Friday, August 22, 2014

67. ක්‍රීඩා තරග මාධ්‍ය ආවරණය

මම කැම්පස් යනකාලේ....

අනේ මේ.... හැමදාම ඔය පම්පෝරිය කියවන්නේ නැතුව කියනවකො කතාවක්, හරියට...

ඔන්න ඒ හින්ද මම ලියනවා වෙන විදියකට. අපේ අක්කත් එක්ක බෝඩිමක ගෙවපු කාලයක් තිබ්බ.

ඒ කාලේ තමයි කාලේ.



ඒ කියන්නේ වෙන මොනවත් හින්ද නෙවෙයි, අපේ අක්කත් එක්ක ඉන්නවා කියන්නේ පලාලි කෑම්ප් එකේ අවුරුදු ගානක් ලැබෙන පුහුණුවට වඩා ඉවසීම, විනය, ත්‍රාසය, භීතිය, කුතුහලය, මතක ශක්තිය ඕය එකී මෙකි සියලු දේ ගැන අත්දුටුවයි සත්තයි ජාතියේ පුහුණුවක් ලැබෙනවා ආයේ ජීවිතේට අමතක නොවෙන්න. අනේ ඔව්...

බොරුනම් අහල බලන්නකෝ අපේ අක්කගෙන්ම.. එයා කියයි එයා තරම් කිසි අවුලක් නැති රූමියක් වෙන කොහෙවත් නැහැ කියල.. ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ..

වැඩි කතාවක් බහක් නැති මම කොහොමත් බෝඩිමට එන්නෙත් බිං කරුවල වැටිලා, කැම්පස් එකේ දොරවල් වහන වෙලාවට. ඒ වෙනකොට අපේ අක්කා බෝඩිමේ සියලු නෙට්වර්ක් සම්බන්ධතා සාර්ථකව පවත්වාගෙන , උන්ගේ කෑම පිඟන් වලටත් වැඩේ දීල මම එනකල් දොර දිහා බලන් ඉන්නවා. මේ බෝඩිමේ හරි අපූරු දේවල් සිද්ධවුනා. වෙන වෙනම කියන්නම්කො.

මම කියලත් ඇති මේ බෝඩිම කියන්නේ බෝඩිම් අයිතිකාර ආන්ටිගේ පරණ මහ ගෙදර. එයාලගේ අලුත් ගෙදර තිබ්බෙත් ඒ වත්තෙමයි. එකම ගේට් එක තිබ්බේ. මුළු ගෙදරම එක එක රූම්ස් , වෙන වෙනම කෙල්ලොන්ට දීල තිබ්බේ. අපි වගේ ගොඩක් රූම්ස් ෂෙයාර් කරලා තිබ්බේ සහෝදරියෝ. සමහර රූම්ස් තනියෙන්.



බෝඩිමේ ආන්ටි හෙන නීතිකාරි. ඒ හින්ද හරි පරිස්සමෙන් තමයි වැඩකරන්න ඕනේ. බෝඩිමට මුලින් එනකොට අනිවාර්යයෙන් දෙමවුපියෝ දෙන්නගෙන් එක්කෙනෙක් ඇවිත් භාරදෙන්න ඕනේ. ගේට් එක ඇරෙන සද්දෙට කොහේ හරි ඉඳන් එයා එබිලා බලනවා, කවුද, කොයි වෙලේද , කොහොමද ආවේ කියල. කිසිම අමුත්තෙක් වැද්දගන්න තහනං ! ඒ වගේම ඉතින් විනය කියන්නේ ( කෙහෙල්මල්  විනය) එයාට නැතුවම බැරි දෙයක් කියලයි කියන්නේ. කතාවට වැඩිය සෙට් උනත් අවුල්, නැතත් අවුල්... මම නම් කලේ කිසිම ඉන්ටරැක්ෂන් එකක නොකර ඒ කොටස අපේ අක්කට බාරදීලා  බිල්ලෙක් වගේ ඉන්න එකයි. අපේ අක්කටත් ඉතින් ඒවා පුළුවන් එල කිරිවට! ආලවට්ටම් දාල ෂේප් එකේ ඉන්න දන්නවා, ඉතින් මම මොකටද නිකන් පෙට්‍රල් පුච්චගන්නේ?



