Wednesday, January 6, 2016

240. නුවර පැත්තේ කුමාරි - ගිහින් ලෝකේ සවාරි...






කලින් පෝස්ටුවේ මම යවපු නයාට උත්තරේ විදියට කීප දෙනෙක් කියල තිබ්බ තව විස්තර ලියන්න කියල. ( බයෙත් බැහැ අප්පා, කැලෑ පත්තරේ වදියිද කියල..) ඔන්න එහෙනම් තොරණේ විස්තරේ.

ප්ලෑන් කරන්නේ නැතුව අතුරුදහන් උනා කිව්වට, හැබෑටම උනේ අතුරුදහන් වෙන එක විතරයි ප්ලෑන් නොකළේ. සවාරිය නම් ප්ලෑන් කරලා ගියේ. යන්න ඕනේ කියල හිත හිත ඉඳල ඉතින් ටිකට් වල තත්වේ බල බල උන්නා. ඔන්න එකපාරටම අපේ රටේ නිල දියබරියාස් ගුවන් සේවයේ 29 වෙනිදට හිටපු ගමන් අඩුවෙන් ටිකට් එකක් ආව. ආව කිව්වට ඉතින් හැමදාම මම කලේ සර්ච් කරමින් හිටපු එකයි. එතකොට පොසිබල් දවස් කිහිපයක් එක්කම පෙන්නනවනේ. 29  ගිහින් 3 එනවා නම් අනිත්වට වඩා ගොඩක් අඩුවට තිබ්බා. පැනපු ගමන් මම ඉතින් ටිකට් එක ගත්ත. එතකොට දෙසැම්බර් මාසේ මුල්ම සතියේ වගේ. සාමාන්‍යයෙන් දෙසැම්බර් කියන්නේ ටිකට් ගණන් යන මාසයක් , කොහේ ගියත්. මේක නම් පිනා චෑන්ස් එකක්, මට බුදු ෂුවර්. අනිත් එක මම ටිකට් ගත්තේ කෙලින්ම එයාර් ලයින් එකේ සයිට් එකෙන්.

ඔන්න දැන් ටිකට් එක හරි.

ඊළඟ එක තමයි ගමනේ ඉතුරු ටික බලාගන්න එක.

වෙලාවේ හැටියට යන්න තිබ්බේ පාන්දර බැංකොක් වලට.

ඉතින් මම කලේ agoda එකේ සහ bookings එකේ හෝටල් බලපු එකයි. මම ඉතින් වැඩිය සැප හොයන එකියක් නෙවෙයි. මට ඕනේ ඇවිදින්න සහ වෙනස් අත්දැකීම් ගන්න. කොහොමත් දවලට හෝටලේ ඉන්නෙත් නැති හින්දා මම තරු 4 එකකට වඩා එකක් හොයන්න ගියෙත්  නැහැ.අනිත් දේ තමයි, හෝටලේ බලනකොට මම වැඩිපුරම අවධානය යොමුකළේ ළඟපාත ස්ටේෂන් ( කෝච්චි ) තියෙනවද කියලත්, ෂොපින් ඒරියා වලට යන්න තිබ්බ පහසුවත් තමයි. ඊට අමතරව යන්න ගොඩක් තැන් තිබ්බත් මම තෝරගත්ත තැන් තමයි

1. Aquarium (මැලේෂියා වල තියෙන එක වගේමයි. නමුත් වෙනස් අත්දැකීමක් ගන්න පුළුවන්. ඒකෙ මගේ ආසම පෙන්ගුයින් හිටියේ නැහැ. මෙහෙ එකේ ඉන්නවා. උන්ට කන්න දෙනවා බලන්න පුළුවන්.)
2. Dream world ( මෙතන ගොඩක් දේවල් කරන්නත් පුළුවන්, ගොඩක් ඇක්ටිවිටිස් තියෙනවා. ඊටත් දවසම ගතකරන්න දේවල් තියෙනවා. ඊට අමතරව ස්නෝ වල්ඩ් එකක් තියෙනවා - මම ස්නෝ වලට මාර ආසයි)
3. Safari world ( නිදැල්ලේ ඉන්න සත්තු බලන්න , උන්ට කන්න දෙන්න වගේම එක එක ෂෝ තියෙනවා -  බර්ඩ් ෂෝ, ඔරන් ඔටන් ෂෝ, එලිෆන්ට් ෂෝ, කවුබෝය් ෂෝ, ස්පයි ෂෝ, සීල් ෂෝ , ඩොල්ෆින් ෂෝ වගේ)
4. City tour ( නගරයේ තියෙන පන්සල් ආදිය බලන්න යන්න)

මම උදේ එහෙට යන්නේ පාන්දර හින්දා මම බැලුව හෝටලයේ early check -in නීතිය. එහෙම බැලුවම 12 ට කලින් තිබ්බ නිසා මම කලින් දවසත් එක්කම හෝටලේ බුක් කළා. ආපහු යන්න තිබ්බේ රෑ හින්දා ඒකනම් late  check -out එකකින් හදාගන්න පුළුවන්. ඒ හැමදේම මම කලින්ම හොටලටයත් එක්ක මේල් මගින් සහ චැට් එකෙන් අහලා කන්ෆර්ම් කරගත්තේ කලින්මයි. මොකද එහෙට ගියාම උන් කරන්නේ පිස්සු වැඩ කියල මට අහන්න ලැබුන නිසා.



විසා ගනිල්ලා තමයි අමාරුම උනේ. ලංකාවේ විසා ගනිල්ලා පට්ට අමාරුයි. වෙන මොකක්වත් හින්ද නෙවෙයි සර්විස් එක්ක අන්තිම සවුත්තු හින්දා. විසා ගන්න පාන්දර 2 ඉඳන් පෝලිමේ ඉන්න කතාවක් තිබ්බේ. අන්තිමට මම ඒජන්ට් කෙනෙක්ට සල්ලි දීලා කරවගත්තා. නැත්තම් කට්ටක් කන්න වෙන්නේ. පුද්ගලිකව ගියපු අයව ඒ මිනිස්සු රස්තියාදු කරවලා හෙම්බත් කරවනවා කියල අහන අහන එකා කිව්වා.

සමහර උන්ට ෆ්ලයිට් එක රෑ තියෙද්දී විසා එක දීල තියෙන්නේ පහුවදා. වෙලාවට මම විසා වලට අයදුම් කලේ කල්තියාමයි. ඒකට හෝටල් විස්තර සහ ගුවන් ටිකට් විස්තර ඕනේ. එතනට ආපු සමහරු බොරු විස්තර දාගෙන ඇවිත් තිබ්බේ හිතලමයි. මොකද කලින් පාරවල්වල උන්ට ෆ්ලයිට් එක මිස් කරවන්න උන් කටයුතු කරවල තිබ්බ හින්ද උන් ඵලිඝ්ට් බූක් කරන්නේ විසා ලැබුනම කියල හිත හදාගෙන.

සිරාවට විසා වැඩේ මෙතරම් කරදරයි කියල දන්නවා නම් මම යන්න හිතන්නෙත් නැහැ! කොහොම හරි ඔක්කොම ලිපිලේඛන ගානට දීලා තිබ්බ නිසාත්, එජෙන්ට් කෙනෙක් හරහා ගියපු නිසාත් මට දවස් 4ක් යනකොට විසා ලැබුනා.

මේ තියෙන්නේ මම හදපු ප්ලෑන් එක.

day 1 - හවස City tour ( උදේ විවේකයට)
day 2 - Dream World
මේකට මම taxi එකේ හරි වෙන විදියකින් හරි යන්න හිතන් හිටියේ.

day 3 - Aquarium
day 4 - Safari ( මේකටත් ටැක්සි තමයි ප්ලෑන් කලේ)
day 5& 6 - Shopping


Tours ඔක්කොටම ටිකට් ගන්න පුළුවන් online . ඒවායේ ටිකට් වල ගණන් ගොඩක් අඩුයි. ඊටත් වඩා පෝලිමේ ඉන්න ඕනේ නැහැ. ඒකට මම ටිකට් ගත්තේ http://www.hotels2thailand.com/ කියන සයිට් එකෙන්. මම කෑම ඇතුලත් කලේ නැහැ මේ පැකේජ් එකට. මොකද මට ඕනේ දෙයක් අරගෙන කන්න ඕනෙකම තිබ්බ නිසා.

