Wednesday, December 10, 2014

128. ගහක මල් පිපිලා.. පිපෙන්නේ? - 6




පළමු දිගහැරුම

දෙවන දිගහැරුම

තුන්වන දිගහැරුම

හතරවන දිගහැරුම

පස්වන දිගහැරුම


ටාගට් එක සපුරන්න අසමත් වෙච්ච හින්ද නැතිවුණු පලවෙනි රස්සාවත්,
වෙලාවට වාර්තා නොකිරීමට අහිමිවුණු දෙවැනි රස්සාවත්,
පිළිවෙලින් බේබදුකමට ගිහින්; අසාධාරණකමකට කතා කරන්න ගිහින් සහ රැකියානුබද්ධ දේශපාලනය තේරුම් නොගැනීමට කියන කාරනා වලට නැතිවුණු රස්සාවලුත් ඔක්කොම නැතිවුනාට පස්සේ මම අනිවාර්යයෙන් ලබපු එකම දෙයක් තිබ්බ..

ඒ තමයි මේඝනාගේ පොල් අඩි බැනුම් අහගෙන විනාඩි කිහිපයක් නිශ්ශබ්දව හිටපු එක.

ඒ මුරුගසන් ගල් වරුසාවෙන් පස්සේ, ආයෙත් ඒකි මට ජොබ් වලට දාන්න උදව් කරන එක පරණ පුරුදු විදියටම පටන් ගන්නවා.

ඇත්තටම ඕනෙම කෙනෙක්ට ඕනෙම දේකට හැඩගැහෙන්න අමාරු නැහැ කියල මට තේරුනේ මේඝනාගේ මේ බැනුම් අහගෙන මට දැන් ඉස්සර වගේ නොවී , ගේමක් නැතුවම ඉන්න පුළුවන් එකෙන්මයි.

නමුත්, මගේ හයවෙනි රස්සාවට පස්සේ මම ජොබ් එක වෙනුවට මාරු කලේ තනතුරු. ඒ වෙනකොට මගේ සෙල්ලක්කාර ජිවිතේ , කොටින්ම කෙල්ලෝ මාරු කරමින් මම කරපු නාස්තිය ඔක්කොම වගේ නතර වෙලා...

මට මාව හම්බවෙලා කියල මට දැනෙනකොට, මම හිතන්නේ නැති දුරක් ඇවිත්.

වෙනදා වගේ නැතුව වෙනස් විදියට හැසිරෙන්න බලාගෙනමයි ඔෆිස් එකෙන් ආවේ. වෙනදා මුණගැහෙන තැනම උනත් මට දැනුනේ අමුතු ගැස්මක් තියෙන තැනක් විදියට.

සෝයා එකේ උසම උස පඩිපෙළ මට දැනුනේ වෙනත් ලෝකෙකට යන පාරක් වගේ. ඒ පඩි නැගගෙන, පඩියෙන් පඩිය වෙනස් වන සපත්තු සද්දය මම අහමින් ගියා. උසම උස පඩිපෙළ නිමාවෙනකොටම වමට හැරුණු මම අපේ සුපුරුදු බැල්කනි මේසයට ඇස හැරෙව්වේ ඇත්තටම ගැහෙන පපුවකින්.

මගේ වෙනසට කලින් මේඝනා වෙනස් විදියට ඇඳගෙන ඇවිත් හිටිය එකම මාව පුදුම කල හින්ද, ඒ පුදුමෙන් මම සීතල අයිස් කුට්ටියක් ගිල්ලා වගේ වෙව්ලවුනා.

"තේජන..."



ඔව් ඒ කටහඩත් වෙනස්. විනාඩි එකොළහක් ගතවුනේ වෙනස් විදියකට. ඒක මට දැනුනේ වෙනත් සංක්‍යාතයකින් දිවෙන සමාන්තර ලෝකෙක වුනු දෙයක් වගේ... මම කලේ ඒ විනාඩි එකොළහ ඉවර වෙනවත් එක්කම මේසය උඩට වෙලා තිබ්බ ඒ මායාකාර මෘදු අත , මටසිලුටුවට අල්ලලා වචන තුනක උත්තරයක් දීපු එක.

ඒත් එක්කම මගේ කම්මුලට මේඝනා ගැහුවේ අතුල්පහරක්...! ඒත් කිසිම විදියකින් මම මගේ ඇස්දෙක මේඝනාගේ අස්දෙකින් අයින් කලේ නැහැ.

ක්ෂණයෙන් මේඝනා පුටුවත් තල්ලුකරගෙන නැගිට්ට.

"මේඝනා..... අනේ ප්ලීස්..."

මට දැනුනේ අල්පෙනිත්තකින් මගේ පපුවට අනිනවා වගේ. කිසිම වෙලාවක මිට කලින් දැනිල නැති වේදනාවක්.

"... මේඝනා.... මම කියන දේ එකපාරක් අහන්න... එකම එක පාරක්"

මම ඒපාර නම් මේඝනාගේ කොහෙන්වත් අල්ලන්න ගියේ නැහැ. මගේ මුළු සර්වාංගයම ගැහෙන්න වගේ අරගෙන.

