Thursday, May 29, 2014

44. අත බලා සාස්තර කියනු ලැබේ.... (දේව වරමින්)



මම මොරටුව කැම්පස් බඩගාපු කාලේ...

සුන්දරයි..! හුහ් මොන පිස්සුවක් කියෝනවද?

ගන්න දෙයක් නැහැ... අන්තිමයි... වෙන වෙන පිස්සු නටන අතරේ වෙලාවක් තිබ්බොත් ඉගෙනත් ගත්ත. ඔය සුන්දර සොඳුරු කැම්පස් කතා තියෙනවා නේද? මොන වැල් බයිලද..? මට නම් තිබ්බේ උසස්පෙළට නොදෙවෙනි දිවිල්ලක් දිව්ව , අන්තිමට දිනපු තරඟයකුත් නැති මෙව්වා එකක් වගේ. මොකටද බොරු කියන්නේ.. මමත් ඉස්සර ලිව්වා, සිහින මැව්වා කැම්පස් වල තියෙන මල් - මල් , ටින් - ටින් ආදර කතන්දර එහෙම... හීනෙන් තමයි..

ඒවා ගැන පස්සේ කතාකරමුකෝ.. මේ කතාව එහෙම දෙයක් ගැන නම් නෙවෙයි. මට කියන්න ඕනේ කලේ, කැම්පස් පටන් ගන්නකොට අපිට පොඩි ගැන්සියක් හිටිය කියලයි. මේ ගැන්සියේ අනේක විධ කෙල්ලෝ-කොල්ලෝ හිටිය. සල්ලිකාර උන් හිටියේ අඩුවෙන්, අපි වගේ මධ්‍යම පාන්තික පිස්සු මෝල් තමයි වැඩිපුර. දුප්පත් උන්ට අපි කොහොමත් දොර ඇරලයි තිබ්බේ. උන් සෙට් එකට එනවා, යනවා.



ඕනේ වැඩකට කට දාගෙන , පැනගෙන යන මම ඉතින් පොඩ්ඩක් නඩේ ඉස්සරහින් තමයි උන්නේ. ඇයි ඉතින් අම්මලට, අය්යලට ආරංචි වෙන එකක්යැ ? ආරංචි උනත් , පේරාදෙණිය කැම්පස් වගේ දවල් වෙන දේ, මම ගෙදර එන්න කලින් වගේ හැරෙන තැපෑලෙන් නෙවෙයි නේ... මට ඒ ටිකම ඇති මගේ ප්‍රීතියට! අනේ ඉතින් එහෙමටම දෙයක් කලේ නැහැ, හිතුනු හිතුනු වෙලාවට ටවුමට යන්න, ෂොපින් යන්න, හරස් ප්‍රශ්න නැතුව ඕනේ තරම් වෙලා කැම්පස් එකේ වල බැහැල ඉන්න වගේ දේවල් විතරයි කලේ.. පල් මොඩියෙක් නේද?

එව්වා මෙව්වා ලියන්න ගියොත්, අර රවීගේ නෑකම අහගන්න වෙනවා. ඒ මදිවට හැලපේ ? ඒ හින්ද ගැන්සියේ කතාවට ආයෙත්. මේ ගැන්සියේ මම කිව්වේ එක එක ජාතියේ උන් හිටිය කියල. කීප දෙනෙක් ගැන කියන්නම්.


  • එක්කෙනෙක් - දඩිබිඩිස් - කොයි වෙලෙත් මහා කළබලෙන් .
  • තවත් එක්කෙනෙක් දොස්තර - නොදන්නා දේකුත් නෑ , දන්නා කිසිම දේකුත් නැහැ.
  • පුසි - හෙමීට පුරු පුරු ගගා ඉඳල හිටපු ගමන් අපිව කරකෝල අතාරින ජාතියේ ජෝක් කරනවා
  • තට්ටයා - කෙස් තියෙන උන්ට කියන නමක් නෙවෙයි කියල හොඳටම තේරෙනවා නේ... එහෙනම් අහන්නේ?
  • කිරි ඉබ්බි - කිරීම කිරි පාටයි. ඇත්තටම බැච් එකේ හිටපු ලස්සනම කෙල්ලෙක්. කට ඇරියොත් වහනවා බොරු!
  • කිරි බර්ටි - කටකාරයි. හැබැයි හොඳයි.
  • කර්පට් - පිස්සු එකයි , හිත හරිම හොඳයි