ඔය බෝඩිමේ ආන්ටිට හිටියා දුවෙකුයි, පුතෙකුයි. පුතා නම් අපි බෝඩිමේ ඉන්න කාලෙම හිටියේ රට. ඉගෙන ගන්න ගිහිං. දුව අපි ඉන්න කාලේ ඉස්කෝලේ යනවා. A\L කරනවා. ගියේ කොළඹ පට්ට පොෂ් කියන කැටගරියේ ගෑනු ඉස්කෝලෙකට. එයාගේ නම අපි මොකක් උනත් අපි එයාට කිව්වේ 'නංගා ' කියල.



මහත දෙහෙත ආන්ටි වගේමයි නංගාත්. හැබැයි ආන්ටි වගේ නෙවෙයි නංගා අමුතු පොරක් නෙවෙයි. ආන්ටි කියන්නේ පණ දෙන්න කතා කරලා, පිටිපස්සෙන් පිහියෙන් අනින ජාතියේ උනත්, නංගා එහෙම නැහැ. ගෙදර ආන්ටිත් එක්ක රණ්ඩු උනත්, නංගා අපේ බෝඩිමට ඇවිත් කියෝ කියෝ ඉඳල යනවා. මේ දෙන්නගේ පුදුමාකාර මතගැටුම් තොගයක් තිබ්බේ. වයසත් බලපාන්න ඇති. අපිත් එක්ක ෆිට් හින්ද නංගගේ පුරුද්දක් තිබ්බ නිතර අපේ බෝඩිමට ඇවිත් පිස්සු කියෝ කියෝ ඉඳල යන්න.

බෝඩිමේ බස්සෙක් වගේ උන්නට, කතාවට වැටුණාම මගේ ඔක්කොම පිස්සු මාට්ටු වෙනවනේ. ඔන්න එතකොට තමයි නංගා මගේ ෆිට් එකක් උනේ. අපි දෙන්නගේ වැඩේම පිස්සු කතා කියෝ කියෝ හිනාවෙන එක.

A\L ඉවර කරපු නංගා ඔන්න CIMA කරන්න කියල පටන් ගත්ත. මට හැමදාම ක්ලාස් එකේ ඒවා ඇවිත් කියනවා, එක්කෝ ක්ලාස් එකේ කොල්ලොන්ට රෑ තිස්සේ කෝල් කරලා අපි රණ්ඩු වෙනවා එකසිය ගානට. මගේ කටත් එයාට දෙවැනි නැහැ. මම ඉතින් කවදාවත් දැකල නැති කොල්ලොත් එක්කත් ෆෝන් එකෙන් එකට එක කියනවා. මොකට බය වෙනවද... හික්... උන් මාව කොහේ දැනගන්නද?



ඔහොම යනකොට මට මීටර් උනා මෙයාට එයාගේ ක්ලාස් එකේ ක්‍රෂ් එකක් ඉන්නවා කියල. මහත වගේම පොඩ්ඩක් කළු උනත් නංගා කැත නැහැ. ඒත් එයාගේ ක්‍රෂ් එක ගැන කියන විදියට නම් මට මැවුනේ මෙයාට හරියන්නේ නැතිවෙයි කියල. ඒත් මට කෙල්ලගේ හිත දෙදරවන්න ඕනේ කලේ නැහැ... මම නියුට්‍රල් විදියට හිටියේ. දැන් දෙන්න හෙනට ක්ලෝස් වෙලා. කොටින්ම කොල්ලට උදේ ඇහැරවන්නෙත් මේ නංගා කෝල් කරලා තමයි.

