Thursday, July 11, 2013

19. අත්තම්මගේ ඔලුවේ කැක්කුම


මේකත් මගේ පොඩි කාලේ සිද්දියක්..

පුංචි කාලේ ඉතින් සුන්දරයි කියල දැන් අපි කෙකර ගෑවට ඉස්සර ඉතින් ඔව්ව තේරෙන්නේ නැහැ නේ... මට නම් ඉස්සර හිතුනෙම කවද්ද අප්පා ඉක්මනට මේ පුංචි කාලේ ඉවර වෙලා රස්සාවක් කරගෙන පාඩුවේ ඉන්නේ කියල... දැන් නේ මට තේරෙන්නේ රස්සාවක් කරනවා කියන්නේ පාඩුවේ ඉන්නවා කියන එකේ අනිත් පැත්ත කියල.
මගේ පොඩි කාලේ නම් සුන්දර උනාට අසුන්දර දේවලුත් තිබ්බ. ඒ අතුරින් වඩාත් දරුණු එක තමයි අපේ ගෙදර අයගෙන් මට තිබ්බ කරදර!
"හැඃ ...!! මක් කිව්වා ?" ඔයාල එහෙම අහාවී 

අව්ලක් නැහැ. එක එහෙම අහන එකේ කිසිම අව්ලක් නැහැ ඉතිං. මම එක කිව්වේ බදපිස්සෙක් විදියට අනිත් දරුවෝ විදින සුර සැප ගැන හිතල මිසක් වෙන මොනවත් නෙවෙයි. සුර සැප කියන්නේ ඉතින් බඩපිස්ස වීම හින්ද තියෙන වාසි වලට වැඩ මට නම් අහු උනෙම අවාසි... ඔන්න මම ලියන්නම්කො ලිස්ට් එක.... ඔයාලම බලල හරි  වැරැද්ද කියන්නකෝ හා...

1. අක්ක විසින් ප්‍රතික්ෂේප කරන දේවල් කට පියාගෙන බාර ගන්න සිද්ද වීම 
2. පොඩිඑකා හින්දා සෙල්ලම් කරනවිට නිතරම  නරඹන්නෙක් ලෙස බලියන් ඉන්නට වීම 
3. සමහර කෑම ලොකු උන් හොරෙන් මට නොදී කෑම 
4. අය්යා පොර හින්දාත්, අක්කා සියුමැලි නිසාත් මල්ලත් රැගෙන කඩේ යන්නට වීම  (මේක මම හිතන්නේ තව කාටදෝ තිබිල තියෙන ප්‍රශ්නයක්.. මට මතකයි කව්දෝ ඒ ගැන කියල පොස්ටුවක් දාල තිබ්බ)
5. සමහර වෙලාවට කොහේ හෝ ඉදන් පාත් වෙන අක්කෙකුට, ඇන්ටියෙකුට  ආදී වශයෙන් නොදන්නා, මෙලෝ රහක් නැති උන්ට තනි රකින්නට යන්න සිදුවීම 
6. කොතරම් වැඩ පෙන්නුවත් එව්වා මුලින්ම පෙන්නපු එකා නොවෙන හින්දා ගෙදර උන් වැඩිය ගණන් නොගැනීම 
7. ඉඳහිටවත් තරහ උනොත් ඇඩුවාට, අතුරුදහන් උනාට ගානක් නැති වීම 


ඔන්න ඉතින් ලිස්ට් එක දික් උනාද මන්ද.....
මම පොඩි කාලේ ඉහත කරුණු කාරණා හින්දා වෙන්න ඇති ගෙදර බොහොම සද්දේ වහගෙන හිටපු චරිතයක්. ඒ උනාට අපේ අම්ම දන්නවා මම කොච්චි කරල වගේ සැරයි  කියලත්! අම්මල ඉතින් කොහොමත් දරුවෝ ගැන ගොඩක් දන්නවා නේ...
අපේ අක්ක ඉතින් ගෙදර සියුමැලි, කීකරු දුව! පොඩි කාලේ ඔය හින්දා අපි දෙන්න අතර වැඩි ගනුදෙනුවක් නැහැ. මම පාඩුවේ උන්නේ. ඉතින් ගෙදරට එන ගොඩ දෙනෙක් හොයන්නේ එක්කෝ අය්යාව, නැත්තම් අක්කාව. මම ඔය ක්‍රමේට පුරුදු වෙලා හිටියේ.

