Friday, June 20, 2014

50. ඉතින් ඊට පස්සේ....

Under 11 කතාව ලිව්වට පස්සේ මට ඊට සම්බන්ධ ඔක්කොම ජාති ටික වැලක් වගේ මතක් වෙන්න ගත්ත.



සමහර දේවල් මම මීට කලින් කාල වකවානු එක්ක කවදාවත් සසඳලා තිබ්බෙත් නැහැ. ඒත් ඒ හැම දෙයක්ම මට මතක් වෙන්න ගත්ත හින්ද මට හිතුන මේ ටික ලියල දාන එක කෝකටත් හොඳයි කියල

කොටින්ම මට මේ වෙනකොට මම පාසල් කණ්ඩායමට ඇතුලත් වෙලා ඉන්න බවක්වත් තේරුනේ නැහැ. මම කරපු එකම දේ හැම අඟහරුවාදාම යි, බ්‍රහස්පතින්දාමයි ප්‍රැක්ටිස් වලට පිස්සුවෙන් වගේ දුවගෙන ආපු එකයි. තාමත් අපේ ගෙදරට මගේ මේ ටීම් එකට ආපු එක වැඩිය නොට් නැහැ. මමත් පුරුදු විදියට මගේ ලී රැකට් එකත් කරතියන් එනවා. මේ ලී රැකට් මම ගහන වේගෙටද මන්දා පැලෙනවා. එකක් පැලුණම මම අනිත් රැකට් එක අරන් එනවා.



මොනවා උනත්, මම කලින් කිව්වා වගේ කෝට්ස් වලට තිබ්බ පොරේ නම් අඩුවක් නැහැ. පොඩිම වෙනසකට උනේ, කලින් සිද්දියේ අන්තිමට කිව්වා මගේ රැස්වීමේදී දිනපු සම්මානේ හින්ද, සෙල්ලම් කරන්න දුවගෙන ඇවිත් කොට් එකේ තැනක් අල්ලගන්න සාමාන්‍ය ළමයි අතරේ මට පොඩි තැනක් වගේ එකක් ලැබුන. ඒ කියන්නේ, මට ඉඩක් දෙන්න උන් කාරුණික උනා. මේ කොහොම වෙතත් ටීම් එකේ හිටපු අනිත් අක්කලා හිටපු විදියමයි. එයාල එනකොට අපි පුරුදු පරිදි අයින් වෙලා ඉඩ දෙනවා.

සාමාන්‍යයෙන්, ළමයි ඔක්කොම එකට පැයක් විතර සෙල්ලම් කරලා ඉවර උනහම තමයි ටීම් එකේ කට්ටිය ඇත්තටම ප්‍රැක්ටිස් පටන් ගන්නේ. ඒ කියන්නේ සර් ඇවිත් ඔක්කොම ළමයින්ට නිදහසේ සෙල්ලම් කරන්න දෙනවා. පැයක් විතර යනකොට, ළමයි ටික ටික අඩු වෙනව වගේම, ටීම් එකේ ළමයි වෝම් අප් එහෙම කරලා ලෑස්ති වෙන්නේ එතකොට.

මුල ඉඳලම මම පුරුදු වෙලා හිටියේ අනිත් ළමයි එක්ක සෙල්ලම් නතර කරන්න උනත්, මගේ තියෙන මොකද්දෝ ගතියක් හින්ද, මම හොරෙන් බලන් ඉන්නවා ටීම් එකේ අක්කලව සර් ප්‍රැක්ටිස් කරවන දිහා. මම එකෙන් ඉගෙන ගත්තා කියන්න බැහැ , මොකද මට එතරම් තේරුමක් තිබ්බේ නැහැ ඒ දවස්වල. මට තිබ්බ කැසිල්ල තමයි! වෙන මොනවද.. හි.. හි...

අර තරගේ දිනලා ඉවර වුනු අලුත , ඔන්න එක දවසක් ඔහොම මම අනිත් ළමයි එක්කම යන්න ලෑස්ති උනා. ( යනවා කිව්වට යනවා නෙවෙයි, හි.. හි... පේන්න ගිහිං , මුල්ලකට වෙලා බලන් ඉන්නවා)

"ඇයි .... ඔය දරුවා යන්නේ? මෙන්න මෙහෙට වරෙන්..."

