Monday, April 27, 2026

304 : Summer

 


Summer  කියන්නෙම එකම සතුටක්..


මිනිස්සු හරියට ලැස්ති වෙන්නේ අවුරුද්දට අපි ලෑස්ති වෙනවා වගේ.


තණකොළ කපනවා, ගෙවල් මිදුල් හැඩකරනවා... එකම වැඩ ගොඩක්!




කොලපාට විතරක් නෙවෙයි, පාට පාටින් ගස් වල කොළ දළු දානකොට, මට හිතෙන්නේ ඒ එන හැඟීම හරිම unique 


Thursday, June 12, 2025

303 : මිට්ට මියාගී


 


මේක ඇත්තටම මට මතක් වෙන වෙලාවට ලියන්න බැරි වෙන කතාවක්..

මම අපේ අය්යා ගැන එහෙම අනන්ත ලියලා ඇති. ඊ උන්නාන්සේ ගැන මම මතක හැටියට 

1. අට්ටාලේ සෙල්ලම් 

2. ජම්බු ගහකින් වැටීම 

3. කුරුමිණි ජව්සම 


වගේ ලියලා ඇති. උඋට නම්බුවක් තිබීනම් ඒ ටික පටෝරියන් කරන වෑයමේ තවත් අංගයක් විදියට අද මේ කතාව ලියන්නේ.

Monday, April 21, 2025

302: ලයිසන් අරගෙන - දන්ත ධාතුත් වැඳගෙන

මේ දවස්වල දන්ථ ධාතු වන්දනා කරන උත්සවයක් තියෙනවා කියල ඇහුන ගමන් මට මේ කතාව මතක් උනේ..


මට හරියටම මතක නෑ මගේ කැම්පස් කාලෙ කතා කොච්චරක් මෙතන ලියල තියෙනවද කියල. වැඩිය නම් වෙන්න බෑ, මොකද මම ඒ කාලෙ කතා කියන්නෙ බොහොම අඩුවෙන්. කියන්න දේවල් නැතුව නෙවෙයි , ඒවා කියන්න ගිහින් ඇනගන්න බව දන්න හින්දා.


මේ සිදුවීම උනේ මම මං හිටපු නගරයේ තිබ්බ කැම්පස් එකට මුලින්ම තේරුනු කාලේ. ඒත් මම උපාධිය නම් ගත්තේ වෙන කැම්පස් එකකින්. ( ඒක දිග කතාවක්.. )


ඕන්න මම නමෝ විත්තියෙන් තේරුනා පේරාදෙණිය කැම්පස් එකට. මගේ අක්කා නගරයෙන් දුර බැහැරකට තමයි තේරුනේ. ඊටත් මම ආසාවෙන් තමයි හිටියෙ පේරාදෙණිය පරිසරයට. 

ඒත් හත්වලාමේ උනේ මාර අබග්ගයක්! මගේ ෆැකල්ටි එකේ ඕසෙට රැග් එක. කැම්පස් එකට මුලින්ම යන්න කලින් දවසෙ අපෙ අම්මා මාව ඒ ෆැකල්ටි එකේ අක්කා කෙනෙක්ගෙ ගෙදරකට ( අම්මගෙ යාළුවෙක් ඒ අක්කාගෙ අම්මා) එක්කගෙන ගියා. ඒ උත්තම අක්කා මාව පැත්තකට එක්කගෙන ගිහිං කිව්ව නේද

' අම්මෝ නංගි රැග් එක නම් තියෙනවා. ෆැකල්ටි එකේ අල වෙන්න නම් ලැබෙන්නෙ නෑ' 

කියල. 

මට ඕක හරියටම තේරුනේ නෑ මම හිතන්නෙ. ඒක ඒ අක්කටත් තේරෙන්න ඇති. ඒ හින්දා එයා මට රැග් එකට කට්ටිය කොටු කරගන්න බිල්ඩින් එක මඟෑරලා යන චූටි 'හොර පාරක්' කියල දුන්න. මාත් ඉතින් පලවෙනිම දවසෙ වීරයා වගේ ඔය පාරෙන් ගිහින් අදාල බිල්ඩින් එකෙන් ගැලවිලා ලස්සනට අපේ orientation තියෙන තැනට ගියා.


මිත්‍රවරුනි.. 

ඒ තමයි මං ඒ පාරෙන් ගිය පලවෙනි සහ අවසන් වතාව. ඒ වගේම අපේ සීනියර් සෙට් එක කේක් බෙදලා, බීම බෙදලා 'කන්න වස්තුවේ' කියපු පලවෙනි සහ අවසන් වතාව.

