Monday, March 21, 2016

256. විද්‍යා පරමේශ්වර, සර්වබල ලංකේශ්වර උත්තමාවී



මේ දවස්වල වැඩ වැඩියි. එහෙම උනහම මට වෙන්නේ වැඩ අස්සේ මගේ පරණ කතා මතක් වේවි ඇතුලේ ඉන්න එකා පිස්සු නටන්න ගන්න එකයි.

කොහොමත් මට ඒ ලෙඩේ නම් සහසුද්දෙන්ම තියෙනවා. ඒ කියන්නේ ඔය මහා බැරෑරුම් විභාග හෝ සම්මුඛ පරීක්ෂණ, ක්ලයන්ට් මීටින් හෝ ප්‍රසන්ටේෂන් වගේ වෙලාවල් වලදී මට නොකඩවා සින්දු මතක් වෙනවා. හරියට රේඩියෝ සිලෝන් එකේ එකෙක්ටවත් මතක් වෙන්නේ නැති සරල ගීත, ශාස්ත්‍රීය ගීත, බයිලා , රිමික්ස් ඇතුළුකොට සියලුම ගීත ඔලුවේ වාදනය වෙනවා ආයේ නැහැ උපරිම වොලියුම් එකෙන්.

සමහර වෙලාවට මට මේසෙට මිටි කරලා ගැහිල්ලකින් හරි, මටම හය්යෙන් දෙකක් කියාගනිල්ලකින් හරි තමයි මේ ගංගාව නතර කරගන්න පුළුවන්. තප්පර කීපයක නිහඬතාවයකින් පස්සේ ; අර හීන් වතුර පාරක් හරහට ඉරක් ඇන්දම මොහොතකට ඒ පාර නතර වෙනවා වගේ ; ආයෙමත් ඔන්න තැටිය යනවා. ඒ වෙනකොට මගේ මේ තඩිගැහිල්ල හරි බෙරිහන්දිල්ල හරි ඇහුන වටේ ඉන්න උන් බිරාන්ත වෙලා බලන් ඉන්නවා පේනකොට මම පරක්කු වැඩියි!

උන් නිගමනයකට එනවා.... මම බලු වෙනවා.

ඔහොම බලු නොවෙන්න තියෙන එකම විසඳුම තමයි විසෙන් විස නසනවා වගේ ඔය එන පිස්සු විකාර ලියලම දාන එක. නැත්තම් මගේ තනතුර අනතුරේ!



මම මගේ පෝස්ටු කිහිපයකම කියලත් ඇති මගේ පොඩිම පොඩි එකා කාලේ කියපු මගේ අනාගත බලාපොරොත්තුව ප්‍රශ්නෙට උත්තරේ. ඒ තමයි විද්‍යාඥයෙක් වෙන එක?



අනේ මේ.... හිනාවෙන්නේ නැතුව ඉන්නවා හරිද? ඕකට හිනා නොවිච්ච එකෙක්වත් මට මෙතෙක් හම්බෙලා නැහැ මගේ බාලාංස ගුරුතුමී ඇරෙන්න. අපේ අක්කා සහ අය්යා ගේත් පටන් ගත්තොත් නෑද සනුහරේ ( චෑ චෑ .... එයාල මේ ගැන හාන්කවිස්සියක් දන්නේ නැතෝ) අතාරියාම මගේ පහ වසරට එනකල්ම මේ කතාව අහගෙන හිටපු උන් කවුරුත් කලේ හිනාවෙන එක තමයි. පහ වසරෙන් පස්සේ මගේ අලුත් ඉස්කෝලෙට ගියාම මම ඒ කතාව නතර කළා. මොලේ පෑදිලා වෙන්නත් පුළුවන්, එහෙම නැතුව චාටර් කියල තේරුණා කියලත් හිතෙන්නත් පුළුවන්. සැකයේ වාසිය ඔන්න කියවන එකාට දෙන්න මා හිතුවේ.

ඒ උනාට මගේ ඔලුවෙන් ඕක මම සාමාන්‍යපෙළ කරනකල් අයින් උනෙම නැහැ කියල මට හොඳට මතකයි.

අනාගත බලාපොරොත්තු කියන්නේ නිකම්ම නිකන් කොලේක ලියල පැත්තකට දාන්න පුළුවන් එව්වද? ( එහෙම එව්වත් තියෙනවා.. මම කිව්වේ වෙන ජාතියේ...) ඉතින් මිත්‍රවරුනි, මම වගේ එකියක් නම් එහෙම ලේසියෙන් ගේම අතාරින එකියක් නෙවෙයි, අම්මප!