ඔහොම යනකොට උසස්පෙළ ප්‍රථිපල ආව. නංගා ඉගෙනගන්න එතරම් දක්ෂ කෙනෙක් නෙවෙයි. ඒ හින්ද එයා යන්තම් තමයි පාස් වෙලා තිබ්බේ. කොහොමහරි අර ක්‍රෂ් කොල්ලා ( අපි කියමුකෝ ඌට හර්ෂ කියල ) අපේ යුනි එකට තේරිලා.

ආරංචිය කියපු ගමන් මම කලේ අර ඩිස්නි කාටුන් වල ඉන්න ප්ලුටෝ වගේ ,නහය බිම තියාගෙන ඉව කරගෙන කරගෙන ගිහිං කවුද මේ පොර කියල හොයා ගත්ත එකයි. දැන් ඉතින් මට භාරධුර රාජකාරියක් පැවරුණා, ඒ තමයි හර්ෂ ගැන කැම්පස් එකේ විස්තර ඔක්කොම නංගාට වාර්තා කරන එක! ලේසි වැඩක්ද මම අහන්නේ? අර තරම් කොල්ලෝ කන්දරාවක් අතරේ, තමුන්ට වඩා බාල වයසක කොල්ලෙක් ගැන ඇහැගහගෙන ඉන්නවා කියන්නේ දැලිපිහියෙන් කිරි පැණි කනවා වගේ භයානක වැඩක්.....

ඔන්න ඉතින් මම කැන්ටින් එකේ වාඩිවෙලා ඉන්නවා, හර්ෂ එනවා... මම නංගාට ටෙක්ස්ට් එකක් ගහනවා
'මෙන්න මු කැන්ටිමේ, අහවල් තැන, අහවල් සෙට් එකත් එක්ක' කියල.

අන්න එහෙමයි රහස්පරික්ෂකවරියක් වෙන්න හදන කෙනෙක් උනත් මුලදී මුලදී වැඩේට අතගහන්න ඕනේ.
ඔතනදි පොඩි පොඩි දේවල් වෙනවා. මොන වගේද කිව්වොත්, අපේ බැචාලගේ දර්ශනපතයට මාට්ටු වෙනවා මාව.. නිකන්ම නෙවෙයි, අර පොඩි කොල්ලෙක්ගේ දිහා ඇස් පිල්ලම් නොගහ බලන් ඉඳල. උන් සැක කරන්නේ නැහැ.... මොකද, මම කොහොමත් අන්දොස් විදියට කැන්ටිමේ බලාගත්ත අත බලාගෙන ඉදිල්ල උන්ට පුරුදු හින්ද.

ඒත් පොඩි කොස්සක් තියෙනවා, මම දැන් ඉස්සරට වඩා ෆෝන් එකේ මැසේජස් කොටනවා. ඒ මදිවට ඉරේස් කරනවා යවන මැසේජස්. ඔය වැඩේ අපේ සෙට් එකේ හිටපු එකෙක්ට ඇල්ලුවේ නැහැ. ඌ තමයි කිරි බර්ටියා. මම ඌ ගැන කියල ඇති මිට කලින් කතාවකදී. ඌ ඉඳල හිටලා රවාගෙන වගේ මගේ දිහා බලාගෙන ඉන්නවා, ඊට පස්සේ මම බලන්නේ කොහෙද කියල හැරිලා බලනවා. අර කොල්ලෝ තලියේ ( කෙල්ලෝ බේතකට වගේ නේ ඉන්නේ) එහෙමයි කියල හිතෙන එකක් එකපාරටම හොයා ගන්න බැරුව නිකන් ඉන්නවා. සමහර වෙලාවට ඔය අතරේ හැන්ඩියෙක් වගේ හිටියොත් මට ඇනුම් පදයක් කියනවා.

