Monday, July 20, 2015

197. මැටි මෝලෙක් සමඟ ඈ






එදා බොහොම සාමාන්‍ය දවසක්.

මම කවදත් සාමාන්‍ය දවස් වලට බයයි. මොකක් හරි අසාමාන්‍ය දෙයක් වෙන එකම දැන් මගේ ජිවිතේ කොටසක් වගේ.

වැහිබර අහසක් තියෙන ඒ පළාතට මම කොහොමත් යන්නේ පොඩි තිගැස්මක් එක්කමයි. දාහය රුහිරු තැවරුණ මේ පොළවෙන් එකපාරටම ඉහලට එසවිලා මාව පියාසර කරන කුරුල්ලෙක් කරවන්න දරන උත්සහයක් වගේ තමයි කඳු පන්තිය පිහිටලා තිබ්බේ.

ටිකින් ටික ඉහලට එසවිලා වට පිටෙන් හැමතැනම පෙනෙන දියසිරාවට අමතරව කොලපාට නිම්නයක් පේනකොට මට හැමදාම හිතෙන්නේ ඉගිලෙන්න හිතාගෙන මම කන්දක් මුදුනට නගිනවා කියල. එදා නම් එහෙම හැඟීමක් මට තිබ්බෙම නැති තරම්.

"මචං මේ සීතලට මම මාර ආසයි..."

මම එහෙම කිව්වේ බුරියා ගෙන් උත්තරයක් බලාගෙනම නෙවෙයි. ඒත් ඌ මගේ දිහා බලලා දැම්මේ අවලන් හිනාවක්.

".... අද බියර් බොන්න බෑ මෝඩයෝ.. දන්නවනේ මගේ මැච් එක අද"

ක්‍රීඩාගාරයට යනකොට එතැන හිටියේ බොහොම ටික දෙනයි. පිවිසෙන තැනම පොඩි බංකුවක උන්නු කෙල්ලෙක් අපි එනකොටම ගැස්සිලා වගේ අපි දිහා ඔලුව උස්සලා බැලුව. හරියට ඒකිගේ කාමරේට අපි එබුනා වගේ. මම කටකොනෙන් හිනාවක් දාගෙන ඒකිව පහුකරන් ගියා.

"අඩෝ.... මේක කාන්තාරයක් නේ"



මම දන්නවා බුරියාට කෙල්ලෝ නැත්තම් ඒක කාන්තාරයක් කියල. 'හික්' ගාල මට හිනාවක් ගියත් අනිත් උන් හිටපු නිසා ඌට උත්තරයක් දෙන්න මම මහන්සි උනේ නැහැ.

"බේතකටවත් නැද්ද බන් කෙල්ලෝ මේ පළාතේ? තුහ් විතරක්"

 මම උත්තරයක් නොදී මගේ බෑගය බිමින් තිබ්බ. අනිත් හැමෝම කමිස මාරු කරන්න ගත්ත. මම මගේ කමිසය අරන් වටපිට බැලුව.

"අනේ මේ... උඹේ ත්‍රී පැක්ස්.. ඔන්න ඕක මාරු කරගනින් මෙතන බඩුව වගේ ඇඹරෙන්නේ නැතුව.... කෙල්ලෝ ඇත්තෙත් නෑ "

හිනා උනා මිසක් මම උත්තරයක් නොදී කමිසය අතින් අරගෙන ප්‍රධාන දොරටුව පැත්තට ඇවිදගෙන ගියේ කමිසය මාරු කරගන්නට කාමරයක් සොයන්නටයි. අපි එනවිට ඉඳගෙන හිටපු කෙල්ල ඔලුව නමාගෙන සපත්තු දානවා.

'එහෙනම් මෙයත් සෙල්ලම් කරනවද?' මොකද්දෝ එකකට මගේ හිතට එහෙම ඇහුන.
එකපාරටම කෙල්ල මගේ දිහා ඔලුව උස්සලා බැලුව. අපි දෙන්නම ගල්වෙලා වගේ එකිනෙකා දිහා බලන් හිටිය. මොකද්දෝ එකකට මගේ ඇතුලෙන් ගින්දරක් වගේ පත්තු උනා. ඒ බැල්මද? මොකද්ද?