මම ඉතින් මගේ පාඩුවේ ඉස්කෝලේ උගන්නන දෙයක් කරගෙන, ගෙදර වැඩට කරන දෙයක් ලියාගෙන, ගේන්න කියන ඒවා අරගෙන ඉස්කෝලේ ගියපු සාමාන්‍ය එකී වෙච්චිකොට... අනේ...... එහෙමත් ඉන්නවද මම? මම ඉතින් මගේ ලෝකේ වෙනම චරිතයක් රඟපෑවා. හෝව්.. හෝව්... අපේ අම්මල මේවා ගැන හාන්කවිස්සියක්වත් දන්නේ නැති හන්දා කොහොමටවත් හිතන්නේ නැහැ මම මේ වගේ බරපතල කාරණාවකට අතගහලා කියල.

කොටිම්ම මම ලෝකයේ ඉන්න දක්ෂතම, නිර්භීතම, කුදාර්ම නස්පුක්, ළාබාලම විද්‍යාඥයා වෙන්න යනවය කියල මෙලෝ හාන්කවිස්සියක් දන්නේ නැතුව, මට වෙනදට කන්න දෙන බත් මාළුපිණි ආදිය සකස් කරමින්, මගේ හඩු ඇඳුම් සෝදමින් අම්මා කාලය ගතකරද්දී, තමන්ගේ සහෝදරි මෙතරම් ප්‍රසිද්ධ වෙන්න යනවය, ඒකට තමන්ගෙන් වෙන්න ඕනේ යුතුකම ගැන අබමල්රේනුවක ;නැට්ටක දැනුමක් නැතුව අපේ  අය්යාකාරයත් , අක්කත් ගතකලේ කොතරම්ම විනාසකාරි කාලයක්ද කියල මට මතක් වෙනකොට 'මේ දෑස මක්කටද' කියල නොහිතුනා නෙවෙයි!

ඉතින් මේ හැමදේකටම මට පිහිටට හිටියේ අපහල ගෙදර බර්නි නංගි තමයි. (එයාව මම බස් එකේ එක්කගෙන ගියපු හැටි මෙතනින් කියවන්න. එයාගෙයි මගෙයි ෆිට් එක ගැන කියවෙන කතාවක් මෙතැන. තව කතා පසුවට ) මේ දවස් වෙනකොට ඉඳිකට්ටයි , නුලයි වගේ අපි දෙන්නා යන්නේ එන්නේ ඔක්කොම එකට. වැඩි වයසක් නැහැ ඉතින් මම දෙක තුන වසරේ විතර ඇති.

ඒ උනාට මිත්‍රවරුනි, වයසත් බාධාවක්ද මම වගේ අග්‍රගන්‍ය මොළයකට??? මම ඉතින් ඉස්කෝලෙන් ගෙදරට විසික්කා කරලා වෑන් එකේ ඩ්‍රයිවර් සීයා යන පමාවට බර්නි නංගි අපේ ගෙදර දුවන් එනවා.



මේ මහා මොලකාරිට ( නෑ හලෝ එයා නෙවෙයි.. මම කිව්වේ මම ගැන) පහිනිපත් අල්ලන්නේ බර්නි නංගි තමයි. ඉතින් අපි දෙන්නා එකතු වෙලා 'පර්යේෂණ' කරනවා. 'යන්ත්‍ර' හදනවා. ඉරටු කූරු , කොස්කොල, හෙන්දිරික්කා ගස් වගේ මුලික දේවල් වලින් ආරම්භ වෙන අපේ පර්යේෂණ ගල්සියඹලා පොතු, රෝස කොළ, හබරල දළු වගේ බැරෑරුම් භාණ්ඩ වගේම පොල්කටු, සිහින්ව හලාගත් වැලි වගේ අමුද්‍රව්‍ය එක්ක සාර්ථකව ඉදිරියට ඇදෙනවා. වැලි සිහින්ව හලන්න අපිට අපේ පර්යේෂණාගාරයේ නවීන මට්ටමේ උපකරණ තිබ්බා උනත් දිරාගෙන එන කොස්කොල වල දැල් දැල් ගතියෙන් ඉතාම නවීන උපකරණ හදාගනට අපිට පුළුවන් උනා.

දැන් ඉතින් බර්නි නංගි වැලි හලනවා, ඊට පොඩ්ඩක් එහාට වෙන්න ටැංකියෙන් එන දියසීරාව හින්දා හැදුනු දියසෙවල වනන්තරේ මම 'දුර්ලභ' පැලැටි ගවේෂණයේ යෙදෙනවා. ඔව් ඔව්.. එහෙ තියෙනවා ඇමසෝන් වලට වඩා දුර්ලභ, ඒ වගේ රහස් බෙහෙත් පැලෑටි...... ඒවා අපි ගේන්නේ ගිනිපෙට්ටි කෝච්චියේ..



