Monday, February 1, 2016

247. සොඳුරිය ඔබේ නමින්





කවදාවත් නැතුව මට හිතුන වෙනද ගහන විද්‍යුත් ලිපිනය නැතුව වෙනත් ලිපිනයක් ටයිප් කරන්න. මීට දශකයකට කලින්, මුලිම්ම මම විද්‍යුත් ලිපිනයක් හදනකොට පාවිච්චි කරපු ලිපිනය, අමාරුවෙන් උනත් මතක් කලත්, කෝ ඉතින් මුරපදේ මතකම නැහැනේ. කරන්න දෙයක් නැහැ, රිකවරි තියෙන්නේ අපි වගේ අයට තමයි...

තවත් විනාඩි දහයක් පහළොවක් කිසිම තේරුමක් නැතුව වදවෙලා මම ඒ වහපු ගෙදර පිටිපස්සේ දොරෙන් ඇතුලට පැන්න.

ගුගල්ට අමතක වෙලා දාල ගියපු ලියුම් දුසිමක් තිබ්බ. ඉස්සර ලිපි චේන් වලට පිංසිද වෙන්න තවත් ලියුම් තුන හතරක්. ඒ හැම එකකටම මම දැක්වුයේ එකම විසඳුමක්.

ඔව්.. ටික් කළා, මකන්න අණ දුන්නා. කිසිම තරහක් නැතුව ඒවා මගේ ඇස්මානෙන් අරගෙන පරණ ලියුම් ටිකක් උඩට ආවා.

Subject : සොඳුරිය ඔබේ නමින්

ඒ තමයි සිංහලෙන් මම දැකපු එකම ලියුම.
මගේ පපුව ගැහුනා , හරියට විදුලි දුම්රියක් මේ දැන් මාව තලාගෙන ගියා වගේ.



ඉක්මනට මගේ ඇස්දෙක ගියේ එව්වේ කවුද කියල. පපුව ආයෙමත් තදින් ගැහෙන්න ගත්ත. මගේ අමතක වෙලා සීතල වෙමින් තිබිච්ච තේ කෝප්පය එක හුස්මට බීල දැම්ම... තාමත් හති උනත් මගේ අත වෙව්ලනවා.

'මෙලංග _______'

ලිපිනය උඩින් දිස් උනේ ඒ නම.

"අඩෝ.... වෝට මෙලන්..."

මගේ කන ඇතුලෙන් කොළු කටහඬක් කතා කළා. මට හිනා ගියා. ඇත්තටම මම කලේ තදකරලා තොල් පියාගන්න එකයි.

"මෙයාට කියල හිනාවෙන හැටි ඉගෙන ගන්න ඕනේ. දත් පෙන්නන්නේ නැතුව හිනාවෙන හැටි!"
"අඩෝ මේ.... 'සිනා නොමවන් දසන් දක්වා' කියලයි කියල තියෙන්නේ හරිද. කුල කාන්තාවෝ එහෙමයි හිනාවෙන්නේ හරිද?"



මම ඔලුව දෙපැත්තට වනුවේ කන් දෙක ඇතුලෙන් එන ඒ සද්ද ටික නතරකරගන්න ඕනේ හින්ද. තාමත් මම ලිපිය බලන්න හිතක් නැහැ. ඒ අවට තිබ්බ සියලු ඔත්තු මම විමසුමෙන් බැලුව. කොටිම්ම ලිපියේ දිනය, වෙලාව විතරක් නෙවෙයි, මොනවදෝ අමුනලා එවල තියෙන බවත් පෙනුන.

විවෘත ලෝකය පැය වලින් ගණනය කරන , මම විනාඩි වලින් හිතන කාලයක් ගතවෙන්න ඇති. ඒ අවසානයේ මගේ නොසැලකිල්ලට ඒ ලිපිය විවෘත උනා.

කිසිම ආමන්ත්‍රණයක් නැතුවම ගීතයක් තිබුණා.