Tuesday, April 1, 2025

301: උජාරුවට - උජාරයිද?

 ගොඩක් කාලෙක ඉඳලා ලියන්න හිතාගෙන හිටපු දෙයක් උනත්, එක එක හේතු හින්දා පස්සට ගියා.


මම නිතරම සිංදු අහන්න කැමති කෙනෙක්. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ලෝකේ හෝ ලංකාවේ නවතම සිංදු සහ ඒවායේ ප්‍රවණතාවයන් ගැන හසල දැනුමක් තියෙන කෙනෙක් කියලා. අනේ නෑ.. මං නවතම සිංදු ගැන දන්නවා තියා අළුත් ගායකයෙක්ගෙ නමක් කිව්වත් දන්නෙ නෑ.

ඒත් මම ( කලිනුත් කියලා ඇති) 60-70 සහ 80 දශකයේ සහ 90 දශකයේ වගේ ගීත වැඩිපුර අහන්න කැමති කෙනෙක්. ඒ සිංදු සමහර ඒවා මං ඉපදෙන්න හිතලවත් නැති ( කලින් ආත්මෙ මං බුලත් කොටන කාලෙ වගේ) කාලෙ කියපුවා. ඒත් ඒ ටේස්ට් එක මම ආසයි. ඒ වගේම හිංදි සිංදු ඒ අතරින් විශේෂයි. 

අපේ ගෙදර තිබ්බ පරිසරය අනුව මම වැඩුනේ ඒ පරණ හිංදි සිංදු එක්ක. කොටින්ම මට සමහර පරණ හිංදි චිත්‍රපටවල ඔක්කොම සිංදු කට පාඩම්. 

කාලයත් එක්ක මම මං අහන සිංදු වලින් වගේම බලන වැඩසටහන් අතරට ඔය හිංදි සිංදු ගැන යන 'භාරත ගී වින්දන' එකතු උනා. ඒක ඉදිරිපත් කරපු ඒ පුද්ගලයා පුදුමාකාර දැනුමක් තිබ්බ කෙනෙක්. එයා ඒ සිංදුව දාන්න කලින් ඒ ගැන මාරම විස්තරයක් කියනවා. ඒ ටික අහගෙන ඉන්න ආසයි. එයා ඒ විස්තර අතරේ නිතර කියන දෙයක් තිබ්බා

' මේ ගීතයේ තනුවට -මේ ගීතය- සිංහලෙන් කිව්වා -අහවල් ගායකයා- '

සෑ වෑව් මාරයි කියල !


ඔන්න ඔතනින් තමයි මගේ රසඤතාවයට මෙව්වා එකක් වෙන්නේ. ඔහු උත්කර්ෂවත් ලෙස කියන ඒ 'විලි ලැජ්ජා නැති' කොපි සිංදුව ඇහුවාම මට හිතෙනවා ඒ මොන ලැජ්ජා නැති හොරකමක්ද කියලා!

Monday, March 31, 2025

හිතපුරා - මල් පිපෙන වසන්තය ඇවිදින්

ආයෙත් ලියනවා...



කැමතිද කියවන්න? 

Sunday, November 7, 2021

300: මගහැරුනු අතැඟිලි

 



මම මේ කියන්නේ නිකමට
රිදෙනවා පපුවේ එක පැත්තක් ඊයේ හිට
මතක් වෙනවා මැණික උඹව දැන් ඕසෙට
කියන්නත් බෑ යාලුවෝ බනිනවා යමරෙට

මාළු පිණි මදිවෙලා කටට රහට
බැන්නම, මටත් ඒ කාලේ බැන්නට
කඩෙන්මයි කන්නේ මම, ආසාවට
බිරියානි එක්ක බත් දීපුවා එනවා මතකෙට

වැඩක් නෑ කියා උඹ ගේ මුල්ලකට කලාට
වෙන ගෑනු එක්ක මම චැට් එකක් දැම්මාට
මටම තේරුනේ නෑ මගහැරුණු උඹව මට
දැන් ඉතින් පලක් නෑ , යන්න බෑ ආයේ මට

විසේ නැති බිරිඳක්ව ඉන්ට කියලා කියා
මම හෙව්වේ විසේමයි ඒක දන්නව ඔයා
මටම දැන් මතක නෑ කොහෙන් අරඹමි කියා
මේ තරහ මගෙ නෙවෙයි වගේ ඉන්නෙමි නියා

Thursday, July 15, 2021

290: යට කඩේ උඩ ගෙදර



ඔහොම කවි පන්තියක් තිබ්බා.. මට කවුද ලිවේ මතක නැහැ.