"තමුසේ බල්ලෙක් උනාට කමක් නැහැ මට..... බූරුවෙක් වෙන්න එපා.."


මේඝනා මට කිව්වේ මගේ දිහාට නැමිලා, දත්මිටි කනගමන් .

මට වටපිටේ බැලුනේ ඒ වෙලාවට.

අපි දෙන්නගේම වෙලාවට සෝයා එකේ හිටියේ බොහොම ටිකදෙනයි. ටිකක් එහාට වෙන්න හිටපු කීපදෙනෙක් මගේ දිහා දෙතුන්පාරක් බලලා අහක බලාගත්තත්, හැමදාම අපිට අයිස්ක්‍රීම් දෙන සේවකයාගේ ඇස්දෙක විතරක් අපිත් එක්ක ඇමිණිලා තිබිලා, මම බලනකොටම වෙන පැත්තකට හැරුනා.

මට පොඩ්ඩක්වත් ලැජ්ජාවක් දැනුනේ නැහැ. මට දැනුනේ තද වේදනාවක්... පපුව ඇතුලෙන් එළියට පනින්න හදන මකරෙක් පපුව පුච්චනවා වගේ වේදනාවක්.

"ඔව්.. ඔව් මේඝනා මම බල්ලෙක් තමයි.... මම නැහැ කියන්නේ නැහැ..."

"............."

"මට ඔයත් එක්ක කතාකරන්න ඕනේ... ප්ලීස්... එකවතාවක් හරි"

පුටුවෙන් නැගිට්ට මේඝනාගේ ඇස් රැඳිලා තිබ්බේ සෝයා එකෙන් බිම බලනවිට පෙනෙන පාරේ, කිසිම කෙනෙක් අරමුණු කරගෙන නෙවෙයි කියල මට තේරුණා. මේඝනා වේගෙන් ඇස්පිල්ලම් ගහනවා මම දැක්කත්, මම හොඳින්ම දැක්කේ මේසයේ කොනේ තිබ්බ ඒ මායාකාර ඇඟිලි වේගෙන් දියරැළි නගන හැටි. නිකම්ම නිකන් කෙල්ලෙක්ගෙ මෘදු මායාකාරී ඇඟිලි...?

"මේඝනා..... මම ඇත්තටමයි කිව්වේ...... පොඩ්ඩක් වාඩිවෙන්න... පොඩ්ඩක්... මම බලකරන්නේ නැහැ... කැමතිනම් විතරක්.... පොඩ්ඩක්..."

තදින් යටිතොල හපාගත්ත මේඝනා පුටුවේ වාඩිවුණේ පැත්තකට, මට කෙලින්ම මුහුණ නොපෙනෙන්න වගේ.

"මගේ වැරැද්ද...."

"ඔයා වැරදි නැහැ මේඝනා... මේ තමයි අපේ දෙන්නගේ ඩෙස්ටනි එක.... "

"අපි දෙන්නගේ නෙවෙයි... ම.... මගේ නෙවෙයි.. ඔයාගේ වෙන්න ඇති...."

මගේ වචනේ ඉවරවෙනවත් එක්කම මැද්දෙන් පැනලා මේඝනා කිව්වා. හරියට කෘර වධකයෙක් වගේ, අහක බලාගෙනම.

මට රිදුනා. ඔව්... මම හිතාගත්ත කොතරම් රිදුනත් මේ කසපහරවල් මම කොහොමහරි දරාගන්න...

"...... පිහිය රත්තරං කියල ඇනගන්න සිරිතක් තියෙනවද...? මෝඩ වෙන්න එපා... "

"මාව මෙතනට ආවේ ඔයා හින්ද මේඝනා... මම අද මනුස්සයෙක් උනේ ඔයා හින්ද... මම ඔයාට ණයයි හැමදාම..."

මේඝනාගේ කට කොනට , කම්මුල වලගැහෙන , එක කට කොනක් උඩ යන හිනාව එනවා මම දැක්කා. ඒත් මම දිගටම කතා කළා.

"...... මගේ දෙමවුපියන්වත් මට කරලා නැතුව ඇති මෙහෙම උදව්."

"තමුසෙගෙ අම්ම පව් හලෝ.... ඒ අම්මට තමුසේ සලකනවා මදි"

"ඔව් මේඝනා... ඒ කතාව ඔයා ඕනේ තරම් මට කියල ඇති. මම කවදාවත් හිතපු නැති දේවල් තමයි ඒවා. අම්ම ගේන දෙයක් කාල, පුලුවන්නම් කාබාසිනා කරලා, කිසිම අරමුණක් නැතුව පිස්සු කෙල කෙල හිටපු මාව මනුස්සයෙක් කලේ ඔයා... ඉතිං"

"ඉතිං ඒකට මම දඬුවම් විඳින්න ඕනෙද?"

