Thursday, May 29, 2014

44. අත බලා සාස්තර කියනු ලැබේ.... (දේව වරමින්)



මම මොරටුව කැම්පස් බඩගාපු කාලේ...

සුන්දරයි..! හුහ් මොන පිස්සුවක් කියෝනවද?

ගන්න දෙයක් නැහැ... අන්තිමයි... වෙන වෙන පිස්සු නටන අතරේ වෙලාවක් තිබ්බොත් ඉගෙනත් ගත්ත. ඔය සුන්දර සොඳුරු කැම්පස් කතා තියෙනවා නේද? මොන වැල් බයිලද..? මට නම් තිබ්බේ උසස්පෙළට නොදෙවෙනි දිවිල්ලක් දිව්ව , අන්තිමට දිනපු තරඟයකුත් නැති මෙව්වා එකක් වගේ. මොකටද බොරු කියන්නේ.. මමත් ඉස්සර ලිව්වා, සිහින මැව්වා කැම්පස් වල තියෙන මල් - මල් , ටින් - ටින් ආදර කතන්දර එහෙම... හීනෙන් තමයි..

ඒවා ගැන පස්සේ කතාකරමුකෝ.. මේ කතාව එහෙම දෙයක් ගැන නම් නෙවෙයි. මට කියන්න ඕනේ කලේ, කැම්පස් පටන් ගන්නකොට අපිට පොඩි ගැන්සියක් හිටිය කියලයි. මේ ගැන්සියේ අනේක විධ කෙල්ලෝ-කොල්ලෝ හිටිය. සල්ලිකාර උන් හිටියේ අඩුවෙන්, අපි වගේ මධ්‍යම පාන්තික පිස්සු මෝල් තමයි වැඩිපුර. දුප්පත් උන්ට අපි කොහොමත් දොර ඇරලයි තිබ්බේ. උන් සෙට් එකට එනවා, යනවා.

Wednesday, May 28, 2014

43. Under 11

මම නිතර දොඩවන කෙනෙක්...



තනියෙනුත්, කට්ටියත් එක්කත්.. හැබැයි එහෙම දොඩවන්නේ දැන් ඉන්න මේ මං ! ඉස්සර මම එහෙම පිටින්ම වෙනස්... මම මේ කියන කාලෙට මගේ වයස අවුරුදු 3 සිට 15 දක්වා කියමුකෝ. යාලුවෝ කැටියක් හිටියත් ඉස්සර මට සද්ද නැතුව ඉන්න පුළුවන් කිසි ගේමක් නැතුව... දැනටත් මේ ගතිගුණේ නෂ්ටාවශේෂ තියෙනවා. හැබැයි මතුපිටින් වෙනස් වෙලා..

මම මගේ පරණ කතා කියනකොට කියලත් ඇති මගේ පාසැල් කණ්ඩායම් ක්‍රීඩාවක් ගැන. එව්වා කොහොම වලක්වන්නද? ඒ ක්‍රීඩාවත් මමත් කියන්නේ ගහට පොත්ත වගේ වෙලා තිබ්බේ. කොටින්ම මට මගේ යාළුවො උනත් මගෑරෙන්න සමහර වෙලාවට මේක හේතුවක් උනා. මොකද මම පන්තියෙත් නැහැ සමහර මැචස් තියෙන කාලවල් වලට. එහෙම තිබ්බේ නැතත්, මම වැඩිපුර හිටියේ මගේ ටීම් එකේ අනිත් උන් ඉන්න පන්තිවල.

Tuesday, May 27, 2014

42. නම්බු කටුව


ඔයාලටත් තියෙනවද නම්බු කටුවක්? ඔව් හැමෝටම තියෙනවා.... එක එක මට්ටමෙන්... එක එක විදියට අටෝගත්ත නම්බු කටු


මට ගොඩාක් ලොකු අද්දැකීම් සම්භාරයක් නැහැ.. එත් මගේ කැපෑසිටි එකේ තරමට අනිත් අයට සාපේක්ෂව මට අද්දැකීම් තියෙනවා. ඒ වගේම මම පුංචිකාලේ ඉඳන්ම පුරුදු වෙච්ච හොඳ/නරක අතුරින්, ඕනෙම සිද්දියක් මගේ පුද්ගලික අද්දැකීමක් වගේම හිතන්නත්, ඒ සපත්තු මටත් දාගෙන බලන්න මට පුළුවන්කම තිබ්බ, තවමත් තියෙනවා කියල මම හිතනවා.

කොටින්ම කිව්වොත්, මම ඉස්සර නවකතා ලියන කාලේ, මගේ නම මට වඩා වැඩිමල් කෙල්ලෝ අතරෙත් ජනප්‍රිය වෙලා තිබ්බට සමහර දෙනෙක් මාව දැකල තිබ්බෙත් නැහැ. අතින් අත පාස් වෙලා යනකොට පොත කියෝලා, සමහර අය ලියල තිබ්බ කමෙන්ට්ස් ( පොත අන්තිමට මම හිස් පිටු ඉතුරු කරා, අදහස් ලියන්න කියලා) කියෙව්වම සමහර වෙලාවට මම පුදුමත් වෙලා තියෙනවා. සමහර අය මාව හොයාගෙනම ඇවිත් කියල තියෙනවා

"අනේ නංගි ... ඔය කොහෙන්ද අහවල් සිද්දිය හොයා ගත්තේ... කවුරුහරි ඔයාට කිව්වද?" කියල... බලනකොට ඒ ළමයට එහෙම සිද්දියක් වෙලා... මම ලියල තියෙන හින්ද හදමල මෙව්වා වෙලා ඇවිත් !!!

Friday, May 23, 2014

40. ඇවිත් ගියා

මෙතෙන්ටත් ආවා
ලියපුවත් කියෙව්වා...
කොමෙන්ටුත් කියෝලා
සද්දයක්  නැතුව

වැහුව නේද බ්‍රව්සරේ?

හොර ගෙඩියා !

39. ඇඩික්ටඩ් ඇඩික්...

ඇඩික් කිව්වම දන්නවනේ...

කොච්චර දේවල් ඉතින් මතක් වෙනවද එහෙම කිව්වම නේද?
ලොල් කියලත් කියාවි, එතකොට මත් ලොල්, රාජකාරි ලොල් ( එහෙම උන් ඉන්නේ මම වැඩකරන කොම්පීතර අවකාශයේ.. වර්කොලික් කියන්නේ) , අරව මෙව්වා.... ඇයි එතකොට ස්ත්‍රී ලොල්.... චීය ..

ඒ ගැන කතා නොකර ඉම්මු.. මොකද මම මේ කියන්න යන්නේ එහෙම එකක් කිසිසේත්ම නොවෙන හින්ද... දැන් දුවගෙන ගිහිං , වෙනදට හොරු ගෙට පනිනකොට ගහන්න කියලා හංගලා තියෙන දෙකේ දෙකේ පොල්ල උස්සන් එන්න එපා මට දෙකක් දෙන්න හරිද? මම නිකන් ටෙස්ට් කලේ, ඒක හදිස්සියට ගන්න පුළුවන් තැනක දැනටත් තියෙනවද කියල...

මම මේ කියන්න ගත්තේ මම ඉස්කෝලේ යන කාලේ බැඳිලා හිටපු සංගමයක් ගැන කියන්න... අන්න ගොනාට වගේ තේරුනා නේ? ඔව් ඔව් ... ඇඩික් (ADIC ) කියන්නේ පාසැල් යන ළමුන් අතරේ ඒ දවස්වල ඉතා ජනප්‍රිය සංගමයක්. ( අඩු තරමේ මම එහෙම ජනප්‍රියයි කියල වත් හිතාගෙන හිටිය කියමුකෝ)
නොදන්නා අයට මෙන්න ලින්කුව 

Wednesday, May 21, 2014

38. කාලය කොතරම් සොඳුරුද නපුරිය (02)

පළවෙනි කොටස 

කාලය, අවකාශය, වටපිටාව කියන කිසිම මානයක් මගේ ප්‍රස්තාර වල තිබුනේ නැහැ. මට මතක පොඩි සිද්දි කීපයක් විතරයි...

කාලය ගත උනේ මේ කිසි දෙයක වෙනසක් කරන්නේ නැතුව... මට හිතෙන්නේ ටිනේජ් ආදර කතා මේ වගේ වෙන්න ඇති ( දැන් නම් එහෙම නැහැ කියලා හිතෙනවා.... මම කියන්නේ නැහැ වැරදි කියලවත්, හරි කියලවත්)



ඔන්න මේ සිද්දි වල ඒකාකාරිත්වය බිඳගෙන යමක් සිද්ද උනා. ඒ තමයි ඔහු යාලුවෝ නැතුව තනියෙන් ,එතනින් ගමන් කරන මාව එකවර පාර මැද්දේ නතර කරගෙන කතා කරපු එක! ඒක මහා භයානක සිද්දියක් වගෙයි අදටත් මට දැනෙන්නේ. මොකද යුනිෆෝම් එකක් ඇඳගත්ත කෙනෙක් විදියට, අවේලාවේ, ටවුම මැද්දේ කලඩ් ඇඳන් ඉන්න කොල්ලෙක් එක්ක කතා කරනවා කියන්නේ අපේ ඉස්කෝලෙන් 'කිරිමේල් එකක් කැඩෙන'  වැඩක්! ඒ වගේ කිරිමේල් මෙතෙක් කැඩිලා තිබ්බේ ලස්සන, සුදු කෙල්ලොන්ටනේ.... මම ඒ දෙකෙන් එකක්වත් නෙවෙයි... මගේ අම්මෝ...!!! භයන්කරයි...

Tuesday, May 20, 2014

37. කාලය කොතරම් සොඳුරුද නපුරිය (01)

අද උදෙන්ම.. ( උදෙන්ම කිව්වට පාන්දර 9 ට විතර) ගාට ගාට එන බස් එකේ නැගල... වාඩිවෙන්න අවස්තාවක් හොයාගෙන ඉස්සරහටම ආවම ... දන්නවනේ ඉතින් අර ගැබිණි කාන්තාවන්ට තියෙන ආසනේ.. ඒක  තිබ්බේ තුන්වෙනි පේළියේ ... මගේ වෙලාවට එතන ඉඳන් හිටපු කොල්ලා බැහැලා යනකොටම මම මගේ ලට පට ටිකත් අරගෙන වාඩිඋනා..

හෝල්ට් තුනක් යන්න ලැබුනේ නෑ ... පොඩියට බඩක් තියෙන කෙනෙක් නැග්ගා බස් එකට... දැන් මට හෙන සැකයි ඇත්තටම මෙයාට දරුවෙක් ලැබෙන්නද , නැත්තම් හොදට කාලා බීලා හදාගත්ත පෘෂ්ටිමත් බඩක්ද කියලා. කොහොම උනත් එයාට ආසනයක් ලැබුනේ නම් නැහැ ඉස්සරහ පේලි වලින් ( සමහර වෙලාවට මම වගේ දෙගිඩියාවෙන් හිටියද දන්නේ නැහැ නේ එයාලත්? ) ඔන්න ඔහේ කියලා මම මගේ ආසනේ දුන්නා.. එකට කියන්නේ පරිත්‍යාග කළා කියලා නේ!