තව බලන්න දේවල් ගොඩක් තිබ්බ උනත් මම තේරුවේ මේවා. කියෝපු කොමෙන්ටු වලට අනුව නම් floating market නම් එතරම් වැඩක් නැහැ. Siam Park එකත් නරක නැහැ ලු. නමුත් ඒකෙ තියෙන දේවල් ටිකත් එක්කම වෙනස් දෙයකුත් තිබ්බ නිසා මම ඊට වඩා Dream world කැමති උනා. ඒකෙ තිබ්බ දවසම ගතකරන්න තරම් දේවල්. තව Dinner cruise තිබ්බ උනත් මම ගත්තේ නැහැ. තව මට Tiger temple යන්න ඕනෙකම තිබ්බත් ගත්තේ නැහැ. shopping වලටත් දවස් එපැයි ! මේවා ඔක්කොම වගේ බැංකොක් සහ ඒ අවට. පතායා ( Paththaya ) යන පුළුවන් මුළු දවසටම, ඒක නම් නියමයි කියල මට හිතුනේ. නමුත් මම ඊළඟ පාරට තියාගත්තා.

කොහොමහරි ඉතින් ඔන්න මම තායිලන්තෙට ගියා කියමුකෝ. බලාපොරොත්තු උන විදියට රෝමින් වැඩ කෙරුවේ නැති හින්ද වඳින්න ගිය ටෙම්පල් එකට ගොනා ඇන්නා වගේ උනා. මම හිතුවේ පොස්ට් පේඩ් කිව්වම ලැබෙනවා කියල. බලනකොට ප්‍රී පේඩ් ඒවාට විතරයි රෝමින් ඔටෝ වැටෙන්නේ. එතනින් ටැක්සියක් ගත්තා. ඩ්‍රයිවර් කාරයා හෝටලේට බාත් 500ක් ඉල්ලුව නෙව! ඌ එක්ක එකට එක කියල මීටරේට යන්න  කරගත්තා. වෙබ් එකේ මම කියෙව්වා මීටරේට මිසක් යන්න නම් එපා පුතෝ කියලා.

බෑග් තියෙන නිසා ඌ මීටරේට කැමති උනේ තව වැඩිපුර බාත් 100ක් දෙන්නම් කියන පොරොන්දුවට. හෝටලේට ගිහින් බලනකොට මීටරේ බාත් 213ක් සටහන් වෙලා තිබ්බ. මම ඉතින් ඌට බාත් 315ක් දීල බැස්ස. ආ.. කියන්න අමතක උනා. මම ගෙනිච්ච ඩොලර් මම ටික ටික තමයි මාරු කලේ. එයාර්පෝර්ට් එකෙන් මම ටිකක් මාරු කරගත්තා.

උදේ ඉතින් සැපට නින්දක් එහෙම දාල, හවසCity Tour එකට ගයිඩ් නංගි කෙනෙක් එක්ක පහසු වෑන් එකක් ආව හෝටලේට. ඒක නම් පරක්කු වෙලා මහා විකාරයක් උනා. මොකද මම බය උනා මුන් මාව දාල ගිහිල්ල කියල. කතාකරන්න විදියක් නැහැ. මගේ බම්බු හෝටලෙන් එලියට කෝල් අරන් දෙන්නේ නැහැ. කොයින් දාල කතාකරන පෙට්ටියක්වත් තිබ්බේ නැහැ කොහෙවත්. ඒ ඔක්කොටම වඩා අම්මප මුන් එකෙක්ටවත් ඉංගිරිස් බැහැ ! කොයි එකටත් 'ඤෝ ඤෝ' කියනවා  !!

ඔන්න ගයිඩ් නංගි කියන ඉන්ගිසිස් යන්තම් තේරෙනකොට එයාගේ ජෝක් නොවෙන කතා වලටත් මම හිනාවෙන්න ගත්ත. එයා ඉස්සර මම පෙරහැර කාලේ සල්ලිවට ගත්ත 'මම්මා පප්පා' එකක් කෑගහනවා වගේමයි කතා කරන්නේ. එයා අපිව ඉතින් පන්සල් 3කට එක්කගෙන ගියා. මගෙත් එක්ක ඔක්කොම ගියේ අල්ලපු රටේ උන් ටිකක්.


ඒ යන හැමතැනම කන්න කඩචෝරු තිබ්බ. ඒ නංගි අපිට උපදෙස් දුන්නා කියන ගණන් වලට වඩා අඩුවෙන් ගන්න කියල. මම දැක්ක අල්ලපු රටේ උන් බාත් 350ක් කියපු තොප්පියක් 150ට විතර ගන්නවා. කන්න එක එක පලතුරු ජාති තියෙනවා. ෆ්‍රෙෂ්. ඒ වගේම සාමාන්‍යයෙන් පිරිසිඳුයි.




මම ගියේ මාර්බල් ටෙම්පල්, වට් පු ටෙම්පල්, ගෝල්ඩන් බුද්ධා ටෙම්පල් සහ ලොකුම මැණික් වෙළඳසලට. ඒ ටුවර් එක වරදක් නැහැ. ඒකෙ කියන විදියට කොට ඇඳුම් ( ශෝර්ට්ස්) , අත් නැති ඇඳුම්, වගේ දේවල් අඳින්න එපා කියල තිබ්බ. සෙරෙප්පු වගේ දේවල් ගෙන යනවා නම් හොඳයි, මොකද පන්සල් ඇතුලට සපත්තු ගලවලා යන්න වෙන නිසා. තොප්පි නම් ඕනේ වෙයි, පට්ට අව්ව! ඇයි වතුර?? අම්මෝ වතුර බෝතල් සල්ලි වලට අරගෙන යන්න ඕනේ යනකොට. එක වට් පූ ටෙම්පල් එකේ නම් වතුර බෝතල් නොමිලේ දෙනවා. ඒ හැම එකක්ම පට්ට කූල් ..


දෙවැනි දවසේ මම කලේ මම එයාර්පෝර්ට් එකෙන් ගත්ත ටැක්සි එකාට කෝල් කරලා පොඩ්ඩක් ශේප් ගානකට Dream  World යන්න පටන් ගත්තා. මට්ටු වෙච්ච පාර මම ටුවර් එක යන දවසෙම ගත්ත ටුවරිස්ට් සිම් එකක්. උදෙන්ම යන්න ඕනේ එහෙ යනවා නම්. ගේට්ටුව අරිනකොට මුලින්ම ඇතුලට වැටෙන්න හේත්තුවෙලා ඉන්න ඕනේ! ටැක්සි කාරයා වෙලාවට (උදේ පාන්දර 8ට විතර) මාව හෝටලෙන් අරගෙන 9 වෙනකොට එතනින් බැස්සුවා. මම කිව්වා ආපහු යනකොට සල්ලි දෙන්නම් කියලා. ( එහෙම කිව්වේ වෙලාවට. මු හවස අවේ නැහැනේ! වෙන එකෙක් එව්වා. ඌ ආවේ පැය දෙකක් පරක්කු වෙලා!)