මේ චරිත ටික හොඳටම ඇති මගේ මේ කතාවට. මීට අමතරව කට්ටිය හිටිය 5ක් විතර. එයාල ගැන වෙන වෙන කතා කියන්න ලැබුනොත් කියන්නම්. අද මේ කතාවට මේ ටික හොඳටම ඇති. 

ඔන්න ඉතින් නමෝ විත්තියෙන් ෆැකල්ටියට ආපු හින්ද, සම්ප්‍රදායක් විදියට යන ට්‍රිප් එක කාරිය ගියා. ගියේ හන්තානේ. හෙනම ජොලි ! ට්‍රිප් එකෙන් පස්සේ අපේ සෙට් එකේ උන්න කිරි ඉබ්බිගේ පැහැදිලි වෙනසක් මම දැක්ක. අපිත් එක්ක වැඩි කතාවක් නැහැ. ඒ මදිවට තට්ටයා ඉඳල හිටලා එයා ළඟින් වාදී වෙලා මුමුණනවා දැක්ක.. මට ඉතින් කට පියන් ඉන්න බැරි උනත්, අනුන්ගේ එව්වා මෙව්වා කරන්න හිතකුත් නැහැ. මම කනින් කොනින් විමසලා බැලුව. එව්වා හොයනකොට අපේ දොස්තර විසින් පුසීට ඉව අල්ලන බවත් , පුසි පණ බයටම වැඩිය අපිත් එක්ක එන්නේ නැති බවත් අහු උනා.. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි! නෑ .. නෑ .... එක ගලෙන් ඉබ්බයි, පුසායි ! 

අපෙත් මේ දොස්තරගේ මේ වැඩේට ප්‍රසාදයක් තිබ්බේ නැහැ.. මොකද කියන්නේ දොස්තර කිසි දෙයක ලිමිට් එකක් දැනගෙන හිටපු පොරක් නොවෙන හින්ද. ඌට පැහැදිලි සිංහලෙන් අර කෙල්ල බැහැ කියල තියෙද්දිත් මූ අර වලිගෙ විකාගත්ත මොකාද එකා වගේ තැනක් නොතැනක් නැතුව ට්‍රයි කරනවා. මහත දෙහෙත , සද්දන්ත දොස්තර කොහොමත් හුරුබුහුටි පුසීට පෙනුමෙන්වත් හරි ගියේ නැහැ... දොස්තර කොහේ හරි ඉඳන් අපි ඉන්න තැනකට කඩන් පාත් උනොත් පූසි මේ හින්දම ඉක්මනට මාරු වෙලා යනවා, නැත්තම් කිරි බර්ටිට හරි මුවා වෙනවා. මොකද කිරි බර්ටිට පොඩ්ඩක් විතර සෙට් එකම රෙස්පෙක්ට් එකක් වගේ දෙයක් තිබ්බ හින්ද වෙන්න ඇති. 

