Friday, February 26, 2016

249. නසීම් කා මත්ලබ් ක්යා හෝතා





"දදා ජන්....!"
"ආ.. ජානු...."
"නසීම් කා මත්ලබ් ක්යා හෝතා හේ?"

ඒ තමයි චිත්‍රපටිය ආරම්භයේදී වගේම මැදදී හා අගදී අපෙන් අහනවා උනත් 'දාදා' උත්තර දෙන ප්‍රශ්නේ. ඒ මොහොතේම මම ඒ සංවාදයේ කොටසක් උනා වගෙයි.

නසීම් කියන්නේ මලක් වගේ මුහුණක් තියෙන ඊට කලින් මම බොළඳ ප්‍රේම ජවනිකා වලින් දැකල තිබ්බ කෙල්ලක් හින්දා මගේ හිතපසුබාගෙන ගියත්, එය පවතින්නේ පලවෙනි විනාඩි තුන හතරේ විතරයි. ඊට පස්සේ නසිම්ගේ පස්සෙන් වැටීගෙන යන මාව නසීම් එයාගේ 'දාදා' ගේ කකුල් දෙක ගාව බිමට දානවා.

දාදා ( සීයා ) තමයි ඇත්තටම අතීතයේ සලකුණ. මේ ගෙදර නසීම් එක්ක ජීවත්වෙන ඔහුත් ඔහුගේ පවුලේ අයත් මුස්ලිම් බව තේරුම් ගන්න මට ගොඩක් වෙලා යන්නේ දාදා හින්දම වෙන්න ඇති. මොකද කියනවා නම් , ඔහුත් ඔහුගේ පවුලේ , නසිම්ගේ අය්යා ඇරුණුකොට අනිත් අයත් එක්ක නළලේ මොට්ටු තියාගත්ත ගැහැණුන් කිසි වෙනසක් නැතුවම මිශ්‍ර වෙන හින්ද වෙන්නත් පුළුවන්. නසිම්ගේ අය්යා තමයි එතන වතුරේ දියවෙන්නේ නැති නුතන පරපුර නියෝජනය කරන්නේ.



මේ කතාව මම සමස්තයක් විදියට බැලුවම විතරයි ජාතිවාදී අරගල වෙනුවෙන් කරපු එකක් වගේ පෙනෙනෙන්නේ. නැතිනම් ඒ ඉන්නේ අපේම සමාන්තර ජීවියා කියල නොහිතා ඉන්න අමාරුයි. නසීම් කියන්නේ අවුරුදු 15ක කෙල්ලෙක් උනාට තමන්ගේ සීයා එක්ක බොහොම සමීපයෙන් ඉන්න , සැහැල්ලුවෙන් ජිවිතේ හිතන කෙනෙක්. ඉතින් නසීම්ට තිබුනේ සරල ප්‍රශ්න. එයා හැමදාම එයාගේ වරලස් පීරන ගමන්



"සීයා..."
"ඇයි වස්තුවේ?"
"නසීම් කියන එකේ තේරුම මොකද්ද"

කියල අහනවා. සීයා හැමදාම උත්තරේ දෙනවා. ඒ එක්කම සියා එක්ක නොමේරු නසිම්ගේ සංවාද අපිට ලොකු සංවාදයක් ඔලුව ඇතුලේ මවනවා. වෙලාවක නසීම්

"අහස මොකද සීයා නිල්පාට?"

කියල ඇහුවම සීයා බොහොම නිර්මාණශීලි, ඒ වගේම ආදරණිය උත්තරයක් දෙනවා. අන්තිමට කියනවා
"අහස නිල උනත් මොකක් උනත් මොකද ඉතින්.... මගේ දුව හිනාවෙන ඉන්න එක තමයි වැදගත්"

එතැනදී අපේ පැත්තට එල්ලවෙන්නේ පොලු පහරක්. අපි කාගේද, කොහෙන්ද කියන එක නෙවෙයි වැදගත්, වඩා වැදගත් වෙන්නේ අපි හැමෝම සතුටින් ඉන්න එකයි. අන්න ඒකයි ජාතිවාදය නිමන එකම ක්‍රමය.