අවසන් භවයද සොඳුරිය මේ අපි 
අප හට හිමි නොවෙනා 
මෙවන් දුකක් කිසිදා නොම වේවා 
සසරේ සැරිසරණා 

නයිල් නදිය වුව කෙලවර වේවි 
සමුදුර දුටු සැනිනේ 
කඳුළු ගඟට කෙළවරක් තියේදෝ 
ඔබ නැති මේ ගමනේ 

දැකගන්නටවත් ලැබේද ඔබ යලි 
නෙතු පියවෙන්න කලින් 
සොහොන්කොතත් මගේ කඳුළු සලාවි 
සොඳුරිය ඔබේ නමින් 




අමරසිරි පිරිස්....... එහෙම කියලා නතර කළා.

ලියුමේ ඊට යටින් මෙහෙම තිබුණා

එක වරක් දුටුවොතින් 
ඒ ඇතැයි මට - තවමත් සිතෙයි 


කඳුලුත් එක්ක නැගුනේ හිනාවක්. තාමත් ඔහුට ගීත ලියන්න බැහැ. පොඩියට තිබ්බ වචනේ විතරක් මාව ඉතිරි ටිකත් බිමට ඇදලා දැම්මා

'This dedication is from your secret guardian angel'


ඉස්සර දවසක රේඩියෝවේ නිතර ඇහුන ඒ වචන ටික.....

කිසිම දවසක අහලා නැති අමරසිරි පීරිස් කියලා කෙනෙක් ගැන පොල්ගස් ගැන විස්තර අහගෙන ඉන්න එස්කිමෝවෙක් වගේ අහගෙන ඉන්නෙක, හැමදාම යන ගීත ඉල්ලීම වල මම වෙනුවෙන් ABBA , Mark Anthony ට සින්දු කියන්නට සලස්වපු එක.... ඒ හැම එකකටම වඩා දැන් සිංහල සින්දු ගැන දන්න එකම....... මාව රිද්දුවා

දිනේ මට මතක් උනේ එතකොටයි. ඒ ඔහුගේ උපන්දිනයයි!

හෙමිහිට ලියුමෙන් එලියට ගිහින් මම ඒ ලිපිය ලකුණු කළා. දෙවරක් විමසුවත් මම තුන්වරක් හිතන්නේ නැතුවම කුණු බක්කියේ පින්තුරය එබුවා. පාලු නිවසේ ආයෙමත් දොර අගුලු දමාගෙන මම යන්න ගියා.




54 comments:

  1. අද මමයි එක.

    මේ ටික කියෙව්වම මාවත් නිකං හිර වුනා වගේ දැනුන. පරන මේල පැත්තෙ ගිහින් බලන්නෝනෙ මොනව තියෙයි ද කියල.

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එකේ නම් එක වෙන එක ගේමක් නැහැ අප්පා... හි හි...

      ඕකනේ ඉතින් කියන්නේ... පොඩ්ඩ ඇත්තන් තමන්ට ඇප්ලයි කරනවා!

      Delete
  2. පරණ දේවල් හාරා අැවිස්සීම භයානක තත්වයකි........ පරිස්සම් වෙනු....

    ReplyDelete
    Replies
    1. ආන්න නියම ආදුරුසේ...... එකෙන්ම

      Delete
  3. මටත් මරන් මේල් කිහිපයක්ම ඇති හැබැයි එකකවත් මුරපදේ තියේ ලිපිනෙවත් මතක නෑ නොව..

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් තිබ්බයි කියල එහෙනම් කොහොමද විස්සාසේට ගන්නේ? ඒවත් හොයාගන්න විධි තියෙනවා.

      Delete
  4. අතීතයේ ගඟ ගලා බසී..
    නේද උපේක්ෂා ..
    හිහි

    ReplyDelete
    Replies
    1. එකනේ.. දැන් නම් වේලි බැඳලා ඒවගෙන් ලයිට් පත්තු කරනවා

      Delete
  5. මටත් ඔහොම පරණ ඊමේල් ඇඩ්රස් 2,3ක් තියෙනවා.. ගිහින් බලන්න ඕනේ..යන්න වෙන්නෙත් ඔය කියපු ක්‍රමේටම තමයි.. හැබැයි ඔහොම විශේෂ ඊමේල් නම් මොකුත් නෑ කියල ෂුවර්.. මේ සිංදුව කවදාවත් අහල නැති එකක් නේ.. සිරා නේ..