දානෙන් දානේ උතුම් දානේ ( හා හා ... තෑග්ගෙන් තෑග්ග කියලයි පොතේ තිබ්බේ) කියලා එක හෝල්ට් එකක් යන්න කලින්ම ඊට ඉස්සරහ සිට් එකෙන් ඉඩක් ලැබුණා , ඉඳගත්ත බන්ඩි ගෙඩි අම්මා මගෙන් මගේ මළු ඉල්ලලා පොරකනකොට මම ඉක්මනට එතනින් වාඩි උනා, ජනේලේ පැත්තේ හිටියේ කොල්ලෙක් වගේ, මම වැඩිය නොට් කලේ නැහැ. බස් එක අයෙත් ඉබි ගමනේ, මම ඔහේ පුරුදු විදියට මගේ මනෝ ලෝකේ.......

Thursday, April 24, 2014

36. අපේක්ෂා .. 03

මෙතෙක් කතාව...

පළවෙනි කොටස
දෙවෙනි කොටස


මේ කටයුතු මෙහෙම වෙද්දී මට විභාග භීතිකාව වැළදිලා තිබ්බ හින්දා බතලයා එක්ක වැඩිය කතාකරන්න ලැබුනෙත් නැහැ.

කොහොමහරි දවසක සෙනසුරාදාවක, බතලයා මහණවෙන්න යන්න හිටපු සිල් ආරාමෙට ගෙනිහින් ඇරලවන පොඩි විසිට් පාරක් ලෑස්ති වෙලා තිබ්බ. අපි ඔක්කොම ඉතින් ට්‍රිප් කිව්වොත් අල්ලපු ගෙදරට හරි කමක් නැහැ... මමත් ඉතින් පැනගෙන ගිහින් වෑන් එකේ ඉස්සරහ තියෙන සිට්  එකකින් වාඩි උනා. මොකද මට කාර් , වෑන් , පොඩි බස් වල පිටිපස්සේ යන්න නම් බැහැ .. කෙලවර වෙන්නේ හෝටලයක් දාල තමයි. දැන් උනත් තාමත් ඒක තියෙනවා. පොඩ්ඩ බැරි උනොත් හෝටලේ..!

දැන් ඔන්න අපි තුන් හතර දෙනෙකුයි, බතලයයි, බෝඩිමේ අක්කයි, එයාගේ පුතයි, පැන්ඩා යි  ඔන්න යනවා. ගිහිං කෝට්ටේ පැත්තේ සිල් ආරාමෙකට ගියා. ඒක කන්දක් උඩ වගේ පාරෙන් උඩට වෙන්න තියෙන්නේ. අපිත් ඉතින් ඒ පඩිපෙල් නගින ගමන් හිතුවේ මහණ උනාට පස්සේ  මේ පඩිපෙල් දවසගානේ නැගලා බතලයා නිවන් යෑම කෙසේවෙතත් ඉතා ඉක්මනින් ස්ලිම් ෆිගර් එකක් ඇති කරගනී කියලයි. (අන්න එහෙමයි කල්‍යාණ මිත්‍රයෝ කල්පනා කරන්නේ හරිද?)

Saturday, February 22, 2014

35. අපේක්ෂා 02

මෙතෙක් කතාව මෙතනින් 
මගේ කුතුහලය ඇවිස්සුන මේ කතාවෙන් දිග ඇරුනේ 'බතලයා' ගේ අතුරු කතාව..

කතාව කෙටියෙන් මෙහෙමයි

බතලයා කියන්නේ ටිකක් තලෙළු , ලස්සනට අඳින පළදින, ලස්සන ෆිගර් එකක් තිබ්බ කෙල්ලෙක්. ඉස්කෝලේ ඉවර කරලා 'ආකියක්' විදියට අපේ කැම්පස් ආපු බතලයා ඉස්කෝලෙදි වගේම කැම්පස් එකෙත් හැමෝගෙම හොඳ යාලුවෙක්. එයාගේ ඉස්සර කාලේ පින්තුරක් දැක්කොත් කව්රුත් විස්වාස කරන්නේ නැහැ මේ දැන් ඉන්නේ ඒ බතලයා කියල කීයටවත්. 

බතලයා පවුලේ එකම ළමයා. එයා කැම්පස් එකේ බාස්කට්බෝල් ටීම් එකටත් සෙල්ලම් කළා. මේ අතරේ එයාගේ හිත ගියපු කොල්ලෙක් ඔන්න කතාවට සම්බන්ධ වෙනවා. මට හරියටම මතක නැහැ සියලු සිදුවීම්, නමුත් කෙටියෙන් කිව්වොත් මේ දෙන්න 'ක්‍රෂ් ' වෙලා ඉදල තියෙනවා.   බතලයත් ඉතින් හැඩ  වැඩ කෙල්ල හින්ද විතරක් නෙවෙයි, බතලයාගේ පවුලට තිබුණු වත්පොහොසත් කම් ගැනත් ඉතින් එයා දැනගෙන ඉන්න ඇතිනේ.
ආකි එකේ අන්තිම අව්රුද්ද වෙනකල්ම හැමදේම හොඳින් සිද්ද වෙලා. අවසාන අවුරුද්ද අවාම, කොල්ල එක පාරට වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා. ඒ අතරේ මාස කීපයක් ඇතුලත බතලයාගේ අම්මත්, තාත්තත් දෙන්නම මිය ගියා!! බතලයා අසරණ උනා, හැබැයි පෝසත් කෙල්ලෙක්! කොල්ලා ගැන මම  සංවේදී වෙලා හිටිය බතලයා අනිත් සියලු දේවල් ගැන අසංවේදී උනා... නෑයෝ  ටික කලේ
"දුවේ.. ඔයාට  මෙතරම් දේපලක් පාලනය කරන්න බැහැ නේ.... (  අපිටත් නිකං  බැහැ  නේ) ඒ හින්දා අපි ඔයා ගැන කල්පනා කරලා හිතුවා දේපල විකුණලා ඔයාට සල්ලි දෙන්න"

කිසිම දෙයක් ගැන සංවේදීකමක් නොතිබුන නිසා විතරක් නෙවෙයි, කරන්න වෙන දෙයක් නැති නිසාත් බතලයා ඒකට  එකඟ උනා. අදටත් එය දන්නේ නැහැ දේපල වල හරි වටිනාකමවත්, විකුනපු ගානවත් !!!! ( මේක හින්දි චිත්‍රපටියක් නොවෙන බව මතක තියාගන්න!)
සල්ලි ටික බැංකුවේ ගිණුමට වැටුනට පස්සේ, බතලයා තමන්ට අයිති නැති බව නෑයෝ  ටික කාලෙකින්ම ඔප්පු කරලා. ඉතින් මේ බෝඩිමට වෙලා එයා බැංකු ගිණුමේ ශේෂය තියෙන කල් ඉන්නයි කල්පනාව. අපේ බෝඩිමේ අක්කා කරුණාවන්තයි. එය බතලයාට අනුකම්පා කරලා ඉන්න දෙනවා. හැබැයි සල්ලි ගන්නවා.
මෙයට ඩිප්රේෂන් තියෙන හින්දා නාන්නේ නැහැ. වෙනත් කිසිම කෙනෙක් ඒ හින්දා කාමරේ ෂෙයාර් කරන්න කැමති නැහැ ( සාධාරණයි)

ඒ හින්දා මෙයා හිටියේ අර තනි කාමරේ....


ඔන්න ඕකයි මට පැන්ඩා කියපු කතාව කෙටියෙන්...

මට දැනුනේ පුදුම කම්පනයක්. 'තරුණ ජිවිතයක්' නේද කියල මට හරි දුකක් හිතුනා. මේ මුළු කතාව ඉවර වෙනකල් බතලයා හුමිටි තිබ්බා ඇරෙන්න එක කඳුලක් හෙළුවේ නැහැ. ඒත්  ඒ ඇස්වල තිබ්බ දුක්බර, වියළි  බැල්ම එයාගේ තත්වය මට වටහල දුන්නා.

කවුන්සලින් ඉගෙනගෙන තිබ්බ හින්දා ඕනෙම ප්‍රශ්නයක් විසදන්න පුළුවන් කියන පොර මානසික තත්වයක් මට  ඒ දවස්වල තිබ්බ. බතලයා ගැන රෑ දවල් නැතුව කල්පනා කරමින් මූට මගෙන් කෙරෙන්න දෙයක් තියෙනවද කියලා කල්පනා කළත් , එතරම් සාර්ථක උත්තර මට ලැබුනේ නැහැ.

මේකේ ප්‍රථිපලයක් විදියට මගේ කෑම සාද වලට, පිස්සු කෙලිම් වලට බතලයා මම විශේෂ ආරාධිතයෙක් විදියට සහභාගිකරගත්තා.

'හුරේ... මෙන්න බතලයා හිනාවෙනෝ..."

ඉඳහිට පැන්ඩා ගෙන් එවැනි ඔල්වරසන් ආවා. ඌ දත් පෙන්නනවා කියන්නේ අපිට හිනාවෙනවා හා සමානයි!
ඉඳහිට මම කවුන්සලින් වලිනුත් තෙල් බෙදුවා. එතරම් සාර්ථක නැහැ. මම හොඳ කවුන්සලර්ස් ප්ලේස් එකකුත් දුන්නා.. ගියාද  නැද්ද දන්නේ නැහැ. මේ බෝඩිමෙන් ඉවත්වෙලා යන අන්තිම මාස කීපය ලං වෙනකොට මට පැන්ඩා  අලුත් නිවුස් එකක් කිව්වා. ඒ තමයි, බතලයා මහණවෙන්න  (සිල් මෑණි  කෙනෙක් වෙන්න) යනවා කියලා.

බෝඩිමේ අක්කත් මෙයාට අනුකම්පා කරලා තැනක් හොයලා දීලා.

බොරුවක් නෙවෙයි, සහතික ඇත්ත මම කියන්නේ.. මට ඒක  ඇහුනේ භයානක නිවුස් එකක් වගේ. පැන්ඩා  ඇතුළු බෝඩිමේ සියලු දෙනා ඒ තීරණේ ගැන සතුටින් කතා කරද්දී, මම විතරක්

" ඕක හොඳ අදහසක් නෙවෙයි බතලයා" කිව්වා.. එච්චරයි මම කිව්වේ.

ප්‍රතිපත්තියක් විදියට මම තවමත්, යමකට විරුද්ධ නම්, මගෙන් ඒ ගැන අදහස් විමසුවොත් විතරක් විරුද්ධ බව කියනවා. ඒත්  ඒක  ගණන් ගන්නේ නැතිනම්.. සද්දේ වහගෙන වෙන දෙයක් බලාගෙන ඉන්නවා. මම කලේ ඒක ! හැමදෙනාම බතලයා සිල්මෑණි කෙනෙක් වෙන එකට බොහම සතුටු උනා, මම ඇරෙන්න


to be cont.....

Thursday, February 20, 2014

34. අපේක්ෂා.. 01



හැමදාම ලියන්නේ ඉස්කෝලේ කතා විතරක් හින්දා මට හිතුනා වෙනත් දෙයක් ගැන ලිව්වොත් හොඳයි කියලා. මොකවත් හින්දා නෙවෙයි.. ගිය දවස් ටිකේම අහන්න දකින්න වෙන සිද්දි එක්කම මට මේ කතාවත් ආපහු ආපහු මතක් වෙන්න ගත්ත හින්දයි.