සර් කතා කරන්නෙම ඔහොම. මට ඔහුගේ මුහුණුවර හරියට ප්‍රසිද්ධ ක්‍රිකට් විචාරකයෙක් වන 'ටෝනි ග්‍රේ' මතක් කරනවා. එතරම් වයසයි.

මම හිටපු තැනම ගල් ගැහිලා හිටිය මිසක් හෙලවුනේ නැහැ.
"..මේ කෙල්ලව දාල හදපල්ලා හොඳ ටීම් එකක්, ඇයි කෙල්ලනේ, මම කිව්වනේ. කිව්වේ නැද්ද මේකිටත් එන්න කියල"

කිසි කෙනෙක් උත්තර දුන්නේනැහැ. මම අපේ කැප්ටන් අක්ක දිහා බලන් හිටියේ විශ්මයෙන්.
"නංගි මිට පස්සේ අපිත් එක්ක හවස ප්‍රැක්ටිස් වලට ඉන්න, හවස 6 වෙනකල් හරිද?"

මගේ ලෝකේ ඒ දවස් වල ලොකු ෆිගර් එකක් වෙලා හිටපු ඇය කියනකොට මම ඔලුව වනුව මතකයි.
"... අද ඉන්න බැරිද? නැත්තම් අනික් දවසේ ඉඳං .."
"අද පුළුවන්!"

මට ගත් කටටම කිව්වා. ඔහොමත් එයාල ප්‍රැක්ටිස් ඉවර වෙනකල් බලන් ඉන්න මම!
 ඒ මොහොතේ පටන් මාව හවස තියාගන්න අක්කලා ටික පුරුදු උනා. මගේ වයසේ ටීම් එකේ හිටපු ඔක්කොම වගේ හොස්ටල් ළමයි. මගේ ග්‍රේඩ් එකේ ළමයි දෙන්නෙක්, ඉතිරි අය ජනවාරි ඉපදුන අය හින්ද ඊට කලින් අවුරුද්දේ ඉස්කෝලේ ගිය හින්ද, මට වඩා අවුරුද්දක් වැඩි පන්තියේ හිටියේ. වැඩිපුර හිටියේ ඒ ග්‍රේඩ් එකේ ළමයි හින්ද, එයාල හරි බලවත්! ( ටැපලෙනවද මන්ද.... සේ සංයුතිය තේරුනේ නැත්තම් කියන්න හරිද.. )

මම ඔය කියපු චැම්පියන්ෂිප් එක දිනුවට පස්සේ අපේ සර් කල්පනා කළා එකොළහෙන් පහල කණ්ඩායමක් හදන්න ඕනේ කියලා. මට නම් මෙලෝ දැනුමක්, උනන්දුවක් තිබ්බේ නැහැ.

කොහොමත් වැඩි කතාවක් නැති මම කියන දෙයක් අහගෙන වෙන දෙයක් බලාගෙන හිටිය හින්ද, එයාලට තර්ජනයක් විදියට ගත්තේ නැහැ මාව. මම කරන්නේ පාඩුවේ සෙල්ලම් කරන එක. එයාල රැකට් මාරු කරගෙන සෙල්ලම් කරත්, මම මගේ ලී රැකට් එකෙන්මයි හැමදාම ගැහුවේ. මම අදටත් ඒ ගැන දුක හිතන්නේ නැහැ. මට වෙනසක් දැනුනෙත් නැහැ. එකම වැඩේ, සමහර දවස් වලට මට සෙල්ලම් කරන්න පාට්නර් කෙනෙක් නැතුව ගියත්, ඔවුන් මාව නොගෙන හිටියාම පොඩ්ඩක් දුකක් දැනිල තියෙනවා. ආයෙත් පහුවදාට මට ඒවා මතක නැහැ. මම මේවා ගැන කාටවත් කියලත් නැහැ.

ඔක්කොම සිද්දි ලියන්න ගියොත් මාගලක් වෙනවා..