තවත් වරෙක නසීම් එයාගේ පාසලෙන් ඉගෙනගන්න දේවල් ප්‍රශ්න කරන්නේ සරල විදියට. නමුත් අපි හිතන තර්ක වලින් නෙවෙයි.

"ඉතිහාසය මෙච්චර කම්මැලි ඇයි අප්පා..?"

ඒකට හැමෝම හිනා වෙනවා. ප්‍රේක්ෂකාගාරයේ බලන් ඉන්න අපිව හඬවනවා.



නගරයේ කෝලාහල උත්සන්න වෙනවා. නසිම්ගේ සහෝදරයා 'මුස්ලිම් අයිතීන්' වෙනුවෙන් 'මැරෙන්න උනත් සුදානම්' කමෙන් රත් වෙනකොට සීයා දැක්ක ගමන් දමනය වෙනවා. නමුත් හිත ඇතුලෙන් බුර බුරා නගින ඒ ආවේගය අපිට පෙනෙන්නට සලස්වන්නේ අපිවත් බය කරමින්. සීයාත්, මුනුබුරාත් අතරට මැදිවෙන දෙමවුපියන් නිෂ්ක්රියව බලන් ඉන්නවා.

නසිම්ට මේ කිසවක් වැටහෙන්නේ නැහැ. ඉතින් ඇය නගරයේ කරබල උත්සන්න උන හේතුවට පාසල ඉක්මනට ඇරුණ නිසා අම්මගෙන් හොරකම් කරගත්ත බුර්කාවක් අස්සෙන් , තමන්ගේ යාළුවො ටිකක් එක්ක චිත්‍රපටියක් බලන්න යන්නේ 'හිකි හිකි' ගගා. ඈට බුර්කාව ඕනේ වෙන්නේ එතකොටයි!

නසිම්ගේ හැසිරීම සොහොයුරාව කෝප ගැන්වුවත් සීයා උන්නේ ඇගේ පැත්තේ. ඉතින් රූපවාහිනියෙන් පෙන්වන කෝලාහල බලමින් පුපුරනවා ඇරෙන්න නසිම්ගේ සොයුරාට කරන්නට යමක් නැහැ. ඔහුට 'තමන්ගේ ජාතිය' වෙනුවෙන් කරන්නට ඇති 'යුතුකම' කරගන්න විදියක් නැතුව බුබුළු දමමින් ඉන්නේ.

අධ්‍යක්ෂකවරයා මේ අතරතුරේ සීයාගේ නිරෝගිකම සොරාගන්නවා. ඔහුව ඇඳට ඇදලා දානකොටම නසිම්ගේ සොයුරාව ක්‍රියාශීලි කරනවා. ඉතින් සීයාට පෙනෙන්නේ ජනේලෙන් පෙනෙන අහස පමණයි. වරෙක සීයා නසිම්ට ජනේලෙන් පෙනෙන පොල්ගස දක්වල ලස්සන කතාවක් කියනවා.

"බලන්න නසීම්... ඒ පොල්ගහ කොච්චර ලස්සනද?"

අපිත් නසීම් එක්ක පොල්ගහ දිහා බලාගෙන 'මෙතෙක් දවසක් නොදැක්ක පොල්ගහ' බලනවා. ඒ තමයි මම ආසම කොටස. හැමදාම දකින පොල්ගහ ඒ මොහොතේ අපි හැමෝටම ලස්සනට පෙනෙන්නට සලස්වනවා. හැමදාම දකින සිද්දියක අපිට නොපෙනෙන ලස්සන බලන්නේ නැති එක ගැන අපි ආයෙමත් හිතනවා.

