Tuesday, April 21, 2015

167. ~~~ ප්‍රබන්ධ ~~~






අලුතෙන් ගෙනාපු සපත්තු දෙක ආයෙමත් මම කකුලේ දාල කාමරේ දොර ගාවට එනකල් ඇවිදගෙන ආව. 'ටොක් ටොක්' ගාමින් සපත්තු දෙක ඇවිදන් ගිහින් නතර උනාට තවත් ටොක් ටොක් සද්දේ ඇහෙනවා. මම ඇහුම්කන් දුන්නේ කොහෙන්ද ඒ සද්දේ එන්නේ කියල.

ෂොපින් ගිහින් ගෙනාපු ඇඳුම් ටික ඇඳ උඩ පුරෝගෙන, මුලින්ම අඩවන් කරපු ජනෙල් පියන් දෙක ගාවට ඇඟිලි තුඩු වලින් ඇවිදගෙන ගියපු මම හෙමින් ජනේලෙට තල්ලුවක් දැම්මේ ඒ 'ටොක්' ශබ්දය පෙරිලා එනවා කියලා මම අනුමාන කරපු ඉලක්කය හොයන්නමයි.

තේවත්ත හරහා තියෙන සිහිලස ගුලිකරගෙන හිටපු හුලන් පාරක් ඒ අවසරයෙන් මගේ කාමරේට පැන්නේ මිනිත්තුවක්වත් අපතේ යවන්නේ නැතුවයි. මගේ ඇස්දෙක අඩවන්ව ගිහින් අමුතු කිතියක් එක්ක සෘන්ගාරයක් මුළු සිරුරම සලිත කරගෙන පිබිදුනා.

පමාවූ ඒ මිනිත්තුවට මම හොයපු 'ටොක්' ශබ්දය අතුරුදහන්ව ගිහිං ! මම ඈතට දිවෙන තේවත්ත පුරා ඇස් ගෙනිච්චේ හෝඩුවාවක් හොයන්නම නෙවෙයි. එතකොට මගේ ඇස ගැටුනේ ටොක් ශබ්දයේ අයිතිකාරයයි වැඩියෙන්ම සැකකලහැකි රුවක්...



ඈතින් පෙනුනත් ඒ සිරුරේ තිබුණු ශක්තිමත් බවත් කඩවසම් බවත් වසන් කරන්නට බැරි තරම්. මෙතෙක් වෙලා ඔහු කල ශබ්දයට සාක්ෂි විදියට විසල් පොරවක් , බැනියමකින් වැසී තිබුණු ඔහුගේ පිරිපුන් උඩුකයෙහි වම් උරහිසෙහි රඳවාගෙන සිය සෘජු සිරුර දෙපසට වනමින් , බිමට නමාගත් හිසින් යුතුව අප බංගලාව දෙසට වැටුණු පාරට පිවිසුනා.

සැබෑ කඩවසම් තරුණයෙක්!

කඩවසම් තරුණයින්ට කොහෙන්ද මගෙන් ගැලවිල්ලක්? මම මගේ ඇස්දෙක උපුප්පාගෙන ඔහු එන දෙස බලාගෙන සිටියේ මෙතෙක් දවසක් ඔහු මගේ ඇස නොගැටෙන්නට සිදුවූ අරුමය ගැන හිතමින්මයි.



*****************************************************

මම නිදහසේ හිතන කෙල්ලෙක්. හිතන්න විතරක් නෙවෙයි නිදහසේ ඉන්නත් කැමති කෙල්ලෙක්. ඩඩාගේ වතුයායට එන්න කලින් මම ගෙව්වේ කිරිල්ලියක් වගේ ජිවිතයක්. යාලුවෝ ඕනේ තරම් මට හිටියා.. යන්න තැන් ඕනේ තරම්, කන්න දේවල් , කරන්න දේවල් ඕනේ තරම් මට තිබ්බා. මේ කූඩුවෙච්ච ජීවිතේට මාව ඇදලා දැම්මට මම මමීටත් , ඩඩාටත් හිතින් සාපකරපු රැයක් නැති තරම්.