මේකත් කියලම ඉතිරි ටික කියන්න ඕනේ.. මම කලින් කිව්වේ මගේ ටීම් එකේ අනිත් හැමෝම හොස්ටල් ළමයි කියල. ඉතින් මමත් හොස්ටල් වගේ තමයි! උන්ට 6 වෙනකල් එළියේ ඉන්න පුළුවන් හින්ද, මමත් 6 වෙනකල් ඉස්කෝලේ ඉඳන් ප්‍රැක්ටිස් වලට සහභාගී වෙනවා. සමහර දවස් වලට මම උන්ගේ හොස්ටල් දියබත් කටකුත් හොරෙන් කාල තමයි ගෙදර යන්නේ.. හි.. හි...

ඔහොම ගතවෙනකොට ( ගොඩක් කල් නෙවෙයි) එකොළහෙන් පහළ කණ්ඩායම් තරග වලට කැඳවීම් ලැබුනා. බාහිර ලෝකයට මගේ පළවෙනි දොර ඇරුනේ එහෙම! අපි 5 දෙනෙක් ගියා.

සිංගල් 3
ඩබල් 2
තමයි තියෙන්නේ. මම සිංගල් එකයි, ඩබල් එකකුයි ගැහුවා. නයෙක් කියල හිතන්න එපා. හොඳම සිංගල් එකත්, හොඳම ඩබල් එකත් මගේ... මගේ පුංචි මොලෙන් මම ඒක යනකොට දැනගෙනම හිටිය.

මෙහෙම යනකොට අපිට ගෙනියන්න රැකට් සංචිතයක් දෙනවා. ඒ හින්ද, මට හොඳ රැකට් එකක් ලැබෙන බව සතුටක් මට දැනුන.

තරගේ තිබ්බේ කොළඹ ආනන්දේ...

අපි ගියේ ඊට කලින් දවසේ කෝච්චියේ. තාර පැටවූ ටික වගේ අපි අපිව බාරව ගියපු ගුරුතුමී පස්සෙන් ගියා මතකයි. මට මතක විදියට අපි නතර උනේ මියුසියස් එකේ වෙන්න ඕනේ... අපිට පංතිකාමරයක ඩෙස් බැංකු අස්කරලා, ඉස්කෝලෙන් දීපු ට්‍රැවලින් මෙට්‍රස් දාගෙන නිදාගන්න ලැබුනා. කවදාවත් මෙහෙම බිම නිදාගෙන නැති මට එදා ටිකක් දිග රාත්‍රියක් වුනා නම් මතකයි. ඉස්සර අපි අපේ කසින්සලා ආවම , ගෙදර ඇඳවල් වල තියෙන මෙට්ට ටික සාලේ බිම දාල, පේළියට නිදාගන්නවා, හරිම ජොලි. මේක ජොලියක් තිබ්බේ නැහැ. මොකද පහුවදා අපි මැච් එකක් ගහන්න ඉන්නේ!

ඉස්කෝලේ ළමයි එන්න තිබ්බ කලින් නැගිටලා, මුණ හෝදලා, ලෑස්තිවෙලා ,ඩෙස් බැංකු තිබ්බ විදියට අස්කරලා, අතු ගාල , අපේ ඇඳුම් ලටපට ටික අපි ප්‍රින්සිපල් ඔෆිස් එකෙන් තියල යන්න ලෑස්ති වෙලා ඉන්නවා. දැන් මතක් වෙනකොට හිනත් යනවා, හරියට පුංචි බලු පැටවූ ටිකක් වගේ!

අපිව බාරව ගියපු ගුරුතුමී, කොහෙන් හරි අපිට කන්නත් අරන් දීල, අපිවත් දක්කාගෙන ආනන්දෙට ගියා මතකයි.
බට්ටෙක් වගේ හිටපු මට  ආනන්දේ ජිම් එක දැනුනේ වෙනම පාරාදීසයක් වගේ. ඊට කලින් මම කවදාවත් එතරම් ලොකු ජිම් එකක කෝට් එකකට ගිහින් තිබ්බේ නැහැ.. ( ගොඩයෙක් හොදද?) මට අදටත් එතන තිබ්බ ලයිටින් මතකයි. ලී පොළවක් තිබ්බේ.

ඩ්‍රෝ දැමිල්ලක්වත්, ටොස් දැමිල්ලක්වත් මට තෙරුනෙම නැහැ. මම දැනගෙන හිටියේ ගහල දිනන්න ඕනේ කියල විතරයි.

