Sunday, November 23, 2014

119. අල්ලපු වත්තෙන් ප්‍රශ්නය ඉවරයි..

ඔබ කොළඹ අවට හෝ ප්‍රධාන නගරයක් අවට, තදාසන්න කලාපෙක ජිවත් වෙන කෙනෙක්ද? එහෙනම් මම මේ කියන දේ සියයට සියයක්ම අදාළ වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ එහෙම නොවෙන අයට අදාළ නැහැ කියල. යම් යම් වශයෙන් අපිට අදාළ වෙනවා.

මෙහෙම කියන්නම්කො.. කුණු කියන්නේ ඔබට බලවත් ප්‍රශ්නයක්ද?

සමහරු එකහෙලාම 'ඔව්' කියයි. සමහරු හිතල මතල 'ඔව්' කියයි. තවත් සුළුතරයක් හිතන්නෙත් නැතුව මේ පෝස්ටුවත් මගෑරලා යයි. ඔව්.. ඒ අපේ කාගේත් හැටි! විශේෂයෙන්ම ලංකාවේ.

මම දකින හැටියට නම් කුණු කියන්නේ අපිටත් වඩා රටේම ප්‍රශ්නයක්. මොකද සමහරු කොහොමහරි තමන්ගේ වත්තේ හතර මායිමෙන් එහාට තල්ලු කලාට පස්සේ තමුන්ට කිසිම කුණු ප්‍රශ්නයක් නැති බව දිවුරන්න පවා සූදානම්. ඊට අමතරව කුණු විදියට ගෙදර විසිකරන 'සියලුම දේ' එකතුකොට එකම ගිනි ගොඩක පුච්චන්නට හැරීමෙන් පසු තමුන් ඒ ගින්නෙන්ම සුද්දවන්තයින් බවට පත්වෙනවා යයි දැඩිව විස්වාස කරන අය මම කොළඹ අසල්වාසීන් විදියට තියාගෙන ඉන්නේ.

කොනක ඉඳල ලියන්න ගත්තොත් ඇත්තටම මම පටන් ගන්නේ මගෙන්.

මට නම් කුණු කියන්නේ කොළඹ පරිසරයේ ඉන්නකොට 'බලවත්' ප්‍රශ්නයක්. එහෙම වෙන්න හේතු වෙලා තියෙන්නේ කුණු වශයෙන් මම බැහැර කරන 80% විතර නොදිරන දේවල් හින්දා. ගෙදර එකතුවෙන ගස්වල කොළ ආදිය සඳහා මට කොම්පෝස්ට් බින් එකක් තිබෙනවා. කුස්සියේ සියලුම බැහැරකිරීම් මම 'කුණු' විදියට තමයි කියන්නේ. ඒ කියන්නේ කුස්සියේ ඉඳුල් , දිරන දේවල් උනත් මම බින් එකට දාන්නේ නැත්තේ, ඒවා මිශ්‍ර උනහම ඉවසන්න බැරි දුගඳක් එන හින්ද මට කොම්පෝස්ට් බින් එක එපා කරවන දෙයක් වෙන හේතුවෙන්.



මිට අමතරව නානාකාමර වලින් විසිකරන ෂැම්පු , ෆේස් වොෂ්, ටොයිලට් බෝල් ක්ලිනර් ආදිවූ සියලු බෝතල් වගේම කාමරවල තිබෙන ඩස්ට් බින් වල සියලු දේවලුත් මම 'කුණු' වශයෙන් විසිකරනවා. ඒවායේ සමහර වෙලාවට කඩදාසි වගේ ගිනිගන්නා දේවල් තිබ්බත් මම ඒවා ගිනිතියන්නේ නැත්තේ මගේ කම්මැලිකමත් ඒවා ගිනිතියන්නට සුදුසු යැයි මට හිතෙන තරම් වන තැනක් මට නැති නිසාත්. කිසිවෙකුගේ ගෙදරකට දුමක් යවා ඔවුන් අපහසුතාවයට පත්කරන්නට මම පුද්ගලිකව කැමති නැහැ.  ගේ ඇතුලේ තිබෙන කුණු දාන ඩස්ට් බින් වලට අමතරව මම ගෙදර පිටිපස්සේ තිබෙන වරන්ඩාවේ ලොකුම ලොකු කුණු බක්කියක් තියා තිබෙන්නේ ගේ ඇතුලේ එකතුවෙන කුණු දිනපතා රෑ වෙනකොට ගෙනත් දමන්න.



කුණු ගේ ඇතුලේ තබාගෙන දින ගණනක් ගෙවන්න මම එතරම්ම අකමැතියි. එළියේ තිබෙන මේ ලොකු කුණු බක්කිය මගේ ඉන තරම් උස, හොඳින් පියනකින් තදකර වැසිය හැකි හින්ද මම ඒ කුණු  සතුන්ට අදින්න තියෙන 'වරප්‍රසාදය' අවම කරනවා වගේම මැස්සන්ට බිත්තර දමන්නට ඇති ඉඩත් අහුරන්න උත්සහ කරනවා.

සතියකට එක දවසක් තමයි නගර සභාවෙන් කුණු ගෙනියන්න අපේ පාර 'පැත්තට' එන්නේ. එදාට පාර අවට ඉන්න අය තමුන්ගේ ගේ ඉස්සරහ තමුන්ගේ කුණු පොදිය තිබ්බත්, පාරෙන් ( කුණු ගෙනියන රූට් එකේ ) ඈත ඉන්න අයට වෙන්නේ හොරා පොලිස් වගේ කුණු තියන්න. මොකද ඒ මිනිස්සුන්ට තමුන්ගේ කුණු එක තියන්න ඉඩ දෙන්නේ නැහැ මාර්ගයේ ඉන්න අය. ගොඩක් වෙලාවට (95%) කුණු තියන්න බාල්දියක් හෝ වෙනත් යමක් ඒ තැන්වල නැහැ. මමත් ඔය හොරා පොලිස් කරන එකියක්!


මේකට ඉතින් සාධාරණ හේතු තියෙනවා. සමහර නැහැදිච්ච මිනිස්සු කුණු ගෙනියන්නේ නැති දවසටත් ඔතන කුණු විසිකරගෙන ගියහම අර මිනිස්සු පුදුම අපහසුතාවයකට පත් වෙන්නේ. ඒ වගේම අවට බල්ලන්, පුසන්, කාක්කන් ආදිය පොරකමින් මේ කුණු අදිනවා. වැඩට යන මිනිස්සුට පුලුවන්ද කුණු එනවා කියලා නිවාඩු දාල බලන් ඉඳල තමුන්ගේ අතින්ම කුණු ටික ට්‍රක් එකට දෙන්න?



සතියකට වතාවක් එන මේ කුණු ගෙනියන ට්‍රක් එක එන්නේ හරියට දේවාලේ දේවාභරණ ගෙනියන රතේ වගේ. කිසිවක් හින්ද නෙවෙයි, පොඩ්ඩක් මොනවා හරි වුන ගමන් 'ඩෝන්' යන මේ නගරසභාවේ මිනිස්සු තමන්ගේ කුණු එක නොගෙන යයි කියන බයට සාමාන්‍ය ජනතාව හරියට පේ වෙලා වගේ ඉන්නේ. මේවා පරිකල්පන නොවෙයි, සත්‍ය සිද්ධි...

මේ තමයි මගේ කුණු ප්‍රශ්නයේ වටපිටාව.

ඔහොම තියෙද්දී මගේ කොළඹ අසල්වාසීන් ගැනත් යමක් කියන්න ඕනේ. අර්ධ නාගරික පරිසරයක් තියෙන හින්ද අවට ගොඩක් අය මේ ගමේම කාලාන්තරයක් තිස්සේ ඉන්න අය සහ , මේ වෙනකොට සාමාන්‍ය ව්‍යවහාරයේ එන ලොකු ඉඩම් හිමි අය (මම එහෙම කිව්වේ ඉස්සර ලොකු ඉඩම් මනින්නේ අක්කර ගානින් උනත් දැන් මනින්නේ පර්චස් ගානින් හින්ද ) මේ හින්ද බහුතරයක් දෙනා කුණු බැහැරකරන්නේ තමුන්ගේම ඉඩමේ කෙළවරකට. නමුත් අවාසනාවට කුණු වලක් භාවිතා කරන්නේ අවම වශයෙන්.

ඒ කියන්නේ ඉඩමේ කොනකට වෙන්න ගොඩගහන කුණු අවසානයේදී 'ගිනි දෙවියන්ට' පිදිල්ල තමයි මොවුන් බහුතරයකගේ කුණු බැහැරකිරිල්ලේ 'සිම්පල් ප්ලෑන්' එක. ගිනිතියන මේ කුණු අතරේ කඩදාසි, රෙදි, පොලිතින්, ප්ලාස්ටික් වගේම වීදුරු බල්බ (CFL) සහ වීදුරු බෝතල් පවා තිබෙනවා. මේ තත්වය යටතේ තමුන්ට ඇතිවෙන සෞඛ්‍ය තර්ජනය ගැන ඔවුන්ට මම කියන්න ගියත්, අන්තිමට ඒ දෙබස කෙලවර වෙන්නේ  ඔවුන්ගේ පාරම්පරික ඉඩම් ගැන මට ලබාදුන් නොමිලේ පාඩමකින්.