    ReplyDelete
    Replies
    1. පෙනේද.... එකක් මදිවට දෙක තුනක්!! හුහ්

      මම කියන්නද පැතුම් හේතුව.. මුලිම්ම හදන මේල් ඇඩ්රස් එක හදන්නේ ඔහේ. දෙවැනි එක හදන්නේ හදිස්සියේ. පස්සේ තමයි හිතල මතල මේල් ඇඩ්රස් හදාගන්නේ. නැද්ද?

      දැන් අර කොටස කිව්වේ ආරක්ෂාව පතා නේද? හැක්

      ඒ සින්දුව අමරසිරි කියන හින්දමද මන්ද මේ තරම් පවර් එකක් තියෙන්නේ කියල හිතෙනවා. ඊට පස්සේ බලනකොට පදරචනය උනත් වෙනමම ගත්තත් සංවේදියි කියල හිතන්නේ. අමරසිරි පීරිස්ගේ සින්දු මෑතක ගත්තත් අතීතයේ ගත්තත් එකම කොලිටියක් තියෙන්නේ.. අනේ මන්ද මට නම් ඔහුට සම වෙනත් කෙනෙක් නැහැ. ඒ වගේමයි සෝමතිලක ජයමහ, සුනිල් එදිරිසිංහ, ඉමාන් පෙරේරා , කසුන් කල්හාර කිව්වහම ඊට වඩා ඉහලින් කව්රුත් නැහැ වගේ හිතන්නේ. පිස්සු ද මන්ද

      Delete
  6. සිහිල් සෙවනැළි පසු කරන් මා දෙපා
    දුර පියමන් කරත්
    දහස් දින හිරු පෙරදිගින් විත්
    අවරදිග සැඟවී ගියත්
    නොහික්මුණු මතකය පුරාවට
    සොඳුරු සුරඟන රැඟූවත්
    එක වරක් වත් දුටුවොතින් ඔබ
    ඒ ඇතැයි සිතනෙමි තවත්


    ReplyDelete
    Replies
    1. ඔහ්.....

      මම මේකට යමක් නොකියා ඉන්න තමයි කැමති. ඔබේ කවිය ඇත්තටම ලස්සනයි

      Delete
  7. ඔහුට සුභ උපන්දිනයක්!! මොනවා උනත් දැන් මෙලංග හොඳ ගීත රසිකයෙක් වගේ :)

    ReplyDelete
  8. හනේ හප්පුච්චේ. මෙව්ව තමයි කියන්නේ පවුරානික ප්‍රේම වුර්තාංතන කියලා

    ReplyDelete
  9. අපි ආයෙත් හමු නොවුනා නම්..
    ඉස්සර දවසක මියගිය සෙනෙහස,
    යලි ඉපදී මා හද හඬවන්නට,
    අපි ආයෙත් හමු නොවුනානම්..

    - මෙලංග -

    ReplyDelete
    Replies
    1. ඔය යටින් දාපු නම මැකුව නම් තමයි හොඳ.. හි හි...

      ඒ සින්දුවත් මාරයි නේද?

      Delete
  10. Next time clean your trash cane,

    ReplyDelete
    Replies
    1. She can undo the delete if she does it soon enough :)

      Delete
    2. Have you'll notice that only a DELETION has done. There is always a possibility of recovering it.

      Those applications/solutions serve 'average persons' needs ;-)

      Delete
  11. මෙලාගෙ මේලක් නාවානම්..
    ඉස්සර දවසක මියගිය සෙනෙහස,
    යලි ඉපදී මා හද හඬවන්නට,
    උඹෙ මේලක් මට නාවානම්..

    -උපේක්ෂා

    ReplyDelete
  12. සොහොන්කොතත් මගෙ කඳුළු සලාවි කියන පදය හද රිදවනවා බොහොම.. වේදනා ගෙන එන සුන්දර පදවැලක්.

    ReplyDelete
    Replies
    1. ඒ පදය ඇත්තටම ප්‍රභල වචනයක් , ලස්සනට යොදපු. නේද?

      Delete
  13. ඔච්චර කල් ගිහින් හරි ඕක බලපු එකම මදැයි...

    ReplyDelete
    Replies
    1. වෙන කරන්න දෙයක් නැතුවට!

