Monday, June 24, 2019

286. මිත්‍රයා.....

හදිස්සියේ මතක්වෙච්ච දෙයක් හින්දා මම එක්තරා නමක් ගුගල් සර්ච් බාර් එකේ ගහලා බැලුව. අදාළ ඒවා එකක් සහ අදාළ නොවන ඉතිරි ඒවා අතරේ උඹේ පින්තුර එකම එකක් තිබ්බා. මම බලාපොරොත්තු උනා උඹේ එෆ්බි එකේ පින්තුරයක්.. ඒ උනාට ඒක තිබ්බේ නැහැ. අදාළ ලින්ක් එකට ගියාම උඹේ නමයි, ඒ සම්බන්දව පොඩි විස්තරයක් එක්ක, මුදල් රැස්කිරීමේ තොරතුරු තිබ්බා. ඔක්කොම බැලුවාම මේ ගැන ලියන්නම හිතුනා.

මිත්‍රයා.....

මම උඹව අමතන්නේ මිත්‍රයා කියලාද? මට එහෙම කියන්න බැහැ , මොකද අපි මිත්‍රයෝ වෙලා හිටිය කාලයක් මතක නැති නිසා. ඒ නිසා මට පටන් ගන්න හොඳ අපි මුලින්ම හම්බවුන දවසට වඩා මට උඹව 'නෝට්' උන දවසට. ඒ තමයි අපේ එක්තරා ලෙක්චර් එකක් වෙලාවේ, පරක්කුවෙලා එන්න සිද්ද උන නිසා අහම්බෙන් ඉස්සරහ පේලියේ ඉඳගන්න කරුමෙට සෙට් උන දවසෙම අපේ දේශකයා විසින් අහපු ප්‍රශ්නෙකට උඹ දීපු අමුතු උත්තරේ.



මට දැන් ප්‍රශ්නෙත්, උඹ දීපු උත්තරෙත් කියන මේ දෙකම මතක නැහැ. ඒ උනාට අර මොකද්ද කියන්නා වගේ, එකපාරටම අපේ බැච් එකේ උන් අතරේ උඹ ගැන එකපාරටම යහපත් ආකල්පයක් ගොඩනැගුනා කියලා හිතුනා. ඒක එකපාරටම උනේ! ඒ වගේමයි ඔක්කොටම එහෙම හිතුනා කියලා තේරුනේ එදාම හවස තිබ්බ රැස්වීමේදී අපි උඹව අපේ රෙප් විදියට පත්කරගන්න තරම් දුරදිග ගියා.

එදා ඉඳලා උඹ අපේ බැච් රෙප් විදියට නොයෙකුත් කටු කෑවා. ස්වභාවයෙන්ම මෙලෝ වැඩකට නැති අපේ බැච් එකේ ඕනේ එපාකම් බලන එක උඹ කලේ සතුටෙන් වෙන්න ඕනේ. ඔහොම යනකොට කොහෙත් වගේ අපිත් කල්ලි ගැහුනා.

උඹේ කල්ලියේ හිටියේ කොළඹ ජනප්‍රිය ඉස්කෝල වලින් ආපු එක පන්තියක වගේ උන්. එකම එක මුස්ලිම් කොල්ලෙක් හිටියා සෑහෙන දුප්පත්. හිටපු මුස්ලිම් කෙල්ල තමයි රෝසමල වගේ උන්න , මුහුණ හඳක් වගේ ලස්සන, පාට පාට හිජාබ් ඇඳගෙන එන කෙල්ල. ඊට අමතරව තව හැමදේටම මලපනින කොල්ලෙකුත්, කටකාර දෙමළ කොල්ලෝ දෙන්නෙකුත් , තව  සිංහල කෙල්ලෙකුත් තමයි උඹේ අනුගාමිකයෝ. (උඹේ ඒ කල්ලියේ හිටපු දෙමළ කොල්ලෝ ගැන සාධාරණ සැකයක් තිබ්බා. ඒවා ලියන්නේ නැහැ මෙතන ) උන් උඹව ඇදහුවා මම හිතන්නේ. කලවන් මැල්ලුම වගේ හිටපු අපේ කල්ලි එහෙමටම ඇතුලත්වෙන එක ගේමක් නැති උනාට උඹේ කල්ලියට එන්න වෙන කාටවත් පුළුවන් උනේ නැහැ මම හිතන්නේ.