මේ අතරේ ඉබ්බිගේ තත්වේ මෙහෙම නෙවෙයි, වැඩිය කාත් එක්කවත් කතාවක් නැති උනා. බලනකොට තට්ටයා තමයි හේතුව. තට්ටය කිව්වට එහෙමටම තට්ටයක් නැහැ. ලුලෝ නැති වලට , ගෝල්ඩ් ෆිෂ් ලත් පණ්ඩිතයෝ වෙනවා නේ. පෙනුමෙන් ජෝන් ඒබ්‍රහම් වගේ පෙනුමක් තිබ්බ තට්ටයා මොන වැඩේටත් ආවේ ඩෙනිමක් ගහල, සෙරෙප්පු දෙකක් දාගෙන... කෙට්ටුයි, උසයි හොඳ පෙනුමක් - කොටින්ම කෙල්ලෙක් දැකපු ගමන් හිත ඇදිල යන කෙනෙක්. ඒ වගේමයි උගේ වැඩත් ! හරිම ජොලි, ඒ වගේම ඉගෙන ගන්නත් දක්ෂයි. ඉතින් මොකද අවුල? අවුල තිබ්බේ එයාගේ නෙවෙයි කෙල්ලගේ.. ඉබ්බි පෙනුමෙන් රූමත් හින්දම, එයාගේ පස්සෙන් ඒකාලේම දොස්තර කොලුවෙක් ඇවිත්, ගෙදරින්ම අහල. 'ගෙදර කැමති නම් මමත් කැමති යි ' ශීර්ෂය යටතේ ඉතින් මෙහෙ එන්නත් කලින් ගෙවල් වලින් කතා බහ කරනවා- යනවා එනවා. දැන් ඉතින්? ඉබ්බිට මට හිතුනේ - තට්ටයගේ කියුට් වැඩත් , පෙනුමත් මේ හැම එකක් එක්කම බලද්දී - "අරූ දොස්තර උනාට.....?" වගේ හිතක් ආපු හින්ද දෙලොවක් අතර වගේ හිටියේ..

ඔන්න බැක්ග්‍රවුන්ඩ් එක... දැන් තමයි දර්ශන තලය දිග හැරෙන්නේ...

ඔහොම එක දවසක් අපි කට්ටිය එකට කොමන් එකේ කෑම කකා ඉන්නවා. දොස්තර හිටිය ඔතන, කන්න ගියත් අර මෝඩ ට්‍රයි එක වගේ අර කෙල්ල කන බත් එකටම රිංගන්න ට්‍රයි එක දෙනවා.. කිරි බර්ටිට පොඩ්ඩක් තද උනා 


" මොකද්ද බන් උඹේ මේ කුකුල් කෙටිල්ල.. තව බත් තියෙනවා.. ඒවගෙනුත් කාපන්කෝ"

ඇඟපත මහතට තිබ්බ වගේම දොස්තරගේ කටත් මකර කටක් 

"අපි ඔය හැම එකටම කොට කොට යන්නේ නැහැ බන්, කොටන්නේ එකකටමයි"

මුගේ ව්‍යංගාර්ථය මොකද අපිට නොතේරෙන්නේ? හැරෙන පරක්කුවෙන් කිරි බර්ටි ..

"එකම එකට කොටන කුකුලගෙන් තමයි බන් බේරෙන්න බැරි.."

මුනින් අතට වැටෙන්න වගේම දුන්න. කටත් වැහුන, වෙන බත් එකකුත් ඇරුන - අපි ඇස් වලින් හිකි හිකි ගෑවා විතරයි. 

මගෙත් එක්ක එකට බත් අනනකොට මට තව කෙල්ලෙක්ගෙ අතකට අවධානය ගියා..

"ඔයාගේ තාත්ත බිස්නස් නේද කරන්නේ?"
 ඇස් ලොකු කරපු ඇය මගේ දිහා බැලුව. ඒත් එක්කම අනිත් අයත්. මොකද අපි දැනගෙන හිටියේ ඇගේ තාත්ත රජයේ සේවකයෙක් කියල විතරයි.

"කොහොමද කිව්වේ"
"අත බලල"

කන එක පැත්තක දාපු ඇය , ඉඳුල් අත  මට දුන්න. 
"තව මොනවද කියන්න පුළුවන්?"

තව කීපයක් ජාති කිව්වා, සහෝදර සහෝදරියන් ගණන, ගතිගුණ වගේ දේවල් ...

ඒපාර ඔක්කොම ඉඳුල් ඇත ටික මගේ පැත්තට! අනේ... අනේ...... ඔන්න ඉවරයක් නැහැ කියන්න කියල.



"අනේ මට කියන්නකෝ , මම බඳින්නේ කවුරුද කියල"
ඉබ්බි ඇහුව... මම එයාගේ ඇත ගත්ත... දේවල් කීපයක් කිව්වා. තවමත් අර උඩ ප්‍රශ්නෙමයි අහන්නේ. මම හොඳට අත බැලුව!