කැම්පස් ඉන්න කාලේ වැඩිම කාලයක් මම උන්නේ අපේ අක්කත් එක්ක එක බෝඩිමක. මට ලැබෙන්න ඕනේ රැකවරණය අපේ අම්මලා විස්වාසෙන් ඉටුකරගත්තේ ඒ විදියට වෙන්න ඇති. 

හපොයි.. ඒ ගැන නම් කියලා වැඩක් නැහැ.. මගේ රැකවරණය කෙසේ වෙතත් අපේ අක්කත් එක්ක වසලා මගේ ඔලුවත් එක්ක පිස්සු වැටිලා උන්නේ...




කොටින්ම කිව්වොත් මම බෝඩිමට බිස්කට්, ප්‍රීමා  නුඩ්ල්ස් ගෙනත් දානවා විතරයි මට මතක.. මම කවදාවත් කනවා මතකත් නැහැ, කුඹි වහල විසිකරනවවත් මතක නැහැ නේ අප්පා..! බිස්කට් ටිකට විතරක් නෙවෙයි මේ බඩුව ප්‍රීමා නුඩ්ල්ස් ටිකට වැඩේ දෙන්නෙත් අමුවෙන්!!!!!! ඕක මට වැටහෙන්න මම හිතන්නේ අවුරුදු දෙක තුනක්ම ගියා. සාමාන්‍යයෙන් මම තමයි රෑ  වෙලා ගෙදර එන්නේ.. 

පුළුවන් තරම් වෙලා කැම්පස් එකේ පැලපදියම් වෙලා ඉඳලා, බිං කළුවර වැටෙනකොට තමයි ගෙවල් මතක් වෙන්නේ. හි හි හි... ඒත් අපේ අක්කා නම් ලෙක්චර් ඉවර වෙච්ච ගමන් බෝඩිමට දුවන් එනවා.. අනිත් එක එයා  පාඩම් කරන්නේ දවල්ට.. මම ඉතින් රෑ 10න්  පස්සේ තමයි පලවෙනි උත්සාහය පටන් ගන්නේ.. ඒ ගැන නම් කතා අනන්තයි.. හි හි හි... එව්වා පස්සට. 

මම ඉතින් පරක්කු වෙලා එන හන්දා මට තමයි රෑ  කෑම  ගේන  භාරධුර රාජකාරියත් පැවරුණේ. මම ඉතින් ඒකත්  අරගෙන වැනි වැනි ඇවිත් රුම් එකේ දොර ගාවට එන්න විතරයි තියෙන්නේ..
 කෑම එකේ සුවඳ වැදෙන්නෙත් කලින් අක්කා පැනපු ගමන් දොර ඇරලා මාව සාදරෙන් පිලිගන්නවා???

 නෑ .. නෑ ... වැරදී ! 
පැනපු ගමන් කෑම එක උදුරගන්නවා

"අම්මෝ මම මේ පුදුම බඩගින්නේ හිටියේ... වෙලාවට ඔයා ආවේ .."

ඉතින් මම මේ පිය තෙපුල් වලට රැවටිලා උන්නේ. එක දවසක් මම එහෙම ඇවිත් කෑම එක එයාගේ අතට දීලා ගියා මුණ ටිකක් හෝදගන්න කියලා.. තව රූම්  එකක ඉන්නවා අපේ අතිජාත මිතුරියක්.. ඇය  දැන් ලෝයර් කෙනෙක්..
 එයත් සින්ක් එක ගාව හිටියා..

"අනේ උපේක්ෂා , ඔයා අද පරක්කු උනාද? පව් අනේ සුලෝ අක්ක ( අපේ අක්කගේ නම කෙටියෙන්) අන්න බඩගිනි කියා කියා නහයෙන් අඬ අඬ හිටියා... මමත් එක්ක පාන් කෑවා ඊට පස්සේ.. "

මගේ කට ඇරුනද නැත්තම් ඇස්  දෙක ලොකු උනාද කියල මට මතක නැහැ.... අත  හෝදන එක අතැරලා මම දිව්වා කාමරේට මේකි අපේ කෑම  එක කන හැටි බලන්න... කියන්න දුකක් නැහැ, ගෙනාපු කොත්තුවෙන් හරියටම බාගයක් බෙදාගෙන එයා වැඩ!!!

 ඔන්න ඔහොමයි සිද්දි කීපයක් කිව්වොත්... තව තියෙනවා.. ඒවා පස්සේ කියන්නම්... නැත්තම් අර රවී අය්යාගේ 'ගුරුවෙරි ගේ කතාව ' වගේ වෙනවා නේ ... හි හි හි


මේ සොඳුරු බෝඩිම හැරදාලා අපේ අක්කා උපාධියත් අරං ගෙදර දිව්වා.. මේ බෝඩිම ටිකක් දුරයි අපේ කැම්පස් එකට. ඒ උනාට හෙනම ජොලි! මක් කොරන්නද.. දුර වැඩි හින්දත්, දැන් ඉතින් තනියෙන් ඉතිරි අවුරුදු ටික අදින්නත් ඕනේ හින්දා ගියා කැම්පස් එක ගාවම බෝඩිමකට... හි හි.. වැඩක් නැහැ කියලා... යකාගේ හැටියටලු නේ විමානේ ... ඒකත් පිස්සු බෝඩිමක්!

 ඒ ගැන පස්සේ කියන්නම්..මේ බෝඩිම කොටින්ම කිව්වොත් 'ආකියොන්ගේ' බෝඩිමක්.. ඒ කියන්නේ අපේ කැම්පස් එකේ ආකිටෙක්චර් උන් පුරෝපු තැනක්..

 මගේ කරුමෙට මම  ඒ වෙනකොට උන්ට මෙතරම් පිස්සුවක් තියෙන බව වත්, උන් එක්ක වසන්න මෙතරම් අමාරු බවවත් දැනගෙන උන්නේ නැහැ නේ... ( ආකියෝ සමා වෙන සේක්වා..!! ඔය කොයි ආකියාටත් මම මේ කතාව මුණටම කියලා තියෙනවා.. ඒත්  එක ඇත්තක්  තියෙනවා.. ඒ තමයි, මට හම්බවුණු සොඳුරුම මිනිස්සුත් මට මුණ ගැහුණේ  මේ ආකියෝ අතරේ!) 

අපේ කාමරේ ඇරුණුකොට තව කාමර දෙකක් තිබ්බා . අල්ලපු කාමරේ හිටිය 'ආකියක්' තමයි අන්තිමට මගේ තදම ෆිට් එකී උනේ... කියල වැඩක් නැහැ එය ගැන නම්!!! කතා ගොඩාරියක් තියෙනවා හි හි හි...




උගේ නම 'පැන්ඩා'!!!

නමෙන්ම හිතාගන්නකෝ පෙනුම!
හිනා කන වැඩේ කියන්නේ මෙතනට එන හැමෝටම පෙට් නේම් එකක් තිබ්බා. කව්රුත් නෙවෙයි ඒ පෙට් නේම් එක දන්නේ. මේ පැන්ඩා ! මටත් නමක් වැටුනා.. ඒක  තමයි 'සැන්ඩි' ..... ඔන්න ඉතින් එව්වා මෙව්වා බොන එවුන්ට මතක් වෙයි එක එක හැඩේ ජාති.... තව එකෙක් 'බට්ටා' ( දෙය්යෝ දනී මෙව්වා මොන තේරුමෙන් දානවද කියලා.. ඌ නම් පොඩ්ඩක්වත් බට්ටෙක් නෙවි, මටත් වඩා උස කෙල්ලෙක්..)  

බට්ටා හිටියේ මගේ කාමරේ, පැන්ඩා එක්ක තව දෙන්නෙක් ඒ කාමරේ. තව පුංචි රූම් එකක් තිබ්බා. ඒක  මම ඇවිත් දවසක් විතර යනකල් ඉන්න කෙනෙක්වත්, ඇරලා තියෙනවා වත් දැක්කේ නැහැ. 

බෝඩිමට ගිහින් එළඹුන පලවෙනි සති අන්තයේදී මට ඒ ගල් ගුහාවේ හිටපු කෙනා දකින්න ලැබුනා අපි කෑම කන මේසේ ලගඳි .සුපුරුදු විදියට සෙනසුරාදා ලෙක්චර් එක ඉවර වෙලා කැම්පස් එකේ දොරවල් වහනකොට මම බෝඩිමට සැපත් උනා. 

අපි උඩ  තට්ටුවක තමයි හිටියේ. පඩිපෙළ නැගගෙන ආවම, පළවෙනියට තියෙන්නේ.... බිත්තිය! දකුණට හැරුණම කෑම  මේසේ ,  වමට හැරුනම නාන කාමරේ. කෑම මේසේ පහුකරගෙන යන්න ඕනේ අපේ කාමර වලට. 

මම පඩිපෙළ නැගල දකුණට වංගුව ගනකොටම ඒ අපුරු රුපය මම දැක්කේ... මම කොහොමද විස්තර කරන්න පටන්ගන්නේ???? මම මුලින් දැක්කේ කලුපාට ගුලියක්. මගේ දිහාට හැරුන ඇස් දෙක හරියට කළුපාට පර්වතයක හයි කරපු ෆොග් ලයිට් දෙකක් වගේ. ලොකු, ඒ වගේම සුදුපාට පසුබිමේ තිබ්බ ඒ ඇස් ! මට අදටත් මතකයි.....කොට, මහත, කළුම කළු ඇය... තමයි 'බතලයා' !!!!! (ඇති යන්තම් පැන්ඩා  ගේ නම ඌට ගැලපුනා ඒ පාර නම් )

එක පාරක කිසිම කෙනෙක් එක්ක යාලු නොවෙන, නමුත් යාලු උනොත් නම් ලේසියෙන් ඌව අත්නොහරින මම කලේ, දැක්ක දර්ශනය හිතේ තියාගෙන එහෙම්මම කාමරේට ගියපු එකයි. ඒත්  පැන්ඩා  එක්ක ඒක  ලේසි වැඩක් නෙවෙයි... එය හරියට අර 'අයිස් ඒජ්' එකේ ඉන්න 'zid' වගේ කෑකෝ ගහගෙන කාමරේට කඩන්පාත්වෙන එකයි..

 වැඩි වෙලාවක් ගියේ නැහැ පැන්ඩා  සුපුරුදු විදියට දුවන් ආව.. නිකන් නෙවෙයි.. කොන්තරාත්තුවක්  අරං

"අනේ සැන්ඩි , මේ බතලයටත් එක්ක හදමුකෝ අද තමුසෙගෙ අර කෑම වට්ටෝරුව"

ඔය කෑම  වට්ටෝරුව ගැන තියෙනවා කතා කීපයක්ම.. 

ඒ දවස් වල කෙට්ටු වීම පරම ආදර්ශ පාඨය කරගෙන උන්නත් මෙලෝ විදියකින් ඒක  අනුගමණය නොකරපු පැන්ඩා කලේ ,අහුවෙන අහුවෙන ඕනෙම දෙයක් අර හා හා හරි හාවා එකේ ඉන්න 'තස්මේනියන්  ඩෙවිල්' කනවා වගේ ඇදල ඇරලා , තමාගේ ශරීරයේ මහත ගැන වටේ උන්ට දොස් කියන එකයි.  