ඉතින් අර despicable me එකේ ග්රූට වගේ ඉන්නවා සේනාවක්! ඔව්.... උන් තමයි මගේ පර්යේෂණවලට මුලික ශ්‍රමය දෙන්නේ. උන් වෙන කවුරුත් නෙවෙයි. කළු කුඹි!! උන් මම වශිකරගෙන හිටියේ. කොච්චරද කියනවා නම් උන් ගිනිපෙට්ටි කෝච්චියේ නැගලා මගේ රහස් බෙහෙත් පැලෑටි ගේන්න යන්නේ බුරුතු පිටින්. සමහර උන් නම් මගේ අණට පිටින් වැඩ කරන්න ගිහින් වැඩේ අල කරගන්නවා. එතකොට ඉතින් මම කරන්නේ ; උන් කෝච්චියෙන් බැහැල දුවනවනෙ බිම හැරුණු හැරුණු අතේ ( මට ඇමසෝන් යන්ට බැරියෝ... මට යන්න දියෝ.....' ගගා දුවන්නේ.. ආයේ නැහැ එකම ගෝසාවයි !) ; පොඩ්ඩක් දෙකක් කියල බලල හරි යන්නේ නැත්තම් ගුටියක් දෙනවා.

එක පාරයි දෙන්නේ, එතැනින්ම මට්ටු වෙනවා. ඒ කියන්නේ එකපාරයි තලන්නේ. එතනම වාඩිවෙලා ඉන්නවා. ඊට පස්සේ මම කිසි සද්දයක් නැතුව උන්ව කෝච්චියට පටෝල යවනවා වනාන්තරේට.... උන් ඉතින් 'හ්ම්ම්' කියන්නෙවත් නැතුව යනවා කිකරුකමට..

ඔහොම ගෙනාපු පැලැටි වලින් අපි පර්යේෂණ කරනවා හවස් වෙනකල්. කාලය යනවා තේරෙන්නේ නැහැ... සමහර වෙලාවට අපේ තියෙන චිත්ත ධෛර්ය බිඳින්න කියල අපේ අත්තම්ම හැදුවත් අපි නම් රෑ ඉටිපන්දම් පත්තුකරගෙන පවා මිදුලේ තිබ්බ  අති විශේෂ පර්යේෂනාගාරවලදී රැයක් දවාලක් නැතුව වැඩකලා.

සමහර වෙලාවට අපේ පර්යේෂණ කන්න බලාගෙන එන මදුරුවෝ පවා 'තොහ්' ගාල තලලා අපේ පරීක්ෂණ නල වලට දාල තියාගත්තා. මම හිතන්නේ ඔය සංකල්පය හින්දම තමයි ජුරාසික් පාර්ක් කතාවේ මදුරුවා ගැන සංකල්පය කතා රචකයාට එන්න ඇත්තේ. මොකද අපි එහෙම මදුරුවෝ සංරක්ෂණය කරන නව ක්‍රම පවා සොයාගත්තා.



ගෙදර තිබ්බ විදුසර පත්තරේ කියන්නේ මගේ පර්යේෂණ වලට අදාලව ගොඩක් ලිපි පලවෙච්ච පත්තරයක් හින්දා ඒ දවස්වල මම ඕක අකුරක් නෑරම බලනවා. කවුද දන්නේ මගේ පර්යේෂණාගාරය ගැන ලිපියක් හදිස්සියේ පලවෙයිද, නැත්තම් මගේ වගේ පර්යේෂණ කරන වෙනත් අය උන්ගේ රහස් එහෙම ලියල තියෙයිද කියල?

ඔහොම යනකොට ඉතින් අපේ පර්යේෂණ වල අලුත් 'නැම්මක්' ඇතිවෙන වැඩක් උනා. මම කිව්වේ අපේ මිදුලේ පිහිටීම අනුව ඒ අටවලා තිබ්බ තැනට වතුර පිරෙන්න ගත්ත හින්දා අපිට සිද්ද උනා පොඩි නැම්මක් වගේ කානුවක් කපන්න වතුර ටික බැහැල යන්න. ඒ එක්කම තමයි මට මගේ අලුත්ම අදහස පහල උනේ.

"මේ හලෝ... බර්නි... අපිත් ඒඩිස් වලට බෙහෙතක් හොයමු"

මොකද ඒ වෙනකොට විදුසර පත්තරේ ගන්න ගන්න පාරට එක එක රටවල් වලින්, එක එක නම් වලින් , එක එක බෙහෙත් හොයාගෙන කියල ලිපි යනවා. ඒවා ඉතින් සමහර වෙලාවට පොඩි වාක්‍ය දෙක තුනකින් පල උනත්, නරකද මගේ පර්යේෂනාගාරෙත් ඒ එක්කම කරට කර ඉන්නවා නම්? නැද්ද?