මගේ එකම අභිලාශය උනේ මගේ ගෙදරට හැමදාම හවසට එන විෂ දුම වලක්වගන්න විතරක්ම නෙවෙයි, තමුන්ගේ වල කපනවාට අමතරව ඔවුන් නොදන්නාකමින් ( ලොකුකමින්?) අපෙත් වල කපනබව කියල දෙන්න. ඒත් තවම කිසිදු සාර්ථක ප්‍රථිපලයක් ලැබුනේ නැහැ.

මේ හේතුව හින්ද මම හිතුව මේ විදියට... ගෙදර බැහැරකරන දේවල් ඇත්තටම 'කුණු' මද?

ඇත්තෙන්ම නැහැ... ගොඩක් ජාති අපිට ඕනේ නැති හින්ද විසිකරනවා මිසක් නැවත භාවිතයට ගන්න බැරිකමක් නැහැ. (reuse) නමුත් ප්‍රයෝගික ගැටළු තියෙන්න පුළුවන්. පොඩ්ඩ crack උන ගමන් ඩස්ට් බින් එක ඇතුලට විසිකරන දේවල් වලින් 10% විතර මම හිතන විදියට නැවත භාවිතයට ගන්න පුළුවන්.

උදාහරණයක් විදියට සමහර ප්ලාස්ටික් භාජන මිදුලේ මල්පැල හෝ එළවලු පැල හිටවන්න ගන්න පුලුවන් (අයිස්ක්‍රීම් පෙට්ටි ආදිය පවා) . මට බොරු සුචරිතවාදියෙක් වෙන්න ඕනේ නැහැ. ඇත්ත තමයි ඔය අයිස්ක්‍රීම් පෙට්ටිවල පැල හිටවන එක මමත් නොකරන වැඩක්. මොකද හොඳ පෝච්චියක වගේ ලස්සනක් නැති හින්ද මම නිතරම කරන්නේ අලුත් පෝච්චියකින් මේ පැලේ ඉක්මනින්ම රිප්ලේස් කරන එක.

මම අත්හදා බලල තියෙන අනික් දෙයක් තමයි ලොකු ප්ලාස්ටික් මෙගා බෝතල් වලින් පලාවර්ග සිටුවන ක්‍රමයක් තියෙනවා 'ඇල්බට් ක්‍රමය' කියලා. මට නම් උනේ වැඩේ සාර්ථක උනත් ඉතා දරුණු ගොළුබෙලි හමුදාවකට එරිහිව මට සටන් කරන්න උන හින්ද, උන්ව විනාශ කරන වැඩේ කරන්න කොහොමත්ම හැකියාවක් නැති හින්දා වවන වැඩේට තිත තියන්න වෙච්ච එකයි.

මට ලොකුම හිසරදේ වෙලා තිබ්බේ මේ මොකවත්ම නෙවෙයි. ගෙදරට ගේන ෂොපින් මළු ප්‍රමාණය අතිවිශාල වෙන එකයි. මම මේ කියන්නේ ඒ ෂොපින් මළු  මගේ සියලුම ඩස්ට් බින් වලට යොදාගත්තත් සතියකට අතිවිශාල ප්‍රමාණයක් ෂොපින් මළු එකතුවීම හරිම හිසරදයක්. එහෙම වෙන්න ප්‍රධාන හේතුව සුපර් මාර්කට් ( සුපිරි වෙළඳසැල් ) වලින් බඩු ගත්තහම ඔවුන් එක භාණ්ඩයක් සඳහා එක බෑග් එක ගානේ වගේ යොදාගනිමින් මගේ අතට මළු තොගයක් දීමයි. සමහර බෝතල් වගේ දේවල් ගෙනියන්න පුළුවන් මල්ලක් නැතුවම. ඒත් කවුන්ටරයෙන් මට ඒකටත් බෑගයක් දෙනවා. මගේ නිරීක්ෂණයේ හැටියට එහෙම මළු ගොඩක් දෙන එකට පාරිභෝගිකයාත් කැමතියි වගේ. ( මම වගේ නොවන) මම නම් පුළුවන් තරම් ඉක්මනට මගේ බඩු ටික 'අවම' මලු ප්‍රමාණයකින් දාගෙන වෙනත් බෑග් එපා කියනවා.



ඉස්සර මම මේ ගැන සැලකිලිමත් උනේ නැති උනාට, දැන් සැළකිලිමත්. මොකද, ගෙදරට ගෙන මේ ෂොපින් මළු අන්තිමට මට 'කුණු' වශයෙන් විසිකරන්න වෙන හින්ද. මට මතකයි මේ ප්‍රශ්නය හින්ද කාලයක් සුපර් මාර්කට් වල ෂොපින් මළු වලට අය කළා. මම නම් කියන්නේ ඒක වරදක් නැහැ. මිනිස්සු තමුන් ගෙනියන නොදිරන මළු ගැන අවධානයක් නැතිනම්, අඩුම තරමේ අවධානයක් ගන්න සල්ලි ගත්තොත් වටිනවා.

මම හරියටම දන්නේ නැහැ අන්තිමට ඒ නීතියට මොකද උනේ කියල. ඒකත් ලංකාවේ අනෙකුත් නීතිවලට වෙච්ච ඉරණමටම මුණදෙන්න ඇති. කීල්ස් සුපර් මාර්කට් එකේ නම් නැවත නැවත භාවිතා කරන බෑග් වලට වෙනම පොයින්ට්ස් දෙනවා ( මට මතක විදියට කාර්ගිල්ස් එකෙත්) . ඒත් මගේ නිරීක්ෂණයේ හැටියට ඔවුන් ඔවුන්ගේ ලොයල්ටි පොයින්ට්ස් වලට තරම් අවධානකින් එය ප්‍රමෝට් කරන්නේ නැහැ. මගේ නිරීක්ෂණයේ හැටියට එහෙම බෑග් ගෙනත් ෂොපින් මළු ප්‍රතික්ෂේප කරන පිරිස බොහොම අඩුයි.

ඇත්තටම මට වැටහිලා තියෙන අනික් කාරණේ තමයි, කවුන්ටරේ ඉන්න අයත් පුළුවන් තරම් උපරිමේට ෂොපින් කවර භාවිතා කරනවා මිසක්, අඩුවෙන් භාවිතා කරන්න හිතන්නෙවත් නැති අය කියලා. ඔවුන්ට ඒ ගැන දැනුවත්කම ලබාදෙනවා මදිද? නැත්තම් සැලකිල්ලක් නැතිකමද?

මගේ පුද්ගලික මතය අනුව නම්, කෙනෙක් තමන්ගේ කාබන් පිය සලකුණ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ දැනට වඩා, මමත් ඇතුළුව! ඒකට අපේ නිහඬ වුනත් අවංක සහයෝගය ක්‍රියාවෙන්ම පෙන්නන්න වෙනවා. නැතුව අල්ලපු ගෙදර මනුස්සයටම බැන බැන ඉන්න එකේ කිසිම ප්‍රතිපලයක් නැහැ.

මට මතකයි නියම ටෙලියක් ගියා 'මෙහි කුණු දැමීම තහනම්' කියලා. ඇත්තටම වටිනා පණිවිඩයක්. මිනිස්සු බැලුවානම් වටිනවා.

මෙතරම් ජේද මම ලිව්වට මගේ මිත්‍ර බිමල් නම් මේක එක පේළියෙන් ලිව්වා. මෙන්න මේ විදියට.

ඒ වගේමයි, හෙන්රි මේ කුණු ප්‍රශ්නය හා සම්බන්ධ වෙච්ච හොඳ කතාවක් පරිවර්තනේ කරලා තිබ්බේ... හෙහ්...

ඔන්න මගේ කුණු කතාව ඉවරයි.

අල්ලපු වත්තට තල්ලු කළා.. මගේ ප්‍රශ්නේ ඉවරයි!

45 comments:

  1. හම්මෝ අපිටත් තියෙන එපාම කරපු ප්‍රශ්ණයක් තමයි "කුණු". සතියට දවසයි ගෙනියන්න එන්නෙ. ඒ උනත් සමහර සතිවල එන්න දවසක් දෙකක් පරක්කු වෙනවා. මිනිස්සු පුරුද්දට වෙනදා එන දවසටම කුණු එක ගෙනිහින් දානවා පාරට. ඉතින් හිතන්නකෝ ආතල් එක. නහයවල් නෑ වගේ තමයි දවසක් දෙකක් පරක්කු උනාම.