කලින් ටිකට් අරන් තිබ්බ නිසා මට පෝලිමේ ඉන්න ඕනේ උනේ නැහැ. ඊටත් සතියේ දවසක් හින්ද ටිකක් සෙනග අඩුයි මම හිතන්නේ. ඇතුලට ගියපු ගමන් ඉතින් පිස්සුම තමයි. ලංකාවේ අය නම් ගොඩක් හිටියා. අල්ලපු රටේ කෙල්ලෙක් එක්ක සෙට් වෙලා මම ත්‍රිලර් ටයිප් ඒවා කළා. එතන වෝටර් ගේම්ස් තියෙනවා. රේන්කොට් එකක් පුළුවන් නම් අරගෙන යන්න. නැත්තම් ඉවරයි! එතනින් ගන්නත් පුළුවන් බාත් 30ක් වෙනවා. හැබැයි ආයේ පාවිච්චි කරන්න බැහැ. කඩචෝරු කඩ එමටයි! හැබැයි මම වගේ වෙජිටේරියන් සතෙන් උනොත් බඩුම තමයි. කන්න දෙයක් නැහැ! වෙලාවට මම ලංකාවෙන් ප්‍රීමා නුඩ්ල්ස්, සෝස් පැකට් එහෙම අරන් ගියේ. ඊට අමතරව හෝටලෙන් ඇති තරම් සැලඩ් කෑවා.

මේකේ තිබ්බ මම දැකපු සිත්ගන්නාසුළු දේ තමයි  කෙනෙක්ට දවසම කරන්න දේවල් තිබ්බ එක. පොඩිම පොඩි ළමයින්ට පවා අක්ටිවිටිස් තිබ්බා. ඒ වගේම ඒ ළමයින් ඒ අක්ටිවිටිස් කරනකල් බලාගන්න අයට පහසුකන් තිබ්බා. කෑම කන්න කලින් තමයි ස්නෝ වල්ඩ් ගියේ. මම පෙර සුදානමක් ඇතුව ගිය නිසා හොඳයි. එතනින් ජැකට් සහ බුට්ස් වෙනවා උනත් ග්ලවුස් නැහැ. ඒ හින්ද ස්නොව් වර්ල්ඩ් යනවා නම් මතක ඇතුව ඉග්ලු තොප්පි සහ ස්නෝ වලට අඳින්න ගැලපෙන අත්වැසුම් ගෙනියන්න. එතන බුට්ස් තිබ්බත් හොඳ මේස් දාගෙන ඉන්න, නැත්තම් ස්නෝ සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැහැ. මම නම් ඇති වෙනකල් ස්නො උඩ ලිස්සුව. තවත් දෙයක් තමයි, ඔන්ලයින් ගත්ත ටිකට් එකේ මේ ඔක්කොම ඇතුලත්, නැත්තම් ස්නෝ වර්ල්ඩ් එකට වෙනම ටිකට් ගන්න ඕනේ.

ඔය ඔක්කොම කරලා වෝටර් වර්ල්ඩ් එකේ ඇතිවෙනකල් නැටුවා. මම ස්වීම් සුට් අරගෙන ගිහිල්ල තිබ්බ වගේම පොඩ්ඩක් පොඩි නිසා පොඩි එවුන් වගේම මමත් ස්ලයිඩර් එකේ රීටුවා !

5.30 වෙනකොට පාක් එක වහනවා. එතනින් ටැක්සි ගන්න විදියක් තිබ්බේ නැහැ. ඒ නිසා කලින් ඒ ගැන සැලසුම් කරලා තියාගන්න. ඊට අමතරව සිටි ඒරිය එකේ ට්‍රැෆික් එක පොඩ්ඩක් තියෙනවා. මගේ වෙලාවට එතරම් ට්‍රැෆික් අහු උනේ නැහැ. රෑ කෑම නම් 7-11 කියලා හැමතැනම තියෙන සුපර්මාර්කට් වගයක් තියෙනවා. ඒවායින් ගන්න පුළුවන්. එතනම මයික්‍රෝවේව් කරලා දෙනවා. වතුරත් ගන්න පුළුවන් ඒවගෙන්.
තව දෙයක් කියබ්බ බැරි උනා.

මම වගේ personal hygiene එක ගැන හිතන් උන්ටDream world එකේ නම් අඩියක් අඩියක් ගානේ hand sterilizer තියෙනවා. මම නම් මෙහෙ ඉඳන් කොහොමත් අරගෙන ගියේ බෝතල්. ඊට අමතරව mosquito repellent එකක් වගේම toilet cover sheet දුසිම් දෙකක් විතර අරගෙන ගියේ. එකක්වත් හැබැයි ඉතින් අපතේ ගියේ නැහැ. හවස 5 පහු වෙච්ච ගමන් මදුරුවෝ එනවා සුනාමියක් වගේ.



ඊළඟ දවසේ මම ගියේ Aquarium එකට. ඒකට නම් හරි ලේසියි මගේ හෝටලේට ඇවිදින දුරින් තමයි skylink දුම්රිය තිබ්බේ. එතනින් ගානට ගිහින් බහින්න පුළුවන් අදාළ තැනට. ඒ හැම තැනදීම මම map එකක් පාවිච්චි කළා. එයාර්පෝර්ට් එකේ තිබ්බ ඒවත් මම ගත්තා. ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් උනා. ඊට අමතරව google map වලින් මම දුර සහ traffic තත්වය බලලා තමයි ගියේ. මොකද train එකේ යන එකට වඩා ටැක්සි එකේ යන එක වාසියි සමහර වෙලාවට.

තනියෙන් යනවා නම් ටැක්සි ගණන් වැඩි වෙන්න පුළුවන්. හැම වෙලේම මීටර් එකට යන්න මම වගබලාගත්තේ කාටවත් අසාධාරණ නොවෙන්න. නැත්තම් මම ඒ මනුස්සයට අසාධාරණ ගානක් කිව්වොත්?

Aquarium එකෙන් පස්සේ ඒ අවට තිබ්බ MBK mall එකේ මම shopping කරන වෙලාව ඉතුරු උනා. අලුත් අවුරුද්ද හින්ද මහර කඩ වහලා. නමුත් ඇඳුම් නම් ඕනේ තරම්! සපත්තු සහ ඇඳුම් නම් හොඳයි. පාරේ උනත් මම දැක්ක කඩ තිබ්බ ගොඩක්. පාරේ තියන් උයන මිනිස්සු ඔක්කොම වගේ මුකවාඩම් පවා දාල උයන නිසා කන්න අප්පිරියා හිතෙන්නේ නැහැ.

Safari යන්න නම් මම පාරේ ගියපු ටැක්සි එකක් මීටර් එකට කැමති කරවාගෙන උගේ කීමට හයිවේ එකටත් ගෙවාගෙන ගියා. එනකොට තමයි හිතුනේ හයිවේ ගියේ නැත්තම් ගැන අඩුයි කියල. ආවේ සාමාන්‍ය පාරේ. ගාන ගොඩක් අඩුයි. ඒකත් උදෙන්ම ගියපු නිසාත් online ටිකට් ගත්ත නිසාත් කිසි කරදරයක් උනේ නැහැ. මුලින්ම බස් එකකින් අපිව විවෘත අවකාශයේ ඉන්න සත්තු පෙන්නන්න එක්කගෙන යනවා. ඒ ගමන මම දැක්කේ සමහරු තමන්ගේ පුද්ගලික වාහනවලත් ගිහින් තිබ්බා. ටැක්සි වලින් ගිහින් තිබ්බා. මම හිතන්නේ තව පොඩි ගෙවීමක් ඇති එතන. මම ගියේ බස් එකේ. එකෙන් පස්සේ පාක් එක ඇතුලට යන්න පුළුවන්.

යන තැනම සත්තු වගේ ඇඳගත්ත උන් ඉන්නවා අපිත් එක්ක පින්තුර ගන්න. ගොඩක් අය පින්තුර ගත්තම උන්ට සල්ලි දුන්නා. මම නම් ගියා යන්න. ඇතුලට යනකොටම එක එක ෂෝ තියෙන කාලසටහනක් ලැබෙනවා. මම නම් ඒ කාලසටහන බලාගෙන ෂෝ ටික බලන්න උත්සහ කළා. සමහර ෂෝ දවසකට එපාරක් පෙන්නන නිසා උදේ එක මිස් උනොත් හවස බලන්න පුළුවන්.