      Delete
  14. ෂාහ් මාරු කතාව.හිත පාරනවා.

    ReplyDelete
    Replies
    1. හිත පෑරුනාම 'මරු' කියවෙන්න තමයි ඕනේ.. නැද්ද?

      Delete
  15. අතීතය සිහිනයක් පමණයි.

    ReplyDelete
    Replies
    1. එදා සෙනෙහෙන් නොබැඳුනා නම්, මෙදා වියොවක් නෑ

      Delete
  16. සුවද හදේ රදවලා, යන්න ගිහිල්ලා...

    ReplyDelete
  17. අතීතය සිහිනයක් පමණයි....

    ReplyDelete
    Replies
    1. සොබාදහමට නොවන අවනත
      ලොවේ කිසිවක් නෑ

      Delete
  18. සමහර මතක හිතට නොඑන්නම ඩිලීට් කරන්න තිබුනනම්....

    ඕකයි සෝමතිලක ජයමහ මත්මයාගේ "එදා වාගෙම අදත් පොද වැස්ස" කියන සිංදුවයි එකම දවසක ඇහුවේ ඉස්සල්ලාම පාරට.ඔය සිංදුවේ "නයිල් නදිය..." කියන කෑල්ලේ මොකද්දෝ නොගැලපීමක් තියනවා මට.ඒක නිසා සිංදුවම අවුල්ගහලා මටනම්.
    ජයවේවා....

    ReplyDelete
    Replies
    1. 'නයිල්' කියන්නේ දිගම ගඟ නේද? ඊටත් අමතරව මට ඒ වචනේ දැනෙන්නේ විප්‍රවාසි බවක්. ඒ කියන්නේ ඔහු නයිල් ගඟ තිබෙන රටක හැංගිලා ඉන්නවා කියන එකද?

      මහවැලි ගඟ කිව්වා නම් එහෙම යටි අදහසක් ගන්න බැහැ කියලයි මම හිතන්නේ. මොකද ඔබ හිතන්නේ?

      Delete
    2. කියන්න අමතක උනා. සෝමතිලක ජයමහ කිව්වම...... එන්රික් එනකල් උන්නු පොෂ් කෙල්ලෝ වගේ මගෙත් පපුව නතර වෙනවා. ඒ හඬට මම එතරම්ම ආසයි.

      Delete
  19. ඔය විදිහටම නැතත් ඔය අත්දැකීම අපි හැමෝටම කවද හරි විඳින්න වෙනවා අත්දුටුයි... සත්තයි...

    ReplyDelete
    Replies
    1. එහෙම උනහම, ඒ ජාතියේ සින්දුවක් කියන්නේ එකම විස කටුවක්!!

      Delete
  20. පමා වුනා එන්න. මගෙ මේල් බොක්ස් එකේ තියෙනවා අන්-ඉම්පෝර්ටන්ට් කියලා නම් කරපු, ඒත් හිටි ගමන් දිගඇරලා කියවන ෆෝල්ඩරයක්.

    ReplyDelete
    Replies
    1. බොරු කැටගරියක් නේද? හි හි....
      රිනේම් කරපන් 'රිකොල්' කියලා.

      එහෙම මේල් එක්ක තමයි සමහර කාලවල් වල වැඩිපුරම දවස් ගතවෙන්නේ

      Delete
  21. සමහරු අපේ ජීවිතවලට සම්බන්ධ වෙන්නෙ හිතාගන්න බැරි විදියට. සමහරවිට අපි මුලදි පෞද්ගලිකව අකමැති කතාවිලාශයක් තියෙන කෙනෙක්, පස්සේ ඒ නිසාම අපිට කිට්‍ටු වෙලා අර අකමැති කතාවිලාශය පස්සේ අපේ ප්‍රියතම කැටිගරියක් බවට පත් කරන හැටි පුදුමයි.

    උඹට තේරුනාද මන්දා මං කියපු අණ්ඩර දෙමලෙ. මට තේරුණෙත් නෑ බං. ඩිලීට් කරන්න ඕන්නෑ. ඔහෙ තිබිච්ච දෙං.

    යන්නේ කොහෙද? මල්ලේ පොල්. පොලුත් ගනං නේ!

