Tuesday, February 24, 2015

154. ~~~ කේන්ද්‍ර ~~~







සියලු පුරුෂයන්
එකිනෙකාට වෙනස්
මනබඳින චාපයන්ය...

එකම ලක්ෂ්‍යයකදී
එකිනෙක කැපෙන !




Saturday, February 14, 2015

153. පිස්සු නැත්තම් ෂෝක් !



බස්සි ලියපු වැලන්ටයින් කාඩ් පෝස්ටුවකට උත්තරයක් ලියනකොට මටත් මගේ පරණ වැඩ ටිකක් මතක් උනා. ඒ තමයි මම ඉස්සර කරපු එක එක වැඩ. අනේ ඉතින් ඕකනේ කියන්නේ... එහෙම වැඩ නෙවෙයි අනේ, මම කිව්වේ නිර්මාණාත්මක වැඩකටයුතු.

ලියන්න වැඩිය මනාපයක් නැහැ. මොකද මම පින්තුර ටික දාන්න විතරයි දැනට හිතන් ඉන්නේ.


1. මට තිබ්බේ Cross Stitch mania එකක්. රෑ  12 පහුවෙනකල් පවා මහපු කාලයක් තිබ්බ. මේ ඒවායින් කීපයක්.

විධිමත්ව මහපු පලවෙනි එක 


දෙවැනි නිර්මාණය  - යාලුවෙක්ට දුන්නා තෑග්ගකට 


පැන්ට්‍රි ඒරියා එකට හැදුවේ.


Thursday, February 12, 2015

152. සුරංගනා කතාවකි - 5





ඇරඹුම

දෙවන සුරඟන පබැඳුම

තෙවන සුරඟන පබැඳුම

සිව්වන සුරඟන පබැඳුම


මේ අතර සිදුවුයේ කුමක්ද?

සාමාන්‍ය කෙල්ල තම නිදි වර්ජිත රාත්‍රියෙන් පසුව සුපුරුදු දිනචර්යාවේ නිරතව සිටිද්දී දුරකතනයේ නාදයෙන් ගැස්සී ගියද, එය නොසලකා උන්නාය. නමුදු සේවිකාව විසින් කැඳවන ලදුව රිසිවරයේ කෙළවරක සිය සවන්පත් තබාගත්තේ ගැහෙන හදිනි.

"මම මේ කුමාරයාගේ සගයෙක්... දැන් කතාකරන්න පුළුවන්ද ?..."

පපුවේ වේගය වැඩිවුවද සාමාන්‍ය කෙල්ල හාත්පස බැලුවේ ආරක්ෂාවට පමණක්ම නොවේ. මෙවන් පැනයකදී ඇගෙන් ලැබෙන්නේ නිහඬතාවයක් බව දන්නා සගයා නැවත කතාකරන්නට පටන්ගති.

"... කුමාරයාට උණ. අන්න ඌ උණ විකාරෙන් ඔයාගේ නම කියනවා."

කුමක් කියන්නද හිතනවාට වඩා විසල් කන්දකට එකවර යටවී ගියා සේ ඈ දුර්මුඛව ගියාය. ඉන්පසුව වෙනදා මෙන් සගයා දෙගොඩතලා යන්නට සිනාසෙන හඬින් සාමාන්‍ය කෙල්ල සාමාන්‍ය සිහියට එළඹියාය.

සිය ප්‍රියතම සුදු පරවියාට හීයකින් විද බිමලු අයෙකු පරිද්දෙන් තද වේදනාවක් තමන් තුලින් ඇරඹී පිටතට එන්නට දඟලනවිට ඇය ඉක්මනින්ම වචනයක් හොයාගත්තාය.

"අහ් !"

"දැන් ඉන්නේ වෙදතුමා ගාව. ඇවිල්ල ඔය කොහෙන් හරි අල්ලලා වත් යන්න. උණ බහී බස බස ගාල."