සමහර දවස් වලට මට හරි හැපී, මුගේ ඇනුම්පද කිවිල්ලට හරි හැන්ඩි කොල්ලෙක් මගේ දිහා බලනවා. බලපු එකම මදිද? ඌ ඊට පස්සේ කින්ඩි හිනාවක් දාගෙන අනික් පැත්ත බලන එක වෙනම කතාවක්... මුගේ මේ වැඩේ හින්ද, අපේ සෙට් එකේ ඔක්කොටම නැතුව මූට විතරක්වත් මගේ රහස්පරීක්ෂක වැඩේ ගැන මට කියන්න සිද්ද වුනා. මගේ ආතල් එක අපරාදේ...

මම දැන් බැහැගෙන මගේ පාර්ට් ටයිම් ජොබ් එක කරනවා. ඇත්තටම ඔය ඔත්තු බැලිල්ල හෙනම ජොලි අනේ. කරපු කෙනෙක් ඇරෙන්න ඕකේ රසේ දන්නා කෙනෙක් කොහෙද?



ඔහොම කාලය ගියා.. මම ඉතින් දුප්පතා නේ.. නංගා හෙනම පොෂ් කෑල්ල හින්ද, එයාගේ අය්යාට කියල එයා කැමරා ෆෝන් එකක් ගෙන්න ගත්ත. NEC බ්‍රෑන්ඩ් එක තියෙන මේ ෆෝන් එක ගෙනාපු ගමන් මට නංගා දුවගෙන ඇවිත් පෙන්නුවා. මට තිබ්බේ බේසික් ෆෝන් එකක්. මට කොහොමත් ඕනේ ඇති කැමරාවක් නැහැ ඒ වෙනකොට. මේ ෆෝන් එක දැක්ක ගමන් මට ආස හිතුන. ඒ කියන්නේ අයිතිකරගන්න නෙවෙයි, ෂෝක් කියල විතරයි. එතකල් එහෙම එකක් ෂෝක් කියල මට තේරිලා තිබ්බේ නැහැ. ( මෙලෝ රහක් නැහැ නේ.. හික්... )

දැන් තමයි වසන්ත කාලේ උදා වෙන්නේ....

ඔන්න කැම්පස් එකේ ඇනුවල් යුනිවසිටි ගේම්ස් පටන් ගත්ත. කොළඹ තියෙන ලොකුම පිරිමි ඉස්කෝලෙන් ඉගෙන ගත්තු හර්ෂ ඒ වගේම හොඳ පිහිනුම් ක්‍රීඩකයෙක්. නංගා දැන් උඩ පැනගෙන! ඒ උනාට ආන්ටිගේ නීති මැද්දේ කොහොමත් ඒවා බලන්න යන්න ලැබෙන්නෙත්, එහෙම ගියත් නිදහසේ ඉන්න ලැබෙන්නෙත් නැහැ. ඊටත් වඩා නංගාගේ ක්‍රෂ් එකත් වෙච්චි!

යුනිවසිටි ගේම්ස් කියන්නේ මගෙත් වසන්ත කාලේ. මම ඉස්කෝලෙදි කරපු ක්‍රීඩාව යුනිවසිට්ය් එක තුළදීත් කන්ටිනිව් කරා. උණ කියන්නේ ඒ වගේ දේවල් වලට තමයි. හි.. හි... ජිම් එක ඒ දවස්වල හදනවා. ඉතින් ප්‍රැක්ටිස් කරන්නවත් හරියට තැනක් නැහැ. එව්වා මෙතන කියන්න ගියොත් මේකත් වාන්පතුල් කතාවක් වෙයිනෙ... හික්.

මගේ ක්‍රීඩාව ඇරෙන්න, කැම්පස් එකෙන් පාටිසිපෙට් කරන අනිත් ක්‍රීඩා ගැනත්, ඒවා බලන්නත් මගේ හරි උනන්දුව. අපේ ටීම් ස්පිරිට් කියන්නේ ඔන්න ඔය වගේ අහකයන එව්වටත් ඇම්මක් හදාගන්න එකයි... ඔන්න දවසක් නංගා දුවන් ආව අපේ බෝඩිමට.