ඒකනේ වැඩේ.. මගේ අර කඩේ අලුත් බඩු වගයක් ගෙනාව. මේ තියෙන්නේ පින්තුර 














මිට අමතරව මම ඔයාල කාටහරි ඕනේ නම් පින්තුරයක් එව්වහම, ඒක බලාගෙන පැන්සලෙන් ඇඳලා , මල් එහෙම වැඩකෑලි ටිකක් දාලාත් දෙනවා. වඩාත්ම හොඳ වෙන්නේ උපන්දිනයකට වගේ තෑග්ගක් විදියට. මොකද ඒ තෑග්ග සමකරන්න බෑනේ. මට පැහැදිලි පින්තුරයක් විතරයි ඕනේ.
මේ තියෙන්නේ එහෙම හදපු පින්තුර කීපයක් 








ඕඩරේ දැම්මොත් සතියක් යන්නේ නැහැ ගෙදරටම එවනව!

 

 

Thanks everyone!

Friday, February 5, 2021

289: පුංචි පහේ ආරංචියක්

පොඩි කාලේ ඉඳලා මට තිබ්බ විනෝදාංශ අතරේ එක එක සුකුරුත්තම් හැදිල්ල ප්‍රධානයි. ඒ අතරේ වෙච්ච විනාශකාරී දේවල් නොතිබ්බ නෙවෙයි. 

 

වැඩියෙන්ම කෑවේ සල්ලි! ඊළඟට කාලේ..


අන්තිමේදී, මේ ළඟදී තීරණේ කළා , නිදිමරාගෙන පාන්දර දෙක තුන වෙනකල් කරපුවා තවත් කෙනෙක් එක්ක බෙදාගත්තොත් හොඳයි කියල. මෙන්න බොලේ හොඳ ප්‍රතිචාර ලැබුනානේ!

ඒ හින්දා මම හිතුවා මේක ඉන්ස්ටග්‍රෑම් දාලා ටිකාරියක් විතර ලස්සනට කරන්ට ඕනේ කියල.

https://www.instagram.com/torirucreations/



 

මේ දවස්වල ගජරාමෙට හදන්නේ මේ paper quilling කියන සාස්තරෙන් කරන සුකුරුත්තම්

  1. බිත්තියේ එල්ලන, මේසය උඩ තියන නිර්මාණ
  2. කරාඹු


තමයි වැඩිපුර හදන්නේ.

මේ තියෙන්නේ ඒවායින් සමහර කොටසක්.















 

 

 

ඊට අමතරව වයින් බෝතල් වලට කරන ගෘහ අලංකරණ නිර්මාණ, බිත්ති සැරසිලි එහෙමත් එකතු කරනවා. මේවා මේ වගේ ඇසුරුමක දාල ගෙදරටම ලැබෙන්න සලස්වනවා ලංකාවේ කොහේ හිටියත්!





 

රෙදි මේඩ් තියන ඒවා නම් දවස් තුනක් ඇතුලත ලැබෙන්නත්, තමන්ට කැමති ජාතියේ මෝස්තරයක් දුන්නම එක හදලා දෙන්න සතියක් වගේ කාලයකුත් යනවා. මේ ඔක්කොම කරන්නේ බඩ රස්සාවක් එක්ක හින්දාත්  හොබී එකක් විදියට කරන කටයුත්තක් නිසාත් හැමෝගෙන්ම ඉල්ලනවා මේ ඉන්ස්ටග්‍රෑම් එකට ගිහින් තමන්ගේ කැමති නිර්මාණයක් ඇනවුම් කරන්න කියල.

සපෝට් එකක් විදියට පස්සෙන් පන්නන බට්න් එකත් ඔබන්ට හොඳේ!

අදහස් ගල් සහ මල් ලබාදෙන්න. මේක මමමයි කරන්නේ, ඒ හින්දා අතරමැදියෝ නැතුව පහසු මුලකට ලැබෙන්න සලස්වනවා.

හරි එහෙනම් ඈ !