    අහක දාන බල්බ් වලින් ඕනමන්ට්ස් හදන්න පුලුවන් නිසා මමනම් ඕවයින් එක එක සුකුරුත්තම් හදනවා. ඒ වගේ දේවල් මගෙ අතින් ට්‍රෑශ් වෙන්නෙ බොහොම අඩුවෙන්. විස්තර එක්ක පෝස්ට් එකක්ම දාන්නම්කෝ කුණු වලින් කරන DIY සුකුරුත්තම් ගැන.

    කුණු පුච්චන එක ගැනනම් කට අරින්න දෙන්නෙ නෑනෙ ඔය මහා ලොකු පාරම්පරික ඉඩම් හිමියො. ගිය සතියෙ නිකම් අර කාර්ටුන් වල වගේ පේනව යට තට්ටුවෙන් දුම් යනව. අපි බැලුවෙ පහල ගිනි අරන්ද කියල. බලද්දි එහා පැත්තෙ ගෙදර කට්ටිය වැට මුල්ලටම කරලා කුණු ගිනි තියනවා.

    ReplyDelete
    Replies
    1. //එළියේ තිබෙන මේ ලොකු කුණු බක්කිය මගේ ඉන තරම් උස//

      ඒ කියන්නෙ එච්චර උස නැතුවැති නේ....? හිහිහි... :P

      Delete
    2. කුණු ලොරි වල සේවය සැපයීමේදී මේ 'ප්‍රමාදය' කියන කාරණාව ඇත්තටම අනුමත කරන්නම බැරි තත්වයක්. නමුත් කොතරම් ගැටළු තියෙනවද මීටත් වඩා. මමත් අත්දැකලා තියෙනවා ඔහොම පරක්කු උනහම එකතු වෙච්ච කුණුවලට අත්වෙන ඉරණම.

      අහකදාන මොන වගේ බල්බ් ද බස්සි? CFL ?? ඒවා බිඳෙනවා කියන්නේ සයනයිඩ් මිශ්‍ර උග්‍ර විසක් මුදාහැරෙනවා කියන එක. මම නම් හිතන්නේ ඔයා කියන්නේ අර සාමාන්‍ය විදුලි බල්බ වෙන්න ඕනේ. දාමුකෝ බලන්න පෝස්ටුව!

      කුණු පුච්චන අයගේ බලන්න එපෑ වරුනාව! එයාල හිතන්නේ කුණු ටිකට ගින්දර තිබ්බම එයාල මාර වීරයෝ ජාතියක් වෙනවා කියල.. කුණු ටික අළු කරනවා කියන්නේ විසඳුම වගේ..

      මේ.. මේ.... ඔන්න ඉතින් ආව උස ගැන කියන්න! හැප් කිව්වේ... ඒකට තමයි බක්කියේ පින්තුරය දැම්මේ ( ඒ හා සමාන) කිව්වට ඉතින් ඉනට වඩා උසයි. මොකද ඉතින් මම උරහිස තරම් උසයි කියල ඉල්ලන් කන්නද මට කියන්නේ?

      Delete
    3. අඩේ ඔව් ඔව්. සී.එෆ්.එල්. නම් බිඳුන ඒවා ගන්න බෑ. ගොඩක් පාවිච්චි වෙන්නෙ අර සාමාන්‍ය බලුප් තමයි. මදේ අයින් කරලා ඇතුලෙ පොඩි කැටයම් පාරක් රිංගවන්න පුලුවන්.

      Delete
    4. දැන් ගොඩක් පාවිච්චි කරන්නේ CFL බල්බ. නැද්ද බස්සි ඒවගෙන් කරන්න පුළුවන් නිර්මාණ?

      Delete
  2. කැන්ඩි

    ඉතාමත් වටින මාතෘකාවක්. මගේ රස්සාවේ හැටියටත් හෘද සාක්ශියට අනුවත් මටත් ලොකුම හිසරදයක් තමයි මේ කුණු.

    waste management වලදි අපි නිතරම කතා කරන දෙයක් තමයි Reduce, Re-use, Recycle කියන්නේ. නමුත් අවාසනාවකට වගේ ගොඩාක් දෙනෙක් Recycle ගැන අවධානය යොමු කරාට Reduce සහ Re-use කියන එක, නැත්නම් කරන්න පහසුම දේ ගැන සැළකිළිමත් නෑ. ඒ ගන වැඩිපුර දැනුවත් කිරීම් කල යුතුයි. එසේම සෞඛ්‍ය ගැටලු ගැනත්..

    මගේ වපසරිය ඇතුලෙ නම් මම මේ ටික කරනවා.. ගෙදර කුණුත් මම බින් 3කට වෙනම එකතු කරනව Biodegradable, Plastic/Polythene සහ Paper waste විදියට.. ලොරිය එනකම් ඉන්නේ නෑ. දවස් දෙක තුනකට සැරයක් පිරිල තියෙනෙ මලු ටික ගෙනත් සයිට් එකේ waste bin වලටම දානවා..

    මගේ ප්‍රශ්ණෙත් සයිට් එකෙන්ම ඉවරයි!! ජය ශ්‍රී!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ මේ කොමෙන්ටුවට.

      ඇත්තටම මගේ අත්දැකීමේ ප්‍රමානේ හැටියට ඔහොම කුණු වර්ගීකරණයක් කරන්න බැහැ ගෘහස්ත කුණු බැහැර කිරීම් වලදී. ඒ කියන්නේ අපේ පැත්තට එන කුණු ලොරි වලට අපි ඔහොම කුණු වෙන වෙනම දුන්නත්, එයාල ගත්ත ගමන් කුණු බෑග් එක කඩලා ( Garbage bag) ඒකෙ කුණු ටික ට්‍රක් එක ඇතුලට හලලා තලනවා. දිරන, නොදිරන සියල්ල එකට. ඉතින් අපි වෙනම දුන්නට වැඩක් තියෙනවද?

      නුවර නම් ඒ අතින් ( අපේ ගෙවල් හරියේ) වැදගත් වැඩපිළිවෙලක් යනවා. එයාල දවසක් ඇර දවසක් දිරන ජාතිත්, සතියකට වතාවක් නොදිරන ජාතිත් විදියට වෙන වෙනම ගෙනියන්නේ. එකතු කරන්න එන මිනිස්සු කොළඹ වගේ 'යක්ස' පැවතුමක් දක්වන්නේ නැහැ.

      මමත් දැන් ගෙවල් හරියට එන කුණු ලොරියෙන් මිදිලා දවසක් ඇර දවසක් වැඩට යන ගමන් කුණු 'පිළිවෙලට' දමන තැනක් භාවිතා කරනවා. යෝගට් කෝප්ප , හිස් ටින් (සැමන් ) වගේ දේවල් වතුර එකතු නොවෙන විදියට චප්ප කරන්න මම පුරුදු උනේ දැනට වසරකට විතර කලින් ඉඳල.

      Delete
  3. කුණු ගැන දැනට නම් අපිට ප්‍රශනයක් නෑ .. එපාර්ට්මන්ට් එකේ අපි ඉන්න තට්ටුවේ තියෙන කුණු කාමරේ තියෙන තඩි කුණු බක්කියට ගිහින් දාන්න විතරයි තියෙන්නේ ...

    ලංකාවේ ඉන්න කාලේදී ඔය සතියකට සැරයක් එන කුණු ලොරියේ ආතල් හොඳට දැකල තියෙනවා ...බඳින්න කලින් ගෙදර ඉන්න කාලේ නම් වලවල් කපල කුණු දැම්ම .. කොම්පෝස්ට් හැදුව ... පිච්චුව .. ඕනේ එකක් කරන්න ගෙදර ඉඩ තිබුන ..

    පොලිතින් බෑග් කතාව නම් කියල වැඩක් නෑ .. අපි ඉතින් අමුතුවෙන් කුණු දාන්න බැග් ගන්නේ නෑ .. බඩු ගේන බැග්ස් ම කුණු බැග් කරනවා .. හැබැයි මෙහෙ සෙනසුරාදාට ෂොපින් ගියාම කැෂියර් අහනවා බැග්ස් ඕනෙද කියල මොකද සෙනසුරාදට එක බෑග් එකකට මෙහෙ සල්ලිවලින් සත 20ක් .. රුපියල් නම් 8ක් විතර අය කරනවා ....

    ReplyDelete
    Replies
    1. පළමු වාක්‍යයෙන් පෙන්නුම් කරන්නේ ඔබ දැන් ඉන්නා රටේ කුණු පිළිබඳව ඇති සැලකිල්ලයි. ඒ කියන්නේ ඔබේ කුණු කළමනාකරණය කොහොම උනත් රට නියමාකාරයෙන් එය කළමනාකරණය කරන බවයි.