"උපේක්ෂා අක්කි, හර්ෂ ස්විම් කරනවා මේ පාර යුනි ගේම්ස් වලට...... අනේ බලන්න යන්න තිබ්බනං..."

"ඉතින් ආන්ටිට හොරෙන් යන්න... යාළුවො එක්ක ?"
නෑ .. නෑ ... මම එහෙම කිව්වේ නැහැ. සද්දයක් නැතුව හිටිය. මොකද මම ඔය වගේ දෙයක් කියල, නංගා බැරිවෙලාවත් මම එහෙම කිව්වා කියල ආන්ටි එක්ක කියල තිබ්බොත්..... කව්ද දන්නේ දෙන්නා රණ්ඩු වෙනකොට කියන ජාතිවල හැටියට....

ඒ වෙනුවට මම කිව්වා
"දැන් මොකද ඉතින් කරන්න හදන්නේ?"
කෙල්ලගේ මුණ මලක් වගේ පිපුණ.

"ඔයාට බැරිද පොඩි ෆේවර් එකක් කරන්න.?"
මට මොකද්ද බයක් වගේ එකක් දැනුන.

"මොකද්ද?"
"මම මේ ෆෝන් එක දෙන්නම්, ඔයා ස්විමින් මීට් එකට ගිහින් ෆොටෝස් ගහන් එන්න"

එකපාරටම මට කරන්න දීපු වැඩේ මතක් නොවී, මතක් උනේ එයාගේ අර ලස්සන කැමරා ෆෝන් එක දෙනවා කිව්ව කොටස!!! මගේ කන් දෙක ඇහෙන්නේ නැතුව ගිහින්, කන්දක් උඩ තනියෙන් හිටගෙන ඉන්නකොට , පට්ට හිතල හුළගක් ඇවිත් වෙනම ලෝකෙකට අරන් ගියා වගේ දැනුන. වාක්‍යයේ 'මම මේ ෆෝන් එක දෙන්නම්..' කියන කෑල්ලෙන් එහාට මට ඇහුනේ නැහැ මම හිතන්නේ. නැත්තම් ඇහුනත් ඒක කන් බේරෙන් එහාට ගියේ නිකම්ම නිකන් සද්දයක් විතරක් විදියට.



"හා......................."
ඒ වචනේ පිටවුනේ ඔලුවෙන් ආපු සිග්නල් එකකට නෙවෙයි වෙන්න ඕනේ.

ඇයි හත්ඉලව්වේ මට වෙන කිසි දෙයක් ඒ වෙලාවේ මතක් වුනේ නැත්තේ? අඩුම තරමේ ඔතරම් ක්ලාස් ඉන්න කොල්ලගේ පින්තුරයක් ගන්න බැරිවුනාද කියන සරල, මුලික ප්‍රශ්නෙවත් මම ඇහුවේ නැහැ. කොහෙද අනේ හදිස්සි වුනහම පොලොස් කටේ, සමාවෙන්න කොරොස් කටේ වත් අත දාගන්න බැරිවෙනවා නේ.

ඔන්න ඔය විධියටයි මට නිල ක්‍රීඩා මාධ්‍ය ආවරණයේ වගකීම ලැබුනේ. මම උන්නේ ෆෝන් එකේ සිහියෙන් හින්ද එදා දවස උදේ වෙනකල් මට වෙන සිහියක් තිබ්බේ නැහැ.

ඔන්න කොහොමහරි ස්විමින් මීට් දවස උදා උනා. උදෙන්ම ඇවිත් නංගා එයාගේ ෆෝන් රාජයා මට දීල මගේ රාජකාරියේ නිල වගකීම් එහෙම පවරලා ගියා. ෆෝන් එක අතට අරගෙන තමයි කල්පනා කලේ..