ඉතින් අනිත් උන් ඔක්කොම අපිත් එක්ක හිතවත් උනා. උන්ට අපි උදව් කළා, ඒ නිසා අපේ කල්ලිය ටිකාක් ශක්තිමත්. ඔය අතරේ අපේ එක එක විෂයන් වලට කුප්පි දාන්න තත්වයක් උදා උනේ අපි සෑහෙන තරමකට විෂය දැනුම අතින් ලාබාල නිසාත් අපිට සින්නො හිටියෙත් නැති නිසා. උඹලගේ මහාප්රාන්න සෙට් එකටත් ඒවා අමාරු උනත් උඹලා කවදාවත් ඒ ගැන කතාකලේ නැහැ; හොරෙන් හොරෙන් ඒවාට අමතර පංති ගියා මිසක්. ඒ නිසා අපේ උන් ටික එකතුවෙලා කුප්පියක් සංවිධානය කලාම උඹලාගේ සෙට් එක ඒකට කුපිත වෙලා එහෙම කෑගැහුවේ 'කුප්පි කියල දෙයක් නැහැ...' කියලා.

අපිට එකපාරටම හේතුව නොතේරුණත් පස්සේ දැනගත්තේ උඹලා සල්ලි දීලා ක්ලාස් ගිහින් ඉගෙනගත්ත දේවල් කුප්පියකින් නොමිලේ කියා දීම ලොකු වරදක් කියල. අන්න එතැනදී තමයි මගෙත් උඹෙත් යාළුකම කොමාවක් වෙන්නේ. මම උඹ ගැන තිබ්බ ආකල්පේ වෙනස් කරගන්නවා.

මම විතරක් නෙවෙයි ගොඩක් දෙනෙක් උඹව 'අලයා' කියා නම් කරන්නත්, උඹලගේ සෙට් එක 'අල සෙට් එක' කියන්නත්, පස්සෙන් පහු උඹ 'මහා අලයා' වෙන්නෙත් ඒකෙන් පස්සේ.

අපේ කුප්පි සහ අනෙකුත් වැඩ වලදී උඹලා කෙලින්ම ඊට වෙනත් මතයක් දරනවා. උඹ නොවෙයි, ගොඩක් වෙලාවට එතකොට එහෙම දේවල් වලදී කතාකරන්නේ අර පොද්ද ඇත්තම් මල පනින උඹේ එකෙක්. මුස්ලිම් දුප්පත් එකා හැමදාම ගේමෙන් වගේ ඉන්නේ. අපි ඉතින් ගොඩක් වැඩ වලදී ඒක බලාපොරොත්තුවෙන් තමයි හිටියේ. ඒත් ලොකුවට ගැටුමක් උනෙත් නැහැ, උනේ නැහැ කියන්නත් බැහැ. එතකොට තමයි අපිට පෙනෙන්නට ගත්තේ අර රෝසමල පස්සේ උඹ වැටිලා කියලා.

කෙල්ල උඹලා විතරක් ඉන්න තැන්වලදී හිජාබ් එක නැතුව ඉන්න බවත් අපිට ආරංචි උනත් අපේ කොල්ලොත් හිනාවෙලා උන්නා. මොකද ඒ මුස්ලිම් කෙල්ල උසස්පෙළ කරන කාලේ යන්තම් පපුව හරහට සළුවක් දාගෙන උන්නා මිසක් ඔලුගෙඩිය ඔහොම ඔතාගෙන ආපු කෙනෙක් නෙවෙයි කියලා කොළඹ ඉස්කෝලවල ඉගෙනගත්ත උන්ගෙන් අපි දැනගත්ත නිසා. හිටපු අනිත් මුස්ලිම් කොල්ලෝ ඒ ගැන හාරන්න ගියා කියලා මතකයකුත් නැහැ. ඒ කෙල්ලට අපි රෝසි කියලම කියමුකෝ. රෝසිත් උඹත් පෙම් පලහිලව්වක කියලා උඹලාගේ සෙට් එකේ කිසි කෙනෙක් පිළිගන්න ස්දානම් නැති උනාට අපි ඉන්නකොට උඹ රෝසිගේ කම්මුල අල්ල අල්ලා හිටපු බවත් අපි දැක්කේ, පිටිපස්සේ පේළිවල වෙන දේවල් ගැන මට මෙලෝ අවධානයක් නැති උනාට අහම්බෙන් පිටිපස්ස හැරුන දවසක.