එළවලු තම්බන් කන්න කියලා කිව්වට මු නෙවෙයි තම්බන්නේ.... අන්තිමට මම තම්බන්න ගත්තා... පැන්ඩා  කරන්නේ මම තම්බලා හදලා, බෙදන්න හදනකොට දුවන් ඇවිත් උගේ පංගුව කාගෙන කාගෙන යන එකයි...

 පස්සේ තව රස කතා කියන්නම්කො ඒ ගැන... පස්සේ හරිද?

මම ඉතින් සුපුරුදු පරිදි එළවලු තම්බන වැඩේ පටන් ගත්තා. ඔය කෝකටත් අපිට තිබ්බේ හිටරේ විතරයි.. මම ඉතින් කෑම මේසේ එළවලු කපනකල් පැන්ඩා පොර ටෝක් දිදී මේසේ වටේ තියෙන පුටුවක වාඩිවෙලා ඉන්න එක කරනවා. 

එදත් එය ඒ වැඩේ .. තොරතෝංචියක් නැතුව කියවන පැන්ඩා  ගාවින් අර මම කියපු 'බතලයා' ගල් පරුවතේ වගේ වාඩිවෙලා හිටියා.

 මම හෙමිට එයාගේ හැසිරීම නිරීක්ෂණය කලේ දැකපු ගමන් මේ අමුතු කෙනාව මගේ හිතේ අමුත්තක් ඇති කරපු හින්දයි. කිසිම හල හොල්මනක් නැතුව ඔහේ ඉන්නවා... කළුම කළු එයාගේ ඇස්  වල තිබ්බේ හිස්, වියළි , අමුතු බැල්මක්. කිසිම හිනාවක් නැහැ. මේ ඔක්කොටම වඩා පුදුමේ කියන්නේ මේ නොනවත්වා කියෝන පැන්ඩා කොහොමද මේ වගේ ගල් පරුවතයක් එක්ක යාලු උනේ?


එළවලු තැම්බිල්ල ගැන විස්තර තව තියෙනවා ඒවා පස්සේ කියන්නම්.. මට කියන්න ඕනේ කලේ 'බතලයාගෙයි' මගෙයි පලවෙනි හමුවීම ගැන. ඒ වගේම තම්බපු එළවලු කනකල් කිසිම සද්දයක් නැතුව එයා හිටියේ මැටි පූසෙක් වගේමයි...පිටින් නොපෙන්නුවට මට හරි කුතුහලේ, මෙයා  මේ වගේ බෝඩිමක ඉඳන් මොකද්ද කරන්නේ කියලා... ඉගෙන ගන්නවා වත්ද? රස්සාවක්? අපෝ කීයටවත් වෙන්න බැහැ .. මේ වගේ කෙනෙක් කොහොමද රස්සාවක් කරන්නේ??? පුදුම අමුතුයි. අනේ මුකුත් හිතන්න එපා මෙහෙම කිව්වට, (මමත් කළුයි තමයි) එයාට තිබ්බෙත් හරි පුදුම කළු හමක්... කළු කියන්නේ දම් පාටට පොඩ්ඩක් ළඟයි ..  (හරියට කියනවා නම් අර ඩුඩ් ගේ වගේද මන්ද! ඔහ් ... ඇහුනද දන්නේ නැහැ) 

ඉස්කෝලෙන් අයින් උනාට පස්සේ මම ප්‍රසිද්ධ තැනක තිබ්බ මනෝවිද්‍යාව පාඨමාලාවක් එහෙම හදාරලා  හිටපු මට ,කවුන්සිලින් ගැන හොඳ දැනුමක් වගේම හැකියාවකුත් තිබ්බා.

ඔන්න තම්බපු එළවලු කන වෙලාව ආව.... සුපුරුදු පරිදි පැන්ඩා එයාගේ පිගානට කොත ගහලා බෙදාගෙන, වාඩි උනා මේසේ .. බතලය එයා ගාවින් ළගම පුටුවේ.

මෙලෝ සද්දයක් නැතුව ඔන්න බතලයා කන්න පටන් ගත්තා...'ටකස්.. ටකස්' හරියට අර ලී වංගෙඩියක් ඇතුලෙන් කොටනවා වගේ සද්දයක් එනවා.. නොනවත්වාම... මම එතරම් ගණන් ගත්තේ නැහැ

"ඇහෙනවද සැන්ඩි බතලයාගේ හපන සද්දේ?? එයා හපනකොට හකු දෙක එකට වදිනවා.. එතකොට ඒ සද්දේ එන්නේ"

මම අහන්නත් කලින් පැන්ඩා කිව්ව දෙයින් මම පොඩ්ඩක් පුදුම උනා කිව්වොත් ඇත්ත.. 

හකු වදිනවා කිව්වා?


To be cont....

Wednesday, February 5, 2014

33. බිස්නස් නම් බිස්නස්...

මම කතාවක් ලිව්වම තව කතා කීපයක් මතක් වෙනවා. එකයි එක දිගට ලියාගෙන යන්නේ.. (ඔන්න ඉතින් පලු අරින්න කලින් කිව්වා....)

ගොඩක් කතා මට මතක් වෙන්නේ මගේ අවුරුදු 4ක් විතරක් ගෙවුණු ඉස්කෝලේ ගැනමයි.. ඒ ඇයි  කියන්න මට හිතා  ගන්න බැහැ . මම කරපු රහස්, ඒ වගේම ඉන්ටරෙස්ටින් වැඩ උනේ එහෙදි හින්දා  වෙන්නත් පුළුවන්.
ඒ මොන හේතුව තිබ්බත් මම මෙව්වා ලියන්නේ මට කවද හරි අමතක වෙයි කියල බයටමයි මොකද, මම පුංචි කාලේ පිටින් නිහඬ, ඇතුලතින් දොඩමළු චරිතයක් හින්දා මටම පුදුමයි මම මේවා කළාද කියලත්.. හි හි... කව්රු මොනවා හිතුවත් මම ලියනවා ඒ හින්ද ...

Monday, February 3, 2014

32. පුස්තකාලේ කතා ...

මම ඉස්සර පොත් ගුල්ලෙක් කිව්වොත් වැරැද්දක් නැහැ. දැනුත් පොතක් ලැබුනොත් ( මගේ ටයිප් එකේ පරිවර්තනයක් වගේ එකක්) මම ඒක කියවන්නේ එක හුස්මට.
අපේ ගෙදර ඉස්සර ඉදන්ම තිබ්බේ පොත් වලට අනුබල දෙන වටපිටාවක්. පොත් රාක්කයක් , කියවන්න තැනක් වගේම වෙලාවකුත් තිබ්බා. ඒ දවස් වල දැන් ළමයින්ට වගේ ඉවරයක් නැති ටියුෂන් තිබ්බේ නැහැ නේ....

මම මිට කලින් දවසකත් ලියල ඇති මගේ පරණ ඉස්කෝලේ ගැන.... ඒ ඉස්කෝලේ ඒ දවස්වල දුප්පත් උනත් දැන් නම් හොදට තියෙන බව තමයි ආරංචිය.. ඒ දවස්වල අපිට ඉතින් පුස්තකාලේ වෙලාවක් තිබ්බා පොත් කියවන්න කියල.. පුංචිම පුංචි කාමරයක, කොනට වෙන්න තිබ්බ ඒ පුස්තකාලේ පොත් තිබ්බේ ටිකයි. මට මේක හිතට හරි දුකක් තමයි ඇතිකළේ...

Thursday, August 15, 2013

31. මගේ හිංගල පංතිය - 1


මම පොඩි කාලේ ඉදන් ගියපු ඉස්කෝල වලින් මට වඩාත්ම මගේ ජිවිතයට බලපෑම් කලේ මගේ ශිෂ්‍යත්වේ හින්ද මම ගියපු ඉස්කෝලේ, කිව්වොත් ඇත්තක් තමයි.

එකෙන් කියවෙන්නේ නැහැ මගේ ශිෂ්‍යත්වෙට අඩිතාලම දැම්ම ඉස්කෝලේ මට කරපු දේවල් අඩුයි කියලා. මගේ පාදම උනේ මගේ ඒ පරණ ඉස්කෝලේ. ඒ ඉස්කෝලේ වටා ගෙතුණු අතීතේ  මට එතරම් මතක නැති උනත්, සමහර දේවල් නම් ගලේ කොටපු අකුරු වගේ මතකයි.

එව්වා බැරිය පස්සේ ලියන්න...

අද ලියන්නේ මගේ ඉස්කෝලයක් ගැන නම් නෙවෙයි.. මගේ සිංහල පන්තිය ගැන..! 
මක් කිව්වා??? 
ඔව්...... ඔව් මගේ සිංහල පන්තිය....
නෑ  නෑ ..... මම ගියපු ටියුෂන් එකක් නැහැ අනේ... මම කියන්න හදන්නේ මම උසස්පෙළ කරනකල්ම මට හම්බවුනු මගේ සිංහල පාඩම් කාලපරිච්චේද ගැන.... 

Tuesday, July 30, 2013

30. නොදුටු පැතුමට... මවකගේ සිතුවිලි


ආදරණිය නුපන් පැතුම!

ඔබ කවරෙකුදැයි තවමත් මා නොදනිමි. කොහි සිට ආවාදැයි සැබවින්ම කිසිවෙකුත් දනුයේද නැත. අඩුම තරමේ ඔබ දුවණියක්ද ,පුතණුවෙක්ද යයි පවා මම නොදනිමි. එහෙත් මා දන්නා එකම එක කරුණක් වෙයි; එනම් ඔබ කවරෙකු වුවත් මගේ ජීවිතය, මගේ අහිංසක පුංචි ලෝකය එකලු කරනු වස් මා පතමින් ආ සසර බැඳීමක් යන වගයි. එහෙයින් මම ඔබ අමතමි.....

ඔබව කුසයේ දරන්නට මම පැතූ තරම් ඔබ අද හෝ හෙට නොදැන සිටින්නට ඉඩ ඇත. නමුත්, එහි ගැබ්ව ඇති අර්ථය ඔබට වැටහෙන්නට තරමක කාලයක් නම් ගතවනු නියතය. එපරිද්දෙන්ම, ඔබව මෙලොවට බිහිකරනතුරා මගේ හිතේ පොපියන දේද අවබෝධ කරගැනීමට ඔබ 'තරම්' වනතුරු මම මේ සටහන සඟවා තබමි.
එය ඔබට දෙන අනාගත දායාද අතරට මා විසින් දෙවැනිව එකතු කරනු ඇත.
කොහේ හෝ තැනක සිට මා අතට එන්නට ඔබ කරන ලද කර්මය මගේ හැකි තරමින් සුවපත් යමකින් පුරවන්නට මා තැත් කරන බව මගේ පුංචි පැටියාට කවරදාක හෝ වැටහෙනු නියතය. මෙය සටහන් තබන මොහොත වනවිට, මා විඳි දුක්ගැහැට මෙපමණයි කියා නිමා කල නොහැකිය.

Tuesday, July 23, 2013

29. මට බැහැ




මම හිතුවේ ඔබ 
මාව අමතක කොට 
බොහෝ කල් යැයි 

අහම්බෙන් මම 
කොහොමදැයි ඇසුවිට 
උනාදෝ යම් , වරද මාගෙන් ?

Monday, July 22, 2013

28. එකෝමත් එක සිද්දියක්...