ඔන්න එක පාරක් අපේ ගෙදර ආව අපිට දුරින් නෑදෑ  වෙන ආච්චි අම්ම කෙනෙක් (අපි නම් කියන්නේ අත්තම්ම කියල..) කියමුකෝ ඉතින් සුදු අත්තම්ම කියලා... මුන්දෑ  මගේ අනිත් අත්තමලට වඩා කරුණාවන්තයි. ඒ අත්තම්මා පොඩි ළමයින්ගේ වැඩ වලට සරලව හිනා වෙන කෙනෙක්... මට හිටපු අත්තම්මල දෙන්නම වෙනස්. එක්කෙනෙක් හරිම සැරයි. අනිත් එක්කෙනාගේ වැඩේම මට ඇද කුද  කියන එක... (මේ අත්තම්ම ගැන මම තව කතාවක් ලියන්නම් පස්සේ ) මට ඉස්සර පොඩි කාලේ විවේචන අල්ලන්නෙම නැහැ. දැන් නම් ඉතින් රස්සාවල් වලට ගිහින්, පොඩ්ඩක් එව්වට හුරු වෙලා...

අනිත් අයට වඩා මම මේ සුදු අත්තම්මට කැමතියි. එත් මගේ සුපුරුදු චරියාවෙන්ම තමයි මම හිටියේ. ඒ කියන්නේ සද්දේ වහගෙන මගේ පාඩුවේ..... ඒ උනාට අර අත්තම්මා  ඉන්න හරියේ ගැවසුනා. මේ අත්තම්මත් සුපුරුදු විදියට එයාගේ කීකරු මිනිපිරිය උන මගේ අක්කව ළඟින්  වාඩි කරගෙන කතා කර කර හිටියා. මම ඉතින් පසුපස ආසනයක් අල්ලාගෙන ගැලරියේ ඉදන් කියන දෙයක් අහගෙන හිටියා.
"ලොකු දුවේ... බස් එකේ ඇවිත් ඔලුව හෙලවිලා මගේ ඔලුව හරී ඉසේ රුජාවයි .... නැද්ද තෙල් ඩිංගක් දාන්න ?"

ඉස්සර ඉතින් බස් වල යන එක පිස්සු හැදෙන වැඩක් නේ. ( දැන් කියල වෙනසක් නැහැ.. මම මේ කියන්නේ මීට දශකයකටත් වඩා  දුර අතීතයක් ගැන නේ...) අත්තම්මට බස් එකේ හෙලවී හෙලවී ඇවිත් ඔලුවේ කැක්කුමයි කිව්වේ එහෙම තමයි.. අනිත් එක ඉස්සර ඉදන්ම දිග කොන්ද හිමි අපේ ගෙදර කොන්දෙට ගන්න හොඳ තෙල් ජාති එහෙම තිබ්බ හින්දා අත්තම්ම දන්නවා මොනවා නමුත් හොද තෙලක් ලැබෙයි කියල...
අක්ක ඉතින් දුවගෙන ගිහින් ගෙනාවා තෙල් බෝතලයක්...
"ඉන්න අත්තම්මා මම තෙල් ටික ගාන්නම් .." අක්කා ඔන්න තෙල් සාත්තුවට ලැස්ති උනා...

"එහෙම නෙවෙයි  ළමයෝ මම කියන්නද... ඔය තෙල් ටික රත් කොරල අහවර වෙලා ගාමු ... එතකොට සුනන්ගුවක් නැතුවම ඉසේ රුජාව සනීප වෙනවා"

අත්තම්මගේ මේ ප්‍රයත්නය head  massage  එකක් දා ගන්න!
දැන් නම් ඉතින් ඔය "මනාලියන් හඬගන්වන" තැන් වල ඔව්ව වලට ලොකු ලොකු ගණන් නේ අය  කරන්නේ... ඉස්සර අපේ ගෙදර ඔව්ව නොමිලේ.... වැඩිපුරම ඔව්ව නොමිලේ දෙන්න උනේ.. මම විසින් අක්කට.. එයාගේ "නීල වරලස" වෙනුවෙන්. මේ පාර හොද වැඩේ එයාට දෙන්න වෙලා... මට හිත ඇතුලෙන් හිනා

අත්තම්මගේ නියමයෙන් ඉතින් අපේ අක්ක ඔන්න වැඩේ ට බැස්සා...