මාව චේන් එක පැනපු බයිසිකලයක් වගේ හිරවුනා. මේඝනා තද බැල්මක් එක්ක මගේ දිහා බැලුව. මමත් උත්තරයක් නැතුව බලන් හිටියා. මේඝනා ටිකකින් බිම බලාගත්ත. මමත් බිම බලාගත්ත. පොඩියට හුස්මක් පිටකරලා මම කතාකරන්න හදනකොටම මේඝනා මෘදු හඬකින් කතා කළා.

"තේජන.... මම ඔයාට කිව්වේ.... මගේ ස්කොල් එක ඇවිත්... මම රට යනවා. ආපහු එයිද දන්නේ නැහැ.... ඔයාගේ ගමන දැන් ඔයා තනියෙන් යන්න ඕනේ... මම නැතුව"

"මම.... මම..."
මට එකපාරටම කතාකරගන්න අමාරුයි වගේ දැනුනත් මම පටන් ගන්න ඕනේ කියල විතරයි කල්පනා උනේ.

".... ඔව් මම කෙල්ලෝ හැටහුටාමාරක් එක්ක රවුම් ගහල තියෙනවා. උන්ට බූට් දීලා තියෙනවා. උන් එක්ක නිදාගෙනත් තියෙනවා...."

මේඝනාට 'බකස්' ගාල හිනා ගියා. ඒත් උවමනාවෙන්ම මම අහක බලාගෙන හිටපු හින්ද මම දැක්කේ නැහැ මොනවගේ මුහුණක්ද එතකොට මේඝනාට තිබ්බේ කියල.

"... ඒත් මම අවංකයි... දැන්... ඔයාට අවංකවම ආදරේ කරනවා. මට ඕනේ දෙයක් ඔයත් එක්ක කියන්න පුළුවන්. මම විහිළුවට නෙවෙයි. කසාද බඳින්නමයි මේක අහන්නේ.... "

ලොකු සුසුමක සද්දයක් පසුබිමෙන් ඇහුනත් මම හැරුනේ නැහැ. මට මගේ ගැන බයක් දැනුන. බය දැනුනේ කරවටක් ගිලිලා ඉන්න එකට නෙවෙයි. මම තවත් දුර්වලයෙක් වෙයි කියල.

"...... මම දන්නවා.. මම සල්ලිකාරයෙක් නෙවෙයි. ඔයාගේ මාමගේ කොම්පැනියේ වැඩකරන නිකම්ම නිකන් මාර්කටින් මැනේජර් කෙනෙක් විතරයි. ඒත් මම දියුණු වෙනවා කවදාහරි. ඉක්මනටම. අද මම මෙතනට ආව වගේ, ඉස්සරහටත්. මම සල්ලි හොයනවා. දැන් මගේ ගාව ඔයාව ඉම්ප්රෙස් කරන්න සල්ලි නැහැ. තියෙන්නේ ආදරේ විතරයි...."

කිසිම සද්දයක් පසුබිමෙන් ඇහුනේ නැති හින්ද මම යන්තමට හැරිලා මේඝනා ඉන්න දිහාවේ බලනකොට, ඈ මගේ දිහා ඇස්දෙක පුරා කඳුළු පුරෝගෙන බලන් ඉන්නවා. මගේ ඇස් ගැටෙනකොටම ඈ කලේ ලොකු හුස්මකුත් එක්ක බිමට නිකට හරවපු එකයි.

"මම දන්නවා තේජන.... මට ඔයා ගැන කියන්න ඕනේ නැහැ"

"මම වත්තක දුප්පත් කොල්ලෙක් තමයි. තාත්ත දාල ගියපු, පොළේ එළවළු විකුණන අම්මක්ගේ පුතෙක් තමයි. ඔයාට ඒවා හංගන්න මට බැහැ. මගේ හිතේ තියෙන දේ නොකියා ඉන්නත් මට බැහැ. ඔයා වගේ ටැලන්ටඩ් , එඩියුකේටඩ් කෙල්ලෙක්ට, මම වගේ කොල්ලෙක් හරියන්නේ නැතුව වෙන්න පුළුවන්... ඔයා මම කරපු උදව් මම කවදාවත් අමතක කරන්නේ නැහැ, මැරෙනකල්"

"ඇති ඇති.... අයිස්ක්‍රීම් කමුද?"


********************************

දුරකතන ඇමතුම විසන්ධි උනාට පස්සේ මට දැනුනේ සන්තොසයක්ද , මහා දුකක්ද කියලා එකපාරටම මට හිතාගන්න බැරිවුනා. 

කතා කලේ මේඝනා... ඔව්... ඇයට සතුටු මොහොතක්. මටත් සතුටුම මොහොතක්..

මගේ කුළුඳුල් දරුවා ඉපදුනු ආරංචියත් එක්කම මම ඉක්මනින් රෝහල වෙත යන්නට පහළ මාලයට ආව.

"ආ.. සර්.. මොකද කලබලේ....?"

දවල් ආහාර ගේන්නට පහලටගොස් එමින් හිටපු ඔෆිස් ඇසිස්ටන්ට් කොල්ලා මගේ කලබලේ දකින්නට ඇති. මම බයිසිකලේ පණගන්වමින් ලොකු හිනාවක් දැම්මා.