      දෙවන ජේදයෙන් කියවෙන්නේ ඒ කතාවේ අනික්පැත්තයි, ඒ කියන්නේ එය 'ඔබ විසින්ම' විසඳාගතයුතු 'ප්‍රශ්නයක්' ලෙස තිබිලා තියෙනවා. ඒ තමයි පුංචි ලංකාවේ තත්වය. සියළු දෙනාට එක බාසාවකින් හෝ අවම වශයෙන් බාසා දෙකක් මගින් කතාකරන්න පුළුවන් රටක, රටේ සමහර යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරිල්ලේ ඇති 'දැවැන්ත' අඩුපාඩු.

      ඔබේ ඒ කැෂියර් වගේ අය අපේ රටෙත් ඉන්නවා නම් ( එහෙම පුහුණු කරනවා නම් ) හෝ පෙරසේ දැනෙන මිලක් ෂොපින් කවර වලින් අය කරනවා නම්... දෙයාකාරයකින් අපිට බලපෑමක් කරන්න පුළුවන්. ඇයි ඒ විතරක්ද?? එහෙම මිලක් ඉල්ලුවේ නැතුවත්, කැෂියර් එහෙම කිව්වේ නැතත්... අපිට හිතන්නත් පුළුවන් නේ?

      ස්තුතියි අදහසට

      Delete
  4. කුණු කතාවට කුණු පිළිතුරක් පස්සේ දෙන්නම්

    ReplyDelete
    Replies
    1. පිළිතුර කුණු කාණුවේ දැම්මද?

      Delete
  5. අපේ ගෙදර තත්ත්වේ ඔයිට වෙනස්. අපි සෙට් එකම කඩේකට ගියොත් ගත්තු බඩු වලට ෂොපින් බෑග් අත්‍යවශ්‍ය නැත්නම් ඒ ටික ආපහු තියලා එන්නේ කඩේම! වාහනේ එහෙම ගිහාම ඔය බෑග් ඕනේ නෑනේ වැඩිය.
    ඊළඟට කොම්පෝස්ට් බින් එක. ඉඳුල් නෙවෙයි මොනවා දැම්මත් ඕක ගඳ ගහන්නේ නෑ හරියට නිසි ප්‍රමිතියෙන් තියෙන බින් එකකට නිසි ආකාරයෙන් කුණු බැහැර කරනවානම්. පුළුවන් නම් සති දෙකකට පාරක් වගේ බින් එකට යූරීයා දිය කරලා පොඩ්ඩක් ඉහින්න. (eco friendly ම වැඩේ තමයි අමු ගොම ටිකක් දාන එක. හැබැයි ටවුන් වල කොයින්ද අමු ගොම.) කවදාවත් පොල් කුඩු දාන්න එපා කොම්පෝස්ට් බින් එකට. හරියටම මාසෙකට සැරයක් යට තියෙන පියනෙන් පොහොර අයින් කරගන්න පුළුවන්. ටිකක් වෙලාගෙන පොහොර කවරෙකට දාල අරං තියා ගන්න.

    ReplyDelete
    Replies
    1. නියමයි නාඩි...
      බින් එක සම්බන්ධයෙන් නම්, මම භාවිතා කරන්නේ ආර්පිකෝ එකේ ප්ලාස්ටික් බින් එක. මම හිතන්නේ සිමෙන්ති එක තරම් සාර්ථක නැහැ කියල. මමත් යුරියා දියකරලා දානවා. ඒකෙන් මගේ මල්පැල වලට පොහොර ලැබෙනවා. ඉඳුල් දැම්මම ( පොල් කුඩු මමත් දාන්නේ නැහැ) මට ගඳක් දැනුනා. එකපාරින්ම මම ඒ හින්ද නතර කළා. ආපහු උත්සහ කරන්න ඕනේ.

      ප්ලාස්ටික් , පොලිතින් වලට මොකද කරන්නේ?

      Delete
    2. ප්ලාස්ටික් පොලොතින් කඩෙන් ගේනවනම් හරිම අඩුයි. රැපින් වලට එන ඒවා එහෙම ඔක්කොම එකතු කරලා කුණු ලොරියට දෙන එක තමයි කරන්නේ ඒවාට නම්. වෙන කරන්න දෙයක් නම් හොයාගන්න බැරි උනා තාම, හරිම හිසරදයක් පොලිතින් නම්

      Delete
    3. එකනේ නාඩි. සමහර ගේන බඩුවල තියෙන්නේ කඩදාසි නොවන, පොලිතිනුත් නොවන කවර. වතුරට ඔරොත්තු දෙන සබන් කොළ, නැවුම් එළකිරි බෝතල් වගේ.

      Delete
  6. මේ කුණු ප්‍රශ්නයට හරි හමන් කුණු උත්තරයක් තියෙනවාද මන්දා. හැබැයි ගෙවල් වලින් එකතුවෙන කුණු එකතුකිරීම බොහෝ යුරෝපීය රටවල ක්‍රමවත්ව වෙනවා. නමුත් ඒවා එතනින් පස්සේ අපි වෙන් කරන ආකාරයටම ෆයිනල් පොයින්ට් එකේදී ඒ අයුරින්ම වෙනවාද කියන එක ගැන ලොකු සාකච්ඡාවක් තියෙනවා. අපේ වගේ රටවල්වල හරිම ක්‍රමවත් විදිහට කරන ප්‍රාදේශීය සභාත් තියෙන බව අහලා තියෙනවා. මිනිස්සු හැටියට අපිටත් මේ ගැන ලොකු වගකීමක් තියෙනවා. වගකීම් බාරගන්න නම් හෝ වගකීම් සුරකින්නටත් විනයක් තියෙන්න එපැයි. බලන්න මැයි දින රැලියකට පස්සේ ඒ ග්‍රවුන්ඩ් එකේ තත්වේ. ජේවීපි මැයි දින රැලියකට පස්සේ, ඒ ග්‍රවුන්ඩ් එකයි, අනිත් ඒවාගේ තත්වෙයි මේ ගැන විමසිලිමත් කෙනෙක් මට දවසක් ෆොටෝ සමග පෙන්නුවා. මට පක්ෂ වැඩක් නැහැ. නමුත් විනයක් තියෙන්න එපැයි.

    මෙහේ සමහර සුපර්මාකට්ස් වල පොලිතින් බෑග් එකක් අවශ්‍ය නම් පොඩි ගානක් ගෙවන්න වෙනවා. ඒක හොඳයි. අපි ගොඩාක් දුරට කාලයක් භාවිතා කරන පුලුවන් විශාල බෑග් අරන් යනවා බඩු දාගෙන එන්න. මේක වඩාත් පතුලට බැහැලා කතා කලයුතු සබ්ජෙක්ට් එකක්. අපිටත් විශාල වගකීමක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අපිත් පොලිතින් බෑග් අයින් කරන්න ට්‍රයි කළා අරෑ... ඒත් එක පැත්තකින් කඩදාසි බෑග් වලට ලොකු වියදමක් යනව... අනිත් එක කඩදාසි බෑග් එක දුන්නම පොලිතින් බෑග් එකකුත් ඉල්ලන මිනිස්සු වැඩියි.... බොහොම කීපදෙනයි පොලිතින් බෑග් එපා කියන්නෙ...

      රීසයිකල් පේපර්ස් වලින් අපිම බෑග් හදන්න අයිඩියා එකක් තියෙනව... ඒක හරි ගියොත් නං ලොකු ගානක් ගන්නෙ නැතුව කඩදාසි බෑග් එකක දාලා කේක් දෙන්න පුළුවන්... ඒත් ඒකටත් අපේ මිනිස්සුන්ට පුරුදු කරවන්න ලොකු සටනක් කරන්න වෙයි....

      Delete
    2. අරූ : ඇත්තටම උත්තරේ කොටසක් අපේ අතේ තියෙන්නේ. නගරසභාවෙන් කෙරෙන කොටස් වල වැඩිපුර තියෙන්නේ අඩුපාඩු. ඒවා ගියාවේ.. මගේ නම් අදහස, අපිට කරන්න පුළුවන් කොටස අපි ඉටුකරන්න ඕනේ කියල. මේ ගොඩක් දේවල් වලට මුදල් වැයවෙන්නේ නැතිම තරම්. ඒ හින්ද දුප්පත්කම බාධාවක් නෙවෙයි මේ යාන්ත්‍රණය සහ වගකීම ඉෂ්ඨ කරන්න.