"හ්ම්ම්.... ඔය බඳින්නේ දොස්තර කෙනෙක්, යෝජනාවකින්"

ඉබ්බිගේ මුණ හොඳටම වෙනස් උනා... 

ඒ එපිසොයිඩ් එකත් ඉවරයි... එතනින් පස්සේ ආරංචි උනා තට්ටයාට ඉබ්බි කෙලින්ම බැහැ කිව්වා කියලත්. හැබැයි අර දොස්තර වගේ ගොන් විදියට නෙවෙයි, තට්ටයා ඒක ඇක්සප්ට් කරලා පැත්තකට උනා. සියල්ල හොඳින්!

අතුරු කතාව මොකද්ද දන්නවද? එකක් නෙවෙයි කීපයක් තියෙනවා 

  • තට්ටයා කරලා තියෙන්නේ බොරුවක්... ඉබ්බි ලස්සන හින්දා නිකන් යාළු වෙන්න විතරයි උවමනා වෙලා තිබිල තියෙන්නේ. ඌට කාලයක් තිස්සේ ඉන්න කමිටඩ් කෙල්ලෙක් ඉන්නවා. 
  • ඉබ්බිගේ අත බලල මම කිව්වේ බොරු! එහෙම එකක් තිබ්බේ නැහැ. 


කට්ටිය ඔහොම පොඩ්ඩක් වාඩි වෙන්න අප්පා.... කඩු කිනිසි ටිකක් බිමින් තියලා දමනය වෙන්න!

මට මේ මාස 8 කට කලින් ඉබ්බි මුණගැහුන ... බඩ  ගෙඩියකුත් එක්ක... අර දොස්තර බැඳලා යස අපුරුවට ඉන්නවා.! මම මගේ සාස්තර කතාවේ ඇත්ත  කිව්වා.... ඇය විතරක් නෙවෙයි මමත් බඩ අල්ලාගෙන හිනා වුණා.... එදා මම එහෙම නොකිව්වා නම් ඉබ්බි වෙනස් පාරක යන්න ගොඩක් ඉඩ තිබ්බ.

දැන් මට අත දෙන්නකෝ... හි... හි....

සාස්තරයක් කියන්නද? 

38 comments:

  1. යකඩෝ මටත් දොස්තර කෙනෙක් බදින්න වෙයි කියල කිව්වොත් හෙම. අපොයි බෑ..

    ඈ බං ඔය කැම්පස් වල හැම එකාටෙම එක වගේ නං නේ තියෙන්නේ. ඉදල හිටල ඔන්න හොද නමක් තියෙනවා. අජුතා... බෙලහීන... කාල... පිංපි... ගෑනි

    ReplyDelete
    Replies
    1. ඇයි වෙරළුවා දුෂකයා වැනි කාඩ්

      Delete
    2. අපෝ බයවෙන්න එපා... වෙන්න තියෙන දෙයක් විතරයි කියන්නේ...
      ඔය හොඳ නම් ඇහුව නම්? අපේ ෆැකල්ටියේ එහෙම නම් වැටෙන්නේ ඉඳල හිටලා. සමහර අයගේ නම් විතරයි කැම්පස් එකෙන් එළියට යන්නේ

      Delete
  2. දුර දක්නා නුවන නිසා ගමන් මාර්ග කීපයක්ම නිවැරැදි වෙලා තියනවැයි කියලා පේනවා. ඔය සාත්තර වැනි දේවල් මේවගේ කටයුතුවලද බොහොම ප්‍රෙයා්ජනවත්. ඒවගේම ඔබේ මතක පොත ලියැවෙන මේ රටාවත් මනරම්.

    ReplyDelete
    Replies
    1. මම අල්ලේ රේඛා බලල යමක් කියන්න නම් දන්නවා. ඒත් මම ඉබ්බිට නම් කිව්වේ බොරුවක්... මොකක් හින්දද මන්ද මට තට්ටයා කරන්නේ බොරුවක් කියල හිතිලම තිබ්බේ. කිසිම සාක්ෂියක් තිබ්බෙත් නැහැ ඒ උනාට. මට ඕනේ කලේ ඉබ්බිගේ දෙගිඩියාවට මගෙන් මොකක් හරි උදව්වක් ඕනෙනම් කරන්න විතරයි

      Delete
  3. අත ස්කෑන් කොරල මේල් එකක් දාන්නද?