"වයිෆ්ට බබා හම්බෙලා රවී.. දැන් ආරංචි උනේ"

"එහෙනං දැන් ඉතින් කාර් එකක් ගන්න වෙයි සර්... හෙහ්.. හෙහ්..."

රවීගේ හිනාව වාහන අංගනය දෙදරවමින් යද්දී, මගේ ඇතුලේ දෝංකාරය අරගෙන මම බයිසිකලය පාරට ගත්තා. හිතන දේවල් වලට වඩා වේගෙන් වාහනේ පදවන්න මට ඕනෙකම තිබ්බත්, වරින් වර ආපු වාහන තදබදය මාව ඉඳහිට කල්පනා ලෝකයකට ඇද දැම්මා..

'ඇයි මේ? මෙතරම් දුකක් දැනෙන්නේ ඇයි ?'

හේතුවක් හිතාගන්න බැරුව මම එක එක දේවල් හේතු හෙව්වේ තඩි කුනුබක්කියක් අදින හිඟන්නෙක් වගේ. හරියටම හේතුවක් වගේ දෙයක් පෑදීගෙන එනකොටම මට රෝහලේ ගේට්ටුව පේන්න ගත්තා.

මම වාට්ටුවට යනකොටත් , ලෙඩ්ඩු බලන වෙලාව පහුවෙන්න ළඟයි. මීට පස්සේ මේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට නම් එන්න දෙන්නේ නැහැ. කොහොමහරි මම ප්‍රයිවට් එක්කගෙන යනවා. පව් දෙය්යනේ... වෙලාවට දැන් බබා ලැබුනේ. නැත්තම් හවස් වෙනකල් ඉන්න වෙනවා බලන්න... 

වාට්ටුවේ කොනක මම වයිෆ්ව නතර කරලා ගියපු ඇඳ හිස්.. මම වටපිට බැලුවා. එතකොටම ජංගමය නාදවෙන්න ගත්ත.

"මේ... ඔය ෆෝන් ජාති එනකොට ඕෆ් කරගෙන ආවොත් හොඳයි. මෙතන ළමයි අඬනවා ඕවගේ සද්දෙට... අනේ මන්ද...." 

බ්ලා .. බ්ලා 

තවත් මොනවාදෝ කිය කියා නර්ස් නොනෙක් වාට්ටුවෙන් පිටවෙලා මාව පහුකරගෙන යන්න ගියා. මම අසරණ මුහුණෙන් ජංගමය දිහා බැලුවා. මේඝනාගේ ජංගමය. මම ඉක්මනට ආන්සර් කළා.

"හලෝ මේඝනා.. කියන්න.. කෝ කොහෙද ඔයාලා?"

"පුතේ.. මේ මම..."

ඒ අපේ අම්මගේ කටහඬ... මට මොකද්ද උනා වගේ. දන්නේ නැහැ ඒ ඇයි කියලා...

"ආ.. අම්මේ.. කොහෙද ඔයාල? මම මේ වෝඩ් එකට.... වාට්ටුවට ආව"

"වාට්ටුව වෙනස් කළා... 14 වාට්ටුවේ ඉන්නේ. දරුවා ලැබුනේ දැන් ගොඩ වෙලාවකට කලින්. දුව එක්කන් එනකල් ඉදල මම පයින්ඩේ කියන්ට කිව්වේ..."

තවත් මොනවදෝ කිව්වත් මම ඇමතුම විසන්ධි කරලා දැම්මේ, ඉක්මනට දුවන්න ඕනේ හින්ද. 

තව විනාඩි දහයකින් වෝඩ් වලින් අපිට යන්න කියනවා. මම එතන එහාට මෙහාට පිස්සුවෙන් වගේ දුවන සෙනඟ අතරින් අමාරුවෙන් 14 වාට්ටුව හොයාගෙන ඇවිද්දේ කොකෙක් වගේ බෙල්ල දික් කරමින්. අවසානයේදී, ඒ වාට්ටුව දුටු ගමන් මම නැතිවුණු මැණිකක් හොයන පතල්කරුවෙක් වගේ වාට්ටුව සිසාරා බැල්මක් යොමනකොටම , ඔව්.. මට මගේ දිහා සිනහවී බලන් සිටින මේඝනාගේ ඉහලට එසවුණු අත දකින්නට ලැබුණා...

මේඝනා දෙස බලාගෙන මම ඒ ඇඳ වෙත යනවිටම, පසෙක වූ කුඩා බිලිඳු ඇඳ තුල කුඩා ප්‍රාණියෙක් නිදහසේ අතපය විසිකරමින් උන්නා. මගේ පපුව කීරිගැහුනා.