ඔන්න අපේ තරඟ පටන් ගත්ත.
පළවෙනි සිංගල් එක - මම

මම කෝට් එකට ගියා. මට මතක නැහැ කොහොම ගැහුවද කියල. මගේ සුපුරුදු පිං පොං විදියෙන් උඩ  පැනල, එහාට මෙහාට පැනල දුවල, මම ගැහුවා. දිනුව! මම විතරක් දිනලා බැහැ නේ, මේක ටීම් ගේම් එකක්. දිනලා මම මගේ පාඩුවේ ඇවිත් වාඩිවෙලා හිටිය.

දෙවැනි සිංගල් එක කතා කළා, මට මතක ඒකත් එක්කම අපේ තුන්වෙනි සිංගල් එකත් අනිත් කෝට් එකේ කතා කළා. සපෝට් එකට කිසි කෙනෙක් නැහැ. මම කලේ දෙවැනි සිංගල් එකට සපෝර්ට් කරපු එකයි. මොකද, ඇය වමත් කාරියක් හින්ද, ඇයට වාසි වැඩි, දිනන්න තියෙන චාන්ස් එකත් වැඩි. ( ක්‍රීඩාව ගැන විස්තර කියන එක සාමාන්‍ය පාඨකයින්ට කරන අසාධාරණයක් හින්ද මම ඒවා නොලියා ඉන්නම්) මම කලේ, සද්ද නැතුව ඇයට , ප්‍රතිවාදියාගේ වීක් ඒරියාස් අතින් පෙන්නුව එක විතරයි. යන්තම් නුලෙන් වගේ දෙවැනි සිංගල් එක දිනනකොටම, අපේ තුවෙනි සිංගල් එක පැරදිලා එහා පැත්තේ!!! දැන් අපි 2-1 විදියට ඉදිරියෙන්. මම මෙලෝ රහක් නැතුව බලන් උන්නා විතරයි. පොඩි වැඩි එක අතකට වැඩිය ඔව්ව කල්පනා කරන්නත්!

දැන් ඩබල් දෙක තමයි තීරණාත්මක. සාමාන්‍යයෙන් කරන්නේ, පලවෙනි ඩබල් එක කතා කරලා ඉවර වෙලා දෙවැනි ඩබල් එක කතා කරන එකයි. ( මෙතන කතා කරනවා කියන්නේ calling for the game), නමුත් උනේ, දෙවැනි ඩබල් එක මුලින් කතා කළා... අපේ දෙවැනි ඩබල් එක පොඩ්ඩක් දුර්වලයි. එකේ සෙල්ලම් කලේ දේවලි සිංගල් කෙල්ලයි, රිසව් හිටපු කෙල්ලෙකුයි. උන් දෙන්නට ඇඩෙන්න වගේ ආව. මට ගානක් ගියෙත් නැහැ. උන් දෙන්නා කෝට් එවිදියට එකට ගියෙත් වෙව්ල වෙව්ල, ඩ්‍රෝ එකේ හැටියට ප්‍රතිවාදියෝ හොඳම ජඩුවක්! බලන් ඉන්න බැරි විදියට කාල, පැරදුනා.. දැන් 2-2... අපේ ඩබල් එක තමයි තීරණාත්මක!!! මගේ බඩ පොඩ්ඩක් දන්න ගත්ත කියල යන්තම් මතකයි...

"ඊළඟ එකෙන් පස්සේ අපිට ගෙදර යන්න පුළුවන්.. ඇති යන්තම්... කෝච්චියේ සෙනඟ හිටියේ නැත්තම් හොඳයි.... නැත්තම් හිටගෙන යන්න වෙන්නේ අඩු තරමේ පොල්ගහවෙලට යනකල්වත්!"

අපිව බාරව ආපු ගුරුතුමිය ආපහු නුවර යන විදිය ගැන හෙමි හෙමිහිට එහෙම ප්ලෑන් කරනවා මට ඇහුනා. පොඩ්ඩක්වත් වෙනසක් මට දැනුනේ නැහැ.

අපේ ඩබල් එක කෝල් කළා... හරියටම සිද්දි මතක නැති උනත්, මට මතකයි, මගේ පාට්නර් හිටියද නැතාද බලන්නේ නැතුව මම පිස්සෙක් වගේ සෙල්ලම් කළා. සමහර ෂොට්ස් මට මතකයි මම පැනල බලෙන් ගැහුවා. අනේ මන්ද මට එදා යකෙක් වැහිලා හිටියද කියල.. අන්තිමට අපි දිනුව! දිනපු ගමන් මගේ ටීම් එකේ කෙල්ලෝ ටික ඔවුන්ටත් වඩා මිටි මාව බදාගෙන කෝට් එකේ උඩපැන්නා මට මතකයි...