      ඉදිරියට අපේ රටේ තට්ටු ගෙවල් තමයි වැඩිපුර එන්නේ. කොළඹ තදාසන්න ප්‍රදේශවල ඔහේ අටවගන්නා පැල්පත්වාසීන් නිවාස ව්‍යපෘති වලින් ලොකු තට්ටු නිවාස වලට ඒකරාශී කරනවා. එතකොට තත්වේ තවත් උග්‍ර වෙනවා. ඒ කියන්නේ පහලම තට්ටුවේ උන්ට ඇරෙන්නට උද ඉන්න කිසිවෙකුට පොලවේ කොටසක් නැහැ. ඒ හින්දා දිරන, නොදිරන සියල්ල 'කුණු' විදියට විසි කරනවා. ( කොහෙට හරි) මිනිසුන්ගේ ආකල්පමය සංවර්ධනයක් අවශ්‍යවන්නේ එතැනදී.

      මම මේ කාරණේ ලිව්වේ අරමුණු කීපයක් මුල් කරගෙන
      1. අපි හිතන්නේ නැහැ - හිතන්න පොඩි ඉඩක් දෙන්න
      2. අපි කරන්නේ නැහැ - අනිත් අය මේ සම්බන්ධයෙන් කරන දේවල් බෙදා ගන්න සාකච්චාවක් සඳහා මේසයක් සාදන්න. මොකද සමහරු හිතනවා මේ ගැන කරන්න පුළුවන් යමක් 'ඇත්තෙම නැහැ'. අනිත් එක ඒක නගරසභාවේ හෝ පාලක කොටසේ වැඩක් 'විතරයි' කියල. ඇත්තෙන්ම එහෙම නැහැ.
      3. අපි දන්නේ නැහැ - පොඩි වෙනසකින් ලොකු බලපෑමක් ඇතිවෙනවා.

      මම කැමතියි අරූ අත්දැකපු/කරපු දේවල් මේ සම්බන්ධයෙන් කියනවා නම්.

      Delete
    3. හිරු : අන්න මම කිව්වා වගේ කඩදාසි දෙන්න හැදුවම පොලිතින්ම ඉල්ලන පාරිභෝගික ජනතාවක් ඉන්න ව්‍යාපාරිකාවක්! එතකොට තමයි 'අය කිරිල්ල' අවශ්‍යම කාරණයක් වෙන්නේ. නැතුව එහෙම මොළ වලට බෙහෙත් දෙන්න අමාරුයි.

      Delete
    4. උපේක්ෂා.....ගෘහ ඒකකයක් හැටියට ගත්තොත් අපට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි ඉවතලන දේ අවම කිරීම සහ රීසයික්ලින් කෙරෙහි අවබෝධයෙන් දායකවීම. ඒ සඳහා සියළු දායකත්වය ඒ ඒ ආයතනවලින් දක්වනවා. ගෙවල් දාස් ගණනකින් ඉවතලන කසළ ප්‍රමානයට වඩා වැඩි ප්‍රමානයක් එක සුපර්මාකට් එකකින් එක දවසකට පිට කරනවා. මින් බොහෝමයක් පොලිතීන් සහ කාඩ්බෝඩ්. ඒවා රිසයිකල් වෙනවා. ඒ වගේම විශාල ප්‍රමානයක් කෑම වර්ග(Daily out of dated products)දිනපතා මේ ගොඩට එකතුවෙනවා. ඒකත් විශාල ප්‍රශ්නයක්. මේවාට නොයෙකුත් හේතු තියෙනවා, ඇනවුම් කිරීමේ ඇති සේවක නොසෑල්කිල්ල, කාලගුනික වෙනස්වීම් ආදි වශයෙන්. නමුත් විශාල සුප්‍රමාකට්ස් වලනම් මේ වෙනුවෙන් යම් යම් ක්‍රමවේදයන් මගින් ඇනවුම් පාලනය කරනා ක්‍රමවේදයන් තියෙනවා. ඔබ විශ්වාස කරන්න ....උදාහරනයකට,කන්ටේනරයක් පිරෙන්න බඩු ආවොත් කඩේකට, ඒ බඩු රාක්ක වලට ඇසුරූ පසු ඉවතලන කාඩ්බෝඩ් සහ පොලිතින් නැවත කන්ටේනර් භාගයක්වත් ඉතිරිවෙනවා. මේවා නැවත සපයන්නන් විසින්ම රැගෙන යෑම වෙනත් කතාවක්. පැකේජින්ග් අවම කිරීම ලොකු වගකීමක්. මම කාලයක් සුපර්මාකට් ෆීල්ඩ් එකේ හිටිය නිසා මේ ප්‍රශ්නයට මුහුණදී තිබෙනවා.

      Delete
  7. අපිටත් ඔය කුණු කේස් එක තියෙනවනෙ... එහෙ තියෙන කේස් එක නගර සබාවට කුණු දාන්න ඉඩමක් නැති හින්ද කුණු ගෙනියන්නෙ නැති එක... ගෙවල් වල කුණු නං මොනා හරි කරගත්තෑකි.. ඒත් මේ කඩේ ඒවා.... ? අපි කඩ දෙකක් තුනක් එකතු වෙලා ඉතිං කරන්නෙ දිරන කුණු ටික එකතු කරල සතියකට සැරයක් අපේම හිස් ඉඩමක වලලන එක... එහෙම තැන් දෙක තුනක්ම තියෙන නිසා එක ඉඩමක කුණු වැලලෙන්නෙ මාසෙකට විතර සැරයක්... එච්චරම අවුලක් නෑ...

    ඒත් නොදිරන ඒවා....?

    ඒකට හොඳ වැඩක් කළා... එක්කෙනෙක් පොලිතින් රීසයිකල් කරන මැෂිමක් ගත්තා... අපිට තියෙන්නෙ පොලිතින් ටික සුද්ද කරලා එයාට දෙන්න... තව එක්කෙනෙක් කඩදාසි රීසයිකල් කරන මැෂිමක් ගත්තා... තව ඉතුරු වෙලා තියෙන්නෙ මේ ප්ලාස්ටික් බෝතල් වලට මොකද කරන්නෙ කියන එක තමයි....

    මේ පෝස්ට් එක දැක්කම තමා මේ කතාව ලියන්න ඕනෙ කියල මතක් උනේ.... හි හි....

    ReplyDelete
    Replies
    1. හිරු : දෙවැනි වාක්‍යයේම තියෙනවා කොතනද වැරැද්ද කියන එක ( කවුද වැරදි නෙවෙයි, කොතනද වැරැද්ද)

      //එහෙ තියෙන කේස් එක නගර සබාවට කුණු දාන්න ඉඩමක් නැති හින්ද කුණු ගෙනියන්නෙ නැති එක...//

      කුණු කියන්නේ එකතු කරගෙන ගිහින් තවත් තැනකට 'විසිකරලා' අත්දෙක පිහාගන්න ඕනේ දෙයක් නෙවෙයි. වෙලාවට එහෙම ඉඩමක් නැත්තේ.. ඇත්තම් අවට මිනිස්සු ජිවත් වෙන්නේ කොහොමද?

      ඔයාලට එහෙම හිස් ඉඩම් තියන හින්ද හොඳයි. එහෙම තියෙන මම දන්නා අනිත් උන් නම් කරන්නේ අල්ලපු වත්තට විසිකරලා අත් පිහාගන්න එක.

      Delete
  8. කුණු ගැන අපිත් මීට කලින් කනුකුනු ගෑවා. ඒත් වැඩක් නෑ.. පුද්ගලිකව ඒ වගකීම තමා බාර නොගන්නා තෙක් ගොඩ වීමක් නැහැ..

    ReplyDelete
    Replies
    1. ඔව් දේශකයා... අනිවාර්යයෙන් තමුන්ගේ කොටස ඉෂ්ට කරන්න වෙනවා.

      අපිට කියන්නකෝ දේශකයා කරන ( ඇත්තටම ඕක කරනවා ඇත්තේ දේශිකා වෙන්න ඕනේ.. හෙහ්..) දේවල් මොනවද මේ කුණු සම්බන්ධයෙන්? නෑ.. නෑ.. රටේ කුණු නෙවෙයි... ගෙදර ගෙදර

      Delete
  9. ඒකනෙ අපි වගේ ගමේම ඉන්ට කියන්නෙ
    එහෙම නැත්තං කරන්න තියෙන්නෙ තමන්නෙ කුණු කම් ආත්මාර්තකාමීකම් එක පාරකට විතරක් නොසලකා හැරල කුණු ටික නිසි ස්තානයකට බැහැර කරනෙක
    උදාහරනෙකට
    මහපාරක් ගගක් බොක්කුවක් වගේ තැනකට
    හිහි

    ReplyDelete
    Replies
    1. ගමේ හිටියා කියල ඕක බලපාන්නේ නැහැ කියන තර්කය පුස්සක්... එක්කෝ ඔයාලත් කොහෙට හරි විසිකරනවා...

      හෙහ්... නිසි ඉස්තානේ.... මොකටද මගේ කට! ඔයා වගේ අයට ඒ වගේ තැන්වල ගහල තියෙනවා දැන්වීම්... මෙන්න මේ වගේ

      'කුණු දැම්මොත් ගුටි'
      'මෙහි කුණු දැමීම බල්ලන්ට පමණයි'
      'මෙතන කුණු දාපු එකාගේ අම්මට *****'

      හා.. හා.. ඇති ඇති....