අඩේ අප්පා මට තනියෙන් යන්න බැහැනේ... මට මතක් වුනේ එකම එකයි, ඒ තමයි කිරිබර්ටියා. මොකද මිනිහත් මේ සිද්දිය දන්නා හින්ද, මම හිතුව ස්විමින් බලන්න යන මුවාවෙන් යන්න පුළුවන් කියල. මම කිරිබර්ටියාට කෝල් කරලා කිව්වා ස්විමින් මිට් එක තියෙන තැනට එක්කගෙන යන්න කියල. කොහොමත් මම වැඩිය කොළඹ දන්නෙත් නැහැනේ. ඌත් එකඟ වෙලා.. ඔන්න දැන් අපි දෙන්නා ගියා අදාළ ස්ථානෙට. මට දැන් හරියට මතක නැහැ කොහෙද කියල....

ගියපු ගමන් මම ෆෝන් රාජයා එලියට අරගෙන එන තැනම පින්තුරයක් ගත්ත. කිරිබර්ටියා දැන් මගේ දිහා බලාගෙන.

"ඔය කොහෙන්ද?"

"බෝඩිමේ ආන්ටිගේ දුවගේ... මට දුන්න අද.. "
මම කිව්වේ බොරු නෙවෙයි. බොරුද හා?

දැන් අපි දෙන්න ගිහින් පැවිලියන් එකේ වාඩිවෙලා ඉන්නවා. මම දැන් හෝ ගාල මගේ ටාගට් එක හොයනවා. අන්න ඈත මුල්ලක අපේ යුනි එකේ සෙට් එක ඉන්නවා, සුපුරුදු කලර් එකෙන්! මම දැන් ඉලක්ක කරනවා ලොම්බත් විකාගෙන... කොහෙද කැමරාව පවර්ෆුල් මදි පූල් කීපයක ඈත ඉන්න එකෙක් තියා අලියෙක්වත් හරියට ගන්න. ඕකනේ ඉතින් ගැලපෙන්නේ අර ක්‍රිකට් ගහනකොට පින්තුර අල්ලන ජාතියේ එකක් නේ.... ඒත් මම ගේම අතෑරියේ නැහැ. ගත්ත ඕනෙම එකක් කියල

"මොනවද?"
"ඇයි අර ඉන්නේ අපේ යුනි එකේ සෙට් එක, අන්න අතන.."

මම දැන් කිරිබර්ටිට වෙට්ටු දානවා. මිනිහ 'හ්ම්ම්' කියල වැඩක් බලා ගත්ත.

දැන් ඔන්න එක එක තරඟ පටන් ගන්නවා. ඔන්න එක තරඟයක් අතරේ ක්‍රීඩකයින්ගේ නම කියනකොට හර්ෂගේ නම කිව්වා. ඔන්න මම ස්ප්‍රින් එක වගේ උඩපැනලා නැගිට්ටවුනා.

"ඇයි ? මොකද්ද අවුල?"  කිරිබර්ටි වටේ ඉන්න කෙල්ලෝ බලන ගමන් මගෙන් ඇහුව. උත්තරේ වැදගත් නැහැ, ඌ නිකන් අහන්න ඇත්තේ. මම පැනගෙන ගියා තරගේ තියෙන පූල් එක පැත්තට.

අර ඉන්නේ බුවා!! ඔහ් ..... හෝ......!!

මම ඉතින් ගත්ත, ගත්ත පින්තුර පේලියක් ගත්ත. දන ගහගෙන, බිම පෙරලිගෙන, අත උස්සලා, හැරිලා... ඔන්න ඔය කියූ, නොකියූ සියලු කෝණ වලින් පින්තුර ගත්ත. ටික වෙලාවකින් මට පිටිපස්සෙන් කවුරුහරි හිටගෙන ඉන්නවා වගේ දැනුන... මම ගණන් ගත්තේ නැහැ, මම දිගට රාජකාරියේ!
ඉවෙන්ට් එක පටන් ගත්ත, ඔව් දැන් මම කැමරාවෙන් වීඩියෝ කරනවා... ඔව්.. ඔව්... ඉතා උත්කර්ෂවත් අවස්තාවක්!!! මෙන්න ඉවෙන්ට් එකේ දිනුම.... ඔව්.. හර්ෂ... ඔව්..