අත්තම්මා දැන් සාලේ මේසේ ළඟ බිම පැදුරක් එහෙම එලාගෙන ඉඳ ගත්ත. අක්ක එයාට පිටිපස්සෙන් පුටුවක් තියල ඉටිපන්දමක් ගෙනත් ඔන්න මෙසේ උඩ  පත්තු කරලා හයි කළා... 
"දැන් ළමයෝ ඕකෙන් තෙල් ජුන්ඩක්  අර තේ හැන්දට  දාල , ඔන්න  ඔය ඉටිපන්දමේ දැල්ලට අල්ලන්ට ... රත් උනාම ගානට තියේ "
ඔන්න ඕක තමයි අත්තම්මගේ head  massage එකට කළමණා එහෙම ලෑස්ති කරගෙන වැඩේ කරන්නේ... සරළයි.... කෙටියි .. ඒ වගේම cost  effective !
මම ඉතින් සුපුරුදු විදියට ගැලරියේ ඉදන් මේ beauty  therapy  එක බලන් ඉන්නවා.... මොකද මම මීට කලින් head  massage  කරලා තිබ්බට මෙව්වා වගේ එකක් කරලා නැහැ නොවැ !

අක්කා ඔන්න අත්තම්මගේ උපදෙස් පිළිපදිමින් ගෙනාපු හැන්දට තෙල් වලින් පිරෙන්නම දාල ඉටිපන්දමට අල්ලාගෙන ඉන්නවා.. 
"ඇ........ දුවේ.... සුදු පුතා මේ පාර විබාගේ පාස් කොලාද?"
විභාගේ කියන්නේ ඉතින් මෙයාලා වාර විභාගේ.... මේ අත්තම්මල ඉස්කෝලේ යන කාලේ වාර විභාගෙත් ඉතින් ලොකු සීන් එකක් මම හිතන්නේ..... සුදු පුතා කියන්නේ අපේ අය්යා.... උගේ නම් මෙලෝ සුදක් නැති උනාට කොඉ කාටත් එයා  "සුදු පුතා"! පුහ් !!! මේ අත්තම්මා කරුණාවන්ත උනාට පොඩ්ඩක් විතර ඕපේ ....
අක්කා වැඩක් හින්දා එකපාරටම උත්තරයක් ආවේ  නැහැ....
"ඇ........  දුවේ................." අත්තම්මා දැන් වැඩේට වඩා උත්තරේ වැදගත් කියල ඇගෙව්ව හින්ද අපේ අක්කත් ඉටිපන්දම් දල්ලේ හැන්ද  තියාගෙනම උත්තර දුන්න 
"ඔව් අත්තම්ම... පාස් පාස්..."
"හ්ම්ම්..... ආ දැන් ඇති නොවැ රත් වෙලා... අතින් අරන් ගාන්න දුවේ......."
අත්තම්ම ආපහු හැරෙන්නේවත් නැතුව කියල කොන්ඩේ ගුලිය ගලෝල කොන්ඩේ පිට දිගේ යන්න දැම්මා.. මම දැක්ක අක්ක පොඩ්ඩක් ලත වෙනවා තෙල් ටික ඔලුවට දාන්න....

එත් එක්කම අපේ අක්ක අතට නොගෙනම ඔලුවට තෙල් ටික වක්කරනවා දැක්කා වගේ මතකයි....
"ඌ........................................................................"
අත්තම්මා ඔලුව බදාගෙන පැදුර දිගේ දිගාවෙනවා මම දැක්කා...
අත්තමගේ මේ වින්‍යාසය දැකල කවදත් ලතෝනිය සහජ හැකියාවක් තියෙන අපේ අක්ක තිබ්බ ඊට වඩා දහස් ගුණයක් ලොකු හුවක්!
"හෑ... යි....... අත්තම්මා මැරුනෝ.................."
ගෙදර අහු මුළුවල හිටපු මිනිස්සු හිටන් සාලේ මැද්දට දුවන් ආව මේ ලතෝනිය ඇහිලා.... ඊ බොලේ මේ යසට දුර ඉදන් අපේ ගෙදරට ආපු අර වයසක මනුස්සය මලා කිව්වම කව්ද අප්පා බය වෙන්නේ නැත්තේ?

