Tuesday, March 1, 2016

250. වරද මා අතම මිස






ගෙනාදා පටන් උඹ
හැදුවේ හැමදා බලමින්ම .
ආදරේ වැඩි නිසයි
අතින්වත් නෑල්ලුවෙ හැමදාම...

වැඩෙන හැටි දිනෙන්දින
බලා උන් සෙනෙහසට
පිපෙන පීදෙන තුරුත්
ඉවසුමක් නැති උනි මට....

මට දකින ඉක්මනට
මලක් දෙනු විගසකට
දුනිම් මුත් ඉසින බෙහෙතක
අරෝවක් නොමැතිවම
පිදුණේ නුඹ සිලිලාරට...

කමා කරවනු මැනව
සුහුම්බුල්වූ ඔය ගතට
උහුලන්ට බැරි උනත්
මෙමා සනසනු පිණිස
පිපුණු නුඹ......

කේඩරුව ගොස් ඉදින්
වරද මා අතම මිස..
නුඹ නොවෙයි
මගෙ දරුව !


ප.ලි.
මම ඕකිඩ් වගයක් ගෙනාව. එකෙ පැලයක මලක් බලන්න ආසාවෙන් ( තණ්හාවෙන් ?) මම ඒවායින් එකකට මල්පිපින පොහොර දැම්මා. මගේ ඉල්ලීමට ( පොහොර වලින් ලැබුන උත්තේජනයට) එක ගහක් එක කොළයක්වත් එන්න කලින්ම ලොකු මල් කිණිත්තක් පිපෙව්වා. එක කොළයක්වත් තිබ්බේ නැති ගහේ අන්තිමට ලස්සනම ලස්සන , ලොකු මල් ඉත්තක් පිපුනා. ඒ උනාට මගේ හිත මට දොස් කිව්වා. හරියට වැඩෙන්න කලින්ම ඒ 'නොදරුවාගෙන්' මල් ඉත්තක් ගත්තා  කියලා.ඒ වරදකාරී හැඟීම තවත් තීව්‍ර උනේ මල් ටික පරවෙලා ගියාට පස්සේ ඕකිඩ් ගහ ඔහේ බලාගත්ත අත බලාගෙන හිටපු හින්දයි.

මට ඒ ගැන ලියන්නම හිතුනේ ඒකයි 

(  හිනා  වෙන්න එපා යකුනේ... මට හිතෙන්නේ මල් මගෙත් එක්ක කතා කරනවා කියල තමයි!)



34 comments:

  1. පිස්සු කියල මරන්නයෑ?

    ReplyDelete
    Replies
    1. බෝම හොඳ අවිහිංසාවාදී මහත්මයෙක්නේ..... ඔය කිනිස්ස රාක්කෙන් තියල එන්න මිටපස්සේ හොඳද

      Delete
  2. ඔච්චර ගනන් ගන්න එපා..ආයෙත් අර මල් පිපෙන්න උත්තේජනය කරන පොහොර ටිකක් ස්ප්‍රේ කරන්න....ගස් ආසයි ඒවට..අපි වගේ නෙවී...!

    ReplyDelete
    Replies
    1. ආයේ නම් කරන්නේ නැහැමයි. දැන් ඒ ගහට ' නියමිත' පෝශනේ දෙනවා. කොළ හැදිලා එනකල් ඉන්නවා ඉවසගෙන. ගහ මොකක් හිතුවත්!

      Delete
  3. ඕක මොකක්ද ගින්ද්ර නැතිව දුං නගින්නේ.. හැක්

    ReplyDelete
    Replies
    1. නැට්ට නැතුව අලි මැරෙන්නේ...

      Delete
  4. ගහකොළ විතරනේ නොදැන හිටියේ උඹට පිස්සු කියලා , උඹලව ආස්සරේ කරලා අපිටත් පිස්සු හැදෙයිද මන්ද ?

    ReplyDelete
    Replies
    1. අනේ මේ! අපි නොදන්න මොණරතැන්න ! දුප් කිව්වේ !!!!