ඒ අතරේ වර්තමානය වෙච්ච නසිම්ගේ දෙමවුපියන් 'වඩා සුරක්ෂිත' ස්ථානයක් කරා සීයාව ගෙනියන්නට හැදුවත්, ඔහු එහෙම කරනේ නැහැ.

චිත්‍රපටය ගලාගෙන යනවා. අපේ හදවත්වල කොන්වල තියෙන සිදුරු, අඳුරු කුහර ඔකොම අපිට පෙනෙන්නට පටන් ගන්නකොටම, අධ්‍යක්ෂකවරයා සීයාව මරලා දානවා.

ඊට පස්සේ අතීතය අමතක වෙලා, අපි වර්තමානය වෙච්ච නසිම්ගේ දෙමවුපියන් සහ අනාගතේ වෙච්ච නසීම් සහ නසිම්ගේ සොහොයුරා එක්ක අතරමං කරනවා. ඒ මොහොත අපිව භීතියට පත්කරන්නට අධ්‍යක්ෂකවරයා සාර්ථක ප්‍රයෝග යොදාගන්නවා.

එතැනදී, වර්තමානය අසරණ වෙනවා. අනාගතය තමයි තීරණේ කරන්නේ වර්තමානයේ වෙන්න ඕනේ මොකද්ද කියලා. නසිම්ගේ සොහොයුරා තමන්ගේ ජාතියේ 'යුතුකම සඳහා' පිටත්වෙනකොට අපේ හදවත් ඔක්කොම අපිට දොස් කියනවා.

ඒ කම්පනය අපිට ජිවිතේ එපාකරවන්නේ නැහැ. අපිට බලාපොරොත්තුවක් දෙනවා. බොරු එකකුත් නෙවෙයි. අපි තුලිම්ම එන අවංක බලාපොරොත්තුවක් ඒක. ඉතින් මම තාමත් ඉන්නේ ඒ බලාපොරොත්තුවත් එක්ක. මුළු චිත්‍රපටිය පුරාම තිබ්බේ ආනන්දයක්. ජාතිවාදී අරගල තේමා කරගෙන හැදුවත් අපිට මිනී නොපෙන්නා උනත් ඒ හැඟීම දෙන්න අධ්‍යක්ෂකවරයා සමත් උන එක ලොකු දක්ෂතාවයක්.

වැරදි කවුද කියන එක නෙවෙයි ,වැරදුනේ කොතනද? 

පරණ උනාට, තාමත් මේ සංකල්ප වලංගුයි. තාමත් අපි ප්‍රමාද නැහැ.




චිත්‍රපටය: නසීම්
තිරගතවූ වර්ෂය: 1995
අධ්‍යක්ෂණය :  Saeed Akhtar Mirza
ධාවන කාලය : මිනිත්තු 120
භාෂාව : හින්දි


--------------------------------------------------------------------------------------------------------
ප.ලි.
චිත්‍රපටිය ඇතුලේ වගේම පිටතදීත් අපිව සොලවන්න වස්තුබීජ පලකරවන්න සමත් මේ චිත්‍රපටිය බලනකොට මම පාසලේ ඉගෙනුම ලබනවා. අහම්බෙන් මට ඒ අවස්ථාව ලැබුනේ අම්මට පින් සිද්ද වෙන්න. ඒ කාලේ මම චිත්‍රපටි විචාරය කළා , නමුත් හිතෙන් . 

ඒ කාලේ ඉඳන්ම මගේ හිතේ තිබ්බ මේ චිත්රපරිය ගැන මම යමක් නොලිව්වා කියල හිත නරක්  කරගෙන ඉඳල , ඔන්න ඔහේ ලියනව කියල හිතල ලිව්වා. මිට වඩා හොඳ විචාරයක් ඉදිරියේදී බලන්නම්. මොකද චිත්‍රපටිය බලලා දැන් අවුරුදු  20කටත් වැඩියි. නමුත් සමහර දර්ශන තාමත් ඒ විදියටම මතකයි.