මගේ පුංචිකාලේ කතා කීපයක් මම මිට කලින් ලියල ඇති. සමහර එව්වා හාස්‍යයි  වගේ පෙනුනට මට නම් හිතුනා ඒ ඇතුලේ සැගවුණු පොඩි පහේ වෙනස් සිතුවිලිත් තියෙනවා කියල. හරියටම කියන්න බැහැ.. එක එක වෙලාවට දැනෙන දේ අනුවනේ කියන්න වෙන්නේ 


මම මිට කලින් කියල ඇති මගේ දහම් පාසල් ගමන ගැන කතාවක්. අර ටිකට් කතාව? අන්න එක තමයි !
මේකත් මගේ දහම්පාසැල් කතාවක්.


මම හිතන්නේ මම දහම්පාසලට යන්න පටන් ගත්තේ 3 වසරේ ඉදං තමයි. මට හරියට මතක නැහැ. මම විතරක් නෙවෙයි අපේ අය්යා අක්ක දෙන්නම ගියෙත් මේ දහම්පාසලට. මේක ඒ පැත්තේ තියෙන ප්‍රසිද්ධ දහම්පාසලක්. ලොකු කමට කිව්වා එහෙම නෙවේ හරිද... මම හිතන්නේ දැන් ජාතික පාසලකට දානවට වඩා  මම හිතන්නේ මේ දහම්පාසලට ළමයෙක් දාගන්න එක නම්..

මේ දහම්පාසල ගැන ඉතින් මම කියන්න ඕනේ නැහැ වැඩිය විස්තර. කියන්නේ තියෙන්නේ අපි තුන්දෙනා එකට ගියපු රසබර මතකය තමයි. මේ දහම්පාසලේ අපූරු නීතියක් තියෙනවා, මොකද්ද  දන්නවද..? එකම පවූලේ අය නම් නිවාස වෙනස්! මේ හින්ද මමත් අපේ අක්කත් අය්යත් කියන තුන්දෙනාම වෙනස් නිවාස වල. 

Sunday, July 21, 2013

27. තරු එළියද .. ඉඟි බිඟි කරයි...

මගේ හිතේ තියෙන දරුණු සිතුවිල්ලක් ගැන මම මේ දවස් වල කල්පනා කරනවා.... 
කොතරම් කල්පනා කලත් මෙලෝ දෙයක් එන්නේ නැහැ නේ හිතට? එන්නෙම එකම දෙයයි...

"මම ඇයි  එහෙම කලේ?"

වරදක් කළා වගේ හැඟීමක් එනවා හිතට. ඒත්  ඒක  කොතරම් සුන්දර වරදක්ද?
ඇත්තම කියනව නම් මට ඊට වැඩ හිතට වදදෙන ප්‍රශ්නයක් මේ දවස් වල තියෙනවා. මම ඒත්  අර රෝමය ගිහි ගන්නකොට විණා  ගහපු එකා වගේ වෙලා නේ අප්පා..... කොතරම් දරුණු ප්‍රශ්නයක් උනත් මගේ හිතට වදින්නේ නැති තරමට මම විසින්ම තනාගත්ත මනෝ ලෝකයක් තනාගෙන මම..... එක අතකට ඒක  ආරක්ෂාකාරී.. තව අතකට හරියට කඩන්  වැටෙන බිල්ඩිමක් අස්සේ මනෝ විකාර මවමින් ඉන්න කෙනෙක්ගේ වගේ හිනා යන වැඩක්...

Wednesday, July 17, 2013

26. පරණ ඉස්කෝලේ

මම මගේ ජිවිත කාලේ ඇතුලත පාසල් අවදිය ගත කරලා තියෙනවා ඉස්කෝල 3ක.
පලවෙනි ඉස්කෝලේ ගැන නම් මට මෙලෝ දෙයක් මතක නැහැ සිද්දි කීපයක් ඇරෙන්න. 
ඔන්න පලවෙනි සිද්ධිය : 

සිද්ධියක් කිව්වට මේක සිද්ධි දාමයක්. අපේ තාත්ත ඉස්සර පිටරට හිටපු හින්ද රට ඉදන් එන දවසට අපි ඉස්කෝලේ නොගිහින් හරි නතර වෙනවා. මොකද අපිට එදාට තමයි අවුරුදු! මේ හේතුව හින්ද අපේ තාත්ත රට ඉදන් එන එක මගේ එක වසරේ ගුරුතුමිය දන්නවා. එයත් මම වගේම මේ දවසට හරිම කැමති. ඒ මොකද දන්නවද? (දන්නවා නම් මෙතන කියෝ කියෝ ඉන්නවෑ ...?) මම පන්තියට ආපු ගමන් මාව හොයන ඇවිත් ඔලුව එහෙම අත ගාල (සොදුරු බස් දීලා... විළඳ කවාලා... ) අහනවා 

"තාත්ත සාරි ගෙනාවේ නැද්ද පුතා?"

නරකට කියනවා නෙවෙයි... මට ඒක  ඒ දවස්වල තේරුනේ පුදුම භයානක ප්‍රශ්නයක් වගේ. 

දෙවැනි සිද්ධිය...
මේ ඉස්කෝලේ තිබ්බ අඳුරු කාමරයක්. එක තිබ්බේ අපේ කැන්ටිම පහු කරගෙන ගියාම තියෙන පොඩි ඉඩ කඩේ කොනකට වෙන්න. අපි ඔතනින් යනවා වෙලාවකට සෙල්ලම් කරන තැනට. යන්නේ නම් උඩින්! එතරම් බයයි එකෙන් එලියට සුදුපාට අතක් එනවා කියලා.

තුන්වෙනි සිද්ධිය :
අපේ අම්ම අපිව ඉස්කෝලෙට දාගෙන එහෙම්මම එයාගේ ඔෆිස් එකට යනවා. ගෙදරම ඉතින් තුන් දෙනෙක් ඉස්කෝලේ යනවා නේ... ඉතින් බත් පාර්සල් කීයක්ද නේද? අපිට කෑමපෙට්ටි  වලට දාල අම්ම ඉතින් එයාට බත් එකකුත් බැඳගන්නවා. උදේට කන්නෙත් අම්ම ඔෆිස් එකට ගිහින්. ඉතින් එයාගේ උදේ කෑම  එකත් ඒ එක්කම. මට මතකයි එක දවසක් එයාගේ උදේ කෑම  එක මගේ බෑග් එකට වැටිලා.. වැරදිලා... මම නේද?? මොන කරන්නද... මම කෑවා  ඒක ! අදටත් මතකයි ඒකෙ  තිබ්බ රස! පාන් පෙති වලට බටර්, මාමයිට් ගාල.... සම්බෝල දාල.......... තමන්ගේ නොවෙන කෑම  පාර්සලයක් හෙම කාල තියෙන කෙනෙක් දන්නවා එකේ තියෙන ජොලිය... හෙක්... හෙක්.... නෑ  කිව්වා? එහෙනම් අද හෙටම කරලා බැලුවනම් හොදයි... හැබැයි තමන්ගේ නෙවෙයි කියල දැනුවත්ව කන්න ඕනේ හරී...............


මේ ඉස්කෝලෙන් මාව අපේ අම්ම දැම්ම වෙන ඉස්කෝලෙකට. ඒකේ  ශිෂ්‍යත්වේ හොදයි කියාලා. අප්පා.. ඒක  තමයි නියම ඉස්කෝලේ.. කිව්වට මොකද ඒක  මික්ස් ස්කූල් එකක්.... මට මගේ හිතේ තිබ්බ අර බල්ටි ගැහිල්ලට කියාපු තෝතැන්නක් නේ... 
මගේ තියෙන පිනක මහත ! අපේ අක්කව ගත්තේ නැහැ නොවැ  ඒකට !!! 
මම ගියේ 3 වසරට. දැන් මම මේ කියන ඉස්කෝලේ ඒ දවස්වල දුප්පත් උනාට දැන් නම් බොහොම සරු බව නම් මම ඉදල හිටලා නුවර පැත්තේ යනකොට දකිනවා. අදටත් මම ඉස්කෝලේ ගාවින් යනකොට නැගිටලා ආචාර කරන්නේ මගේ මුල එතන හින්දා.... 

කොහොමහරි මට මතකයි මගේ පලවෙනි ගුරුතුමී එතන ! ඇත්තටම මගේ අතු ඉති වල මල් පිපෙන්න ගත්තේ ඈ හින්ද වෙන්න ඇති. මාව මගේ පන්තිය ඉස්සරහට ගෙන්නලා අදුන්නලා දුන්න... ඒ වගේම මට කතා කරන්න නමකුත් දුන්න... හාහ්.. හා... රැවටුනා නේද? උපේක්ෂා කියල??? නැතෝ....එයා මගේ වාසගම තමයි කිව්වේ! මම අදටත් දන්නේ නැහැ ඒ ඇයි  කියලා... ඒ පන්තිවල ළමයි අදටත් මාව දන්නේ මගේ වාසගමෙන්... (පස්සේ හම්බවුණ  කීප දෙනෙක් ඇරෙන්න..)
3 පන්තියේදී මම හිටියා දෙකට ගණන් කරන්න බැරි තරමෙට. දන්නේ නැහැ නේ විමානේ කොයි වගේද කියලා. ඒ උනාට හිටපු ගමන් මගේ ඇතුලේ හිටපු හොර පුසී 'කදව් ... කදව් ' කියනවා. ( ඔන්න ඉතින් 'කදව්'  කියන්නේ දන්නේ නැද්ද අර සද්දේ.. හි.. හි...) ඕකට මට බේත හම්බ උනේ වැඩිකල් නොගිහින්.... මාව පන්තියේ ගෑනු ළමයින්ගේ මොනිටර් කළා!!! මික්ස් ස්කුල් හින්දා කොල්ලෙක් තමයි අනිත් මොනිටර්. දැන් තමයි හොඳම වැඩේ පටන් ගත්තේ!
මට පොඩි කාලේ කොල්ලෝ ඇලජික් ! ඒ කියන්නේ ගිය ගිය තැන වලියක් දා ගන්නවා. මේකට වැඩියෙන්ම ලක් වුනේ අර මොනිටර් කොලුවා. මටම හරියන එකෙක්! මිනිහා අද ඉංජිනේරුවෙක්.. (අන්තර්ජන්ජාලේ ඉන්න හින්දා මෙව්වා කියෝනවද දන්නේ නැහැ... මල සේක කිව්වලු... එහෙනම් නමවත් පොඩ්ඩක් වෙනස් කරලා දාමුකෝ ඈ ...) අපි මෙයාට කියමුකෝ 'චරිත්' කියලා.
චරිත් සුදුම සුදුයි... ඒ කියන්නේ අර නහර පේන  තරම් සුදුයි... පොල්කුඩ්ඩෙක් වගේ. එයාට හිටියා ගැන්සියක්. මම හිතන්නේ එයත් එක්කම ගත්තම 3 දෙනයි. මේ තුන්දෙනා කරන්නේ වැඩක් නැති වෙලාවට එකතු වෙලා ඩෙස්ක් එකට තට්ටු කර කර සින්දු කියපු එකයි... මට මතකයි ඒ දවස් වල එයාලගේ කටේ තිබ්බේ 

".. පන්නා........ මුරේ... පන්නා........ මුරේ... පන්නා මුරේ ඇත්  රා..ජා......"