    සමහර විහිළුවට කියන දේවල් ටික දවසකින් ඇත්ත වෙනවා... :)

    ReplyDelete
    Replies
    1. එවන්න එවන්න, වර්ග සෙන්ටිමේටරේට අය කරන්නේ ... හි... හි...

      Delete
  4. ගෑනු ළමයගෙ කාඩ් එකත් දැම්ම නං කතාව මරු අප්පා.

    ReplyDelete
    Replies
    1. මට කාඩ් එකක් තිබ්බේ නැහැ නේ හැලපේ .... බොරු නෙවෙයි... මට කාඩ් එකක් දාන්න තරම් බ්‍රේව් පොරක් හිටියේ නැහැ මම හිතන්නේ.. මට අල්ලන්නේ නැති එකක් දැම්මොත් මම උගේ බෙල්ලට පනී කියල උන් බය වෙන්න ඇති.. සාධාරණයි!! නැද්ද මම අහන්නේ???

      Delete
    2. අපි මේ සැහැල්ලුවට ලිව්වට ළමය කට්ටියව බය කරගෙන ඉඳල තියෙන්නෙ එහෙනං ඈ

      Delete
    3. ඔව් ඔව්... මම හෙන වසා.....යි හොඳේ?

      Delete
  5. අදමයි මේ බ්ලොගය අහුවුනේ. මේ අවුරුද්දේ ලියපු සටහන් ඔක්කොම එක දිගට කියෙව්වා.
    ලිවීම උපරිමයි. මම මේ බටු ඇටයක් සයිස් කෙල්ලෙක්ව හීනෙන් වගේ මවාගෙන ඉන්නේ දැන්.

    අහන්න විදියක් තිබ්බේ නෑ. මම ඔයාව අඹගහයටට ඇඩ් කලා. අවුලක් නම් මේල් එකක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුති රංගි .. මම ඔයාගේ බ්ලොග් එක නම් කියෝනව. අඩුවෙන් කොමෙන්ටු නම් දාන්නේ ... ස්තුති...

      අඹගහ යට කිව්වා? කෝ අඹ???? ( මම අඹ පෙරේතියක්.... කොළ, පොතු, මුල් ඇරෙන්න ගැට හිටං කනවා....... යම්.. යම්...)

      Delete
  6. දමනය වුනා.
    අත?
    No thanks.
    සාත්තර ගැන එච්චර තැකීමක් නෑ.
    ඒ නැතත් කටවහකාරියක්ගේ සාත්තර!
    නෑ, ඕනෙම නෑ.

    ReplyDelete
    Replies
    1. අන්න නියමයි... හෙන්රි විතරයි දමනය උනේ.... දමනය උනාට ඉස්තුති... ඔබේ දමනය මගේ මරණය! හි.. හි...

      මොකද්ද අය්යෝ, සාස්තර බලන්නේ නැද්ද හා? අල්ලේ රේඛා විතරක් නෙවෙයි.. මට අත් අකුරු වලින් ගතිගුණත් කියන්න පුළුවන්! හි.. හි... මට තියෙනවා ඒ ගැන කතාවල් කීපයක්ම... පස්සේ ලියන්නම්කො

      Delete
    2. ඩූඩ් ගේ අතේ රේඛා නෑ ඒව මැකිලා ඒ කාලෙම....

      Delete
    3. එහෙනං හරි ලේසියි! ඕනේ දෙයක් කියනවා.... අනාගතේ ඉතා පැහැදිලි වගේ...

      Delete
  7. හම්මේ සෑස්තර කියනව නං අපිට පරිස්සමිං ඉන්න වෙයි...
    ඌෟෟෟෟෟ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මගේ සාස්තර වලින් තමයි අපේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එයාලගේ දැන් වෙදර් රිපෝට් එක දෙන්නෙත්.... හි.. හි.. හි...