මේ තියෙන්නේ මේ චිත්‍රපටය ගැන විකිපීඩියා වල සඳහන
මේ තියෙන්නේ Trailer එක






22 comments:

  1. හමෝම මිනිස්සු , හොඳ නිර්මාණ කරුවෙකුගේ නිර්මාණ අකාලිකයි , හරියට මනුස්සකම වගේ මනුස්සකමත් අකාලිකයි .හැමදෙයක්ම හැමදාටම ගැලපෙනවා ,

    //"වැරදි කවුද කියන එක නෙවෙයි ,වැරදුනේ කොතනද?"// මේ තැනට එන්න මිනිස්සු ගොඩක් පරිණත වෙන්න ඕන , ඒක එක රැයින් සිද්ධ වෙන එකක් නෑ, එත් ඒ සඳහා උත්සාහ කරන එක වැදගත් .

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ගොඩක් නිර්මාණ අකාලික නොවෙන්නෙම ඒ හින්දමයි ඉවාන්.

      සමහර වෙලාවට මම ඉස්සර ලංකාවේ චිත්‍රපටි බැලුවම දැනෙන්නේ පුදුම දරුණු කලකිරීමක්. සමහර ඔය හොඳයි හොඳයි කියල කියන චිත්‍රපටි මට නම් මෙලෝ දෙයක් නැහැ. පිටපත් අන්තිම අසාර්ථකයි.
      මට තිබ්බ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන පිස්සුවක්. හෙහ් හෙහ් මතක් වෙනකොටත් විලිලජ්ජයි.

      Delete
    2. //"මට තිබ්බ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන පිස්සුවක්."// එහෙනං කරපං චිත්‍රපටියක් මම නොමිලේ රඟපාන්නම් උඹට නිසා , නැත්තන් මම එක ෆිල්ම් එකකට ඩොලර් ලක්ෂයක් වත් ගන්න නළුවෙක් , :P

      Delete
    3. වරෙන් පුතා........ චරිතයක් තියෙනවා එලටම කැපෙන.

      ඒකෙ ප්‍රධාන චරිතේ තියෙන්නේ කැරලි නායකයෙක්. ගරිල්ලා නායකයෙක් හින්දා කොයි වෙලේවත් කැමරාව ඉස්සරහට එන්නේ නැහැ. යන ගමනක් යන්නෙත් රෑ. අන්තිමට ඌ වෙඩිකාල මැරෙනවා. ඒකත් වෙන්නේ ඈතින් යනකොට ගොඩාරියක් දුර ඉඳන් වදින වෙඩිල්ලකට. මම හිතේ තියෙන කැමරා කෝණය තමයි වෙඩිල්ල තියන එකාගේ පැත්තෙන් ගන්න. උඹට තියෙන්නේ සද්දේ ඇහුන ගමන් වැටෙන්න.

      අන්නා.... එතරම් ගන්නවද ආ?? ඒක තමයි මේ සිනමාවේ අර්බුදේ..

      Delete
  2. අවුරුදු විස්සකට එහා බැලූ චිත්‍රපටයක් ගැන මෙහෙම ලියන්න පුලුවන් උණා කියන්නෙ අති විශිෂ්ඨ මතකයක්නෙ..

    ‘‘වැරදි කවුද කියන එක නෙවෙයි ,වැරදුනේ කොතනද?‘‘ දකුණේ තරුණ අරගල දෙකකුත් මර්දනය කරල, තිස් වසරක යුද්ධයකුත් අවියෙන්ම නිමා කරල ඒත් තාමත් අපිට ඇත්ත සාමයක් නැත්තෙ ඔන්න ඔය ප්‍රශ්නෙට හරියට උත්තර හොයාගෙන විසඳුම් දුන්නෙ නැති නිසානේ....