ඉතින් මම බෙහෙත හොයන විදිය ගැන හිතුව. වැඩේ කියන්නේ මෙතරම් කාලයක් පර්යේෂණ කරලා කරලා කරලාම මගේ ඔලුව ඒවාටම හොඳට පදම් වෙලා තිබ්බේ. ඒ කියන්නේ සමහර ඒවාට ප්‍රශ්නේ කියන්නත් කලින් උත්තරේ කියවෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ මම කියනකොටම මටම උත්තරේ ආව. මොකද මම මේ කියන මෙලෝ මලදානයක් ගැන තේරුමක් නැතුව බර්නි නංගි මගේ ඇසිස්ටන්ට් විදියට ඔලුව හතර පැත්තට වැනුව කියන්නේ වැඩේ බාගයක් ගොඩ.

ඉතින් මම ඉක්මනට ගිහින් මගේ පරණ විදුසර පත්තර ටික ගෙනාව පර්යේෂනාගාරේට.

අකුරු ටිකක් යන්තම් කියෝගන්න පුළුවන් හින්දා මම බර්නි නංගිට දුන්නා මේ සම්බන්ධයෙන් තියෙන සති කිහිපයක ලිපි හොයල බලන්න කියල. වැඩි කාලයක් තිබ්බේ නැහැ. ඒ හින්දා හම්බුනා මුල්ම ලිපියේ ඉඳන් දෙක තුනක් විතරක් ගත්ත.

"ඒඩිස් සඳහා නව ඖෂධයක් සොයාගැනේ"

අන්න මාතෘකාවත් නිකං තිතටම යනවා. වැඩිය විස්තරත් නැහැ. වැඩේ සරලයි.

ගත්ත කොලයක්. ගෙන්නගත්තා පැන්සලක් නංගිට කියල.

"ඒඩ්ස් සඳහා නව බෙහෙතක් ශ්‍රී ලංකාවෙන්"

දැන් ඉතින් නමකුත් එපැයි. කලින් තිබ්බ ලිපියේ නම නියමයි වගේ C -776 එලම කිරි!

අන්න නියම පර්යේෂණ සහ සොයාගැනීම්. එදා ඔන්න පර්යේෂණාගාරයේ වැඩ ඔක්කොම කලින් ඉවර උනා. ඉක්මනට ගිහින් ගෙට වැදිලා මගේ මුලික වැඩ කටයුතු ටික පටන් ගත්තා. අම්මගේ කාමරේ ලියුම් මේසෙන් සුදු කොලයක් , දිග ලියුම් කවරයක් ගල් කළා...



ලිව්වා ලියුමක් ආයේ නෑ දැක්කහම ඇඩෙනවා හත් මුතු පරම්පරාවටම!

ඒඩ්ස් සඳහා නවතම ඖෂධයක් ශ්‍රී ලංකාවෙන් සොයාගැනේ. C-776 නම් වන මෙම ඖෂධය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර එය දේශීය රහස් ඔසු මගින් නිෂ්පාදනය කර ඇත. අතුරු ආබාධ නොමැති මෙම ඖෂධය ඉදිරියේදී වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වේ. 

උපේක්ෂා 3 B* 

(*ඔතන 3B කියන්නේ ඉස්කෝලේ පංතිය හරිද.)

ලියුම ලියල අලෝනකොටම අපේ අම්මා ගෙදර ආපු සද්දෙත්, ඒ එක්කම සිලි සිලි බෑග් 'සර බර' ගැන සද්දෙත් ආපු හින්දා මම කලේ ඒ මොහොතේම මගේ 'සොයාගැනීම' පුටුවක් තියලා අල්මාරිය උඩ තිබ්බ කොට්ට අස්සේ හැංගුව එකයි.

මොකද මගේ මේ  පර්යේෂණ ප්‍රතිපල කියන්නේ රාජ රහසක් වගේ. අක්කා ඔය කොට්ට අදින්නේ නැහැ ලොවෙත්. එයාට උස් ස්ථාන අපලයි. අය්යා කොහොමටවත් කොට්ට එක්ක සම්බන්ධයක් ඇත්තෙම නැති නිසා මට බඩේ ගින්දරක් නැතුව ඉන්න පුළුවන්.

