Thursday, January 29, 2015

142. සුරංගනා කතාවකි - 1





එකෝමත් එක දවසක....

නෑ ... ඇත්තටම දවසකද? නැත්තම් දෙකක්ද? නෑ සතියක්ද? මට මතක නැත.

එකෝමත් එක තැනකදී....

නෑ .... එක තැනකදීද ? තැන කීපයකදීද ? මට මතක නැත.

එකෝමත් එක හෝරාවකදී...

ඔව්... එය නම් හෝරාවකදී නම් තමයි. කුමන හෝරාවකදී දැයි මට මතක නැති බව සැබෑය. නමුත් එය එක්තරා හෝරාවකදී බව සැබෑය.

එකෝමත් එක කුමාරයෙකු....

ඔව්. ඔහු කුමාරයෙකි. කිසිම අයුරකින් සඟවාගත නොහැකි මැණිකකි.

පිටියක සෙල්ලම් කරමින් සිටියේය.

ඉතාම සාමාන්‍ය කෙල්ලක ඒ දෙස බලා සිටියා පමණි. එකවරම සෙල්ලමට යොදාගන්නා උපකරණයක් කුමාරයාගෙන් ගිලිහි ඒ සාමාන්‍ය කෙල්ල දෙසට විසිවී වැටුණි.



ඉතාම සාමාන්‍ය කෙල්ලක වුවද, පමණට වඩා උඩඟු කෙල්ලක වූ ඇයට එය අහුලා දෙන්නට හිත කියුවද, කුමක්දෝ හේතුවකට එසේ නොකොට ඒ කෙල්ල බලා සිටියාය.

කුමාරයා මද වෙලාවක් ඒ කෙල්ල දෙස බලා සිටියේ ඇය එය අහුලා දෙනු ඇතැයි සිතමින් වුවද මිනිත්තු කිහිපයක් ගියද එය ඉටු නොවන බව වැටහී උපකරණය අහුලා ගන්නට දිව ආවේය.

සුළඟේ ලෙළදුන් කුමාරයාගේ කැරළි කොණ්ඩය, ඔහු දිව එනවිට තාලයට දෙපසට පැද්දෙමින් ඔහුගේ කඩවසම් මුහුණට කෙල්ලකගේ හිත හිරිවට්ටන කඩවසම් බවක් ලබාදුනි.

'ඔහ්.... ඔහු ඇත්තටම කඩවසම් තරුණයෙක්.'

කෙල්ල ඇතුලතින් විලිබරව සිනාසෙන්නට වුවත්, කිසිදු ලෙසකට දෙතොල් විවර කලේ නැත.

"කම්මැලි මොකද ඔය තරම්?"

කුමාරයා එලෙස අසාවියයි කෙල්ල කිසිවිටකත් සිතුවේ නැත. ඇය ගැස්සී බලාසිටිනවිට, කිසිවක් නොකියූ පරිද්දෙන් කුමාරයා බිමට නැමී බිම තිබුණු ක්‍රීඩා භාණ්ඩය අහුලාගෙන ආපසු දිවගොස් යහළුවන් අතරට එකතුවිය.

ඊළඟට පසුවුණු සියලු හෝරාවන් වලදී, වරක්වත් ඇය දෙස බලන්නට, දෙවරක්වත් ඇයට ඇසෙන්නට ඇනුම්පදයක් කියන්නට කුමාරයා අමතක කලේ නැත. ඒ සෑමවිටකම හිත ඇතුලෙන් මඩිනා ලද සතුටකින් සහ පිටතින් පෙනෙන නොපහන් බැල්මකින් එයට ප්‍රතිචාර දක්වන්නට සාමාන්‍ය කෙල්ලද අමතක කලේ නැත.

තවත් එක දෙයක් කිවයුතුය...

මේ කුමාරයා ඔහු කුමාරයෙක් බව දන්නා නමුත්, නොදන්නා බව අඟවන බව අර සාමාන්‍ය කෙල්ල නොදන්නා කාරණයකි.


මතු සබැඳි.


මතුවට කතාව 

14 comments:

  1. මට මතක නැත. කියල තිබ්බ හින්ද මම හිතුව අපෙ රටේ සුරංගනා කතාවද කියල .. . :) හොදයි හොදයි ඉතුරු ටිකත් දාන්නකෝ බලන්න

    ReplyDelete
    Replies
    1. හෙක්... එක්කෝ මම වැරදිලා කිව්වා වගේ මටත් දැන් දැනෙන්නේ... මොකද දැන් 'මට මතක නැත' කියල සුරංගනා කතාවල කියන්නේ නැහැ නේ.. හැබැහින් මිසක්.
      ඉන්ට ඉන්ට ඉවසලා...

      Delete
  2. අන්තිම පේලිය සිරාවට තේරුනේ නෑ... කුමාරයා හරි විනිත පාටයි ගැනු ලමයි ලගදී.. දුරදි ටිකක් වෙනස් නෙහ්

    ReplyDelete
    Replies
    1. සැලකිල්ලෙන් කියෝනවද කියල බලන්නයි මම ඒ වාක්‍ය ලිව්වේ... හි.. හි... ඉස්සරහට යනකොට තේරෙයි..

      Delete
  3. Thanks for the story :)

    ReplyDelete
  4. කවි ගොඩකට පස්සේ දිගගගග කතාවක් ඇති කියලා හිතා ගෙනනෙ ආවේ.ඔයාගේ කතන්දර ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. කම්මැලියෙක් නේ මම! ස්තුතියි රසවින්දා නම් මට සතුටුයි.

      Delete
  5. //මේ කුමාරයා ඔහු කුමාරයෙක් බව දන්නා නමුත්, නොදන්නා බව අඟවන බව අර සාමාන්‍ය කෙල්ල නොදන්නා කාරණයකි.//
    අන්න මේ ලයින් එක නිසාම ඊගාව කොටස බලන්න පිස්සු හදාගතිමි. එහෙම කුමාරයෙක් මාත් දන්නවා... :(

    ReplyDelete
    Replies
    1. අනේ අම්මප අර තරම් ජාති ලියල තියෙද්දිත් අන්තිම කොටහම ඕනේ කතාව ඇද-බැද තියාගන්ට නේ? වෙලාවට එහෙමවත් ලිව්වේ, නැත්තම් බල්ලොත් නොබලන කතාවක් වෙන්ට තිබ්බ.

      Delete
  6. පොඩ්ඩක් අංජබජල් ගතියක් තිබුනත් ලස්සන කතාවක් වගේ .. කුමාරය හොඳ හැදිච්ච කොල්ලෙක් ... ;P

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ.. ඔන්න කිව්වේ....! අංජබජල් කිව්වා... හරි හරි ඔය කුමාරයෝ ඉන්න කතා ඔක්කොම අංජබජල් මිසක්කා ඉතින් යහපතක් වෙනවා කියලද? හුහ්.. හැදිච්ච කොල්ලෙක් නම් අරෙහෙම ඇනුම්පද කියයිද? අන්තිම නොහොබිනා කම...

      Delete
  7. අපොයි ඔන්න ඔහොම ගිහින් තමයි මං පවුල්කාරයෙක් උනෙත්. හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. හැක්.. මෙයාට පෙරනිමිති පහල වෙලා මෙන්න! ඕක තමයි කියන්නේ ගොනා හැරෙන්නේ කොස් කොටන්නද කියල...!

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...