බතලයටත් එක්ක හදමුකෝ අද තමුසෙගෙ අර කෑම වට්ටෝරුව"

ඔය කෑම  වට්ටෝරුව ගැන තියෙනවා කතා කීපයක්ම.. 

ඒ දවස් වල කෙට්ටු වීම පරම ආදර්ශ පාඨය කරගෙන උන්නත් මෙලෝ විදියකින් ඒක  අනුගමණය නොකරපු පැන්ඩා කලේ ,අහුවෙන අහුවෙන ඕනෙම දෙයක් අර හා හා හරි හාවා එකේ ඉන්න 'තස්මේනියන්  ඩෙවිල්' කනවා වගේ ඇදල ඇරලා , තමාගේ ශරීරයේ මහත ගැන වටේ උන්ට දොස් කියන එකයි.  

එළවලු තම්බන් කන්න කියලා කිව්වට මු නෙවෙයි තම්බන්නේ.... අන්තිමට මම තම්බන්න ගත්තා... පැන්ඩා  කරන්නේ මම තම්බලා හදලා, බෙදන්න හදනකොට දුවන් ඇවිත් උගේ පංගුව කාගෙන කාගෙන යන එකයි...

 පස්සේ තව රස කතා කියන්නම්කො ඒ ගැන... පස්සේ හරිද?

මම ඉතින් සුපුරුදු පරිදි එළවලු තම්බන වැඩේ පටන් ගත්තා. ඔය කෝකටත් අපිට තිබ්බේ හිටරේ විතරයි.. මම ඉතින් කෑම මේසේ එළවලු කපනකල් පැන්ඩා පොර ටෝක් දිදී මේසේ වටේ තියෙන පුටුවක වාඩිවෙලා ඉන්න එක කරනවා. 

එදත් එය ඒ වැඩේ .. තොරතෝංචියක් නැතුව කියවන පැන්ඩා  ගාවින් අර මම කියපු 'බතලයා' ගල් පරුවතේ වගේ වාඩිවෙලා හිටියා.

 මම හෙමිට එයාගේ හැසිරීම නිරීක්ෂණය කලේ දැකපු ගමන් මේ අමුතු කෙනාව මගේ හිතේ අමුත්තක් ඇති කරපු හින්දයි. කිසිම හල හොල්මනක් නැතුව ඔහේ ඉන්නවා... කළුම කළු එයාගේ ඇස්  වල තිබ්බේ හිස්, වියළි , අමුතු බැල්මක්. කිසිම හිනාවක් නැහැ. මේ ඔක්කොටම වඩා පුදුමේ කියන්නේ මේ නොනවත්වා කියෝන පැන්ඩා කොහොමද මේ වගේ ගල් පරුවතයක් එක්ක යාලු උනේ?


එළවලු තැම්බිල්ල ගැන විස්තර තව තියෙනවා ඒවා පස්සේ කියන්නම්.. මට කියන්න ඕනේ කලේ 'බතලයාගෙයි' මගෙයි පලවෙනි හමුවීම ගැන. ඒ වගේම තම්බපු එළවලු කනකල් කිසිම සද්දයක් නැතුව එයා හිටියේ මැටි පූසෙක් වගේමයි...පිටින් නොපෙන්නුවට මට හරි කුතුහලේ, මෙයා  මේ වගේ බෝඩිමක ඉඳන් මොකද්ද කරන්නේ කියලා... ඉගෙන ගන්නවා වත්ද? රස්සාවක්? අපෝ කීයටවත් වෙන්න බැහැ .. මේ වගේ කෙනෙක් කොහොමද රස්සාවක් කරන්නේ??? පුදුම අමුතුයි. අනේ මුකුත් හිතන්න එපා මෙහෙම කිව්වට, (මමත් කළුයි තමයි) එයාට තිබ්බෙත් හරි පුදුම කළු හමක්... කළු කියන්නේ දම් පාටට පොඩ්ඩක් ළඟයි ..  (හරියට කියනවා නම් අර ඩුඩ් ගේ වගේද මන්ද! ඔහ් ... ඇහුනද දන්නේ නැහැ) 

ඉස්කෝලෙන් අයින් උනාට පස්සේ මම ප්‍රසිද්ධ තැනක තිබ්බ මනෝවිද්‍යාව පාඨමාලාවක් එහෙම හදාරලා  හිටපු මට ,කවුන්සිලින් ගැන හොඳ දැනුමක් වගේම හැකියාවකුත් තිබ්බා.

