Friday, March 4, 2016

251. සුරංගනා කතාවකි - 6




ඇරඹුම

දෙවන සුරඟන පබැඳුම

තෙවන සුරඟන පබැඳුම

සිව්වන සුරඟන පබැඳුම

පස්වන සුරඟන පබැඳුම


සුරංගනා කතාවල ඉන්නා කුමාරවරු කිසිවෙක් තම පෙම්වතියගෙන් 'ආදරේදැයි' අසා තිබෙන බවක් ඔබ අසා තිබෙනවාද? මේ කුමාරයා ඒ ගැන දැනගෙන නොසිටීම කොතරම් අභාග්‍යයක්ද? නැතිනම් ප්‍රේමයක් පිළිඹිබු වන අයෙකුගෙන් හාදුවක් සොරකම් නොකොට ආදරය ඉල්ලන්නේ නැත.

"ඔයාගේ හිතේ එහෙම අදහසක් තියෙන බවක් මම හිතුවේ නැහැ....."

සාමාන්‍ය කෙල්ල ඉවත බලාගනිමින් පැවසුයේ ඒ වදන් ඔහු දෙස බලාගෙන කියන්නට තරම් චිත්ත ධෛර්යයක් ඇයට නැති නිසා පමණක්ම නොවේ. ඒ වචන එක්ව ගත්තත්, වෙන් වෙන්ව ගත්තත් මුළුමනින්ම මුසාවක් බැවිනි. වැකිය අවසානයේදී කුමාරයාගේ දීර්ඝ සුසුම සිය සවන් අසලින් ගමන් කරද්දීම ඔහු ඒ බව දත් බවද ඇයට වැටහුණි.

"... ඔයා කුමාරයෙක් කියලා දන්නවනම්.. මම කීයටවත් ඔයත් එක්ක ඔතරම් සමීප වෙන්නෙත් නැහැ"

අඳුරු මුල්ලක සිට සිය නිදහසට කරුණු අතපත ගාමින් අතට අහුවෙන යමක් කියන්නට ඇයට සිදුවිය. අසාර්ථක ප්‍රයත්නය දෙදෙනාම නිහඬවම වින්දෝය. නිහැඬියාවෙන් තවත් තත්පර කිහිපයක් ගතවිය.

"කමක් නැහැ... ඒකට කමක් නැහැ....."

කුමාරයා තම මිටිකරගත් අත්ලෙන් සිය නළල් තලයට කිහිප වරක් තට්ටු කරගනිමින් කීවේය.

"ඔයා.... කැමති කාලයක් ගන්න.. කමක් නැහැ"

සාමාන්‍ය කෙල්ල අඳුරු මුල්ලේ ගොළුවුවාය. කතාකරන්නට හෝ කියන්නට යමක් හොයමින් ලතවුනාය.

"ම.. මාඅ.. ම.."

"ඒ මොනවා උනත් මගෙත් එක්ක තරහ වෙන්න එපා. මට ඔයාව බලන්න එන්න එපා කියන්න එපා"

මන්තර කාරිය ප්‍රවේසමෙන් බලාගෙන උන්නේ සාමාන්‍ය කෙල්ල කවරක් පවසනු ඇතිද කියා මිස කුමාරයා යමක් සිදුකරනු බලාපොරොත්තුවෙන් නොවේ.

සුරංගනා කතාවල කාලය ගැන කියන්නේ සපත්තු ගෙවෙන ප්‍රමාණයටය. සපත්තු ගෙවුනේ අඩුවෙනි. කාලය ගතවුනේ ඉබි ගමනිනි. නමුදු කැලැන්ඩර කොළ දුසිමකට ආසන්න ගණනක් කැඩී ගොස් තිබිණි.

හදිසියේම වැහිබිරුමක් ඇරඹුණි. කුමාරයාගේ මාළිගයේ ඉහල මාලයේ විසිත්ත කාමරයෙන් එය ආරම්භ වී තිබිණි.

"පුතා.... උත්තර දෙන්න බැරිද?..."

කුමාරයා උත්තරයක් ඇති ප්‍රශ්නයකට උත්තර නොදී සිටියේ සිතමතාමය. මව් බිසව මඩනා ලද සිනහවකින් ඔහු දෙස බලාසිටිනවා කුමාරයා නොදකින්නට තිබුනේ සරල හේතුවකි. කුමාරයා බොරු කියන විට කොහොමත් එලෙසය.

".. කාටද පුතා මේ බොරු කරන්නේ? මොකටද ?..."

මව් බිසව එලෙස කියාගෙන තරප්පු පෙළ නිමකරමින් පහල මාලයට ගියාය.

"... පිය රජතුමාගේ හැටි දන්නවනේ... කරන දෙයක් අද හෙටම කියන්න වෙයි. "

පහල විසිත්ත කාමරය පුරා විසිරුණු ඇගේ කටහඬ ඉහල මාලයට ඇසුනේ දෝංකාර දෙමිනි. කුමාරයා සිය යහන්ගැබට වැද දොරපියන් අගුළු දමා ගත්තේය.

*********************************



"ගොන් බඳින කණුවක් උඹ නම්"

සිය යෙහෙළියගේ ක්ෂණික ප්‍රතිචාරය ශරීරයේ කොතැනක හෝ සිට දෝංකාර දෙනවා සාමාන්‍ය කෙල්ලට දැනෙන්නට විය. එය පිටතට නොයන්නට ඇය කෙටි හුස්මවල් පිටතට හෙලන්නට සැලකිලිමත් වුවාය.