      Delete
  5. ඔය කතාවම සදවතිත් කිව්වා ... ගස් වලට කතා කරලා ...පොතේ නම මතක නැනේ .... කසුරි ගේ මේ මෑත කාලයේ ලියපු සම්මාන හම්බ වෙච්ච පොතක්.

    පිස්සු නෑ. ඒත්... බලෙන් මල් පුදනවා කියන්නේ බ්‍රොයිලර් කුකුල්ලු හදනවා වගේ වැඩක්. කුමාරි.....

    ReplyDelete
    Replies
    1. පොත අන්තර්ජාලයෙන් දැක්කා. 'රතු ඉද්ද' තමයි. ස්තුතියි කිව්වට.

      අනේ ඒක හරි වරදකාරී හැඟීමක්...

      @Fatty: ස්තුතියි

      Delete
    2. ඔව් රතු ඉද්ද.. සුන්දර පොතක්..

      Delete
  6. සුපිරියි...........

    ReplyDelete
  7. ඔය බලෙන් පුප්පවන මල් , බලෙන් පුප්පවන හිත් ඔක්කොම එකයි බොල....බෙහෙත් ගහන එකාට දවසක දුක හිත්තවනමායි.

    ReplyDelete
    Replies
    1. ඒකනේ... මම වගවිභාගයක් නැතුව ඉස්සා මිසක්.. ( මේ පළමු වතාව නොවේ. මම කිව්වේ මල් සම්බන්ධයෙන් නෙවෙයි)

      ඒක නෙවෙයි.. අර කතාව කෝ?

      Delete
  8. ඔව්. ඒක මල් අපචාරයක් තමයි. එහෙම නැතිනම් හෝමෝන් දීලා දීලා කුකුලෝ හදනවා වගේ. ඇයි ඉතිං එහෙම කරන්න හිතුනේ? පර්යේෂනයක්ද?

    ReplyDelete
    Replies
    1. අන්න නොයාම වචනේ... 'මල් අපචාර!'
      නැහැ ඩුඩ්.. පර්යේෂණයක් නෙවෙයි. ගේනකොට මලක් තිබ්බා. ඒක පරවෙලා ගියාම මට ආයෙමත් ඉක්මනට මලක් දකින්න ඕන කළා. ඉතින් කොළ එන්න කලින්ම මම මල් පොහොර ඉස්සා. කිරිමෙල් එකක් නේද?

      Delete
  9. මල්ගහ බලාගෙන ඉන්නෙ බෙහෙත් වේල දෙනකන්.. දැන් සික් එක වගේ ඇති..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එයාව මම ICU දැම්මා. මගේ මල්පැල වලට තියෙනවා ICU එකක්!

      Delete
  10. මං හිතුවෙ ඒක මට විතරක් තියෙන අවුලක් කියල.. මල් ගස්වලට කතා කරල ඉක්මණට මල් දෙන්න කියා කියනව මාත්..

    ReplyDelete
    Replies
    1. මම ඉතින් ඔය ටික කිව්වේ නැහැ. ඉල්ලන් කන්න වෙන හින්දා... මම මල් පිපෙන ගස් වලට එහෙම කියනවා. කොළ හැදෙන ගස්වල කොළ ලස්සනයි කියල එයාලටම ඇහෙන්න වර්ණනා කරනවා. එයාලා වැනි වැනී හිනාවෙනවා. වැඩියෙන්ම හිනාවෙන්නේ පිච්ච පඳුර. මගේ කීම අහල ජර්බරාස් පැලයක් අන්න රතුපාට මලක් දීල. මම එයාට ගිය සතියේ විහිළු කළා , ඒක වෙන්න ඇති!

      ෂ්! කට වහප්!!

      Delete
  11. :O බට් කරපු ගස් වල ගෙඩි පිරිලා තියෙනකොට මටත් මෙහෙම හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. එහෙනම් අඹරල්ලා ගස් ඔයාට දුකක් ගේනවද? ඒ උනාට රෝස ගස් දැක්කම එහෙමෙ හිතෙන්නේ නැහැනේ... නැද්ද? අපේ අම්මා හදල තිබ්බ කහරෝස පඳුරක්. ඒකෙ හැමදාම මල් පිරිලා. ඉස්සර මම එයත් එක්ක බරටම කතාවක් දාගෙන ඉන්නකොට

      "චුටි නංගි ................! තමුසෙට මොකද ඕයි වෙලා තියෙන්නේ...??"