වැඩේ කියන්නේ ලෝකයේ විශිෂ්ඨ නිර්මාණකරුවන්ට හැමදෙනාටම වගේ මටත් ඔය ඩිංගිත්තක් විතර 'මතක බැරි වෙන එක' තියෙනවා. එහෙම තමයි ලෝකයේ බැරෑරුම් ප්‍රශ්න විසඳනකොට අපිට අපිව පවා අමතක වෙන්න පුළුවනි !

ඉතින් මගේ මේ ලෝක පුජිත සොයාගැනීම මටම අමතක උනා අප්පා..... කොටිම්ම අපේ අම්මා ඊළඟ අවුරුද්දට අර කොට්ට කන්ද  බානකොටවත් මට මතක නැතුව තිබ්බා උනත් උන්ට යුතුකමක් තිබ්බා මට නොකියා උනත් මට සුදුසු තල ලබාදෙන්න ඒ ලිපිය විදුසර පත්තරේට තැපැල් කරන්න!!

ඕකනේ.. කොතනත් ඉතින් අපි වගේ අතිවිශිෂ්ඨ ළමයින්ට කැපිල්ලමයි .. ගෙදරය කියල වෙනසක් නැහැ... නමුත් එයාල මට හිමි නම්බුව නම් ලබාදෙන්න පසුබට උනේ නැහැ.

ආන්න එහෙමයි ලෝක පුජිත සොයාගැනීමක් කරපු ලංකාවේ ලාබාලම විද්‍යාඥවරිය කාලයේ වැලි තලාවෙන් වැහිලා ගියේ.




35 comments:

  1. ඔය වගේ පිස්සු හැමෝටම වගේ පොඩි කාලේ තියනවා පෙන විදිහට! මං ඉතිං කළේ ඩයිනොසර් ඇටකටු හොය හොයා තැන තැන ඇවිදපු එක!

    ReplyDelete
    Replies
    1. ආ.. ඒක මට හැදුනේ අතුරු ආබාධයක් විදියට. විද්‍යාඥයෙක් වෙනවය කිව්වට මොන ජාතියේ එකියක් වෙනවද කියල මම උගතෝකෝටික ප්‍රශ්නෙකට මුහුණදීලා හිටියා. ඉතින් ඉස්කෝලේ තිබ්බ ඔය ඩයිනොසරයින් ගැන හොයන ක්ලබ් එකකටත් බැඳුනා. ඇටකටුත් හෙව්වා.. කෝ හම්බුනේ නැහැනේ. වැඩේ එහෙම්ම යටගියා... කවුද දන්නේ ආයෙමත් කවදා පටන්ගන්න හිතෙයිද කියල.. හික්

      Delete
  2. මම පොඩි කාලේ කලේ කුප්පි වලට කිඹුල් කඳුළු එකතු කරපු එක

    ReplyDelete
    Replies
    1. සෑහෙන්ඩ හම්බෙන්න ඇති නෙහ් ?

      Delete
  3. ඔහේගේ තනතුර අනතුරේ.....!!!!
    It's time to update your resume...! (Wanda Sykes (Rita) - Evan Almighty)

    ReplyDelete
    Replies
    1. මගේ තනතුර කොයි වෙලෙත් අනතුරේ තමයි අය්යෝ.... හෙහ් හෙහ්.. දන්නෝ දනිති

      Resume is far away from my ACTUAL situation... ;-)

      Delete
  4. ඔයා ඕක ඒ කළෙම මට එව්වනන් මන් දානවනේ අයිෂු...චක්...අපරාදේ...

    ReplyDelete
    Replies
    1. ඔයාට එවන්න තියා මටවත් හොයාගන්න බැරි උනානේ මගේ සොයාගැනීම. ඒක හොයාගැනීමත් ඉතින් 'නව සොයාගැනීමක්' තමයි.. හෙහ් හෙහ්..

      Delete
  5. නියමට ලියලා තියෙනවා.

    අන්න ඔහේගේ වැහි පිස්සුව නොමිනේට් වෙලා කෙටි කතා වලට. 'කෙටි' කියන වචනෙටයි , 'කථා' කියන වචනෙටයි අළුත් අර්තකථන දීල වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙයා. ඔක්කොම ටික ලියාගන්න බැරි උනා. එක්කෝ කමක් නැහැ.. මේ ටික විතරයි වස්ත්‍රයක් ඇඳන් කියන්න පුළුවන් එව්වා තියෙන්නේ. අනික්වා ඇහුවොත් මගේ නම්බු කටුව ඉවරයි!