      Delete
    2. අපි කැම්පස් එක ගාව පාරක කෙලවරේ ගහල තිබුනා
      "මෙහි කුණු දැමීම 'බැල්ලියන්ට' පමණයි" කියලා.
      බලද්දි ඒ පාරෙ තියෙන්නෙ ගෑණු ළමයින්ගෙ බෝඩිම් විතරයි ලු.

      Delete
    3. බස්සි : මම නම් ඔය වගේ දැන්වීම් දැකල තියෙන්නේ එක එක වර්ගයෙන්. සමහර ඒවා ආයාචනාත්මකයි. සමහර ඒවා තර්ජනාත්මකයි. සමහර ඒවා හිනා යනවා.

      මේ කොහොම ලීවත් ඒ හැම එකෙන්ම හැඟෙන්නේ කුණු දැමීමට තියෙන අප්‍රසාදය. මම නම් හිතන්නේ ප්‍රධාන පාරවල් වලවත් නිසි ආකාරයෙන් වැසුණු පියන් සහිත ලොකු කුණු බක්කි සෑම මීටර් පන්සියයකට වත් ලබාදෙනවා නම්, මිනිස්සු තමන්ගේ කුණු ඒවාට දමන්නට පෙළඹේවි. දැනට නම් කරන්නේ තියෙන ඒවත් ඉවත් කිරිල්ල.

      Delete
  10. ඔය කුණු ප්‍රස්නේ නිසාම අපි කුණු එකතු කරන්නේ වෙන වෙනම, කඩදාසි වගේ දේවල් පුච්චනවා, ඉදුල් වගේ නරක වෙන ඒවා වෙනම, කෑම එකක් කඩෙන් ගෙනාවත් හොදි පැකට් එක,බත් කොලේ දෙකම හෝදලා තමයි විසික්කරන්නේ, නැත්නම් ඒවා පොලිතින් විදිහට වර්ග කරන්න බෑ. පුළුවන් තරම් පොලිතින් බෑග් නැවත පාවිච්චි කරනවා. අපි වගකීම ගත්තේ නැත්තං කවදාවත් මේක විසදන්න බෑ.

    ReplyDelete
    Replies
    1. නියමයි නිමෝ. ඔබේ ක්‍රියාව අගය කරනවා.

      මමත් හිතන්නේ ඔය බැහැර කරන නොදිරන දේවල් ප්‍රතිචක්‍රීකරණය කරන්න තියෙන බාධාව තමයි ඒ පොලිතින් ජාති අපිරිසිඳු වීම. අනේ පච කියන්නේ මොකටද, මම නම් හෝදන්නේ නැතුව තමයි විසි කරන්නේ. මමත් කැමතියි වෙනස් වෙන්න. මම ඉදිරියට උත්සහ කරනවා ඔබ 'දැනටමත්' ක්‍රියාත්මක කරන දේ අනුගමනය කරන්න.

      hats off my friend!

      Delete
    2. මට මේ දේ පුරුදු කලේ අපේ අම්මා.

      Delete
    3. ඇයට මගේ විශේෂ ස්තුතිය.

      මම මේ කල්පනා කලේ, මේ පුරුද්ද පුරුදු කලේ ඔබේ අම්මා නම්, ඇය මේ පුරුද්ද මිට අවුරුදු ගානකට කලින් පටන් කරමින් සිට තිබෙනවා. කොතරම් අගනේද? ඇත්තටම ඇය අපෙන් වන හානිය මකන්නට කරපු ඒ සත් ක්‍රියාවට මට පුදුම ලෙන්ගතුකමක් ඇතිවෙන්නේ. දැක්කද, එය පුරුද්දක් වශයෙන් දියුණු කරගත්තම ඇත්තටම අපහසුවක් දැනෙන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ ජරා පුරුදු වලින් මිදෙන්න බැරිකම.

      Delete
    4. පොඩි දෙයක් එකතු කරන්නම්, ඔය හොදි ගෑවුන පොලිතින්/ප්ලාස්ටික් හේදීමට යන වතුර ප්‍රමාණය (නල මගින් එනවා නම්) හා එයින් බලාපොරොත්තු වන පාරිසාරික හානි අවම කිරීම යන්න තරාදියේ දෙපැත්තට දැමුවොත්, වඩා නරක ජල නාස්තියයි.

      Delete
    5. රයිගම්: හ්ම්ම්.. මම හරි කැමතියි මේ අදහස් හුවමාරුවට! ඇත්තෙන්ම අපි හිතන්න ඕනේ.... කොහොමද හොදි නොගෑවෙන්න ෂොපින් කවර යොදාගන්නේ... කඩෙන් ගේන කෑම , අපෙන් ගෙනියන කෑම පෙට්ටි වලට ඉල්ලනවද?

      අනිත් තව දෙයක් මට අමතක උනා. කඩෙන් දෙනකොට ලබාදෙන අර සුදුපාට නොදිරන කෑම පෙට්ටිය... පුදුම පරිසර විනාශයක්! මම දැක්ක එකපාරක් අපේ රටේ ලොක්කගේ රැස්වීමකට බස් පෙරහැරක් ඇවිත් ( මැයි දිනේද කොහෙද) , අවසානෙදි පාර දෙපැත්තේ තිබ්බ මේ නොදිරන පෙට්ටි...

      Delete
    6. ජල නාස්තියක් සිදුකරන්නේ නෑ රයිගම්, අපේ සින්ක් එකේ ඇතුලේ පොඩි භාජනයක් තියලා තියෙනවා. හැමෝම අවශ්‍ය දේවල් කරගන්නකොට යම්කිසි ජලය ප්‍රමාණයක් ඒක තුල එකතුවෙනවා. (කෑවම අපි අනිවාර්යෙන්ම අත හෝදනවනේ) අවසානෙට ඔය වතුර ටිකෙන් තමයි හොදි පැකට්, බත් කොළ හෝදන්නේ. අනික අපි භාවිතා කරන්නේ ළිදේ වතුර. එහෙමයි කියලා ජලය නාස්ති කොලොත් ටැංකියට ජලය නැවත පුරවන්න විදුලිය නාස්ති කරන්න වෙනවා. කෙසේ හෝ හානිය වලක්වා ගන්න බැරිනම් අවම හෝ කරගත් යුතුයි.

      Delete
    7. නිමෝ: මමත් මේ ගැන හිතුවා. ඒ කියන්නේ ඔහොම එකතුකරගෙන යන පොලිතින් අපි හිතමු හොඳින් පිරිසිඳු වෙලා නැති ඒවාත් තිබෙනවා කියල. ( අතපසුවීමකින් හෝ වෙනත් නොවැලැක්විය හැකි හේතුවක් නිසා )

      එතකොටත් අපි සාමුහික වශයෙන් සේදීමක් ඕනේ කරනවා නේද ප්‍රතිචක්රිකරණයේ මුල්ම පියවර වශයෙන්? එය ජල නාස්තියක් යයි අපිට කියන්න පුළුවන්ද? මම හිතන්නේ එය ඒ නිර්වචනයෙන් මුදවාගත යුතුයි කියලා. නැත්තම් ආසියාතික රටවල් බොහොමයක තියෙන වැසිකිලි සම්ප්‍රදායයන් ඔක්කොම 'ජල නාස්ති' ගණයට ගන්න වෙයි...

      Delete
    8. නිමෝ, මා කියුවේ මේකයි. මොකද අප ද්‍රව්‍ය ප්‍රතිචරිකරණය කරන්නේ? පරිසරය හැඩි වෙන එක වලක්වා ගන්න විතරක් නොවේ. සම්පත් නැවත භාවිතාවට ගන්නයි, බලශක්තිය සුරකින්නයි (ඒ කියන්නේ ලෝකය වඩාත් තිරාසාර තැනක් කරන එක). ලෝකයේ බලශක්තිය නිපදවීම මගින් තමා වැඩි පරිසර දුෂණයක් සිදු වන්නේ. දැන් පොලිතීන් නැවත පාවිච්චියට (ප්‍රතිචක්රිකරණයට) ගන්න වැය වන බලශක්තිය (මුළු ක්‍රියාවලියටම; එතකොට වතුර ගන්න විදුලියත් ඇතුලත්), අලුත් අමුද්‍රව්‍ය යොදා පොලිතින් හදන බලශක්තියට වැඩි නම්, ලෝකේ සුරකින්න දෙවෙනි ක්‍රමය වඩාත් යෝග්‍යයි.