අනේ මෙයාලගෙන් කිසි කෙනෙක්ට කරදරයක් නැහැ.. මේ මට ඇරෙන්න!!! මට ඔය සින්දුව පෙන්නන්න බැහැ.. හාහ්... හාහ්.... මෙයාලගේ සින්දුව සාදයක් නැති උනාට මට ඉන්න බැහැ කට පියන්. මම මොනා කිව්වත් මෙයාල මෙයාලගේ පාඩුවේ සින්දු කියනවා... මම එක දවසක් මගේ ගුරුතුමියට කිව්වා කේලමක්..

"ටීචර්... චරිත්ලගේ වැඩේම සින්දු කියන එක...."

දන්නවද මගේ ගුරුතුමී මට කිව්වේ මොනාද කියල? මගේ දිහා බලල හරි ලස්සනට හිනාවක් දැම්ම. (මට ඒ දවස්වල විෂුවල් වෙලා තිබ්බේ ඒ හිනාවෙන් මල් විසිරෙනවා කියලා... සුදුපාට... නිකන් අර සමන්පිච්ච වගේ මලක් ...) මාව ලඟට අරගෙන මගේ ඔලුව ඇත ගෑවා .... වෙන කිසි දෙයක් කිව්වේ නැහැ නේ අප්පා..... මගේ කේලම් කිවිල්ල එතැනින්ම නතර උනා! මම මේ ටීචර් ගේ පින්තුරෙකුත් ඇන්දා  එක දවසක්... පන්තියේ නිකන් වාඩි වෙලා ඉන්න ගමන්.

මේ ඉස්කෝලෙදි මට ගැන්සියක් හිටියේ නැහැ. ඒ මගේ සාමාන්‍ය විදිය. ඩෙස්  බැංකු වල ඉන්න කට්ටිය මාරු කරන්නේ වාරෙන් වාරේ. ළඟට  එන එක්කෙනා එක්ක මම සාමාන්‍යයෙන් සාමයෙන් උන්නේ. මොකක් හින්දද මන්දා මගෙත් එක්ක ගොඩක් වෙලාවට වැටුනේ පිරිමි ළමයි. චරිත්  තමයි මගෙත් එක්ක වැඩිපුරම හිටියේ. ළඟ ඉන්න වෙලාවට සාමයෙන්... නැගිට්ට ගමන් මම සුපුරුදු විදියට
 ඇ.......ටැ........ක් !
( මේ චරිතව මට මිට මාසෙකට කලින් චැට් එකේ හම්බ උනා... මේකා කිව්වේ නම් මගේ ගාවට කොල්ලෝ දැම්මේ උන්ට දෙන දඩුවමක් හැටියට කියලා... හාහ්... හහ්හ්...)



කොහොමින් කොහොමහරි... අපි ශිෂ්‍යත්වෙට ලිව්වා. ඒ ඒ ආකාර වලට අපි වෙන වෙන ඉස්කෝල වලට බෙදිලා ගියා. මට ඒ අන්තිම දවස නම් අමතක කරන්නම බැහැ .... ගෑනු ළමයින්ට මට මතකයි මම ඔටෝග්රාෆ් එකක් ගෙනිහින් දීල (එව්වට ලියන එව්වත් මමම ලියා දීල... හෙහ්.. හෙහ්... ඇයි  එයාල පොඩි හින්දා දන්නේ නැහැ ලියන එව්වා. මම කලේ අක්කලාගේ ඔටෝග්රාෆ් වලින් කොපි කරගෙන ගිය එකයි...) අත්සන් කරව ගත්තා. මම එදා තමයි මගේ ටීචර් ගේ අත උඩින් මගේ අත  තියල සංවේදී සමුගැනීමක් දුන්නේ... මගේ හිත උණු වෙලා ඇස්  දෙකෙන් එලියට ආවේ නැති හින්ද පපුව පැලෙන්න වගේ ආවා... ඔතන තමයි මගේ මේ අද කියන කතාවට මුල් බීජය වැටුනේ.... 

මට ඒ ඉස්කෝලය තදින් පපුවට කාවැදුනා !!! සිංහලෙන් කිව්වොත් මට ඉස්කෝලය 'මිස්' උනා තදටම....


ඔන්න ඉතින් නමෝ විත්තියෙන් ගියා මගේ අලුත් ඉස්කෝලෙට. අම්ම මාව ඒ ඉස්කෝලෙට යැව්වේ වෑන්  එකේ තව ඒ පැත්තේ ඒ ඉස්කෝලෙට යන අහල පහල අක්ක කෙනෙකුත් එක්කයි. පලවෙනි සතියෙම මම ඒ බොඩිගාර්ඩ් අක්ක එක්ක ගියා. ඔන්න එකෝමත් එක දවසක්.. සදුදා දවසක අක්කත් නැහැ... වෑන්  එකත් නැහැ..... හිටපු ගමන් මේ වැඩේ උන හන්දා අපේ අම්මට විකල්පයක් හොයා ගන්න  වෙලාවක් නැති උනා.  අසරණ උන අම්ම කලේ එයා ඔෆිස් යන ගමන් ඉස්කෝලේ ගාව හෝල්ට් එකෙන් මාව බස්සන් යන එක විතරයි....
හෝල්ට් එකෙන් බැස්ස මට එක පාරටම මගේ පරණ ඉස්කෝලේ මතක් උනා. මට ඊට පස්සේ මතක් උනේ මොකද්ද කියන්න මම දන්නේ නැහැ. ඒ උනාට මම කලේ එහෙමම පාර පැනල පාරේ අනිත් පැත්තේ තිබ්බ හෝල්ට් එකට ගියපු ගමන් බස් එකක නැග්ග එක. මේ හැමදෙයක්ම සිද්ද වෙන්න මම හිතන්නේ විනාඩි 3ක් වත් ගියේ නැහැ.

විස්වාස කරන්න ! (මටත් විස්වාස නැහැ....) මම අලුත් ඉස්කෝලේ ටයි එක ගලෝල සාක්කුවේ දාගත්ත. මම ඉස්සර වෙලත් කිව්වේ මගේ පරණ ඉස්කෝලේ දුප්පත් කියලා. ඒ හින්දා මේකට සපත්තු දාගෙන  වගේම සේරෙප්පුත් දාගෙන කට්ටිය ආවා. ටයි එක අනිවාර්ය උනේ නැහැ අර දුප්පත් ළමයි ගැන හිතල වෙන්න ඇති. 
මම කෙලින්ම ගිහින් බැස්සේ මගේ පරණ ඉස්කෝලේ ගාව. බැහැල බැග්  එකත් කරේ ගෙන වෙනදට ඉස්කෝලේ යන විදියට ගියා මම ඇතුලට..... ගියාට දන්නේ නෙහෙ මගේ පරණ යාළුවො ඉන්නේ කොහෙද කියලා... මට මතකයි මගේ ඉංග්‍රීසි ගුරුතුමිය මාව දැකල හරිම සතුටින් මගේ ගාවට දුවන් ආව...

"________! ඔයා මොකද මෙහෙ?" හරිම සතුටින් මගේ උරහිසෙන් අල්ලන ගමන් ඇහුවා..
"නිකන් ආවා ටීචර්..."

මටම පුදුමයි ඇයි එතනින් එහාට මුකුත් මගෙන් ඇහුවේ නැත්තේ කියලා. මම ඈතට දැක්ක මගේ පන්තියේ ළමයෙක් පිට්ටනිය හරහා යනවා. මම එයාව ඇස මානෙන් යෙන් වෙන්න නොදී ගිය ඒ පැත්තට... විස්වාස කරන්න ගියේ ප්‍රින්සිපල්ගේ කාමරේ ඉස්සරහින් !! ඉසරහ හිටගෙන හිටියෙත් ප්‍රින්සිපල්!!! ශිෂ්‍යත්වේ ඉතා හොදින් පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගිය කෙනෙක් හින්දා මෙතුමා මාව නමින්ම දන්නවා.. මම ඇවිදගෙන යන දිහාව පුංචි හිනාවකුත් එක්ක බලන් හිටියා මිසක් මෙයත් නෙවෙයි නේ මගෙන් කිසිම ප්‍රශ්නයක් ඇහුවේ!!! අදටත් මට පුදුමයි...

මම අර ළමය යන පස්සෙන් ගිහින් පන්තිය හොයා ගත්ත. ඉස්කෝලේ පටන් ගන්න බෙල් එක වැදුනා... මම පංතිය දොර ළඟ ඉස්සරහ හිට ගත්ත.. ( මේ පන්ති අර කොට බිත්ති වලින් තමයි කොරිඩෝවෙන් වෙන් වෙන්නේ..) ළමයි මගේ පැමිණීම දැක්කා.. පන්තියේ හිටිය ගුරුතුමියක්! ඇයත්  මාව දැක්ක...
"_______, කොහෙද මේ?" ඇයත්  මගෙන් ඇහුවේ සුපුරුදු හිනාවකුත් එක්ක 
"නිකන් ආවා  ටීචර්"
"එන්න ඇවිත් වාඩි  වෙන්න "

විස්වාස නැහැ නේද? මේක ෆිල්ම් එකක් නෙවි... ඇත්තටම එහෙම උනා. ළමයි හැමෝම මාව පිළිගත්තේ පුදුම සන්තෝසෙන්! මම පන්තියේ ළමයි දීපු පුටුවක් සහ ඩෙස්කුවක් මත !!! විස්වාස කරන්න.... මම පාසලේ පැය  ගානම හිටිය! පන්තියන එන හැම ගුරුවරියම මගෙන් අර අහන ප්‍රශ්නේ ඇහුවා... ඒ හැමෝටම මම හිනා වේවි අර උත්තරේම දුන්න... පුදුමේ කියන්නේ කිසිම කෙනෙක් මගෙන් වෙන කිසි දෙයක් අහපු නැති එකයි..... 
විස්වාස නැහැ නේද?  ඔයාලට තියා මටවත් විස්වාස නැහැ.
මෙහෙම හිටපු මම ඉස්කෝලේ ඉවර වෙන වෙලාවට ගෙදර ආව නේ බස් එකේ නැගලා....

අද වෙනකල් මේක කාටවත් කිව්වේ නැහැ... රහසක් නෙවෙයි.. මට අමතක වෙලා තිබ්බේ...... මම දන්නේ නැහැ අපේ අම්මලට ඒ කිසි ඉස්කෝලෙකින් කතා කරාද කියල අද වෙනකල්ම !!!


පුදුමයි නේද?? 

Tuesday, July 16, 2013

25. පොඩි කාලේ මරඳ වැල්ලේ..

මගේ පොඩි කාලේ කතා කීපයක් එහෙන් මෙහෙන් ලියලා තියෙන හින්ද මම හිතුව හොදට හිතල ඒ ගැන එක පොස්ටුවක් දාන්න  ඕනේ කියලා.


මගේ පොඩි කාලේ ඔය ගොඩක් පරණ මිනිස්සු කියනවා වගේ සුන්දරයි...
අනේ මේ පිස්සු කියවන්න එපා... එහෙම එකක් ඒ කාලේ දැනුනේ නැහැ නේ.

