Thursday, December 10, 2015

238. පිච්ච සුවඳ




මට තියෙන පිස්සු වලින් කීපයක් ගැන මම ලියලත් ඇති. ලියන්න බැරි පිස්සු සහ ලියාගන්න බැරි කියන ජාති දෙකේ ඒවා ලියන්න මම උත්සහ කරනවා.

එකක් මට අද උදේ එනකොට ආයෙමත් මතක් උනා. ඒ තමයි ඔය කෝවිල් ළඟදී මට දැනෙන අමුතු පිස්සුව!

කොයිල් වගේ ඇති නේද?

මෙහෙමයි...

ඔය කෝවිල් සහ කෝවිල් වලට යන පාරවල්වල තියෙන මල් විකුණන කඩවල් දකිද්දී මට මොකද්දෝ අමුත්තක් දැනෙනවා. වැඩියෙන්ම මල් කඩවල් දකිද්දී. ඒ මල් විකුණන කඩවල් වල තියෙන පිච්ච පිරුණු මල් මාලා දැක්කහම මාව පාවෙලා වගේ යනවා. මොනයම්ම හේතුවකට හරි ඒ මල් මාලයක් දාගන්න හරි ඒ පිච්ච මල් වලින් ඔලුව සරසාගන්න හරි හිතෙන එක වලක්වා ගන්න හරිම අමාරුයි. හැමදාම ඒ මල් කඩ පහුකරගෙන යන මම ඒ පාට පාට මල් මාලා  හිතින් තෝරන්න දහස් වාරයක් උනත් අමතක කරන්නේ නැහැ. සුදුපාට ලොකු මල් එක්ක දම්පාට මිශ්‍ර කරලා හදලා තියෙන එකට තමයි වැඩියෙම්ම හිත ඇදිලා යන්නේ.

Monday, December 7, 2015

237. සිත්තර පැංචි






මම කලිනුත් එක එක තැන්වල පම්පෝරි ගහලා ඇති මට පොඩි කාලේ චිත්‍ර වලට පොඩි හැකියාවක් තිබ්බා කියල. දැනට අවුරුදු දහයකටත් වඩා කලින් මම මගේ චිත්‍ර අඳින වැඩේ නතර කරලා හින්ද පොඩි පොඩි බලිකුරුටු මිසක් මම චිත්‍රයක් ඇඳපු කාලයක් තිබ්බේ නැහැ. මේ ලඟදි මට හිතුන, මේ මොන විකාරයක්ද... ඇඳපන් යකොව් චිත්‍රයක් කියල!

එවෙලේම ගත්ත පොඩි එකෙක්ගේ චිත්‍ර පොතක මැද පිටුවක මම ඇන්ද චිත්‍රය මේක තමයි.

Saturday, November 21, 2015

236. සිතුවිලි සිරවී









"ලස්සන? ලස්සන කියන දේ සාපේක්ෂයි..."
"සාපේක්ෂයි...? කොහෙන්ද ඔය වචනේ හොයාගත්තේ? හි.. හි.."

මම ඇඳුම් රාක්ක අතරින් ඇවිදගෙන ගියේ හිත ඇතුලේ ඇවිදින ක්‍රමයට. ඒ කියන්නේ ආස හිතෙන වගේ රාක්ක පහු කරලා , ගන්න වැඩක් නැති රාක්ක දිහාම ඇස් තියාගෙන.

"කොහෙන් උනාම මොකද? බොරු නෙවෙයිනේ. දැන් බලන්න... මෙන්න මේ ඇඳුම. ඔයා ඇන්දා නම්........."

මම ඔලුව උස්සලා බලනකොට උවමනාවෙන්ම නොබලා හිටපු ඔහුගේ මුහුණ පෙනුනත්, ඔහු අතේ තිබුණු ඇඳුම දිහා විතරක් බලන්නට මම වෑයම් කළා. ඔහුගේ අතේ තිබුනේ අතිශය කෙටි, සරාගී ඇඳුමක්.

"අනේ මේ....!"

Friday, November 20, 2015

235. පස්වරක්








මට මාව ඕනේ වෙලාවට
මම යන්නේ කවුළුව ළඟට
වැසුණු පියනක වම් පැත්තට
මැඳ'ඟිල්ල පස්වරක් සිපගන්නට

'ටක් ටක් ටටක් ටක්'

ඒ හැම විටෙකම
ඇසිල්ලක් නැතුවම
ලැබෙන පිළිතුරකම
තිබුනේ පස්වර තානම

'ටුක් ටුක් ටුටුක් ටුක්'

අලුත් කවුළුව
නැත, එය වීදුරුව
තට්ටු කෙරුමක් නැතුව
එබෙයි අහන්නෙත් නැතුව


Friday, November 13, 2015

234. මග බලමි




අනුන් වෙනුවෙන් ඇරුණු
කවුළුවක සරනේරු
හඬකටද  - තිගැස්සෙන,
මකුළුදැල් හිමිකාර
හදවතකි....