      අර ලෙඩේට වඩා බේත සැරයි හෝ ලෙඩා මලත් බඩ සුද්දයි අවස්ථා වලට යන්න අවශ්‍ය නැහැ. අපේ නම් ප්ලාස්ටික් කොළ (ලංකාවේ කියන්නේ පොලිතීන් කොළ/බෑග්) අර ප්‍රතිචක්රිකරන බඳුනට දාන්න එපා කියනවා. එකක් තමා මේවා පිරිසිදු කරන්න අපහසුයි. එයට වැය කරන්නට වන පිරිවැය වැඩියි.

      මා ඔබ කරන වැඩේ නවත්වන්න කියනවා නොවේ. රටවල් අතර තත්ත්ව වෙනස්.

      Delete
    9. රයිගම්: ඔබ නිමෝට උත්තර දුන්නට මට යමක් කියන්න හිතුනා ඔබ ඉදිරිපත් කරලා තියෙන අදහස් ගැන.

      ඔව්... බලශක්තිය ඉතුරු කරගැනිල්ල තමයි මුලික කාරනාව ඔය ප්‍රතිචක්‍රීකරණය කිරිල්ලට. නමුත් මම අත්දැකලා තියෙන දෙයක් ( මගේ පරිසරය ඇතුලත ) ප්‍රතිචක්‍රීකරණය කරන ලද දේවල් වලින් නිමවූ භාණ්ඩ , එහෙම නොවන භාණ්ඩ වලට සාපේක්ෂව කොහොමත් මිලෙන් වැඩියි. (ලංකාවේ නම් ප්‍රතිචක්‍රීකරණය කරන ලද කඩදාසි , සාමාන්‍ය කඩදාසි වලට වඩා මිලෙන් වැඩියි. ඒකට හේතුව ලංකාවේ ඒ සඳහා දරන්න වන පිරිවැය වැඩි හින්දද කියන්න මම හරියටම දන්නේ නැහැ ) ඉතින් මුලික කාරනාව එතැනදී බොරු වෙනවා නේද? මට පැහැදිලි මදි ඒ හින්ද..

      ඔබ ඉන්නා රටේ ප්‍රතිචක්‍රීකරණය කරන බඳුන් වලට ප්ලාස්ටික් හෝ පොලිතින් දමන්න එපා නම්, ඒවා කොහෙද දමන්නේ? කුමක්ද කලයුත්තේ ඒවාට? ඇත්තටම මොනවාද ඒවාට කරන්නේ සහ කලයුත්තේ?

      මම මේ අහන්නේ ඔබව ප්‍රශ්න කිරිල්ලක් නෙවෙයි, දැනුම හුවමාරුවක් විදියට එකිනෙකාගේ අත්දැකීම්, අදහස් හුවමාරු වන්නට සැලැස්වීම..

      Delete
    10. මාව ප්‍රශ්න කෙරුවට කමක් නැහැ උපේක්ෂා. මා නිතරම ලියන දෙයක් තමා කරුණු ඇතුව යමක් කියනවා නම්, මා ඕනේ වෙලාවක පිළිගන්න සුදානම්. ප්‍රතිචක්‍රීකරණය ගැන මා ලියන කරුණු පොත පත මත පමණක් නොවේ පදනම් ව ඇත්තේ. ඉතිං ඕවයේ වැඩ වෙන හැටි මා ටිකක් දන්නවා. මා බ්ලොගයේ වෙනම ලියන්නම්.

      ඔබ කියන කතාව ඇත්ත. හරිනම් ප්‍රතිචරිකරණය කරපුවා මිලෙන් අඩු වෙන්න ඕනේ. බොහෝ විට මෙහෙ නම් එහෙමයි. හැබැයි හැම වෙලාවෙම නැහැ. මේක ලොකු බිස්නස් එකක්. අර කාබනික කෘෂිකර්මය වගේම තමා. දැන් දියුණු වෙමින් පවතින රටවල, ප්‍රතිචක්‍රීකරණය නිකම් ප්‍රචාරක උපක්‍රමයක්. ත් කඩදාසි, කොම්පෝස්ට්, ප්‍රතිචරිකෘත කඩදාසි යනාදී වශයෙන්. මේවා නිපදවීමට යන පිරි වැය වැඩියි. අතින් කාල ණයට හරක් බලන්නේ. අන්න ඒ වගේ. නමුත් සමහර ආයතන ප්‍රචාරක අරමුණු වෙනුවෙන් හා "අධිරාජ්‍ය වාදී රටවලින්" මුල්‍යමය ආධාර ගන්න මෙවැනි ව්‍යාපෘති කරනවා. සංචාරක කරමාන්තයේ "පාරිසරික සංචාරක" අංශයේ කටයුත්තක් හැටියටත් මේවා කරනවා. ඔබ කියන්න වගේ පරිසරයට සෙතක් නැහැ.
      මේක මෙහෙම කරන්න පුළුවන්. ඒ කියන්නේ කුණු ලැබෙන්නේ නිකම්නේ (එකතු කිරීමට අප බදු ගෙවනවා තමා). නමුත් නගර සභාවට පුළුවන් එම කුණු නිකම් කුණු කන්දට යවන්නේ නැතුව ප්‍රතිචක්‍රීකරණ සමාගමක් එක්ව බිස්නස් එකක් පටන් ගන්න. හැබැයි ජනනය වන තැන දීම (ගෙවල් වල) වෙන් කිරීම කරන්න ඕනේ. නතුම මල ජරාව සේරම එකට එකතු කරලා, අර වගේ හෝදන්න ගියොත් නයට හරක් බැලිල්ලක්. මේවා රටේ පොදු සංවර්ධනයේ කොටස්. ජනතාවගේ ආකල්ප, පුරුදු හා දැනීම් වර්ධනය කිරීමක් එක දිගට දීර්ඝ කාලයක් කරන්න ඕනේ.

      ඕස්ට්‍රේලියාවේ, ප්ලාස්ටික් බෑග් කුණු කන්දට යනවා. මේවා විධිමත් ලෙස කළමනාකරණය කරන කුණු එකතු කිරීමේ මධ්‍යස්ථාන . එතනදිත් කුණු නැවත වෙන් කිරිල්ලක් සිදු වෙනවා. ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් ප්ලාස්ටික්, කඩදාසි හා බෝතල්/ඇලුමිනියම් කොහොමත් වෙනම එකතු කරනවා. මට බ්ලොගයේ යමක් ලියන්න, ඔබට පිළිතුරු දීපු නිසා නොහැකි වුණා. කියවන එක අයෙකුට යමක් ලියන එක වඩාත් ප්‍රයෝජනවත් කියා මා සිතනවා.

      Delete
  11. ඔබට පුළුවන්නේ උපේක්ෂා කුස්සියෙන් ඉවත දාන ඔය එළවලු කොටස් වගේ දේවලුත් අර කොම්පෝස්ට් බඳුනට දාන්න. ඉඳුල් දැමීම ප්‍රශ්නයක් තමා.
    අර අවුරුද්දේ 365 දවසෙම රජතුමාට බැනලා බ්ලොග් ලියල, චන්දයක් ආපුවහම කියනවා, මගේ චන්දෙත් එයාට කියල. එහෙනම් මොකටද බනින්නේ? අන්න ඒ වගේ තමා කුණු ප්‍රශ්නයත්. යහපාලනය හා රටක "කුණු ප්‍රශ්නය" තදින් බැඳී තියනවා.

    කොළඹ කුණු ප්‍රශ්නය විසඳීමට තරම් "ශක්‍යතා අධ්‍යයන" කරපු වෙනත් ප්‍රශ්නයක් ලෝකේ නැතුවත් ඇති. කොළඹ "ලස්සන කිරීම" හොඳ දෙයක් වුනත්, කුණු ප්‍රශ්නයට නම් මා දන්නා තරමින් තිරසාර විසඳුමක් නැහැ. මේවාට බනිමින් බ්ලොග් ලියන්න පුළුවන්. නමුත් උපේක්ෂා ඔබට තියනවා වගේ කොම්පෝස්ට් බඳුනක් පවත්වාගෙන යන්න, ලංකාවේ තියා මා ජිවත් වන රටේ වත් මිනිසුන් කල්පනා කරන්නේ නැහැ. එක ගෙදරකින් සතියකට කුණු කිලෝ එකක්, කුණු කන්දට යවන එක නැවතුවොත්, ගෙවල් දාහකින් සතියකට ටොන් එකක් අඩු වෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට ටොන් 50 ක්.
    හැමටම කරන්න බැහැ. නාගරිකව යම් පමණකට වත්තක් තියන ගෙවල් වලට පුළුවන්. එයිට අමතරව ප්ලාස්ටික්, බෝතල, යකඩ හා පත්තර සඳහා මහා ප්‍රතිචක්‍රීකරණ ආයතන අවශ්‍යයි. එවැනි තැන් තියනවා නම්, කුඩා පරිමාණයේ එකතු කරන්නන් ප්‍රාදේශීයව බිහි වෙනවා. පෞද්ගලික ආයෝජනයක් වුවත්, මහජන මුදල් ටිකක් යොදා එවැනි සමාගම් වලට ටිකක් අත දීමෙන් පාරිසරික විසඳෙනවා වගේම, තිරසාර ජිවිතයකට පාර කපනවා.

