Monday, June 3, 2013

07. අපේ අක්කා සහ පැපොල් ගෙඩිය...




අපේ අක්කත් හරි නට් කේස්  එකක්! අපි දෙන්නා  අතරේ වයස අවුරුදු කීපයයි ගැප් එක.....  පොඩි කාලේ  නම් ගොඩක් ෆිට් නැහැ ඒත්  වයසින් වැඩෙද්දී  අපි දෙන්නා  හරිම එකමුතුයි.

මේ සිද්ධිය වෙනකොට අක්කා  A/L  කරලා ගෙදර ඉන්න දවස්. ඒ දවස්වල A /L  කරලා ටික කාලයක් ඉන්න වෙනවා විශ්වවිද්‍යාලයට යන්න. මම ඉතින් A /L  වලට සුදානම් වෙනවා. එකෝමත් එක දවසක මම ක්ලාස් ඉවර වෙලා සුපුරුදු විදියට ගෙට ගොඩ උනා. අම්මත් මොකක් හරි වැඩකට එළියට  ගිහිං , අය්යත් ගෙදර නැහැ. තාත්තත් ඒ කියන දවස්වල රට. ඉතින් අක්ක විතරයි ගෙදර..

මේ පොර පුදුමාකාර බයයි තනියෙන් ඉන්න. ඒක  අදටත් වෙනස් වෙලා නැහැ. පව් දෙය්යනේ අර කසාද බැදපු අය්යත් මේවට ඔරොත්තු දෙනවා! හි හි හි..... තනියෙම ගෙදර ඉන්න වෙලාවක හය්යෙන් ගහක් හෙලවුනත් ගම දෙවනත් වෙන්න කෑගහනවා... අපේ අම්මත් එයාව තනියෙන් තියල යනවා නම් පොඩි වෙලාවකට විතරයි. මම ක්ලාස් ඇරිලා ඉක්මනට එන නිසා ඒ වෙලාව බලල තමයි අම්ම යන්න ඇත්තේ...


කොහොමහරි මම ගෙට ගොඩවෙලා විනාඩියක්වත් ගියේ නැහැ මම දැක්කා  ගෙදර dining  table එක උඩ තියල තිබ්බ ලොකු පැපොල් ගෙඩිය. මම බැලුව මේක කොහෙන්ද කියල... මොකද මම දැනුවත්ව පැපොල් ගහක් තිබ්බේ නැහැ ඒ දවස්වල අපේ ගෙදර... මේ පොර හම්බානක බය නිසා එලියට ගිහින් ගෙනාවා කියන්නත් අමාරුයි... එකපාරටම මම ඇහුව 
"මේ කොහෙන්ද මේ පැපොල් ගෙඩිය" කියල 

අපේ අක්ක පැපොල් කන්න පුදුම ආසයි. ඒ පැපොල් කියන පලතුරේ තියන රස නිසා කියල නම් මම විශ්වාස කරන්නේ නැහැ. එයා එකේ පිටම පොත්ත ඇරෙන්න සියලුම දේවල් ,කනවට වැඩිය මූනේ අතුල්ලනවා... පැපොල් ගෙඩියක් දැක්කොත් කිසිම දෙයක් බලන්නේ නැහැ, අඩුම තරමේ තව උන් මේ පවුලේ ඉන්නවා කියන එක ගැනවත් හිතන්න එයාට  වෙලාවක් නැහැ.

අක්කා  මට දීපු උත්තරේ ඇහුවම ඔයාලම තීරණේ කරන්න මම කිව්වේ බොරුද කියල....
"මේ.. චුටි නංගි , ඕක අර අපේ ගේ පිටිපස්සේ වැටිලා තිබ්බ... ඉතිං  මම අහුලන් ආවා "

"ගේ පිටිපස්සේ? එහෙම අහුලන් එනවද හලෝ පැපොල් ගෙඩි.... කොහේ යන ජරාවල් කව්ද දන්නේ.... අනිත් එක....."
මට කියන්න ලැබුනේ එච්චරයි..... ගේ පිටිපස්සෙන් සද්දයක් ආවා ...

අපේ ගෙදර පිටිපස්ස තිබුනේ ලොකු හිස් ඉඩමක්... අපි ස්ලොප් එක කපල ගේ හදල තිබ්බ නිසා, ඒ ඉඩම තිබ්බේ අපේ ගෙට ස්ලොප් එකක් එන විදියට. ඒ කියන්නේ ඉඩමේ උඩ අපේ වහලය පැත්තට, පහල අපේ මිදුලට... කන්දිය වගේ කපලා, කම්බි වැටක් ඒ දවස්වල ගහල තිබ්බේ. මම ඉතින් සද්දේ එන පැත්තට ගියා  හෙමීට.... මට ඇහෙනවා දෙන්නෙක්ගේ කතාබහක්....

"කෝ.... මට පේන්න  නැහැ නේ..... "
"ඔය ඔතනට රෝල් වෙලා ගියේ...."
"මම කඩපු තැන බැලුවේ නැද්ද?"
"නැහැ අනේ මම දැක්ක ඔතනින් පහලට රෝල් වෙනවා... අපරාදේ ගෙඩිය තැලුනද දන්නේ නැහැ..."