      Delete
  8. ඔය කොරන රස්සාව අතෑරල දාල පලයං වැල් බෝධිය ගාව සාස්තර කියන්ට. ඔය මාසෙකට ගන්න පඩිය එක දවසෙන් හොයා ගත්තෑකි අම්මප..

    ReplyDelete
    Replies
    1. ඔතන සාස්තර කියන්න මම හිතන්නේ මගේ පඩිය වගේ දෙගුණයක් ඇඩ්වාන්ස් දීල තමයි පර්මිෂන් ගන්න වෙන්නේ... එතන ඉන්න අය පොසත්නේ රවී අපිට වඩා...

      කොහොමද ඒ දවස්වල බිස්නස්? හි... හි.... ඇති ඔයින් බේරුනා.. මම හිතුව මෙතනද දුවගෙන ඇවිත් රවියා මගේ පොතු ගැලවෙන්න යමක් කියයි කියල! දැන් තමයි ලේ ඩිංගක් ඉනුවේ... ඔය හරි හොඳයි නේ :-D

      Delete
    2. / මම හිතුව මෙතනද දුවගෙන ඇවිත් රවියා මගේ පොතු ගැලවෙන්න යමක් කියයි කියල! දැන් තමයි ලේ ඩිංගක් ඉනුවේ... ඔය හරි හොඳයි නේ :-D /

      පිස්සුද බං මම ඇවිල්ල හරිම හොඳයි...සුපේසලයි..සික්සාකාමීයි..කොටිම්ම දවසක් ඇර දවසක් අනිවා ලපටි බෝකොළ මැල්ලුං එක්ක බත් කන්නෙ..අනික උඹත් නුවර වෙච්චි. ගමේ කමට සලකන්ටවත් එපාය.නැද්ද මං කියන්නෙ?

      Delete
    3. ෂ් ... ෂ් .... කෑ ගහන්න එපා... බොබසේ එකට ඇහෙයි... මැල්ලුම් කනවා කිව්වම එල්ලුම් ගස් යන්න වෙයි හොඳේ... ඔයාගේ ඔය එක එක කාමී කම් පෙන්නන්න වෙන විදියක් හොයා ගත්තොත් නරකද? හි... හි...

      Delete
  9. අනේ නිකන් හිටහන් උඹට නම් අත පෙන්නන්නේ නෑමයි.

    ReplyDelete
    Replies
    1. නිකං තියෙන අත් !
      අත් දෙකක් නැතුවා වත්ද? කකුල් හතර විතරයි? හෆොයි....

      Delete
  10. මමත් ඔන්න ඔහොම් එකක් කිව්වා ළඟදි... ඒත් තාම ඒකේ ප්‍රතිඵල නම් ආවේ නැහැ.. :D ඉඳලා හිටලා ඔය වගේ ඒවත් කරන්න වෙනවානේ...

    ReplyDelete
    Replies
    1. එව්වගේ ප්‍රතිපල කොතරම් හොඳද කියනවා නම්, එව්වා බලන්න අපිවත් ජිවතුන් අතර ඉන්න එකක් නැහැ... මේ කපේදිවත් වෙන්නේ නැහැ.. හි... හි...

      Delete
  11. මෙන්න අත .. එකක් කියන්න ප්ලීස් .. අනේ එකම එකක් ...

    මම බදින්නේ කවුද අනේ :p

    ReplyDelete
    Replies
    1. ඔය ඉන්න කෙල්ලෝ තොගේ බැලුවම ඉතින් සාස්තර වලින් තියා මාතර ජප කරලවත් හොයා ගන්න බැහැ කවුද කියල බඳින කෙල්ල....
      වෙන අතක් පෙන්නන්න එපා, වෙන අතක් බලාගන්න!

      Delete
  12. බුදු අම්මෝ හරි භයානකයි නේ ඔය සාස්තර!
    මම නම් දැන් ඔය යාලුවන්ගේ ලව් පලහිලව් වලට මුකුත් කියන්ඩ යන්නේ නැතෝ...
    (කැම්පස් කාලෙදිම පාඩම් ඉගෙන ගත්තු හින්දා :D)

    ReplyDelete
    Replies
    1. මම මේක හිතල කරපු දෙයක් නෙවෙයි... මෙහෙම කරන්න ඕනේ කියල හිතුවෙත් නැහැ. ඉබේම උනා.