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වේ.... හි හි.. හැමදාමත් වගේ හෙන්රිගෙන් ක්‍රියේටිව් කොමෙන්ටුවක්. ආයෙමත් ලියන එක ගැන සතුටුයි.

      මොකක්? ඩිලීට් කොරන්න? පිස්සුද අනේ... හාවා හඳ දකිනවා වගේ කොමෙන්ටු වැටෙන්නේ. එහෙව් එකේ මම අහක යන කොමෙන්ටුත් මේකේ වැරදිලා වැටෙයිදෝ කියල පත පත ඉන්නේ....

      උඹේ අන්ඩරේ නම් තේරුණා. දෙමලේ තේරුනේ නැහැ.... යන්නේ කොහෙද මල්ලේ පොල් කියන්නේ ගැලපෙන උත්තරයක්ම තමයි. ඇයි හෙන්රියෝ, කොහේ ගියාම මොකද මල්ලේ පොල් ටිකක් දාගෙන, නැද්ද?

      පිස්සුද, මට පිස්සු නෑ !

      Delete
  22. දස වසරක් පුරා අද වනතුරු පළමු මේලය නොකඩවා පවත්වාගෙන යමි . බි ලයික් ලකියා :p

    ReplyDelete
    Replies
    1. චී චි... බෝම නරකයි...... ඔක්කොමත් හරි ලකියා වගේ වෙන්න කියන එක !!!

      Delete
  23. හප්පා මම නං පාලු ගෙවල් පැත්ත පලාතෙ යන්නෙ නෑ.. ඔව්වයෙ තියන පරණ හුටපට බලල ආයෙත් මොකට හිත පාරවගන්නවද...

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නේ ඒ ලටපට ඔක්කොම ආයෙමත් දාල ගෙදර ආව කියමුකෝ. අර දුවිලි නහය අස්සට ගිහින් නොනවත්වා කිඹුහුන් යනකොට තමයි අවුල පටන් ගන්නේ...

      Delete
  24. මටත් පරණ ඊ මේල් ලිපිනයක් තිබ්බා...මට ලිපිනයයි පාස්වඩ් එකයි දෙකම මතක නෑ :(
    හැබැයි ඒකේට ජීවිතේටවත් කවුරුත් ඊමේල් එව්වේ නෑ කියහල්ලකෝ :'(

    ReplyDelete
    Replies
    1. හි හි... මගේ නොවන.. මගේම ඊමේල් එඩ්රස් එකක් තිබ්බා කියල තමයි කියන්න වෙන්නේ...

      මටත් ඔය ප්‍රශ්නේ ඉහට උඩින් තිබ්බ අප්පා.... කතා කොරලා වැඩක් නැහැ..

      ඉස්සර ඔෆිස් ඊමේල් එකෙන් මම පර්සනල් ඊමේල් එකට ෆොර්වඩ් පාරක් දාගන්නවා.. හි හිහි හි... කරපුව කිව්වොත්.. හික් හික්. හෝ..... කට පියා ගන්නම්...

      Delete
  25. ගස්ලබ්බගෙ බොහොම හිතවතුන් වන දෙතුන් දෙනෙක් එක් වෙලා..රෙකෝඩින් ස්ටුඩියෝ එකක රසවත් මොහොතක් ගතකරනකොට මහ රෑ..ලයිට් නිවලා... එක මිත්‍රයෙක් බොක්ස් ගිටාරයක් කිති කව කව ගැඹුරු හඬින් මේ ගීය ගයනවා තව කෙනෙක් ලාවට තාලය සපයනකොට.. ශැහ්ඃ... ඊට පස්සෙ කස්ටියම කඳුළු පිහිනවා.. වීදුරු ගැටෙන හඬක් විතරයි.. හ්ම්ම්... නෑ විනාඩි ගානක් යනකන්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපොයි දෙය්යනේ... එහෙම උන්නොත් නම් මගේ හුස්මටික යයි මගේ හිතේ.. හි හි...

      දරන්න බැරි හැඟීම් එක්ක 'ටෙස්ටින් රන්' එකක් දෙන එක භයානකයි!

      Delete

කියවන්න... හිතන්න.... කොමෙන්ටුවක් කොටන්න... ආයෙත් එන්න...