එලිෆන්ට් ෂෝ එකේදී කැමති දෙන්නෙක් එන්න කියනවා අලිය උඩින් පනිනකොට නිදාගෙන ඉන්න කියල. මම ඉතින් ඔව්වට එවර් රෙඩි නේ. පැනගෙන ගියා! උන් මාව පැදුරක බිම බලාගෙන නිදිකරවල ( කොට්ටේකුත් දුන්න) අලියා මට උඩින් පනින්න දුන්න. පනින්න කලින් ඌ කකුලෙන් පිටට තට්ටු කරනවා. මට දැනුනේ සැප කොට්ටයක් වගේ! කොහොමත් අලියන්ට වහ වැටිලා උන්න මම වගේ එකියකට දැනෙන ජොලිය කියන්නත් ඕනෙද?? මාරම ෆන්.



මේ තියෙන්නේ... ඔය අලියට පෑගෙන්න ඉන්නේ වෙන කවුද... මම මිසක්!

එකේම දෙපාරක් අලියෝ පනින්න දුන්න. ඊට පස්සේ සංතෝසමට මට ලයිට් පත්තුවෙන ගැජමැටික් එකක් දීල එලෝගත්ත. මමත් කොහොමහරි අලියෙක් අතගාලමයි ආවේ. ලංකාවේ අලි පව් අප්පා. මුන් හරි පිරිසිඳුයි. ලංකාවේ අලි, අලීම අලි දුකක් සත්තු වත්තේ විඳින්නේ කියල හිතුන. ඊටත් ඒ බලාගන්න මිනිස්සු ඒ සත්තුන්ට ආදරෙයි.

මතක ඇතුව කහපාට ලස්සන කුරුල්ලන්ට කන්න දෙන එකත් ජිරාෆ් ලට කන්න දෙන එකත් කරන්න! ඒ දෙකම මාරයි. වෙන කාම ජාති දන්නා දෙන්නේ නැහැ, එයාලගේ සල්ලි වලට ගන්න ඕනේ. අනිත් එක ෂොස් බලන්න ඊට විනාඩි 10කට කලින් වත් වාඩිවෙන්න උත්සහ කරන්න. ස්පයි ෂෝ එකේ නම් ඈතින් ඉන්න තරමට ඇඟට ගුණයි. මොකට උන් යුද්ධ කරනකොට ඉස්සරහ ඉන්න උන්ව වතුරෙන් නාවනවා! මගේ හිත ගියේ ඩොල්ෆින්, බර්ඩ්, එලිෆන්ට්  ෂෝස්‌ වලට තමයි. ඒ කිසි එකකදී සත්තුන්ට හිරිහැර කරනවා කියල හිතෙන්නේ නැහැ. උනුත් පිරිසිඳුවට සහ පිළිවෙලට ඉන්නවා. හැමතැනම වගේ කන්න බොන්න, වොෂ් රුම් ආදිය අඩුවක් නැතුව තියෙනවා. ඒ වගේම පිරිසිඳුයි.

හවස සෆාරි ඒරියා ඉඳන් පාරට සහ කාර් පාර්ක් එකට එන්න පොඩි කෝච්චියක් වගේ එකක් තියෙනවා නොමිලේ. ඒකෙ ඇවිත් මීටර් ටැක්සි එකකින් ගෙදර එන ගමන් මම 7-11 එකෙන් කන්න ගත්තා.

ඉතිරි දවස් දෙකේ නම් ෂොපින් තමයි කලේ. ඒ හැම ඒරියා එකකටම මම ගියේ මීටර් ටැක්සියේ. එකම වතාවක් 'ටුක් ටුක්' එකක ගියා පොඩි දුරක්. පිටකොටුවේ වගේ කඩවල් වගේම ෂොපින් මෝල් පවා මම ට්‍රයි කළා. හොඳ ඩෙනිම් හම්බුනා අඩුවට. පටුනාම් වල තියෙනවා platinum market කියල. එතැනින්. ඒ අවට තමයි Indra region හෝටලේ තියෙන්නේ. එතන ලංකාවේ අයගේ සුප්‍රසිද්ධ නවාතැන්පොලක්. ඒ අවට ෂොපින් කරන්න කඩ ගොඩාරියක් තියෙනවා. කොටින්ම කියනවා නම් ඉංගිරිස් නොදන්නා ඒ මිනිස්සු අපි ගියාම අපිට සිංහලෙන් 'අක්කි... අය්යා...' කියා කියා කතා කරනවා. ඉන්දියන් කෑම තියෙන රෙස්ටුරන්ට් එකකුත් තියෙනවා.

හොඳම වැඩේ තමයි ෂොපින් ඒරියා හැමතැනම සල්ලි මාරු කරන්න ඕනෙතරම් තැන් තියෙන එක. මම ඉතින් ලෝබ කුනානේ. චුට්ට චුට්ට තමයි මාරු කලේ. ඩොලර් ටිකක් මම හොටලෙනුත් මාරු කළා. ඒ උනාට පොඩ්ඩක්වත් නැමිච්ච නෝට්ටු උන් ගන්නේ නැහැ. අනිත් තැන්වල නම් ඉතින් එහෙම අවුලක් උනේ නැහැ.

ගොඩක් වෙලාවට මම ගමන් ගියේ මගේ ලැප්ටොප් එක නොමැති ලැප්ටොප් බෑග් එක කරේ ගෙන හින්දා ලේසි උනා. වතුර බෝතලෙත්, මැකේ අඩුම කුදුමත් ඔක්කොම දාගෙන යන්න පහසු උනා. සයිඩ් බෑග් එකේ සල්ලි ගෙන ගියේ. යන හැමතැනදිම map එකෙන් තමයි ගොඩ ගියේ. මොකද පාරවල් අහන්න ගියාම අපිට පිස්සු හැදෙනවා. ඊට ලේසියි පුසෙක්ට අනුකලනය කියල දෙනවා.


ඔහොම ගිහින් ඉතින් බඩු පොදි බැඳගෙන එන්න ලෑස්ති උනා. හිතන් හිටියේ skylink ට්‍රින් එකෙන් කෙලින්ම එයාර්පෝර්ට් යන්න උනත් බදු බෑග් වැඩි නිසා ටැක්සියක් අරගෙන ආවේ. නැත්තම් ලේසියෙන්ම skylink එකෙන් යන්න පුළුවන්. මම යන එනකොට දැක්ක එහෙම තමයි සුද්දෝ එහෙම වැඩියෙන්ම ගියේ.

මට බැරිවෙච්ච එක දෙයක් තමයි තායි මසාජ් එකකට යන එක. වෙලාවක් තිබ්බේ නැහැ. නැත්තම් අනිවාර්යයෙන් යනවා. මසාජ් කිව්වම ලංකාවේ නම් කුපාඩි වැඩක් උනාට සත්‍ය මසාජ් කියන්නේ එහෙම දෙයක් නොවෙන බව දන්නා නිසා උත්සහ කරන්න හිතන් හිටියේ. ඊළඟ පාර නම් යනවමයි! කුපාඩි වැඩ කරන්න හිතන් ඉන්න උන් නම් නොගියට කමක් නැහැ. මොකද බලාපොරොත්තු ඉෂ්ට නොවෙන්න ඉඩ තියෙන නිසා.

ලංකාවට එන්න නම් ඒ එයාර්පෝර්ට් එකේ සැහෙන්න රස්තියාදු උනා. උන්ගේ අඩුපාඩුවක් නෙවෙයි, එදා බිසී වැඩියි. ඊටත් අල්ලපු රටේ උන් වැහි වැහැල , උන් පෝලිමක්, නීතියක් දන්නෙත් නැහැ. සත්තු වගේ. එකෙක් අපේ පෝලිමට ආව කොහෙන්දෝ ඉදන් කඩාගෙන. මාවත් පිටිපසට විසි උනා. ඌ එක්ක පිටිපස්සෙන් ආවනේ ගඟක්ම !! ඔක්කොම ජම්බල් උනා! එහෙම ඇවිත් ඌ අනිත් උන්ට පෝලිම පනින්න දෙන්නේ නැහැ.... හික්..