ඒ අස්සෙත් එක දවසකුඹ පාරේ තියෙන කොලපාට යකඩ වැටක් මැද්දෙන් නිතිවිරෝධිව පනින්න ගිහින් වැටට උඹේ අහවල් ප්‍රදේශය හිරිලා මොකද්දෝ වෙලාය කියලා, අපේ සෙට් එකේ උන්ම ගෙදරත් ගිහින් තිබ්බා සැපදුක් බලන්න. එතකොට තමයි අපි දැනගත්තේ උඹ යමක් කමක් තියෙන පවුලක එකම දරුවා කියලත්. අපිට ඉතින් ඒක අමුත්තක් උනෙත් නැහැ.

ඔහොම යනකොටනේ අපි සෙමිනා එකක් සංවිධානය කලේ. ඒක කලේ අපි පිහිටුවාගත්ත සංවිධානයකින්. මම ඒකෙ ලොකු තනතුරක් දැරුවා.උඹලගේ 'අල' සෙට් එකේ එකෙක්වත් තනතුරක් දැරුවේ නැති උනාට අපි කලේ වැඩ එකින් එක වෙන වෙනම බෙදලා දුන්නා හැමෝටම. උඹට බාර උනේ ඉන්ඩස්ට්‍රි එකේ උන්ව අපේ ඉවෙන්ට් එකට ගෙන්වන එක. උඹ ඒක උඩින්ම බාරගත්තේ ඒ ඒ සමාගම් වලට යන්නත් , උන් එක්ක ජිරිස් බිරිස් ගාලා කතාකරන්නත් , කොටින්ම කියනවා නම් පොරක් වෙන්න හොඳ අවස්තාවක් ලැබුන නිසා.

ඊට අමතරව අපි ගහපු සමරු කලාපෙට කට්ට්ය කොහොම කොහොමහරි දැන්වීම් අරගෙන අනුග්‍රාහකයෝ හොයාගත්තා. අපේ කැම්පස් එකේ තිබ්බ නමට අපිට සෑහෙන්න හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තිබ්බා. එකෙත් උඹේ අල සාමාජිකාවක් සෑහෙන දැන්වීම් ගෙනත් තිබ්බා.

ඒ අතරේ අපේ එක සබ්ජෙක්ට් එකක් කරන බොහොම ලාබාල දේශකයෙක්ගේ කැමැත්තෙන්ම ආයෙමත් අපිට වෙනත් විශයක කුප්පියක් දාන්න කතාකලා. එහෙම උනේ ඒ පුද්ගලයා එක්ක අපි හිතවත් උන නිසා. අම්මෝ උඹලා ඒකට ලොකු ගේමක් ඇද්දා.

'ලෙක්චර්ස් ලා කුප්පි දාන්නේ නැති ' බව උඹල දැනගෙන හිටියට අපි දැනගෙන හිටියේ නැහැ. උඹලට කුප්පු ඔතරම්ම ඇලජික් බව අපි දැනගෙන උන්නේ නැහැ. කොහොමහරි අපිත් ඒ නිධාන කතාව නොසොයාම වැඩේ කැන්සල් කළා මතකද?

ඒ පුද්ගලයා හරි හොඳයි. ඔහු අපේ සෙමිනා එකේ ඇනිමේෂන් වැඩකට උදව් කරන්න ආවා. එතන වැඩෙත් බාරදිලි තිබ්බ කිහිප දෙනා අතරේ උඹලගේ අර මුස්ලිම් කොල්ලාත් හිටියා. ඒ වැඩේ පසුබිම් කථනය කලේ උඹේ රෝසමල, මතකද? ඒක දවසින් දවස ගොඩනැගෙනවා අපිත් ආසාවෙන් බලාගෙන උන්නා. කොහොමහරි වැඩේ ඉවර වෙනකොට අර කියපු දේශකවරයා අපේ මුහුණ නොබලන තරමට අපිත් එක්ක අමනාප වෙලා. හේතුවක් දන්නේ නැහැ.