මට නම් දැනුනේ මම නිකන් කඳු ගොඩාක් වටකරපු තැනක ඉන්න කුරුමිට්ටෙක් කියලා. ඒ කියන්නේ හැම පවුලේම බාලයටත් වඩා මම බාල හින්දා මම හිටියේ මට වඩා ගොඩක් ලොකු කසින්සලා එක්ක. එක පුදුම කට්ටක්! මොකද මම වගේ හිතෙන එකියක් නැති උනාම මට හරිම අප්සෙට්. 

මේ තත්වෙට මුණදෙන  විදි කීපයක් තිබ්බ මට ඒ දවස් වල. 
එකක් තමයි ලොකු උන්ගේ එව්වා අම්මලාගේ කනේ තබා හොද ළමයා වීම. බොරු කියන්නේ මොකටද මම ඉතින් ඔය ආදර කතාවල් වලට එහෙම පොඩි කාලේ ඔත්තු බලල තියෙනවා. අනිත් අතට අම්මලාගේ කනේ තියනේ නැතුව එව්වා මාට්ටු වෙනකොට මීයෙක් වගෙත් ඉදල තියෙනවා. එත් මොනවා කරන්න ගියත් බාල්දියක් පෙරළෙන තැනක් වීද, මම එතන තියරිය ඒ දවස් වලත් තිබ්බනේ අප්පා.....

තව තියරියක් තමයි කිසිම දෙකට මාව ගාව ගන්නේ නැති නම් නිකම්ම්ම නිකන් නරඹන්නෙක් වෙලා නිහඬ අත්දැකීමක් ලබා ගන්න එක. ඒ වගේ එකක් මම මිට කලින් ලිව්වා.. අත්තම්මගේ ඔලුවේ කැක්කුම කියල මම ලිව්වේ....

තවත් තියරියක් තමයි (වැඩියෙන්ම මම ක්‍රියාත්මක කරපු) අපේ ගෙවල්වල මිනිස්සු කිසිම කෙනෙක්ගේ හෙවනල්ලක්වත් වැටෙන්නේ නැහැ කියල හිතෙන බිම්කඩවල්  වලදී හැකි තරම් බල්ටි ගැසීම!!! 

අන්න මම ප්‍රියතම වැඩේ...!!!!! නෑ ... නෑ ... බල්ටි ගැසීම නෙවෙයි... මම කිව්වේ කව්රුත් දන්නේ , යන්නේ එන්නේ නැති තැන්  වල මගේ වැඩ පෙන්නීම.... බල්ටි ගැසීම මට නම් කරන්න බැරි වැඩක්... ඔන්න ඔය වැඩේට මට හොදම තෝතැන්න උනේ මගේ පාසැල ... මොකද මම ගියපු එකම ඉස්කොලේකටවත් අපේ අය්යාවත්, අක්කවත් ගියේ නැති හන්ද  මට ඒක  එතරම් අපහසු උනේ නැහැ. (මම මේ ඉස්කෝලේ කතා වෙනම ලියන්නම්... ඔක්කොම එකට පටලෝගෙන බැහැ නේ...)

අන්තිම තියරිය තමයි... අනිත් උන් කිසි කෙනෙක් ගණන් ගන්නේ නැතුව මමම මවපු සිහින ලෝකෙක අතරමන් වෙලා දවස ගෙවපු එක. මෙහෙම කරලා තියෙන ය දන්නවා ඇති එකේ තියෙන ජොලිය. ඒ කියන්නේ අනිත් උන් මොනාද කරන්නේ ?මම ඉන්නේ කොහෙද ?බලන්නේ නැතුව මගේ ජොලියෙන් ඉන්න එක. මට මතකයි මෙහෙම ගෙවපු එක දවසකදී මම කෑම  මේසේදී කරපු වැඩක්..

ඒ දවස්වල මගේ වයස අවුරුදු 5ක් විතර ඇති. සුපුරුදු විදියට මම මගේ ලෝකේ හිටියේ. කෑම  කන්න වාඩි  වෙලා දැන් අපි ඔක්කොම. ඒ කියන්නේ මමයි, අය්යයි , අක්කයි. මම හිතන්නේ එදා සති අන්තයක් දවසක හවස වෙන්න ඇති. අම්ම හිටියේ නැහැ ඒ වෙලාවේ එතන .. අත්තම්ම අපිට කෑම  බෙදුවා මතකයි... මම ඉතින් මගේ මනෝ ලෝකේ සින්දුවක් එහෙම කියන ගමන් කල්පනා කළා එකට ගැලපෙන ආංගික අභිනයක් දක්වන්න.. ඉතින් මම එවෙලේම ඒක  ට්‍රයි කළා... ඒ කියනේ මම කටත් පොඩ්ඩක් හැඩ කරලා ඇත පයත් පොඩ්ඩක් ඒ විදියට යෙදෙව්වා.! අහ් .. යෙදෙව්වා තමයි....

"චුටි නංගි ... මොකද්ද තමුසෙට වෙලා තියෙන්නේ?"

එකපාරටම ආපු අය්යාගේ  කටහඬින් මගේ මියුසික් වීඩියෝව 'සලාන්...' ගාල කඩන් වැටුණා .

මම බය වෙලා බලනකොට අය්යා  පළල්  හිනාවකුත් එක්ක බලන් උන්නා... ඉතිරි අය  ඔක්කොම බය වෙලා බලන් ඉන්නවා මගේ අමුතු අතපය විසිකිරිල්ල!! මම මුකුත් උනේ නැති ගානට වාඩි වෙලා බත් කෑවා..
අය්යාගේ  ඩික්ෂනරි එකේ වැඩියෙන්ම තියෙන, තිබ්බ වචනයක් තමයි ඔය 'තමුසේ' කියන්නේ... පොඩි කාලේ.. මම මේ කියන්නේ අවුරුදු 2-10 දක්වා කාලේ, අපේ ගෙදර තහනම් කරපු වචන සෙට් එකෙන් එකක් තමයි ඕක. අනිත් එව්වා තමයි 'ඕයි , බල්ලා , ගෙම්බා'  (සැ .යු. ඒ කියන්නේ අපි රණ්ඩු වෙනකොට ඔය අන්තිමට තිබ්බ වචනේ තමයි අන්තිමට යොදන්නේ.. එතනින් අපේ රණ්ඩුව ඉවර වෙලා Freeze  වෙනවා... ඉතිරි ටික කරන්නේ අම්ම නැත්තම් තාත්තා ... ඒ කියන්නේ ගුටිය කාටද කියන එකයි... අනේ ඒ උනාට අපි තුන්දෙනාට අපේ අම්මයි තාත්තයි කවදාවත් ගහල නැහැ.. (ගුටි කන තරම් වැඩ අනන්තවත් කලත් හි.. හි...) තාත්තගේ රැවිල්ල  ගුටියක් හා සමානයි.... අම්ම නම් බනින්නේ එක පාරයි... කුඩේ කුඩු යන්න ඒකත් !!!

මම මිට කලිනුත් කියල ඇති අය්යගෙයි  මගෙයි පොඩි කාලේ තිබ්බ ගැටුම!! පන්ති අරගලය අප්පා.. වෙන මොකද්ද ඕකට කියන්නේ? අපේ අය්ය තරම් පොඩි කාලේ රජ සැප අපි කාටවත් ලැබුනේ නැහැ...පවුලේ එකම පිරිමි දරුවා (මගේ පවුලේ) වීමත්, වැඩිමලා වීමත්, උගේ පිනට අපේ පවුල 'පුත්‍රවාදී' වීමත් හින්ද විතරක් නෙවෙයි, අය්යාගේ  ඉපදීමෙන් අපේ තාත්තට සුභ පල ලැබුණයි  යන මතය නිසාත් ( ඔය එකී මෙකි නොකී.. ඔක්කොම!) අය්යා  අපේ ගෙදර 'ස්ටාර්' එක. මට ඔව්ව අල්ලන්නේ නැහැ නේ....
මගේ තියරිය තමයි...අය්ය මොනාද කරන්නේ... ඌට  පුළුවන් නම් මට බැරිද කියල හිතල ඒකම  කිරිල්ල!!  අය්යත් ඇත අරින්නේ නැහැ... මරු නේද එතකොට???

අය්යට මවුන්ටන් බයිසිකලයක් ගෙනත් දුන්න.... මට ඕකට හෙන ජේ!! අය්යා  පැදලා  තියල යනකම් ඉදල මම සිට්  එක එජස්  කරලා මමත් පදිනවා. එකට මම පාවිච්චි කලේ එයාගෙම ටූල්ස්. අය්යා  කලේ පැදලා ඉවර වෙලා යන්නේ අර ඇනේ  බුරුල් කරන එක.. (අනේ මම දන්නේ නෙහෙ ඔව්වට මොනාද කියන්නේ කියලා) හංගලා.... කොහොමද වැඩේ?? මම ඉතින් හිටගෙන හරි පදිනවා...

අය්යා  කරන වැඩ වලින් මම ආසම වැඩ කීපයක් තියෙනවා. එකක් තමයි අවුරුදු කාලෙට වගේම, ඔෆ් සීසන් එකේදිත් ඔන්චිලි බදින  එක. අනිත් එක සරුංගල් කාලෙට සරුංගල් හදන එක වගේම වෙසක් කාලෙට අපිට වඩා තුන් ගුණයක් උස මහතට වෙසක් කුඩු හදන එක! 


අය්යා  ඒ වගේම අට්ටාලයකුත්  හදල තිබ්බ. එක තිබ්බේ සදා මතකයේ රැඳෙන ලාවුළු ගහක. අනේ ඒ ලාවුළු ගහ අපිත් එක්ක හිටපු කාලේ මම හිතන්නේ අපි එකේ මුල් ටිකට විතරයි මුකුත් කලේ නැත්තේ... සියලු කොටස් වලින් අපිට වැඩ තිබ්බ. අත්තේ  ඔන්චිල්ලාවක් බැඳලා තිබ්බ. ඊට උඩින් අතු කීපයක් යනකොට අට්ටාලේ.. ඔන්චිල්ලාව තියෙන අත්තට නගින එක උනත් අපේ වයසේ හැටියට මාරම චැලේන්ජ් එකක්! ඉතින් අය්යා  කරන්නේ ගෙදරින් හොදි එහෙම කෑම  පෙට්ටියකට දාගෙන , කඩෙන් පාන් ගෙඩියක් අරගෙන අර අට්ටාලෙට  ගෙනිහින් කන එකයි... ඕකට එයාට සහයට හිටියා තවත් අහල පහල අය්යා කෙනෙකුත්.එයා තමයි අර හැඟී මුත්තං කතාවේ හිටියේ... මම ඉතින් දන්නවා නේ... මට ඉතින් කැහිල්ල නේ... මට ඉතින් ඔය අට්ටාලෙට නගිනකල් ඉවසිල්ලක් නැහැ.... ඕකට නගින්න බැහැ  ඉක්මනට... මොකද ගැහෙ ගොඩක් උඩට යනකල් අතු මුකුත් නැහැ. පළවෙනියට අහුවෙන අත්තේ තමයි ඔන්චිල්ලාව තියෙන්නේ.. ඉතින් හරිම අමාරුයි.
සුපුරුදු විදියට මම වැඩේ අත අරින්න සුදානම් නැහැ. මෙලෝ දේකට උදව්වක් නැති උනත් , අය්යා නැති වෙලාවක් බලලා අක්කත් එක්ක ගියා මම ලාවුළු ගහ ගාවට.