ඇඳ උඩ මගේ ආදරණිය බිරිඳත්, ඇඳේ එක පසෙක මගේ මවත්, අනික්පස මේඝනාත් විදියට සැකැස්ම තියෙද්දී... මහා වෙහෙසකර යුද්ධයකින් දිනනලද සෙනෙවියෙකුගේ ආඩම්බර සිනහවක් සමග සිටි මගේ බිරිඳගේ අවුල්වූ කෙස්ගස් සහිත හිසමත මම මගේ දකුණු අල්ල තිබ්බා.

"අමාරුද?"

"නෑ.... මම හොඳින්"

මගේ පිය බිරිඳ වෙහෙසකර මුහුණේ සලකුණු මකමින් ලස්සනට හිනාවෙලා කිව්වා.

මේඝනා හෙමිහිට ඇඳවිට්ටම දෙසින් මෑත්වෙනවා මගේ ඇස් කොනින් මම දැක්කත්, නොදැක්කා වගේ වෙන්නට මට උවමනා කළා. අම්මගේ තොරතෝංචියක් නැති විස්තරකිරීම් , දෙසුම් අතරේ මම වෙනම සිතුවිලි අතරේ කිමිදුණා.

".... මේ දුව තමයි ඉස්පිරිතාලෙට ගෙනාවේ.... කිසිම කරදරයක්  උනේ නෑ දෙය්යන්ගේ පිහිටෙන්... මේ.. මේ ඉන්නේ චණ්ඩියා... මයේ පුතේ උඹගේ කපාපු පළුව...."

අම්මාගේ අතොරක් නැති දේවල් අතරින් මට යන්තම් කනට ගිය දේවල් තිබ්බා. 

මගේ කුළුඳුල් දරුවා දුටු මට ඇතිවුන ඒ හැඟීම මුළු ලෝකෙටම ඇහෙන්න කෑ ගහන්න ඕනේ කියන එක විතරයි. මොකක් කියල කෑ ගහන්නද කියල මට හිතුනෙම නැහැ. පිස්සෙක් වගේ ආරංචිය ඇහුන ගමන් කිසිදෙයක් නැතුව මම දුවගෙන ආවත්, ඒ සියල්ලම මේඝනා සපයා තිබුනා. 

ලෙඩුන් බලන වෙලාව නිමවන නිවේදනයත් සමගම, මමත් අම්මාත් පිටතට එනවිට අප එනතුරු මේඝනා එළියේ හිටගෙන ඉන්නවා මම දැක්කා. මගේ පපුවේ මොනවදෝ හිරවෙනවා වගේ.

"අම්මා දැන් යන්න... හවස  එනවනේ?"

කොරිඩෝවේ උන්නු මේඝනා දිහා ඇස්කොනෙන් බලන ගමන් මම අම්මාට කතාකලා.

කිසිවක් නොකියා මෘදු සිනහවකින් සංග්‍රහ කල මේඝනා ඇගේ ජංගමය ඔබමින් සිටියේ මා හිතාමතාම මගහරිමින්.

"මොනවහරි කාලා යමුද?"

අම්මා රෝහල් දොරටුවෙන් නොපෙනී යනකල් ඉඳලා මගෙත් එක්ක පසුපසින් එන මේඝනා දිහාවට හැරිලා කිව්වා. කිසිම දෙයක් නැති හිස් කඩදාසියක් ඉදිරියේ මම ඉන්නවා වගේ මට දැනුනේ. ඒ හැඟීම විස්තර කරන්න අමාරුයි. උත්තරයක් නොලැබුනත් මම පස්සෙන් ඈ එනබව දැනුන මම හෙමින් හෙමින් රෝහල පාරදිගේ ගමන් කලේ මගේ ජැකට්ටුව අතේ තියාගෙන.

ටික දුරක් ගියපු මම මේඝනාට මගෙත් එක්ක එකට එන්න පුළුවන් වෙන්න වේගය බාලකලා. 

" Congratulations තේජන...!! මට පුදුමාකාර විදියට සතුටුයි."

"තෑන්ක්ස්"

මම ආපහු හැරිලා කිව්වේ පුපුරන හිතකින්. වතුර නැතුව වියලිච්ච මඩවගුරක්....

"තේජන... අපි පොඩ්ඩක් කතාකරලා යමුද? ඔයාට පරක්කු වෙන්නේ නැ-"

"ඔව්... අපි යමු පේරාදෙණිය රෙස්ට් එකට. එතන නිදහස්"

මම මේඝනා කියල ඉවර කරන්නත් කලින් සම්පුර්ණ කළා. මට ඕනේ කළා පොඩි ඉඩක්. බිම බලාගෙන යන මම පස්සෙන් කිසිම කතාවක් නැතුව මේඝනා එන අඩිසද්දය මට ඇහුනේ පාරේ 'කර කල' ගාමින් පෑගෙන කොලත්, 'චිරිස්' හඬින් පාගෙන රොබරෝසියා මලුත් හින්දා.

"මෙතන දැන් ලස්සනට හදලා නේද?"

මේසයට වාඩිවෙන ගමන් වටපිට බලපු මේඝනා එහෙම කියලා යන්තම් මගේ දිහා බැලුවා.