    අපට නම් මේ ප්‍රශ්න අඩුයි උපේක්ෂා. ඒ අපට හොඳා කුණු එකතු කිරීමේ සේවාවක් තියන නිසා. එයට අමතරව, අපේ ගෙදරින් ඉවත යන "කුණු" ප්‍රමාණය අවම කර තිබෙනවා. දැනට වසර තුනකට පමණ පෙර අපේ ප්‍රාන්තයේ සුපර්මාර්කට් වල ප්ලාස්ටික් බෑග් පාවිච්චිය තහනම් කෙරුවා. අද අප සාගත මලු භාවිතා කරනවා. මුලදී අමාරුයි. දැන් කවුරුත් හුරු වෙලා. Keep up your good work!

    ReplyDelete
    Replies
    1. රයිගම්: ඔබට මේක කිව යුතුයි. හිනා ගියාට කමක් නැහැ. මම ඒවා ගණන් ගන්නේ නැහැ.

      මම අද උදේ මුණ හෝදන ගමන් කල්පනා කළා මේ පොස්ටුවේ ගුණාත්මක සහ ප්‍රමාණාත්මක බව ගැන. මම කියන්න හදන දේ ඇත්තටම මිනිස්සුන්ගේ හිත ඇතුලට වැටහෙනවද කියලා. සංවාදයට නොඑළඹෙන්න කාරනාව තදින් කල්පනා කරලා, ඔබේ බ්ලොග් එකට ගොස් ඔබේ අදහස මෙහි ලියන්න කියන ආරාධනාව කරන්න හිතුනා. මොකවත් හින්ද නෙවෙයි, මට මේ ගැන තව අදහස්, මති මතාන්තර අවශ්‍යයි. ඔබේ අදහස මීට වඩා කොතරම් වෙනස්ද, වෙනස් ඇයිද කියල දැනගන්න මිසක් මම පොර කියල හිතන්න නෙවෙයි. පස්සේ ඒ අදහස අතඇරලා දැම්මා.. ලින්ක්ස් දාල ගෙන්නගන්න ලැජ්ජාවක් ඇතිවුනා.

      නැවත පෝස්ටුවේ කරුණට...

      ඔව්.. ඇත්ත.. මේවා විවේචනය කරමින් ( අද අප දේශපාලනය විවේචනය කරනවා වගේ ) දින ගණන් බ්ලොග් පිටු පුරවන්න පුළුවන්. නමුත් මමත් අගය කරන්නේ මේ අතුරින් තමුන් කරන දේ අනිත් අය සමග බෙදාගැනීමෙන් තවකෙකුට දැනුමක් ලබාදෙන එක. කෙනෙක් තමුන් දැනට ක්‍රියාත්මක කරන සරල, කල හැකි කුණු කළමනාකරණයක් මෙතැනදී බෙදාගැනීමෙන්.. මමත් දැනුවත් වෙනවා. අපිට ඕනේ දැනුවත් වෙන සමාජයක් මිසක් මති මතාන්තර ගැටෙමින් , කුලල්කාගනිමින් මාතෘකාව භක්ෂණය කිරීමෙන් ජිවත්වන පිරිසට ආහාර නොදෙන්නයි.

      මම දන්නා තරමින් පොල්කටු, ප්ලාස්ටික් බෝතල් ආදිය එකතු කිරීමේ මධ්‍යස්ථාන තිබෙනවා. ඒ තැන්වලට ගෙනිහින් දෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ඒ ක්‍රියාව තවත් සවිබලගන්වන්න ඕනේ කියල. ඒ මිනිස්සු දිරිගන්වන්න ( එකතු කරන) සහ ගෙනියන අය සඳහා පහසුකමක් ඇතිකරන්න පුලුවන්නම් හොඳ වේවි. ඒ කියන්නේ සතියකට හෝ දෙකකට වතාවක් එකතු කරන්නන් පැමිණ ගෙවල් වලින් ඒ දේවල් ගෙනියන්න වගේ...? ප්‍රැක්ටිකල් නැති වෙන්න පුළුවන්.. නමුත් 'යම් ක්‍රමයක්' වැඩකරයි...

      Delete
    2. ලංකාවේ දාන ගෙවල් වල පවා (පිඟන්) මැටි වලින් හදපු බත් පිඟාන, ප්ලාස්ටික් කොළයකින් ඔතල කන්න දීල, ඒ ඉටි කොලය අරන් දාල දෙවෙනි කෙනාට කන්න දෙනවා මා දුටුවා. ඔව්, අර ජලය සුරකින්න හොඳ ක්‍රමයක්. මට නම් හරිම අප්‍රිය වැඩක්. දැන් මා කලින් ලියුව දේ මෙතනට පටලවා ගන්න එපා. නාන්නේ නැතුව අපට ජලය සුරකින්න පුළුවන්. එය නොවේ මා කලින් කියුවේ.

      මේ ඉටි කොළ (ෂොපින් බෑග්) වල උණුසුම් කෑම දමා, කෑම කොතරම් සෞක්‍ය සම්පන්න ක්‍රියාවක්ද කියා සොයල තියනවාද මා දන්නේ නැහැ. ප්ලාස්ටික් බඳුන් වල උණුසුම් කෑම දැමීම, ප්ලාස්ටික් බඳුන් මයික්‍රෝ වේව් උදුන් වල කෑම සමග රත් කිරීම සම්බන්දයෙන් නොයෙක් මත තිබෙනවා. ඉන් එකක් තමා සෞක්‍යයට අහිතකර ද්‍රව්‍ය කෑමට එකතු වෙනවා කියන එක (මට මුලාශ්‍ර නැහැ).

      අප පිඟන්, මැටියෙන් හදාගෙන තියෙන්නේ හේතුවක් නිසා. එය කෘතිමව ප්ලාස්ටික් පිඟානක් කර ගැනීම මට නම් ප්‍රශ්නයක්.
      කඩවල් වලින් ගන්න කඩචෝරු වලට නම්, ප්ලාස්ටික් හැර වෙන විකල්පයන් නැහැ. හැබැයි ඔය ෂොපින් බෑග්, කෑම සඳහා භාවිතාව එතරම් හොඳ දෙයක් වන්නට හැකියාවක් නැහැ.

      Delete
    3. ලංකාවේ දානේ ගෙවල්වල ඔහොම පොලිතින් බත්කොල භාවිතා කරන්නේ ජලය ඉතුරු කිරිල්ලටත් වඩා, සෝදන වදයට විසඳුමක් විදියටත්, සේදුවත් පිරිසිඳුව සෝදන්න ඉස්පාසුවක් නැතිකමත් හින්ද.
      ඔව්... අපි ඔක්කොම ඒ ක්‍රමේට අකමැති වෙන කිසිම හේතුවක් හින්ද නෙවෙයි. අපේ සමහර පුරුදු අපිට නොදැන අපිව රාමුවේ තියන් ඉන්න හින්දා. හරියට සුද්දා පස්ස ජලයෙන් හෝදන්නේ නැති එක අපිට අපුල දෙයක්/හිනායන වැඩක් වෙනවා වගේ. නැත්තම්, ගොඩදෙනෙක් ආහාර ගන්න තැනක, පිරිසිඳුකම තබාගන්න කරන අවම වියදම් වැඩක්. නමුත් ලොකු පරිසර හානියක්.

      කෑම ගෙනියන්න, අසුරන්න පොලිතින් යොදාගනිල්ලෙන් වන සෞඛ්‍ය ගැටළු ගැන ලංකාවේ මීට වසර කීපයකට කලින් අවධානයක් ඇතිවෙලා අවසානයේදී පොල්තෙල් ඇතුළු කෑම ඇසිරීමේදී, ප්‍රවාහනයේදී පොලිතින් භාවිතය තහනම් කළා. එහෙම ගෙනියලා අහු උනොත් නඩු දමනවා. ගෙනියන පාර්ශවයට සහ එය නිකුත් කරපු පාර්ශවයට. මට මතකයි මම බෝතලයක් නැතුව ඉස්සර වගේ පොල්තෙල් ඉල්ලනකොට එය දීම වෙළඳසැල් හිමියන් ප්‍රතික්ෂේප කළා. මට ඒ ගැන සතුටුයි. ඒ කියන්නේ ඒ ගැන පියවරක් ගත්තා.. නමුත් අවාසනාවට මේ මොහොත වනවිට එය ලංකාවේ 'ක්‍රියාත්මක නොවන' නීති අතුරින් එකක්.

      Delete
  12. අපූරු සටහනක්... අසාවෙන් කියෙව්ව...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.

      යමක් මේ ගැන ලියනවනම් කැමතියි

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...