මාධ්‍ය ආවරණය ඉවර කරලා, මම නැගිටලා පුළුල් සිග්නල් හිනාවක් එක්ක වටපිට බැලුව. මම ගාවම ඉනට අත්දෙක ගහගෙන කිරිබර්ටියා. උගේ මුණ නම් අන්තිම අමුතුයි.. මොකද්ද අවුල.......?? මම දැන් කල්පනා කරනවා...



ඇත්තටම පොඩි අවුලක් තිබ්බ. හර්ෂ  දැන් ඉවෙන්ට් එකට ගැලපෙන විදියටනේ ඇඳගෙන ඉන්නේ.. ඒ කියන්නේ පොඩි ස්විමින් ට්‍රන්ක් එකක්.... මම ඉතින් බිම පෙරලි පෙරලි පින්තුර, වීඩියෝ හම්බානක ගත්ත.. ඇයි හත්ඉලව්වේ...

කෙල්ලෙක් උනත් ඔහොම කොල්ලෙක්ගේ පින්තුර ගන්නවද ඈ !!!

අන්න ඒ වචන ටික, කිරිබර්ටිගේ මුනේ තිබ්බේ මම හිතන්නේ. මගේ දැන් කන් දෙක පොඩ්ඩක් විතර පාත් වුනා... ගිහින් වාඩිවුනා.

ටිකකින්, ඔතනදි මගේ ඉස්කෝලේ යාලුවෙක් හම්බුනා. ඔන්න ඉතින් හායි ... අනේ හුනේ... කියා කියා සුපුරුදු කිචි බිචිය...

ආයෙත් අරුගේ ඉවෙන්ට් එකක් කිව්වා විතරයි, මම කතාවත් මැද්දේ දාල දුවගෙන ගිහින් සුපුරුදු වැඩේ.. අන්න එහෙමයි, මාධ්‍ය ආවරණය දෙන්නේ! වැඩේ ඉවරවෙලා බලනකොට, මගේ යාළුවා බලාගෙන ඉන්නවා මම මේ කොල්ලෙක්ගේ පින්තුර ගැනිල්ලේ අමුතු වැඩේ.... මේ වෙනකොට කිරි බර්ටියා ඈත ඉඳන් බලන් ඉන්නවා විතරයි....

හැබැයි ටික වෙලාවකින්, ඊළඟ ඉවෙන්ට් එකට අරුගේ නම කිව්වා විතරයි, ආයෙත් පිස්සු හොන්තුවක් වගේ අර විදියටම පින්තුර ගැනිල්ලයි, වීඩියෝ කිරිල්ලයි....

දැන් මට , මම ස්විමින් ට්‍රන්ක් එකෙන් ඉන්නවා වාගේ දැනුනේ.... මේ වෙනකොට මම සැහෙන්න පින්තුරත් අරගෙන හිටපු හින්දම, බොරුවට වෙන වැඩ වගේ කර කර හිටිය. ටිකක් දවල් වෙනකොට මට තේරුනා කිරිබර්ටියා මොනවටහරි ඉව කරනවා කියල.

කරන්න දෙයක් නැහැ... මම මගේ මිෂන් එක කිව්වා, නැත්තම් මට ආයෙත් කැම්පස් යනවා බොරු!

නැත්තම් මු ගිහින් ගිනි තියල තියෙයි මම , ස්විමින් ට්‍රන්ක් වලින් ඉන්න කොල්ලන්ගේ පින්තුර ගන්නවා කියල. කොහොමද නම්බුව?

මට දීපු රාජකාරිය දේවකාරියටත් වඩා ලොකුවට හිතල, අන්තිමට මම ෆෝන් එකයි, පින්තුර, වීඩියෝ ටිකයි නංගාගේ අතට පත්කලා. සක්සස්ෆුල් මිෂන්!!!