මේ ඔක්කොටම වගකියන්න ඕනේ අපේ මල්ලි. ඌ තමයි ක්ලබ් එකේදී කෙවිනුයි, රුමේතුයි මට රණ්ඩු වෙලා වෙච්ච සිද්දිය, එක හත කරලා මමීට කියලා තිබ්බේ. කොහොමත් එයාල ඒ වෙනකොට පොලීසියෙන් එළියට ඇවිත් ගොඩක් වෙලා නිසා එහෙනුත් යමක් දැනගන්න ඇති. ඒ උනාට මල්ලි සිද්දිය කියනකොට මමී මට ගහන්න උස්සපු අත රොෂෙල් ආන්ටි අල්ල ගත්තත් ඒ පාර මට වැදුනා වගේ රිදුනා. ක්ලබ් එකක රණ්ඩුවක් වෙන එක මහා දෙයක් වෙන්නේ කොහොමද? අනිත් එක දෙන්නගේම ඩඩා ලා පි.එස්.ඩී එකේ.

ඒ සිද්දියෙන් දවස් තුනක් ගියේ නැහැ මාව මේ එක්ටැම් ගෙට ගෙනත් දැම්මා. තිබ්බ ඒ නිදහස් , සැහැල්ලු ජිවිතේ පුපුරලා ගියපු මම හිටියේ ජිවිතේ එපා වෙලා. කිසිම විදියකින් මට තැන්පත්වෙන්න ඕනෙකමක් තිබ්බේ නැහැ. හැමවෙලේම මම කලේ සිග්නල් තියෙන තැන් හොය හොයා යාළුවන්ට වයිබර් කරපු එකත්, එෆ් බී එකට ලොග් වෙච්ච එකත්.

එක දවසක් මම අපේ විසාල තේවත්ත අයිනෙන් යන දොළපාරේ වාඩිවෙලා කකුල්දෙක වතුරට දාගෙන හොලව හොලවා වටපිට බලමින් හිටියා. සීතල වතුර විතරක් නෙවෙයි, සීතල හුළඟත් මට ගේන්නේ අමුතු සෘන්ගාරයක්. මම ටිකක් විතර ඒ සිතුවිල්ලට ඇබ්බැහි වෙලා ඒ වෙනකොට.

මාව පහුකරගෙන දළු නෙලන ගැහැනුන් හය්යෙන් කතාකරමින් යනවා ඇහුන නිසා මම පොඩ්ඩක් ඒ දිහාවට හැරිලා බලන් හිටියා. කිළුටු ඇඳුම් වලට උඩින් එයාල ඉටිකොළ ඇඳගෙන හිටියත් මට හිතුනේ ඒ තිබුනෙත් ඇඳුමක්මයි කියල. වෙලාවකට ඇඳුම් නොවෙන ජාතිත් අපි ඇඳුම් කරගන්නවා වෙන්න ඇති.

"රෝෂි නෝනා.... "

ගැහැනුන් පසුපසින් ආපු කන්කානම මාව දැකල නතර වෙලා එයාගේ කහට ගැහිච්ච අපිරිසිඳු දත්ටික පෙන්නලා බැගෑපත් හිනාවක් පෑවා. මම යන්තමට කටකොනකින් හිනාවුනේ සුහදකමකට නෙවෙයි.

"...... ශීතල නැද්ද නෝනා.... ලෙඩ්ඩ වෙයි නෝනා...."

මට දැනුනේ මහා කරදරයක් වගේ. එක කකුලක් නොන්ඩි මේ කන්කානම මට හැමදාම ඇතිකළේ නොපහන් බවක්. කිළුටු පෙනුමක් තිබ්බ ඔහු ඕනෙවට වඩා යටහත් පහත්.

"නෑ නෑ... සෙල්වම් යන්න... මම තව ඉඳල එන්නේ"

මම එහෙම කිව්වේ දවසක් සෙල්වම් මාව බංගලාවටම ඇරලවලා යනකල් ගියේ නැති නිසා අදත් ඒ කරදරේට මම වැටෙයි කියන බයට.

එතකොටම මට පිටුපසට දිවෙන බොරළු පාරේ බොරළු 'සර සර' ගාමින් කිසිවෙක් ඇවිදගෙන එනවා මට ඇහුනත් මම එය නොතකා පුරුදු පරිදි මගේ සිසිල් සුවය විඳිමින් හිටියා. මෙතැන මගේ ප්‍රියතම තැනක් වෙන්න තවත් හේතුවක් තිබ්බ. ඒතමයි දුර්වල උනත් නොකැඩි සිග්නල් තියෙන තැනක් නිසා මට යාළුවන්ට කතාකරන්න තිබ්බ නිදහස.