ඔන්න තම්බපු එළවලු කන වෙලාව ආව.... සුපුරුදු පරිදි පැන්ඩා එයාගේ පිගානට කොත ගහලා බෙදාගෙන, වාඩි උනා මේසේ .. බතලය එයා ගාවින් ළගම පුටුවේ.

මෙලෝ සද්දයක් නැතුව ඔන්න බතලයා කන්න පටන් ගත්තා...'ටකස්.. ටකස්' හරියට අර ලී වංගෙඩියක් ඇතුලෙන් කොටනවා වගේ සද්දයක් එනවා.. නොනවත්වාම... මම එතරම් ගණන් ගත්තේ නැහැ

"ඇහෙනවද සැන්ඩි බතලයාගේ හපන සද්දේ?? එයා හපනකොට හකු දෙක එකට වදිනවා.. එතකොට ඒ සද්දේ එන්නේ"

මම අහන්නත් කලින් පැන්ඩා කිව්ව දෙයින් මම පොඩ්ඩක් පුදුම උනා කිව්වොත් ඇත්ත.. 

හකු වදිනවා කිව්වා?


To be cont....

Monday, June 3, 2013

08. 120 බස් එකේ ගියෙමි



ඔන්න ඉතින් මේකත් අපේ නට්  අක්කත් එක්ක ගියපු ගමනක්...

එකෝමත් එක දවසක අපේ අක්කයි මමයි කොළඹ ඉන්න දවස්වල exhibition and convention  හෝල් එකේ තිබ්බ ප්‍රදර්ශනයක් බලන්න ගියා . මේකට ඉතින් අක්කගෙයි, මගෙයි පවුලේ යාලුවෙක් උන හර්ෂණ අය්යත් එකතු උනේ ඒ දවස්වල අපිට කොළඹ ආගන්තුක නිසා. අනේ අපේ අක්කගේ ඕනේ කටුවක් කන දුප්පත් හර්ෂණ අය්යත් සහෝදරකමට අපිත් එක්ක යන්න එකතු උනා. හර්ෂණ අය්යා මට වඩා වැඩිමල්, අක්කට වඩා  බාලයි.  

ඔන්න ඉතින් කොහොමහරි.... ප්‍රදර්ශනෙත් බැලුවා... දැන් ගෙදර යන වෙලාව. අපි හිටියේ කොහුවල බෝඩිමක. ඉතින් අපිව බස් එකෙන්ම ගිහින් ඇරලවන්න හිතාගෙන හිටපු හර්ෂණ අය්යත් එක්ක අපි තුන්දෙනා ආව කොටුවේ ලේක්හවුස් එක ලග තියෙන බෙන්ඩ් එකේ හෝල්ට් එකට (අනේ මන්ද කොහොමද හරියටම කියන්නේ කියල. ඒ හෝල්ට් එක තියෙන්නේ ටෙලිකොම් එකට ඉස්සරහ... )

ඔන්න ඉතින් බස් එනවා... දන්නා අය දන්නවා 120, 138 බස් කොයිතරම් පරිස්සමෙන්, හෙමින්ද යන්නේ කියල. අපි තුන්දෙනා ඉතින් බස් එකකට දුවනවා.. ඔන්න ඒක  ඇදලා යනවා... (අපේ අක්කා  නැලවී නැලවී එනකල් ඉතින් කරත්තයක්වත් නතරකරන් ඉන්නෙත් නැහැ ඉතින්...)