"පිටින් මෙහෙම පෙනුනට මම ඇතුලෙන් ගොඩාක් වෙනස් කෙනෙක් කුමාරයෝ..."
"මම ඒක දන්නවා. දැනගෙන තමයි මේ හැමදෙයක්ම කරන්නේ"

"මට හිතෙන්නේ අපි ආයේ මුණගැහෙන්නේ නැතුව ඉන්නවනම් ගොඩක් හොඳයි. කොහොමත් මම නගරෙට යනවා"
"නගරෙට එන එක කොතරම් හොඳද? මට එහෙ ලේසියි.. මෙහෙ ඔයා ඉන්නේ පරාන බයෙන් නේ?"

"මම කොහොමත් නගරෙට ගියහම හොඳ කොල්ලෙක් හොයලා යාළුවෙනවා"
" ( උගුර එකවරම සිරවී, පසුව) මට වඩා හොඳ කෙනෙක් හොයාගනිද? විශ්වාසද? නගරේ කොල්ලෝ නරකයි දන්නවද?"
"ඔයත් ඉතින් නගරේ කොල්ලෙක්නේ... මම නගරෙට ඇවිත් ඉන්න ගමේ කොල්ලෙක් හොයාගන්නේ"
- ඇස් හීනිකර , දත් නොපෙන්වා සිනහවක් -


මේ දෙබස් කොටස් එකම ආකාරයෙන් ප්‍රතිරාව වන සිග්‍රතාවය වැඩිවන අවසන් සතියක අගකදී සාමාන්‍ය කෙල්ල නගරයට සංක්‍රමණය වුවාය.


මන්තර කාරිය සිය නියෝජිතයා පිටත්කොට සැනසිල්ලේ නින්දට පිටත්ව ගියාය.

ඇය නින්දෙන් අවදිව පැමිණෙනවිට සියල්ලම යහතින් සිදුවී පැවතුනි.

මන්තර කාරිය සැනසුම් සුසුමක් හෙලා සිය බෙහෙත් මුට්ටියෙන් ගත් කසාය කුසලානකයට පිරවුවාය.අසල කටාරම අද්දර තබා තිබුණු රිටෙහි වසා උන් සිය මන්තරකාර පක්ෂියාගේ හිස යන්තම් අතගා සිහින් සිනහවකින් සංග්‍රහ කළාය.

"මම කිව්ව දේ ඇහුව නැති එකී.... හික් හික්.... දැන් බලාපන් සිද්ද වෙනදේ"

ඇගේ සිනහවේ දෝංකාරය මුළු කුටිය පුරාම වූ විදුරු බඳුන් කම්පනය කරවන්නට පවා සමත් විය.

************************************
මතු සබැඳි.

9 comments:

  1. මාරයි. මේක අර වැහි කතාවේ මුල් හරිය කියල හිතෙන්නේ මට විතරමද... ඊළඟ කොටස එනකම් බලාගෙන ඉන්නවා. ඉක්බිති සියල්ලෝම සතුටින් ජිවත් වූහ කියන්න පුළුවන් අවසානයක් බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
  2. කවුද යකෝ කිව්වේ හොරෙන්ම කොටස් පහක් දාන්න කියල, හිටපං මුල් ටික කියවලා එනකං එහෙනං , මෙතන හොරෙන් පෝස්ට් දාලා ..බම්බුව

    ReplyDelete
  3. සුපර් !! සුපර් !! සුපර් !! Welldone

    ReplyDelete
  4. ගොඩාරියක් ලස්සනයි .....

    ReplyDelete
  5. උඹ කොටස් පහක්ම දැම්මද බං. පෝස්ට් දානවා කියලා ඔහොමත් දානව ද ?
    උඹ වගේ මන්තර කාරියෙකුත් මේ කතාවේ ඉන්නවානේ.

    ReplyDelete
  6. මොඩර්න් සුරංගනා කතාවක් නෙවද..))

    ReplyDelete
  7. පළවෙනි කොටස ගිය අවුරුද්දේ ජනවාරි.ආපහු මැද්දෙදි එක දිගට.6වෙනි කොටස මේ අවුරුද්දේ මාර්තු.මට මාර ආඩම්බරයක් දැනෙනවා උඹ ගැන.

    එක කොටසක්වත් කියවලා තිබුනේ නෑ.ඒ නිසා මුල ඉඳලම කියෙවුවා.පළවෙනි කොටස කියෙවුවහම කොට වැඩියි වගේ.එක දිගටම අනිත් ඒවාත් කියවපු නිසා වැඩිය අවුලක් වුනේ නෑ.ඊළඟ කොටස කියවන්න වෙන්නේ තව අවුරුද්දකින් විතර නිසා කතාව මතක්කරගන්න ආපහු මුල ඉඳලම කියවන්න වෙයි.ඒ නිසා කොට වැඩි එක අවුලක් වෙන එකක් නෑ.

    කතාවගැන කියන්න හිතෙන දේවල් උඹේම අවවාදය නිසා කියන්නේ නෑ.කතාව රහයි.ලියලා තියන ඉට්ටැයිල් එකත් මරු.තව මාස 3න් විතර ඊලඟ කොටස කියවමු.

    ReplyDelete
  8. මැරුම් නොකා මේ කතාව දාල හිටු.
    ආසාවෙන් කියෝපු නිසා මාස ගානක් ගිහිනුත් පරණ කොටස් මතක තිබුනා. ඒ නිසා ආපහු බලන්න උනේ නෑ මටනම්...

    ReplyDelete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...