මට තරු පන්තියක්ම පෙනුනා ... මේ මිනිස්සු මේ හොයන්නේ අපේ අක්කා ගෙනාපු පැපොල් ගෙඩිය!!!! විලිලජ්ජාවයි !!!! මට එකපාරටම තේරුණා වෙලා තියෙන දේ...
අර මිනිස්සු එයාලගේ පැපොල් ගෙඩිය කඩලා , ඒක  රෝල් වෙලා ඇවිත් අපේ පිටිපස්සේ මිදුලට වැටිලා... අපේ අක්ක මේ මොනවත් දන්නේ නැතුව ගිහින් ඒක  උස්සගෙන ඇවිත්! දැන් ඒ මිනිස්සු පැපොල් ගෙඩිය හොයනවා!!!

මම ආපහු හැරිලා අක්කගේ දිහා බැලුවා ... ඒක  හොදටම බිරාන්ත වෙලා.... දැන් පොරත් බය වෙලා..... දන්නවනේ ඉතින් අල්ලපු ගෙවල්වල මිනිස්සු පොඩ්ඩ ඇත්තම් case වෙනවා නේ.... අනිත් එක ළමයි මෙව්වා කලාට , ලොකු මිනිස්සුනේ ඉතින් කොක්ක අදින්නේ.
"දැන් මොකද කරන්නේ...." අපි දෙන්නම ගල් ගැහිලා බලන් හිටිය. අර මිනිස්සු පැදුරු අස්සේ හිටන් හොයනවා. 
"මොනවද හලෝ කරන වැඩ!! දැන් ඒ මිනිස්සු අපෙන් ඇහුවොත් මොකද කියන්නේ..."
මම ඇහුව 
"අපි දැක්කේ නැහැ කියමු.." අක්ක ගත්  කටටම කිව්වා.....

"ආන්න... මෙතනින් පෙරලිලා වගේ පහළට ...." අර මිනිස්සු දෙන්නගෙන් කව්දෝ කිව්වා... මට කලන්තේ වගේ......
"දැන් අහු උනොත් මහා විනාසයක් වෙන්නේ... දෙමු දෙමු......" මම කිව්වා 
"ඔන්න ඔහේ අහුලගත්ත එකනේ අනේ..... දැන් ඉතින් ආයේ  දෙන්න ගියොත් සැක හිතයි..." අක්ක පැපොල් ගෙඩිය අත අරින්න සුදානමක් නැහැ. 
"පිස්සුද හලෝ.. ඒ මිනිස්සු දැක්කද දන්නෙත් නැහැ ඔයා  ඕක අහුලා ගන්නවා..... මාර ලැජ්ජාව හලෝ..... මොන එහෙකට පැපොල් අහුලන්න ගියාද ?"
මට හොදටම තරහ ගියා . දැන් කරන්න දෙයක් නැහැ ඒ මිනිස්සු ඇහුවොත් විතරක් බලනවා කියල මම යන්න හැරුනා.
තවත් ටික වෙලාවක් තිස්සේ පැපොල් ගෙඩිය හොයපු මිනිස්සු දෙන්නගේ සද්දේ ටිකකින් අඩු වෙලා ගියා. එතකොට තමයි මගේ අගට ලේ ටිකක් ඉනුවේ. නැත්තම් ඉතින් අම්මලාගේ සායම තමයි යන්නේ.
එත් එහෙට මෙහෙට යන හැම වාරයක් ගානේ , මේසෙ  උඩ  තියෙන පැපොල් ගෙඩිය දකින මට කියන්න බැරි තරම් ලැජ්ජයි.... අන්තිමට මම අක්කට කිව්වා..

"මේ හලෝ.... ඔන්න ඔය පැපොල් ගෙඩිය දෙමු හලෝ.... "
"පිස්සුද.... දැන් මේක ඒ මිනිස්සු හොයන්න එන්නේ නැහැ."
ඒත්  මට හිතට හොද නැහැ.... අන්තිමට අක්කගේ බලවත් විරෝධය මැද්දේ මම ඒ පැපොල් ගෙඩිය වැට  අය්නේ කණ්ඩියඋඩින් තියල අවට පස්සේ තමයි මට පොඩ්ඩක් හරි සැනසීමක් ආවේ ..... 
අපේ අක්කගේ පැපොල් පිස්සුව නම් එත් හොද උනේ නම් නැහැ..... 

2 comments:

  1. මේ කතාව මතක් වුනේ අර මම ලියපු පළතුරු කතාව කියවනකොට කියලා මට ෂුවර්.

    ඉතින් අර මිනිස්සු හොයන වෙලාවේ මෙන්න ඒක මේ පැත්තට ඇවිල්ලා කියලා දුන්නනම් කිසි අවුලක් නෑනේ. ආහ් එතකොට බ්ලොග් එකේ ලියන්න කතාවක් අඩුවෙනවා නේද? :D

    ReplyDelete
    Replies
    1. ඔයා එහෙම කිව්වට මට ඒ වෙලාවේ දැනුනේ පුදුම බයක්! දැන් හිතනකොට හිතෙනවා මොකටද බය වෙන්නේ කියල...... ඒත්මම බය උනා. බය වැඩිකමට ඒ වෙලාවේ මොන හරි අත්වැරැද්දක් වෙන්න තිබ්බ....
      බය උනාම මගේ කන් දෙක අගුල් වැටිලා, ඇස් දෙක පෙන්නේ නැතුව යනවනේ...

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...