ඔහොම බස් 2ක් විතර මග ඇරුන . මම දැන් ටිකක් එයාල දෙන්නට ඈතට වෙන්න තමයි හිටියේ. ඔන්න එතකොට තව 120 බුස් එකක් ආව . මම අපේ අක්කගේ අතේ තිබ්බ පර්ස් එක මගේ අතට අරං කිව්වා..

"මේකට නගිමු.... ඉක්මනට එන්න කියල..."

මම දුවගෙන ගිහින් නැග්ග... අප්පා ඇති යන්තම්.... නැගල හැරිලා බලනකොට... මෙන්න අර දෙන්නම බිම!!!!! බස් එකත් කඩාගෙන බිදගෙන යනවා. 

දැන් ඉතින් මොනා  කරන්නද... ඒ දෙන්නා  ආපුවාවේ  කියල මම හිතුව යන්න කියල. අක්කගේ පර්ස් එක ඇරලා සල්ලි ගන්න හැදුව...

"හාහ්!!!!! කෝ සල්ලි?" 

අක්කගේ පර්ස් එකේ කිසිම දෙයක් නැහැ!! මම දඩ බඩ  ගාලා හැම පොකට් එකම ඇදල බැලුව.... අනේ මගේ කරුමේ... අඩුම තරමේ සත පනහක් වත් නැහැ!!! මෙහෙමත් පර්ස්!! මම මගේ බෑග් එකත් හර්ෂණ අය්යාට  දීල තිබ්බේ එයා  ඉල්ලපු නිසා. 

දැන් මොකද කරන්නේ.... මට හීන් දාඩිය දාල... ඔන්න මගේ ටිකිරි මොලේ වැඩ කරා. ඒ දවස්වල මම මගේ දුප්පත් ෆෝන් එක ගත්ත අලුතමයි. ටක් ගල ගත්ත කෝල් එකක් හර්ෂණ අය්යට (අපෝ මේ වගේ වෙලාවල්වල අක්කට කෝල් කරොත් මට හාර්ට් attack එකක් හැදෙනවා එයාගේ කෑගැහිල්ලට...)

"අය්යා  පර්ස් එකේ සල්ලි නැහැ..... ඔයාලට බස් එකට නගින්න බැරි උන නේද?"

"හරි නංගි  බය වෙන්න එපා..... ඔයා මගින්  බහින්න. අපි ඊලග බස් එකේ එනවා."



අනේ ඉතින් කරුමේ.....  ප්‍රයිවෙට් බස් වල කොන්දොස්තරලා ගැන ඉතින් දන්නවනේ..... විශේෂයෙන් 120/138 බස් වල ඉන්න ය ඉතින් කඩියෝ වගේ තමයි... කී  දෙනෙක් නැග්ගත් හෝල්ට් එකක් පාස්  වෙන්නත් කලින් සල්ලි ටික ගන්නවා... මගේ කරුමෙට කොන්දොස්තරත් ආවා ......

"සල්ලි.... පස්සෙන් සල්ලි ගන්න..."
(පස්සෙන් සල්ලි ගන්න පුළුවන් නම් අපි බස් එකේ එනවද කියල අහන යාලුවෙකුත් මට හම්බ උන ඊට ගොඩ කාලෙකට පස්සේ... හි හි හි...)

ඔන්න ඉතින් මම මගේ ටිකිරි මොලේ පාවිච්චි කළා ...

"මේක කොට්ටාව යනවද...."

මේ වෙනකොට ඉතින් බස් එකේ කීපදෙනෙක් හිටගෙන හිටිය... ඒ වගේම සලාකා  හරියට කිට්ටු කරලා. ඉස්සර මම මේ කියන දවස් වෙනකොට 120/138 බස් route වෙනස් පාරවල් වල තමයි ගියේ. දැන් නම් ගොඩක් වෙලාවට එකම පාරේ යන්නේ. කොළඹ කැම්පස් එක හරියේ දැන් one-way  කරලා නේ... සලාකා  කියල හෝල්ට් එකක් නැහැ දැන් මම හිතන්නේ....