"මේ......! මගෙන් මුකුත් අහගන්න.."

"විහිළුවක් කලේ අය්යෝ. පුළුවන් නම් එන්න. බොරුවට නෙවෙයි කිව්වේ..."

"පොඩි උණක් වෙන්න ඇති. ගණන් ගන්න එපා කියන්න. මේ.. ආයේ කෝල් කරන්න එපා හරිද?"

"එනවද කියන්න"

151. මොන්ටිසෝරියේ 'කොන්සට්' ( After the Nursery Concert)





අම්මේ මම
රහස් සියල්ලම දැනගතිමි...
ඔබ කී බොරුද හසුවුනි.

පාටක් නැති කියූ
පාට පාටයි කියූ
සියල්ලටම 'පාටක්' ඇත..

සුරංගනාවන් , කුමරියන්
කැරලි කොණ්ඩා තියෙන
සුදුම සුදු අය (පමණක්) බවද,

රකුසන්, මන්තරකාරියන්
වැද්දන් හෝ දුෂ්ඨයන්
කළුම කළු අය ( පමණක්) බවද ,


දැනගතිමි....

රහස් සියල්ලම දැනගතිමි...
අම්මේ මම.......!



150. අගුලක උගුල




මම ගැන කවි ලියා
කියවමි..
නුඹ ගැන කිසිත්
නොලියමි..

පෙම් පත් ලියා
අලවමි....
යලි කවර ගලවා
මුමුනමි....