"මාමාවුම් මාමියුම් උන්ගලයි තෙදුරාංග"

"සරි සරි නාන් වාරෙන්.. නින්ග එංග පොරේන්ග? "

අඩි ශබ්දය ආපු දිහාවට හැරිලා කියපු සෙල්වම් දිහා මම යන්තම් බැලුවා.

"කඩයෙක්කු පෝරෙන් "

කටහඬේ තිබ්බ අමුත්ත නිසා මම යන්තමට උරහිස උඩින් බැලුවා. පැහිදිලිව නොපෙනෙන උස් මිනිස් රුවක් හෙමින් හෙමින් පාර දිගේ එනවා දකිනකොටම මගේ වළලුකර ගාවින් තියුණු වේදනාවක් ආව නිසා මට එකවරම මහා හය්යෙන් කෑගැහුනා.

මගේ වතුරෙන් එලියට තිබ්බ දකුණු කකුල ගාවම හිටියේ නමක් නොදන්නා සර්පයෙක්. මම මගේ උපරිම වෙර විරියෙන් බෙරිහන් දුන්නා උනත් එකවරම මගේ හුස්ම හිරවෙලා යනවා වගෙත්, හිස කැරකෙනවා වගෙත් විතරයි දැනුනේ



********************************************************

උදේ දහයට මම තියපු එලාම් එක වදිනවා ඇහිලා , ලිය ලිය හිටපු වයිබර් මෙසේජ් එක පැත්තකට දාල මම ඉක්මනට දුවගෙන ගියේ ජනේලේ ගාවට. වෙනදා වගේම අදත් ශිවා දර පලනවා මට පේනවා.

හැමදාම උදේ දහය වෙනකොට නොවැරදීම ශිවාගේ මේ පැමිණීමත්, ඒ එක්කම මම කවුළුවෙන් බලාගෙන ඉදිල්ලත් කියන මේ සිද්ධි එකම එකට සිද්ද උනේ දවස් තුනක් විතරයි. කොහොමත් කොල්ලෙක් දිහා වැඩිපුර දවසක් බලාගෙන ඉන්න එක මගේ ඉවසිල්ල තියාගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි.

"රෝෂි නෝනා.... "

හෙමින් මගේ දොර පාමුලින් ඇහෙන යාලිනිගේ සද්දයට වෙනදා දක්වන උදාසීන උත්තරේ වෙනුවට, මම උත්තරයක් දෙන්නටත් කලින් දොර ඇරගෙන එලියට ආව නෙවෙයි පැන්නුනා.

"කෝ... ආවද?"
"පන්නිවිඩේ කිව්වා... ඒකා ගෙදර නේ නෝනා..."

මගේ අතින් වීදුරුවක් බිමවටුනා වගේ අමුතු හැඟීමක් දැනුනා. ශෝකයක්මත් නෙවෙයි.

"හ්ම්ම්.. එහෙමද.. හා... කමක් නැහැ"

ඒ මගේ පළමු උත්සාහය. ඒ වගේම කොල්ලෙක් එකවරම අහු නොවුණු පළමු වතාව.

තවත් හිතන්නේ නැතුවම මම කලේ මගේ ප්‍රියතම කෙටි සායත් ඇඳගෙන බංගලාවට පිටිපස්සෙන් යන බොරළු පාර දිගේ ගියපු එකයි. මම අත් ඔරලෝසුව දිහා බැලුව. වෙලාව දහයට ළඟයි...

මම අනුමාන කළා වගේම ඒ එක්කම තේවතු පීරාගෙන ඉහලට එසවෙන මිනිස් රුවක් විදියට 'ශිවා' පඩිපෙළ නගිමින් ආවේ බිමට යොමාගත් හිසින් යුතුවයි.

පඩිපෙළ මුදුනේ , මැද්දෙන් හිටගෙන හිටපු මගේ හෙවනැල්ල දැකපු ශිවා එකවරම හිස එසෙව්වා.


පාටින් තද කළු නොවුණු ඒ මුහුණේ තිබ්බේ රෞද්‍ර කඩවසම් බවක්. ඇත්තටම එකවරම ආපු ඒ බැල්ම මාව පිටිපස්සට තල්ලු කළා වගේ දැනුනේ. ඈතින් පේනවට වඩා ශිවා උසයි.

"රොෂෙල් නෝනා...."