"ඔව්.... හැමදේම ලස්සනට හදලා... හැමදේම වෙනස් වෙලා"

මේඝනා ඒකිගේ අර මායාකාර කොණ්ඩය තුලින්, මායාකාර ඇඟිලි ගෙනියන ගමන් මට විදුලිසරක් වගේ බැල්මක් දැම්මා. මම මේසයේ ළඟ තිබ්බ ලී පුටුව මෑත් කරලා මේඝනාට වාඩිවෙන්න සන් කළා.

"තේජන.... මේ තමයි ඔයාගේ ඩෙස්ටිනි එක... මේ තමයි ඔයාගේ ජිවිතේ.... දැන්වත් ඔයා පිළිගන්නවද?........"

මේඝනා එහෙම කියලා ලොකු හුස්මක් හෙලලා මම කියපු පුටුවේ වාඩිවුනා. මම මොහොතක් ඒ මායාකාරී කැරලි කොණ්ඩකාරී දිහාවේ බලන් හිටියා.

මගේ ආදරයට පයින් ගහලා උසස් අධ්‍යාපනයට රට ගියපු මේඝනා ගැන හිතමින්, දුක්වෙමින් හිටි මම ඈට කලින් විවාහ උනා. ඒ ඇයගේ පෙම්වතා සමග ගත්ත පින්තුරයක් ඇගේ ෆේස්බුක් ගිණුමේ දැක්කට පස්සේ. මගෙත් ඇගේත් මිත්‍රකමට ඇය නොයෙක්වර තිත තැබුවත්, මම හැමවිටම එය පවත්වාගෙන ගියා. හේතුව මොකද්ද කියලා මම අදටත් දන්නේ නැහැ. මට පස්සේ විවාහවුනු මේඝනා ටික කාලෙකින්ම දික්කසාද උනා. 

"ඔයා දැන් මොකද්ද මට කියන්න හදන්නේ මේඝනා?"

මේඝනා උත්තරයක් නොදී මගේ දිහා බලන් හිටියා. ඉස්සර මගේ අඩුපාඩු වලට බනිමින්, මාව යහමගට ගත්ත මේඝනාද මේ? සැබෑවටම මා ආදරය කළ මේඝනාද මේ?

"මට මැරේජ් එකක් හරියන කෙල්ලෙක් නෙවෙයි තේජන. මම සුවච කීකරු වයිෆ් කෙනෙක් නෙවෙයි. මම ඔයාට කරපු හැමදෙයක්ම කලේ ආදරේට... ඒත් මම වෙනස් ගෑනියෙක් දැන්..."

මගේ දකුණතේ යටින් පටන් අරගෙන සියුම් වේදනාවක් පපුවේ කොනටම ඇදිලා ගියා. එකම එක පාරක් ඒ මෘදු අත අල්ලන්න මට හිතුනත්, මම අහක බලාගත්තේ ඒ ආසාව මැඩගන්න.

"පියුමිව තෝරලා දුන්නට තෑන්ක්ස්.... එයා ඇත්තටම හොඳ ගෑනියෙක්.. එයාට වඩා එයා ඔයාට ගරු කරනවා..."

වේටර් ආපු හින්ද මේඝනා කියන්න ගියපු දේ ගිලගත්තා.

"මොනවද කන්නේ?"

"කන්න බෑ.... මම අදම යනවා කොළඹ.. බොන්න මොනවහරි ගෙන්න...."

මේඝනා එහෙම කියලා මම බලාගෙන ඉන්නකොටම ඇනවුම් කළා. 

අවුරුදු ගණනාවකට පස්සේ ලංකාවට ආපු මේඝනා මීට සති ගණනාවකට පෙර , වෙනදා මෙන්ම සුහද කමින් ගැබ්බරව උන්නු මගේ බිරිඳට නොයෙකුත් උපකාරත්, සැනසුම් වදනුත් සැපයුවා. ගොඩක් වෙලාවට මම නැති අතරේ මගේ නිවසට යමින් පවා කල මේ උදව් වලට මම නිහඬ අනුමැතියක් දුන්නත්, හැම වෙලාවකම මේඝනා මගහරින්නට මට ඕනෙකලා. 

මගේ පරණ තුවාලය ඇටමිදුළු වෙනකල් ඇතුලින් පැතිරගොස් තිබ්බ හින්දා මම දුර්වල වෙයි කියලා බයක් තියෙන්නට ඇති. 

"මේඝනා..."

මේඝනා මෘදු විදියට මගේ දිහා බැලුවා. මගේ වචන බිමට වැටිලා විසිරිලා ගියා මුතුපොටක් කැඩුනා වගේ.

"කවුද කැමති තමන්ගේ ගෑනිගෙන් ගුටි කකා ජිවත් වෙන්න...... ? ඒකයි මම ඔයාව රිජෙක්ට් කලේ.. "

මේඝනා ඇස්දෙක හීනි කරලා හිනාවුනා. මොකටද මන්ද හේතුවකට, මගේ මුහුණේ නොදැනුවත්වම හිනාවක් පිටපත්වුනා....