      හෙහ් හෙහ්.. අර කතාව නේද? හෙහ් හෙහ්... අන්න එහෙමයි යකුනේ අනුන්ගේ ගින්දර විකුනලා ජිවත් වෙන්නේ!! දන්නේ නැත්තම් මගෙන් ඉගෙන ගනිල්ලා

      Delete
  6. ශහ්ඃ..සෝක් අතීතෙ.. ගස්ලබ්බත් ඔය කාලෙම වගේ කොහෙන් හරි හයිවේ කියන වචනෙ ඇහිලා ජීවිතේට දැකල තිබුනෙ නැති හයිවේ කෑල්ලක් හැදුවා.අල්ලක් විතර සයිස් චප්ප වෙච්ච ජීප් කෑල්ලට සරිලන්න මං තීරු දෙකක මැදින් වෙන් කළ,සුපර් එලිවේශන් සහිත එකක් නේද යකෝ ඒ හැදුවෙ කියල දැං තමා කම්පනාවට ආවෙ...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඉතින් මක්කද වරද? හයිවේ කිව්වහම 'හයි ' වෙන්නම එපැයි !

      අපේ අය්යා කාරයා නම් හැදුවා නියම භාණ්ඩ... ඌ ඉතින් පෝසතානේ... අපි ඉතින් තියෙන දේකින් හදනවා. ඌ ගෙනාවා මෝටර්, කම්බි, බවුත් එව්වා මෙව්වා.. හුහ්.. ලියන්න ඕනේ ඒ කාලේ ගැනත් හි හි

      Delete
  7. මටත් පොඩිකාලේ ඔයවගෙ කේස් තිබුනා හැබැයි ඒවා ඔයිටත් එහා ගියා නොබෙල් තෑග්ග අරගෙන සභාවෙ වාඩිවෙලා ඉන්න උන්ට දෙන දේසනා වෙනකන්

    ReplyDelete
    Replies
    1. අනේ මම මේ තුන වසරේ එකී වෙච්චි... දන්නා නොබෙල් තෑග්ගක් නැහැනේ අප්පා! හැබෑට මට එතරම් දුරක් යන්න බැරි උනේ මොකද මන්ද. කොහෙද ඉගෙනගන්නත් තිබ්බනේ ඒ අස්සේ

      Delete
  8. මම හිතන් හිටියේ මම විතරයි විද්‍යාඥයෙක් වෙනව කියල ඉස්කෝලේ කාලේ චාටර් උනේ. මෙන්න බොලේ තව එකියක් ඉන්නවා ඒ චාටරේම කාපු.

    //මගේ පොඩිම පොඩි එකා කාලේ කියපු මගේ අනාගත බලාපොරොත්තුව ප්‍රශ්නෙට උත්තරේ. ඒ තමයි විද්‍යාඥයෙක් වෙන එක?
    මගේ පහ වසරට එනකල්ම මේ කතාව අහගෙන හිටපු උන් කවුරුත් කලේ හිනාවෙන එක තමයි//

    ReplyDelete
    Replies
    1. මගෙත් යාළුවෙක් හිටියා පොඩිකාලෙ විද්‍යාඥයෙක් වෙන්න ඕන කියපු. මම නම් එයාව චාටර් කලේ නැත්තෙ මගේ හොඳම යාළුව නිසා. ;D එයානම් දැන් ඇත්තටම විද්‍යාඥයෙක්..

      Delete
    2. ජීවන:
      හෑ ? එහෙම හිතුන? අනේ වාසනාවන්. ලංකාව දස දෙස පැතිරුණු අර ඩෙංගු වගේ එකක්නේ මේක එහෙනම්!

      Ima S:
      මළසේක කිව්වලු. පිස්සෙක්නේ

      Delete
  9. අපි මෙහෙම ඉන්නවා ඇති මුන් වගේ උන් ආස්සරේ කරලා ,

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. අපි මේ ලෝකපුජිත වෙනකොට කෝ ඉවාන් කොහෙද තැන් තැන්වල බයිට් කකා දුවනවා. ආස්සරේ නම්බුවට වත් ඩිංගක් හැදියන්කෝ

      Delete
  10. ආයෙත් පරීක්‍ෂණ පටන් ගන්න​. ඔය ඉරිසියා කාරයො නිසා උත්සාහය අතරින්න එපා....

    හරිම ලස්සනට ලියලා තියනවා..

    ReplyDelete
    Replies
    1. පරීක්ෂණ නම් කෙරෙනවා. වැඩේ කියන්නේ ලැබ් එකට ගන්න ලැබ් මීයෝ සහ සත්ගුණවත් දර්ශක හොයනවා. එන්ට පුළුවන් නේද?

      ස්තුතියි

      Delete
  11. Dr. උපේක්ෂා අඳුරගන්න ලැබුන එක ගැන සන්තෝසයි..ලංකාවේ ලාබාලම විද්‍යාඥ්ඥ වරිය ඔයා තමයි..