අගුළු දොරකට
අමතමි....
රන් පිහියකින්
ඇනගමි...



~~~~~ මෙලංග ~~~~~

Wednesday, February 11, 2015

149. සුරංගනා කතාවකි - 4



ඇරඹුම

දෙවන සුරඟන පබැඳුම

තෙවන සුරඟන පබැඳුම



සුරංගනා ලෝකයට ඉල් මාසය ලබනවිට උත්සව සමය ආරම්භ වෙයි.

ඒ අතරේ අපුරු සිදුවීමක් සිදුවිය. එනම්, කුමාරයා තමුන්ගේ නාගරික මාළිගාවෙන් තාවකාලිකව ගම්බද පිහිටි ඔවුන්ගේ නිදහස් මාළිගාවට සංක්‍රමණය විය.

පිය රජතුමා විසින් මෙම මාළිගාව වෙසසින්ම නිමවා තිබුනේ නාගරික ජිවිතයේ තෙහෙට්ටුව නිවාලන සිලිලාරක් දනවන පරිද්දෙන් බැවින් ඉඳහිට මෙම මාළිගාවේ සති අන්තයක් හෝ ගිමහාන සමයක් ගතකරන්නට පැමිණීම පවුලේ චාරිත්‍රයක් වුවා කිවහොත් නිවැරදිය. නමුදු මෙම තාවකාලික සංක්‍රමණය යුධ උපක්‍රමයක් බව මවු බිසව උදක්ම දැන සිටියේ නැති බැවින් අවසරය එතරම් පුදුමයක් නොවිය.

වෙනදා මෙන් සිලිලාරක් මාළිගාවේ නොදැනුනද, නිරන්තරව පොපියන කඩිකුලප්පුවක් කුමාරයාට දැනෙන්නට වුවත් එය තවමත් සිය සගයන්ට පමණක් සීමාවූ මන්ත්‍රණයක් වී තිබුනේ මාළිගාවට පැමිණි දෙවන හෝරාව වනතෙක් පමණි. ආ පයින්ම සෛන්ධව අශ්වයින්ගෙන් යුත් සිය නවතම අශ්ව රියට වන් කුමාරයා සිය සගයින් තිදෙනා සමඟ පිටත්වූ බව මිත්තනිය විශ්මයෙන් බලා උන්නාය. මෙය නම් අපූරු වැඩකි!

148. සුරංගනා කතාවකි - 3




ඇරඹුම

දෙවන සුරඟන පබැඳුම

වසන්ත කාලය එළඹෙන වග කියමින් නොයෙකුත් පණිවිඩ කාරයින් පැමිණ තිබිණ. නමුත් සාමාන්‍ය කෙල්ල ඒ පණිවිඩ සියල්ල ලියුම් කවර වලම සංවෘත ස්වභාවයෙන්ම තිබෙන්න හැර කුඩා ලී පෙට්ටියක අහුරා තැබුවාය.

පාඨශාලාවෙන් නික්මුනද ඇය සිටියේ සතුටිනි. කුමක් හෝ සිතුවිල්ලක දැවටී එන ඒ නැවුම් බවට අමුනපු ගීත කියමින් ඇයගේ දවස ගෙවුනේ සාමාන්‍ය ලෙසටය. පුදුම වන්නට දෙයක්ද නැත, සාමාන්‍ය කෙල්ලක සාමාන්‍ය ලෙස දවස් ගත කිරීම සාමාන්‍ය වැඩකි.

ඒ සාමාන්‍ය බව සාමාන්‍යයෙන් බිඳෙනසුළුබව කියන්නට එකෝමත් එක දවසක දුරකථනය නාද වන්නට විය. කිසියම් වැඩක නිරතව සිටි බැවින් ඇමතුමට පෙර සුදානමක් තිබුනේද නැත, කොහොමත් ඇගේ පෙර සුදානමක් ඇත්තෙම නැති තරම්ය.

"මාව අඳුනන්න පුළුවන්ද ?"

කටහඬින් තිගස්සුනද සාමාන්‍ය කෙල්ල ඉක්මනට සාමාන්‍ය වුවාය.

"හිතුවද මේක TV එකක් වගේ මුණ පේන එකක් කියල?"

අනෙක් පසින් නොනවත්වා නැගෙන සිනාවෙන් පසුව දෝංකාරයක් සේ ඇසෙන පසුබිම් සිනා හඬවල් වලින් ඇමතුම් කරු එක් අයෙක් නොවන බව ඇයට වැටහුනේ ක්ෂණයෙන්. ඒ ක්ෂණයෙන්ම ඇය දුරකථනය විසන්ධි කළාය.

Tuesday, February 10, 2015

147. සුරංගනා කතාවකි - 2






සුරංගනා කතාවේ ඇරඹුම

ඉක්බිතිව එළඹියේ අමුතු ගිම්හානයකි.