අත්තම්මගේ හොද කම හින්ද අක්කට කිසිම බැනුමක් අහන්න උනේ නැහැ. 
බලනකොට මොනාද දන්නවද වෙලා තියෙන්නේ...
(මම හිතන්නේගොඩ දෙනෙක්ට දැනටමත් හිතා  ගන්න පුළුවන් ඇති..)

ඉටිපන්දමට අල්ලාගෙන ඉදල රත් වෙලා වැඩි හින්ද (හැන්ද  පුංචි හින්දා ), අතින් අල්ලන්න හැදුවට තෙල් ටික ගන්නත් බැරි හින්ද.. අක්ක තෙල් ටික ඔක්කොම අත්තම්මගේ ඔලුව උඩටම එක පාරට දාලා....

ප.ලි. :- එක්කෝ ඕනේ නැහැ 
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               

14 comments:

  1. හිනා කාලා මැරෙනවා..... අත්තම්මා බේරුනාද ඉතිං....? හි හි....

    ReplyDelete
    Replies
    1. අත්තම්මගේ ඔලුවේ දියපට්ටයක් එන්න කලින් නම් ඔය එක එක ජාති ගාල ගොඩ දැම්ම මම හිතන්නේ... මට හරියට මතක නැහැ අප්පා. අපෝ අපේ වෙන අත්තම්ම කෙනෙක්ට කලා නම් මොනා වෙයිද දන්නේ නැහැ....

      Delete
  2. අර ලිස්ට් එකේ ලියල තියෙන හුගක් ඒවා හරි අප්පා.... මාත් ඔය ආනිසංස විදලා තියෙනවා. බඩ පිස්සා වෙන එකනම් හෙනම කරදරයක් වෙලාවකට....

    ReplyDelete
    Replies
    1. අන්න දාන්න පහක්! මේක සිරාවටම ඇත්තක් නේද? කොහොමත් පවුලේ එක එක ස්ථාන වලට ඊට ආවේනික අසීරුතා ඇති කියල මට හිතෙනවා. මගේ අත්දැකීම නම් මගේ තැන ගොඩක් නරකට හිටිය නොවැ !

      Delete
  3. හහ් හහ්. අයියෝ ආත්තම්මා. අර ලිස්ට් එක නම් සෑහෙන කල්පනා කරලා ලිව්ව එකක් වෙන්න ඕනෙ. මට ඕක ගැන හරියට කියන්න බැරි මම පවුලේ වැඩිමලා නිසා. මම දන්න විදියට නම් බඩපිස්සට මාර චාන්ස් හම්බ වෙනවා අනිත් උන්ට නැති.

    ReplyDelete
    Replies
    1. ගොඩක් කාලෙක ඉදල මගේ හිතේ තිබ්බ ලිස්ට් එකක්.. තව කල්පනා කළා නම් හොද ලිස්ට් එකක් හද ගන්න තිබ්බ... බලමු . කොමෙන්ටුවට ස්තුති ඩුඩ්

      Delete
  4. පවුල් වල වැඩිමහලුනට අපහාස කිරීමට ඔබට දැඩි දඬුවම් නියම කරමි.මමත් වැඩිමලා නිසා තාමත් ගෙදරින් වැඩි සැලකිලි තමා.
    හොඳ වෙලාවට ඔය තෙල් ඔලුවේ ගාන්න තිබ්බේ, බැරිවෙලාවත් පපුවේ හරි කොන්දේ හරි ගාන්න තිබ්බනම් සොරි තමයි.

    ReplyDelete
    Replies
    1. එව්වා කොහෙද අපිත් එක්ක!
      ඒ දවස්වල ඉදන් පිඩිත පන්තියේ ඉදල පුරුද්දට.....බය නැහැ කාටවත්!!
      හෙහ්... ඉස්සර මගේ පලවෙනි අභියෝගය... අපේ පව්ලේ වැඩිමහලු වුද... අපිට නිතර තාඩන පීඩන කරමින් අපෙන් බරපතල වැඩ ගන්නාවුද.... අපේ 'අය්යා' ය !!