    ReplyDelete
    Replies
    1. ආන්න නියම ආමන්ත්රණේ... හෙහ් හෙහ්.... මුලට දේශබන්දු වගේ එකකුත් දාන්ට ඈ , නැත්තම් අනික් අය තරහවෙයිනේ...

      ඔව් අනේ.. කාලයක් මම හැංගිලාත් හිටියා. නාසා එකෙන් 'සූ ' ගාල සෙනග ආවනේ හොයාගෙන!

      Delete
  12. මගෙත් පොඩි කාලේ තිබුනු බලාපොරොත්තුවට කට්ටිය හිනා වුනා. ඒ මට ඒක කවදාවත් කරන්න බැරි නිසා. ඊට පස්සේ වෙනස් කරපු එකත් එහෙමයි. පස්සේ මං හිතපු නැති අදහසක් නිසා වෙනස් පැත්තකට ගියා.

    දැන් ඔය පරීක්ෂන නැවතිලාද තියෙන්නේ? එහෙමනම් ආයේ පටන්ගමු.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් එක්කෝ අපිටත් හිනාවෙන්න ඒ බලාපොරොත්තුව මෙතන කියනවද, නැත්තම් මම හිතාගන්නද නර්ස් නෝනා කෙනෙක් වෙන්න වගේ බලපොරෝත්තුවක්ය කියල?

      අපිටය කියල වෙන මොකක් වෙන්නද.. හිතාගන්න බැරි විදියේ දෙකින් තමයි කෙලවර උනේ.. හෙහ් හෙහ් හේ...

      පර්යේෂණ දිගටම කෙරීගෙන යනවා. ලැබ් රැට්ස්ලා බඳවාගන්නවා මේ දවස්වල. ඉල්ලුම් කරන්න, පුලුවන්වෙයි උදව්වක් කරන්න.

      Delete
  13. මේකත් කියවලා බලන්න......
    School report for John Gurdon, winner of Nobel prize 2012, on subject of biology.

    https://pbs.twimg.com/media/CeAhCswWwAIFK5y.jpg

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ... හෙහ් හෙහ්..... අපි ගැනත් ඔහොම ලියවෙයි නේද අප්පා.....

      Delete
  14. හම්මියෝ.. උපේස්ස කියන්නෙ එතකොට මහා බයානක පොරක් ඈ..
    හැබැයි අර ලියුම විදුසරට ගියෙ නැති එක නං වසම පාඩුවක්..
    සැක්කේ...

    ReplyDelete
    Replies
    1. මම මේ බැලුවේ මගේ කුඹි හමුදාවේ එකෙක්වත්දෝ කොමෙන්ටුව දාල තියෙන්නේ කියල. බලනකොට මෙයානෙ..

      බය වෙන්ට එපා අනේ.. මම හරී..................ම අහිංසකයි, රටක් වටියි... ටිකක් කොටයි

      ඒකනේ.. විදුසරට මිස් උනේ උන්ගේ අයිතිහාසික අවස්තාවක්. රන් අකුරෙන් ලියවෙන්න තිබ්බ පිටුවක්.. නැද්ද?

      Delete
  15. මම නම් කියන්නේ ඔය පර්යේෂණේ කරන්න කලින් බල්ලට හරි ඇසිස්ටන්ට් හරි ඒඩ්ස් හදවලා හිටියානම් හරි. ඊට පස්සෙ අර ඇමසෝන් දියසෙවල යුෂ කඩින්ට එන්නත් කරලා, උන්ගෙ උදරයෙන් ගන්න දියර වලට ඇපල් සයිඩර් විනිගර් දාලා බල්ලටයි කෙල්ලටයි පෙව්වනම් මොකක්හරි දෙයක් හොයාගන්න තිබ්බා. අනික ඒඩ්ස් වලට ප්‍රතිකාර හොයන්න පටං අරන් ඒඩ්ස් වලට ප්‍රතිකාරයක් හොයාගන්නම ඕනෙ කියලා දෙයක් නෑ. අලුතින් අච්චාරු කල්තබාගන්නා ක්‍රමයක් හොයාගත්තත් ඒකත් ප්‍රසිද්ධ කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. අන්න හරි ඩුඩ්.. මට බල්ලෙක් හිටියේ නැහැනේ අප්පා... මොකද ඔය වගේ දේවල් වලට කොන්දේසි විරහිතව, නොබියව, තමන්ගේ ස්වාමියා විස්වාස කරලා එන්නේ බොක වගේ ඉන්න බල්ලෙක්ම තමයි. එක්කෝ බල්ලෙක් හිටියා, පර්යේෂණ අතරමගදී අතුරුදහන් උනාද මන්ද.. චෙහ්.. මට අර මතක බැරි වෙන ලෙඩේ හැන්ද නිච්චියක් නැහැ.. ඕක කිව්වහම අපේ අය්යාගේ වැඩක් මතක් උනා.. පෝස්ටුවක් ලියන්න වටිනවා.. හෙහ් හෙහ්...