-නිමි-

කතරේ වැලිකැට 
හිරුට පෙම්බැඳ 
ඇතත් ලෝ දහමින්...

සොඳුරු වැස්සට 
දැවෙන කතරක් 
ආදරෙයි පණමෙන්... 

ලොවට නොපෙනෙන 
අරුම සෙනෙහස 
ඒවගෙයි මනරම් 
කරනු බැරි තහනම්..

සඳට සදහට 
සෙනෙහෙ පෑ මුත් 
උදුල තරු කැටයම් 
හිරුට පෙම්බැඳි 
එකද තරුවක් 
සිටිය නොහැකිද යම් 

නුඹට නොහැඟෙන 
මගේ ප්‍රේමය 
ඒ වගෙයි මනරම් 
පුදුම වෙයි නුඹ නම්....

15 comments:

  1. ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී...

    මේකේ කලින් කොටසට මම දාපු කොමෙන්ට් එකම ආපහු මෙතන අලවනවා.. මොකද වතුර ටිඅක් භාජනේ හැඩේ ගත්තත්, වතුරින් භාජනේ පිරුණත් ඒ දෙක කවදාවත් එකක් වෙන්නේ නැති නිසා..

    \\අමුතු හැඩේක භාජනේකට වතුර වැටෙනකොට වතුර ටික භාජනේ හැඩේ ගන්නව විතරක් නෙවෙයි කොච්චර අමුතු උනත් භාජනෙත් පිරෙනවා.. තේජන හා මේඝනා මට ඒ වගේ ..\\

    නුඹට නොදනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්.. පුදුම වෙයි නුඹනම්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..... ඔබේ ඒ අදහසට මම බොහොම කැමතියි.... කියවලා රසවින්දා නම් එපමණයි.

      Delete
  2. උපේක්ශාට තියෙන්නේ කතා ලියන්න ගැලපෙනම භාශාවක්.
    කොමන්ට් නොකලට අන්තිම කාලේ බොහොම ආශාවෙන් කියවන බ්ලොග් එකක් මේක.

    කතාවේ අන්තිමේ පොඩ්ඩක් පරස්පරයි වගේ ගතියක් නම් දැනුනා. ඒක මම ඒක බලාපොරොත්තු නොවුන දෙයක් හින්දා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බූරු...
      අන්තිම කාලේ කිව්වේ... ජිවිතේ අන්තිම කාලේද? මගේ අන්තිම කාලේද? නැත්තම් ගිය දවස් ටිකේද? ( හි.. හි... ගණන් ගන්න එපා, මමත් මේ දවස්වල වෙඩිතියන්න පුරුදු වෙනවා. පුරුදු වෙනකල් වටේ උන් වෙඩිකාගෙන ඉන්න වෙනවා)

      මම කතාවේ අවසාන කොටස වෙනස් කලේ, වෙනස් හින්ද. කියවන කෙනාට එක ජේදයක් තමයි ඒ වෙනස අල්ලගන්න තියෙන්නේ. මම හොඳ ලේඛිකාවක් නෙවෙයි බූරු. ගොඩක් ලේඛන වැරදි, ව්‍යාකරණ වැරදි තියෙනවා මේවගේ. කියව කෙනාගේ රසවින්දනයට බාධාවක් නොවෙයි කියලයි මම උපකල්පනය කරන්නේ.

      Delete
  3. නියමයි....හැමදාම දකින ‍සුඛාන්තයි දුඛාන්තයි වලට වඩා වෙනස් ම එන්ඩ් එකක්!!
    සුපිරි කතාව......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූපේ...
      ඔබේ කොමෙන්ටු මම කතාවේ සමහර කොටස්වලදී දැක්කා. ස්තුතියි දිගටම කියෝගෙන ආවට. කතාවේ වැරදි ව්‍යාකරණ වගේ දේවල් වලින් හරි, අභව්‍ය සිද්ධි වලින් හරි බාධාවක් උනා නම් ....
      ගණන් ගන්න එපා අනේ... හි.. හි...

      Delete
  4. අප්පටහුඩු කාලෙකින් එනකොට කියවන්න කොටස් හයක් , හිටු කියවලා එනකම් මුල ඉඳන්

    ReplyDelete
    Replies
    1. කාලෙකින් තමයි. මොකද නත්තල් සීයට ඇදලද ? කොටස් හයක් උනාට ඕක ඇත්තටම කොටස් තුනක විතර මෙගා-කෙටි කතාවක්.. හි.. හි... අදහස කියනවානම් වටිනවා. ගල් මල් දෙකම බාරගන්නවා...

      Delete
  5. සුපිරියි උපේක්ෂා... අද තමයි විවේකයක් ලැබුනෙ. මුලින්ම ආවෙ මෙහෙ. පට්ට පට පට!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බස්සි. මම හිතන්නේ මුලින්ම ආව බලාපොරොත්තු මම බින්දේ නැහැ නේද ඔයාගේ?