"ඔයා මුලින් නගින්න , මම ගහ යට ඉන්නං "

අක්කා කොහොමත් බය ගුල්ලි. මම කොහොමත් එයාව ගෙනාවේ ගහට නගින්න නෙවෙයි.. මුරට!
මම ඉතින් ගහට නගින්න ගත්තා. අනිත් අය නම් මන්දා.. මම ගස් නගින්නේ මගේම ක්‍රමේකට.. ගහ බදාගෙන පටන් ගන්නේ... අඩියක් විතර නගින්න විනාඩි විස්සකට වඩා යනවා...අඩි කීපයක් යනකොට ඉතුරු ටික ටුක් ගාල නැගගන්න පුළුවන්. මොකද කකුල් දෙක වෙව්ලන ගතිය පොඩ්ඩක් අඩු වෙන හින්දා... මම ඉතින් වෙව්ල වෙව්ලා නැග්ග කොහොම හරි දැන් ඔන්චිල්ලාව තියෙන අත්ත  ළඟට. නැගලා පල්ලෙහා බැලුවා.... 'හුහ්...' මොකට බැලුවද? උස වැඩි!!!

"දැන් නගිනවා හලෝ... වැඩිය උස නැහැ..."

මම අක්කාට කිව්වේ මම තනියෙන් නගින එක ජොලියක් නැහැ වගේ දැනුන හින්දා.

"බෑ .... උසයි... අප්පා.."
ඒ උනාට මම අතෑරියේ  නැහැ. මගෙන් බේරුමක් නැති තැන අපේ අක්ක ඔන්න මම කල විදියටම ගහට නගින්න කියලා ලෑස්ති උණා . බද හුරාගෙන  ඔන්න දියක් විතර නැග්ග කියමුකෝ..
"දඩොස් ....."

අක්කා බිම දොයියා!! ගෙම්බා ගැහුවා වගේ...
"අක්කි... අක්කි...." ඔන්න පොඩි කෙදිරිල්ලක් ඇහුනා.. 
මගේ දැන් කකුල් දෙක මැඩ්ලින්  ගහනවා උස වැඩි හින්දා බිම වැඩිය බලන් ඉන්නත් බැහැ .. මුණ පහතට ඉන්න හින්ද මේකිගේ මුණ පේන්නෙත් නැහැ.. 

ඔන්න ටික වෙලාවකින් කෙදිරි ගගා මෙයා නැගිට්ටා. එතකොට තමයි ලේ පොඩ්ඩක් ඉනුවේ. මම උන්නේ මැරිලා කියලා. 

"මොකද උනේ?"
"ලිස්සුවා... මට බෑ  අප්පා.... ඔයා නැගල කියන්න මට මොනාද උඩ  තියෙන්නේ කියලා"

දැන් ඉතින් පුළුවනෑ මට මේ බඩුවට ආයෙත් ගස් නගින්න කියන්න? 
ඉතිරි ටික ලේසි.. මම ඉක්මනට ළඟ ළඟ තිබ්බ අතු වලට අඩිය තියලා නැග්ගා අට්ටාලෙට. අප්පා... දැනුන සනීපයක්!! වටේම හොඳට පේනවා. හොද සනීපෙට හුලනුත් එනවා. මේ සනීපෙ විදින මට අපේ අක්ක කොක්කක් දැම්ම...

"මොනාද උඩ  තියෙන්නේ?"

මට දැන් තමයි සිහියට ආවේ මම මේ ගමන ආවේ හොර වැඩ ඇල්ලීමට සහ ඉරිසියාවට කියලා. මම වටපිට බැලුවා.. අපොයි සල්ලි! කාපු පාන් කුඩු ටිකකුයි, හිස් උන කෑමපෙට්ටි  දෙකකුයි තිබ්බ ඇරෙන්න මම බලාපොරොත්තු උන රන්මසු උයනක්වත්, අර සුරංගනා කතාවල එන ජාතියේ මැජිකල් නිධානයක්වත් තිබ්බේ නැහැ නොවැ ???
ෂැක්....! මගේ බලාපොරොත්තු නම් පොඩ්ඩක් විතර කඩ උනත් මට හිත හදාගන්න පුළුවන් උනේ මම ලොකු වීරකමක් කරපු හින්ද...
'මම අය්යලාගේ අට්ටාලෙට  නැග්ගා ආඃ '!!!

ඔන්න ඉතින් මම වටපිටත් සිරි නරඹනවා.. ඔන්න එතකොට තමයි හොදම දර්ශනේ දැක්කේ....
අපේ අය්යා ගෙදරින් ගියේ එයාගේ ගණන් පන්තියට. ඒ හින්ද මට හොදටම ෂුවර් පැය  දෙකකට මෙහා එන්නේ නැහැ කියලා. එකනේ මේ වැඩේට සුදානම් උනේ. 
එයාගේ අතිජාත මිත්‍රයාගේ ගෙදර තියෙන්නේ අපේ ගෙදරට ගෙවල් කීපයක් එහායින් කන්ද උඩහට වෙන්න. එයාලගේ ගෙදර යන්න එයාට අවසර නැති හන්ද ඒ අය්යා  අපේ ගෙදර එන්න පුරුදු වෙලා හිටියේ. මේ අට්ටාලෙට ඒ අය්යලගේ ගෙදර මිදුල හොඳට පේනවා. 
ඔන්න ඉතින් මම මේ මාලිගාවේ සීමැදුරු  කවුළුවෙන් බලාගෙන ඉන්නකොටම දැක්කනේ... මොකද්ද දන්නවද.... අපේ අය්යා උන්න නේ අර අය්යලගේ මිදුලේ!!
අපි දෙන්නගේ ඇස් දෙක හමු උනා නේ අප්පා ඒ මොහොතේම!! උන්නැහෙත් ගල් වෙලා... මමත් ගල් වෙලා.....අම්මා... මට දැනුන සනීපෙ කොතරම්ද කියනවා නම්...... කකුල්දෙක ' ඩින් .... ඩොන් ...' ගෑවා ....
කොයි පැත්තෙන් ගහෙන් බහින්නද කියල බැලුවේ වත් නැහැ..... අහු උන පැත්තෙන් බහින්න පටන් ගත්තා...

"ඇයි .... ඇයි ... මොකද?උඩ නයෙක් වත් ඉන්නවද?"

අපේ අක්කගේ හැටි එහෙම තමයි. වෙලාවේ හැටියට වෙන්න පුළුවන් දෙයක් උනත් මෙයාට හිතෙන්නේ එයාගේ ලිස්ට් එකේ තියෙන භීතිකාවක් විතරයිනේ!! මෙයා මේ මගුල් නයෙක් ගැන කතා කරනවා... මම බහින්න ගත්තේ දත කට පුට්ටු වෙච්ච ගමන්..

"අනේ අක්කි... පොඩ්ඩක් අන්තිම ටිකට අල්ලනවකෝ"

අන්තිම අඩි  කීපයට කලින් මම අක්කට කිව්වේ මගේ තිබ්බ හදිස්සියට මම හරියට බිමට කකුල තියාගන්න පුළුවන් තැනකට නෙවෙයි බහින්න හදල තියෙන්නේ.

"හරි හරි.... ඔන්න.. "

..කවදත් වගේ. අපේ අක්කගේ කට විතරයි...... ඔව්ව මතක් උනේ නැහැ නේ ඒ වෙලාවේ .... පැන්නා !
දෙන්නම එක පොදියට  බිමට පාත් උනා. 

"අය්යා දැක්ක හලෝ... දුවමු දුවමු...."
බිමට පාත් උනේ හොම්බෙන් උනත් මම කෑගහගෙන නැගිට්ට. මෙන්න බොලේ මගේ කකුලටත් පෑගිලා හිටපු අක්ක මාවත් පෙරලගෙන දුවලා!!
පුදුමයක් නැහැ..... එව්වට එයා හරි දස්සයි අප්පා....
දිව්වයි කියමුකෝ.... දුවල ගානක් නැතුව හිටියයි කියමුකෝ.... මගේ බඩයි කකුල් දෙකයි දෙකම හොදටම හිරිලා. හොරෙන්ම බේත් දාගෙන මම දැන් සුදු කොඩියකුත් වනාගෙන  හිටියේ කොයි වෙලේ හරි අය්යා කඩන්  වැටෙයි, ඔක්කොම ඉවරායි  කියලා..........
පස්සේ තමයි මතක් උනේ... ඌ කොහොම කියන්නද? උගෙත් හොර වැඩක් මම දැක්ක නේ???
හාහ්.. හාහ්.... අන්න එහෙමයි වැඩේ මාට්ටු උනේ නැත්තේ

24. කියන දෙයක් - හිතින් කියන

මිනිස්සුන්ගේ හිත ඇතුලේ තියෙන දේවල් මොනවද? කොහොමටවත් අපිට කියන්න බැරි දේවල් වලින් එකක් තමයි ඒක !!
මම දැකපු දේවල්, අහපු දේවල් වලින් මම මේ ලියන්නේ... නැත්තම් මගේ නිර්ණායක අනිත් යට වලංගු වෙන්නේ නැති ගොඩට වැටෙන එක පුදුමයක් නෙවෙයි. 

මිනිස්සු අපි එක එක විදියට බෙදල තිබ්බත් මේ සම්බන්ධයෙන් නම් මගේ බෙදුම පටන් ගන්නේ ගෑනු සහ පිරිමි විදියට.... හරිම සම්ප්‍රදායිකයි නේද? මක් කොරන්නද ? මේක මගේ බෙදීම නේ අප්පා...

මගේ දැක්මේ හැටියට නම් පිරිමි හැගීම් අතින් ගුප්තයි... මම මේ කියන්නේ තමන්ගේ හිතේ තියෙන කුණුහරප අදහස උනත් තමන්ගේ මිතුරාට හෝ  මිතුරියට කියල හිනා වෙන එක ගැන නෙවෙයි. මම කියන්නේ තමන්ගේ සියුම් හැගීම් එක්ක කරන ගනුදෙනු වලදී පිරිමි හරිම අභ්‍යන්තරාවර්ති කට්ටියක් කියල... ඔන්න කට්ටියකට කියන්න පුළුවන් නැහැ කියල.. මට එකට කමක්  නැහැ. මම එහෙම කියන්නේ සාධක ඇතුව. මම මෙතන ටාගට් කරන්නේ සංවේදී, ආදරණිය හැගීම් ගැන. හරි හරි ඉතින් කෙලින්ම කියමුකෝ.. මම කියන්නේ ආදරේ ගැන කියල... පිරිමි කියල මම වර්ග කලේ, වෙන මොනවත් හින්ද නෙවෙයි... එයාලට අනන්‍ය උන අනෙත් දේවල් එක්ක මේකත් ලැබෙන දෙයක් කියල මට පේන හින්දයි. ගොඩක් වෙලාවට පිරිමි ආදරේ විග්‍රහ කරන්න දන්නේ නැහැ... ඒ කියන්නේ ඇත්තටම මොන වෙලාවේ, කොයි විදියට දැනෙනවද කියල කියන්න එයාලට පුළුවන් කම හරිම අඩුයි. එයාල නිකන්ම කියනවා 'මම ආදරෙයි'  කියල.... හරියට නිකන් සිගිරි ගල දිහා බලන් සුද්දෙක් කතා කරනවා වගේ...