සෙමිනා එකට දින ලං වෙනකොට අපි අතරේ පොඩි පොඩි ගැටුම් ඇති උනත්, අපේ එදාට දවස් දෙක තුනකට කලින් ශාලාවේ පුහුණුවීම් කරනකොට, උඹට මතකද උඹ අමුතු කතාවක් කියාගෙන ආවා. මොකද මම තමයි එතන ස්තුති කතාව කරන්න තිබ්බේ. උඹ කිව්වා මට එහෙම ස්තුති කතාව කරන්න අයිතියක් නැතිය, වැඩියෙන්ම දැන්වීම් ගෙනාපු නිසා උඹේ සෙට් එකේ කෙල්ලට අවස්තාව දෙන්න කියල. මමත් අනිත් උනිත් කිව්වේ ඒක තනතුරේ වැඩක් මිසක් පුද්ගලික කැමැත්තක් නෙවෙයි කියල. කොහොමහරි අපි ඒකත් කළා.

උඹලා අපිත් එක්ක තවත් ගැටුම් වැඩි උනා. මට නම් කිසිම අවුලක් නොමැති උනත් උඹලගේ අල සෙට් එකේ උන්නු උන්ට අපේ මුහුණ බලන්න අමාරුවක් ආවේ ඇයි කියන්න මට අදටත් ප්‍රශ්නයක්. මොකද වැඩක් කරන්න ගියාම මතගැටුම් ආවට පස්සේ ඒවා අමතක කරලා ඉන්න පුලුවනේ!

උඹේ රෙප් කම ඒ අවුරුද්දෙන් පස්සේ වෙන එකෙක්ට ගියත්, මම හිතන්නේ උඹ හිතාගෙන හිටියේ උඹ තාමත් රෙප් කියලා වෙන්න ඇති. අපිට අලුතෙන් බැච් එකක් ආවා. ඩීන් උඹට එන්න කියල ඒ බැච් එක බලාගන්න කියලා කිව්වලු ( ඒකත් ඉතින් උඹම තමයි කිව්වේ) අනේ ඉතින් ඒ ළමයි ටිකේ සුට්ටන් නංගිලා , මල්ලිලා ටික උඹගේ කලිසම් වාටියේ එල්ලිලා එහෙට මෙහෙට යන්නේ මොකද කියල අපිට තේරුමක් නැහැ.

අපේ උන් දැන් රැග් කරන්න දත කනවා. රැග් කියලා අපි භයානක දේවල් ටිකක් ලැස්ති කරගෙන හිටියේ. සිංදුවක් කියන්න, ජපන් බාසාවෙන් නිවුස් කියන්න, නිවුස් වලට අදාළ කෑලි රඟපාන්න වගේ දරුණු ගණයේ රැග් වලට අපි ලෑස්ති වෙලා ඉන්නකොට උන්ට හිටපු ගැලවුම්කාරයෝ තමයි උඹ සහ උඹේ අල සෙට් එක. මොකද එතන හිටියෙත් උඹලා වගේ කොළඹ ලොකුය කියන ඉස්කෝලවල ඉඳල හයේ හතරේ පහරවල් ගහලා සෑහෙන්න තද තද නංගිලා, මල්ලිලා! අපි වගේද?

රැග් කරන්න ගිහිනුත් උඹලා එක්ක අපි ගැටුම්! අන්තිමේදී උඹලා පසුබැස්සා. ඒ තමයි අපි කොමන් රූම් එකේ උන්ට සින්දුවක් කියන්න වගේ 'රැග්' කරද්දී දොර ගාව උඹලා ටික පාර දෙපැත්තේ හිටගෙන හිටියා උන්ගේ ආරක්ෂාවට. අනේ හොඳයි! නැතිනම් උන්ව සින්දු ඉස්මොල්ලේ ගිහින් ඉස්පිරිතාලේ ගෙනියන්නවත් කවුරුත් හිටියේ නැහැ.

ආ.. අමතක උනානේ.. ඊට කලින් අපේ සෙමෙස්ටර් රිසල්ට්ස් ආවහම උඹලගේ අල දෙන්නෙක් විතර පලවෙනි දහදෙනා අතරේ හිටියා. අපේ කුප්පි දාපු එකා උඩින්ම! උඹලා ආයෙමත් ක්ලාස් යනවා කියලා ආරංචි උනා. අපිට ඔව්වට සල්ලි තිබ්බෙත් නැහැ, කාලය තිබ්බෙත් නැහැ...