      කෑවා .. කෑවා.. අපේ අය්යා සීන් එක අල කළා!!!! නැත්තම් මම මේ වෙනකොට පට්ට රොමැන්ටික් හරිද!

      Delete
  12. මන් ගහ උනානං දානවා නඩු..ඇයි අප්පා මේක හරිම කූර ලෝකයක්නේ...අපේ පාඩුවේ ඉන්නවත් නෑ කියල හිකිස්

    ReplyDelete
    Replies
    1. ඔයා ගහ උනානම් මම දාන්නේ ඒ පොහොර ජාතිය නෙවෙයි අප්පා.. හෙහ් හෙහ්....

      Delete
  13. ගහට දුක හිතෙන්නැති මල ඉක්මනට පර වුණාට

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මල නම් ඉක්මනට පර උනේ නැහැ. ඒ මල් ඉත්තෙන් පස්සේ ගැහෙ එක කොළයක්වත් නැතුව කඳ විතරක් ඉතුරු උන හින්දයි මට දුක හිතුනේ. මේ දවස්වල ICU ඉඳල ඔන්න දැන් දල්ලක් දාල...

      Delete
  14. සොබාදහමට එරෙහිව ගිහින් හොඳම දේ අපිට ලබාගන්න බැහැ කියල මම තරයේ අදහනවා.. ඒත් හිටපුගමන් මේ තරඟකාරී ලෝකය අපිව ඒ තරඟයට අපිව බලෙන් ඇදල ගන්නවා.. ඒත් උපරිම විදිහට සොබාදහමේ තීරණයට හිසණාමල ජීවත්වෙන මිනිස්සු දීර්ගකාලීන සන්තෝසයක් ලබනවා කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. හොඳයි... අපි හදන ඕකිඩ් ඔක්කොම ( ගොඩක් මල්පැල ) හැදෙන්නේ අපි දැන් හදන්න හදන පරිසරයේ නෙවෙයිනේ. එතකොට එතනම කරන්නේ විකෘතියක්. නමුත් අපි ආසයි ඒ මල් ඇසුරු කරන්න.

      කැලෑ එහෙම දැක්කහම මට හිතෙන්නෙම එතැන අමුතු ගහක් කොලක් ඇතිය කියලයි. ඉස්සර මම අපේ ගෙදර වතුර ටැංකියේ වැඩිපුර වතුර යන්න හදල තිබ්බ තැනින් වෑස්සෙන වතුර වටේ හැදිලා තිබ්බ දියසෙවල 'වනාන්තරය' ගවේෂණය කරනවා. ඇත්තටම ඒක වනාන්තරයක්. amazon වගේ. මම ඉතින් ගෙදර තිබ්බ කාච එහෙම හරඹ කරමින්, වරු ගණන් ඔතැන 'සොයාගැනීම්' කරනවා. හෙහ්.. මට තිබ්බනේ ඔය සොයාගැනීම් පිස්සුවක් ඒ කාලේ. වෙනම ලියන්න ඕනේ ඒක !

      Delete
    2. ඒක ඇත්ත අක්කේ...ඔය සොයා ගැනීම් මෙව්වා එක තදේටම මටත් තිබ්බා...කියන්න සන්තෝසයි මං වගේ තව ඩයල් එකක් හම්බුන එක ගැන :p

      Delete
    3. හෙහ් හෙහ්.. මම ඒ විස්තර ලියපු දවසට තමයි අමා කොමා වෙන්නේ. මාව ලංකාවේ හැටියට අමාත්‍යංශ දුසිමකින් විතර හොයයි. නෑ නෑ ... නව නිපැයුම් කරුවෝ සංගමේට සතේක වැඩක් නැහැ...

      Delete
  15. අන්න ඒ නිසයි ළමයා පොහොර සහනාධාරය වෙනුවට සල්ලි අතට දෙන්නේත්.

    ReplyDelete
    Replies
    1. හැබෑට? එහෙනම් බැරිය විටමින් ටිකක් ගන්න..

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...