කිසිදු ලෙසකින් ඒ කඩවසම් මුහුණ අමතක කර දමන්නට ඒ සාමාන්‍ය කෙල්ලට නොහැකිවිය. උගැන්මට පන්හිඳ ගන්නා සියලු අවස්ථාවන්හිදී කුමාරයාගේ විස විතක් වන් බැල්ම සිහිවීම වලක්වන්නට ඈ අසමත්ව ගිය බැවින් එය එසේම වන්නට ඉඩහරින්නට ඇයට සිදුවිය. කාලය ගතවුනේ ඉබි ගමනින් යන පරිද්දෙන් වුවද බීජයක් වැඩුනේ තුන්වන මානයක වූ සමාන්තර ලොවක බැවින් ඒ බීජය ගසක් වීමට වැඩි කලක් ගතවුනේ නැත. නමුදු ඒ සාමාන්‍ය කෙල්ලට අවබෝධ වූ කාරනා කීපය අතුරින් තමන් සාමාන්‍ය කෙල්ලක පමණක් බව ඇගේ සිතේ තදින් පැලපදියම්ව පැවතුනි.

එය එසේ පැවතුනේ හරියටම අඩ වසරකි.

සාමාන්‍ය කෙල්ල තම ගම්මානයෙන් පිටත්ව පාඨශාලා කටයුත්තකට නාගරික ප්‍රදේශයට යන්නට පිටත්වුවාය. එය වැසිබර දිනයක් විය. ඇය පාසල් කටයුත්ත සඳහා වූ ස්ථානයට ඇතුළුවනවිටම , ඇතුලත සිට පිටතට කඩාවදින සේනාවක් පරිද්දෙන් සිසුන්ගේ පොදියකට එකවරම හසුවුවාය. ගංගාවක උඩුගං බලා පිනන පිහිනුම් කාරියක සේ ඇයට තම අතපය ගසන්නට සිදුවීම දුක්බර වුවද, එකවරම තමන් පසුකොට ගිය දිය කඳක් තමන් දෙසට හැරෙනු වැටහී ඇයගේ ස්වභාවික සත්වයා එයට පිළිතුරු වශයෙන් ඈ ආපසු හරවා තැබුවාය.

Monday, February 9, 2015

146. දන් දුන් පසු






දුවණියක උස් මහත් කර
දෝතින්ම ගෙන අහිතක් නොගෙන
පුදා ආයෙමි හිස් අතින් ගෙදර...

කෙළිකවට කම් කරපු
නොරිස්සුමකට තලපු
කිචි බිචිය , ඉකිබිඳුම
ගෙදර හැම මුල්ලකම
අතුගාගන්ට බැරිවුණු...

Thursday, February 5, 2015

145. ගුරු වෙරී - 01


මම පුංචිම පුංචි එකා කාලේ මගෙන් ඒ දවස්වල ලොකුය කියල හිතෙන වැඩිදෙනෙක් අහපු ප්‍රශ්න කීපයක්ම තිබ්බ.
එකක් තමයි අම්මටද අප්පච්චිටද වැඩිපුර ආදරේ? තවත් ඒ ජාතියේ වෘෂභ ප්‍රශ්නයක් තමයි බබා ලොකු උනාම කවුරු වෙන්නද කැමති? කියන එක.



ඒ කාලේ හිතුනේ නැතත් දෙවැනි ප්‍රශ්නෙට දැන් නම් හිතෙනවා
"කවුරු නැතත් ඔයා වගේ නැතුව ඕනේ කෙනෙක් වෙච්චාවේ"
වගේ රුවන් වැකියක් කියන්ට.

කියන්ටත් බෑ... මගේ ප්‍රොෆයිල් එකේ හැටියට සහ මගේ ඉතිහාසේ දන්නා උදවිය කියනා හැටියට පුදුමයි මම ඔහොම උත්තරයක් නොදුන්නා! එක්කෝ ඒ දවස් වලත් අපේ දෙමවුපියන්ගේ නම්බුව තියනවා කියන කාරණේට වඩා තියෙන නම්බුවත් නැතිකරන්නේ නැතුව ඉන්න එකේ තියෙන මහත්ඵල මහානිසංසය ගැන ඒ දවස්වලම හිතේ තියෙන්ට ඇති. ඒකයි උත්තරේ පමා වෙන්ට ඇත්තේ.

Monday, February 2, 2015

144. සිස්සත්තෙන් පසු.....







ගස.....
පළමුවර මල් වැරූ විට
උදුරවා ගොස් ,
අළුත් පසකට
යට කළෙමි..





Friday, January 30, 2015

143. සඳ කිඳුරු වැළපුම






විනෝදෙට වෙඩිතියන සුරඟනන්
වෙඩි වැදී වැටුණු සඳ කිඳුරන්