Thanks ALL

Thursday, February 6, 2020

288. මායා






සරතැස ගෙවා නිලඹර දිනකර වඩිත
අවපස නුබට දම් පැහැ සළුපිළි දමත
තුරුහිස සොවින් සිය පිඹිදුණු කුසුම මත
මුතුඉස පෙමින් කරමින කෝමල බරිත

ගිනිගත් සුසුම් පවනක මුසු වුන සේයා
පිලිගත් ළමැද උර තලයක විය මායා
පියවෙත් දෙනෙත් වඩනා රසවිල් වේයා
සිළුවෙත් දැනුණි සිසිලස නුඹ තුරුලේයා

Friday, December 27, 2019

287. නුවර වීදියේ || Side by side







මේ හිම මිදෙන හීතල
වීදියේ දිගට ඇති සුකුරුත්තම්වල
ඇති ඒ සොඳුරු සුවඳට,
අඩු එකම එක සුවඳකි...
ඒ ඔබය!
උණුහුම්ම පපුව හිමි,
ඒ ඔබය!!

නුවර වීදියේ
නියෝන් පහනක නතරව,
තරුව නුඹ - බලා ඉනු - දුටිමි මම!
දළදා වීදියම
පෙම්බරයි පෙරදා සේම,
වැව රවුම මදනලට
තොල්පවා සිනාසෙයි - දනී ඔබ!
ඉතින් දැන් වෙලාවයි
එන්න යමු ඇවිදින්න
අපි එක්ක! 
ආදරෙන්.....



NK

Monday, June 24, 2019

286. මිත්‍රයා.....

හදිස්සියේ මතක්වෙච්ච දෙයක් හින්දා මම එක්තරා නමක් ගුගල් සර්ච් බාර් එකේ ගහලා බැලුව. අදාළ ඒවා එකක් සහ අදාළ නොවන ඉතිරි ඒවා අතරේ උඹේ පින්තුර එකම එකක් තිබ්බා. මම බලාපොරොත්තු උනා උඹේ එෆ්බි එකේ පින්තුරයක්.. ඒ උනාට ඒක තිබ්බේ නැහැ. අදාළ ලින්ක් එකට ගියාම උඹේ නමයි, ඒ සම්බන්දව පොඩි විස්තරයක් එක්ක, මුදල් රැස්කිරීමේ තොරතුරු තිබ්බා. ඔක්කොම බැලුවාම මේ ගැන ලියන්නම හිතුනා.

මිත්‍රයා.....

මම උඹව අමතන්නේ මිත්‍රයා කියලාද? මට එහෙම කියන්න බැහැ , මොකද අපි මිත්‍රයෝ වෙලා හිටිය කාලයක් මතක නැති නිසා. ඒ නිසා මට පටන් ගන්න හොඳ අපි මුලින්ම හම්බවුන දවසට වඩා මට උඹව 'නෝට්' උන දවසට. ඒ තමයි අපේ එක්තරා ලෙක්චර් එකක් වෙලාවේ, පරක්කුවෙලා එන්න සිද්ද උන නිසා අහම්බෙන් ඉස්සරහ පේලියේ ඉඳගන්න කරුමෙට සෙට් උන දවසෙම අපේ දේශකයා විසින් අහපු ප්‍රශ්නෙකට උඹ දීපු අමුතු උත්තරේ.

Tuesday, March 5, 2019

285. පවස ? | Fight for you





අත පොවන මානය
අල්ව - අල්වා සොයමි,
සුවඳ පපුවක උණුහුම
නොලැබ කෙලෙසක ගෙවමි?

විරසක වෙලා තොල්පෙති
තෙරප - තෙරපා පෙලමි,
රවමි ; ගොරවමි ; පිඹිමි
නුඹ දකින විට නිවෙමි!



Wednesday, January 2, 2019

284. අධිරාජ..




පෙර එක බවෙක
බඹදත් රජෙකු සමයෙක..
සාලිය පවා නොදන්නා
මංමුලා කන්දක - එක්තරා පැලක

බැත පිසෙන සුවදට
පිල්කඩ පසෙක උණුහුමට
උඹ එදත් ඉන්නැති - මෙලෙස!

සලීම් ඔබ කොහිද 
ඈ නොවෙද පිදුවේ ඔබ පෙම් පියුම,
සාලිය ඔබට මතකද
අතැර ආවෙ කිරීඨය නොවෙද?

ඒ වගෙද,!
රටක කිරුළු නොදරන
හදවතේ දිග්විජය අධිරජ
බැත බුදී අද
මගේ පිල්කඩ
එදා වගෙම අද!




Thursday, November 29, 2018

283. මෙතරම්ම ??




