ලියන්න හිතාගෙන හිටියේ වෙන දෙයක්. ඒත් එකපාරටම මේ ගැන ලියන්න හිතුනා. මුලින්ම කියන්න ඕනේ මම මේ ගැන නිතිය හදාරපු කෙනෙක් නෙවෙයි. නමුත් වෙනත් ක්ෂේත්‍රයකට අදාලව ' copy rights ' කියන දේ හදාරා තියෙන හින්දා, මුලික සංකල්පය ඔස්සේ ලියන්න හිතුවා.
ළඟකදී සෑහෙන දෙනෙක් බෑඟිරි ගානවා ඇහුනා සිංදුවක 'කතෘ භාගය' ගැන.
ඒ අස්සේ ඒ ගැන හදපු මිම්ස් , ජෝක්ස් වගේම ඉතාම නරක විදියට අදහස් සහ මත විකෘති කරපු දේවලුත් දැක්කා. ඒ ඔක්කොම දැක්කහම, මට හිතුනා අද වෙනකොට මම දරන අදහස ලියා තැබීම හොඳයි කියලා සංවාදයට.
මට පෙනෙන විදියට, ලාංකික අපිට යමක copy rights තේරෙන්නේ නැහැ. විශේෂයෙන්ම බුද්ධිමය දේපලක! කොහොමත් නිතිය ගැන කලින් තිබ්බේ ඉතාම අඩු තක්සේරුවක්නේ. කොටින්ම
1. බස් එකක් හෝල්ට් එකේ නොමැතිව, ඕනෑම තැනක නතර කරන්ඩ ඕන
2. ළමයෙක්ට කනට දෙකක් දුන්නට අවුලක් නැහැ
3. අත් අඩංගුවට අපත් උනාම එයාට ගහන එක සාමාන්‍යයි
වගේ මතවල් වල ඉන්න මිනිස්සු අතරින්, අතට අහු නොවෙන දෙයක් වෙන බුද්ධිමය දේපල ගැන නීතියක් ස්ථාපනය කරන්න සෑහෙන අමාරුයි. විශේෂයෙන්ම ගීතයකදී !
සිංදු කියන මිනිස්සු 'මාරම සිරා ප්‍රගතශීලි ' කියලා හිතාගෙන ඉන්න සමාජයක, ඒක එහෙම නෙවෙයි කියලා තේරුම් කරන්න යන එක දැලි පිහියෙන් කිරිපැණි කනවා වගේ. සිංදුවක් කියපු පලියට ( සටන් කවි, පපුව පලාගෙන යන දුක් ගීත) ඒ මනුස්සයා ඒ සිංදුවට අනුව ඉන්න කෙබෙක් නෙවෙයි. එයාට හෝ අයට ලස්සන කටහඬක් තියෙනවා විතරයි. පුද්ගලයා විදියට ඔහු හෝ ඇය ඉතාම පහත් ; නරක ගතිගුණ තියෙන කෙනෙක් වෙන්න පුළුවන් නේ! ඉතින් ඒක එයාගේ වරදක් නෙවෙයි. ඒ වගේමයි සංගීතඥයෙක් ; පද රචකයෙක් උනත් එහෙම වෙන්න පුළුවන්. ටැලන්ට් එක වෙනයි ; මනුස්සයා වෙනයි.
ඕනෑම ක්ෂේත්‍රයක හෝ සමාජයක නීතියක් හැදෙන්නේ ඒ තුල සිටින දුර්වලයා ආරක්ෂා කරන්න මිසක්, ප්‍රභාලයාට තව බලය දෙන්න නෙවෙයි. රටක නීති හදන්නෙත් ඒ අදහසින්. ගීතයක් ගත්තහම, වඩා ප්‍රභල වන්නේ ගායකයා හෝ ගායිකාව. මොකද ඒක අවසානයේ මිනිස්සු දකින්නේ ඔහු හරහා. සංගීතය හෝ පද රචනය ගැන විශේෂයෙන් නොකියවා පවා ගීතයක් ඕනෑම වෙලාවක කියන්න පුළුවන්. එතකොට ඒ ගීතයේ පද රචනයට, සංගීතයට මුල් වුන ය තමයි දුර්වලයින් වෙන්නේ. ඒ හින්දයි නීතියෙන් ඔවුන් වෙනුවෙන් යම් කොටසක් ගෙවන්න කියලා 'නියමයක්' ලෙස කරන්නේ. එහෙම නීතියක් නැතුවත්, එහෙම ගෙව්වා නම්, ඒක ඉතා හොඳ දෙයක්. මොකද, බුද්ධිමය දේපලක් කියන්නේ යම් ශ්‍රමයක්, මහන්සියක් දරලා කරන දෙයක් තමයි.
ඉස්සර අපි අහලා තියෙනවා යම් ගායක ගායිකාවෝ ස්ටේජ් එකෙන් බැහැලා, මුදල ගැනවත් අහන්නේ නැතුව යනවා. එහෙම අය මම උත්කර්ෂයට නඟන්නේ නැහැ. මොකද එයාට එහෙම යන්න පුළුවන් වෙන්නේ එයාලට මුදල් ගැන තිබ්බ නොසැලකිල්ල හින්දා. ( ඒ ගැන මම දැන් ලියන්නේ නැහැ) ගායනය හෝ මියුසික් වලින් ජිවත්වන 'දැන්' ඉන්න අය එහෙම කරන්නෙම නැහැ මම හිතන්නේ. එයාලා එහෙම උපයනවා නම්, ඒ ගීතයට දායක වුනු යට යම් මුදලක් එයින් ලබාදීම වඩා සාධාරණයි ඉයල මම හිතනවා.
එක අයෙක් කියලා තිබ්බා, ඒ ගීත රචිකාවිය එයාට සිංදුව දුන්නේ පස්සෙන් ඇවිල්ලය, පින් දීලා ගියා කියලා. උටත් එහෙනම් ඒ සින්දුව කියනකොට පිං අරගෙන එන්නනේ තිබ්බේ. මුදල් නොගෙන!!
ඔන්න ඔය වගේ සුරාකෑම් වලින් බේරගන්න තමයි මේ නිතිය අවශ්‍ය වෙන්නේ.
මොකද මෙතෙක් කාලයක් සිංදු ලිවිම කියන එකට තිබ්බේ අඩු වටිනාකමක්. විශේෂයෙන්ම ආධුනික අය. මට හිතෙන්නේ මේ නීතියෙන් යම් දෙයක් ගැන මිනිස්සු දෙපාරක් හිතල බලන්න යොමු කරයි කියලා.
විදෙස් රටවල්වල කරන හැමදේම හොඳයි කියන්න හොඳ නැහැ. නමුත් විදෙස් රටවල්වල මිට වඩා සුරාකෑම් වෙනකොට, මේ නීතියෙන් සහනයක් තිබ්බා.
හැම නීතියකම අදහස ඔක්කොටම සාධාරණයක් කිරීම නෙවෙයි. වඩා දුර්වලයා ආරක්ෂා කිරීම නේද?
කතෘ භාගය ගෙවීමේ නීතියට මම නම් පක්ෂයි!
සංවාදයට විවෘතයි
කාටත් අගතියක් නොවෙන විදියට වැඩේ වුනානං එච්චරයි!
ReplyDelete