      මට පෙනෙන විදියට ඩුඩ් යම් මට්ටමක පර්යේෂණ වලට සහභාගී වෙලා තියෙනවා වගේ..... බර්නි නංගිට ඕව පොවන්න හදන්න ඕනේ නැහැ. කියන පමාවට ඒකි ඒවා බොනවා. මට තිබ්බ ප්‍රශ්නේ මගේ පර්යේෂණාගාරයේ තිබ්බ දුර්ලභ බෙහෙත් ඒ වගේ නැතිවෙන එකයි. මට ඉතින් ඇසිස්ටන් වටිනවනේ.. ඒ හින්දා ඒ ගැන කරපු පර්යේෂණ මමම යට ගැහුවා. බීම ජාති අපිම වෙන්න ඇති හොයාගත්තේ. නැත්තම් ඉතින් පැපොල්කොළ වලින් හදපු බීමක් පවා අපි සාර්ථකව නිෂ්පාදනය කළා. ගැනුම්කරුවා අපේ අත්තම්ම. කොටිම්ම එයා තමයි තේ කියල ( වැරදිලා?) අපේ පානය බීල මහා ( කාලගෝට්ටියක්? විනාසයක්? විරෝධතාවයක්? ) පුවතක් නිර්මාණය කලේ. අපි ඒ දවස්වල වැඩි ප්‍රසිද්ධියට කැමතිත් නැහැ. ඒ උනාට ගමේම ප්‍රසිද්ධ උනා ඒ අලුත් පානය හින්දා.

      කොටිම්ම පහල ගෙදකර හිටපු නසරානි කොල්ලෝ ටිකක් ආවනේ උන්ගේ අත්තම්මටත් මේවා පොවන්න අපෙන් පානය හදනහැටි අහගන්නය කියල. අන්න ඩිරෙක්ට් මාර්කටින් !

      Delete
  16. මට හිතාගන්න බැරුව ඉන්නේ මම රටේ ජනාධිපතිවුනහම උඹට විද්‍යා හා තාක්ශණ ඇමතිකම දෙනවද, සෞඛ්‍ය ඇමතිකම දෙනවද නැත්තන් රජවාසලේ කවටයා කරනවද කියලා.....

    ReplyDelete
    Replies
    1. බාරගන්නෙත් නැහැ.. ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ...

      Delete
  17. අපේ තාත්තත් පොඩි කාලෙ ලැබ් එකක් හැදුවලු.. ඊළඟ දවසෙ උදේ වෙද්දි ඒක කඩා වැටුණයින් එයාට එහෙම්පිටින්ම විද්‍යාව එපා වෙලා... වෙලාවට එයාගෙ දුවට පොඩි කාලෙ ඉඳල තිබුණෙ කලා පිස්සුව.. නුවර කුමාරි කළා වගෙ පණ්ඩිත ක්‍රයා කොරන්න වෙලාවක් තිවුණෙ නෑ ඒ නිසා..

    ReplyDelete
    Replies
    1. වහලයක් හින්දා ලොකු විද්‍යාඥයෙක් අහිමි වෙලා එහෙනම් ඈ....

      මගේ විද්‍යාගාරය නම් සියලු අංගෝපාංග සහිතයි. වෙන මොනවත් හින්ද නෙවෙයි, ඒක හදල තිබ්බේ බ්ලොක් ගල් වලින්. කිව්වට විස්වාස කරන්න ඒ දවස්වල අපේ ගෙදර පැත්තක ගොඩගහලා තිබ්බා බ්ලොක් ගල් ගොඩක්, ගෙදර වැඩ කරන බාස්ලගේ තාවකාලික ගෙදර හදන්න ගෙනාපු. අපි කලේ ඒවගෙන් එකින් එක 'ගල්' කරපු එකයි. එව්වා උස්සගෙන ආවේ බොහොම කැපවීමෙන්. වහලෙට ඉතින් අපේ අත්තම්මගේ 'දුන් ගෙදර ' වහලෙන් පොල් අතු 'ගල්' කළා. ඉතින් තනිකරම තිබ්බේ ශක්තිමත් 'ගල්' විද්‍යාගාරයක්!

      මගේ වැඩවලට අපේ ගෙදර උන්දලාගේ කිසිම අනුග්‍රහයක් තිබ්බේ නැහැ. අනිත් එක මගේ තියෙන ගති වලට එයාල කියල මක් කරන්නද... නේද? හි හි

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...