      Delete
  6. අන්තිම කොටස ගොඩක් රසවත් . පොඩි අවුලක් නම් තිබුණා. ඒත් දෙවෙනි සැරේටත් කියෙවුවම අවුල විසදුනා . ඩිස්ට්නි එකයි ජීවිතෙයි කියන්නේ එකක්ද? දෙකක්ද ? මන් හිතන්නේ දෙකක් . ඩිස්ට්නි එක අපිට වෙනස් කරන්න බෑ .ඒත් ජිවිතේ වෙනස් කරන්න පුළුවන් . ආදරේ කරන බහුතරයකගේ ජිවිත මේ වගේ .

    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
    සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලකියෝ..
      අවුල මොකක් වෙන්න ඇතිද කියල මට හිතාගන්න පුළුවන්. මමත් හිතන්නේ ඒ දෙක දෙකක්. ජිවිතේ කියන්නේ ඒ ගමනේ අතරමග, අපේ තෝරාගැනීම් තමයි අපිව ගමනාන්තයට ගෙනියන්නේ.
      සමහර සිද්ධි අපිට ඒ ගමනේ තුන්මන්සලක් හෝ, සිවු මංසලක් හදලා දෙනවා. අපේ තෝරාගැනීම කෙසේ වෙතත් සමහර වෙලාවට අපිට නොදැනුවත්වම අපි එක පාරකින් තව පාරකට සම්බන්ධ වෙනවා. එක්කෝ අපි හිතාමතාම පාරක් තෝරාගන්නවා. සමහර වෙලාවට අපි කොතරම් උත්සහ කලත් ඒ තීරණය සාපේක්ෂව තමයි ගන්නේ. ඒ හින්දා කොතැනවත් වැරද්දක් කියන්න බැහැ නේද? මොකද එය සාපේක්ෂයි..

      Delete
    2. අම්මපල්ල අමුලික ඇත්ත

      Delete
  7. මෙගා නොකර එක හුස්මට ලියල දාපු එක නම් වටිනවා .. අර ලියපු රේට් එකට ලිව්වා නම් my3 පාලනේ අපිට එපා වෙන කාලේ එනකම් අපිට මේක කියවන්න වෙනවා .. හෙහ් හෙහ්

    මේ කතාව නම් අර කලින් හෙන වලියක් ගිය කතාවට වඩා මට සිරාවටම අල්ලලා ගියා ... මේ වගේ වලි දාන , තැනක් නොතැනක් බලල අහුවෙච්ච එකෙන් කෙලල අරින (දවසක් විදුරු බෝතලෙකින් ගැහුවා ඈත ඉඳල .. ) යාලුවෙක් මටත් හිටියා .. හෙහ් හෙහ් අපි දෙන්න හැබැයි ආදරය කියන සීමාවට කවදාවත් ආවේ නෑ .. පිස්සු ෆිට් එකක් විතරයි තිබ්බේ .. තාමත් තියෙනවා හැබැයි රටවල් දෙකක

    මේ කතාව ලියපු ස්ටයිල් එකට මම කැමතියි .. ක්‍රියේටිව් ගතියක් වගේම ටිකක් බොරින් ගතියකුත් තියෙන අමුතුම ස්ටයිල් එකක් හෙහ් හෙහ් ..

    මාත් ලියන්න ඕනේ අප්පා කතාවක් .. අවුරුදු 10කින් විතර කිසිම දෙයක් ලිව්වේ නෑ අලුතින් හිතල ..

    ReplyDelete
    Replies
    1. හි.. හි.. මෙගා නොකර? අනේ ඇයි අනේ මෙගා එකක් නෙවෙයිද මේක?

      දැක්ක නේද පැතුම්, මේඝනා වගේ චරිතයක් ඔබටත් මුණගැහිලා තියෙන හැටි?

      මේ.. ඒක නෙවෙයි, බෝතලෙන් කෙලියා කිව්වේ අර බොන්න ගිහින් නොසන්ඩාල කතාවක් කියල.. අර.. අර... ඈ ? හා.. හා... කියන්නේ නෑ හලෝ මෙතැන.. බයවෙන්ට එපා. මම නිකන් ඇහුවේ... හුහ්.. ආදරේ සීමාවට කොහේ එන්ටද... ඒ දැරිවි ඔයාගේ කැරැට්ටුව දන්නකොට! හික්...

      ඔව්.. බෝරින් කියන්නේ රි-බෝරින් වගේ මටත්... මාර කම්මැලි කමට ලිව්වේ. කොටි වලිගෙ වගේ අල්ලාගෙන හිටියන් හින්ද ලිව්වා මිසක්, කොටස් විදියට ලියන එක අන්තිම නරකයි මට නම්. මොකද මුල් කොටස කියෝපු උන් පස් පඩංගුවේ බනිනවා ඇහුවම ලියන්න නෙවෙයි මැල්ලුම් ලියන්න තමයි හිතෙන්නේ අම්මප... දැන් ඉතින් වයසේ හැටියට ඔය වගේ ටින් ටින් ආදර ජවනිකා පට්ට බෝරින් ඇති.. හිහ් හිහ් ...

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...