ෂ් ....... කාටවත් කියනවා එහෙම නෙවෙයි හොඳද? මට මේ දවස්වල ඔය ඩිටේක්ටිව් වැඩ ගොඩගැහිලා... මම ආස නැහැ අනේ වැඩි ප්‍රසිද්ධියට.. ඒකයි !!!

15 comments:

  1. yqgq"
    yskdld, mk hkj yf,da fujajd lshj,d''' (;j gslla os.g ;snqkkx ux tmsia tflka mkakkjd oqma lsh,d'') yela yela''

    bia;rua iafgdarsh''

    c y fja jd !!!!

    ReplyDelete
  2. හෙහ් හේ .කිරි බර්ටියා ගැන පුදුම අනුකම්පාවක් හිතෙන්නේ. උපේක්ශාගේ කතා කීමේ කලාව හරි රසවත් . සජීවියි.

    ReplyDelete
    Replies
    1. මෙතරම් කැපවීමෙන් වැඩකරන රහස්පරික්ෂකවරියකගේ සේවය ඕනේ වුන දවසට තේරෙයි කව්ද පව් කියල..... හුහ්... මෙතරම් දිග කතාවක, මගේ සේවයට කැපවීම ලිව්වා.. මූට පෙනිලා තියෙන්නේ කිරිබර්ටියාගේ කෙරුවාව නේ.... චැක් විතරක්!

      Delete
  3. මාර ගේමක් දුන්න යකෝ මේක කියවන්න
    ඇස් දෙකත් රිදෙනව...
    උපේස්සකියල නෙවී නම දාන්න තිබ්බෙ...
    කිං කිලෝමීටර් කියල
    ඇයි යකූ

    ReplyDelete
    Replies
    1. මොකද ගේමක් දෙන්න උනේ ඈ ?

      නම ඉතින් මගේ කෙරුවාවල් ගැන ඉපදෙනකොට හිතාගන්න බැරිවුණ අපේ අහිංසක අප්පච්චිගේ නොදන්නාකමට දැම්ම මිසක්...

      ඇයි බොලේ, උඹේ නම මහේෂ් උනාට කෝ ගෑවිලාවත් මහේශාක්‍යකමක්??

      Delete
  4. / එව්වා මෙතන කියන්න ගියොත් මේකත් වාන්පතුල් කතාවක් වෙයිනෙ... හික්./

    :) :)

    ReplyDelete
    Replies
    1. මගේ වෘතිය කැපවීම පැත්තක තියෙද්දී, පෙනේද දැකල තියෙන දේ....
      රවියෝ, මම හෙන බයයි උඹ වගේ වෙයි කියල.. .හික්...

      Delete
  5. කිරි බර්ටිය තමයි කොන්තරාත් එකේ අමාරුම හරිය කරන්නේ.
    පිස්සු අම්මණ්ඩිට තමන් නටන පිස්සුව තේරුනේ නැති උනාට වටේ ඉන්න උන්ට තේරෙනවනේ

    වටේම උන් අරූ දිහා බලන්නේ අනේ මෝඩ ###න පිස්සු ####ක් එල්ලගන කියල
    ඕකට මුණ දීලම බලන්න ඕන ආතල් එක

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක්...
      මේ කොමෙන්ටුවට හිනා නොවී කොහොමද?

      Delete
  6. අනේ අපි වෙනුවෙන් ඔහොම කැපවීමෙන් ක්‍රියාකරපු සපෝර්ටර්ලා අපිට හිටියේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. එකම අරමුණ තිබ්බේ අර හයි-ෆයි ෆෝන් රාජයා ගන්න එක මිසක්... අනේ මම ඔය ලව් හුටපට වලට උදව් කරන්න දන්නෙම නැහැ... කලොත් වැඩක් ඔන් ද ස්පොට් චක බ්ලාස්!

      Delete
  7. හම්මේ මාර සයිකෝ case නේ.. :D

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් විතර.... ඒ ඉස්සර අනේ.... දැන් තත්වේ දරුණුයි

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...