සොයා එන බව දනිමි,

වැටුණු ඒ කිඳුරන්ට
පණ ටිකක් හෝ තියේ නම්
වස පොවා යන්ට බලාගෙන....

Thursday, January 29, 2015

142. සුරංගනා කතාවකි - 1





එකෝමත් එක දවසක....

නෑ ... ඇත්තටම දවසකද? නැත්තම් දෙකක්ද? නෑ සතියක්ද? මට මතක නැත.

එකෝමත් එක තැනකදී....

නෑ .... එක තැනකදීද ? තැන කීපයකදීද ? මට මතක නැත.

එකෝමත් එක හෝරාවකදී...

ඔව්... එය නම් හෝරාවකදී නම් තමයි. කුමන හෝරාවකදී දැයි මට මතක නැති බව සැබෑය. නමුත් එය එක්තරා හෝරාවකදී බව සැබෑය.

එකෝමත් එක කුමාරයෙකු....

ඔව්. ඔහු කුමාරයෙකි. කිසිම අයුරකින් සඟවාගත නොහැකි මැණිකකි.

පිටියක සෙල්ලම් කරමින් සිටියේය.

ඉතාම සාමාන්‍ය කෙල්ලක ඒ දෙස බලා සිටියා පමණි. එකවරම සෙල්ලමට යොදාගන්නා උපකරණයක් කුමාරයාගෙන් ගිලිහි ඒ සාමාන්‍ය කෙල්ල දෙසට විසිවී වැටුණි.

අපි හිතනවට වඩා මිනිස් හැඟීම් සංකීර්ණයි. කොතරම් සංකීර්ණද කියනවා නම් මෙහෙම කියන මමවත් සමහර වෙලාවට දන්නේ නැහැ මම හිතන සංකීර්ණ බවට වඩා සංකීර්ණයි කියල.

චපල ආදරවන්තියක් වෙච්ච දවසට ඒ කෙල්ලට මොකක් හිතෙනවා ඇත්ද?

චපල ආදරවන්තයෙක්ට වඩා ඒ හැඟීම ගොඩක් සංවේදී කියල හිතෙන්නේ , මනුස්සයෙකුට ගැහැණියෙක් විදියට චපල වෙනකොටත්, පිරිමියෙක් විදියට චපල වෙනකොටත් තියෙන හැඟීම් සමුදාය එක්ක බැලුවමයි. ඔන්න දැන් ඉතින් අතට ගත්ත කඩු / කිනිසි/ තෝමර/ පොල් අඩි / කුන්ෆු ෂොට් ආදිය පොඩ්ඩට බිමින් තියල ගන්න අනේ ඔතන තිබ්බ මාළු කපන මන්නේ !!!

141. පරම සත්‍ය සහ ඇත්ත (Absolute truth and Truth)






ආකහෙන් වැටුනට
මමත් තරුවක් තමයි..

ගොහොරුවෙන් උඩට ආවට
උඹ නෙළුමක් වෙන්නේ කොහොමෙයි?





Wednesday, January 28, 2015

140. අතැ'ර ආ ඔබට කියමි..




එකක් හෝ ලියනු මැන
කවි,
මම ගැන...

ඔය හිතේ
සිදුරුකළ
තැන් ගැන....
අපේ රහස් ගැන...

පය වෙට්ටුවක් දමා
පයින් පාගා
දැමූ මම ගැන...

Tuesday, January 27, 2015

139. ආදර උස් - අඩි






වාරුවෙමි ඔබට
පාවහන් අඩි
උස වැඩි නිසා....




Monday, January 26, 2015

138. ~~~~~~ ඇස්බැන්දුම් සහයිකාව ~~~~~~




උඹ වෙනුවෙන්

අතුරුදන් වෙමි,
කවන්ධ වෙමි,
රුදු කිනිසි පහරින් නොසෙල්වෙමි...

පාවෙමි,
ගිලෙමි,
කැබලි වෙමි.

යලි

ඔල්වරසන් ඉල්වා දෙමින්
වෙන තැනකින් මතුවෙමි......

Friday, January 23, 2015

137. පත්වීම් ලිපිය


පුතා දැන් ලොකුයි
බැනුම් අහන්නට
සුදුසුයි.








Wednesday, January 21, 2015

136. කුඩයක් සහ බිම්මලක්



ඔබ...
තෙමෙන වැස්සක නොතෙමෙන
රුදුරු අව්වක මුවාවන

මම.....
වැසි සොයා තෙමෙමින් දුවන
ඉර දකින තුරු දින ගනින