    ReplyDelete
    Replies
    1. ගෙවුණු අවුරුදු ගානෙම ඒ මතකයන් අලුත් උනා විතරයි. එතරම් ප්‍රභල පණිවිඩයක් , ප්‍රභල විදියට ඉදිරිපත් කරලා තිබ්බ නිසා වෙන්න ඇති. ඒක අධ්‍යක්ෂකගේ දක්ෂකම නෙවෙයිද?

      අපේ එක පරපුරක් විසින් අපේ රුධිරයට එකතු කරපු වෛරය තමයි පි මේ දිගට ගෙනියන්නේ. මම හිතන්නේ අපි එය විසන්ධි කලයුතුයි.

      'නහි වේරේන වේරානි'

      Delete

  3. POINTOF.ORG - අලුතෙන්ම ඔබට ඉදිරිපත් කරන සින්ඩියයි. අන්තර්ජාලය තුල නොයෙකුත් සින්ඩි තිබුනත් ඒවායේ කරන්නට තිබෙන්නේ පොස්ටුව එකතු කිරීම පමණයි. නමුත් මෙම සින්ඩිකේටරය මගින් ඔබගේ බ්ලොග් පොස්ට් ඩිලීට් කරන්න, ආයෙ එඩිට් කරන්න වගේම, ඔබගේම කියල ගිනුමකුත් හදාගන්න පුලුවන්. මෙහි අප විසින් සින්හල, දෙමල, හෝ ඉන්ග්රීසි ලෙස වෙනස්කම් සිදු නොකොට බ්ලොක් කිරීමක් සිදු කරන්නෙ නැ.


    @register - මෙම සැඹැඳිය මගින් ඔබට ගිණුමක් සාදා ගැනීම වෙත යොමු වෙන්න පුලුවන්.@login - දැනටමත් ගිණුමක් සාද ගෙන තියෙනවනම් ඒ වෙත යොමු වෙලා ඔබගේ @username එක හදාගන්න පුලුවන්. ඊට පස්සේ ඔයාගේ විස්තර ඇතුලත් කරන්න.


    අපගේ වෙබ් අඩවියේ ඩෙස්ක්ටොප් @DESKTOP හා මොබයිල් @MOBILE යන දෙයාකාරයෙන්ම සකසා තියෙනවා. තවත් දෙයක්, අප දිනපතා, සතිපතා, මාස්පතා ජනප්රියම බ්ලොග් පොස්ටුව තෝරනවා. මෙන්න මෙතනින් ඒකට ගිහිලා
    බලන්නකෝ මේ පොස්ටුවත් ජනප්රිය එකක්ද කියලා. @TODAY'S POPULAR


    සැමට ජය!

    ReplyDelete
  4. //වැරදි කවුද කියන එක නෙවෙයි ,වැරදුනේ කොතනද? //
    හම්ම්....හැමදාම වෙන්න ඕනේ ඒත් කවමදාවත් සිදුනොවෙන සමාජයට වගේම ජීවිතේටත් වලංගු සදාතනික සත්‍යය.ඔය දේ තේරුම්ගිය පරම්පරාවක අපි ඉපදුනානම් අපි කොච්චර වාසනාවන්තද?කියන දේ කොච්චර ඇත්ත කියලා තේරුනත් වැරදුන තැන හදනවා තියා ටිකකට නැවතිලා වැරදුනේ කොතනද කියලා හිතන්නවත් වෙලාවක් තියනවාද මේ ජීවිතයේ....

    කාලයක් පිස්සෙක් වගේ චිත්‍රපටි බැළුවා.ඒත් කවමදාවත් හිංදි චිත්‍රපටි බැළුවේ නෑ, ගොඩක්වෙලා එකතැන ඉඳන් ඉන්න බැරිනිසා.ඒ නිසාම ගොඩක් හොඳ හිංදි චිත්‍රපට ගොඩක් මිස්වෙලා .අදටත් බලලා තියෙන්නේ හිංදි චිත්‍රපට 5යි.මේ ලගඳී හෙන ගේමක් දීලා සලාම් බොම්බේ හොයාගත්තා.තාම බැළුවේ නෑ....