සමස්තයක් විදියට ගත්තම මේකයි

එක වේලකට එක්කෙනෙක්ට බාත් 20-60 වෙනකොට බත් එක්ක තියෙන හොඳ කෑමක් ගන්න පුළුවන්
වතුර ලීටර් එකක් බාත් 10 ඉඳල තියෙනවා.
සමහර ටැක්සි වල අයකරන විස්තරේ දාල තියෙනවා ( 1කම් වලට කීයද වගේ) බලාගන්න. මට හිතුනේ රෝසපාට ටැක්සි ගණන් අඩුයි වගේ.
අඩුවට ගන්නවා නම් MBK , Platinum  වගේ තැන් හොඳයි. ( ඒ අවටත් තියෙනවා)
හැම වෙලේම map එකක් බලාගෙන යන්න.


වෙන?? වෙන ඉතින් මොනාද... ගිහින් එන්න එකයි!



43 comments:

  1. නියමයි.. විස්තර ටික නං.. උන්න හැටියට මලා මදැයි.. මේ මං අහන්නෙ උඹයි අර මැලේ රාළයි දෙන්න නෑයෝද?? නෑ ඉතිං කාම කිව්වොත් මට මතක් වෙන්නෙ මැලෙයා තමා. හැක්.. නියමයි උපේක්ෂෘ

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඕකනේ ඉතින්. ටයිප් කොරාගෙන කොරාගෙන කොරාගෙන් යනකොට ඔහොම වෙනවා අය්යෝ. තැන් කීපයකම තිබ්බ අවුල් ගොඩක්ම. හිතේ තියෙන දේවල් ඉතින් එලියට එන එකට මම මක් කොරන්නද?

      Delete
  2. ගමන පට්ටනේ........... අතුරුදහන් වුණත් මොකෝ මේ වගේ ගමන් වලට....

    ReplyDelete
    Replies
    1. ගුවන් ගමන් විස්තරේ කිව්වොත් ආතල් එක බිඳෙනවා. සතුටුදායක නැත්තේ හෝටලේ සේවය. එහෙට ගොඩක් සංචාරකයෝ එන හින්ද ඒ මිනිස්සු ඉන්න උන් ගැන වැඩි සැලකිල්ලක් නැහැ මගේ හිතේ. අපේ නම් විදේශිකයින්ට දෙය්යන්ට වගේ නේ හෝටල්වල සලකන්නේ.

      ආයේ නම් එහෙම කොරන්ට බැරි වෙන්නම මට ලොක්ක දේශනාවක් දුන්න.

      Delete
  3. සෙරෙප්පු අතුරුදන් වෙන්නෙ නැතෙයි පන්සල් වලට ගියාම හිහි
    විස්තර නං අවුලක් නෑ ෆොටෝවක් දෙකක් වැඩිපුර තිබ්බ නං කියල හිතුණ
    හිහි කමන් නෑ උන්නු හැටියට මලා මදැයි කිවලු

    ReplyDelete
    Replies
    1. එහෙම නම් උනේ නැහැ. නමුත් සමහර පන්සල්වලදී හැමතැනම ගහල තියෙනවා පික් පොකට් කාරයින්ගෙන් බේරිලා ඉන්න කියල. ශ්‍රද්ධාවෙන් වඳිනකොට බෑග් එකට තට්ටු කරනවා මම හිතන්නේ.

      පොටෝ ඔක්කොම දාන්න හැටියක් නැහැ බොලව්, එව්වයේ මම ඉන්නවනේ!

      Delete
  4. කතාවෙ සිංහල පරිවර්තනයක් ඊළඟට දාන්න හොඳද.අර මසාජ් එක කරගත්තෙ නැත්තෙ නං අපරාදෙ.

    ReplyDelete
    Replies
    1. අපොයි. මම ඉතින් පොෂ් නිසා සිංහල එන්නේ නැහැනේ!

      මම ලිව්වේ නිකන් කතාකරන බාසාවෙන් හින්ද අනවශ්‍ය විදියට සිංහල ඔබන්න හැදුවේ නැහැ. එන විදියටම ලිව්වා. සමාවෙන්ට ඈ !


      ඔව් අප්පා. ආයේ ගිය වෙලාවක කරගන්නවා

      Delete
  5. /වෙන කාම ජාති/
    මෙව්වත් තිබ්බද අප්පා එහේ??/

    හරි එතකොට කෝ සාය ඇඳන් සීගිරි ගියපු සීන් එක.. ලබන සතියේද??? හැක් හැක්


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඕකනේ ඕකනේ ඉතින්.... පොද්ද වරදින්න බැහැ හිතේ තියෙන එව්වට ගලපගන්නවා!

      සය ඇඳන් නේද? සිගිරි ගියපු එක නේද?? හිටහන් මම ලියන්න!! හුහ්

      Delete
  6. අපිට මොකුත් ගෙනාවෙ නෑ එහෙනං...


    රෝමින් නැති වෙන එකත් හොදයි... 2012 දි තායිලන්තෙ ගිහින් ආවහම මට 29000/-ක බිලක් ආව.. කොම්පැනියෙ වැඩකට ගිය හින්දා කොම්පැණිය කංකෙදිරි ගගා ගෙවල දැම්ම නැත්නං මං ඉවරයි. දැන්නං රෝමින් ට්කක් ලාබයි මං හිතන්නෙ

    ReplyDelete
    Replies
    1. අයිස්වල රිංගලා ඉන්න පුසෙක්ට ගැලපෙන කිසිම දෙයක් තිබ්බේ නැහැනේ අප්පා.

      දැන් නම් එතරම් රෝමින් ගණන් නැහැ මට මතක විදියට. අත්‍යවශ්‍ය කෝල්ස් විතරක් ගත්තම ඔතරම් බිලක් එන්නේ නැහැනේ. මගේ අදහස නම් හදිස්සියකට වත් රෝමින් ඕනේ කියල. සන්නිවේදන ක්‍රමයක් නැති වෙන එක එතරම් නුවනට හුරු නැහැ. විශේෂයෙන් විදෙස් රටක

      Delete
  7. අලියා අන්දපු චිත්‍ර තියෙන T එකක් එහෙම ගන්න හිතුනේ නැද්ද? පරණ මතක ගොඩක් ඇවිස්සුනා.. :)

    ReplyDelete
    Replies
    1. අප්පා.. මට ඒ කොටස ලියන්නත් බැරි උනානේ. ඒ වෙලේ නම් අලියන් ඇන්දේ චිත්‍ර කොලේක. එව්වා ඒ වෙලේම බාත් 750කට විකිණුවා. තුන්දෙනෙක් ඒ චිත්‍ර ගත්ත ( චිත්‍ර තුනක් ඇන්දා ) ඒවා හරිම ලස්සනයි. ඇත්තටම ඒ පුහුණුකරුවන් කොතරම් දක්ෂද කියල හිතෙනවා. මට හැම මොහොතකම මතක් උනේ අපේ ලංකාවේ සත්තු බලාගන්න මිනිස්සු ඇයි ඒ සත්තුන්ට මේ වගේ ආදරේ කරන්නේ නැත්තේ කියලයි. ලංකාවේ සත්තු හරිම පවු කියලයි හිතුනේ.

      Delete
  8. පොස්ට් එක අනර්ගයි....තව පින්තූර ටිකක් තිබ්බනම් මරේ මරු.. ෂොපින් වලට නැතුව ඔක්කොම වියදම කීයක් විතර ගියාද ගමනට..
    හොඳ වින්ටර් එකක් තියන රටකට ගියානම් ඔය ස්නෝ අමාරුව එක වින්ටර් එකෙන්ම සනීප වෙයි ඕන් .. අද මෙහෙ සීතල -1C . තාම ස්නෝ නම් පටන් ගත්තේ නැහැ.. ස්නෝ කරපු දවසක රස්සාවට යන්න එලියට බහින්නේ සවලත් අරගෙන.. වාහනේ පාරට ගන්න සවල් ගහන්නම වෙනව. සීතල රටකට ගිහින් බලන්නකෝ ස්නෝ කොයිතරම් ශෝක්ද කියල..