      ඔව් ඔව්.. මමත් ඔය පලහිලව් වලට හරිම පරිස්සමෙන් තමයි ඩිල් කරන්නේ. පුළුවන් තරම් මගාරින්න ට්‍රයි කරන්නේ...
      "කෙල්ලෙක් යාලු කරගන්නද? අපෝ මෙයාට කියල වැඩක් නෑ අප්පා..." කියල තමයි කොල්ලෝ කියන්නේ.. හි.. හි..

      Delete
  13. මට සාස්තරයක්..........? පරක්කු වෙලා ආපු නිසා ඩබල් ගෙවන්නම්

    ReplyDelete
    Replies
    1. දෙය්යන්ගේ ගාස්තුව රුපියල් 111.11

      මගේ ගාස්තුව නම් වැඩිපුර ගන්න වෙනවා... හොඳටෝම පරක්කුයි... සාස්තරේ හැටියට ග්‍රහ අපල මහා ගොඩාරියක් තියෙනවා. ඒකට කරන්න තියෙන්නේ 'නැකැත් වෙලාවට' වැඩකරන්න පටන් ගන්න එක. ඉතුරුව අත බලල කියනම්. වර්ග සෙන්ටිමිටරේට අය කරන්නේ.. හි.. හි...

      Delete
  14. රංගිට දාපු කමෙන්ට් එකක් හරහා හොයාගෙන ආවෙ ඔබගේ බ්ලොගයට....කටුබැද්දේ කියලා දැනගත්තම තවත් සතුටුයි....දිගටම එන්නම් ලස්සනට ලියන්න...මම කටුබැද්දේ හිටිය කාලේ ඔයා බඩගානවා ඇති..මොකද අපි එච්චර පරනයි..හෙක්...
    මටත් තියෙනවා ඔය අත බලන ලෙඩේ. මගේ ගොඩාක් යාලුවො හිතන්නේ සාස්තර කියලා හැබැයි ගොඩාක් දේවල් කියන්න පුලුවන් අත් ගොඩාක් ස්ටඩි කලාම....ලියන්න අපි එනවා කියවන්න...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා ( මගේ සාස්තර දේවාලෙට! හි.. හි..)

      අන්න හරි! එතන මොකද්දෝ හැංගුන ලොජික් එකක් තියෙනවා නේද? හරියටම කියන්නත් අමාරුයි.. ඒක දැනෙන්නේ හදවතට... නියමයි! මෙන්න මගේ ජාතියෙන් තව එක්කෙනෙක්!!! වාඩි වෙන්න අප්පා දෙතුන් පොළකින් හි.. හි...

      අපහු ඇවිත් මම ලියන එව්වට හොදවයින් දෙකක් කියලම යන්න...

      Delete
  15. අපෝ ඕව මහා බොරු .උසස් පෙළ කරන කාලේ දවසක් වැව රවුමේ කොල්ලොත් එක්ක වල බැහැල ඉන්නකොට
    ගෑනු එක්කෙනෙක් මගේ ඇත බැලුවා. ඇත බලන්න 50 යි. අන්තිමේට වැල් වටාරම් කියවල ගොඩක් කිව කියල 150 ක් ම ගත්ත.
    සේරම බොරු .ඒ ටිකනම් මට මන් ගැන අත බලන් නැතුව උනත් කියන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ඇත නෙවේ අත (ගූගලේට සිංහල බෑ )

      Delete
    2. එකනේ... මාව හම්බුනා නම් කියනවා සාස්තරේ ආයේ නැහැ.... පිස්සු වැටිලා වැව රවුම වටේ දුවන්න !! අනිවා... කොහෙද... වැරදි කෙනාගෙන් අහල තියෙන්නේ

      ඇත - ඈත බලාද දන්නේ නැහැ කිව්වේ? හි... හි...

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...