      දැන් තමයි තේරෙන්නේ පොඩි කාලේ පව්ලේ වැඩිමලා වෙන එක කොතරම් ජොලියක් උනත්, ලොකු උනාම ලැබෙන විපාක හින්ද එකේ කිසිම අසාධාරණයක් නැහැ කියල... හැක හැක.....
      ඒ හින්ද ඉවාන්... මම මොනා කියන්නද අප්පා

      Delete
  5. කුමාරතුංග මුණිදාස මහත්මයගෙ හත්පණ කියෝල තියනවද?..එව්ව කොහෙද කියවල තියෙන්නෙ බොලා නැද්ද? හෙහ්, හෙහ්.....අන්න පොත්..

    ඒකෙ තියනව ඔය වගෙ සීන් එකක්...කිරිහාමි ( කිරිහාමි කියන්නෙ ඒකෙ ප්‍රධාන චරිතය නොහොත් Protagonist ) හොරු කට්ටියකට එකතුවෙලා එවුං එක්ක යනව ගෙයක් කොල්ල කන්ට.හොරු ගෙයි බඩු එකතු කරද්දි කිරිහාමි යනව කුස්සියට.

    කුස්සියෙ ලිප ගාව තියනව කොස් ඇට ගොඩක්...කිරිහාමිගෙ ප්‍රියතම කෑම..මිනිහ ලිප පත්තු කරල කොස් ඇට පුච්චනව. ඒ ලඟම බූරු ඇඳක දපල ඉන්නව වයසක ආච්චි කෙනෙක්.ඔය බොලායෙ අත්තම්ම වගෙ..කොස් ඇට පිච්චිල ඇද්ද කියල දැනගන්ට කිරිහාමි කරන්නෙ " අනෙ අත්තම්මෙ බලාපංකො මේ කොස් ඇට පිස්සිල ඇද්දෙයි කියල" ඔහොම අහල අර වයසක උන්දැගෙ කටට ( මුන්දැ නිදාන ඉන්නෙ කට ඇරගෙන..ඔන්න හරියටම උඹ වගෙ තමයි )කොස් ඇටයක් දානව. අර මනුස්සය හූ තියාගෙන නැඟිටිනව. ගෙදර මිනිස්සු කලබල වෙලා දුවගෙන අවිල්ල කිරිහාමිව අල්ල ගන්නව...

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ එව්වා බලා ඇත්තෙමු... ඒත් අපි එව්වා ඒ විදියටම කොලා මිසක් එව්වාගෙන් ගත් ආදුරුසයක් නැත්තේමය!! අපි කිරිහාමිගේ කතාව බලා සිනාසුනෙමු.... ඒත් හිනාවුනේ මොකටද කියා මතක නැත!
      ඕක වෙන්න ඇති දැන් ඒ වගේ ආදර්ශමත් කතා දැන් පෙන්නන්නේ නැත්තේ නේ..... ද.....?

      Delete
  6. පවුලේ වැඩිමලා වීමෙ පලවිපාක දන්නවා නම් නුවර කුමාරි .. ඔය ලිස්ට් එක ලියන්න හිත්න්නෙවත් නැ.... ඒක දැනගන්න පවුලේ වැඩිමලා වෙලාම බලන්න ඔන....

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා.

      හා හා... මෙන්න බොලේ වැඩිමහල් එකියක් වගේ. හා කියන්ටකො බලන්ට ඔයාගේ ලිස්ට් එක... ජන්දයක් දාල බලමු.. හැක් !

      Delete
    2. හැක් ! අනේ මම එකියක් නෙවේ..මම එකෙක්.... කොහොම උනත් මමත් මගෙ එකියත් ( මගෙ හාමිනෙ ) පවුලේ වැඩි මහල්ලු.... එ නිසා අපි හොදෑට දන්නවා එකේ රග....