    //චිත්‍රපටිය බලනකොට මම පාසලේ ඉගෙනුම ලබනවා//
    //මොකද චිත්‍රපටිය බලලා දැන් අවුරුදු 20කටත් වැඩියි.//
    කවුරුහරි මේවාදිගේ ගියොත් එහෙම...මම කියන්නේ මට වගේම තව කාට හරි එහෙම හිතුනොත් නැන්දගේ වයස ගැන මැවෙන චිත්‍රය හරි භයංකාරයි නේද? කොච්චර හංගන්න හැදුවත් ඉතින් පොඩ්ඩක් කියවනකොට කටට බ්‍රේක් නැනේ නැන්දගෙත්.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හෙහ් හෙහ්..

      පාසලේ ඉගෙනුම ලබනවා කිව්වම කීය වසරේද කියලා කිව්වේ නැහැනේ. හිතන්න ඇති නේද උසස්පෙළ කියලා. හංගන්න දෙයක් නැහැ. මම ඒ කොටස් ලිව්වේ හිතාමතාමයි. මම චිත්‍රපටිය බැලුවේ 1998 වසරේදී. එතකොට මම 8 වසරේ වත් නෙවෙයි. මගේ වයස ගැන මම බය නැහැ. වෙනත් කවුරුත් බය වෙයිද කියන එක නම් මට අදාලත් නැහැ. මම දැනටත් පුන්චිඅම්මෙක්. වයසට යන එක ඔතරම් අවුල් මොකද කියල මට තේරෙන්නේ නැහැ.

      මේ චිත්‍රපටිය මම බලපු විදිය ගැන වෙනම ලියන්න ඕනේ. එතරම් ජොලි කතාවක් ඒක. මම පොඩිම කාලේ ඉඳන්ම චිත්‍රපටි බලනවා. මගේ ගෙදර ගැන ලියලා තියෙන බොහෝ තැන්වලදී මම ඒ ගැන ලියලත් ඇති. ඕනේ තරම් චිත්‍රපටි සිංහල, දෙමල, හින්දි, ඉංග්‍රීසි භාෂා වලින් බලලා තියෙනවා මම පැන්චා කාලේ ඉඳන්ම. මේ චිත්‍රපටිය මගේ හිතට තදින් කාවැදුනා. අදටත් මට ඒ මතකය අද උනා වගේ නිරවුල්. ඒ හින්දා එහි ගව්රවය හිමිවියයුතු කෙනාට දෙන්න ඕනේ නිසා මේක කිව්වේ. මේක ජනප්‍රිය කාණ්ඩයේ එකක් නොවෙන්න පුළුවන්. නමුත් නියම නිර්මාණයක්. ලංකාවේ ඒ වගේ නිර්මාණ බාල්දු වෙනවා. එක්කෝ ඒකපාර්ශවිකව විතරක් මේ සම්බන්ධයෙන් කතා කරනවා. ඒ ගැන දුකයි.

      Delete
    3. වයස ගැන කිවුවේ විහිළුවට හොඳේ......