අපි ඊළඟ දිනයේ තියෙන තරග වලට සුදුසුකම් ලැබුවා!

ගුරුතුමී වෙනසක් නැතුව අපිවත් අරගෙන නැවතිලා හිටපු සුපුරුදු ඉස්කෝලෙට ආව. අපි එනකොට ඉස්කෝලේ ඇරිලා ළමයි ගිහින්, අපිට ලැබුන පන්ති කාමරේ අතුගාල, ඩෙස් පුටු එහා මෙහා කරලා අපි මෙට්‍රස් එලාගෙන කතාවට වැටුන. ඒ වෙලාවේ තමයි මට තේරුනේ මම ගැන මගේ ටීම් එකේ අනිත් අය ගොඩක් හෝප්ස් තියෙනවා කියල. මම එදා රෑ හිතට ගත්ත, හෙටත් හොඳට සෙල්ලම් කරන්න ඕනේ කියල.


පහුවදා....

අපිට ලැබුනේ ගොඩක් ප්‍රභල කණ්ඩායමක්. මම ඒක දැනගත්තේ අපේ ටීම් එකේ 'අක්කලා' කිව්වා හින්දයි. එයාලට එනකොටම අපේ අක්කලා ඒවා කියල දීල. අපේ ඩ්‍රෝ එක දැම්ම, පුරුදු විදියට මම පලවෙනි සිංගල් එක. මට ලැබිල තිබ්බේ එයාලගේ තුන්වෙනියට හොඳම එක්කෙනා..
කලින් එක තරම් ලේසි නැති උනත්, මම ඒක ගැහුවා, දිනුව. පුරුදු විදියට ඇවිත් වාඩිවෙලා හිටියා.
අපේ දෙවැනි සිංගල් එකට, එහෙන් ඇවිත් තිබ්බේ හොඳම ප්ලේයර්..  අහන්නත් දෙයක්ද... අපි පැරදුනා...
තුන්වෙනි එක ගැන අහන්නම ඕනෙද? දෙවැනියට හොඳම ප්ලේයර්, අපේ එක්කෙනාට හොඳට නෙළුව! දැන් අපි 1-2

දැන් මගේ ඩබල් එක, ඔව් එහෙන් හිටියේ එයාලගේ කිවෙනියට හොඳ ඩබල් එකද කියන්න දන්නේ නැහැ. ඒත් පෙයාර් එක හැදිලා තිබ්බේ හොඳල ප්ලේයර්ගෙන්. ඉහලට ගත්ත හුස්මක් බිමට වැටුනා නම් වැටුනේ, ෂට්ල් එක වැටෙනකොට විතරක් වෙන්න ඇති. පරාජයන් දැකල, අමුතු වෙසක් ඇවිත් තිබ්බ මම ඇත්තටම කිව්වොත් ඔවුන්ව පුදුමයට පත් කරන්න ඇති. මම කොහොමත් එහෙම අමුතු පොරක්..... ඔව්, අපි ඒ ඩබල් එක දිනුව.... ඉතුරු උනේ තව ඩබල් එකක් විතරයි... තීරණාත්මකයි!!! 2-2

මේකෙන් දිනුවොත් අපි ෆයිනල්ස් යනවා...

අපේ අනිත් දෙන්නගේ ඩබල් එක පිටියට ගියා. බලාගෙන ඉන්නකොට ගේම් එක ගිලිහෙන්න පටන් ගත්තා. මට අදටත් මතකයි... මට ඉස්සරහ පේලියේ වාඩිවෙලා හිටියේ මගේ ඩබල් පාට්නර් අක්කයි, රිසව් හිටපු කෙල්ලෙකුයි....
"පව් උපේක්ෂා..." කියල කියනවා මට ඇහුනා.

අදටත්, මේ මොහොතටත් මට දුකක් දැනුනේ නැහැ... නමුත් ඔවුන් ඒ කියපු දේ ගැන මට පුදුමයි, අදටත්...