Sunday, November 1, 2015

233. ඩිජිටල් රේඛා ( digital divide?)






ඉරිසියාවෙන් පැලෙමි
මම වෙනුවට
වම් උරෙහි එල්ලෙන
ඔබේ ලැප්ටොපය දැක

කුරිරු ලෙස මත්වෙමි
මට අයිති ඇඟිලි අල්ලන
යතුරු පුවරුව දැක

සෙමෙන්
වමතේ මුදුව අල්වමි,
සිහිනයෙන් බිම බසිනු
දැක දැක


Saturday, October 31, 2015

232. මොන බොරුවක්ද 'බියුටි'





මේ මොන
බොරුවක්ද 'බියුටි' මේ?

මූන කට ලස්සනට
නොතිබුනට,
'බිස්ට්'ලට කැමති වෙන එක
මැරුමකි  - මිනී
හිනා යන....

හාද්දකින් පුළුවන්ද
කුමාරයෙක් කරන්නට?

මේ මොන
බොරුවක්ද 'බියුටි' මේ?




ප.ලි.
කොමෙන්ටු වලින් පෙනී යන්නේ මගේ කවිය අසාර්ථක බවයි. එහෙමය කියල මම එහෙම සැලෙන එකෙක් නෙවේය!! හික් හික්... 

231. දුනේෂ් ප්‍රියශාන්තට ලියන වග නම්........





මුලදී
අය්ය කියන විදියට

දැන්
කළු ලෝගු වල ඕනෙකමට

එන්නකො
දේශපාලනේට

අපි
වැඩකරමු එකට




Friday, October 30, 2015

230. ගහෙන් වැටුණු එකාට දේවාලේ පාත්විම




මේ පාර නම් බොලේ ඉල්ලමක් වගේ පෑදුනේ.

මොකද දන්නවද, මට මේ කතාව මතක බැරි වෙලා තිබිලා මගේ 'මුන්ට ලූස්' පෝස්ටුව කියෝපු ලූස් උන්නාන්සේලා දාපු කොමෙන්ටුවක් හින්දා මතක් වෙච්ච එකක්. ( දැක්ක නේද මුලක් මැදක් අගක් හොයාගන්න බැරිවෙන්න ටපලලා ලියන හැටි?)

ඉල්ලමක් කියල කිව්වේ, අපේ අය්යා ගැන මට ලියන්න වෙන්නෙම 'රජ්ජුරුවෝ උඩයි උඩයි... ___ කෙල්ලෝ බිමයි බිමයි' වගේ පෝස්ටු හින්දා උගේ ඇදයක් කුදයක් ලියන්න ලැබෙන්නේ බස් එකේ නිදාගන්නේ නැති දවසක් ලැබෙනවා වගේ හින්දයි.

අපි පොඩි කාලේ අපේ ගෙදර වටේම තිබ්බේ ගස්. ( නැතුව ඉතින් ගිනි කඳු තියෙන්නය?) ගස් කියන්නේ කැළෑ වගේ කොටස් තිබ්බ ගෙවල් අතරින් පතර. එක පැත්තක කෝපි ගාලක්. (ඒකෙ තමයි අපේ සටන් කලාප ) තවත් හිස් ඉඩමක් තිබ්බ ඒකෙ එක කොටසක් තනිකරම කොකෝව වගාවක්. මුල කොටස හබරල විමානයක්. ඔය හබරල කොළ වල ප්‍රමාණය ගැන කිව්වොත්, අපේ සෙල්ලම් ගෙවල්වල වහලෙට හෙවිල්ලන්න ගන්නේ ඔය හබරල කොළ.

අපි ඒ දවස්වල හෙන 'පොෂ්' නිසා දවස ගානේ වහලේ අලුත් කරමින් ඒ හබරල ගාල මත්තෙම නැහුනා. ඒ වත්තේ අයිතිකාරයින් උනත් හිටියේ අහල පහල උනත්, අපිට ඒවායේ වගක් තිබ්බේ නැහැ. කොකෝව හැදිලා තිබ්බ නිසාත්, පිවිසීම් මාර්ගයේ ඉඳන්ම තණකොළ අපේ දනියක් විතර වැවිලා තිබ්බ නිසාත් ඒ වත්ත මට මතක තිබ්බේ භයානක , අත්භූත කතාවක එන මකර රාජධානියක දොරක් වගේ.