      එක කාලයක් තිබුනා මම සිංහළ වේදිකා නාට්‍ය හා චිත්‍රපට වලට වහවැටිලා හිටපු.ඒ පිස්සුව බෝ කලේ අග්නිදාහය.A\Lකාලේ ක්ලාස් කට් කර කර 6 පාරක් බැළුවා."මිල්ල සොයා", "මචං" ඒ පිස්සුව හොඳටම වැඩිකලා.පරණ ෆිල්ම් ගැන ඇහුවහම ඒවා හොයාගන්න විඳපු දුකක්....එහෙම අමාරුවෙන් හොයාගන බලපු එකක් තමයි "බඹරු ඇවිත්".අදටත් බලපු හොඳම සිංහළ ච්ත්‍රපටිය ඒක.ඔය පරණ චිත්‍රපටියක් ,නාට්‍යක් ගැන ඇහුවහම මම අම්මගෙන් අහනවා බලලා තියනවද කියලා....ඒ මිනිස්සු තරුණකාලේ ගොඩක් මහන්සියෙන් දුක්විඳලා ජීවිතේ ගොඩනගාගත්තු ඈයෝ.ඒ අයට ෆිල්ම් බලන්න වෙලාවක් තිබුනේ නෑ ඒ කාලේ.ඉතින් එයාගේ උත්තරය "නෑ" උනහම මම විහිළුවට බනිනවා "මොනවා කලාද මන්ද ඒ කාලේ" කියලා.ඒත් ඒ ප්‍රශ්නේ අද මම මගෙන්ම අහගන්නවා.අද මටත් වෙලා තියෙන්නේ ඒකමයි.කවදා හරි මට ළමයි හිටියොත් උනුත් මගෙන් එහෙම්මම අහයි.හැබැයි ඒ අයට වඩා මම ටිකක් වාසනාවන්තයි DVD තියන නිසා.

      අද කාලේ හැම එකාම කරන්නේ මහා නිර්මාණ.ෆිල්ම් එකක් වුනත් ටෙලි නාට්‍යක් උනත් නලු නිලියෝ ඉන්නවා 100ක් විතර.වියදම් අඩුකරගන්න ප්‍රධාන චරිත කීපයකට ප්‍රවීනයන් දාලා අවශේෂ චරිත වලට රඟපෑම ගැන මෙලෝඉ දෙයක් දන්නේ නැති හාල්කෑලි දානවා.මුළු ප්‍රඩක්ශන් එකම අනාතයි උන්ගේ රඟපෑම නිසා.මේ ලඟදී හොඳ ටෙලි දෙකක් ගියා.ප්‍රියා රණසිංහ අද්‍යක්ශනය කරපු පහුගියදා නිමාවූ නාට්‍ය එකක්.මේ දවස් වල රූපවාහිනියේ 8.30ට යන එක තව එකක්.දෙකේම ප්ලොට් එක මාරයි.ඒත් රඟපාන්න දන්නේ නැති නලුවෝ නිසා ගොම ගොඩක් වෙලා.චිත්‍රපටි ව්ලට වෙලා තියෙන්නෙත් ඒකම තමයි.අඩු පිරිවැය මහා නිර්මාණ....

      කොහොම කලත් තාම උඹට නංගී කියලා කියන්න පුළුවන්.ඔය 98දී මම හිටියේ 9 වසරේ....

      Delete
    4. උබල දෙන්නටම මට බය නැතුව අක්කේ අයියේ කියතෑකී.... ඒත් මන් තීරනේ කලා බ්ලොග් වල ඉන්න කාටවත් එහෙම කතා නොකරන්න මොකද එහෙම කතා කලාම ඒ අය අපෙන් ඈත් වෙනවා කියලා දැනෙනවා කියලා.
      මම වයස හන්ගනේ ඔන්න ඔය හේතුව නිසා... මේකේ ඉන්න හැමෝම මගේ වයසේ කියලා හිතාගෙන තමයි මන් හිතාගෙන ඉන්නේ ඉතකොට කිසි ප්‍රශ්නයක් නෑ........

      Delete
    5. කටුසු:
      ගොඩක් වෙලාවට ස්වර්ණවාහිනියේ සති අන්තයේ 3.30 - 9.30 දක්වා බෙල්ට් එකේ යන ටෙලි නාට්‍ය හොඳයි. අඩු වියදම් ක්‍රමේට යන්න වෙලා තියෙන්නේ ඊට වඩා අඩුවට ඉන්දියන් හරි, කොරියන් හරි කෙහෙල්මල් පෙන්නන නිසා. කාලයක් ඔය ඉතිහාස කතා පිස්සුවක් හැදිලා මට දැන් දකිනකොටත් ඔක්කාරෙට වගේ එනවා. ඔහේ හදනවට හදනවා මිසක් ඒවායේ ඇති දෙයක් ඇත්තෙම නැති තරම්.