'අම්මෝ කන්න වගේ බලන්නේ.'

*************************************

"ගස් නැති රටේ පැපොල් ගහත් ගහක් අඩෝ.."

මගේ දිහා බලලා බුරියා හෙවත් බුද්ධික ඉඟිමැරුවා. මම හිනාවෙලා නිකන් හිටියත් මොකද්දෝ අවුලක් දැනුන. යන්තමට ඔලුව උස්සලා ඒ කෙල්ල යන දිහාවේ බැලුව. අපිව පහුකරගෙන යන ඇගේ බඳ ලතාවකට නැළවෙනවා උනත් ඈ පය තියන්නේ ලතාව වහගෙන වගේ.

තරඟ නිමාවෙලා අපි සියලු දෙනා එකම තැනකට රොක්වුනේ හවස ගමනට ඕනේ කරන 'පෙට්‍රල්' ගහගන්න. අතට ගත්ත ශක්තිජනක පාන කෑන් එක්ක, අපි හැමදෙනාම රවුම් මේසයේ වටේට තියපු කම්බි පුටුවල වාඩිවෙලා නොයෙකුත් මඩගහගැනිලි අතොරක් නැතුව කරමින් හිටියා.



පුටුවේ අනික් පැත්තට වාඩිවෙලා හිටපු නිවන්තගේ එක කකුලකට හේත්තු වෙලා මම අතේ තිබ්බ කෑන් එකෙන් උගුරක් බොනවත් එක්කම බීම එකෙන් ටිකක් වැටුන නිවන්තගේ කලිසම උඩට.

'දඩ බඩන් ඩෝන්'

මූ මාවත් පෙරලගෙන නැගිට්ට පාර, මාව විසිවෙලා ගිහින් පස්ස බිම වැදිලා හතර ගාතෙන් දිගෑදුනා. ඇස්දෙක අරිනකොටම මහා ආලෝක කදම්බයක් වගේ එකක් ආව , ඒත් එක්කම බෙලිකටු මලු පොදියක් හොල්ලනවත් කන්දෙක 'කිං' ගාන තරම් බෙරිහන්දිල්ලකුත් එක සැරේට ආවම එකපාරටම අපායෙන් වැටුණු එකා වගේ මාව අන්දුන් කුන්දුන් වෙලා ගියා.

මට පෙනුනේ මම විසිවෙලා ගිහින් වැටිලා තිබ්බේ කෙල්ලන් පොදියක් ගාවට බවත් , මගේ යාළුවන් එකෙක්වත් මට කිසිම අනුකම්පාවක් නැතුව හිනාවෙනවා ඇරෙන්න නැගිටින්න කිසිම උදව්වක් නොකරපු එකත් තමයි. කලිසම ගැලවුනා වගේ ලොකු ලැජ්ජාවක් දැනුනා උනත් මම හිනාවෙලා නැගිට්ටේ නිවන්තගේ දිහා කන්න වගේ බලමින්.

නැගිටලා බලනකොට අර කෙල්ල ඉන්නවා මේසේ ගාව බලාගෙන. වෙන කිසිම වෙලාවක තිබ්බේ නැති හිනාවක් තිබ්බා ඒ ඇස්වල. කිසිම විශේෂත්වයක් නැති ඒ මුනේ මම දැක්කා පුදුම ප්‍රියමනාප හිනාවක්. ඒත් එක්කම මගේ ඇස්දෙක ගිහින් නතර උනේ කොටට කොටේ ඈ ඇඳලා හිටපු ෂෝට් එක දිහාවට. 'ඩොහ්' ගාල මොකද්ද උනා මගේ පපුවට.

'පට්ටම පට්ට සෙක්සි කකුල් දෙකක්'

හිනාව අතුරුදහන් වෙලා, එකපාරටම ඒ කකුල් දෙක වැහිලා වහින්න ආසන්න වලාකුලකින් අකුණක් පිපිරුවා!

**************************************

"ඔයා හරිම කපටියි"
"හරිම නම් නෙවෙයි. ටිකක් විතර...."