අපි ඒ ඩබල් එක පැරදුනා.

පැරදිල්ල ගැන කතා වෙන්න තියා හිතන්නවත් අපිට වෙලාවක් තිබ්බේ නැහැ. පැරදුන ගමන් වහාම බෑග් ටික ගුලිකරගෙන එලියට එන්න අපිට අණ දීපු අපේ ගුරුතුමිය, සුපිරි වේගයෙන් අපිව නතර වෙලා ඉන්න තැනට එක්කගෙන ගියා. බෑග් ටික ඉක්මනට අරගෙන, ඇඳුම් යන්තම් මාරු කරගෙන, යතුරු බාරදීලා අපි පණ කඩාගෙන කෝච්චියට දිව්වා.... කෝච්චියේදී තමයි පොඩ්ඩක් හති ඇරියේ.... තව ඩින්ගෙන් මිස් වෙන කෝච්චිය ගැන ඇය විස්සෝප වෙලා, වෙලාවට එන්න පුළුවන් වීම ගැන පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් තියෙනකොට, අපි කොහොමද දුක්බර දේවල් කතා කරන්නේ?


ඔන්න ඔක්කොම ලිව්වා.... අතරින් පතර මගෑරිච්චා තිබ්බොත්, අපැහැදිලි තැන් තිබ්බොත් කියන්නකෝ...!!

දුක් වෙන්න දෙයක් නැහැ... අපි එතකොට පුංචියි! and its just another game!!

18 comments:

  1. කියවලා ඉවර උනාම අපි සෙල්ලම් කලා වගේ හොඳටම හති.... පිස්සු ඩබල් ..... ඒත් මනරම් ලියවිල්ලක්... ජයවේවා...

    ReplyDelete
    Replies
    1. හි.. හි.... බෝරින් ද? ස්තුති කොමෙන්ටුවට

      Delete
  2. කතාවෙ හැටියට ට හිතුනෙ ඔයාලගෙ මිස්ට ගේම් එක දිනන්න කිසිම උවමනාවක් තිබිල නෑ...
    සමහර විට ඔයාල එදා නොපැරදුනා නං මිස්ට තද වෙන්නත් තිබ්බ...
    පව්නේ කොච්චර වැඩ තියෙන්න ඇද්ද නේ...
    හැක්

    ReplyDelete
    Replies
    1. ඔව් මහේෂ්,
      ගොඩක් වෙලාවට අපිත් එක්ක යන මිස්ලා එහෙම තමයි. හෙමත් කෙනෙක් තමයි බොක්කෙන් හෙල්ප් කරන්නේ. සමහරු පලු ඇරලත් තියනවා. මට මතකයි එක පාරක් මිස් කෙනෙක් අපිට බැන්නා අපි දිනුවම පහුවදත් ඉන්න වෙනවා කියල
      "මගේ දරුවා මැරිලද දන්නේ නැහැ... ඔයාලට නම් මොකද" කියල

      මම කියන්නේ නැහැ මිස්ලා වැරදි කියල. ඇත්ත, එයාලත් ගෙවල්වල වැඩ තියාගෙන එනවා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔහොම හැසිරෙන්නේ රොටේෂන් විදියට ළමයි සමග යන්න 'සිද්ධවෙන' මිස්ල...

      සමහර අය ඒ උනාට , ඉබ්බා දියට දැම්ම වගේ වැඩත් කරගෙන තියෙනවා. අපි ගේම් එක ගහනකොට එයාල බෝයිෆ්රෙන්ඩ් එක්ක රවුම් ගහන්න ගිහින්!!!!

      ගොඩක් දවස් ( දවස් 4-5 ) ඉන්න උනොත් සමහර වෙලාවල් වලට ඉස්කෝලෙන් කරන්නේ, අතරමගදී වෙන ගුරුවරියක් එවනවා, පලවෙනි එක්කෙනාව රිලීස් වෙන්න.
      එක පාරක් ඔය වගේ 'රිලීස්' වෙලා යන ගුරුවරියක්, අන්තිමට නුවර ගියේ අපේ නතර වෙලා හිටපු තැන යතුරත් අරගෙන! හෙන ගේමක් දීල අන්තිමට ඩුප්ලිකේට් මලකඩ යතුරකින් වැඩේ ගොඩදා ගත්තේ....