මෙතරම්ම උණුහුමක්
කිසිකලෙක දැනී නැත...
මෙතරම්ම මියුරුවට
සියොත් ගී ඇසී නැත....
මෙතරම්ම සිනහවක්
දෙතොල තුල රැඳී නැත...
මෙතරම්ම ප්‍රේමයක්
මිහිමතට උරුම නැත...





Thursday, October 18, 2018

282. තරණ|| Sailing again





ක්ෂිතිජ ඉම මත රැඳුනු නැවුබඳ - නිසල මුහුදක ලකුණු දනවයි 
වෙරළ අසබඩ පෙලෙන ජලකඳ  - සසල රැලි හා පෙරලි කරවයි 
ජලජ මිහිමත මැවුණු කතරද - විරල මිරිඟුව කැරලි අවුලයි 
ධවල පිරුවට මතින උන්වද - කිරුළ පසෙකින ගිලී ඇවිලෙයි 

සිහින සතකින පසුව එළැඹෙන  - මුරුගසන් වරුසාව උසුලා 
බැවින සසොබන පලස වියමන - පිරියමෙන් ලියකමින් උදුලා 
සිතින ඇවිලුණු නුවරු බලමින - මදහසින් පිරියම විපුල්ලා 
පිරුන සඳ දිසි අහස අරගෙන  - බබලමින් කුමරිය නිදැල්ලා 

Monday, May 30, 2016

281. අතින්වත් අත





ඉතා පටු මාවතකි 
අප දෙදෙන පියමනින,
ඔබේ පියවර ඇසෙයි 
මගේ හිතටත් වැඩිය.

මගේ අත වදී යයි,
ඔබේ අත , ඔබ තබයි.
ඇසෙන නෑසෙන හඬින් 
ගීතයක් ඔබ ගයයි.

පිසින මද නල පවා 
හුස්ම අල්වා සිටියි.
මාවතේ කෙළවරක 
නවතින්න ඔබ කියයි.

සවන්පෙති අද්දරින් 
උණු හුස්ම ගලා යන,
විටෙක මා කිළිපොලා 
සලිතවෙයි - මම සොයයි 

ඉදින් ඔබ මා සොයයි 


මගේ හිත පිරිමදියි....





Monday, May 23, 2016

280. රහසක්...




ඒක ගෙදරක්. සුදුපාට බිත්ති ,ඕලන්ද ආරුක්කු තියෙන විසාල ගෙදරක්. මම හිටියේ  පළවෙනි මහලේ ආලින්දයට පිවිසෙන දොරටුවත් එක්කම තියෙන කොරිඩෝවේ මැද්දට වෙන්න. කොරිඩෝව පේනමානයේ තියෙන ඔක්කොම ආරුක්කු බලාගෙන හිටියේ එකම පැත්තක්. ඒ පැත්ත වසාගෙන තිබ්බේ රූස්ස ගස්.

මෙතරම් වනාන්තරයක් මැද්දේ කිරිපාටට මෙහෙම මන්දිරයක් තියාගන්න පුළුවන් කියන එක මම ඒ වෙලාවේ ආයෙමත් කිරල බැලුවේ නැහැ. කොටිම්ම එහෙම කරන්න වෙලාවක් තිබ්බේ නැහැ.

මම හිටියේ කැළඹීල්ලෙන්. මගේ අත්වල ඇඟිලිගැට 'ටුක් ටුක්' හඬින් මම කැඩුවත් ඒ කැළඹීල්ල අඩුවක් උනේ නැහැ. මම ඉතින් කොරිඩෝවේ දොර පැත්තට  සක්මනක් පටන් ගත්ත.

'දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....දඩස් බිඩිස්... දඩස් බිඩිස්.....'

පඩිපෙළ දිගේ ඒ සද්දේ මට හොඳට පුරුදුයි.. ඔව් ඒ උන් තමයි... තවත් හිතන්න දෙයක් නැහැ. මම කලේ ආරුක්කු ජනේල් පේලියේ මැද්දේ තියෙන ජනේලෙ පඩිය මතට මගේ දකුණු අතේ අල්ල තියලා ලොකු ගැම්මක් අරගෙන පහලට පැනපු එකයි. හුස්ම අල්ලාගෙන කලත්, 'දඩිස්' සද්දයක් මිසක් හුස්ම පහතට වැටෙන්න දඟලන හිත ඇතුලෙන් වෙන කිසිම සද්දයක් ආවේ නැහැ.