මම එහෙම කියල නවත්තල තිබ්බ වාහනේ ඉස්සරහ දොරෙන් ඔලුව දාල කබි හෝල් එකේ තිබ්බ බෑග් එක ගත්ත. ODEL බෑග් එක දිහා බලල කුන්චනා මගේ දිහා ඇස්දෙක ලොකු කරලා බැලුව.

"...ඔයාට. ගන්න"

ආයෙමත් කළුවර වලාකුලක් ආව.

"මට එපා. මම තෑගී වලට ආසා නැහැ. මට එපා..."

වෙනද වගේම මගේ හිත ලොකු දුකකින් පිරුණ.

"... හොරෙන් දාන්නත් එපා මගේ බෑග් එකට. මට එපා ______ "

පපුවේ හරි මැදින් හුරනවා වගේ දැනුනා. රිදුම එන්නේ කොතනින්ද කියල හොයාගන්න අමාරුයි. වේදනාවට මගේ වමත මට මිට මෙලවුනා.

කුන්චනා හය්යෙන් හුස්ම ගන්නවා මට පෙනුනා. ඈ එහෙම කරන්නේ කොයි වේලාවේද කියල මට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

තවත් මුකුත් හිතෙන්න කලින් මම එකපාරටම කුන්චනාගේ වමතේ අල්ල තද කරලා මගේ අල්ලට ග්‍රහණය කරගත්ත. ගැස්සිලා මගේ දිහා බලපු ඈ වැරෙන් අත අදින්න ගත්ත. මම යකඩයෙක් වගේ උන්නා මිසක් මගේ හිතට මොකවත්ම ගලාගෙන ආවේ නැහැ ඒ වෙලාවේ. උත්සාහය ව්‍යර්ථ උන තැන කුන්චනා කලේ, දකුණු අතින් මට අතුල් පහරක් දීපු එක!

"දැන් ඔයා මට ගැහුවා නේ... අතින් අල්ලගෙන ඉන්න පුළුවන් මට එහෙනං "

සිරුරෙන් කාන්දුවන විදුලියක් එක්ක මම සන්සුන් හඬින් කිව්වා. කුන්චනා වෙව්ලනවා.

"එපා _____, මෙහෙම කරන්න එපා! මට යන්න දෙන්න. අපි මෙහෙම ඉන්න එක හරි නැහැ. මිනිස්සු බලනවා.... අතාරින්න"

"මිනිස්සු බලන නිසාද මම ඔයාව අතාරින්න ඕනේ?....."

මම හෙමිට කිව්වා උනත් කුන්චනා ඒකට බෝම්බ සද්දෙකට වඩා බය උනා.

".... කාර් එකට නගින්න. අපි යමු කොහේට හරි... දොඩම්වෙල පැත්තට?"

"පිස්සුද? මට බැහැ. කිව්වම අහල දැන් අතාරින්න. නැත්තම් මම හපනවා !!"

කුන්චනා මට තර්ජනයක් වගේ කතා කලේ වෙව්ලමින්.

මම අත නිදහස් නොකරපු නිසා කුන්චනා මගේ අතේ පහල කොටස තදින් හැපුවා. ලොකු වේදනාවක් එක්ක මගේ ශරීරයේ ප්‍රථික ක්‍රියාවක් විදියට අත නිදහස් වෙනකොටම කුන්චනා විසින්ම මගේ අතේ ඈ විසින් සපනලද කොටස දිහා බැලුවේ වෙන එකෙක් කරපු නරුම ක්‍රියාවක් දැන් මේ දුටුවා වගෙයි.

"කවදා හරි දවසක, ඔයා මේ මාව හපලා , ඊට පස්සේ ආයෙමත් ඒ තුවාලේ බලල දුක් වෙනවා වගේ...."

මට ඒ වාක්‍ය සම්පුර්ණ කරන්න ලැබුනේ නැහැ. කුන්චනා මගේ දිහා බැලුව. මගේ වචන ටික ඔක්කොම දොඩම්ගෙඩි වගේ ඉහිරිලා ගියා.

"ඇයි  _____ , why me? මම ඔයාට කරපු වැරැද්ද මොකද්ද ____ ?"

"ඇයි කුන්චනා? මමත් ඔයාට කරපු වැරැද්ද මොකද්ද?"