Monday, October 26, 2015

229. කැසිනෝ රෝයලි (casino royale)






අපේ ගෙදර ඉස්සර තත්වය තිබ්බ කාලේ ( ඒ කියන්නේ දැන් තත්වය මිට හුගාරියක් වෙනස් හින්ද) වෙච්ච වැඩ දුසිමක් විතර මම ලියලත් ඇති. තව ලියන්න තියෙන ජාති ඉතින් ඉසේ කෙස් ගානට. සමහර ඒවා මට මතක් වෙන්නේ ලියන්න ගත්තම මිසක් මට එතෙක් ඔතරම් ඩිටෙල් මතක තිබිලා නැහැ. ඒවත් අර මැජික් කාරයා තොප්පිය අස්සෙන් අර කෙළවරක් නැති රෙදි පටියක් එලියට අදිනවා වගේ, කොනක් අල්ලගත්තම මතක් වේගන වේගන එනවා, ආයේ නැහැ පාචනේ වගේ!

මම ඉස්සරත් කියල ඇති මම පැංචි කාලේ අපේ ගෙදර හිටියා මාර සෙනඟක්. කොටිම්ම කැරම් බෝඩ් එකක් දිගෑරියොත් කිසි ගේමක් නැතුව කණ්ඩායමක් හදාගෙන කැරම් අතක් ගහන්න පුළුවන්. ඒවාට ඕනේ කරන අඩුම කුඩුම විදියට ඒකටම වෙන කරපු ඩෙස්ක් බංකු, පවුඩර් කොට්ට ( මට මතක විදියට ඒ දවස්වල කැරම් බෝඩ් එකට දාන පවුඩර් තිබ්බේ හතරැස් රෙදි පොට්ටනියක දාල, මහලා. හරියට ඉස්කෝලේ ඩස්ටර එක වගේ.  දැන් නම් ඩස්ටර් ඉස්කෝල වලත් නැහැ මම හිතන්නේ) ඕක මැදැගිල්ලෙනුයි, මහපට ඇඟිල්ලෙනුයි අල්ලලා බෝඩ් එක මැද්දේ 'ටුහ් ටුහ්' ගාල ගැහුවම ඕනේ තරමට පවුඩර් වැටෙනවා.

228. පේලි අතරින් (Reading between the lines..)








නුඹ
'නොදකින්' කියන
සැමවිට
පසෙක සිට
ඔල්වරසන් දෙන....

නිතර සොරු බිඳින
ගෙදරක
මිදුලේ මල් වවන... - මම

දිහා බලාගෙන
සිනාසෙන




ප.ලි:

මම සාමාන්‍යයෙන් විරාම ලක්ෂණ සහ විශේෂ සලකුණු එක්ක කතා, කවි කියවන කෙනෙක්. මේ කවියේ අදහස් ඔබ ඒ විරාම ලක්ෂණ වලට දෙන ප්‍රමුඛතාවය මත වෙනස් වන්නට ඉඩ තිබේ. ලිව්වා මිස කියවීමේ අපහසුතා වලට සමාවන්න.


Friday, October 23, 2015

227. පිටුවක් .............






"හරි හරි... මාත් එනව"

මට කරගන්න දෙයක් නැහැ. හොස්පිට්ල් එකට යන්න මූත් එන්න ලෑස්තිය. මරන්නයැ? බොරුවක් කියලා හලලා යන්න ඕනේ.

"මම චිරනිව බලන්නත් යනව"
"කමක් නෑ "

මම තනියෙම දත්මිටි කෑව. චලනයාට නිකිණිව මුණගැහෙනවට මගේ කොහෙත්ම කැමැත්තක් නැහැ. ඒක නිකන් අමුතු  හොරයක්, කිචියක් වගේ දෙයක්.

"ඇයි , උඹට ඉරිසියාද?"
"නැහ් ...!... ඔව්! මට ඉරිසියයි තමයි"
"ඇයි , ඒකි ලස්සනද?"

මට හිනා ගියා. ඔලුවත් ඉහල පහල වැනුනා.

226. වරදට දඬුවම







සත්‍ය ප්‍රේමයට
නිගා දුන්නෙන්,
ආදරය
මා රැවටීය...


Wednesday, October 21, 2015

225. මුන්ට ලූස් ?