279. රම්ප කොලයක්






මම  හිතුව විදියමයි
වෙන දෙයක් උනේ  නෑමයි
ඉතින් වෙන මොනවා වෙන්නෙයි,
මම රම්පෙ කොලයක් ගානයි.....

අඩුව ඇති විටකදී
අමතන සෑම තැනකදී
අහිතක් නැතුව හිතදී
කිව්වා නේද උඹට මුලදී?

දැන් ඉතින් ඇති ඔය මල්
කඩපු තරමත් රෑ දවල්
ඇදපු වතුරත් , බඳුනේ දැල්
දෙකම බලහං පෙනෙයි තරු මල්

ගිය දේ දැන් ඉතිං ගියාවේ
ආයෙම රැවටෙන්න උනාවේ
දැන් වත් කල්පනාවේ
යෝදියේ රට්ටුන් හිනාවේ


ප.ලි. මේක යාලුවෙක් වෙනුවෙන් ලිව්වේ මිට අවුරුදු ගණනාවකට කලින්. 



Friday, May 20, 2016

278. සෙල්ලම්(ද) බඩු - The Sellam Badu




සෙල්ලම් බඩු ගැන කියන්න මම වැඩි කැමැත්තක් නැහැ. ඒ උනාට කියන්න වෙනවා. හේතුව තමයි සුන්දර ඉල්ලීමක්, අහක දාන්නම බැරි ජාතියේ.

සෙල්ලම් බඩු කියන්නේ පුංචි කාලේ මාව කියෝපු එකම කට්ටිය වගේ දෙයක් මට කියන්න ඕනේ. නමුත් මගෙත් එක්ක හිටපු සෙල්ලම් බඩු වලටත් මට වගේම ප්‍රශ්න තොගයක් තිබ්බ. ඒ අතරින් වැඩියෙන්ම තිබ්බ ප්‍රශ්නේ තමයි එකිනෙකා තේරුම් ගැනීම. මොකද මම සෙල්ලම් බඩු එක්ක තියාගෙන හිටපු සම්බන්ධය හැටියට එයාලට වචන වලින් මම සපයපු තොරතුරු අතිශය සීමිතයි.  ඉතින් මාව තේරුම් ගන්න එක එයාලට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්න ඇති කියන එක මම තේරුම් ගත්තේ මම 'කච පච' ගගා කියෝනකොට මට හිටපු සෙල්ලම් බඩු දක්වන ප්‍රතිචාර ගැන බලනකොටයි.

 පොඩි කාලේ මට ඇත්තටම හොඳ සෙල්ලම් බඩු එකතුවක් තිබ්බ. ගර්ලිෂ් නොවුන නිසාම ලැබෙන සෙල්ලම් බඩු අතරින් මගේ හිත ගියේම අක්කට වෙනස් රුචියක් තියෙන සෙල්ලම් බඩු වලට වෙන්නත් පුළුවන්. ඒ උනාට කාටවත් තේරුම් ගන්න බැරි ගුප්ත, ගැඹුරු බැඳීමක් මට බෝනික්කෝ එක්ක තිබුනා.

මගේ බෝනික්කෝ කතාවේ උන්නු බෝනික්කා, මගේ නහරවැල් දිගේ ගලායන සම්බන්ධයක් ඇති කෙනෙක් කියලා, ඒ කතාවේදී මම කිව්වා වගේ අපේ අම්මාට වැටහුනේ නැත්තේ ඒ නිසාම වෙන්න ඇති. ඒ කියන්නේ බාහිර ස්වරුපයෙන් මුදු මොලොක් ගතිගුණ මනිනවා කියන මිම්මට අහුවෙලා මම අදත් ( මේ වෙනකොටත්) කියතෙන් කැපිලා ගියපු ළමාකාලයක් විතරක් නෙවෙයි, වැඩිහිටි වියකුත් තියෙනවා කියන්නේ හිනාවට කාරණාවක් උනේ නැති උනාට, මට ඒ ගැන හිතනකොට හිනත් යනවා තමයි. ඒකත් සමහරුන්ට පේන්නේ ගල් හිතක සලකුණක් විදියට.

Tuesday, May 10, 2016

277. ඔයා මගේ







ඔබේ අත ,
කොට්ට වැනි - උණුහුමට

ඔබේ උර,
පෙරවනය - මත සුවඳ

ඔබේ සිත,
මගෙ නොවන - මා සිටින

මගේ නෙත,
දුර සිටින - ඔබ දකින