රැග් එකෙන් පස්සේ අපේ උන් වෙල්කම් එකක් දුන්නා. අනේ ඉතින් ඒකත් සෑහෙන්න අමාරුවෙන් කලේ. උඹලා කිසිම උදව්වක් කලෙත් නැහැ. අපි ඉතින් පුළුවන් හැටියට කළා. උඹලාගේ අල සෙට් එකේ සාමාජිකත්වය අරගෙන හිටපුන් උන්ට ඊට පස්සේ ඇස්ප්‍රින් වලින් සමනය නොවන උණක් වගේ එකක් හැදුනා. තාමත් උන්ගේ ඒ ලෙඩේ මට තේරුම් ගන්න බැහැ , දැන් නම් හොඳ වෙලත් ඇති.

ඔහොම කාලය ගත වුනා. ඒ කාලය ඇතුලත උඹෙත් රෝසිගේත් පෙම් පලහිලව්ව සෑහෙන තත්වෙකට ඇවිත්. රෝසි අවුස්සගත්තහම ඒ කෙල්ල මාර සද්ද කරන්නේ. අපේ උන් හිනාවෙනවා පඩිපෙලේ ඉඳන්! උඹ දන්නේ නැතුව ඇති. ඒ අස්සේ තවත් ජෝඩුවක් සෙට් වේගන ආවත්, උඹලා කිසි කෙනෙක් ඒ ගැන පිළිගත්තේ නැහැ. අපේ නම් හිටපු කපල් ඔක්කොම අපි බකට් කළා. සමහර වෙලාවට උඹලව බකට් කරයි කියලා බයටද දන්නෙත් නැහැ නේ! සෙට් වේගන ආපු ජෝඩුව කැඩුනත් උඹයි රෝසියි හිටියා අවුලක් නැතුව.

මතකද සුනාමි ආවා? එතකොට උඹේ සෙට් එකේ තදියන් කාරයාගේ ගෙදරට කරදරයක් කියලා අපේ උන් ගියා එක පිම්මේ උදව් කරන්න හාල් පොල් එහෙමත් අරගෙන. මතකද දන්නේ නැහැ? ඒ කාලේ ඉතින් හැමදෙනාම එකා වගේනේ උදව් කරන්න.

ඔන්න එකපාරක් අපේ එකෙක්ගේ හදවත් සැත්කමක් කරන්න ඕනේ උනා. අපි ඉක්මනින් ටිකට් ගහලා කැට හොල්ලන්න කොළඹ, නුවර, කැලණිය වගේ කැම්පස්වල ගියා. උඹලා එකෙක්වත් ආවා මතකයක් නැහැ. අන්තිමේදී අපේ ටිකට් ටික හොරෙන් කඩලා සෙකියුරිටි එකේ මිනිහෙක් ටිකට් පොත් පහක් අතුරුදහන් කරලා තිබ්බා. ඒකට කතාකරන්න ගියාම උඹ මතකට උම හිටගත්තේ ඒ සෙකියුරිටි මනුස්සයාගේ පැත්තේ.

ඒ මොකක් උනත් අපි සැහෙන මුදලක් ඌට එකතු කරලා දුන්නා. ඌ බෙන්තර ගඟෙන් එහා එකෙක්. එක්තරා ශිෂ්‍ය සංගමයක ඌට සභාපතිකම ලැබුනා විතරයි උඹලා ඌව බාගත්තා. කොහොම කලාද කියන්න අදටත් අපි දන්නේ නැහැ. අන්තිමට ඒ බෙන්තරයා අපි ටිකව වෙනම ගෙනල්ලා උඹගේ යහපත්කම ගැන දේශනාවක් තියන්න ගත්තා. එතැනින් උගෙත් යාළුකමට අපි කොමාවක් දාගත්තා. අපි හැමවිටම සතුරෙක් විදියට උඹට පෙනුනේ ඇයි කියලා අපිට තේරුමක් නැහැ.