මේක මම මේ නිකන් ඉන්න වෙලාවට කල්පනා කර ජාතියේ එකක් නෙවෙයි. මම නිකන් ඉන්න වෙලාවට කල්පනා කරන එව්වා ගැන මෙතැන ලියන්න ගිහින් හොම්බ ඇනගෙන තියෙන්නේ එකපාරක් දෙපාරක් එහෙම නෙවෙයි උනාට..මේක ඒ ජාතියේ නෙවෙයි.

මම කල්පනා කළා කාරණයක් ගැන, හදීස්සියෙන් වගේ..

මොකද මම මේ ලඟකදී දැක්ක බ්ලොග් වල ( එක එක ජාතියේ) ලියල තියෙනා ළමා හිංසනය, ගුරුවරුන්ගේ කායික දඬුවම් වගේ දේවල් ගැන. එකකටවත් උත්තරයක් ලියන්නේ නැතුව මම පෝස්ටුවකට හොරගල් ඇල්ලුවට කෝ ඉතින්? මම ලියන කෙහෙල්මල!

මට හිතුනා මගේ කෝණයෙන් මේ ගැන ලියන්න. මොකද කිව්වොත්.... මටත් ඉතින් කැසිල්ල නේ.!

ළමා කාලයේදී දෙමවුපියන් දක්වන්න ඕනේ මොනවගේ සැලකිල්ලක්ද කියන එක ගැන තාමත් තියෙන්නේ මතවාද. මොකද මේක ට්‍රයල් ඇන්ඩ් එරර් මිසක් තියරියක් අනුව කරන්න පුළුවන් එකක් නොවෙන නිසා. එකම අවුල තියෙන්නේ, ට්‍රයල් ඇන්ඩ් එරර් විදියට කලත් කොහොම කලත් අවසන් ප්‍රථිපලේ ආපසු හරවලා ඩිලීට්, undo බොත්තම් ඔබන්න නොලැබෙන එක. ඒ කියන්නේ තමුන් වගාකරපු දේ රස බලන්න වෙන්නේ තමුන්ටමයි.

Monday, October 19, 2015

224. කලාබර , හාරත






ජාතිය -
හාරතය.

තනතුර -
ඔටුනු පළඳින රජුය.


මුත්

නුඹ හාරත රැජිණය



- මේ ඇලිස්ගේ
විස්මලන්තයය...




Friday, October 16, 2015

223. තන්වැසි නොවූ..







වැනීම තහනම්ය
පස්ස
වැඩිපුර නොවේ කොහෙත්තම...

හිර වෙච්ච හැට්ටද
වම් කොනේ පොඩියට
- ලියපු වැකි ඇති කමිසද
අසාත්මිකය

කොට සාය
තඹ කොණ්ඩ ,
උල් වෙච්ච අඩි වලින්
හිල්වෙලා හැමතැනම -
මගේ පපුව

හවස වෙන කාගේහෝ
වෙලා උඹ ,
වෙඩි කන්ඩ බලාගෙන
හිටගනින් මගේ ගාව
ලිෆ්ට් එකේ
හැමදාම....


222. ඉස්පිලි පාපිලි ඇලපිලි හිදැස්






ලියමි මම
නවත්තන්න බැරි තරමටම..
කවි..

ඉස්පිලි අස්සේ හංගන
පාපිලි අස්සේ ගුලිවෙන
ඇලපිලි වල විටෙක ඇමිණෙන
උඹ ඇත
කොම්බුවක, රේපෙක එල්ලීගෙන..

ඒ කවි අතර
වචන එකිනෙක අතරින්
තබන හිඩැසින් බිමට වැටෙන,
උඹ
ආයෙමත් අනිත්
කවියේ මුලට එක්වන

තාලයක් නැති,
හිතෙන තාලෙට ලියවෙන..
නවතන්න බැරි,
හිතින් නවතින උඹ මෙන....




Wednesday, October 14, 2015

221. ඌ ඌ ඌ ඌ අම්මෝ






තුක් විතරක් මුසල බල්ල... අදත් කෑගහන්න පටන් අරගෙන.

එක අතකට ඌ මක් කරන්නද? දඩාවතේ යන බල්ලෝ එහෙම යන්න නොදී උන්ට පිහිට වෙන්න කියල, ගෙදරකට ගාල්කරවගන්න හිතල මිසිස් ගුරුසිංහ ඌව දරුකමට හදාගන්න හිතල ඇතිකලාට , එහෙම පුළුවන්ද බල්ලෝ හදන්න? එක්කෝ දඩාවතේ යන්න දෙන්න ඕනේ, නැත්තම් දවල් වරුවේ ගෙදර ඉන්න කාලෙක එපැයි බල්ලෙක් උනත් ගෙනත් දාගන්න.. නැද්ද?