"කොට්ටාවේ??? නෑ  නෑ ... බහින්න බහින්න.. 138ක යන්න......." කොන්දොස්තර මහතා බෙල් එකත් ගහල මාව  සලාකා  හරියෙන් බිමට දැම්ම. මම බැහැල ඉක්මනට හර්ෂණ අය්යට කෝල් එකක් ගත්ත...

"හලෝ අය්ය ... මම සලාකා ඉන්නේ... ඔයාල කොහෙද..."

මට යන්න විදියක් නැහැ.. සල්ලිත් නැහැ නේ....... 

"ඉන්න නැඟී අපි බස් එකේ ඉන්නේ.... සුදුපාට බස් එකක් යටින් නිල ඉරක් තියෙන.... ඔය එකට නගින්න.... දැන් අපි ඔතනට ළගයි "

කෝල් එක මම කට්  කරලා බැලුවා  හොදට.... පෙන්න නම් නැහැ... ඒත්  මම බලාගෙන ඉන්නකොටම ආවා සුදුපාට බස් එකක් නිල ඉරක් තියෙන... මම අමාරුවෙන් නතර කරගෙන දුවල ගිහිල්ල නැග්ග... වැඩිය සෙනගත් නැහැ...... කෝ?? හැමතැනම බැලුව.... කෝ.. අක්කයි... හර්ෂණ අය්යයි නැහැ නේ... මට දවල් තරු!!! ආයෙත්  ගත්ත කෝල් එකක්...

"මම බස් එකේ... කෝ ඔයාල කොහෙද...."

"හැඃ !!!?? අපි තවම සලාකා  හරියට ආවේ නැහැ.... මළකෙළියයි ....... ඔයා  වැරදි බස් එකටනේ අනේ නැගල තියෙන්නේ.... බහින්න බහින්න....."


මම හැරුන...

"සල්ලි.... සල්ලි ගන්න..." කොන්දොස්තර මගේ මුනට රවල බලල කිව්වා....

"මේක කොට්ටාවේ යනවද...?" පුරුදු තැටිය දැම්ම....

"කෝ..ට්ටාවේ ...............??? පිස්සුද මේ බස් එකට නැග්ගේ????"

දෙනෝදාහක් මැද්දේ කොන්දොස්තර ලතෝනියක් තිබ්බ... ඉස්සරහ හිටපු මිනිස්සු හිටන් හැරිලා බැලුව... මොනා  කරන්නද.....

...."බහින්න බහින්න...."

කොන්දොස්තර ඊලග හෝල්ට් එකෙන්ම මාව බිමට බැස්සුවා...... මට දැන් හොදටම එපා වෙලා.... 
ඔන්න ආයෙත් ෆෝන් එක වදිනවා..

"මොකද? මම ඉන්නේ town  hall ..... "

"හරි නංගි ..... මම ජනේලෙන් කතා කරන්නම්...." 

හර්ෂණ අය්යා ඔන්න කිව්වා... දැන් ඉතින් මට මොකක් උනත් එකයි.... ඔන්න එතකොටම එනවා තවත් සුදු බස් එකක් නිල ඉරක් තියෙන..... එකේ පැත්තකින් අතක් කොඩියක් වගේ වනනවා.. හරියට අපි ඉස්කෝලේ ට්‍රිප් ගියාම වගේ.... මම නැග්ගේ නැහැ.. 


"නංගි .... නගින්න...." මෙන්න හර්ෂණ අය්යා  බෙරිහන් දෙනවා බස් එක ඇතුලේ. හරියට නිකන් මිනිහ drive  කරගෙන ආපු car එකට නගින්න කියනවා වගේ....... 

ඇති යන්තම්........ ඔන්න බස් එකට නැග්ග..... මට වෙච්ච දේ ඉතින් අක්කට කියල වැඩක් නැහැ. "ආ..... නේ....." කියයි... එච්චරයි...



අනේ මන්ද... මේකෙන් ගන්න ආදුරුස එහෙම තියෙනවද කියල.......