එකපාරක් මට මතකයි අපේ එක්තරා  පාඩමක් කරලා ඒකෙ ප්‍රායෝගික කොටස කරනකොට උඹේ සෙට් එකේ කෙල්ලෙක් ඇඩුවා මතකද? බලනකොට වෙනදාට කුප්පි දදා ගොඩයන අපේ උන් වැඩි දෙනෙක්ට ඒ පාඩම ලෙසටම තේරිලා, උන්ගේ ප්‍රයෝගික ක්‍රියාකාරකම හොඳයි. ඒ කෙල්ලට තේරිලා නැතුව මේ අඩන්නේ! කොහොමත් අපි ඕපන් කුප්පි දානවා, එයාට එන්න බාධාවක් නැහැ. උන්ට වෙනම කුප්පි උඹලා උඹලා දාගන්න බව අපිට රහසක් වෙලා තිබ්බේත් නැහැ ඉතින්, ඔහොම තමයි අලයෝ වැඩේ!

කාලය ගතවුනා. ගැටුම්, අමනාපකම් මැද්දේ අවසානයේදී අපි උපාධියත් අරගෙන එක එක රැකියා වලට ගියා. උඹේ ඒ රෝසමල ඊට පස්සේ ගොඩක් පෝසත් මුස්ලිම් කොල්ලෙක් බැඳලා කියලා ආරංචි උනා. උඹත් බැන්දා කියලා ආරංචි උනා. අපි එක එක අංශයෙන් ඉදිරියට ගියා. කාලෙකට පස්සේ ආරංචි උනා උඹේ විවාහය දෙදරලා ගියා කියලා. මම හැබෑවටම ඒ ගැන කම්පා උනා. උඹ ටිකක් ඒකාධිපතියෙක්, ඒකත් හේතුවක් වෙන්න ඇති කියලා හිත හදාගත්තා. උඹ ගැන මම ඇත්තටම දුක් උනා. ඊට පස්සේ ආරංචි උනේ උඹ තව කෙනෙක්ව බැන්දා කියලා. ඒක හොඳයි, උඹට එතකොට වැඩි වයසක් නෑනේ. ඊට පස්සේ ආරංචි උනේ උඹේ ස්ථිර පදිංචියට වෙන රටකට ගියා කියලා. පවුලේ එකම ළමයා වෙච්ච උඹ එහෙම යන්න ඇත්තේ මොකක් හරි අරමුණකට වෙන්නත් ඇතිනේ. ඒ ගැන මධ්‍යස්ත සතුටක් දැනුනා. උඹට තිබ්බේ අවධානය පිලිබඳ බරපතල ප්‍රශ්නයක් බව අපි දැන් කතාවෙනකොට අපිට තේරුනා. දැන් අපි ජිවිතේ දිහා; ඒ කාලේ දේවල් දිහා බලන්නේ ඊට වෙනස් ඇහැකින් නිසා එක වෙන්කරලා අඳුනගන්න පුළුවන් නිසා වෙන්න ඇති.

ඊට පස්සේ තමයි ආරංචියක් ආවේ උඹේ සෙට් එකේ අර පොඩ්ඩ ඇත්තම් තද වෙන ; අපි සුනාමි වලදී උදව් කරපු එකාගේ බිරිඳ හදිස්සියේ මැරිලා කියලා. උඹ දන්නේ නැහැ, අපි ඒකට දුක් උනා. ඒකත් සමනය වෙලා ගියාට පස්සේ තමයි උඹ ගැන ආරංචි උනේ. අදටත් මට ඒ ආරංචිය හීනයක් වගේ

'මහ අලයාට බ්‍රේන් ටියුමර් එකක්ලු'

ඔව්.. ඒ වෙනකොට උඹ හිටියේ අන්තිම අඩියේ. ප්‍රතිකාර වලින් ගොඩයන්න බැහැ කියලා උඹ ඇවිත් හිටියා ලංකාවට. උඹලගේ අල සෙට් එක පණිවිඩේ දීලා, පැයක් යන්න කලින් අපි බෙල්ලන්විල පන්සලේ උඹ වෙනුවෙන් බෝධිපුජාවක් කළා. ඔව්.. මට එදා ඇඩුනා. මම උඹගේ සෙට් එකේ උන්ගෙන් ඇහුවා බලන්න යන්න; උන් එපා කිව්වා. මට තේරුණා විදියට උන් කැමති උනේ නැහැ උඹේ අසරණ විලාසය අපිට පෙන්වන්න. කමක් නැහැ, මට හිතුනේ උඹේ හිත අපිව දැකීමෙන් වෙනස් වෙලා උඹට නරකක් උනොත් හොඳ නැහැ කියලා. ඉතින් අපි බලෙන් ගියේ නැහැ. උඹගේ සෙට් එක උඹ වෙනුවෙන්; උඹේ අවුරුදු 3ක් විතර වයස දුව සහ දැන් බිරිඳ වෙනුවෙන් අරමුදලක් එකතු කරනවා කිව්වා. ඒකට දාපු දැන්වීමක් තමයි මම එදා සර්ච් කරනකොට මම දැක්කේ. මම කතාකලා උඹගේ සෙට් එකේ ඔක්කොම එක්ක ; ඇහුන විදියට උඹගේ ජිවිතේ අවසානය ළඟාවෙලා.