    ReplyDelete
    Replies
    1. තාම ගණන් බැලුවේ නම් නැහැ. ගොඩක් වෙලාවට ලොකු ගානම් වෙන්නත් බැහැ. ගාන දැම්මොත් සර්පයෙක් වගේ වෙයි නේද?

      ගැන .මට තියෙන පිස්සු එහෙම හොන්දවෙන ජාතියේ එව්වා නෙවෙයි. ඒවා කාලයත් එක්ක උග්‍ර වෙනවා. ඔය ස්නෝ පිස්සුවත් දැන් සෑහෙන්න ඔඩු දුවල තියෙන්නේ. පිටරටක ගිය එක වෙලාවකවත් තාම ස්නෝ සෙට් උනේ නැහැ. ඔය ස්නෝ ඒන්ජල් හදන්ට, ස්නෝ මෑන් හදන්ට එහෙම මට තියෙන ආසාව මම හිතන්නේ මම නාකි අතැරෙන්නේ නැති වෙයි. පොඩි කාලේ කරපු දේවල්වල හැටියට!

      ඔය ඔන්චිලි පැදිල්ල උනත් මට තද උණක් තියෙන්නේ. විහාරමහාදේවි පාක් එකේ ළමයින්ගේ ඔන්චිලි පදින්න ගිහින් තව ඩින්ගෙන් ගුටිත් කනවා. කොතන ගියත් පුල්ලි මාරු වෙනවද? ඔබතුමා දන්නවද මට ට්‍රොනාඩෝ එකේ ගොහින් වෙච්ච දේ? හි හි..

      Delete
    2. ගාන දාපන් බන්.. නොගිහින් නයි අරිනවා නෙවෙයිනේ... යකෝ තමුන් වියදම් කරපු ගැන දාන්නේ මම අහපු නිසානේ.. මමත් ඕක අහන්නේ මටත් අනාගතයේ ඔහොම දඩයක් වදින්න ඇරියස් වෙච්චි පොරොන්දුවක් තියන නිසා....ට්‍රොනාඩෝ කතාවත් ලියමු අපිට කියවන්න..
      මම අපේ කල්‍යානමිත්‍රට කියනව ඔක්කොම ප්‍රජා සත්කාර නවත්තල උපේක්ෂාව හොඳ දොස්තර කෙනෙකුට පෙන්නමු කියල.. මට නිකම් මැවිලා පේනවා උපේක්ෂ සීතල රටක පදිංචි වෙලා දරු මල්ලෝ එහෙම හදාගෙන ඉන්න වින්ටර් එකක්.. නාකි උපේක්ෂ ස්නෝ ගොඩේ ස්නෝ එන්ජල් හදද්දී උපේක්ෂගේ ළමයි ගෙට වෙලා ජනේලෙන් උපේක්ෂ දිහා බලාගෙන ළමයින්ගේ තාත්තාගෙන් අහනව " ඩෑඩී අපි ආයේ මමීව ඩොක්ටර්ට පෙනනමුද ඉක්මනට " කියල .. හී... හී ....

      Delete
    3. බෑ බෑ ගාන දාන්න බැහැ. මකාද දන්නවද අර රවී මහතැන් ( නෑ නෑ , අර බොරුවක් මුසාවක් කටේ තොලේ නොගෑවී වත් කියන්නේ නැති වාන්පතුල්, කොස් කපන අසෝකා ලා ගැන ලියන, ක්ලියෝපැට්‍රා එක්ක පටලැවිල්ලක් තියෙන , ලඟදි සාරි ටික තෙමලා සහ වතුර ටැංකියේ අකරතැබ්බෙට මුණ දීලා රටත් ඇරලා ගියපු රවී නෙවෙයි, වැය - අය රවී) ගහල තියෙන මන්දිර බද්ද මගෙනුත් අය කරයි කියන බයට අප්පා!

      ඇත්තටම ට්‍රොනාඩෝ කතාව කියන්න ඕනේ මම නෙවෙයි. මම එකේ යනවා බන් හිටපු අනිත් උන් වෙන්න ඕනේ. බලමුකෝ ඕක ලියාගන්න පුළුවන් උනොත්!

      හුහ්.. එහෙම කොහෙද මාව සනීප කොරන්ට??? මෙච්චර කාලයක් ගියා... කෝ එකෙක්ට සනීපකොරන්ට පුළුවන් උනාද? උඹල ඉඩන් නඩුවකට පැටලුනා වගේ තියෙයි.. ආයෙත් අහල

      Delete
    4. වියදම ප්‍රසිද්දියේ කියන්න බැරිනම් බජට් එක ඊ මේල් එකට එවන්නකො.. polwattacom@gmail.com

      Delete
  9. බොහොම ස්තූතියි දීර්ඝ විස්තරේට. කරුණු දෙකක්.
    අර හෝටලේ නම Indra Regent
    අනික ලංකාවේ තියෙන මසාජ් තැන් ඔක්කොම ඔය හිතන ජාතියේ ඒවා නෙවෙයි. මේවා ට්‍රයි කරලා බලන්න.
    Kemara Spa Tel 10112-696 498, 0767-143 590. www.kemaralife.com මේක තියෙන්නේ රේස් කෝස් එක ඉස්සරහ තියෙන ලක්පහන එක ඇතුලේ. මේක හයි කොලිටි තැනක්. Ave Cost Rs. 4500/=
    Azmaara Spa Tel: 11-2491922 . www.azmaaraspa.com මේක තියෙන්නේ සිනමන් ලේක් හෝටලේ පලමුවෙනි මහලේ. මේක Very හයි කොලිටි තැනක්. Ave Cost Rs. 7500/=

    දෙකම කලින් වෙන් කරවාගෙන යායුතු තැන්.

    ReplyDelete
    Replies
    1. සොරි වෙන්ට ඕනේ... මම ඔහේ ලිව්වා මිසක් හෝටලේ නම ගැන එතරම්ම හිතුවේ නැහැ. ඒ හෝටලේ ලංකාවේ අය අතර අතිශය ජනප්‍රිය බව පෙනුනා.

      ලංකාවේ හොඳ මසාජ් සෙන්ටර් නැහැ කියලා නෙවෙයි මම කිව්වේ. මම කිව්වේ ඒ ගැන තියෙන ආකල්පය අන්ත ජරා කියලා. ලංකාවේදී නම් මම මසාජ් යන්නේ දුරක ගියොත් විතරමයි. ඒ කියන්නේ දුර පලාතක සවාරියක් ගියාම. ඒ වගේම හෝටලේ තියෙන එක විතරයි මම පාවිච්චි කරන්නේ. මොකද එහෙම යනවා කිව්වමත් අපේ මිනිස්සු බලන්නේ වැරදි විදියට. වික්ටෝරියා මානසික ලෙඩ්ඩු නේ! මට උන්ව හදන්න බැහැ. දේසේ හැටියට වාසේ!

      7500/= පාඩුවක් නැහැ.

      Delete
  10. ගමනක් ගියානං ඒක ගිය වගට පොටෝ තියෙන්න ඕනැ. කෝ බෝ ඉන්න පොටෝ එකක්වක් නෑනෙ

    ReplyDelete
    Replies
    1. ඇයි අප්පේ අර අලියට පෑගෙන්න හිටපු එක තියෙන්නේ. ඔක්කොම දාපු පින්තුර මම ගත්ත ඒවා අම්මප!

      Delete
  11. මේ සටහන කියෙව්වම නම් ගිහින් එන්න හිතයි. සමස්ත වියදම ගැනත් දළ අදහසක් දෙන්න පුලුවන්ද උපේක්ෂා..