      Delete
  3. පිස්සු පීකුදු ... අර මිස්ට ගෙදර යන්න පුදුම හදිසියක්නේ තිබිලා තියෙන්නේ , හැබයි ඔයාට දැන් තේරෙනවද අර එක්කෙනක් පව් උපේක්ෂා කියපු එකේ තේරුම

    ReplyDelete
    Replies
    1. මට ඒ වෙලාවේ නම් ඒකෙ මෙලෝ තේරුමක් දැනුනේ නැහැ.

      මට ඒත් පස්සේ තේරුනේ.. මම මහන්සි වෙලා සිංගල් එකයි, ඩබල් එකයි දිනෝලා දුන්නට වැඩක් උනේ නැති හින්ද, (මගේ මහන්සිය අපතේ හින්ද) එහෙම කිව්වයි කියලයි මට තේරුනේ... ඇයි ? එහෙම නෙවෙයි වගේද?

      Delete
    2. නෑ හරි එහෙම තමයි , ඔයා නොදන්නවා වුනාට ඔයා ගැන හැමෝම සෑහෙන බලාපොරොත්තු තියාගෙන ඉඳලා තියෙනවා , ඒ වගේම ඔයා ඒ බලාපොරොත්තු සපල කරලා දීලා, එකෙන් එයාලා නොහිතපු ජයක් ලැබෙන්න ඇවිල්ලා අත ළඟටම ඇවිත් නොලැබී ගියා .... එහෙම නේද?

      Delete
  4. දිගම දිගයි ලමයෝ.....රස නැතුවමත් නෙමෙයි හැබැයි...

    ReplyDelete
    Replies
    1. හෝ... ඇත්තද? ඔව් ඉතින් එකට ඇඳුන සිද්දි ටික එකට නොලිව්වොත් වැඩක් නැති හින්දයි එක දිගට ලියල දැම්මේ... සොරි හොඳේ? හි.. හි... වැඩිය තුනපහ දාන්න බැරි උනා, රස මදි ඇති.. හි.. හි...

      Delete
  5. උපේක්ෂගෙ මහන්සිය ගැන මටත් දුක හිතුණා.ඔයගොල්ලන්ව එක්ක එන්න බාරදීල තිබ්බ ටීචර්ස්ලගෙ ක්‍රියා කලාපය ගැන පුදුම හිතුණා.

    ReplyDelete
    Replies
    1. දුක් වෙන්න දෙයක් නැහැ... අදටත් මට දුකක් දැනෙන්නේ නැහැ ඒ පරාජය ගැන. පළවෙනි එවැනි අත්දැකීම.. හැමතැනදිම ජය නොලැබෙන බව පුංචි මොලේකට උගන්නන්න මිටවඩා හොඳ ක්‍රමයක් තියෙයි කියල මම හිතන්නේ නැහැ.

      තමන් කොතරම් කැපවීමෙන් වැඩකලත්, සාමුහික වැඩකදී අපි අසාර්ථක වෙන්න පුළුවන්, ඒක කරන්න දෙයක් නැහැ, දරාගන්න වෙනවා.

      සමහර ටීචර්ස් ල ඔයිට අන්තයි... ඔය අතර හොඳ අයත් හිටපු බව කියන්න ඕනේ.. මම ලියන්නම්කො එහෙම වෙච්ච සිද්දි තව ඉස්සරහට ( කම්මැලි නම් කියන්න..)

      Delete
  6. හැමෝම ටීචර්ලටම නෙලන්න අරන් තියෙනවා දැකලා මම කල්පනා කලා අනිත් රජයේ සේවකයෝ වගේ ඕටී නැතුව, තමන්ගේ ළමයි බලාගන්න කාට හරි දාලා යන, ගෙදර ගියාම බැණුම් අහන, ඒ මදිවට තමන් බාරව යන ළමයින්ගේ ආරක්ෂාවත් වග කියන්න බැඳිලා ඉන්න, ඒ කරලාත් පොඩ්ඩ එහෙ මෙහෙ වුනොත් දඬුකඳේ ගහන්න නියමවෙන ටීචර්ලා ගැන වචනයක් කියන්න. පස්සේ ඒත් මොන මගුලකටද කියලා හිතුනා. මමත් අකමැතිම රස්සාව වෙච්චකොට...