ඔව්.. ආරංචිය ආවේ ඊට සතියකට පස්සේ. උඹ මියගිහින්.

ආරංචියට අපි ගියා උඹේ මළගෙදර. පළවෙනියට ආරංචිය ආපු දවසේ. අවසන් කටයුතු දවසේ ආයෙමත් ගියා. උඹේ රෝසමල නෙවෙයි උඹ ගාව අඩමින් හිටියේ. උඹේ බිරිඳ. ඈ බලාගත්ත අත බලාගෙන. උඹේ පොඩි දුව සතුටෙන් සෙල්ලම් කරමින් උන්නා. උඹේ අම්මා දරාගත්ත දුක හංගගෙන. උඹේ අල සෙට් එකෙන් කීප දෙනෙක් ඇවිත් හිටියා. මල්වඩමක් තිබ්බා 'ඔයාගේ  රෝසමල' කියලා ලියලා එවපු. දැන් උඹේ බිරිඳට උඹ රෝසමල කියනවා ඇති කියලාත් හිතුනා.   

මිත්‍රයා..
ඔන්න ඕකයි ජිවිතේ. උඹ හොඳ මනුස්සයෙක්. හැබැයි තනිකර මුලාවෙන් හිටපු එකෙක්. උඹ හම්බකරගත්ත අවධානය උඹට ලැබෙන්න ඇති කියලා හිතනවා. උඹට ස්තුතියි, උඹ දිහා බලාගෙන මම නිතරම මගේ වැරදි හදාගන්නවා





7 comments:

  1. Siyalu alayange kathawa, could well be a true story.

    ReplyDelete
    Replies
    1. මට පස්සේ ආරංචි උන විදියට අලයා සෑහෙන්න මහන්සිවෙලා හොඳ නමක් හදාගෙන හිටියා මම හිතන්නේ. ඒ කියන්නේ ජුන්නොන්ට උදව් කරලා. අපි උදව් කරනකොට ඌ වෙඩිකාපු ඌරා වගේ ඒ උනාට! මට අවබෝධයක් තිබ්බේ නැහැ වැඩිය මොකද අපි ඒවාට ( පිරිස් බලය එකතු කරගන්න වගේ) කාලය වැයකලේ නැහැ.

      එක අලකමේ වාසියද අවාසියද මන්ද.. ඌ අල කියා කිව්වත් ඌ කලෙත් අපි කරන දේවල්ම තමයි. වැඩේ අපි කරනකොට ඌට ඇල්ලුවේ නැති එක කියලයි මට හිතුනේ. අන්තිමට මට හිතුනේ ඔහු ඔතරම් දත කාල, අවසානයේදී කාටත් උරුම විදියට ජිවිතේට මුහුණ දෙන්න උනා කියලා.

      Delete
  2. ගොඩක් කාලෙකින් පරණ ස්ටයිල් එකට ලියල..........

    මෙහෙම අය ඉන්නවා.....

    ReplyDelete
    Replies
    1. කැලේ මාරු උනාට පුල්ලි මාරු වෙන්නේ නැහැ කියනවනේ.... කොහේ ගියත් පුරුද්ද එහෙම්මම තමයි..
      :D

      Delete
  3. ගොඩක් කාලෙකින් නුවර කුමාරි

    ReplyDelete
    Replies
    1. ඔව් තමයි... ලියන්න විවේකයක් නැතුව මිසක්!

      මම දැක්කා කිඹුලිත් ලියලා...

      ලියන්න ලියන්න ! තවත් ලියන්න. එය ඔසුවක්

      Delete
  4. ආයෙත් අපිව කැම්පස් එක්කරගෙන ගියා නේද?

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...