දෙමළ උරුවක් තිබුනත් මගේ නම නිවැරදිව ශිවා උච්චාරණය කළා. ඔව්... ශිවා කියන්නේ ඉගෙනගත්ත කොල්ලෙක්. නිවාඩුවට තමන්ගේ මාමාගේ ගෙදර ආපු ගමන් කියන එකත් මම දන්නවා. මම ශිවාගේ ඇස්දෙක දිහා කෙලින් බැලුවා. එහි තිබ්බ දැඩි වගේ ගතිය වහගන්නද මන්දා ශිවා බිම බලාගත්ත. ඒ බිම බලාගැනිල්ලේදී මගේ සායේ අග ඒ ඇස්දෙක පැටලෙනවා දැකපු මට හීනියට හිනාවක් ගියා.

".... ස්නේක්ස් ලා ඇති නෝනා. එස්ටේට් එකේ හැමතැනම"

මම තනියෙන් හිනා උනා. ජැකට්ටුව ඇතුලට අල්ල ඔබන ගමන් මම ඒ වචන ආයෙත් මතක් කළා. එතකොටම ශිවා ඔලුව උස්සලා මගේ දිහා බැලුවා. ආයෙත් සායේ අග පැටලෙන ඇස්... මට හිනා..

"මම ශිවාට පණිවිඩයක් යැව්වා... යාලිනි අතේ... ලැබුනද?..."

ශිවා උත්තරයක් නොදී මෙතෙක් වෙලා වම් උරහිසේ තියාගෙන හිටපු පොරව දකුණු අතේ මිටෙන් අරගෙන වම් අතින් තලේ අල්ලා ගත්ත.



"... මගෙත් එක්ක යමු දියඇල්ලට ? බයයි තනියෙන් යන්න"
"නො.."
"දර ටික පස්සේ පලන්න. මම කියන්නම් යාලිනිට දර පරක්කු උනේ මම හින්ද කියල.. යං යං.. මට පරක්කු වෙනවා"

මම එහෙම කියල , ඉදිරියට නැවිලා පඩි තුනක් පහල හිටපු ශිවාගේ අතින් අල්ලලා ඇද්දා. ඒ ශක්තිමත් බාහු තියෙන ශිවා වෙනුවට මාව ඒ පැත්තට ඇදිලා ගියහම කලබල වෙච්ච ශිවා පඩියක් දෙකක් ඉහලට නැගලා මාව වැටෙන එක නතර කරගත්ත. ශිවා බයෙන් ගැහෙනවා කියල මට ඒ ඇස්දෙකේ ප්‍රමාණයෙන් තේරුණා.....

"ඒකනේ කිව්වේ එන්න කියල.."

ඒ පාර මම ශිවා අඩපන කරගෙන ගෙනියන්නට සමත් උනා. කිසි කතාවක් නැතුව මගේ ඉස්සරහින් ශිවා ගියේ පුරුදු සෘජු ගමනින්.


********************************

මතු සබැඳි..........

10 comments:

  1. හරි බලමු ඊළඟට මේ අහිංසක ශිවාට මොකෝ වෙන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. දැන් කොතනද මෙතන ශිවා අහිංසකයි කියල කිව්වේ? අම්මප මුන්ට පේන්නෙම කෙල්ලන්ගේ වැරද්දමයි

      Delete
  2. අනේ පව් අසරණ ශිවා ,, එල එකක් ඈ කොටස් භිතීකාවත් දැන් මට හොඳයි ඒ හින්දා ඊලග කොටස දානකල් බලන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. අසරණ? හුහ්... කොට සායක පැටලෙන ඇස් තියේ නම් කොහෙද හලෝ අහිංසක? අහිංසක කොල්ලෝ කියල ජාතියක් නැහැ අප්පා... ඔන්න ඉතිරි ටිකත් කියෝලා අනිත් උන් වගේ පොල් ගහල බැනල යන එකයි

      Delete
  3. පට්ටයි ඈ....
    සෑහෙන දවසකින් පට්ට ඉට්ටෝරියක් කියවන්න ලැබෙන හැඩයි
    සෘන්ගාර නෙවී ශෘන්ගාර

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මහේෂ්. ඔහේ ලිව්වා මිසක්කා වැඩිය හිතුවේ නැහැ මේ පාර නම්. මට ඔය 'ගාරය' ලියාගන්න බැහැ අනේ හරි විදියට. අන්තිමට එන වචනේ දැම්මා. සමාවෙන්ට අනේ..

      Delete
  4. නියමයි... බලමුකෝ බලමුකෝ මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. බලමුකෝ නේද? ඊළඟ කොටස කියවපු ගමන් මට තැපෑලෙන් ලැබෙන බව දනිමි

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...