    උපේක්ෂා තනියෙම කණ්ඩායමක් හැටියට තරඟ වැදිලා ගේම ඔහොම ගොඩ දාගත්තා හොඳටම ඇති. අර නයි මිරිස් කරල වගේ තමයි මට පේන්නේ. පුංචියි. පෙනුම අහිංසකයි. සැරයි. මාලු මිරිස් නිකං පෙනුම විතරයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි හෙන්රි.... ගුරුවරු ගැන ඔයාගේ කතාවට මම එකඟයි. හැබැයි, සමාජයේ අනික් රැකියාවල් වලට වඩා ගුරු රස්සාව කියන්නේ සෙන්සිටිව් පොඉන්ට් එකක්.. හරියට වෛද්‍යවරු වගේ... ඒ හින්ද තමන්ගේ පුද්ගලික ප්‍රශ්ණ රැකියාව කරන වෙලේ අමතක කරන්න විශේෂ හැකියාවක් එයාලට තියෙන්න ඕනේ කියල මම තදින් විශ්වාස කරනවා. මොකද, එහෙම තමන්ගේ පුද්ගලික ප්‍රශ්නවලට අන්තිමට එතරම් මෝරපු නැති ළමයින්ගෙන් වාඩුව ගන්නවා, මම එහෙම සිද්දි වලට මුහුණපාල තියෙනවා. ඒවා ගැන පස්සේ ලියන්නම්.

      ඒ අතින්, ගුරුවරු කියන්නේ ලොකු කැපකිරීමක් කරන මිනිස්සු, අනිවාර්යයෙන් වැඳුම් ලබන්න වටින්නේ ඒකයි .. නැද්ද හා?

      ගුරුවරුන්ගේ ඒ දුෂ්කර ජිවිතේ මට හොඳට පෙනිලා තියෙනවා, මගේ අක්ක ඉස්සර පුයර බබෙක් වගේ ඉඳල, දැන් ගුරුවරියක් විදියට ගෙවන ජිවිතේ පුදුමයි! වෙනම ලියන්නම්කො.... හෙන්රි.. ගුරුවරුන්ගේ පැත්තට නෙවෙයි, කතා නොකරන පැත්ත-අඩුව අපිට පෙන්නලා දෙනවා නම් වටිනවා


      . ..හි... හි.... ඔව් හෙන්රි... මට ඒ දවස්වල ගොඩක් අය කිව්වේ ඔය නයි මිරිස් කරල් කතාව තමයි... කාලයත් එක්ක සමහර දේවල් වෙනස් උනා වගේම, වෙනස් නොවිච්ච දේවලුත් තිබ්බ.. ඔව්... හි... හි....

      Delete
  7. යකෝ මැවිලා පේනවා පොඩි බටු කෙල්ලෙක් එහෙට මෙහෙට පනිනවා

    ReplyDelete
    Replies
    1. බට්ටෙක් පෑගුනාම කොහොමද? හුහ්.. හිතන්න එපා බටු උනාට පොඩ්යි කියල... හි.. හි...

      Delete
  8. බෙස්ට් ලූසර් කියල බොක්සින් වල පදක්කමක් දෙන එකේ වටිනාකම අද තමයි හරියටම තේරුනේ.. හාඩ් ලක් උපේක්ෂා.. බෙස්ට් ඔෆ් ලක් නෙක්ස්ට් ටයිම්.. (දැන්නං කෝට් එකක් දකිනකොටත් කලන්තෙ වගේද දන්නෑ)

    ReplyDelete
    Replies
    1. මිත්‍රයා... මේ කොමෙන්ටුව දැක්කේ අදයි. උත්තරේ පරක්කු උනාට සොරි ඈ ( දැන් මිනීමරලත් සොරි ඈ කියන එකේ!)

      ඔව් කල්‍යාණ... එහෙම දෙන එකේ තියෙන්නේ අභිමානයක්. පැරදුනත් ඇත්තටම එය ජයග්‍රාහී පැරදීමක්. මේ වගේ මට ගොඩක් වෙලා තියෙනවා. දිගටම මේ ජාතියේ ඒවා ලියන්නම් ( මගේ ක්‍රීඩා අත්දැකීම්) එතකොට තේරෙයි මම කියන්නේ මොකක් ගැනද කියල...

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...