    ReplyDelete
    Replies
    1. යන්න යන්න. සැලසුම් කරලා යන්න. මගේ තව යාලුවෝ සෙට් එකක් ගිහින්... අය්යෝ... අර කළුවා මාරපන ගිහින් වගේ . ඔහේ පාරවල්වල ඇවිදලා ආපහු ලංකාවට ඇවිත්! මට උද තියෙන කවුළුවෙන් ලියුමක් දාන්න. ගාන කියන්නම්. මෙතන සර්පයෝ දාන්න බැහැ නේ..

      Delete
  12. අපෝ තනියමද ගියේ බෝයිෆ්‍රෙන්ඩ් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් ලා එක්ක ගියානම් මරු නේ. ඇයි උපේක්ශා ටැක්සි වල ගියේ බස් නැද්ද?. මේ කියවද්දි ආපු ප්‍රශ්න ඈ . ෆොටෝ කෝ අප්ප්පා..කෑම ජාති මාත් ආස දකින දකින තැනින් අරන් කන්න. හම්මේ මාත් යනෝ යනෝමයි.

    ReplyDelete
    Replies
    1. තායිලන්තයේ ස්පා වල තරම් ලාබෙට ලෝකේ කොහෙවත් මසාජ් එකක් ගන්න බෑලු නේද
      ස්තූති විස්තරේට

      Delete
    2. පළමු ප්‍රශ්නය නිදැල්ලේ යන්න අරිනවා.

      බස් නම් තිබ්බ. නමුත් උත්සහ කලේ නැහැ. එකක් තමයි රූට් එක හරියටම දන්නේ නැති එක. අනිත් එක වටයක් ගහලනේ අදාළ තැනට එනවා ඇත්තේ. එතකොට මගේ තිබ්බ තත්වයත් එක්ක වෙලාව අපරාදේ. බස් වල ගොඩක් සෙනග හිටියේ නම් නැහැ. ඊට අමතරව 'ටුක් ටුක්' තියෙනවා. නමුත් යන්න උන්දනු උනේ නැහැ. උන්ගේ වාහනේ මීටර් හයි කරලත් නැහැ. අසප ගණන් කියන්නේ. තව මම දැක්ක බයිසිකල් ( මෝටර් බයිසිකල්) වලිනුත් ටැක්සි වගයක් තියෙනවා. එක්කෙනෙක්, බඩුත් නැතුව යනවා නම් නියමයි. කඩචෝරු නම් එමටයි. වතුර බෝතල් එක්ක ස්ට්‍රෝ දෙනවා බොන්න. හි හි.. අනිත් එක තමයි අයිස් කට තමයි වැඩිපුරම ඩ්‍රින්ක් එකකට දාන්නේ. කෝප්පේ පිරෙන්න අයිස් දාල ඉතුරු ටික තමයි බීම එක පුරවන්නේ. මම අයිස් වැඩිය පාවිච්චියක් නැති නිසා විකාරයි වගේ. මට තිබ්බ එකම අවුල තමයි සිගරට් බොන උන් වැහි වැහැලා හිටපු එක. මට ඒ ගඳ දරන්න බැහැ.

      මම දැක්කා ස්පා වල ගහල තිබ්බ පැයක තායි මසාජ් එකක් බාත් 300 යි කියල. එතන තමයි මම දැකපු අඩුම. මම හිටපු හෝටලේ ළඟ තිබ්බ එකේ බාත් 500යි කියල දාල තිබ්බ. කෝ මට පැයක් තිබ්බේ නැහැනේ!

      Delete
  13. කෝ,,, මට කිසි ආසාවක් ආවේ නැහැනේ බං ඔහේ යන්න...
    ඔය රටේ කෙල්ලෝ එහෙම ඉන්නවද, වැඩිපුර ඇත්තේ පිරිමි වෙන්ට ඕනේ...
    ඇයි ඉතින් ලංකාව පුරා වැඩිපුරම ඉන්නේ ඔය රටේ ඇත්තියෝ නොවැ...

    උදේට ගෙදරින් එළියට බැහැල රස්සාවට යනවා තරම් ආතල් එකක් තවත් කොයින්ද...
    කන්න බොන්න ටික අත ලඟට, දවසට "ග්‍රීන් ටී"ම පහක් යහක්, තුන් වේල කෑම නොමිළේ (ගෙදර උන්දා අවුල් වෙන නිසා රෑ කෑම එක ගෙදර අරගෙන යන්නේ නැහැ)
    අන්තර්ජාලය නොමිළේ, ඔය උඹල වගේ එව්වෝ තඩි බෑග් මළු උස්සගෙන, ටැක්සි වල කෝච්චි වල නැගගෙන පව් ගෙවාගෙන අව්වේ කර වේවි යනවට වඩා මෙහෙම ඉන්න එක මොන සැපක්ද බං...

    සෙක්, තෝව අලියට පෑගිලා මලේ නැති හැටි විතරක්...

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නැහැ. එහෙම යන්න ආසා නැති වෙන එක අරුමයක් නෙවෙයි. අපේ අම්මත් එහෙම යන්න කැමති කෙනෙක් නෙවෙයි.

      මේ මොනවා කියනවද ලොකු පුතා, බැලු බැලු තැන උන්නේ පොඩි ෂෝට් කෑලි ඇඳගත්ත සුදුම සුදු බෝනික්කෝ වගේ කෙල්ලෝ. වයසක අය දැක්කෙත් අඩුවෙන්. අපේ රටේ වගේ දනිස්ස ගානට ඇන්දත් කුලප්ප්පු වෙන කෝලම් තිබ්බේ නැහැ එහෙ නම්. අපේ ඉතිං සකිස්කුරුතිය තියෙනවනේ මොකක් නැතත්!

      ආන්න ඔය වගේ අයට තමයි අවුලක් නැත්තේ. හි හි... මට ඔහොම ගියා කියලාවත්, නොගියා කියලාවත් එහෙම පිස්සුවක් නැහැ. එකම දේ මම ආසයි එක එක අත්දැකීම් වලට මුහුණ දෙන්න. කොටිම්ම මම ආසයි සෆාරි වගේ ගිහින් කැලේ කුඩාරම් ගහගෙන ඉන්න. කඳු නගින්න. පැරෂුට් එකෙන් පනින්න , එයාර් බැලුන් යන්න. එහෙම නොගියා කියල අසතුටක් නැහැ. නමුත් යන්න ලැබුනොත්, මම එක පයින්ම ඉදිරිපත් වෙනවා ( අර අලියට පෑගෙන්න ඉදිරිපන් උනා වගේ. ඔහොම මම මැලේෂියා බර්ඩ් පාක් එකේ තිබ්බ බර්ඩ් ෂෝ එකක, උගුස්සෙක්ට අමු මස් දෙන්නත් ඉදිරිපත් උනා. ඒක නම් මාරම ෆිලින් එකෙක්!)

      එහෙම දුක් විඳගෙන ගියේ නැහැ ඇත්තටම. ඒකට තමයි සැලසුම් කලේ. හැමදේම අන්තර්ජාලයෙන් බලලා දැනුවත් වෙලා ගියේ. යන්නම් වාලේ ගියා නම් අවුලක් වෙන්න තිබ්බ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ලංකාවට එන සංචාරකයින් වගේ ඒ රටේ සචාරකයින් අතරමන් වෙන්නේ නැතුව ඇති. එතරම්ම සංචාරක හිතවාදී විදියට ( ඉංග්‍රීසි කතා නොකලත්) බැංකොක් නම් හැදිලා තියෙන්නේ. තොරතුරු ගන්න හරිම පහසුයි.

      හුහ්! අලියට කියල පාගවන්න නේද? පාගවහන් අර කඩේ මහත මුදලාලියව!!

      Delete
    2. විහිළුවක් බොල කලේ...
      මමත් ඇවිදින්න, රස්තියාදු ගහන්න, කැලේ යන්න, කෑම්ප් ගහන්න, ෆොටෝ ගහන්න, මාළු අල්ලන්න, වෙඩි තියන්න, දඩයම් කරන්න ඔය හැම මගුලකටම ආසයි...
      හැබැයි වෙන රටකට යනවනම් යන්න ආසත් සෆාරි අයිටම් වලට විතරයි...