      1. වැඩිමලා ලෙස ඉතා අමාරුවෙන් දෙමව්පියන්ට කන්නලව් කොට ලබා ගන්න දෙවල් පොඩි උන් ලෙහෙසියෙන්ම ගැනිම (නොමිලේ ලැබීම ) (Eg Computer, Bicycle… sometime cell phone)
      2. පවුලේ වඩිමලා ලෙස දැන සිටි නිසසල ලෝකය පොඩි උන් පැමිනීමෙන් පසු සසල වී යැම.
      3. පොඩි උන් කරන සියලුම වැරදි ඉවසා වැදාර සිටිමට සිදුවීම.
      (අනේ පුතේ නංගි පොඩී නෙ තවම.... ඒයාට තෙරෙන්නෙ නැනේ )
      4. පොඩි එකා ඉපදීමෙන් පසු සියල්ලන්ටම ලොකු එකා කියා එකෙක් ලෝකයේ සිටි බව අමතක වීම. සියලුම දෙවල් පොඩි එකාට පමනි වීම.
      5. පොඩි එකාගේ වගකීම වැඩිමලා මත දැමීම. ( උ. දා - දහම් පාසැල් යනවිට රැගෙන යාමට සිදුවීම ,අඩන විට නැලවීම,)
      6. සියලු නඩු හබ වලදි හැමදෙනාම පොඩි එකාට වාසි වන සේ තීන්දුව දීම. (අනේ පුතේ නංගි පොඩී නෙ තවම.... ඒයාට තෙරෙන්නෙ නැනේ )
      7. වැඩිමලාගේ කෑම, භාන්ඩ පොඩි ඒකාට රිසි සේ ගැනීමට හැකි වීම. වැඩිමලාට එලෙස කිරිමට නොහැකි වීම.
      8. රණ්ඩුවක දී පොඩි එවුන් ගහන පාරවල් " සුළු" සේ හා ලොකු උන් ගේ පහර " දරුණු හා නීතිවිරෝධී" ලෙස වැඩිහිටියන්ට පෙනීම.

      9 වැරදි කල විට අපට "දඩුවම්" ලැබෙන අතර උන්ට "සමාව" හිමිවීම.

      තව ඕනද ? හැක් !

      Delete
    3. කෝ බලමු.... අපෝ අපෝ... හරිම සිම්පල්

      1. අඬල ගන්න එකේ වටිනාකම, ලැබෙන්නේ 'අලුත්ම' එකක් වීම... පොඩි එකාට සාමාන්‍යයෙන් ලැබෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් එව්වා...
      2. හත් ඉලව්වේ.. ඔයාලට නිසසල ලොවක් අඩුතරමේ ටික කාලයක්වත් තියෙනවා. ඊට පස්සේ එන උන් එහෙම එකක් දන්නෙත් නෑ
      3. මේකට නම් කියන්ට වෙන්නේ භුමි දෝස කියල. එළිපිට දිනුම පොඩි එකාට ලැබුනත්, බලනකොට තියෙන්නේ ලොකු එකා.
      4. මේකත් ඉතින් එක එකාගේ භුමියේ හැටියට. අපේ අය්යා වගේ පොරකට නම් මේක ජිම්කානා එකක් ඇදුනා වගේ. ඒ කියන්නේ එකෙක්වත් හොයන්නේ නැති එක! සමාවෙන්ට සහෝදරයා... නොලැබීම!! හෙක්
      5. වෙන්නත් පුළුවන්. මට වෙලා තියෙන්නේ ඕකේ අනික්පැත්ත
      6. අන්න වැරදිච්ච තැන... තමුන්ගේ තත්වය තියාගන්න අපේ අය්යා නම් දැනගෙන උන්න. ඒ හින්ද නඩු ඔක්කොම ඇහුවේ ඌට ඕනේ හැටියට. ඒ වගේමයි ඌට ඕනේ නඩු විතරයි ගෙදර ඇහුනේ...
      7. වෙනස් වෙනස්... අපේ ගෙදර ඕකේ අනික් පැත්ත!
      8. ගුටි දෙනකොට හා කනකොට ඒවාගේ ප්‍රභලත්වය.... ආ ඒක තීරණේ කලේ අපේ අය්යා නොවැ
      9. අන්න කොස්සක්.... මට නම් කවදාවත් සමාව ලැබිලා නැහැ...

      ඇත්තටම මේක කියෝලා මට සැකයක් පහල උනා.. අඩේ මම බඩපිස්සී නොවෙයිද?

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...