      සිංග මචෝ:
      වයස අවුලක් නැහැ. එය මානයක් ( මැනීමක්) කරගන්නේ නැති නම්. නමුත් සිංහල බ්ලොග් කාරයෝ/කාරියෝ වන අපිට උරුම ගතියක් තමයි මේ වයසෙන් එන මානය. මම දැකල තියේනම සමහර බ්ලොග්කරුවන්ට 'නාකියා' කියමින් කතා කරන හැටි. ඒවායින් අදහස යටපත් වෙලා පහාසය ඉස්මතු වෙනවා.
      මමත් පර්තිපත්තියක් විදියට 'අය්යා/අක්කා' යොදන්නේ නැහැ.

      මගේ බෝසාටවත් අනිත් එවුන් සර්/බොස් කියද්දී, මම 'සර්' කියන්නේ නැති එකේ කවර කතාද?හෙහ් හෙහ්

      Delete
    6. 98 දි මම ළමයින් දෙන්නෙක් ගෙ තාත්ත කෙනෙක්.

      Delete
  5. ෆිල්ම් එක බලල ඉන්න ඕන ඔක්කොටම කලින්.. ස්තුතියි විචාරයට.. 1995 බලපු ෆිල්ම් එකක් අද වෙනකම් මතකයේ තිබුනානම් ඒක නරක ෆිල්ම් එකක් වෙන්න බෑ..

    (පුලුවනිනම් බ්‍රේකින් බෑඩ් ටීවී සීරීස් එකේ වෝල්ටර් වයිට්ගේ චරිතය සහ ඔහුගේ බිරිඳගේ චරිතය ගැනත් විචාරයක් ලියන්න.. )

    ReplyDelete
    Replies
    1. කොහොමත්ම නරක ෆිල්ම් එකක් නෙවෙයි. වැඩේ කියන්නේ මේක ජාලයෙන් හොයාගෙන බලන්න අමාරු වෙයි මම හිතන්නේ. අපේ රටේ මේ ජනවාර්ගික දේවල් ගැන හදන ෆිල්ම් හරිම ඒකපාර්ශවිකයි. ඒ අඩුව තියෙනවා. ඒ අඩුව නිසා බාහිරට නොපෙනෙන ලොකු තුවාලයක් සමාජයේ තියෙනවා.

      හි හි.. බලමු තව. තවත් විචාර දෙකක්ම තියෙනවා පෝලිමේ. ලියන්නම්කො ඔයාගේ ඉල්ලීමත්

      Delete
  6. //වැරදි කවුද කියන එක නෙවෙයි ,වැරදුනේ කොතනද? //
    තාමත් අපිට මේ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න බැරි උනා නිසා තමයි දැනටත් රටේ තියන ගිනි අගුරු ඒක පාරට හිටපු ගමන් පත්තු වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. සමහර ප්‍රශ්න වලට සම්පුර්ණ විසඳුම් නැහැ. අදහස්වල හැලහැප්පීම් වගේ ප්‍රශ්න වලදී. මොකද සිතුවිලි කොටුකරන්න බහ කාගේවත්. නමුත් ගින්දර ඕනේ තරම් අවිලුනත් ඔක්සිජන් නැතිනම් ඒවා එතනම මිය යනවා. ඒවාට ඔක්සිජන් නොදෙන්න වගකීම තියෙන්නේ අපේ අතේ.

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. මම නම් මේ චිත්‍රපටිය බැලුවේ නෑ...... හොද විචාරයක්....

    ReplyDelete
    Replies
    1. දැන් නම් හොයාගන්න බැරි වෙයි මම හිතන්නේ. එතරම්ම පැරණි නිසා. උත්සහ කලොත් බැරිවෙන එකක් නැහැ. පුලුල්තිරයේ බැලුව හින්දද මන්ද මට ඔතරම් තදට වැදුනේ.

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...