      දැන්නම් ඔය මොන මගුලෙවත් යා ගන්න වෙලාවක් නැතුව බං ඉන්නේ, ගියත් මෙලෝ රහක් නැහැ...
      සිය පවුලයි, වයින් කරලා තිබ්බා වගේ එහෙ මෙහෙ පැන පැන අපිව හති වට්ටම පොඩ්ඩයි නිසා ගමනක් යනවට වඩා ගෙදර ඉන්න එක සැපයි කියල හිතිච්ච වාර ගාන අනන්තයි, අප්‍රමාණයි...

      Delete
    3. පොඩි දරුවන් ඉන්නකොට ඔහොම ට්‍රිප් ගිහින් ඇත්තටම කරලා තියෙන්නේ උන්ට කවල, පොවලා තියාගත්තා එක විතරයි වගේ. හි හි.. පොඩ්ඩක් ලොකු උනාම පුළුවන්. පොඩි ළමයින් ඉන්නවා නම් මම නම් හිතන්නේ day -out එකකට වගේ හෝටලයකට යන එක හොඳයි. එතකොට කෑම ප්‍රශ්න නැහැ. ඊට අමතරව ඒවායේ පහසුවෙන් ඉන්න පුළුවන්. පූල් එකට දැම්මම, පොඩි එකා නට නට ඉඳි. තවත් විදියක් තමයි එහෙම වයසේම වගේ ඉන්න තව පවුලක් එක්ක සෙට් වෙලා යන එක. එතකොට පොඩි එකාට play -mate කෙනෙක් ඉන්නවා. ඊට අමතරව මාරුවෙන් මාරුවට දෙන්නම එකට බලාගන්න එකෙක් හිටියම ඇති.

      Delete
  14. පින්තූරෙ ඉන්න අලියා හරි කළුයි නේද?

    ReplyDelete
    Replies
    1. නෑ අනේ... අලියා ඉන්නේ බිම නිදාගෙන නෙවෙයි.

      Delete
  15. එහේ මෙහේ රවුම් ගැහුවා වගේ නෙවෙයි ඔන්න අතරමං උනොත් එහෙම.පෙනේද අලියත් උපේට මනමාල බැල්මක් දාගෙන කකුල උස්සගෙන ඉන්න හැටි.උඹට බය හිතුනේ නැද්ද බං ඇත්තටම ?

    ReplyDelete
    Replies
    1. එහෙ අතරමන් වෙන එකත් ලේසි කෙරුවාවක් නෙවෙයි.

      අනේ ඒ අලියෝ හරි චෝයි අනේ. කකුලෙන් තට්ටු දානකොට දැනුනේ පුළුන් කොට්ටයකින් තට්ටු කරනවා වගේ. මට නම් හැරිලා ඌව බදාගන්නමයි හිතුනේ. මම අලියන්ට, කොටියන්ට, දිවියන්ට, ලොකු වලස්සුන්ට මාරම ආසයි. පොඩ්ඩක්වත් බය හිතුනේ නැහැ අප්පා... ( වෙව්ලුවේ ඒ වෙලාවේ තිබ්බ සීතලට ලු ඈ )

      Delete
  16. අඩේ පට්ට ට්‍රිපක් නේ. අනික ලොවෙත් නැතිවෙන්න විස්තරයක් දීල. තැන්කිව් ඈ,

    මේ ඒක නෙමෙ. උඹ එහෙ ගිහින් කරපු වීර වික්‍රම ක්‍රියා ඉන් ඩීටේල් විස්තර කරල නෑ නෙ මේකෙ. එව්වා තව ඉස්සරහට පෝස්ට් කීපෙකින් එයි නේද? මොකද උඹ ඔච්චර දිග ට්‍රිපක් ගිහින් කිසිම වික්‍රමයක් කලේ නෑ කියන එකනම් මට විස්වාස කරන්න බෑ.

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන් බස්සියේ...

      අන්න බස්සිට විතරයි තේරුනේ මම නොකිව්ව කොටස. කොලා කොලා.... හැටහුටාමාරක් ජාති කොලා! ට්‍රෝනාඩෝ ඇතුළුව රෝලර් කෝස්ටර් ඔක්කොම ජාති පැද්දා. වතුරේ උඩ විසිවෙන ජාතිත් කළා. වැඩේ කියන්නේ එව්වා කරනකොට ෆෝන් ගෙනියන්න දෙන්නේ නැහැ. සමහර ඒවගේ ඉතින් මම තුමී ඉන්නවනේ, ඒ හින්ද පින්තුරේ පට්ට අවුල්!

      ආයේ ලියන්නේ නෑ.. අපෝ නෑ... මෙතනින් අහවරයි. ඇහැක් නම් මේලයක් එවන අයට වැඩිදුර විස්තර කියන්නම්.

      Delete
  17. අනුකලනය මම උසස් පෙළ දී අත් ඇරියා...
    දැනුත් මේ අනුකලනයක් බලන ගමන් මම ඔයාගේ පෝස්ට් එක කියෙව්වේ...

    මම්මා පප්පා...
    පරණ මතකයන් අළුත් කරා. තාමත් මම ඒවාට ආසයි...

    අලියොන්ට කන්ට දීලා නම් තියෙනවා. ඒත් ඔය වගේ දෙයක් කරන්ට නම්...???

    දැන් ඔය ගමනේ සම්පූර්ණ වියදම රුපියල් සත කීයද???

    ReplyDelete
    Replies
    1. උසස්පෙලදී අතැරලා, දැන් මොකටද බොලේ අනුකලනය අල්ලාගෙන කරන්නේ?

      ඔය මම්මා පප්පා කියන්නේ මගේ පොඩි කාලේ සොඳුරු මතකයක්. පෙරහැර කාලෙට අපේ ගමේ හැම ගෙදරකින්ම ඔය සද්දේ අහනේව උදේ පාන්දර ඉඳන්. ඒකෙන් තමයි ඒ ගෙදර අය පෙරහැර බලන්න ගියාද නැද්ද කියලා ගමම දැනගන්නේ!

      මේක එතරම් භයානක දෙයක් නෙවෙයි අනේ. නිකන් නිදාගෙන ඉන්න තියෙන්නේ අලියෝ මෝඩි තට්ටු දාල ඇඟ උඩින් පනිනකල්. සිම්පල්. හැම ෂෝ එකකම එහෙම කොටසක් තියනවා. ඩොල්ෆින්ගේ ෂෝ එකේ උන්ගෙන් කිස් ගන්න පුළුවන්. ( ඉස්සරහ ඉන්න ඕනේ) සීල් ෂෝ එකේ උන් එක්ක සෙල්ලම් කරන්න දෙනවා. මේක මට චාන්ස් එක වැදුනේ ඒකට ගොඩක් අය බය උන හින්ද වෙන්න ඕනේ.

      සම්පුර්ණ වියදම මට උඩ තියෙන කවුළුවෙන් ලියුමක් එව්වොත් කියන්නම්. මෙතන දාන්නේ නැත

      Delete
  18. කොහොමද අලි කකුලට පෑගුනා නම්.අලියා ඇඟ උඩින් පැන්න එකෙන් උපේගේ අපලත් දුරු වෙන්න ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. පෑගුනා පෑගුනා ... මොකද නැත්තේ... ඒ කකුල කොට්ටයක් වගේ අනේ....

      ඔය අලියෙක්ට යටින් ගියාම අපල දුරු වෙනවා කියනඑක මට නම් මෙහෙමයි හිතෙන්නේ. අලියෙක්ට අහු වෙලා පණ බේරුනා නම්, ආයේ මොන අපලයක් පල දෙන්නද කියන ආකල්පෙන් ආපු එකක් මිසක් මම නම් විස්වාස කරන දෙයක් නෙවෙයි.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...