****************************************



ආදරයක් කියන්නේ මොකද්ද කියන්න මම හරියටම දන්නේ නැහැ. නමුත් 'love at first sight' කියන එකට වඩා 'love at first fight' කියන එක මට දැනෙනවා.

කුන්චනා තමයි ඒ කෙල්ල. හැමදාම මම පතන කෙල්ල.

මේක ඒකපාර්ශවිකයි. නමුත් හදවත් වලින් අපි දෙදෙනාම දෙදෙනාට ලොකු ප්‍රේමයක් තිබ්බ එක අපි දෙදෙනාම දැනගෙන හිටියා. වෙනස තිබ්බේ මම එය පිළිගැනීමත්, ඇය එය පිලිනොගැනිමත් විතරයි. හිතට වදින කෙල්ලෙක්ට සරාගී මොකක් හරි තියෙනවා කියන එක අහම්බයක් වෙන්නත් පුළුවන්. ඒත් ඒක දඬුවමක්ද?

කොල්ලෙක්ගේ හිතේ නියම ප්‍රේමය කියන්නේ මොකද්ද කියල කෙල්ලෙක්ට තේරෙනවා නම්, උන් මිට වඩා සැලකිලිමත් වෙයි ප්‍රේමයේදී.

මගෙන් සමුගන්න හැම වෙලේම මගේ ඇස්දෙක දිහා බලන්න බැරුව බිමට බරවෙන ඇස්වල ලියා තියෙන දේ මට කියන්න ඔබට ශක්තියක් නැති බව මම දන්නවා කුන්චනා. සමුගන්න ලැබෙන හැම වෙලේම මගේ හිත මට දහස් වරක් කිව්වේ, 'මේ අවසන් සමුගනිල්ල නෙවෙයු යකෝ' කියල. මොකද, එහෙම සමු අරගෙන යන්න බැහැ ඔබට මගෙන්....

මම සමාව දෙනවා, හැබැයි මම ආයෙමත් එන වෙලාවට මාව බාරගත්තේ නැත්තම්, මම දන්නවා මම ඊළඟට කරන්න ඕනේ මොකද්ද කියල... මට ඒ ටික කරන්න ශක්තියක් නැහැ තාම..

එතකල් ඉන්න කුන්චනා... මම ආයෙත් එනවා.. ඔබ ඒ ගැන දන්නවා.. මටත් වඩා මා ගැන දන්නා ඔබ, ඒ බව දන්නා බවත් මම දන්නවා...

මේ ප්‍රේමය රළුයි. ඒ අතුරණය ඔබේ මෘදු බව වහන්න හොඳටම මදි 




****



ප.ලි:  ඔබ කියවන්න. උත්තර බඳින්න එපා. 


ප.ප.ලි. : සමාවෙන්න... මම කිව්වේ 'ඔබට' මිස 'ඔබලාට' නෙවෙයි. මම හිතනවා 'ඔබ' කියන කෙනා කොහොමත් උත්තරයක් නොදී ඉඳීවි කියල.

14 comments:

  1. කියෙව්වා.. උත්තර නොබදිමි.

    ReplyDelete
  2. මදෑ.... හාහා පුරා කියල කමෙන්ට් එකක් දාන්ඩ ආව .....

    ReplyDelete
  3. කොහොමත් උත්තරත් නෑ..

    ReplyDelete
  4. :O
    හොල්මන්ද පොල්කොළ!

    ReplyDelete
  5. මොකක්ද බොල මේ......ඔලුවත් කකියනව වගෙ..

    ReplyDelete
  6. එපා කිව්වට උත්තරයක් දෙන්නම හිතෙනවා... කමක් නෑ.. ඔයගෙ කැමැත්තනෙ.

    ReplyDelete
  7. කරකවල අතඇරියා වගේ!

    ReplyDelete
  8. සම්ඵප්‍රලාප කියන්නේ මෙන්න මේවට

    ReplyDelete
  9. හැඟීම් වලට අර්ථකතන දෙන්න අමාරුයි නොව.

    ReplyDelete
  10. හම්මේ......හරිම ඛේදවාචිකයි!!

    ReplyDelete
  11. උත්තර නොබැන්දත් අනිවාර්යයෙන්ම උත්තරයක් නම් ඇති.

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...