කණ්නාඩිය ඉස්සරහ මම බලන් හිටියේ අදවත් මේකෙන් මාව නැතුව වෙන එකෙක් පෙනෙයිද කියල නිකමට හිතන ගමන්.

ඇත්තටම වෙන්න බැරිද? නෑ මම කියන්නේ අර හිම කුමාරිගේ පච නොකියන කණ්නාඩිය වගේ නැතුව ඉඳල හිටලවත් පචයක් කියල හරි මාව රවට්ටන කණ්නාඩියක් තියනෙක වටිනවා.  පුලුවන්ද මේ කෙරුවාව කරන්න, ඒ කියන්නේ එකම මුණ දැක දැක , නොදැක්කා වගේ ඉන්න? ඊටත් ඒක තමන්ගෙම මුණ වෙච්චිකොට!

මම ඇස්දෙකේ පාමුල තියෙන පුංචි කුහරෙට නියපොත්තෙන් ඇනල බැලුව. හරියට හරි, එතන තියනවා හොඳ කබ තලියක්ම. ඔන්න දැන් මම ඇස්දෙක සුද්ද කරන්නෙ නැතුවම මුණ හෝදන්න යනවා.

මුණ හෝදන වෙලාවට ඒක කරන්නේ. මගේ නැහැනේ එකම දේ දෙපාරක් කරන ගතිගුණ. වන් ෂොට්!

වන් ෂොට් දැන් මොකක් කරනවද දන්නේ නැහැනේ.. ඉස්සර නම් කොයි වෙලෙත් කැමරාව ඉස්සරහ. නෑ මම මේ කිව්වේ ඇක්ෂන් කියන එක ඉස්සරහ නෙවෙයි, මිඩියා කැමරා එක ඉස්සරහ. මට බැහැනේ ඔය කැමරා ඉස්සරහ වැඩ.

අප්පා... අදත් දොර ඇරලනේ නිදාගෙන තියෙන්නේ. බාත්රුම් එකෙන් කැරපොත්තෝ ආවද දන්නේ නැහැ කාමරේට. ආවත් මොකද, කටේ වහන්නේ නැත්තං .

කණ්නාඩිය කතාකරනවා නම් හොඳයි, නැද්ද? මම කියන්නේ බාත්රුම් එකේ කණ්නාඩිය නෙවෙයි. කාමරේ තියෙන එක. බාත්රුම් එකේ එක නම් කට ඇරපු ගමන් කියයි දන්නා කුණුහබ්බ ටික ඔක්කොම. හෙහ්..

කොහොමත් දොර වහගත්තම බාහිර ලෝකයෙන් වහන්වෙලා ඉන්න පුළුවන් ස්වාධිනම , අතිරමණිය තැනක් තමයි බාත්රුම් එක. ඒ හින්ද කතාකරන කණ්නාඩියක් තියාගෙන ඉන්නෙක ඇත්තටම ජිවිත අවධානමක් තියෙන දෙයක් වෙන්න පුළුවන්.

හැඃ මේ මොකද්ද?

Friday, October 2, 2015

219. ලෝක ළමා - දිනය / ලෝකළ - මා - දිනය / ලෝ කළ - මාදි - නය








ස්ථානය: ගේට්ටුව අසල - ළදරු පාසල සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානය 
වෙලාව: උදෑසන  8.12



ඔව් මිස්,
අද 'චිල්රන්ස් ඩේ පාටිය' නේ මිස්,
අනේ,
බබාගේ පාටි ගවුම ලස්සනයි මිස්,
දෙන්න මිස්
මේක ඩෝනට් දුසිම නේද මිස්?
මේ මොකද්ද මිස්...
නෑ මිස් අද ඩේකෙයාර් නැහැ මිස්
දවල් එකට කලින් ගන්න මිස්
දවල් කෑම කවන්න විදියක් නැහැ මිස්
බැරිවෙයි මිස්,
ඇඟ හෝදවන්න බැරිවෙයි මිස්,
ඇඳුම් මාරු කරන්නත් බැරිවෙයි මිස්,
ඔව් මිස්,
කූඩේ ගෙනියන්න මිස්.

'බායි' කියන්න බබා...

ඔව් මිස්...
බවුන්සර් එක උදේ දැම්මේ මිස්
වෙලාවට පෑයුවේ මිස්..

හරි මිස්....

Thursday, August 13, 2015

202. වේදිකා







උරේ නැඟ
ගිරිය පුප්පා - ගිගුම්ලා
දෙසති උන්

මගේ බෑඟිරි
හඬද පරයා
නැගෙයි ඔල්වරසන්
ඈතින් පොදිකන
දනන් තුඩ'ඟින්